ලෙඩට දුකට දිව ඔසුවකි අට්ටික්කා (Attikka)

ලෙඩට දුකට දිව ඔසුවකි අට්ටික්කා (Attikka) - Your Choice Way
සකු බසින් ‘ක්ෂිර වෘක්ෂ’ නාමයෙන් හැඳින්වෙන අත්තික්කා ගස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ මෙන් ම තෙත් කලාපයේ වනාන්තරවලද දිය සීරාව රැඳී ඇති තැන් සහ ඇළ, දොළ, ගංගා ඉවුරු ආශ්‍රිතව බහුලව දක්නට ලැබෙන පරිසරයට අලංකාරයක් එකතු කරන සදාහරිත මධ්‍යම ප්‍රමාණයේ දර්ශනීය වෘක්ෂයකි.

ඒ බව ප්‍රකට කළ අත්තික්කා ගස අප ජීවත් වන බිමෙහි ජල පෝෂණය සුරකින ජල උල්පත් ආරක්‍ෂා කරන පරිසරයට මහත් පල ලබා දෙන වෘක්ෂයක් බව මේ වන විටත් පත්ව ඇත.

මේ අපූර්වත්වය නිසාම එකල පටන් බෞද්ධයන්ගේ පිළිගැනීම අනුව කෝණාගම බුදුන්ට සෙවන දුන් බෝධි වෘක්ෂය අත්තික්කා ලෙස හැඳින්විය හැක. තවද හින්දු බැතිමතුන්ගේ භක්ති ආදරයට පත්ව ඇති මෙම වෘක්ෂය ‘ගණදෙවි’ වාසභවන ලෙස සලකන බැවින් අදටත් හින්දු බැතිමතුන් විසින් පුද සත්කාර සලසා බැති සිතින් සතුටු වෙති. අධ්‍යාත්මික චින්තනය කියාපාන අත්තික්කා වෘක්ෂයේ වටිනාකම වැඩි වන්නේ ගෙඩි හටගන්නා සමය ඒමත් සමඟය.

සෑම අවුරුද්දකම නොවැම්බර් මාසය වන විට ඵල හට ගනී. ක්ෂිරවෘක්ෂ ගසේ, කඳේ අතු රිකිලිවල තැනින් තැන හටගන්නා කොළ පැහැති ළපටි ගෙඩි නෙත් සිත් බැඳගනී. මල් නොමැතිව ගෙඩි හටගන්නා ශාකයක් ලෙස හැඳින්වෙන අත්තික්කා වෘක්ෂය ඊට හේතුව වශයෙන් මේ පිළිබඳව සොයා බැලුවොත් පුෂ්පය ගෙඩියක ආකාරයෙන් දැක ගන්නට ලැබෙන අතර එම ගෙඩි පැසී රතු පාට වීමත් සමඟ ක්ෂිර වෘක්ෂ ගසේ ආකර්ශනය වැඩිවේ. කොදුරුවන්ද වසඟයට පත් කරන ඉදුණු ගෙඩි ඖෂධීය ගුණයෙන් ඉහළ බව කිව හැක.

එහෙයින් අත්තික්කා වෘක්ෂයේ ඖෂධීය ගුණය වටහාගත් හෙළ ඉසිවරුන් ඖෂධ ප්‍රකරණය සඳහා ගසේ, කොළ, පොතු, ගෙඩි, මුල් කිරි රෝග අවස්ථාවන්ට අනුකූලව රෝගීන්ගේ සුවපත්භාවය උදෙසා භාවිතාවට ගෙන ඇත. එනම්: ස්ත්‍රි රෝග මුත්‍ර ව්‍යුහ ආශ්‍රිත රෝග දියවැඩියාව, අර්ශස් රෝග, අන්ත්‍රික රෝග, චර්ම රෝග, ශමනය සඳහා අත්තික්කා ගුණදායක ඔසුවක් බව සඳහන් කළ හැක.

අත්තික්කා වෘක්ෂයේ ප්‍රභේද 3 කි එනම්
1. උදුම්බර
2. නදිඋදුම්බර
3. කාකො දුම්බර වශයෙනි.

සිංහල භාෂාවෙන් – අත්තික්කා, අට්ටික්කා දිඹුල්

සංස්කෘත භාෂාවෙන් – උදුම්බර, ක්ෂිර වෘක්ෂ භේමදුග්ධ, මධුසංඥ කාලස්කන්ධ

දෙමළ භාෂාවෙන් – අත්තී ඛාරසා

හින්දි භාෂාවෙන් – ගුලර් ඩුමර්

ඉංග්‍රීසි භාෂාවෙන් – Cluster Fig, Country Flg,

උද්භිද විද්‍යා නාමය – Ficus Tacemosa Linn (Ficus glome rata Roxb) Moraceae හෙවත් වට නුග යනු කුලයයි

රසායනික උපදාන – ටැනින් සිලිකා සහ පොස්පරස් අම්ල මැලියම් හා ක්ෂාර ඇතුළත් වේ.

ඖෂධීය ගුණ කර්ම – රසයෙන්, කෂාය මධුරය ගුණයෙන් රුක්‍ෂය, විපාකයෙන් කටුකය වීර්යෙන් ශීතය.

දෝෂ අනුව සැලකීමේදී – සෙම් සහ පිත් ශමනය කරයි. රක්ත දෝෂනාශකයි.

බාහිර වශයෙන් – ශේථහර වේදනා ස්ථාපන ව්‍රණ රෝපණ ව්‍රණ ශෝධක සහ වර්ණකාරක ගුණයෙන් යුක්තය (ඉදිමුම්) වේදනා සහ ව්‍රණයන්හිදී අත්තික්කා කිරි ආලේප කරයි සමේ විවර්ණතාවයට දළු ප්‍රලේපයට යෝග්‍යයි. මෙම කොළ තම්බා ගත් ජලය ව්‍රණ ශෝධනයට යෙදිය හැකිය. (චර්ම රෝග සඳහා)

අභ්‍යන්තර ක්‍රියා සැළකීමේදී – රක්ත සංවහන ක්‍රියාවලියේ රක්ත – පිත්ත ශාමක රක්ත ශෝධක ගුණයෙන් යුක්ත වන හෙයින් රත්පිත සඳහා පොතු හෝ ගෙඩි යොදනු ලැබේ.

ආහාර ජීර්ණ පද්ධතියේදී – අග්නි සාධක ස්තම්භක ගුණයක් වන බැවින් රක්තාතිසාර ප්‍රවාහිකා සහ ග්‍රහණියෙහිදී පොතු කෂාය සහ ළපටි ගෙඩි ව්‍යංජන ලෙස ද යොදති. ළදරු අතීසාරයට සහ දන්තෝද්හ්දයේ (දත් එන කාලයේදී) අත්තික්කා කිරි යොදනු ලැබේ.

ප්‍රජනන කාර්යයේදී – ගර්භාෂයේ ශෝථ නශයි. ශුක ස්තම්භන ගුණයෙන් යුක්තයි. කාන්තාවන්ට බහුලව වැළඳෙන රක්ත ප්‍රදර ස්වේත ප්‍රදර රෝගයන්හිදී අත්තික්කා පොතු කෂාය විශිෂ්ටය. උත්තර වස්තියේදී ද පොතු කෂාය හෝ කොළ සහ සාරය යොදයි. ගර්භ පෝෂණයට ද හිතකාරීවේ.

මුත්‍ර ව්‍යුහවේදි – මුත්‍ර සංග්‍රහනීය ගුණයට අත්තික්කා පොතු කෂාය හෝ ඉදුණු ගෙඩි යුෂ ප්‍රශස්ත වේ. ශාරීරික ව්‍යුහ ආශ්‍රිතවැ හොඳින් ක්‍රියාකරන ඖෂධයකි. එසේම කාන්තා රෝග ඇතුළු රෝග රාශියක් සඳශා මහත් පල ගුණ දෙන ස්වභාවධර්මයා විසින් පරිසරයට දායාද කළ ඖෂධයේ වටිනාකම එකතු කළ ඖෂධ යෝග කීපයක් මෙසේ සඳහන් කළ හැක

■ රත්පිතට රක්ත ප්‍රදරයට – ශුක්‍ර මෝචනයට

ඉදුණු අත්තික්කා ගෙඩි අඹරා මිරිකා ගත් යුෂට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීම, එසේම ඉදුණු අත්තික්කා ගෙඩි යුෂ කෂාය හෝ ශීත කෂාය බීමට ගත හැක.

දියවැඩියාව සඳහා අත්තික්කා ගෙඩි චූර්ණ මී පැණි සමඟ.

■ විදුරුමස ඉදිමුමට – අත්තික්කා පොතු කෂාය

■ පිත් රස ඇඹුල් රස උගුරට ඒමට – අත්තික්කා ගෙඩි තම්බා බීම.

■ ග්‍රන්ථි ගෝථයට – අත්තික්කා කදෙන් හා අතුවලින් ලබාගත් කිරි ආලේප කිරීම

■ සමේ ඇතිවන ලප කැලැල් සහ විවර්ණතාවය සඳහා අත්තික්කා දළු අඹරා ආලේප කිරීම ආදී ඖෂධයෝග සඳහා භාවිතා කළ හැක.

👉 විශ්මිත හෙල ඔසු
ලෙඩට දුකට දිව ඔසුවකි අට්ටික්කා (Attikka) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෙඩට දුකට දිව ඔසුවකි අට්ටික්කා (Attikka) ලෙඩට දුකට දිව ඔසුවකි අට්ටික්කා (Attikka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 01, 2021 Rating: 5

1 comments:

  1. එහෙයින් අත්තික්කා වෘක්ෂයේ ඖෂධීය ගුණය වටහාගත් හෙළ ඉසිවරුන් ඖෂධ ප්‍රකරණය සඳහා ගසේ, කොළ, පොතු, ගෙඩි, මුල් කිරි රෝග අවස්ථාවන්ට අනුකූලව රෝගීන්ගේ සුවපත්භාවය උදෙසා භාවිතාවට ගෙන ඇත. එනම්: ස්ත්‍රි රෝග මුත්‍ර ව්‍යුහ ආශ්‍රිත රෝග දියවැඩියාව, අර්ශස් රෝග, අන්ත්‍රික රෝග, චර්ම රෝග, ශමනය සඳහා අත්තික්කා ගුණදායක ඔසුවක් බව සඳහන් කළ හැක.
    lightweight cotton sheet blanket
    cotton polyester blend sheets

    ReplyDelete