මදුරුතලා [Madurutala] (Ocimum sp.)

මදුරුතලා [Madurutala] (Ocimum sp.) - Your Choice Way
🌿 තලා යනුවෙන්ද හඳුන්වන මදුරුතලා පඳුරක් ආකාරයට වර්ධනය වන කුඩා පැළෑටියකි. දේශීය Ocimum විශේෂ කීපයක් ඇතත් ප්‍රධාන වශයෙන් ගස් තලා / ඕ තලා (Ocimum gratissimum), හීං තලා / හීං මඳුරුතලා (Ocimum tenuiflorum) සහ සුවඳ තලා (Ocimum americanum ) යන විශේෂ ගැන සඳහන් වේ. හීං මඳුරුතලා ශාකයේම දම් පැහැති කොළ සහිත ප්‍රභේදයක් ඇති අතර එය ක්‍රිෂ්ණ තුල්සි ලෙස හඳුන්වයි. එය හින්දු භක්තිකයින් පූජනීයත්වයකින් සලකනු ලබන ශාකයකි. ගස්තලා ශාකයේ පත්‍ර සහ පුෂ්පමංජරිය සාපේක්ෂව තරමක් විශාලය. සියළු මඳුරුතලා ශාකවල වාෂ්පශීලී සුගන්ධ තෙල් අඩංගුවන බැවින් ආවේනික සුගන්ධවත් බවක් පවතී. මඳුරුතලා ශාකය සතුව වාතය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයක් පවතින හෙයින් නිවෙස් ආශ්‍රිතව රෝපණය කිරීම ශරීර සෞක්‍යයට යහපත් බව සඳහන්. එමෙන්ම මඳුරුතලා පැළ හොඳින් වියළාගෙන දිනපතා හවස නිවෙසේ දුම් ඇල්ලීම මඟින් මඳුරුවන් පලවා හැරීමත් විශබීජ නාශනයත් සිදුවේ. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල ගැමියන් බුලත් වෙනුවට තලා වර්ග කෑමට ගනී. ඖෂධීය වටිනාකම් රැසක් සහිත මඳුරුතලා ශාක Lamiaceae කුලයට අයත්ය.

🌿 හදවත් රෝ ග, දියවැඩියාව, කොලෙස්ටරෝල්, මැලේරියාව, පිළිකා, කැස්ස, පීනස, ස්වාසනාලිකා ප්‍රදාහය, අතීසාරය, ආමාශයික රෝග, අක්මා රෝ ග, කන් කැක්කුම, වමනය, පණු රෝ ග, රක්තවාතය, ජනන්‍ය මූත්‍රල පද්ධතියේ රෝග, ආහාර අරුචිය, සර්ප විෂ, බඹර මීමැසි කූඩලු මඳුරු ආදී සතුන්ගේ දෂ්ඨන වැනි රෝග අවස්ථා රාශියක් සඳහා ප්‍රතිකාර කිරීමට මඳුරුතලා කොළ, මුල් , ඇට ආදිය යොදා ගන්නා බව සඳහන් වේ.

🌿 "මේ ශාකය තුළ පවතින වාෂ්පශීලී තෛ ලය නිසාම මදුරුතලා කොළ, මුල්, කඳ වැනි මෙහි සෑම අංගයක්ම ශරීරයේ අස්ථි, සන්ධි, වේදනා නැති කිරීමට ඉතාමත් ගුණදායකය. යමෙක් සන්ධි වේදනාවකින් පෙළෙනවා නම් මදුරුතලා පත්‍ර ඇල් වතුරෙන් අඹරා පත්තුවක් ලෙස වේදනාව ඇති සන්ධිය වටා ආලේප කරන්න. ඒමෙන්ම විවිධ සැරව ගෙඩි, විසප්පු, කුෂ්ඨ වැනි රෝග හටගත් අවස්ථාවකදී මදුරුතලා කොළ එළඟි තෙලෙන් සියුම් වෙන්න අඹරා සැරව ගෙඩි, විසප්පු මතුපිට ආලේප කරන්න. ඉන් පසු ඉක්මනින් පැසවා සැරව ඉවත් වී ඉක්මන් සුව වේ. ඒ වගේම තමයි සැරව ගලා පැසවන සුව නොවන තුවාල ඇති අය මදුරුතලා කොළ තම්බා නිවාගත් වතුරෙන් වාර කිහිපයක් ඒ තුවාල සෝදන්න. තුවාලවල පවතින විස වර්ග මෙහි පවතින රසායනික තෙල නිසා විනාශයට පත්වෙලා ඉක්මන් සුවය අත් වේවි. මදුරුතලා කොළ, ටංකන (පුස්කර) සහ ගෙන්දගම් (ශෝධිත ගෙන්දගම්) සමව අරගෙන ඒවා දෙහි යුෂෙන් හෝ දොඬම් ඇඹුල්වලින් අඹරාගෙන දින කිහිපයක් කුෂ්ඨවල, දදවල ආලේප කරන්න. ඔබට එයින් ඉක්මන් සුවයක් අත් වේවී."

🌿 "ශරීරයේ ඇතුළතින් හටගන්නා රෝපීඩා සඳහාත් මදුරුතලා හොඳ ඖෂධයක්. ඒ අතර අද බහුතරයක් දෙනා මුහුණපාන ලෙඩක් තමයි සෙම රෝගය. නිරායාසයෙන් කටට සෙම එන රෝගයෙන් ගොඩක් දෙනා පීඩා විඳිනවා. එවන් සෙම් රෝගයෙන් පෙළෙන අය මදුරුතලා බීජ පත එකක් අරගෙන මුට්ටියකට දමා එයට වතුර පත හතරක් මිශ්‍ර කර පත එකක් වීමට සිඳුවා ගන්න. ඉන්පසු හොඳින් පෙරා උදේට පත භාගයයි සවසට පත භාගයයි දින කිහිපයක් බොන්න. සෙම් රෝගය නිට්ටාවටම සුව වේවි. ඒ වගේම ඔබට කෑම අරුචිය, උදරයේ දැවිල්ල, උදර වේදනා වගේ රෝග තත්ත්වයක් ඇති නම් මදුරුතලා කොළ ග්‍රෑම් 30ක් තරමක් වියළි ඉඟුරු ග්‍රෑම් 30ක් සමව අරගෙන සියුම්ව හොඳින් අඹරා කුඩා ගුළි 20ක් හදාගන්න. ඉන්පසු දිනපතා උදේ හවස ගුළිය බැගින් දින දහයක් ඒ ඖෂධීය ගුළිය ආහාරයට ගන්න. බඩේ අමාරු, කෑම අරුචිය, බඩ දැවිල්ල කියන මේ සෑම ලෙඩකටම එය ගුණය ලබා දෙන ඔසුවක්. මේ ඖෂධය ලොකු කුඩා වයස් භේදයකින් තොරව කිසිදු අතුරු ආබා ධයක් නොමැතිව ආහාරයට ගන්න පුළුවන් ඖෂධයක්. මැලේරියාව වැනි උණ සඳහා දේශීය ආයුර්වේදය තුළ වඩාත්ම සුදුසු ඔෟෂධය තමයි මදුරුතලා. ඒ නිසා මැලේරියා රෝගීන්ට මදුරුතලා මුල්, විෂ්ණු ක්‍රාන්ති, අමු ඉඟුරු කළං 4 බැගින් ගෙන මුට්ටියකට දමා වතුර පත 7ක් එකට සිඳුවා පෙරා දින කිහිපයයක් උදේ සවස පත භාගය බැගින් බොන්න දෙන්න. මැලේරියා රෝගය සුවකර ගැනීමට ඒ ඖෂධීය කෂාය ඉතාමත්ම ගුණදායකයි."

🌿 "කුඩා දරුවන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වගේ රෝග හටගත් විටදී අපේ මවුපියන් දරුවන්ට විවිධ බටහිර ප්‍රතිකාර කරන්න පුරුදු වෙලා ඉන්නවා. කුඩා දරුවන්ගේ එවන් රෝග සඳහා කිසිදු අතුරු ආබාධයක් නොමැති ඖෂධයක් සාදාගන්නා හැටි සඳහන් වෙනවා. ඔබට එය නිවෙසේ සිටම සාදාගන්නා ආකාරය මම කියන්නම්. ඒ ඔෟෂධයේ නම "තුලසීපත්‍ර පැණිය". මේ පැණිය සාදාගන්නේ මෙහෙමයි. මදුරුතලා අමු කොළ අරගෙන හොඳින් පිරිසුදු කරලා කොටා ගෙන එහි යුෂ මිරිකා පෙරාගන්න. මදුරුතලා යුෂ ප්‍රමාණය වගේ හරි අඩක් එයට සීනි මිශ්‍ර කරලා ළිපේ තබා පැණි පදමට එනතුරු රත් කරන්න. ඒ ආකාරයට මඳගින්නේ කකාරා ගත් තුලසිපත්‍ර පැණිය ළිපෙන් බා නිවුණු පසු වාතාශ්‍රය නොයන බෝතලයකට දමා මම පෙර සඳහන් කළ රෝග තිබෙන දරුවන්ට (වැඩිහිටියන්ටද කම් නැත) උදේ සවස තේ හැඳි එක බැගින් දිනපතා බොන්න දෙන්න. නාසයෙන් ලේ ගලන තත්ත්වයේ පීනසට වගේම කැස්සට, ඇදුමට, සෙම්ප්‍රතිශ්‍යාවටත් මේ ඖෂධීය පැණිය ගුණදායකයි."

🌿 "පිළිකාව කියන්නේ අද වන විට බහුල වශයෙන් සමාජගතව පවතින රෝගයක්. පෙණහලු පිළිකා, අක්මා පිළිකාවලට අද වන විට අපේ රටේ අහිංසක ජනතාව අතරින් විශාල පිරිසක් ගොදුරුවෙලා. පෙණහලු සහ අක්මා ආශ්‍රිතව හටගත් පිළිකා සුව කිරීමටත් එවන් පිළිකා හටගැනීමේ අවදානම නැති කිරීමටත් ඇති ප්‍රබලතම ඖෂධයක් තමයි මදුරුතලා කියන්නේ. මදුරුතලා පත්‍ර මඳ පවනේ වියළා ගෙන තරමක් කුඩු කරලා සුළං නොවදින බෝතලයකට දමා තේ කොළ වෙනුවට උණුවතුරින් මදුරුතලා කොළ තම්බා ඔබට පානය කරන්න පුළුවන්. එම ඖෂධීය උණුසුම් බීම පානයට ගැනීම තුළින් හටගත් පිළිකා සුව කරනවා වගේම පිළිකා හටගැනීමේ අවදානමත් තුරන් කරනවා."

🌿 "කලින් කලට සමාජයේ විවිධ වෛරස් උණ වර්ග හට ගනී. ඒ සෑම උණ රෝග තත්ත්වයකදීම ක්‍ෂණික වේදනා නාශක පෙති භාවිතයට නොගෙන ශරීරයට හිතකර දේශීය ඖෂධයක් මදුරුතලාවලින් සාදාගන්නා ආකාරයද ජේෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. මදුරුතලා තම්බා පෙරාගත් වතුරට එනසාල් කුඩු ස්වල්පයක්, සීනි ස්වල්පයක් මිශ්‍ර කරලා බොන්න. ඇඟ පත වේදනා වෛරස්උණ තත්ත්වයන් එයින් නිට්ටාවටම සුව වෙනවා." "ඒ වගේම තමයි අපේ තරුණ දරු දැරියන් මුහුණපාන ප්‍රධානම ගැටලුවක් තමයි කුරුලෑ වසංගතය. වෙළෙඳපොළේ ඇති විවිධ රසායනික ද්‍රව්‍යය මුහුණේ ආලේප කළාම සමට හානි වෙනවා වගේම එහි අතුරු ආබාධයක් ලෙසට කුරුලෑ හටගන්නවා. එවන් කුරුලෑ හටගත් අය දිනපතා උදෑසන මදුරුතලා කොළ කොටා ගත් යුෂ කුරුලෑවල ආලේප කර පැයක පමණ කාලයක් රැඳී සිට මුහුණ සෝදන්න. දින කිහිපයක් මේ ක්‍රියාව කරනවනම් ඔබට පැහැපත්, නිරෝගී, ලප කැළැල්, කුරුලෑ ද නැති දිදුලන සමක් ලබන්න පුළුවන්. යමෙක් සර්ප දෂ්ටනයකට ලක් වුණා නම් ප්‍රතිකාර සඳහා ගෙන යෑමට පෙර සර්පයා දෂ්ට කළ ස්ථානයේ මදුරුතලා කොළවලින් ගත් යුෂ ආලේප කර ප්‍රතිකාර සඳහා රැගෙන යන්න. විෂ රඳවා තබා ගැනීමේ හැකියාවක් ඒ තුළ පවතිනවා."

මූලාශ්‍ර රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍ෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින් සහ අන්තර්ජාලයෙන්
මදුරුතලා [Madurutala] (Ocimum sp.) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මදුරුතලා [Madurutala] (Ocimum sp.) මදුරුතලා [Madurutala] (Ocimum sp.) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 18, 2021 Rating: 5

0 comments:

Post a Comment