නිකවැරටියේ භූත සියඹලා ගසේ සැඟවුන කතාව (Siyabala Tree)

නිකවැරටියේ භූත සියඹලා ගසේ සැඟවුන කතාව (Siyabala Tree) - Your Choice Way

අපේ ජන සමාජයේ ඕනෑ තරම් මිත්‍යා මත,ගුප්ත  දේවල් සැඟවිලා තියෙනවා. සමහරු මෙවැනි දේවල් බැහැර කරද්දි තවත් සමහරුන් හිස් මුුදුනින් පිළිගන්නවා. කොහොම උනත් මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.

නිකවැරටියට ආසන්න පිටිසරබද ගම්මානයක භූතයකු අරක්ගත් සියඹලා ගසක් පිළිබඳව මීට වසර කිහිපයකට පෙර මට අසන්නට ලැබිණ. පාළු වැව් පිටියකට මායිම් වී ඇති එම සියඹලා ගස අද්දරින් යන විට එම භූතයා හඬනු සමහරුන්ට ඇසෙන බවද මට දැකගත හැකි විය. විශේෂයෙන් එම භූත හඬ ඇසෙනුයේ හැන්දෑවේ හිරු බැස යන යාමයේ හෝ හිරු එළිය නොමැතිව හාත්පසින් අඳුරින් වැසී ගිය අවස්ථාවල බව ද මට අසන්නට ලැබිණ.

අමනුෂ්‍ය හඬවල් වශයෙන් ජන සම්මතයෙහි එන නොයෙකුත් ශබ්ද තිබේ. දහහත්වන සියවසේ එළිමහන් සිරකරුවකු ලෙස වසර විස්සකට ආසන්න කාලයක් මෙරට විසූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ද තමන්ට හඳුනාගත නොහැකි යක් හඬක් මෙරට දී ඇසුණු බව තම කෘතියේ දක්වා තිබේ. එබැවින් එම සියඹාලා ගසින් නැගෙන භූත හඬ ඇසීමට මගේ සිත තුළ ද පැන නැඟුණේ අතිමහත් උනන්දුවක් සහ ආශාවකි. එහෙත්, මා එම සියඹලා ගස යටට ගොස් පැයක් හමාරක් නොව වරුවක් තබා දවසක් බලා සිටියද මගේ අවශ්‍යතාව සලකා එම භුතයා හඬ නොනඟනු ඇත. එහෙත් භූතයා එසේ හඬ නොනැඟූ පමණින් එම භූත කතාව පිළිබඳ විමර්ශනය මුළුමනින් ව්‍යවර්ථ වන්නේ ද නැත. එබැවින් පසුගිය දිනයෙක ඒ සඳහා නිකවැරටියට ගිය මම මා වෙත එම තොරතුරු ලබා දුන් ගුරුභවතා ද කැටුව එම භූත හඬ නැඟෙන ඉසව්ව වෙත පියමං කළෙමි.

වර්තමානයේ වැඩිපුර එනමින් හැඳින්නොවුණද නිකවැරටිය අයත් වන්නේ දෙවිදේවතා ඇදහීම් ඇතුළු ගුප්ත විශ්වාසවලින් පිරී ඉතිරී ගිය වන්නි හත්පත්තුවය. අතහැර දමන ලද හේන් මණ්ඩියක් දෙසට වැටී ගත් අඩි දහයක් පමණ පළලැති එම මාර්ගය ට්‍රැක්ටරයකට මිස සෙසු වාහනයකට යා නොහැකි ලෙස වල්බිහිවී තිබිණ. එම භූත නිවස්නය වූ සියඹලා ගස පිහිටියේ එම දිරා ගිය මාර්ගයට මායිම් වු දිරා ගිය කටු කම්බි වැටකට අඩි හතඅටක් ඔබ්බෙන්. කලක් තිස්සේ හේන් වගා කොට අතහැර දැමීම නිසා ළඳු කැළෑ සහ කටු පඳුරු සහිත ද්විතීයික උප ලැහැබ්  සහිත එම පරිසරයේ එම සියඹලාවට ඔබ්බෙන්. තරමක පැරණි නිවසක් විය. එම භූත සියඹලා ගසේ සිට එම නිවස අතර දුර අඩි විස්සකට වඩා නොවිණ.

එබැවින් එම සියඹලා ගසේ භූත හඬ පිළිබඳව වැඩිපුර තොරතුරු දැන ගැනීම පිණිස මම මඟ පෙන්වන්නා ද සමග එම නිවසට පිවිසියෙමි. අප යනවිට එහි සිටියේ වයස අවුරුදු පනහක පමණ කාන්තාවක සහ වයස අවුරුදු අසූවක පමණ කාන්තාවක පමණි. ඒ එම නිවසේ මව සහ දියණිය වූ අතර එම දියණියගේ සැමියා මීට වසර පහළොවකට පමණ පෙර හඳුනා නොගත් වකුගඩු රෝගයට ලක්ව මිය ගොස් තිබිණ, ඔවුන්ට දරුවන් ද නොමැති බව දැන ගත හැකි විය.

ඒක හරිම මූසල සද්දයක් මහත්තයෝ හරියට බකමූණෙක් අඬනවා වගේ, ඔය සද්දේ මේ පැත්තේ හුඟ දෙනෙක් දැන් අහලා තියනවා. ඒ හින්දා කළුවර වැටුණට පස්සේ කවුරුවත් ඔතනින් යන්නේ වත් නැහැ, ඒත් ඉතින් අපි මේක දාලා කොහේ යන්නද..?,  ඔහේ වැටිලා ඉන්නවා. එම වැඩිහිටි කාන්තාව මා හා කීවාය. එවිට ඇය අතර මා පවතින එම කතාබහ ඇගේ දියණියගේ තියුණු නිරීක්ෂණයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් මගේ අදහස් දැන ගැනීමට ඇය තුළ වූ උනන්දුව ඇගේ සංතීක්ෂණ බැල්මෙන් මට මනාව වැටහිණ.

හොඳයි, මම අද රෑට ඇවිත් පැය කීපයක් ඔය ගහ යට හිටියොත් මටත් ඔය භූත සද්දේ අහන්න පුළුවන් වෙයිද..? අනතුරුව මම එම දියණියගෙන් ඇසීමි.

ඔව් ඉතින් එහෙම ඉඳලා බලන්න, මේ පැත්තේ අනික් හැමෝටම ඇහෙන සද්දේ මහත්තයට විතරක් නොඇහී තියෙන්න විදිහක් නෑනේ එම දියණිය කීවාය. එහෙත් ඇගේ ස්වරයෙහි කිසියම් උපහාසාත්මක හෝ අවලාදාත්මක ස්වභාවයක් ඇතැයි මට සිතිණ.

ඔය විදිහට සද්ද නඟන භූතයා ඉස්සර මේ ගේ දොර ඉඩකඩම්වලට උරුමකම් කියපු මියගිය කෙනෙක් වෙන්න බැරිද..? ඉන් අනතුරුව මම ඇසීමි.

මොකද වෙන්න බැරි පුළුවන් එම දියණිය ගත්කටටම කීවාය.

ඉන්පසුව එම භූත කතාව පසෙක තිබියදී මම ඒ මවගෙන් දියණියගේත් පවුල් පසුබිම පිළිබඳව විස්තර විමසා සිටියෙමි. එවිට එම දියණිය කියා සිටියේ තම සැමියාගේ මරණයෙන් පසු ඔහු විසින් ගොවිතැන් කරන ලද හේන් කුඹුරු පාළු වී තමන් සහ මව ආර්ථික වශයෙන් අතිශය අසරණ තත්ත්වයට පත්ව ඇති බවය.

ඒ වගේ අසරණ වුණු පවුල්වල ආරක්ෂාවට ආරක්ෂක භූතයෝ ඒ ගෙවල්වල ලැඟුම් ගන්නවා කියලා විශ්වාසයක් තියනවා නේද..? මේ සියඹලා ගහෙත් ඉන්නවා ඇත්තේ ඒ වගේ භුතයෙක් වෙන්න බැරිද...? මම එම මවගෙන් සහ දියණියගෙන් ඇසීමි.

ඒක නම් ඇත්ත මහත්තයෝ, ඔය සියඹලා ගහෙන් ඇහෙන භුත සද්දෙ හින්දා මොනවා නැති වුණත් අපිට ආරක්ෂාව නම් තියෙනවා එම වැඩිහිටි කාන්තාව කීවාය.

හැබැයි ඔය දෙන්නට ඕනෑ නම් තොවිල් පවිල් ශාන්ති කර්ම නොකරන පුංචි උපක්‍රමයකින් එය භූතයව ගෙන්නලා ඔය මූසල සද්දේ නැත්තටම නැතිකරවලා දමන්නත් මට පුළුවන්. මා ඔවුන්ට එසේ කියන්නට එම දියණිය එක්වරම ඊට විරුද්ධත්වය පළ කළාය.

ඔය භූත සද්දෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැත්නම් මහත්තයට මොකක්ද තියන ප්‍රශ්නේ..? ඇය එක්වරමම මවෙතින් අසා සිටියාය. ඒ අනුව ඔවුන්ගේ නොමනාපය මත එම ගවේෂණය තව දුරටත් ඉදිරියට ගෙන යාම සදාචාරාත්මක නැතැයි මට සිතිණ. ඒත් ඉතින් එය භුත සද්දෙන් ගමේ මිනිස්සු බය වෙනවා නම් ඒකත් තරමක ප්‍රශ්නයක් නේද? ඒකයි මම කිව්වේ. මා කීයේ මගේ අදහස සිතින් අතහැර ගන්නා අතරේය.

ගමේ මිනිස්සු බය වෙන්නේ මේ පැත්තට ආවොත් විතරනේ, මොකද මේ භුතයා ඒ කාගෙවත් ගෙවල්වලට ගිහින් බය කරන්නේ නැහැනේ. කාන්තාව ගත් කටටම කීවාය.

ඉර බැස යන විට නැතහොත් අඳුරු කාලගුණයක් සහිත අවස්ථාවන්හි එම වන ලැහැබ් සහිත පරිසරයෙන් යන එන්නවුන් හට එම සියඹලා ගසෙන් නැගෙන භූත හඬට පදනම වන හේතුව, නිමිත්ත පැහැදිලිය. එහෙත් එම හඬ නැගෙනුයේ සැබැවින්ම එම සියඹලා ගසේ අතු අතරින් ද නැතහොත් ඒ අද්දර දිවිගෙවන කාන්තාවකගේ මුවින්ද යන්න මෙවන් ගවේෂණයක දී ඉතා විමසිල්ලෙන් සොයා බැලිය යුතුය. ඊට හේතුව තම ජීවිතය සම්බන්ධ දැඩි ගැටුම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙන සමහරුන් මෙලෙස තමන් ද නොදැනුවත්වම තම පෞරුෂයෙන් අත්මිදී වෙනත් පෞරුෂයන් ආරෝපණය කර ගනිමින් අන්‍යයන් හමුවේ පෙනී සිටන බැවිනි. එය විඝමතය නම් මානසික තත්ත්වය යටතේ සිදුවන්නකි. ඒ අනුව මෙම මව සහ දියණිය විසින් මුලින් ප්‍රසිද්ධ කරවන ලද සියඹලා ගසෙන් නැගෙන භුත හඬ මුල්කොට හට ගත් කුතුහලය, බිය සැක ආදී සංකීර්ණ හැඟීම් සිත දරා එම ස්ථාය පසු කරන්නවුන් හට එම සියඹලා ගසින් එවන් භුත හඬක් ඇසීම අතිශය ස්වභාවිකය. එහෙත්, සැබවින්ම ඒ හඬ නැගෙනුයේ එසේ විඝටනයට පත් කාන්තාවගේ මුවින් වුව එම සියඹලා ගස කෙරෙහි පමණක් දැඩිව සංවේදීවන්නවුන් හට එය එම ගසින් නැගෙන ගුප්ත නාදයක් සේ වැටහීමේ කිසිදු අරුමයක් නැත.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිකවැරටියේ භූත සියඹලා ගසේ සැඟවුන කතාව (Siyabala Tree) නිකවැරටියේ භූත සියඹලා ගසේ සැඟවුන කතාව (Siyabala Tree) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2022 Rating: 5

0 comments:

Post a Comment