උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා (Guest)

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා (Guest) - Your Choice Way

මේ දිනවල උද්ඝෝෂණ විරෝධතා ගැන ඇසෙන්නේ එතරම් හොඳ පුවත් නොවේ. එමෙන්ම වෙනදා උද්ඝෝෂණ විරෝධතා වලදී අසුණු හුරු පුරුදු වචන දෙකක්ද මෑතකදී වෙනස් වී තිබේ. ඒ අනුව අද ගෝල්ෆේස් විරෝධතා ලෙසින් එම වචන දෙක නිතර ඇසුණද එදා විරෝධතා උද්ඝෝෂණ ගැන කියද්දී මුලින්ම ඇසුණු වචන දෙක ලිප්ටන් වටරවුමය. එදා ලිප්ටන් වටරවුම එතරම් ප්‍රසිද්ධව තිබුණේය. වර්තමාන දින කිහිපයක් හැරෙන්නට ලිප්ටන් වටරවුම ගැන තිබුණු ජනප්‍රියත්වය මතකය මෙරට වැසියන්ට අමතකව යන්නේද නැත. එමෙන්ම ලිප්ටන් වටරවුම ගැන නොදන්නා කෙනකුද නැති තරම්ය.

ලිප්ටන් වටරවුම පසුකර කොහේ හෝ ගමනක් නොගිය කෙනකු සිටිනවාද යන්නත් සැක සහිතය. ඒ කොළඹ හරහා යනෙනා වාහන බහුතරයක් මේ ලිප්ටන් වටරවුම පසුකර යන බැවිනි.

ලිප්ටන් වටරවුම කොතරම් ජනප්‍රිය සහ ජනාකීර්ණ තැනක්ද යන්න පැහැදිලි වන ප්‍රධාන කරුණක් ලෙස එදා මෙදාතුර ඉතිහාසයේ මෙරට ජනයා සිය වෘත්තීය සහ වෙනත් අවශ්‍යතා ඉටුකරගනු පිණිස ඒ ඒ කාලයන්හි පවතින රජයට දැනෙන උද්ඝෝෂණයක් විරෝධතාවක් කිරීමට පැමිණියේ මේ ලිප්ටන් වටරවුම ළඟටය. එහි උද්ඝෝෂණ විරෝධතා ඉතා සාර්ථක වූ බවටත් ඉතිහාසගත තොරතුරු විමසීමේදී හෙළිවනු ඇත.

කෙසේ නමුත් ඇතැම් කාලවල දිනපතා මෙම ස්ථානයේ සංවිධාන වුණු උද්ඝෝෂණ විරෝධතා ගණන් කර බැලුවහොත් එම ප්‍රමාණය ලක්ෂ ගණනක් විය හැකිය. එතරම් ප්‍රමාණයක් උද්ඝෝෂණ විරෝධතා සිදුවූ ලිප්ටන් වටරවුම අසල කිසිදු කලබලයක් නොමැතිව නිසොල්මනේ සිටින අමුත්තකුගේ පිළිරුවකි. යතුරක් අතින් ගෙන සිටින මේ පිළිරුව කාගේදැයි ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් කොළඹ පුරවරයේ යනෙන ඔබ සේම මෙරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන් මේ විශේෂිත පුද්ගලයා ගැන දැනගත යුතුමය. මන්ද හෙතෙම මෙරට සුවිශාලතම සංවර්ධන කටයුතු රැසක් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකළ මහ යුග පුරුෂයෙකි. ඔහු නමින් චාල්ස් හෙන්රි ද සොයිසා මහතාය. වර්තමානයේ කොතරම් මුදල් තිබුණද තව තවත් යටිමඩි ගසමින් ජනතාවම සූරාකන ව්‍යාපාරිකයන්ටත්, ජනතා ධනය සූරාකමින් රටට කිසිම සෙතක් නොකර බොරු කයිවාරු ගසන දේශපාලකයන්ටත් චාල්ස් හෙන්රි ද සොයිසා මහතා ආදර්ශයකි.

දීර්ඝ ඉතිහාසය විමසද්දී මාතර සිට පානදුරට පැමිණෙන ජෝෂප් ද සොයිසා, චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ සීයා බව හෙළිවෙයි. ජෝෂප් ද සොයිසා මහතාගේ පුත්‍රයා වන ජෙරෝනිස් ද සොයිසා මහතා පසුකාලීනව මෙරට සිටින අංක එකේ ව්‍යාපාරිකයා මෙන්ම අංක එකේ දානපතියාද විය. ජෙරෝනිස් ද සොයිසා මහතාගේත් ප්‍රැන්සිස්කා කුරේ කුලකුමරියගේත් පුත්‍රයා වූ චාල්ස් හෙන්රි ද සොයිසා මහතා සිය මවුපියන්ගෙන් ලද දෙයිනුත් තම හැකියාවන්ගෙන් උපයාගත් දෙයිනුත් මෙරට අංක එකේ දානපතියා මෙන්ම ව්‍යාපාරිකයා වුවද ඔහු රට ගැනත් ජනතාව ගැනත් ඉතා සානුකම්පිතව බැලූ මානව හිතවාදියකු වූවේය.

ඒ කාලයේ රටේ කුමන හෝ අඩුපාඩුවක් ඇසෙද්දී දකිද්දී චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ හදවතට දැනුණේ අප්‍රමාණ දුකකි. පසුතැවීමකි. ඒ අනුව ඔහු එම අඩුපාඩුව සපුරාලීමට කටයුතු කළේ ඊට වැයවන මුදල ගැන නොසිතාමය.

ඒ අනුව එකල මෙරට ජනයාට අවශ්‍යම වූ අක්ෂි රෝහල නැතහොත් අදත් කවුරුත් දන්නා ඇස්වාට්ටුව ඉදිකළේ මේ චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙනි. එමෙන්ම කොළඹ පිහිටි ද සොයිසා කාන්තා රෝහල නැතහොත් සූතිකාගාරය ද සොයිසා මහතා සිය ධනයෙන් කළ ඉදිකිරීම්ය.

කෙනකුගේ දෑස් සුරැකීමත්, අනාගත පරපුර බිහිකිරීම උදෙසා මවුවරුන්ට පහසුකම් සැපයීම උදෙසාත් රෝහල් තැනීම වෙනුවෙන් හෙන්රි ද සොයිසා මහතාගේ පිළිරුවක් ඇස්වාට්ටුව හන්දියේ මෙලෙස ඉදිකළද හෙතෙම කළ කී සමාජ සත්කාර සහ පරිත්‍යාග අප්‍රමාණය. රටේ අනාගතය ගැන ජනතාවගේ හෙට දවස ගැන මහා බලාපොරොත්තුවකින් කටයුතු කළ එතුමා තවත් අත්‍යාවශ්‍ය කටයුත්තක් නොපිරිහෙළා ඉටුකරමින් ක්ෂුද්‍රජීවී පර්යේෂණාගාරයක් මෙරටට ඉදිකර දීමට කටයුතු කළ එකම පුද්ගලයාය.

තමා සතු වත්කම් කොතෙක්ද යන්න එතුමන්වත් දැන සිටියාද යන්න සැක සහිත වන තරමට මහා ධනයක උරුමකරුවකු වූ සොයිසා මහතා 1863 වසරේ පෙබරවාරි 04 වැනිදා කත්‍රිනා ද සිල්වා මෙනෙවිය සමග අතිනත ගත් අතර කල්යත්ම ඔවුන් දෙපළ දරුවන් 15 දෙනකුගේ ආදරණීය මවුපිය යුවළක් විය.

නිතරම රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය උසස් ලෙස තිබිය යුතුය යන විශ්වාසය ඇතිව කටයුතු කළ සොයිසා මහතා මොරටුවේ අංගසම්පූර්ණ පුස්තකාලයක් ඉදිකිරීමට කටයුතු කළේ 1879 වසරේදීය. එවක විද්‍යාලංකාර පරිවේණාධිපති ශ්‍රී ධර්මාරාම හිමියන්ගේ මූලිකත්වයෙන් ‘ජානතීර්ණය’ නම් කෘතිය මුද්‍රණයට සියලු වියදම් දැරුවේද සොයිසා මහතාය. එපමණක් නොව ‘හිතෝපදේශය’ සිංහලයට පරිවර්තනය කිරීමේ කටයුත්තට සියලු වියදම් දැරුවේද සොයිසා මහතාය.

චාල්ස් හෙන්රි ද සොයිසා මහාත ගැන මෙරට පමණක් නොව ලෝකය පුරාත් විශාල පැහැදීමක් විශ්වාසයක් තිබූ බව පැහැදිලි කෙරෙන කාරණා රාශියකි. ඒ අතරින් විශේෂම පුවතක් වන්නේ එවක බි්‍රතාන්‍යයේ වික්ටෝරියා මහ රැජිනගේ පුත් ඇල්ෆ්‍රඩ් අර්නස්ට් ඇල්බට් කුමරු එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවට පැමිණි මොහොතේ සොයිසා මහතාගේ නිවෙසේ භෝජන සංග්‍රහය එවක මහත් කතාබහකට ලක්වූ අතර එය එවක පැවැති සුවිශේෂ කටයුත්තක් ලෙසද ප්‍රකට විය. එම සංග්‍රහය සඳහා සොයිසා මහතා කළ වියදම ගණන් බැලීමට නොහැකි තරම් බවයි පැවසෙන්නේ. එදින රාජකීය අමුත්තන් සඳහා පිඟන් කෝප්ප ගෑරුප්පු ආදී සියලු උපකරණ දඹ රනින් කරවා තිබූ බව පැවසෙන අතර එම සංග්‍රහයෙන් සතුටට පත් ආදිපාදවරයා බකිංහැම් මාලිගයේ සොයිසා මහතා සහ පවුලේ අයට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා තිබේ.

වික්ටෝරියා රැජින කෙරේ මහත් ගෞරවයෙන් කටයුතු කළ සොයිසා මහතා රැජිනගේ පුතකු වන වේල්ස්හි ආදිපාදවරයා සහ ඔහුගේ බිරිය සිහිවීම සඳහා මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලය සහ වේල්සි කුමරි විද්‍යාලය ආරම්භ කළේ එම විදුහල් නඩත්තුවට අක්කර 860ක පොල් ඉඩමක්ද අන්තිම කැමැති පත්‍රයකින් පවරා දෙමිනි.........

1803 මාර්තු මස 3 වන දින චාල්ස් හෙන්රි ද සොයිසා උපත ලබන්නේ රිදී හැන්ද කටේ ගසාගෙන යි. ඔහු උපතින්ම ධානපතියෙකි. තම පියාට එම ධනය ලැබූ සැටි පිළිබඳ කතාන්දර කිහිපයක් ම තිබේ. ඉන් වඩා ප්‍රකට වන්නේ පියාට හමුවූවායැ යි කියන නිධානය යි.

පසුකාලීන ව චාල්ස් හෙන්රි ජීවත් වී ඇත්තේ අක්කර 112ක වපසරියක් තිබුණු කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් මන්දිරයේ ය. ඔහු විසින් මෙම මන්දිරය සෑදුවේ එංගලන්තයේ  ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ ලංකා ගමන නිමිති කොටගෙන යි. එවකට ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස සිටියේ හර්කියුලස් රොබින්සන් මහතා ය. මොහු චාල්ස් හෙන්රි සිටුතුමාගේ මිත්‍රයෙකි. එම නිසා ඔහු ආණ්ඩුකාරයා ලවා ඇල්ෆ්‍රඩ් කුමාරයාට භෝජන සංග්‍රහයකට ආරාධනා කළේ ය. මෙය නිමිත්තෙනුයි ඇල්ෆ්‍රඩ් මන්දිරය දින 80ක් තුළ නිමවන්නේ. මන්දිරය සෑදීමට ඉතාමත් අනර්ඝ තත්ත්වයේ භාණ්ඩ එංගලන්තයෙන් හා බෙල්ජියමෙන් ගෙන්වා ඇති බවට සඳහන් වේ. මෙම භෝජන සංග්‍රහය අවස්ථාවේ දී ලංකාවේ පළමු නාඩගම වූ ‘ඇහැලේපොළ නාඩගම’ රඟ දක්වා තිබේ. ඇහැලේපොළ නාඩගම ගැන පවසනවා නම් එය රචනා කොට ඇත්තේ කොල්ලුපිටියේ පිලිප්පු සිඥ්ඥෝ ය. ඔහු වෘත්තියෙන් කම්මල්කරුවෙකි. මලේ මයිනහම අදින විට නාඩගමට ජවනිකා මතක් වී ඔහු මයිනහම පැත්තකට තබා කම්මලේ බිත්තියේ ගල් අඟුරුවලින් නාඩගම ලියා තිබේ. නාඩගමට අවශ්‍ය ඇඳුම් ආයිත්තම් චාල්ස් සොයිසා සිටුතුමා විසින් එංගලන්තයෙන් ගෙන්වා ඇත.

චාල්ස් සොයිසා පරිත්‍යාගයන් සිදු කළේ කිසිදු ලෝභකමක් නොමැතිව යි. ලංකාවේ විශාලතම මාතෘ රෝහල (සොයිසා ලයිනින් හෝම්) සොයිසා මහතාගේ පරිත්‍යාගයකි. ඔහු ලංකාවට පමණක් නොව එංගලන්තයේ රෝහල් විසි ගණනකට රන් පවුම් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කර තිබේ. එහෙයින් ඔහු එංගලන්ත රජ පවුලේ ගෞරවාදරයට ද පාත්‍ර වී තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහල ගොඩනැගුවේ මොහුගේ ධන පරිත්‍යාගයෙනි. එක්දහස් අටසිය අගභාගයේ දී ලංකාවට ඇස් රෝහලක අවශ්‍යතාව තදින් ම දැනෙන්නට විය. මේ නිසා චාල්ස් සිල්වා සිටුතුමා ලිප්ටන් වටරවුම අසල ඉඩමක් රජයට පවරා දුන්නේ ය. එහි 1905 දී ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඇස් වාට්ටුව ගොඩනගන ලදී. මම මෙහි ලිප්ටන් වටරවුමයැ යි පැවසුව ද එහි නිවැරදි නම ලිප්ටන් වටරවුම නොවේ. චාල්ස් සිල්වා සිටුතුමාගේ මෙම පරිත්‍යාගයට ගෞරව කිරීමක් වශයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලිප්ටන් වටරවුම සොයිසා වටරවුම ලෙස ගැසට් කළේ ය. එම නිසා අදටත් ලිප්ටන් වටරවුමේ නීත්‍යානුකූල නාමය සොයිසා වටරවුම ය.

මුල් කාලයේ ලංකා වාණිජ මණ්ඩලය වෙන් වී තිබුණේ යුරෝපීයයන්ට පමණි. නමුත් එහි සාමාජිකත්වය දැරූ ප්‍රථම ලාංකිකයා වූයේ හෙන්රි චාල්ස් ය. එමෙන්ම බ්‍රිතාන්‍යයන් යටතේ තිබූ තේ ව්‍යාපාරවලට මහා පරිමාණයෙන් සම්බන්ධ වූ එක ම පුද්ගලයා ද වන්නේ මොහු යි. මොරටුවේ වේල්ස් කුමර හා කුමරි විද්‍යාලයන් ද මොහුගේ ධන පරිත්‍යාගවලින් ආරම්භ වූ අතර, බැංකුවක් ආරම්භ කළ ප්‍රථම ලාංකිකයා ද මොහු යි. ‘Bank Of Kandy’ එහි නාමය යි.

චාල්ස් සොයිසා ජ්‍යෝතිෂය පිළිබඳ දැඩි විශ්වාසයකින් යුක්ත වූ පුද්ගලයෙකි. ඔහුගේ එම වැඩ කටයුතු සඳහා ඔහු යොදාගත්තේ ගල්කිස්සේ තම්බි අප්පු ගුරුතුමා ය. ඔහු චාල්ස් සොයිසාගේ වේලාව බැලීමට නිතර ඇල්ෆ්‍රඩ් මන්දිරය වෙත ගිය බව කියැවේ. ඔහු තම 34 වෙනි වියේ දී එනම් 1870 දී එංගලන්තය බලා නැව් නැගි අතර ඔහු නැවත ලංකාවට පැමිණියේ ඉන් වසර 20කට පසුව යි. එසේ පැමිණි විට ද ඔහු පළමුව සිදු කළේ තම්බි අප්පු ඇල්ෆ්‍රඩ් මන්දිරයට ගෙන්වා වේලාව බලා ගැනීම යි.

චාල්ස් සොයිසා බල්ලන්ට දැක්වූයේ දැඩි ඇල්මකි. ඔහු සුරතලයට බැල්ලක් ඇති කළේ ය. විවේකී වේලාවල්වලට බගතලේ පාරේ සිට ගාලු මුවදොර දක්වා බැල්ල සමග ඇවිද යාම ඔහුගේ සිරිත යි. දිනක් උදෑසන උඩුමහලේ සිට චාල්ස් සොයිසා මහතා තරප්පු පෙළෙන් බැසගෙන එන විට බිම් මහලේ වියරු වැටීගෙන සිටි මේ බැල්ල චාල්ස් සොයිසාගේ ඇඟට කඩාපැන සපාකන්නට විය.

සේවකයින් ලවා බල්ලව ඔහුගෙන් වෙන් කර කූඩුවකට දැමූ අතර චාල්ස් සොයිසාව තම නෑදෑ වෛද්‍යවරයෙකුට පෙන්වූයේ ය. චාල්ස් සොයිසාගේ රෝගී තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ජල භීතිකා තත්ත්වයට පෙරළෙන්නට වූයෙන් වෛද්‍යවරයාගේ නිර්දේශය වූයේ මොහුව ලෝකයේ හොඳම ජලභීතිකා විශේෂඥයා වෙතට රැගෙන යා යුතු බව යි. ඔහු ඒ වන විට සිටියේ ප්‍රංශයේ බැවින් චාල්ස් සොයිසා ව ප්‍රංශය වෙත රැගෙන යා යුතු විය. නමුත් මෙයට දේශීය වෛද්‍යවරු කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන් පවසා සිටියේ දේශීය වෛද්‍ය ක්‍රමයට ජල භීතිකා රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් ම සුව කළ හැකි බව යි.

කෙසේ හෝ ප්‍රංශ ගමන නතර වූ අතර ඔහුට සිංහල වෙදකම් කිරීමට තීරණය විය. තමා ජීවත් ව සිටි කොල්ලුපිටියේ ඇල්ෆ්‍රඩ් නිවස අසල සිංහල බෙහෙත් මඳකම නිසා ඔහු ව මොරටුවේ මන්දිරය වෙත ගෙන යන ලදී. මේ අතරතුර ඔහු ව සපා කෑ බැල්ල ද නොකා නොබී වියරු වැටී කූඩු ව තුළ දී ම මිය යයි.

මේ 1890 සැප්තැම්බර් මස 28 වන දින යි. චාල්ස් සොයිසා මහතා පිස්සු බලු රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. බැල්ල සපා කෑ ස්ථානය ඉදිමෙන්නට විය. ඔහු තත්ත්වය එසේ තිබිය දී ශුද්ධ එම්මානුවෙල් මන්දිරයේ ජොහානස් ද සිල්වා පූජකතුමාට සහ ලෝස් වැන්කියු ලැම්බර්ග් නීතීඥතුමා ව එසැනින් තමා වෙත රැගෙන එන්න යි නියෝග කළේ ය. ඔවුන් පැමිණි පසු පූජකතුමා ලවා ආගමික වතාවත් කර ගත් සොයිසා මහා නීතීඥයා ලවා අවසන් කැමැත්ත සකස් කළේ ය. අවසන් කැමැත්ත ලියා අවසන් වී ටික වේලාවකට පසු සොයිසා මහතා සදාකාලික නින්දකට ගියේ ය. ඔහුගේ අවමංගල්‍යය සඳහා එංගලන්ත රජ මාලිගයෙන් නියෝජිතයන් ද පැමිණි අතර එම අවමංගල්‍යය ලංකාවේ මෙතක් තිබූ විශාලතම අවමංගල්‍යවලින් එකක් ද වනවා.

චාල්ස් සොයිසා සිටුතුමාගේ මෙම මරණය ගැන කටකතාවක සඳහන් වන්නේ සුභූති හිමියන් විසින් එවූ පිල්ලියක් මඟින් ඔහු මරණයට ලක් වූ බව යි. සුභූති හිමියන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට දක්ෂ අයෙක් බවට කීර්තියක් උසුලාගෙන සිටි අයෙකි. චාල්ස් සොයිසා මන්ත්‍ර ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. දිනක් සුභූති හිමියන් ඇල්ෆ්‍රඩ් මන්දිරය අසලින් යන විට “මුත්තර බල්ලන් යන්නේ!”යැ යි චාල්ස් සොයිසා පවසා තිබේ. මෙය අසා කෝපගත් හිමියන් “හොදයි මම උඹට මිත්තර බල්ලෙක් එවන්නම්”යැ යි පවසා ගොස් ඇත. මෙහි ඇත්ත නැත්ත සොයාගැනීමට වර්තමානය වන විට මෙයට සම්බන්ධ කිසිවෙකුවත් ජීවත් ව සිටීදැ යි සැක සහිත යි.

කෙසේ නමුත් අදටත් ඇස්වාට්ටුව හන්දියට වී නිහඬව බලා සිටින සොයිසා මහතාට වර්තමාන දානපතීන් ගැන මොනවා සිතෙනවා ඇද්ද? උද්ඝෝෂණ විරෝධතා දෙස නිහඬව බලා සිටියත් එදා තිබූ රටට මොනවා සිදුවූවාදැයි හෙතෙම පසුනොතැවෙනවා යැයි කාට නම් කිව හැකිද? කෙසේ නමුදු වර්තමානයේද මේ රට ගොඩගත හැක්කේ සොයිසා මහතා වැනි මානව හිතවාදී ධානපති ව්‍යාපාරිකයන්ට පමණක්ම බව නම් රහසක් නොවනු ඇත. එහෙත් එවැනි පිරිස් අද සිටිනවාද යන්න සැක සහිතය....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා (Guest) උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා (Guest) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 29, 2022 Rating: 5

0 comments:

Post a Comment