පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?)

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?) - Your Choice Way

ජීවයේ සම්භවය සිදුවූයේ කෙලෙසකද යන ප්‍රශ්නය වසර දහස් ගනනක සිට පැවත එන තවමත් නොවිසදුන ගැටලුවක්. ජීවයේ සම්භවය පිලිබද විවිධ විද්‍යාත්මක මෙනම ආගමික මත රැසක් මේ වන විට ඉදිරිපත් වී තිබෙනවා. මේ අතරින් පෘථිවියට ජීවය අභ්‍යවකාශයෙන් පැමිනියා යන මතය හෙවත් “පැන්ස්පර්මියා” වාදයට හිමි වන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක්.

ග්‍රහක, උල්කාශ්ම, හා ධූමකේතු ආධාරයෙන් ජීවය විශ්වයේ එක් ස්ථානයක සිට ඊට පරිබාහිර ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝක දක්වා ගමන් කරන බව පැන්ස්පර්මියා වාදයට පදනම් වනවා....

ඉතිහාසය....
පැන්ස්පර්මියා යනු ග්‍රීක වචනයක්. එහි අරුත පැතිරුන බීජ ලෙස අර්ථ දැක්විය හැකියි. ක්‍රි. පූ. 5 වන සියවසේ ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයකු වන “ඇනෙක්සගොරස්” ගේ අදහස් මෙම වාදයට පදනම් වනවා. ඔහුට අනුව ජීවයේ බීජ විශ්වය පුරාම විසිරී පැතිරී පවතින අතර ඒවා අභ්‍යවකාශය හරහා ග්‍රහ වස්තු අතර ගමන් කිරීම සිදු කරනු ලබනවා.

පැන්ස්පර්මියා වාදය පිලිබද නූතන මතය මීට බොහෝ සෙයින් සමාන වනවා. ඒ අනුව ග්‍රහක, උල්කාශ්ම, හා ධූමකේතු ආධාරයෙන් ජීවය විශ්වයේ එක් ස්ථානයක සිට ඊට පරිබාහිර ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝක දක්වා ගමන් කරන බවත් සදහන් වෙනවා.

මෙම මතය ඉදිරිපත් කිරීමට පුරෝගාමී වූ විද්‍යාඥයන් ලෙස මහාචාර්‍ය ෆ්‍රෙඩ් හොයිල් හා කීර්තිමත් ශ්‍රී ලාංකික මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ හැදින්විය හැකියි. ඔවුන්ට අනුව ධූමකේතු ප්‍රධාන ලෙස ජීවය විශ්වය පුරා ගෙන යාමට දායක වන ප්‍රවාහන මාධ්‍ය වනවා. ධූමකේතුවක් සමන්විත වන්නේ පාශාන හෝ පාංශූමය න්‍යශ්ටියක් වටා පිහිටන අයිස් ස්ථරයකිනුයි. ඊට අමතරව ඒ තුල කාබනික සංයෝග රාශියක් අඩංගු වනවා. ඒ අනුව ධූමකේතු තුල ජීවී  සෛල සදහා අවශ්‍ය වන කාබනික සංයෝග සහ ජලය පැවතීමට හැකියාව පවතිනවා පමනක් නොව අහිතකර පාරජම්බුල සහ අන්තරීක්ශ කිරණ වලින් ආරක්ශාවද ලැබෙනවා.

කවුද මේ මහාචාර්ය වික්‍රමසිංහ.....
1939 උපත ලබන මහාචාර්ය වික්‍රමසිංහයන් මූලික අධ්‍යාපනය ලබන්නේ කොලඹ රාජකීය විද්‍යාලයෙන්. පසුව ඔහු ලංකා විශ්ව විද්‍යාලයෙන් (University of Ceylon: පසු කාලිනව එය කොලඹ, පේරාදෙණිය, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර ලෙස ස්වාධීන විශ්ව විශ්ව විද්‍යාල හතරකට බෙදුනි) ගණිතය පිලිබද මූලික උපාධියත්, එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්‍ය උපාධියත් හිමිකරගන්නා ලදී. පසුකාලීනව තාරකා ජීව විද්‍යාව පිලිබදව පර්යේශන ගනනාවක් ඔහු විසින් සිදු කරන ලදී. ඒ ඇසුරින් ඔහු රචිත පර්යේශන පත්‍රිකා ගනන 350 අධිකය.

1982-84 වසරවලදී ශ්‍රී ලංකා ජනාධිපති J.R. ජයවර්ධන මහතාගේ ජනාධිපති උපදේශක වශයෙන් කටයුතු කල ඔහු මහනුවර ජාතික මූලික අධ්‍යන ආයතනය ඇති කිරීමට ක්‍රියා කල අතර එහි මුල්ම අධ්‍යක්ශ තනතුරටද පත්විය. එමෙන්ම විද්‍යාත්මක හෝ තාක්ශනික ජයග්‍රහන වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ලැබිය හැකි ඉහලම ගෞරවය වන විද්‍යා ජෝති සම්මානය 1992 වසරේ ඔහුට පිරිනමන ලදී.

2005 වසරේ එක්සත් රාජධානියේ ජීවත් වන බලවත්ම ආසියානුවන් 100 ලැයිස්තුවට ඇතුලත් වූ ඔහු මේ වන විට බකින්හැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ශ ලෙස තම පර්යේශන ඉදිරියට කරගෙන යනු ලබයි. ඊට අමතරව දේශීය සහ විදේශීය විශ්ව විද්‍යාල හා පර්යේශන ආයතන ගනනාවක ගෞරව මහාචාර්‍ය පදවිද ඔහු විසින් හොබවනු ලබයි.

ඇලන් හිල්ස් උල්කාශ්මය....
1984 වසරේ දෙසැම්බර් මස 27 වනදා ඇන්ටාර්ක්ටිකාවේ ඇලන් හිල්ස් ප්‍රදේශයේ ගවේශනයක නිරත වූ භූ විද්‍යාඥයන් පිරිසකට උල්කාශ්මයක් හමු වුනා. එහි සාම්පල අංකය වුයේ 1539 යි. එතෙක් ලොව සොයාගෙන තිබූ අසාමාන්‍යතම උල්කාශ්මය බවට එය පත්වෙනු ඇතැයි හෝ තවත් දශකයකට පසු ඇමරිකානු ජනපති බිල් ක්ලින්ටන් මෙම උල්කාශ්මය පිලිබද සිය අදහස් පලකරනු ඇතැයි එම පිරිස නොසිතන්නට ඇති.

පසුව සිදු කරන ලද පරීක්ශන අනුව මෙම උල්කාශ්මය අගහරු ග්‍රහයා ගේ පාශාන කොටසක් බවට තහවුරු වුනා. නමුත් වඩාත්ම විශ්මයජනක සොයා ගැනීම වුයේ එය අධි විභේදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ශය හරහා නිරීක්ශනය කලවිටයි. එහිදි දකින්නට ලැබුනේ පෘථිවි ක්ෂුද්‍ර ජීවින්ට සමාන පෙනුමකින් යුක්ත වූ ක්ෂුද්‍ර පොසිල සමූහයක්. මේවායේ ප්‍රමානය නැනෝ මීටර 20 – 500 අතර ප්‍රමානයක් වූ අතර, ගෝලාකාර, දන්ඩාකාර සහ බෙදී ගිය හැඩයන්ගෙන් යුක්ත වුණා.

කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අජීව රසායනික ප්‍රතික්‍රියා මගින්ද මෙබදු ලක්ශන උල්කාශ්ම මත ඇතිවිය හැකි බවයි. උදාහරනයක් ලෙස මෙම උල්කාශ්මයේ රසායනික සංයුතිය පරික්ශා කර බැලූ විට එහි තිබී ඇමයිනෝ අම්ල කිහිපයක් වෙන් කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි විය. නමුත් පසුව තහවුරු වූයේ එම ඇමයිනෝ අම්ල වල පෘථිවියෙන්ම එකතු වූ ඒවා බවයි. එමනිසා පිටසක්වල ජීවය පිලිබද ප්‍රබල සාධකයක් ලෙස මෙම උල්කාපාතය හැදින්වීමේ හැකියාවක් නෑ. නමුත් පසුකාලීනව බාහිර ජීවය සෙවීමේ කටයුතු සදහා හොද ආරම්භයක් මෙමගින් ලැබුනා. වර්තමානය වන විට උල්කාශ්ම තුල තිබී ජීවයට පදනම් විය හැකි සංකීර්ණ කාබනික ස0යෝග ගනනාවක් හදුනාගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී තිබෙනවා.

අභ්‍යවකාශයේ ජීවය නොනැසී පැවතිය හැකිද...?
අභ්‍යවකාශයේ ජීවින්ට නොනැසී ජීවත් වීමට ඇති හැකියාව පිලිබද එක්සත් ජනපදයෙන්, සෝවියට් සංගමයෙන් මෙන්ම වෙනත් රටවල් කිහිපයකින්ම පර්යේශන රාශියක් සිදු කර තිබෙනවා. ඒ අනුව අභ්‍යවකාශයේ නොනැසී පැවතිය හැකි දිලීර වර්ග, බැක්ටීරියා වර්ග, බැක්ටීරියා බීජානු සහ ලයිකන වර්ග ගනනාවක් හදුනා ගෙන තිබෙනවා. එමෙන්ම ටාගිග්‍රේඩ් යනුවෙන් හැදින්වෙන සත්ව විශේෂයටද අභ්‍යවකාශ තත්ව යටතේ තම ජීවය පවත්වාගෙන යාමට හැකියාව පවතින බවට සොයාගෙන තිබෙනවා. ඒ අනුව ග්‍රාහක, ධූමකේතු,සහ උල්කාශ්ම ඇසුරු කරගෙන ජීවය පවත්වාගෙන යාමට හා විශ්වය පුරා සංචරනය කිරීමට ඇතැම් ජීවින්ට හැකියාව පවතින බව යන මතය බැහැර කිරීමට නොහැකි වනවා.

සාමාන්‍ය ජීවින්ට අහිතකර වන උශ්නත්ව, පීඩන, රසායනික තත්ව හමුවේ වුවද ජීවත් විය හැකි ක්ෂුද්‍ර ජීවී අකාර රාශියක් පෘථිවි අභ්‍යන්තරයේ, ගිනිකදු, උණුදිය උල්පත්, ආදිය ආශ්‍රිතව දැකගත හැකියි. මෙබදු ජීවී ආකාර වලට ජීවත්වීමට හිතකර පරිසර ගනනාවක් අප සෞරග්‍රහ මණ්ඩලය තුලම ඇති ග්‍රහයන් හා උපග්‍රහයන් ආශ්‍රිතව හදුනා ගත හැකියි. මීට උදාහරන ලෙස බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් ගේ ඇතැම් උපග්‍රහයන් හැදින්විය හැකියි. යුරෝපා, ටයිටන්, එන්සෙලාඩස් වැනි චන්ද්‍රයන් තුල ද්‍රව ජලය අඩ0ගු සාගර පවතින බවට ඉතාමත් ප්‍රබල සාධක මේ වන විට ලැබී තිබෙනවා ඒ අනුව ජීවය යනු අප සිතනවාට වඩා විශ්වය තුල සුලභ ස0සිද්ධියක් වීමේ හැකියාව ඉහල විය හැකියි. ඒ සදහා සාධක නුදුරු අනාගතයේම අපට ලබාගැනීමට හැකි වනු ඇති.

සෞරග්‍රහ මණ්ඩලය තුලම ජීවයක් පැවතිය හැකි ස්ථාන පහක්......
පෘථිවියෙන් පරිබාහිරව ජීවයක් පැවතිය හැකිද යන්න බොහෝ විද්‍යාඥයන් මෙන්ම සාමාන්‍ය ජනයාද අතර පවතින විවාදාත්මක මාතෘකා වලින් එකක්. පිටසක්වල ජීවින් පිලිබද හෝඩුවාවක් ලබා ගැනීමට රටවල් ගනනාවකම අභ්‍යවකාශ පර්යේශන ආයතන යුහුසුලුව කටයුතු කරනවා. යෝධ රේඩියෝ දුරදක්න වල සහයෙන් පිටසක්වල රේඩියෝ සංඥා වලට සවන් දීමේ සිට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටතට යවන ලද වොයෙජර් යානා වල පෘථිවිය හා සම්බන්ධ තොරතුරු ඇතුලත් ස්වර්ණමය තැටි අඩංගු කරවීම ආදිය, පිටසක්වල ශිශ්ඨාචාර හා සන්නිවේදනය කිරීමට සිදු කරන ලද උත්සාහයන් ලෙස හැදින්විය හැකියි.  

මිනිසාට ජීවිතය රැක ගත හැකි ප්‍රශස්ථ මට්ටම් ඉතා සීමාකාරීයි. නමුත් මිහිතලය මත මිනිසාට අමතරව තවත් ජීවී විශේෂ ට්‍රිලියනයකට වඩා දිවි ගෙවනවා. මේ අතර ඇතැම් ජීවී විශේෂ මිනිසා ඇතුලුව බොහෝමයක් ජීවින්ට සාපෙක්ශව ජීවයට අහිතකර කටුක තත්වයන්ට ඔරොත්තු දීමට හැඩ ගැසී තිබෙනවා. ජලය නටමින් පවතින උණුදිය උල්පත් වල සිට සදාකාලිකව අයිස් වලින් වැසී පවතින ඇන්ටාක්ටිකාවේ අයිස් දක්වාත්, කදු මුදුන් වල සිට මරියානා ආගාධය තෙක් පමනක් නොව, ඊටත් පහලින් පිහිටි පෘථිවි කබොලේ පහල ස්ථර දක්වාත්, ජීවය පැතිරී පවතින අතර ඇතැම් ජීවින්, මිනිසාට මාරාන්තික විකිරණ, උශ්නත්ව, පීඩන, හමුවේ නොනැසී ජීවත් විය හැකි අනුවර්තන වලින් යුක්ත වනවා. එම කාරනය සිතේ තබාගෙන අපි සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහලෝක හා චන්ද්‍රයන් කීපදෙනෙක් පිලිබදව විමසා බලමු.

සිකුරු ග්‍රහයා....
පෘථිවියේ නිවුන් සොහොයුරිය ලෙස හැදින්වුවද සිකුරු ග්‍රහයා මතුපිට පවතින්නේ පෘථිවියට සමාන තත්වයක් නම් නෙවෙයි. සිය වායුගෝලයේ ඇති අධික කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය නිසා ඇතිවන හරිතාගාර ආචරනය හේතුවෙන් සිකුරු මතුපිට උශ්නත්වය, හිරුට ලගින්ම පිහිටන බුද ග්‍රහයාටත් වඩා ඉහල වනවා. එපමනක් නොව, සිකුරු මතුපිට පීඩනය පෘථිවියේ මෙන් අනූ ගුණයක් පමන වනවා. නමුත් සිකුරු පෘශ්ඨයෙන් කිලෝමීටර පනහක් පමන ඉහල ගිය විට වායු පීඩනය පමනක් නොව උශ්නත්වයද පෘථිවි තත්වයන්ට ඉතාමත් ආසන්න වනවා. මෙම මට්ටමේ පිහිටා ඇත්තේ සිකුරු ග්‍රහයාගේ සල්ෆියුරික් අම්ල වලාකුලු ස්ථරයයි. මෙම වලාකුලු තුල කිසියම් ආකාරයක ජීවයක් පැවතීමේ හැකියාවක් පවතිනවා. පෘථිවියේද වලාකුලු වල ජීවත් වන ක්ශූද්‍ර ජීවී ආකාර මෙන්ම අධික ආම්ලික පරිසර වල ජීවත් වන ක්ශුද්‍ර ජීවී ආකාරද ගනනාවක් හදුනා ගත හැකියි. ජීවී ප්‍රතික්‍රියා හේතුවෙන් විමෝචනය වන රසායනික ද්‍රව්‍ය කිහිපයක්ම සිකුරු වායුගෝලයේ නිරීක්ශනය කර ඇති අතර ඒවායේ සම්භවය පිටසක්වල ජීවයද, නැත්නම් ස්වභාවික හේතුවක්ද යන්න පිලිබද තවමත් තහවුරු වී නැහැ.

අඟහරු ග්‍රහයා....
අඟහරු ගෙන් පැමිනි උල්කාශ්මයක් තුල අඩංගු වූ බැක්ටීරියා ෆොසිල වලට සමාන වූ ව්‍යුහයන් ගැන මීට පෙරත් අපගේ ලිපියක පලවූවා ඔබට මතක ඇති. අඟහරු ග්‍රහයා මත ජීවය පවතින බව සියවස් කීපයක සිටම පැවතගෙන එන මතයක්. පෘථිවියේ සමානව එහි ධ්‍රැවාසන්න අයිස් තට්ටු තැන්පත් වී ඇති ආකාරය මෙන්ම ඒවා සෘතු විපර්‍යාස සමග වෙනස් වෙන අයුරුද දකින්නට පුලුවන්. නමුත් අඟහරු මත ඇත්තේ පෘථිවියට සාපෙක්ශව ඉතාමත් තුනී වායුගෝලයක්. එමෙන්ම සූර්යාට තරමක් දුරින් පිහිටා තිබීම නිසා එහි ඇත්තේ ශීත දේශගුනයක්. ගිම්හානයේ උනුසුම් දිනක වුවද එහි උශ්නත්වය වන්නේ සෙල්සියස් අංශක විස්සක් පමන. අඟහරු මතුපිට ශීත කාන්තාරයක් ලෙස පිහිටියත් එහි පෘශ්ඨය තුල පිහිටා ඇති අයිස් ස්ථර තුල ජීවය පිහිටා තිබීමට විශාල ඉඩකඩක් පවතිනවා. අඟහරු ගේ පරිසර තත්ව යටතේ ජීවත්විය හැකි පෘථිවි බැක්ටීරීයාවන් රැසක්ම පවතින අතර ඊට සමාන ආකාරයේ ජීවයක් වර්තමානය වනවිට අඟහරු මත පැවතිය හැකියි.   

බ්‍රහස්පති ග්‍රහයාගේ යුරෝපා චන්ද්‍රයා....
ඔබ ආතර් සී ක්ලාර්ක් මහතාගේ 2061 අභ්‍යවකාශ වීර චාරිකාව කියවා ඇත්නම් යුරෝපා චන්ද්‍රයා අමතක වෙන්නට හේතුවක් නෑ. අපගේ චන්ද්‍රයාට වඩා මදක් කුඩා වුවද යුරෝපා මත ඇති ජලය ප්‍රමානය පෘථිවියේ සාගර ධාරිතාවය මෙන් දෙගුණයක් වනවා. යුරෝපා වායුගෝලයේ වැඩි ප්‍රතිශතයක් සමන්විත වන්නේ ජීවයට හිතකර ඔක්සිජන් වායුවෙන්. නමුත් මෙම වායුගෝලය පෘථිවි වායුගෝලයට වඩා බෙහෙවින් තුනී නිසා වායු පීඩනය ඉතාමත් අවම වනවා. යුරෝපා පෘශ්ඨය සමන්විත වන්නේ කිලෝමීටර පහලවක් විස්සක් පමන ගනකමැති අයිස් තට්ටුවකින්. ඊට පහලින් ඇත්තේ ලවණ දියෙන් නිර්මාණය වී ඇති භූගත සාගරයක්. ඒ හේතුවෙන් යුරෝපා චන්ද්‍රයා මත පෘථිවියට සමානව චුම්භක ක්ශේත්‍රයක් ඇතිවී තිබෙනවා. මෙම ලිපියේ ආරම්භයේ සඳහන් වී ආකාරයේ භූගත යමහල් හා ගිනිකඳු ආශ්‍රිතව ජීවය හටගැනීමේ ඉහල සම්භාවිතාවයක් මෙන්ම එම ජීවින් වඩාත් සංකීර්ණ බහු සෛලික ජීවීන් බවට පරිණාමය වීමේ විභවයද යුරෝපා චන්ද්‍රයා තුල පවතිනවා.

සෙනසුරු ග්‍රහයාගේ ටයිටන් චන්ද්‍රයා...
සෞරග්‍රහ මන්ඩලයේ පෘථිවිය හැරුනු කොට තම පෘශ්ඨය මත ද්‍රව තත්වයේ සාගර පවතින එකම ස්ථානය වන්නේ ටයිටන් උපග්‍රහයායි. සූර්යාට ඉතාමත් ඈතින් පිහිටා තිබෙන නිසා ටයිටන් මත උශ්නත්වය සෙල්සියස් අංශක සෘණ 179 තරම් අඩු අගයක් වනවා. එම තත්ව යටතේ ජලය නම් තව දුරටත් ද්‍රව තත්වයේ පවතින්නේ නෑ. එමනිසා ටයිටන් මත ඇති සාගර, ගංගා සහ විල් නිර්මාණය වී ඇත්තේ ඊතේන්, මිතේන් වැනි හයිඩ්‍රෝකාබනික සංයෝග වලින්. ටයිටන් උපග්‍රහයකු වූවාට එහි විශාලත්වය බුධ ග්‍රහයාටත් වඩා වැඩි වනවා. එමෙන්ම පෘථිවියට සමාන ලෙස එහි පවතින්නේ නයිට්‍රජන් බහුල වායුගෝලයක්. මෙහි වායු පීඩනය පොලවට වඩා සියයට හැටකින් පමන ඉහල වනවා. එමනිසා ටයිටන් මත දැනෙන වායු පීඩනය සමාන වන්නේ පෘථිවියේ මීටර පහලවක් ගැඹුරේ කිමිදෙන විට දැනෙන පීඩනයටයි. පෘඨිවියට අතිශයින් සමානකමක් දක්වන ටයිටන් උපග්‍රහයා මත ජීවය හටගැනීමේ හැකියාවත් ඉතාමත් ඉහලයි. නමුත් ඉතා අඩු උශ්නත්ව තත්වය හේතුවෙන් මෙහි හටගන්නා ජීවය පෘථිවියට වඩා සහමුලින්ම වෙනස් ජෛව රසායනික සංයුතියකින් සමන්විත විය හැකියි.

සෙනසුරු ග්‍රහයාගේ එන්සෙලාඩස් චන්ද්‍රයා....
සමකාසන්න අරය ශ්‍රී ලංකාවේ දිගටත් වඩා කුඩා වන මෙම උපග්‍රහයා සුවිශේෂී වන්නේ එහි පෘශ්ඨයෙන් අභ්‍යවකාශයට එල්ල කරනු ලබන ජල ධාරාවන් හේතුවෙන්. එය එන්සෙලාඩස් ගේ අයිස් මතුපිටට යටින් ඇති ද්‍රව ජලය සහිත අභ්‍යන්තර සාගරයක් ගැන මනා ඉගියක් ලබා දෙනවා. එමෙන්ම එය උපග්‍රහයා අභ්‍යන්තරයේ උණුදිය උල්පත් ක්‍රියාකාරිත්වය ඉතා ඉහල මට්ටමක පවතින බවටද සාධයකක් වනවා. බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයාට සමාන පරිසරයක් පවතින එන්සෙලාඩස් මතද ජීවය හට ගැනීමේ ඉහල හැකියාවක් පවතිනවා. ඒ පිලිබද වැඩිදුර සාධක අනාගත අභ්‍යවකාශ පර්යේශන හරහා අනාවරනය කර ගැනීමට හැකිවනු ඇති.

පසුවදන.....
පිටසක්වල ජීවය යන වචනය ඇසුන සැනින් අපගේ සිතේ මැවෙන්නේ හොලිවුඩ් සිනමාවේ නිතර දකින්නට ලැබෙන ආකාරයේ කොල පැහැති, විශාල ඇස් හා හිස් සහිත, පියාඹන පීරිසි වලින් ගමන් ගන්නා මානවරූපී ජීවීන්. නමුත් සත්‍ය පිටසක්වල ජීවීන් ඊට වඩා බොහෝ වෙනස් වීමට ඉඩ තිබෙනවා. බොහෝ දුරට ඔවුන් සමාන වනු ඇත්තේ අපගේ පරිසරයේ හමුවන ක්ශූද්‍ර ජීවී ආකාර හෝ ගැඹුරු සාගර පත්ලේ ජීවත් වන ජීවී විශේෂ වලටයි...

වැඩි විස්තර සඳහා චායාරූප බලන්න


...............අන්තර්ජාලය ඇසුරෙනි.....................දැනුම සොයන්න මේ පාරෙන් එන්න

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?) - Your Choice Way
1 . ධූමකේතුවක මතුපිටින් ද්‍රව්‍ය සහ වායු විමෝචනය වන අන්දම යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ රොසෙටා යානයේ කැමරාවට හසුවූ අයුරු....

2 . මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ...

3 . ඇලන් හිල්ස් උල්කාශ්මය....

4 . උල්කාශ්මයේ අධි විභේදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ශ ඡායාරූපයක්. මෙහි පැහැදිලිව පෘථිවිය මත දක්නට ලැබෙන බැක්ටීරියාවකට සමාන ව්‍යුහයක් දක්නට ලැබේ...

5 . ටාඩිග්‍රේඩ් සත්වයෙක්....

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?) - Your Choice Way
1 . වොයෙජර් අභ්‍යවකාශ යානයේ බදේ සවි කර ඇති ස්වර්ණමය තැටිය සහ එම ස්වර්ණමය තැටියේ අඩංගු දත්ත ලබා ගන්නා ආකාරය පිලිබද එහි කවරයේ අඩංගු කර ඇති උපදෙස්.....

2 . ගැඹුරු මුහුදේ පිහිටා ඇති උණුදිය උල්පතක්. පෘථිවි අභ්‍යන්තරයේ පවතින ඛනිජ වර්ග මෙම උණුසුම් ජලයේ දියවී මතුපිටට පැමිනෙන අතර මෙම උණුදිය උල්පත් මගින් ඒවා ආශ්‍රිත මුලුමහත් පරිසර පද්ධතියම පෝශනය කරනු ලබයි.....

3 . සිකුරු මතට අභ්‍යවකාශ යානා ගොඩබැසීමට මේ දක්වා සමත් වී ඇති එකම රාජ්‍ය වන්නේ සෝවියට් ස0ගමයයි. මෙහි දැක්වෙන්නේ සිකුරු මතුපිට මුල්ම ඡායාරූපය ලබා ගැනීමට සමත් වූ වෙනෙරා 13 යානයයි....

4 . ගැලිලියෝ යානය මගින් ලබාගත් යුරෝපා උපග්‍රහයාගේ ඡායාරූපයක්. මෙහි අයිස් පෘශ්ඨය මත ඇතිවී තිබෙන පැලුම් ගනනාවක් දැකිය හැකිය. මෙහි තැබිලි පැහැයෙන් දැක්වෙන ද්‍රව්‍ය ඇල්ගී හෝ ලයිකන වර්ගයක් විය හැකි බව ඇතැම් විද්‍යාඥයන් මතයයි. නමුත් එය මේ වනතෙක් නිවැරදිව තහවුරු කර නැත....

5 . වමේ: කොල පැහැයෙන් යුත් පෘථිවියේ අභ්‍යවකාශ ඡායාරූපයක් ලෙස දිස්වන ටයිටන් උපග්‍රහයාගේ සේයාරුවක්. දකුණේ: ටයිටන් උපග්‍රහයා මත පිහිටි දෙවනි විශාලතම මුහුද. මෙම ඡායාරූප කැසිනි අභ්‍යවකාශ යානය මගින් ලබාගෙන ඇත.....

6 . කැසිනි යානය එන්සෙලාඩස් මතින් විහිදෙන ජල ධාරා වලට ඉහලින් ගමන් කරන අයුරු සිත්තරකුගේ ඇසින්...

පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?) - Your Choice Way
1 . අඟහරු ග්‍රහයාගේ මතුපිට....

2 . සෙනසුරු ග්‍රහයාගේ උපග්‍රහයකු වන එන්සෙලාඩස්හි දක්ශින ධ්‍රැවාසන්නයේ ඇති ගීසරයක්. මෙය කැසිනි අභ්‍යවකාශ යානයේ පටු පරාස කැමරාවෙන් ලබාගත් ඡායාරූපයකි...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?) පොළොවට ජීවය ආවේ පිටසක්වලින්ද ? (Did Life Come To Earth From Aliens?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 10, 2022 Rating: 5

0 comments:

Post a Comment