තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ / බස්නාහිර ඉන්න ලක්ෂ 5ක් ගමේ ගියොත් 20දාටත් ඇදිරි නීතිය ඉවත් කරන්න බෑ : අනෙකුත් පුවත් | Your Choice Way

තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ
කොවිඩ් - 19 වෛරසය හෙවත් කොරෝනා ආසාදනය වූ මෙරට රෝගීන් ගණන 197 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඒ තවත් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
බස්නාහිර ඉන්න ලක්ෂ 5ක් ගමේ ගියොත් 20දාටත් ඇදිරි නීතිය ඉවත් කරන්න බෑ
කොරෝනා අධි වසංගතයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බස්නාහිර පළාතේ තාවකාලිකව පදිංචි වී සිටින පිරිසට සිංහල අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට අවස්ථාව ලබාදුනහොත් ලබන 20 වැනිදායින් පසුවත් පවතින ඇඳිරිනීතිය ලිහිල් කිරීමට අවස්ථාව උදා නොවන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්‍ත්‍රික්කවල තාවකාලිකව පදිංචි ලක්ෂ පහළොවකට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන්ගෙන් ලක්ෂ 5 කට ආසන්න පිරිසක් සිය ගම්බිම් බලා යාමට රජයෙන් ප්‍රවාහන පහසුකම් ඉල්ලා තිබේ. එහෙත් පවතින තත්ත්වය අනුව වෙනදා මෙන් එක බස් රථයක ගමන් කළ මගීන් ප්‍රවාහනයට බස් රථ තුනක්වත් යෙදවිය යුතුව තිබේ.

මීට අමතරව මෙම ප්‍රදේශවලින් පිට පළාත්වලට යන ජනතාව නිවසේදීම දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක්කරන අතර ඒ අතර කොරෝනා ආසාදිතයකු සිටියහොත් ඉන් සිය පවුලේ සාමාජිකයන්ට එතැනින් සිය ඥාතීන්ටත් වැලඳී පසුව ගම්මාන පුරා එය පැතිරීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළ මේ තත්ත්වයෙන් පවත්වාගෙන ගියහොත් ලබන 20 වැනිදායින් පසුව කොටස් වශයෙන් ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ අවධානයක් යොමුව ඇති බවද ඔහු සඳහන් කළේය.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 17 ලක්ෂයට ආසන්න වෙයි
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ලෝක වාසීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 16 ලක්ෂ 97,533ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛසරය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාවද 102,687ක් ලෙසයි සටහන් වන්නේ.

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 502,049ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර ඊයේ දිනයේදී නව ආසාදිතයන් 33,483ක් හදුනාගෙන තිබෙනවා.

ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාවද ඊයේ දිනයේදී 2,037ක් කින් ඉහළ ගොස් ඇති අතර, දැන් එම මරණ සංඛ්‍යාව 18,719ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

ඉතාලියේ මරණ සංඛ්‍යාවද මේ වනවිට 18,849ක් වී ඇති අතර, ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද ඊයේ 634කින් ඉහළ ගොස් මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 16,081ක් ලෙස සටහන් වුණා.

ප්‍රංශයේ මරණ සංඛ්‍යාවටද ඊයේ දිනයේ තවත් 987ක් එක්වූ අතර, එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 13,197ක්.

අසල්වැසි ඉන්දියාවෙන්ද නව ආසාදිතයන් 875ක් ගතවූ පැය 24 තුළ හඳුනාගෙන ඇති අතර, ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව 7,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ පැය 24 තුළ මරණ 22ක් ඉන්දියාවෙන් වාර්තාවූ අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 249ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර,කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කෙරුණු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබෙනවා.

මීට දින 10කට පෙර කොරෝනා වෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් සුවය ලැබීමේ මාවතට පිවිස ඇති බවයි බි්‍රතාන්‍ය අගමැති කාර්යාලය නිවේදනය කළේ.

ඔහුට ඔක්සිජන් ප්‍රතිකාර ලබා දී ඇති නමුදු වෙන්ටිලේටර් යන්ත්‍රයට සම්බන්ධ නොකළ බවයි බි්‍රතාන්‍ය සෞඛ්‍ය සේවාව සඳහන් කළේ.

අගමැති බොරිස් ජොන්සන් දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වීම පිළිබඳව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සතුට පළ කළා.

කොරෝනා පරීක්ෂණයට බයේ රෝහලෙන් පැන්න 19 හැවිරිදි තරුණයාට සිදුවුන දේ
කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට ඇති වූ සැකයක් මත  වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව සිටි 19 හැවිරිදි තරුණයෙකු එම පරීක්ෂණයට මුහුණ දීමට බියවී අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පලා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අදාල තරුණයා පලා යන අවස්ථවේදී  පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ තරුණයා ගැටුමකදී පහරකෑමට ලක්ව ප්‍රතිකාර සඳහා  රෝහල් ගත කර තිබූ අතර පසුව ඔහු කොරෝනා වෛරසය ශරීර ගත වී ඇත්දැයි තහවුරු කර ගැනීමේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. ඒ අනුව ඊට බියවූ තරුණයා රෝහලෙන් පලාගොස් ඇති අතර ඔහු ඔයාමඩුව මාර්ග බාධකයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ.

තන්තිරිමලේ - කිඹුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම තරුණයා පුත්තලමේ සිට පැමිණ ඇති බව රෝහල් ගත කිරීමෙන් පසුව අනාවරණ වී ඇති අතර ඔහුට කොරෝනා ආසාදනය වී නොමැති බවද අදාළ පරීක්ෂණයේදී තහවුරු වී තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස අත්අඩංගුවට ගත් තරුණයා නැවත අනුරාධපුර රෝහල වෙත භාර දීමට පොලිසිය කටයුතු කර තිබුණා.

කොරෝනා මරබිය මැද ඉන්දියාව හා පාකිස්ථානය මරා ගනී
ඉන්දීය හමුදාව සහ පකිස්ථාන හමුදාවන් අතර ජම්මු හා කාශ්මීර ඉදිරි ආරක්ෂක වළල්ලේ ගැටුම් හට ගෙන තිබෙනවා.

අද දහවල් කාලයේදී පාකිස්ථාන හමුදාව විසින් ඉන්දිය භට පිරිස් ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කිරිමත් සමග දෙපාර්ශවය අතර ප්‍රබල ගැටුම් හට ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම ගැටුම් ජම්මු හා කාශ්මීර ප්‍රාන්තයේ කේරන් ප්‍රදේශයේදී හටගෙන තිබෙනවා. පාකිස්ථාන හමුදාවේ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉන්දීය හමුදාව විසින් එල්ල කළ ප්‍රහාර වලින් පාකිස්ථාන හමුදාවේ ආයුධ ගබඩාවක්‌ විනාශවී ඇති බව සනාථ වී ඇත.

එමෙන්ම පාකිස්ථාන හමුදාවේ බර අවි ස්ථාන ගත කර ඇති ස්ථාන සහ ත්‍රස්තවාදීන් පුහුණු කරනු ලබන කඳවුරුද ඉලක්ක කර ගනිමින් ඉන්දීය හමුදාව ප්‍රහාර දියත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 5ට ඔන්න මෙන්න- මරණ 18000 පනී
ඇමෙරිකා එක්සත් ජනපදය ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සිටින රට ලෙස මේ වනවිට 500,000ක ආසාදිත සීමාවකට පැමිණ තිබේ.

ඒ අනුව අද උදෑසන වනවිට එරටින් වාර්තා වූ ආසාදිතයන් ගණන 492,240ක් වන අතර, සිදුව තිබූ මරණ සංඛ්‍යාව 18,350කි. එම මරණවලින් වැඩිම වාර්තා වීම නිව්යෝක් නගරයෙන් වන අතර එම අගය 5,820කි.

එමෙන්ම මේ දක්වා එරට රෝහල්ගතව සිටි කොවිඩ්-19 රෝගීන්ගෙන් සුවය ලබා තිබුණේ 28,664ක් තරම් සාපේක්ෂව ඉතා සුළු අගයකි.

කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් - ජගත් මහලේකම් අනතුරු අගවයි
ලොව පුරා රජයන් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියදී ත්‍රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

විශේෂයෙන් එමගින් ජෛව රසායනික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබදව ඔවුන්ට ඉඟියක් ලබාදෙන බවයි මහලේකම්වරයා පවසා ඇත්තේ.

වෛරස් සාම්පල රාජ්‍ය නොවන කණ්ඩායම් අතට පත්වීම අවදානම්සහගත වන අතර, එමගින් ලොව පුරා ජන සමාජයන් වෙත දැවැන්ත විනාශයක් සිදුකළ හැකි බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගේ අදහසයි.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අමතමින්.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික ගැටුම් විසදුම් ක්‍රියාවලි පිළිබද අවධානය ගිලිහී ගොස් ඇති බවයි.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ / බස්නාහිර ඉන්න ලක්ෂ 5ක් ගමේ ගියොත් 20දාටත් ඇදිරි නීතිය ඉවත් කරන්න බෑ : අනෙකුත් පුවත් | Your Choice Way තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු මෙරටින් හඳුනාගැනේ / බස්නාහිර ඉන්න ලක්ෂ 5ක් ගමේ ගියොත් 20දාටත් ඇදිරි නීතිය ඉවත් කරන්න බෑ : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2020 Rating: 5

0 comments:

Post a Comment