අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් නිට්ටාවට සුව කරමු (Gas)

අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් නිට්ටාවට සුව කරමු (Gas) - Your Choice Way
🍁 අතීතයට සාපේක්ෂව වර්තමානයේ පෙර නොවු විරූ පරිදි මිනිසුන්ට බොහෝ රෝග වැළඳෙයි. මෙම ඇතැම් රෝග මිනිසාගේ එදිනෙදා දෛනික කටයුතුවලට ද සැලකිය යුතු ලෙස බාධා ඇති කරයි. මේ රෝග අතරින් ආයුර්වේදයේ සඳහන් වන අම්ල පිත්ත රෝගය ද එකකි. මෙම අම්ල පිත්ත රෝගයෙන් මිනිසාගේ කය සහ මනස පීඩාකාරී තත්ත්වයට පත් කෙරේ. බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව සෑම දෙනකුටම පාහේ මෙම රෝගයට ගොදුරු විය හැක.

🍁 මෙය කල් අල්ලා සිටින රෝගයක් බැවින් රෝගය හරි හැටි හඳුනාගෙන ප්‍රතිකාර යෙදීමෙන් සුවකර ගත හැකි ය.

✅ අම්ල පිත්ත රෝගය වැළඳීමට හේතු (රෝග නිධාන)
■ මානසික ආතතිය – විශේෂයෙන් ම අම්ලපිත්ත රෝගයේ දී මානසික ආතතිය ප්‍රධාන වශයෙන් ම බලපාන හේතු සාධකයකි. අධික ශෝක, භය, දුක් පීඩා ආදි මානසික පීඩා ඇතිවෙන විටෙක මෙකී රෝගී තත්ත්වය නිරායාසයෙන් ම උද්ගත වෙයි.

■ නිසි වේලාවට ආහාර නොගැනීම

■ අධික ලෙස අම්ල, ලවණ, තීක්ෂණ ගුණ යුතු ආහාර නිතර ගැනීම.

■ බෝතල් කරන ලද කෘත්‍රිම බීම ජාති

■ අධික මත්පැන් පානය

■ වෂ විෂ කැවීමෙන් හා පෙවීමෙන්

■ නගරයේ ඇති විෂම ආහාරපාන වර්ග භාවිතය

■ දහවල් නිදීම හා රාත්‍රී නිදි මැරීම

■ තෙල් බැදුම් වර්ග නිතර පාවිච්චිය

■ ඌෂ්ණාධික ආහාර නිතර පාවිච්චිය

■ අවශ්‍ය තරම් ජලය පාවිච්චි නොකිරීම

■ කාලගුණ හා දේශගුණික වෙනස්වීම්වල දී

■ ආහාර ගත් විගස ජලය වැඩිපුර පානය කිරීම

■ ආහාර ගැනීමෙන් පසු විටින් විට නැවත ආහාර ගැනීම

අම්ල පිත් රෝග ලක්ෂණ
🍁 මෙකී අම්ල පිත්ත රෝග තත්ත්වයේ ලක්ෂණයන් ගැන සඳහන් කිරීමේ දී දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව එය කොටස් 02ක් යටතේ වර්ග කර පෙන්වා දිය හැකි ය.

1. ඌර්ධව ගත අම්ල පිත්තය

2. අධෝගත අම්ල පිත්තය

✅ ඌර්ධව ගත අම්ල පිත්ත රෝග ලක්ෂණ

■ ගෙලෙහි, උදරයෙහි හා පපුවේ වේදනා සමඟ දැවිල්ල

■ අම්ල උද්ගාරය (රාම තෙල් යාම)

■ තිත්ත හෝ ඇඹුල් රසයෙන් වමනය වීම

■ වමනයත් සමඟ හිස රුජාව ඇති වීම

■ ආහාර නිසි ආකාරයෙන් නොදිරවීම

■ උදරයේ වාතය පිරීම

■ කල්යාමේ දී ආමාශගත තුවාල හට ගැනීම

✅ අධෝගත අම්ල පිත්ත රෝග ලක්ෂණ

■ නිතර අධෝගත වාතය පිටවීම

■ අධෝමඟ දැවිල්ල සමඟ වේදනා හටගැනීම

■ අධික මළබද්ධය හෝ දියාරුවට වැසිකිළි යාම

■ වැසිකිළි යාමේ දී සෙම් කොටස් පිටවීම

■ මළ මාර්ගයේ තුවාල, බිබිලි, පැලීම් (පරිතර්තිකා) ඇතිවීම

■ කල්යාමේ දී බඩවැල් පහත් වීම (ගුදභ්‍රංශය) අර්ශස්, මළ මගෙහි ඉදිමුම, අර්ශස් අංකුර වැනි බොහෝ අපහසුතා ඇති කරයි.

🌿 මෙකී අම්ල පිත්ත රෝගයට නිසියාකාර වෛද්‍ය ප්‍රතිකාර නොකිරීම හේතුකොට ගෙන රෝගය කල් යාමේ දී දරුණු පීඩා ඇති කරනු ලබයි. එහි දී සිහි මුළාව, කරකැවිල්ල, හිසරදය සමඟ ක්ලාන්තය, මන්දාග්නිය (ආහාර අරුචිය) සිරුර දුර්වල වී කෘෂ වීම, නිතර දහදිය දැමීම, ශරීර අවයව කසාවන් පැහැ වීම, අත් පා දැවිල්ල, සම මතුපිට කුෂ්ඨ මතුවී දියර ගැලීම, සන්ධිගත ආබාධ (ආමවාත) දරුණු අස්ථි රෝග, එසේ ම කම්පනය, සිහිසන් නැතිවීම, හා මානසික රෝගාබාධයන් පවා කල්යාමේ දී ඇතිවිය හැකි ය.

✅ හෙළ වෙද පිළියම්

🌿 විශේෂයෙන් ම මෙකී රෝග තත්ත්වයට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ සේ ම දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ද ඉතා සාර්ථක වූ ප්‍රතිකාර ක්‍රම රාශියක් පවතී. රෝගය කල්යාමේ දී සුවකිරීම ඉතා අපහසු වන අතර දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව මූලිකව රෝගියා ළය විරේක හා බඩ විරේක කිරීම සිදු කරනු ලබයි. ඒ තුළින් දූෂිත ආම පිත්ත තත්ත්වය බැහැර වූ පසු දෝෂ කෝප තත්ත්වයන්ට අනුව ප්‍රතිකාර ක්‍රම සිදු කරනු ලබයි.

🌿 අම්ල පිත්තයට දේශීය අත් බෙහෙත් අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳින රෝගීන්ගේ සුවය උදෙසාත්, පරම්පරාගත දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීම උදෙසාත් වටිනා බෙහෙත් වට්ටෝරු ක්‍රම කීපයක් මෙසේ ඉදිරිපත් කරමි. මෙකී ප්‍රතිකාර ක්‍රම ඔබ සිදු කරන්නේ නම් දේශීය වෙද්‍යවරයෙකුගේ උපදෙස් අනුව සිදුකිරීමට කටයුතු කරන්න.

■ තනිකර බෙලි කොළ කොටා තැඹිලි දියෙන් අනා සුළං නොයන සේ දින තුනක් වසා තබා පසුව එම ඉස්ම මිරිකා උක් හකුරු දියකර වැළඳීම ඉතා ගුණයි.

■ කීකිරිඳිය පවනේ වියළා චූර්ණ (කුඩු කර) බටර් සමඟ අනා වරකට මොරගෙඩියක ප්‍රමාණයෙන් අනුභව කොට උණු දිය වැළඳීම ගුණයි.

■ අට්ටික්කා ගසේ පොතු වියළා කුඩු කර, උදේ වරුවේ බටර් සමඟ අනා වරකට මොර ගෙඩියක් පමණ අනුභව කොට එළකිරි වැළඳීම අගනා ප්‍රතිකාරයකි.

■ පත්පාඩගම්, බෙලි මුල්, දලු, සැවැන්දරා මුල්, සමව ගෙන වියළා කුඩුකර උණුදියට දියකර වසා තබා නිවුණ පසු උක් හකුරු සමඟ වැළඳීම ද යහපති.

■ හාතාවාරිය අල හා අමු නෙල්ලි සමව ගෙන කොටා මිරිකා ගත් ඉස්මට මී පැණි දමා වැළඳීම

■ බෙලි දලු, රෝසමල්, කොත්තමල්ලි, හීං උඳුපියලිය, සමව ගෙන වියළා කුඩුකර උණුදියෙන් වැළඳීම හෝ තම්බා වැළඳීම ආමාශගත තුවාල සුවයට ද ඉතා යහපති.

✅ පරම්පරාගතව පැවත එන කැහිපිත්තන් බෙහෙත

🍁 කැහිපිත්තන් කොළ ප්‍රමාණවත් තරමින් ගෙන හොඳින් කොටා, ඇල් දියෙන් මිරිකා එම ස්වරයට කෝමාරිකා ඉස්ම, සුදු හඳුන් කුඩු, සැවැන්දරා මුල් කුඩු, ඉඟිනි ඇට කුඩු, සමව කවලම් කර නිශ්චලව තබන්න. පසුදා උදේ හිස් බඩට ජෙලි මෙන් මිදී ඇති මෙකී බෙහෙත කිතුල් හකුරු සමඟ වළඳන්න.

🍁 විශේෂයෙන් ම මෙකී ඖෂධය අම්ල පිත්තය සැදුන මූලික අවස්ථාවේ දී යෙදීමෙන් සුවකරගත හැකි ය. මෙම ඖෂධය අම්ල පිත්තයට පමණක් නොව ශරීර දාහය, මුත්‍රා දැවිල්ල, සිහින දෝෂ (සිහිනෙන් ධාතු පිටවීම), වකුගඩු හා මුත්‍රා පද්ධතියේ ආබාධ, ප්‍රමේහ රෝග නසා ශරීරය සිසිල් කරන ප්‍රත්‍යක්ෂ ඖෂධයකි.

🍁 විශේෂයෙන් ම අම්ල පිත්ත රෝගීන් ආහාර විහරණ පිළිබඳ ව සැලකිලිමත් විය යුතු ය. පතෝල, බණ්ඩක්කා, කැකිරි, අළු පුහුල්, පිපිඤ්ඤා, ගෝවා, කොහිල අල හා කරටි, නෙළුම් අල, අළු කෙසෙල් මුව හා බඩ, වැනි ආහාර ඉතා ගුණදායක වන අතර සව්, බාර්ලි, කිතුල් පිටි කැඳ ඉතා ගුණදායක වන්නේ ය. අම්ල පිත්ත රෝගීන් සතියකට කීප දවසක් දියබත් සාදා වැළඳීම අගනා පිළියමකි.

🍁 විශේෂයෙන් ම අම්ල පිත්ත රෝගය සඳහා මානසික ආතතිය ප්‍රධාන වශයෙන් බලපාන බැවින් කෙලෙසුන්ගෙන් පීඩිත සිත දමනයට කටයුතු කළ යුතු ය. ඒ සඳහා සද්ධර්ම ඖෂධයේ පිහිට ලබා ගැනීම ප්‍රතිකාරයේ ප්‍රධානතම අංගයක් වන්නේ ය.

   විශ්මිත හෙළ ඔසු   🙏 සියලු සත්වයෝ සුවපත් වේවා!🙏
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් නිට්ටාවට සුව කරමු (Gas) අම්ල පිත්තය හෙවත් ගෑස්ට්‍රයිටීස් නිට්ටාවට සුව කරමු (Gas) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2021 Rating: 5

0 comments:

Post a Comment