ගීතයක කතාවක්...මතුගම සමන් කුමාර ඝාතනය (Saman Kumara)

ගීතයක කතාවක්...මතුගම සමන් කුමාර ඝාතනය (Saman Kumara) - Your Choice Way

ඓතිහාසික අපරාධ මානව ශිෂ්ඨාචාරය ආරම්භ වූ දා පටන්, දරුවන් ආරක්ෂා කිරීම ශිෂ්ඨත්වයේ සම්මුතයක් ව පැවතුණා. කාගේ හෝ දරුවෙක් – කාගේදැයි නො බලා ආරක්ෂා කිරීම, මිනිසෙකු තුළ අවම වශයෙන් හෝ පැවතිය යුතු මිනිස් ගුණාංගවලින් එකක් ලෙසටයි සැළකෙන්නේ.

එහෙත් මුදල් ලබා ගැනීමේ අරමුණින් හෝ වෙනත් පාපී සිතිවිල්ලක් නිසා, දරුවෙකු ගේ ජීවිතය බිල්ලට දෙන නො මිනිසුන් නිසා සිදුවූ ඛේදවාචක ද ස්වල්පයක් නොවෙයි.

අද අපි ඔබට කියන්නේ, ලංකාවේ පළමු වරට කප්පම් සඳහා දරුවෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ කතාවයි. එකල රටක් හඬවන්නට සමත් වූ මතුගම සමන් කුමාර ඝාතනය මෙතැන් සිට ඔබට කියවීමට ලැබෙනවා.

මතුගම තිලකරත්න ස්ටෝර්ස්......
මතුගම නගර මධ්‍යයේ තිබුණු තිලක නයන ස්ටෝර්ස් හෙවත් තිලකරත්න තොග කඩේ, ඒ කාලයේ ප්‍රදේශයේ පිහිටා තිබුණු ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක්. (අද මෙම ස්ථානයේ බාටා පාවහන් අලෙවි සැලක් පිහිටා තිබේ.)  සිල්ලර බඩු අලෙවි කළ තොග කඩයක් වූ මෙම ව්‍යාපාරික ආයතනයේ හිමිකරු වුණේ ජේ. බී තිලකරත්න මුදලාලි. ධනවත් ව්‍යාපාරිකයෙක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි තිලකරත්න මුදලාලිට පිරිමි දරුවන් තිදෙනකු සහ දියණියන් දෙදෙනකු ලෙස දරුවන් පස් දෙනෙකු සිටියා.

මේ සිදුවීමේ කතා නායක සමන් පවුලේ පස් වැනියා. 1970 වසරේ උපන් සමන් මේ සිදුවීම වනවිට වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක්.

ඉගනීමට ඉතා දක්ෂ වූ සමන්, කවදා හෝ ඉංජිනේරුවෙක් වීමේ දැඩි කැමැත්තෙන් පසුවුණා.

“අද ඉස්කෝලේ යන්න ඕනම ද පුතේ....?”

1984 අප්‍රේල් 5 වැනි උදේ, සිරිත් පරිදි අවදි වුණු සමන් කුමාර, ඉස්කෝලේ යන්න ලෑස්ති වෙමින් හිටියා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් නිවාඩුව පටන් ගැනීමට නියමිතව තිබුණේ එදිනයි. සමන් අධ්‍යාපනය ලබමින් සිටියේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ නම වෙනි ශ්‍රේණියේ.

එදා තිලකරත්න මුදලාලි හාමිනේ, කාමරයට එනකොට සමන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා.

“අද ඉස්කෝලේ යන්න ඕනම ද පුතේ? ඔන්නොහේ ගෙදර ඉන්න..”

පළමු වාරයේ අවසන් දිනය නිසා එදා ඉස්කෝලේ ඉගැනීමක් නම් සිදු නොවෙන බව සමන් වගේම, සමන්ගේ අම්මා තිලකරත්න මුදලාලි හාමිනේත් දැනගෙන හිටියා.  ඒ සමන් එදා ඉස්කෝලේ ගිහින් තේරුමක් නැහැ කියලයි අම්මට හිතුණේ.

“හෙට ඉඳන් නිවාඩුනේ අම්මේ…” කියමින් ලැහැස්ති වුණු සමන්, පාසල් යන්න ගෙදරින් එළියට බැස්සා.

ඒ වෙද්දී සමන්ගේ දෙවැනි වැඩිමල් සොහොයුරා වුණු ආනන්ද තිලකරත්නත් ගෙදර හිටියා. ලොකු අයියා සරත් වගේම, තාත්තත් ඒ වෙද්දී ගෙදර හිටියේ නැහැ.

“අද මොකද බං ඉස්කෝලේ යන්නේ…නිකං රස්තියාදු ගහන්න නේද?” එළියට බහින පොඩි මල්ලි සමන්ගෙන් ආනන්ද අයියා ඇහුවා.

සමන්ට පොඩි බයිසිකලයක් තිබුණා. පයින් යන දුරින් තිබුණු ඉස්කෝලෙට යන ගමනේ ටික දුරක් සමන් යන්නේ මේ පොඩි බයිසිකලේ. බයිසිකලෙන් තිලක නයන ස්ටෝර්ස් දක්වා යන සමන්, බයිසිකලේ එතන දාලා ඉතුරු ටික දුර පයින් ඇවිදගෙන යන එක සිරිතක්.

එදත් පුරුදු විදිහට ම සමන් බයිසිකලේ අරගෙන ගිහින් තාත්තගේ කඩේ නවත්තලා පයින් යන්න පටන් ගන්නවා.

මේ කඩෙත් බයිසිකලයක් තියෙනවා. ඒක කඩේ වැඩකරන අයට කෑම බීම ගෙන්න වගේම හදිසි ගමන්වලට පාවිච්චි කරන බයිසිකලය. අලුත්ම රැලේ වර්ගයේ බයිසිකලයක් වුණු එය එදා උදේ, සමන් කඩේට එන්න කළින් කඩේට ආපු කෙනෙක් විසින් හදිසි ගමනක් යන්න ඉල්ලගන්නවා.

ඒ කෙනා සරත්ගේ මිතුරෙකු වුණු ධර්මසිරි.

කඩේට ලියුමක් – ළමයා අපි ළඟ
එදා දවස පුරුදු විදිහට ගත වෙනවා.   දවල් එකොළහට – දොළහට විතර, තිලකරත්න මුදලාලිගේ අසල්වැසි ගෙදරකට, පාරේ යන බස් එකකින් බැහැපු නො හඳුනන කෙනෙක් ලියුම් කෑල්ලක් ගෙනත් දීලා ආපහු දුවල ගිහින් බස් එකේ නගිනවා. 

ඒ ලියුමේ පිට පැත්තේ ලියල තියෙන්නේ තිලකරත්න මුදලාලි කියයි. තමන්ගේ ගෙදරට වැරදීමකින් ආපු මේ ලියුම ඒ ගෙදර අය විසින් තිලකරත්න මුදලාලිගේ ගෙදරට භාර දෙනවා.

ඒ ලියුමේ තියෙන්නේ සමන් ව පැහැරගත් බවත්, සමන්ව නිරුපද්‍රිතව භාර දෙන්න නම්, රුපියල් ලක්ෂ එක හමාරක් තමන්ට ලැබෙන්න සලස්වන්නත් කියලයි. කොපි පොත් කොලේක ලියපු මේ ලියුමේ සමන් විසින් ලියපු කොටසකුත් තියෙනවා. මේ අය ඉල්ලන ගානක් දීලා තමන්ව බේරගන්න කියල සමන් එහි ඉල්ලලා තියෙනවා.

ගෙදර අය ඉක්මනින් ම මේ ලියුම කඩේට අරන් යනවා.

ඒ වෙද්දී කඩේ ඉන්නේ සමන්ගේ ලොකු අයියා සරත් සහ දෙවැනි අයියා ආනන්ද. තාත්තා, තිලකරත්න මුදලාලි ව්‍යාපාරික වැඩකට ගිහින්.

මේ ලියුම කාගේ හරි නො මනා විහිළුවක් වෙන්නත් පුළුවන් කියල හිතන සරත්, කලබල නොවී කඩේ දුරකතනයෙන් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විදුහලේ විදුහල්පති ව අමතලා සමන් ගැන සොයා බලනවා. සමන්ගේ නම, එදින පැමිණීමේ නාම ලේඛනයේ නැති බව විදුහල්පතිවරයා විසින් සරත් ට දැනුම් දෙනවා.

මේ වෙද්දී ධර්මසිරි උදේ  අරගෙන ගිය බයිසිකලය ආපහු කඩේට ගෙනත් දීලා.  මේ බයිසිකලේ ම නැගලා ඉස්කෝලෙට ගිහින් සමන් ව හොයන්න සරත් පියවර ගන්නවා. සමන් කොහෙවත් නැහැ කියල තේරුණාට පස්සේ සරත් ඉක්මනින් ම ව්‍යාපාරික වැඩකට ගිහින් හිටපු තාත්තට පණිවිඩය යවනවා.

දවල් එක – දෙක වෙද්දී, ගමේ ම අය මේ ආරංචිය නිසා තිලකරත්න මුදලාලිගේ ගෙදරට එකතු වෙනවා.

උදව්වට ආ අසල්වාසීන්.....
තමන්ගේ පුතා පැහැරගෙන කියල දැනගන, තිලකරත්න මුදලාලි ගෙදර එනකොට ගමේ ම සෙනඟ ගෙදර රැස්වෙලා. ඒ අතරේ තිලක නයන කඩෙන් බඩු ගත්ත මුදලාලිලත් ඉන්නවා.

“කවුරුත් බය වෙන්න එපා… කප්පම් සල්ලි මම අරන් යන්නම්…” එහෙම කියන්නේ රැස්වෙලා හිටපු සෙනඟ අතරේ හිටපු ධර්මසිරි.

“මම කීයටවත් කප්පම දෙන්නේ නැහැ. අද මම මේ කප්පම දුන්නොත්, හෙට මේ වැඩේම වෙන ළමයෙකුට කරයි. ඒ නිසා මම කප්පම දෙන්නේ නැහැ… ” තිලකරත්න මුදලාලි ස්ථිර ලෙස ම කියා සිටිනවා.

“කප්පම දීලා ළමයා බේරාගමු…” කියන මතයේ තමයි හුඟක් දෙනා ඒ වෙලාවේ ඉන්නේ. ධර්මසිරිත් ඒක පුන පුනා කියනවා.

කිසිම දවසක නො දන්න වාහනේක නගින්න එපා. නො දන්න අය එක්ක කොහෙවත් යන්න එපා කියල සමන් ට නොයෙක් වර කර තිබූ අවවාදය ඔහු හොඳින් ම පිළිපදින බව දන්න තිලකරත්න මුදලාලි, ඒ වෙලාවේ සෙනඟ අතරේ හිටපු නිමලකාන්ත කියන මුදලාලිටයි ධර්මසිරිටයි මෙහෙමත් කියනවා.

“ළමයා නො දන්න අය එක්ක කොහෙවත් යන ළමයෙක් නෙමෙයි. ගියොත් යන්නේ ඔය දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක විතරයි…”

මේ වෙලාවේ සමන්ගේ අයියලා දෙන්නා වුණු සරත් සහ ආනන්ද තව දෙයක් නිරීක්ෂණය කරනවා. ඒ තමයි උදේ බයිසිකලය අරන් යද්දිත්, ආපහු භාර දෙද්දිත්, මුහුණ පුරා රැවුලක් වවාගෙන හිටපු ධර්මසිරි මේ වෙද්දී රැවුල සම්පූර්ණයෙන් ම මුඩු කරලා බව.

සවස් වෙද්දී තිලකරත්න කඩේට දුරකථන ඇමතුමකුත් එනවා. ඒකෙන් කියවෙන්නේ පොලිසියට මේ බව දැනුම් දුන්නොත් සමන් ව මරණ බව යි.

හැබැයි තිලකරත්න මුදලාලි පොලිසියට මේ බව දැනුම් දෙනවා.

වැඩි උනන්දුව ගැන දැඩි සැකයක්...
මේ වෙද්දී මතුගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ පියල් බරණගේ මහතා. පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් අමරසිංහ මහතා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා.

නිතර තිලක නයන කඩේ වැඩ කරපු සරත් සහ ආනන්ද හැරෙන්නට, තිලකරත්න මුදලාලිගේ අනෙක් දරුවන් මතුගම නගරවාසීන් පෙනුමෙන් හෝ නමෙන් හඳුනාගෙන නො සිටීම පොලිසියට තොරතුරු ලැබීම මන්දගාමී වෙන්න හේතුවක් වෙනවා.

මේ වෙද්දී ධර්මසිරි මේ සිදුවීම ගැන ගෙදර අයටත් වඩා මහන්සි වෙන එක ගැන තිලකරත්න පවුලට තිබ්බේ සැකයක්. ඒ නිසාම ධර්මසිරි දිහාට ඇහැ ගහගෙන ඉන්න මේ ගෙදර අය කටයුතු කරනවා. ධර්මසිරි කොහේ ගියත් මේ ගෙදර කෙනෙක් එයා පස්සෙන් යනවා.

මේ වෙද්දී, තමන්ගේ ගෙදරට ලියුම් තිබුණොත් එය තැපැල් නො කොට ඉක්මනින් තමන් වෙත ගෙනවිත් භාර දෙන ලෙසට ඉල්ලීමක් මතුගම තැපැල් කන්තෝරුවට කිරීමට තිලකරත්න මුදලාලි කටයුතු කරනවා. ඒ වෙද්දී පුවත්පත්වල පවා මේ ගැන පළ වුණු වාර්තා නිසා තැපැල් කන්තෝරුවත් මේ සිදුවීම ගැන දැනුවත් වෙලා ඉන්නවා.

ඒ අතරේ ධර්මසිරි, පාසල් සිසුවෙකුව නංවාගෙන බයිසිකලයකින් කළුතර දෙසට යනු දුටු බවට කුඩා පාසල් දැරියක් සිය මව්පියන්ට කළ ප්‍රකාශය ගැන පොලිසියේ අවධානය යොමු වෙනව.

මේ අතරේ වරින් වර, සල්ලි දෙන්න කියල කප්පම්කරුවන්ගෙන් කඩේට ඇමතුම් එනවා. පාසල් නිවාඩුවට වහල තියෙන කලවාන පාසලට සල්ලි ගෙනත් දෙන්න කියල මේ ඇමතුම්වල කියනවා.

තව ලියුම් දෙකකුත් එනවා. මේ දෙකේම සමන්ගේ අත් අකුරු තිබෙනවා.

මේ අතරේ ධර්මසිරි, තිලකරත්න කඩේ බයිසිකලයෙන් ම තැපැල් කන්තෝරුවට යනවා. ඒ අතරේ තිලකරත්න මුදලාලිගේ ගෙදර හිටපු හිතවතුන් දෙදෙනෙකුත්, ධර්මසිරිට හොරා ඔහු පසුපස යනවා.

ධර්මසිරි ලියුමක් තැපැල් පෙට්ටියට දානවා.

ධර්මසිරි අත්අඩංගුවට.....
මේ වෙද්දී සමන් අතුරුදන් වෙලා දින පහක් ගත වෙලා. 

තිලකරත්න පවුලේ හිතවතුන් ඉක්මනින් ම ධර්මසිරි තැපැල් පෙට්ටියට දාපු මේ ලියුම ගන්නවා. එහි තියෙන්නේ සල්ලි දෙන්න තියෙන අන්තිම දවස අද කියලයි. මේ ලියුමෙත් සමන්ගේ අත් අකුරු තියෙනවා.

මේ සාක්ෂි මත පදනම් ව පොලිසිය ධර්මසිරි ව අත්අඩංගුවට ගන්නවා. ළමයා ගෙනිච්චේ තමන් බවත්, ළමයා තවමත් බෝපිටිය කන්දේ ඉන්න බවත් ධර්මසිරි කියනවා.

ධර්මසිරි ගේ කට උත්තරය මත, එදා රෑම බෝපිටිය කන්ද නගින පොලිසියට එන්නේ මළ සිරුරක් නරක වෙන දුර්ගන්ධය.

බෝ පිටිය කන්දේ රබර් ගසක් උගුල්ලපු වලක ගල් දෙබොක්කාවක තිබිලා, නරක් වෙමින් තිබූ සමන් කුමාරගේ සිරුර පොලිසිය සොයාගන්නවා. ඒ වෙද්දී ඔහුගේ පාසල් සපත්තු දෙකෙන් එකක ලේස් පටිය, ඔහුගේ ගෙල වටේ ගැටගහලා තිබෙනවා.

ඒ රෑම මළ සිරුර තිලකරත්න මුදලාලිට අයිති ලොරියක පටවලා මරණ පරීක්ෂණය සඳහා බොරැල්ලට ගෙනියනවා.

දෛවෝපගත ලෙස මේ ලොරියේ නම වන්නේත් ‘සමන් කුමාර’.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව සිටි අධිකරණ වෛද්‍ය විශේෂඥ එස්. එම්. සල්ගාදු මහතා, ගෙල මිරිකීම නිසා හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව නිගමනය කරනවා.

ධර්මසිරිගේ සාක්ෂිය මත ඔහුගේ ඥාතියෙකු වුණු කලවාන නාවලකන්ද පැත්තේ පදිංචි පිටිගලගේ ප්‍රේමරත්න නමැති 23 හැවිරිදි පුද්ගලයාවත් අත්අඩංගුවට ගන්නවා. ඔහු හිටපු උප සේවා පොලිස් කොස්තාපල්වරයෙක්.
මේ අතරේ මේ සිදුවීම ගැන කවි කොළත් අච්චු ගැහෙනවා.

“තිලකරත්න ස්ටෝර්ස් හි හොඳ මුදලාලි
කඳුළැලි සලනවා වහගෙන දොරලෑලි”

සුළමුල හෙළිවෙයි.....
සුළු ව්‍යාපාරිකයෙකු වුණු බී. ඒ. ධර්මසිරි පීරිස්, තිලක නයන කඩේ එක්ක ගනුදෙණු කළේ හුඟ කාලෙක ඉඳන්.

පොඩි කඩයක් දාගෙන හිටපු ධර්මසිරි, තිලකරත්න මුදලාලිගේ ලොකු පුතා සරත්ගේ යාලුවෙක්. පාසල් යන තරුණියක් මව්පියන්ට හොරෙන් කැන්දාගෙන ආවට පස්සේ ධර්මසිරි ට පවුල් බර දැනෙන්න පටන්ගන්නවා. මේ වෙද්දී පාඩු පිට කෙරෙන කඩේ වහන ධර්මසිරි, තිලකරත්න පවුලෙත් උදව් ඇතුව එක එක දේවල් කරනවා. මේ කාලය වෙද්දී ඔහුගේ වයස අවුරුදු 24 යි.

ඉක්මනින් සල්ලි ටිකක් හොයාගන්න ධර්මසිරිට ඕන වෙන්නේ මේ අතරේ.

සමන් ව පැහැරගෙන කප්පමක් ගත්තොත්,  සල්ලි ටිකක් එක පාර අතට ගන්න පුළුවන් කියල ඔහු හිතන්නෙ ඔය අතරේ.

ඔහු මේ වැඩේට දුරින් නෑයෙක් වගේම තමාගේ ගජ මිතුරෙකු වුණු ප්‍රේමරත්නවත් හවුල් කරගන්නවා.

අප්‍රේල් පස් වැනිදා උදේම තිලකරත්න කඩේ බයිසිකලය ඉල්ලගෙන යන ධර්මසිරි, සමන් එනකම් මතුගම ටවුමේ කරක් ගහනවා.  සමන් පා ගමනින් එද්දී ඔහු ඉදිරියට යන ධර්මසිරි, අද ඉස්කෝලේ නොයා බෝපිටිය කඳු මුදුනට ගිහින් ඈතින් පේන කඳු වැටි සහ මුහුද බලමු කියල සමන්ව රවට්ටලා බයිසිකලයට නංවා ගන්නවා.

මතුගම සිට රවුම් පාරකින් නාරාවිල අභයාරාම පාරෙන් යටදොළවත්ත පාරටත්, එතනින් බෝපිටිය වත්තටත් සමන්ව මේ බයිසිකලේ ම අරන් යන්න ධර්මසිරි කටයුතු කරනවා.

බෝපිටිය කන්ද පාමුල ගෙදරක් තිබුණු ප්‍රේමරත්න, මෙතනදී මේ දෙන්නට එකතු වෙනවා.

කඳු මුදුනට සමන්ව ගෙනිහින්, ඔහුට බල කරලා, ඔහුගේම පොතකින් ඉරාගත් කොළවල ලියුම් හතරක් ලියවගන්න ධර්මසිරි කටයුතු කරනවා.

බය වුණු සමන් ඔවුන්ගෙන් බේරී පලා යාමට උත්සාහ කරනකොට ඔහුගේ මේස් එකක් ගලවලා කටේ ඔබන ධර්මසිරි, ඉන් පසුව සපත්තු ලේස් එකකින් සමන්ගේ ගෙල සිර කොට ඔහුව මරා දමනවා.

ඉන් පසුව සමන්ගේ පාසල් බෑගය තමන්ගේ වත්තේ වල දමලා, බයිසිකලය ආපහු තිලකරත්න කඩේට ගිහින් දීලා ධර්මසිරි රැවුල බා තමන්ගේ පෙනුම වෙනස් කරගන්නවා.

ඒ අතරේ ප්‍රේමරත්න, ධර්මසිරිගේ විස්තරය අනුව තිලකරත්න ගෙදරට ලියුම දෙන්න යන්නේ බස් එකේ. බස් එකෙන් බැහැල ලියුම දීලා ආපහු බස් එකට නගින්න හදිස්සියට ඔහු ලියුම දෙන්නේ අසල්වැසි ගෙදරකට. ඒ අත්වැරදීමකින්.

නඩු තීන්දුව ලැබෙයි.....
රත්නපුර අධිකරණයෙත්, එතනින් කළුතර මහාධිකරණයටත් යන මේ නඩුව, අන්තිමට ඇහෙන්නේ ගාල්ලේ. ඒ ප්‍රදේශයේ පැතිර තිබෙන කතා නිසා තමන්ට අසාධාරණයක් වෙනවා කියල විත්තිය කළ ඉල්ලීමකට අනුව.

නඩුවේ තීන්දුව ලැබෙන්නේ 1987 වසරේ දී.

එදා ධර්මසිරි, පාසල් සිසුවෙකුව නංවාගෙන බයිසිකලයකින් කළුතර දෙසට යනු දුටු බව ප්‍රකාශ කළ දැරියද ඇතුළුව සාක්ෂිකරුවන් තිස් පස් දෙනෙකුගේ සාක්ෂි මෙහිදී විමසා බැලෙනවා.

තීන්දුව දීමට පෙර දිනයක, ජූරි සභිකයන් විසින්, එදා ධර්මසිරි සමන්ව බයිසිකලයේ තබා රැගෙන ගිය මාර්ගයේ ම අදාළ ස්ථානවලට යමින් නිරීක්ෂණය කරන්නට කටයුතු කර තිබුණා.

විත්තිකරුවන් දෙදෙනා ම, සමන් කුමාර පැහැරගෙන යාම, කප්පම් ඉල්ලීම සහ ඝාතනය යන චෝදනාවලට වරදකරුවන් වීමෙන් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරුණා.

පසු විපරම....
විත්තිකරුවන් දෙදෙනා බන්ධනාගාරයේදී අනෙක් සිරකරුවන්ගේ දැඩි පහරදීම්වලට ලක් වුණා. බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා සුව වීමෙන් පසු මේ දෙදෙනා අනෙක් සිරකරුවන් සමඟ ඉතා සුහදව කටයුතු කරන්නට වුණා.

ඔවුන් දෙදෙනා ම පසුකාලයේ මේ අපරාධය ගැන ඉතාමත් දරුණු ලෙස පසු තැවෙමින් කාලය ගත කළ බවත් වාර්තා වනවා.

ඉතා මිහිරි ලෙස පිරිත් කීමේ හැකියාව තිබු ඔවුන් බන්ධනාගාරදී දැඩිව ආගම දහමට නැඹුරු වී තිබුණා.

පිටිගලගේ ප්‍රේමරත්න, අසනීප තත්ත්වයකින් බන්ධනාගාරයේදී ම ජීවිතයෙන් සමුගන්නවා.

බී. ඒ. ධර්මසිරි පීරිස් විසි වසරකට පසු  නිදහස් ව පැමිණ අප්‍රකට ව වාසය කරනවා.

සිරගතව සිටි කාලය පුරාවටම ඔවුන් දෙදෙනාව බැලීමට ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුත් නො පැමිණීමත් විශේෂත්වයක්.
සමන්ගේ මවත් පියාත් මේ වනවිට ජීවිතයෙන් සමු අරන්.

එදා සමන් කුමාර නඩුවේ සාක්ෂි දුන් සාක්කිකාර දැරිය අද පොලිස් කාන්තාවක් ලෙස සේවය කරනවා. පරීක්ෂණ පැවැත් වූ පොලිස් ස්ථානාධිපතිවරයා වූ බරණගේ මහතා අද ජීවතුන් අතර නැහැ.

පසු කාලයක මේ සිදුවීම අලලා ඇන්ටන් ජෝන්ස් මහතා විසින් ‘පන්තියේ පළවෙනියා වුණේ සමන් කුමාර’ ගීතය ගායනා කරනවා......

...............අන්තර්ජාලය ඇසුරෙනි...............දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගීතයක කතාවක්...මතුගම සමන් කුමාර ඝාතනය (Saman Kumara) ගීතයක කතාවක්...මතුගම සමන් කුමාර ඝාතනය (Saman Kumara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 16, 2022 Rating: 5

0 comments:

Post a Comment