දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 25 නත්තල් දිනය (Significance Of The Day - December 25 Christmas Day)

දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 25 නත්තල් දිනය (Significance Of The Day - December 25 Christmas Day) - Your Choice Way

නත්තල් උත්සවය යනු කුමක්ද?
නත්තල් උත්සවය සේ සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. එහෙත් වර්තමානයේ දී මෙය වරදවා වටහාගෙන ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි. එය බලවත් වරදකි. නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.

සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දී ය. ජීවිතය අත්හැර යන්නට සිටි මිනිසුන්ට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති වූ දිනය යි. ලෝකයට සාමයේ පණිවුඩය ලබා දුන් දිනය යි.

කෙසේ වුව ද කිතු උපත සැමරීමේ සිරිත උන්වහන්සේ උපන් දා පටන් ම හෝ යටත්පිරිසෙයින් උන්වහන්සේ ධරමාන කාලයේ හෝ සිදුවූවක් නොවේ. උපන්දින සමරන්නන් මිථ්‍යාදෘෂ්ඨියක් සේ ජුදා වරුන් විසින් විශ්වාස කිරීම ඊට හේතුව යි. කතෝලික සභාව පිළිගත්තේ ද මේ මතය යි. සරලව ම හා ඍජුව ම කිවහොත් කිතු උපතින් සියවස් කිහිපයක් යනතුරුත් කිතුණු සමාජයේ මේ උත්සවය උත්සවාකාරයෙන් සැමරූයේ නැත. එහෙත් කාලය සමග සියල්ල වෙනස් විය. ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිර යාම වේගවත් වීමත් සමග, ඒ වන විට යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සවවල ද ආභාසය ලබා නත්තල් උත්සවය බිහි විය.

නත්තල් වදන
මෙය රෝම බසෙහි නතාලිස් (Natalis) යන වදන හා ඉංග්‍රීසියෙහි නතාල්(Natal) යන වදන අනුව නිපන්නකි‘යි විශ්වාස කෙරේ.

නත්තල් සමරුව ඇරඹීම
නත්තල් සමරුව ඇරඹීමේ කතාව සමග දැඩි සබඳතාවක් පෙන්වන්නේ ස්කැන්ඩිනේවියානුවන්ගේ යූල්(Yule) උත්සවය යි. ( යූල් උත්සවය යනු කිතු උපතට සියවස් ගණනාවකට පෙර පටන් පැවති ශීත ඍතු උත්සවයකි. මේ උත්සවයේ දී සමරනු ලැබූයේ තෝර් නමැති දෙවියන් ය. තෝර් දෙවියා ගිගිරුමට අධිපති දෙවියා යැයි ස්කැන්ඩිනේවියානුවන් තුළ විශ්වාසයක් පැවතුණි. පිරිමි සතුන් හා වහල් මිනිසුන් බිලි දෙමින් යූල් කඳන් පිළිස්සීම මේ උත්සවයේ දී සිදු විය. උත්සවය අවම වශයෙන් දින 12ක් වත් පැවතුණි. මේ ගිනි තැබීම්වල දී ඇති වන සෑම ගිනි පුළිඟුවකින් ම අලුතෙන් ඌරු පැටවෙකු හෝ වසු පැටවෙකු උපදින බවට ඔවුන් තුළ විශ්වාසයක් පැවතුණි). යුරෝපයේ කිතු සමය පැතිර යාමත් සමග ස්කැන්ඩිනේවියානුවන්ගේ ආගමික විශ්වාස තරමක් දුරට යටපත් වුව ද ඔවුන්ගේ ආගමික උත්සව හා බැඳි ඇවතුම් පැවතුම් හි විශාල වෙනසක් වූයේ නැත. ඒ වෙනුවට ඒ ඇවතුම් පැවතුම් කිතු දහම හා සම්බන්ධ වී නව මුහුණු වරක් ගත්තේය. එහෙත් නත්තලේ උපතට සපුරාම බලපෑවේ යූල් උත්සවය නොවන බව ද සිහි තබි ගත යුතු වේ. අරුත් සුන් උත්සව පවත්වනු වෙනුවට ලෝකයට නව දර්ශනයක් හඳුන්වා දුන්, මිනිසුන්ට නව බලාපොරොත්තු සපයා දුන් උත්තමයෙකුගේ උපතක් සැමරීමේ වැදගත්කම මෙහිදී මුල් වී ඇත.

දෙසැම්බර් 25 නත්තල් සැමරීම
කිතු සමිඳාණන් උපන්නේ නිශ්චිත වශයෙන් ම දෙසැම්බර් මස විසි පස්වන දින යැයි මතයක් බහුතරයක් ලෝ වැස්සන් අතර දැන් ඇතත් මේ වනාහි අතිශය විවාදයට තුඩු දුන් මතයකි. ශුද්ධ වූ බයිබලයේ පවා මේ පිළිබඳ පැහැදිලි අදහසක් නැත. කිතු උපත සම්බන්ධව ශුද්ධ බයිබලයේ මතෙව් හි ලූත් ගේ සාක්ෂිවල පරස්පරතා පවතී. එය කිතු දහමේ මුඛ්‍ය ඉගැන්වීම්වලට තදින් අදාළ නොවන නිසා මේ පිළිබඳ විග්‍රහ කෙරී නැත. සාමය, සමානාත්මතාව හා සහජීවනය පදනම් කරගත් කිතු සමය තුළ කිතු උපත පිළිබඳ දැඩි තර්කයක් නැත. අනෙක් කරුණ නම් ලෝකයේ සෑම ආගමක ම, දර්ශනවාදයක ම, ඇදහිල්ලක ම, විශ්වාසයක ම ඓතිහාසික තොරතුරුවල සදොස් තැන් තිබේ. ඒවා ද මේ ලෙස ම ඒවායේ මුඛ්‍ය අරමුණට අදාළ නොවන නිසා තර්කයට බඳුන් කිරීමේ ඵලක් නැත.

යොෂුවා- බෙන්- යෙසුෆ් (Yehoshua Ben Yosef)හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකයේ අති බහුතරයක් කිතුණුවන් සමරන්නේ දෙසැම්බර් විසිපස්වන දිනයි. උන්වහන්සේ උපන්නේ දෙසැම්බර් විසි හතරවැනි දින මධ්‍යම රාත්‍රියේ දී ය. ඊට අනුව විසිපස්වන දිනය සමරු දිනය සේ සලකයි. එහෙත් මේ පිළිබඳව ලෝකයේ විවිධ ජාතීන් අතර තවත් මතවාද පවතී. ඒ දින මෙසේ ය.

ජනවාරි 6-
ආමේනියානුවන් ඇතුළු සුළුතරයක් මේ මතයේ හිඳිති. ඔවුන් මේ දිනයේ කිතු උපත සමරන අතර තවත් පිරිසක් මේ දිනය කිතු සමිඳාණන් බව්තීස්මය ලැබූ දිනය සේ සලකා ස්මරණය කරති. තවත් පිරිසක් කියන්නේ ශ්‍රාස්ත්‍රවන්තයන් කිතුසමිඳාණන් වහන්සේ බැහැ දුටුයේ මේ දිනයේ දී බවයි.

මාර්තු 21-
ක්‍රි.ව. 243 දී ලතින් බසින් ලියූ ග්‍රන්ථයක මේ දිනය දක්වා තිබුණි.

අප්‍රියෙල් 18 හෝ 19 -
සුළු පිරිසකගේ අනුමානයකි.

මැයි 20-
ක්‍රි.ව. 150-215 අතර කාලයේ සිටි කිතුණු දේවධර්මාචාර්යවරයෙකු වූ ටයිටස් ප්ලේවියස් ක්ලෙමන්ස් මේ මතය විශ්වාස කළේ ය.

මේ කෙසේ වුවත් සැබෑ නත්තල හෙවත් කිතු උපත සිදු වූයේ දෙසැම්බර් මස විසි පස්වන දිනයේ දී ය යන්න නිල වශයෙන් ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ක්‍රි.ව.දෙසිය හැත්තෑතුනේ දී පමණය. මේ දිනය නත්තල සේ ප්‍රකාශ කළේ ඒ වන විටත් යුරෝපයේ මේ දිනයේ ම තවත් උත්සව දෙකක් ද පැවතීම නිසාය. ඒවායින් සූර්යයාගේ උපත හා මිත්‍රා දෙවඟනගේ උපත සමරන ලදී. මේ මිථ්‍යා වන්දනාවන්ගෙන් ඈත් වී ජනයා කිතුතුමා සැමරීමට යොමු කිරීම මෙහි අරමුණ විය. එහෙත් මේ දිනයට නිත්‍යානුකූල අවසරයක් ලැබෙන්නේ ක්‍රි.ව. තුන්සිය දහතුනේ දී කොන්ස්ටන්ටයින් නිකුත් කළ නිකොමීඩියාආඥාවෙනි. (Edict of Nicomedia) මේ ආඥාවෙන් රෝමයේ එතුවක් තිබූ සෙසු ආගම්වලට ද සහනයක් හිමි වූ අතර කිතු සමයට විශේෂත්වයක් හිමි විය. ඊට අනුව දෙසැම්බර් විසි පහ දින කිතු උපතත්, සූර්යදේව උපතත් යන සමරු දෙක ම පැවත්වුණි. සැටනේලියා උත්සවයත් (සැටනේලියා උත්සවයේ දී සෙනසුරු දෙවියන් වන්දනාවට පාත්‍ර වූ අතර එය දෙසැම්බර් 17 දිනට යෙදී තිබුණි.) , කාලෙන්ඩිස් උත්සවයත් (කාලෙන්ඩිස් උත්සවය මාසයේ ඇරඹුම් දින පූජාවයි.ජනවාරි පළමු දින පැවත්වුණි.) අතරතුර දිනයක නත්තල් උත්සවය සැමරීම නිසා කිතුණුවන්ට සෙසු ආගමිකයන්ට සේ ම නිදහසේ නත්තල සැමරීමට අවස්ථාව උදා විය. මන්දයත් මේ කාලය ම උත්සව සමයක් සේ පිළිගැනුණු හෙයිනි. ක්‍රි.ව. 336 දී පිලෝක්ලියන් කැලැන්ඩරය මගින් ද ක්‍රි.ව. 354 දී ලයිබිරියස් පාප්තුමා විසින් පිළිගැනීම මගින් ද නත්තල් දිනය තවදුරටත් ස්ථාවර විය. එහෙත් ඉතිහාසඥයෙකු හා දේශ සංචාරකයෙකු ද වූ සෙක්ස්ටස් ජුලියන් ඇප්‍රිකානුස් විසින් ක්‍රි.ව. 221 දී පමණ සිට මේ දිනය වඩාත් ජනප්‍රිය කරවීමේ නිරත විය.

Christmas හා Xmas
ග්‍රීක බසෙහි එන X අක්ෂරය රෝම බසෙහි එන Chi අක්ෂරවලට සමාන අරුතක් දෙයි. මේ නිසා ක්‍රිස්තුස් වහන්සේ හැඳින්වීමේ දී බයිබලයේ ග්‍රීක පිටපත්වල Chi වෙනුවට X අක්ෂරය යොදා ඇත. මේ යෙදුම මුල් කරගෙන Xmas යන ව්‍යවහාරය එන්නට ඇත.

ගවලෙන හා නත්තල
යේසුස් වහන්සේ උපන්නේ බෙත්ලෙහෙම් හි ගවලෙනක යැයි පිළිගත් මතයක් ඇත. එහෙත් බයිබලයේ මේ පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් නැත. කෙසේ වුව ද ක්‍රි. ව. 1498 වන විට මේ මතය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව තිබූ බව මේ කාලයේ ඇඳි සිතුවම් මගින් වටහා ගත හැක.

නත්තල් ගස
මෙය පුරාණ මිනිසුන් අතර පැවති වෘක්ෂ වන්දනයෙන් ප්‍රභවය වූවකි. ක්‍රිස්තුන් වහන්සේ හා නත්තල් ගස සේ යොදා ගන්නා ගස අතර සබඳතාවක් නැත. 1835 වර්ෂයට අයත් ලියවිල්ලක Christmas Tree යන වදන මුල් වරට හමු වේ. නත්තල ඇරඹීමට පෙර පටන් පැවති යූල් උත්සවයේ දී යූල් ගසට විශේෂත්වයක් හිමි වීම ද මේ නත්තල් ගස නත්තලට විශේෂ වීම කෙරේ බලපාන්නට ඇත.

කැරොල්
ග්‍රීකයන් රවුම සෑදී සංගීතයක් නොමැතිව ම ගැයූ කෝරස් (Choros) ගායනයෙන් කැරෝල් බිහි වන්නට ඇති නමුදු මුල් කාලීන පල්ලිය විසින් මෙය තහනම් කරන ලදී.විවිධ මතවාද, මතභේදවලට තුඩු දුන් කැරොල් 17 වන සියවසේ ඇමරිකානු රටවල දී දැඩි බාධකවලට ලක් විය. මේ කාලයේ මේ රටවල දී නත්තල හා නත්තලට සම්බන්ධ සෙසු උත්සව ද අභියෝගයට ලක් විය. එහෙත් මහා ගත්කරු චාල්ස් ඩිකන්ස් විසින් Christmas Carol කෘතිය කර 1843 දී ප්‍රකාශයට පත් කළ පසු කැරොල් යළි ජීවය ලැබීය. දැනට පවතින කැරොල් ගායනා රැසක් ම මේ කාලයෙන් පසු නිර්මාණය වූ ඒවා සේ පිළිගැනේ.

නත්තල් කාඩ්
ලොව ප්‍රථම නත්තල් සුභ පැතුම්පත 
දිගු ඉතිහාසයක් නැත. ලන්ඩනයේ වික්ටෝරියා හා ඇල්බර්ට් කටුගෙයි නිර්මාතෘ ශ්‍රීමත් හෙන්රි කෝල් සිය මිතුරන් නත්තල පිළිබඳ දැනුවත් කිරීමට තීරණය කළේය. සත්‍ය ලෙස ම කිවහොත් ඔහුට අවශ්‍ය වූයේ නත්තල් දිනය දා දුප්පතුන්ට උපකාර කරන්නැ‘යි සිය මිතුරන්ගෙන් ඉල්ලා සිටීමට ය. මේ කාර්යය ඔහු විසින් ජෝන් කැල්කොට් හා හෝර්ස්ලි යන නිර්මාණ ශිල්පීන් දෙදෙනාට පවරන ලදුව ඔවුන් විසින් නිර්මාණය කළ මුල් කාඩ්පත් නත්තල් කාඩ්පතට උපත ලබා දුනි. (පින්තූරය බලන්න) වයින් පානය කරන පවුලක රුවක් හා දුප්පතුන්ට උපකාර කරන අයගේ රූපසටහන් සමග ‘සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා’ යන වැකිය ද එහි සටහන් කර තිබුණි. කුඩා දරුවෙකු වයින් පානය කරන දසුන නිසා මේ කාඩ්පත විවේචනයට බඳුන් වුව ද 1875 වර්ෂයේ දී ලුවිස් ෆ්‍රෑන්ක් විසින් ලිතෝග්‍රාෆ් මුද්‍රණයන්ත්‍රය සොයා ගැනීමෙන් පසු නත්තල් කාඩ් පත් ලෝ පුරා ශීඝ්‍ර‍යෙන් ජනප්‍රිය විය.

මෙය මෙසේ වෙද්දී අද දිනයේද ඒ උතුම් වු නත්තල් උදාව සමරන තවත් එක් දිනයකි.සාමයේ පනිවිඩය ලෙවටම බෙදා දුන් ඒ දිනයේදී ලෝකවාසී සියල්ලෝ සාමයෙන් සතුටින් සිටීවා යන්න  අපගේ පැතුමයි

මෙම ලිපිය පිලිබදව තවත් කෙනෙකු දැනුවත් කිරීමට අමතක නෙකරන්න.
දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 25 නත්තල් දිනය (Significance Of The Day - December 25 Christmas Day) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 25 නත්තල් දිනය (Significance Of The Day - December 25 Christmas Day) දවසේ වැදගත්කම - දෙසැම්බර්‌ 25 නත්තල් දිනය (Significance Of The Day - December 25 Christmas Day) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2021 Rating: 5

0 comments:

Post a Comment