සන්නි යකුම යාගය (Sanni Yakuma Yagaya)

සන්නි යකුම යාගය (Sanni Yakuma Yagaya) - Your Choice Way

පහතරට සම්ප්‍රදාය හා බැඳී ශාන්තිකර්ම අතරින් යක්තොවිල් යටතට ගැනෙන ප්‍රකට ශාන්තිකර්මය සන්නි යකුමයි. මෙය වඩාත්ම ප්‍රචලිතව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙත් ගාලු දිස්ත්‍රික්කයෙත් ගඟ දෙපස පිහිටා ඇති පහතරට නර්තනයේ චූල සම්ප්‍රදායක් ලෙස ගැනෙන බෙන්තර සම්ප්‍රදාය ව්‍යාප්තව පවත්නා පළාත් තුළ ය. 

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කකයේ ඇතැම් ප්‍රදේශවල මෙකී ශාන්තිකර්මය දක්නට ඇතත් බෙන්තර සම්ප්‍රදාය හා බැඳී සන්නියකුමට වඩා යම් යම් වෙනස්කම් ඒවායේ දක්නට ඇත. මෙකී ශාන්තිකර්මය පැවැත්වීමෙන් ප්‍රධාන අරමුණ ලෙස සැලකිය හැක්කේ විවිධ රෝගාබාධ වලින් පෙළෙන රෝගීන් සුවපත් කිරීම, විශේෂ රෝග ලෙසින් සලකනු ලබන්නා වූ රෝග ආපදාවන් ද සන්නි යකුන්ගේ ඇල්ම බැල්ම වැටීම හේතුකොට ගෙන ඇතිවන පිස්සු විකාර, ඔල්මාද ආදී කොට ඇති කායික හා මානසික රෝගී විෂයෙහි මෙකී ශාන්තිකර්මය පවත්වනු ලබයි. 

පුරාවෘත්ත කතාව.....
සන්නි යකුම් යාගය හා බැඳී පුරාවෘත්ත කතාව ඉතාම රසවත් එකකි. එයින් කියැවෙන්නේ සන්නි යකුන්ගේ උපත් කතාවයි. දඹදිව රජ කළ සංඛපාල නම් රජුට අසුපාල නම් වූ රූමත් බිසවක් විය. ඉතා ප්‍රීතියෙන් කල් ගෙවූ මෙකී රජ බිසෝහට අයහපත් කාලයක් උදා විය. රජතුමා සිය  අසල්වැසි රටකින් යුදයට කැඳවන සන්නස් පත්‍රයක් ලදී. රජතුමා සිය අමාත්‍ය මණ්ඩලය කැඳවා කරුණු සාකච්ඡා කොට මහසෙන් පිරිවරා ගෙන යුද්ධයට ගියේය. 

යුදයට පිටත් වන අවස්ථාව වන විට ගැබ්ගෙන සිටි අසුපාල බිසව ඒ බව රජුට දැන්වීමට පවා අවස්ථාවක් නොලද මහත් කනස්සල්ලෙන් හා දුකෙන් පසුවූවාය. බිසවගේ දරුගැබ වැඩී මහත් දොළ දුකක් පහළ විය. මී අඔ කෑමේ බලවත් ආශාවක් සිතෙහි පහළ වූ ඇය රජතුමා නොසිටි බැවින් ඒ බව මහ අමාත්‍යවරයාට දැනුම් දුන්නාය. ඒ වකවානුවේ අඹ අවාරය වූයෙන් ඇමතිවරයා බිසවගේ දොළදුක සංසිදීමට රට පුරා පණිවිඩ යවා මී අඹ ගෙඩියක් සොයා ගැනීමට කටයුතු කළ තම රටෙන් එය සොයා ගැනීමට නොහැකි වූ තැන අසල රටකට පණිවිඩ යවා මී අඹ ගෙඩියක් සොයා ගත් ඔහු ඒ බිසව වෙතට ගෙනැවිත් දුන්නේය. 

මහත් ආශාවකින් එකී අඹය අනුභව කිරීමට සූදානම් වෙද්දී නොසිතූ දෙයක් සිදුවිය. බිසව ගැබ්බරව සිටි නගරයේ දූගී කාන්තාවක් ඇය ඉදිරියේ පෙනී සිට තමන්ටත් බිසවට මෙන්ම මී අඔ කෑමේ ආශාවක් පවතින බවත් එකී අඹය තමන්ටත් ලබා දෙන ලෙසත් බිසවගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියාය. බිසව සඳහා මී අඹ ගෙඩියක් සොයා රැගෙන ආ බව සැල වී ගිය එය අනුභව කිරීම බලවත් ආශාවෙන් මාළිගයට පැමිණ සිටියෙන් මී අඹ ගෙඩිය ඉල්ලා නැවත නැවතත් කන්නලව් කළාය. අඹ සොයාගත්තේ බලවත් අපහසුවකින් පැවසූ සංකපාල බිසව මාලිගයෙහි ඇති රාජභෝජන ඇති පමණින් අනුභව කරන ලෙසත් අඹයෙන් නොඉල්ලන ලෙසත් කියා සිට ඇයට කුඩා කැබැල්ලක් පවා නොදී තනිවම අනුභව කළාය. 

අඹය තනිවම අනුභව කළ සංඛපාල බිසව කෙරෙහි බලවත් වෛරයක් සිතේ ඇති කර ගත් එකී ස්ත්‍රිය පළි ගැනීමට ඉටා ගත්තේය. මේ අතර යුද්ධය ජයග්‍රහණය කළ සංඛපාල රජතුමා මහ පෙරහරින් මාලිගාවට සැපැත එමින් සිටියේය. බිසවගෙන් පළි ගැනීමේ ආශාවෙන් පෙළුණු ගැබ්ගත් ස්ත්‍රිය එන පෙරමඟට ගොස් ඔබතුමා යුද්ධයට ගිය අතර කාලයේදී අග බිසව මහා ඇමතියත් සමග අනියම් සම්බන්ධ කමක් ඇති කරගත් බවත් ඒ හේතුවෙන් ඇය ගැබ්ගෙන සිටින බවත් රජුට සැළ කළාය. 

අනපේක්ෂිත තොරතුරු වලින් බලවත් වික්ෂිප්තභාවයට පත් රජතුමා තමා පිළිගැනීමට පෙර මඟට දිව ආ බිසව ගැබ්බරව සිටි බව දැක තමාට ගතු කී කාන්තාවගේ කතාව සත්‍යයක් ලෙස සිතා කිසිදු වග විභාගයකින් තොරව තම බිසව මරා දමන ලෙසට අණ කළේය. නිදොස් බව කොතෙක් කීවත්  වධකයා ලවා ඇයට වද බෙර ගසා වීදියෙහි ඇවිද අමු සොහොනට ගෙන ගොස් ගසක එල්ලා දෙපළු කර මරා දැමීමට කටයුතු කළේය.  

ඇයව අමු සොහොනට ගෙන ගොස්  පුබ්බේරිය ගසක එල්ලා දෙකට කොට කපා දැමූ විට පළුවක් ගසේ එල්ලී තිබූ අතර අනෙක් පලුව බිම පතිත විය. බිසවට බිහිවීමට සිටි කුමරුන්ගේ බල මහිමය හේතු කොට ගෙන එදින රාත්‍රිය මහත් වැසි කුණාටු ඇතිවී පුබ්බේරිය ගසේ තිබූ බිසවගේ ශරීර අර්ධය බිමට වැටී පලු දෙක එකට යාවි දරුවෙකු බිහි විය. 

එසේ බිහි වූ කුමරා පළමුවෙන් තම මවගේ මළ මිනිය කිරි උරා දෙවනුව මවගේ ඇග මස් කා තුන්වනුව අමු සොහොනේ මස් කා වැඩෙන්නට විය. මෙසේ වැඩෙන රාජ මුළු යක්ෂයා බලගතු ගුප්ත බල ශක්තියකින් යුක්ත තමා කවරෙක් ද තමාට මෙසේ වූයේ කවර හේතු කාරණ කොට ගෙනද යන්න විමසා බලන විට තමන්ගේ පිය රජතුමන් විසින් නිවැරදි තම මව මරා දැමූ බව දැන ඒ පිළිබඳව පිය රජුගෙන් පළි ගැනීමට සිතා ගත්තේය. 

එසේ සිතා විවිධ කොළ වර්ග කඩාගෙන ඒවා එකට අඹරා ගුලි කොට ගුලි දහඅටක් නිර්මාණය කළේය. බලවත් වූ විෂයෙන් යුතු වූ එකී විෂ ගුලි සකස් කිරීමෙන් කුමරු අදහස් කළේ තම පියා වස දී මරන්නට බව කියැවේ. මෙය දුටු ශක්‍ර දෙවියන් මෙකී අපරාධ වැළැක්වීමට අදිටන් කරගෙන එයට අමෘත්‍රයෙන් බිඳුවක් බැගින් එක් කරන ලද්දෙන් එකී ගුලි ඔසු ගුලි බවට පත් විය. මේ බව දැනගත් කුමාරයා ගුලි වලින් යකුන් දහඅට දෙනෙක් මැව්වේය. දහඅට සන්නි යකුන් ලෙස එතැන් පටන් හැදින්විය. සන්නි දහඅටදෙනාගේ නායකයා වූයේ රාජ මුළු කෝළ සන්නි යක්ෂයාය.

මෙකී යකුන් දහඅටදෙනා පිරිවරාගත් රාජ මුළු කෝළ සන්නි යක්ෂයා තම පිය රජුගේ රාජධානියට කඩා පැන එය විනාශ කරන්නට විය. විශාලා නුවර ඇති වූ තුම්බිය ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙන්නේ මෙසේ සන්නි යකුන් විසින් විශාලා මහනුවරට කරන ලද විනාශය බව ශාන්තිකර්ම සහ සාහිත්‍යයට අනුව පිළිගත හැකිය. මෙසේ මහා දුර්භික්ෂ ජනපද රෝගයක් අමනුෂ්‍ය බිය නිසා ඇති වූයෙන් විශාල මහනුවර විශාල වශයෙන් මිනිසුන් මිය යන්නට විය. 

මේ බව දැනගත් අසල්වැසි රටක රජකළ බිම්බිසාර රජතුමා විසින් බුදුන් වහන්සේ වෙත දන්වා යවන ලදී. උන් වහන්සේ විශාලා මහ නුවරට වැඩම රතන සූත්‍රය දේශනා කොට අමනුෂ්‍ය පිරිස සක්වල එතෙරට පන්නා හරින ලදී. මෙසේ යකුන් පලවා හරින අවස්ථාවේ කෝළ සන්නි යක්ෂයා අබ ඇටයක් තරම් කුඩා වේශයක් මවාගෙන ගෝම රිටක් යට සැඟව සිටි බවත් ඒ දුටු බුදුන් වහන්සේ කෝළ සන්නි යක්ෂයාද පිටසක්වලට පලවා හරින ලද බවත් කියවේ. 

එසේ යකුන් පලවා හැරීමේ දී බුදුන් වහන්සේගෙන් යක්ෂයින් එක් ඉල්ලීමක් කළේලු එනම් ඔවුන්ට මිනිසුන්ගෙන් දොළ පිදේනි ලබා ගැනීමේ වරමක් දිය කඩක, නාන තොටක, රත්තොටක, අමු සොහොනක ආදී තැනකදී කෙනෙකුට ඇල්මක් බැල්මක් ඇති කොට ලෙඩ කරනවා ඒ ලෙඩ මුදවා හැරීමට දොළ පිදේනක් ලබා ගැනීමේ අවස්ථාව ඒ අනුව සන්නි යකුන්ට හිමිවිය. 

මෙසේ සන්නි ලෙඩකුට යකැදුරකු කැඳවා රෝගය සුව වී තෙමසක් ඇතුළත සන්නි යකුම් යාගය කරන බවට පොරොන්දු වී ඇප නූලක් බඳිනු ලැබේ. සුව වීමෙන් පසු රෝගියා නැතහොත් ආතුරයන් වෙනුවෙන් සන්නි යකුන් යාගය පවත්වනු ලැබේ. 

මෙකී ශාන්ති කර්මයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ යකුන් යක්ෂණියන් කෙරෙහි බිය ඇති කිරීම සඳහා බුදුගුණ  භාවිතයයි. එසේ හෙයින් මෙකී ශාන්තිකර්මය තුළ බෞද්ධ ආගමික සංකල්පය හා වත්පිළිවෙත් වැදගත් තැනක් ලැබී ඇති බව සැලකිය හැකිය. 

සන්නි යකුමෙහි පොදුවේ දක්නට ඇති නර්තනාංගයන් අතර යහන් දැක්ම, පන්දම් පද නැටීම, හැන්දෑ සමයම ආදියද  කළු යකා, රීරි යකා, සූනියම් යක්ශනිය, මරුවා, අභිමාන යකා වැනි යක්ෂ යක්ෂණියන්ගේ භූමිකා නිරූපණය පාලි දොලහක් දෙකොන විලක්කු සන්නි 18 වැනි චරිතාංග නිරූපණයක් ලිච්ඡවී නැටුම හෙවත් නර්තනාංගයක් අන්තර්ගතය

සන්නි යකුම් යාගයේ පුද පූජා රටාව...
මෙම ශාන්තිකර්මයෙහි බෙන්තර සම්ප්‍රදාය සහ මාතර සම්ප්‍රදාය යනුවෙන් ප්‍රභේදයන් දෙකක් පවතී. ඇතැම් අය විසින් කොළඹ සම්ප්‍රදාය වශයෙන් හඳුන්වන තුන්වන සම්ප්‍රදායක්ද ඇතැයි දක්වනු ලබතත් එය පෙර කී මාතර හා බෙන්තර සම්ප්‍රදායන්ගෙන් රයිගම ප්‍රදේශයට ආවේනික වූ දෙවොල්මඩු ශාන්තිකර්මයේ ද ඇතැම් අංග ලක්ෂණ හා කොටස් උපුටා ගනු ලැබුවා වූ සංකර හා සංකීර්ණ එකක් ලෙස පෙනේ. 

බෙන්තර සම්ප්‍රදායට අනුව පවත්වනු ලබන්නාවු සන්නි යකුම් යාගයේ දී තුණුරුවන් හා සතරවරම් දෙවියන් වෙනුවෙන් මලක්ද අස්නක්ද ශාන්ති වීදිය යනුවෙන් හඳුන්වන තවත් විශේෂ වීදියක්ද කපාල පිදේනි නැතහොත් සන්නි කූඩුව යනුවෙන් හඳුන්වන විශේෂ සැරසිල්ලක් ද අනෙකුත් යකුන් යක්ෂනියන් සඳහා පිදේනි ද ඉදි කරනු ලබයි.

ශාන්තිකර්මය ආරම්භයේ දී තුනුරුවන් ප්‍රධාන කොට ඇති සතර වරම් දෙවියන් උදෙසා වූ මල් යහන් පහන් දල්වා කවි ස්තෝත්‍ර ආදිය ගායනා කිරීමෙන් අනතුරුව යකුන්ගේ නාමයට භූත කර්ම විධීන් හා දිෂ්ටි මන්ත්‍ර කීම සිදුකෙරේ.

මෙය රතිකාම යක්ෂ යක්ෂණියන් සඳහා කරනු ලබන්නා වූ විශේෂ නර්තන වෙසෙසකි. ඉන් අනතුරුව යහන් දැක්ම නටා පන්දම් දීම සිදුකෙරේ. 

පන්දම් පද නැටීම නැතහොත් පන්දම් ගැසීමෙන් මෙහිදී සිදුකරන විශේෂ අංගයකි. පන්දම් පද හතක් වශයෙන් දැක්වේ. එකී පන්දම් පද හා එයට නියමිත ඉරට්ටි නැටීමෙන් අනතුරුව ආතුර අඩව්ව නැටීම සම්ප්‍රදායයි. මින් අනතුරුව සිදු කෙරෙන්නේ හැන්ඳෑ සමයට අධිගෘහිත වන්නාවූ සියලු යකුන් යක්ෂණියන්ගේ නාමයට කවි ගායනා කිරීමයි. කළු යකා රීරි යකා සූනියම් යක්ශනිය අභිමාන යකා මරුවා ආදී චරිත්‍ර රඟමඩලට පිවිසීමෙන් අනතුරුව ලිච්ඡවී නැටුම ඉදිරිපත් කරනු ලැබේ. කවි ගායනය කරමින් නටන මෙකී නර්තනයේ දී නළුවන් තමන්ගේ උපරිම දක්ෂතාව පෙන්නුම් කිරීමට උත්සාහ කරති.

මීළඟට රඟමඩලට පැමිනෙන්නේ පාලි නැටුම් ය. 

පාලි නැටීම සන්නි යකුන් රග මඩලට කැඳවීමේ පූර්ව රංගනයක් නැතහොත් ආරාධනයක් ලෙස සැළකිය හැකිය. ඉන් අනතුරුව කලු කුමාර සමයමත් දෙකොන විලක්කු නැටීමත් සිදුකෙරේ. දෙකොන විලක්කු නැටීම මහ සොහොන් සමයම නැටීම ලෙසද හඳුන්වනු ලබයි. ඉන් අනතුරුව සන්නි යකුන්ගේ භූමිකා නිරූපණය හා ඊට අදාල නර්තන සඳහා රඟමඬල වෙන් වේ.

අවසානයේදී පැමිණෙන්නේ කෝළ සන්නි යක්ෂයාය. කෝල සන්නි යක්ෂයා පුද පඬුරු ලබා ගැනීමෙන් අනතුරුව දෙවියන්ගෙ කවි කියා පිං බෙර ගසා ශාන්තිකර්මය නිම කරනු ලැබේ. මෙහිදී මාතර සාම්ප්‍රදායික සන්නි ඇඳුම් පැලදුම් වලින් පමණක් නොව ඇතැම් පෙළපාලි සහ චාරිත්‍ර විධීන්ගෙන් ද බෙන්තර සම්ප්‍රදායට වඩා වෙනස් වේ. බෙන්තර සම්ප්‍රදායේ දී ප්‍රධාන නර්තන අංගයක් කොට සලකනු ලබන ලිච්ඡවී නැතහොත් කුමාර පෙළපාලිය මාතර සාම්ප්‍රදායික සන්නි යකුමේ දී දක්නට නැත.

පාලි නැටීම.....
සන්නි යකුම් යාගයේ දී දක්නට ඇති තවත් විශේෂ අවස්ථාවක් නම් පාලි නැටීමයි. දහඅට සන්නිය නැටීමේදී ප්‍රාදේශීය වශයෙන් දක්නට ඇති ඇතැම් විවිධත්වයන් හේතු කොට ගෙන පාලි වල මෙන්ම සන්නි වලද නාමයන් පිළිබඳ පොදු එකගතාවයක් නැත. ඇතැම් ප්‍රදේශ වලදී යොදා ගනු ලබන පාලි තවත් ප්‍රදේශයක දී යොදා ගනු නොලබන බව පෙනේ. ඇතැම් විටෙක නොදැනුවත්කමත් අවිචාරයත් හේතු කොට ගෙන සන්නි ලෙස සලකා පාලිත් පාලි ලෙස සලකා සන්නිත් නටන අවස්ථා විරල නොවේ. බෙන්තර සාම්ප්‍රදායික සන්නි යකුම් යාගයේ දී පාලි දොලහක් ඉදිරිපත් කරනු ලබයි. එනම්
  • පන්දම් පාලිය 
  • ධූප පාලිය (අඟුරු දුම්මල)
  • කෙණ්ඩි පාලිය 
  • කලස් පාලිය 
  • තැඹිලි පාලිය 
  • කුකුල් පාලිය 
  • බිල්ලේ පාලිය 
  • මාළු පාලිය (පුහුල් පාලිය)
  • දළුමුර පාලිය 
  • සළු පාලිය 
  • කඩු පාලිය 
  • දුනු පාලිය 
  • මුගුරු පාළිය 
යන ගුරුකුල හා ප්‍රාදේශීය ප්‍රභේදයන්ට අනුව මෙකී පාලි දොලහ පිළිබඳව පොදු එකඟතාවයක් දක්නට නැත. ඇතැම් ප්‍රාදේශීය ව්‍යවහාරයන්හිදී පෙර දක්වා ඇති ඇතැම් පාලි නැටුම් වෙනුවට වැදියක් පාලිය තුවක්කු පාලිය අතු පාලිය වැනි පාලි යොදා ගන්නා අවස්ථා දක්නට ඇත. මාතර සම්ප්‍රදායට අනුව පාලි දහ අටක් පිළිබඳව ඔවුන් නම් කරත් ඒ බව සනාථ වීමට මෙතෙක් කරුණු හෙළි වී නොමැති බව හා එය සන්නි දහඅටම වන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන බව මීගම සරණිස ගුරුතුමාගේ පරපුරෙහි ප්‍රවීණ ශිල්පියකු වන විද්‍යාරත්න ප්‍රනාන්දු පෙන්වා දෙයි.පාලි නැටීම වූ කලී සන්නි යකුනට රඟමඩලට පැමිණෙන ලෙස ආරාධනය කරනු ලබන්නාවූ පූර්ව රංගයකි. බෙන්තර සාම්ප්‍රදායික සන්නි යකුම් යාගය පිළිබඳව හසළ දැනුමක් ඇති මීගම කේ ඇස් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ සන්නි පැමිණීමට පෙර ඒ සඳහා දොලහ පෙළපාලියෙන් කෙරෙන බවයි. 

ඇතැම් තැනක පාලි යනු සන්නි යකුන්ගේ පිරිවර යකුන් කොටසක් ලෙසට ද සඳහන්ය. පාලි නැටීමේදී ඊට අදාළ ගායනා සහ සංවාදාත්මකව ඉදිරිපත් කරනු ලබන හාස්‍ය රසය මුසු දෙබස් කණ්ඩායන් මගින් සන්නි යකුම් වලදී සිදු කරනු ලබන්නාක් මෙන් කිසියම් තොරතුරු සමූහයක් ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කරනු ලබයි. රංග කාර්යය තීව්‍ර කිරීම සඳහා රංග උපකරණ භාවිත කරනු ලබන අතර එකී රංග උපකරණයන් පිළිබඳව උපත් කතා පමණක් නොව ඒ හා බැඳී වෙනත් තොරතුරු ද උක්ත සංවාද වලට අන්තර්ගතය.
  • අන්දම් කරුවලේ සොහොනේ සිටින්නේ 
  • අන්දමකින් රෑ හීනෙන් පෙනෙන්නේ 
  • රන්දම් යගදාව ගෙන කරකවන්නේ 
  • පන්දම් පාලියට සන්නිය වරෙන්නේ.....
  • පාප රුදුරු පව් කළ යකු අසන්නේ 
  • කීප වරක් අමු සොහොනේ උපන්නේ 
  • පාපයකින් මව් ඇඟ මස් බුදින්නේ 
  • දූප පාලියට සන්නිය වරෙන්නේ........
  • එන්න විශාලා නුවරින් ගොසින්නේ
  • දෙන්ඩ මේ කෙලි පුද වෙන සරසන්නේ 
  • උන්ට ඒ අට විසි මුනි අණ දරන්නෙ 
  • කෙණ්ඩි පාලියට සන්නිය වරෙන්නේ.......
  • වලස් ගවරු අල්ලා ලේ උරන්නේ 
  • නොලස් වමින් රෑ සිහිනෙන් පෙනෙන්නේ 
  • සලස්ව පස් විසි මුනි අත දරන්නේ 
  • කලස් පාලියට සන්නිය වරෙන්නේ......
  • උපන් තිනෙත් සුත සිරස කිරුළයෙන
  • මෙතුන් ලොවේ සතහට කරුණාවෙන
  • එරන් තැඹිලි පාලිය දැක නොලසින 
  • වරෙන් සන්නි යකු දහඅට විගසින....
  • බිල්ල බලා සමයමේ කෙලින්නේ 
  • බිල්ල දෙකොණ අල්ලා සැරසෙන්නේ 
  • බිල්ල මරා පළුවක් ඉල්ලන්නේ 
  • බිල්ලේ පාලියට සන්නිය වරෙන්නනේ....
  • යාළු කමක් බැඳලා ලෙඩ කරන්නේ 
  • පාළු ගමක් මැදදී ලෙඩ කරන්නේ
  • ගෝළු සිනා දැක කුල්මත් කරන්නේ 
  • මාළු පාලියට සන්නිය වරෙන්නේ.....
  • බලන් අප මුනිඳු අනුහස් දරණ යකා 
  • ඇළක් දොළක් ලඟදි ලෙඩ කරන යකා 
  • මෙලක් සනෙන්  දුන් දොල පුද ලබන යකා 
  • බුලත් පාලියට බැස වර සන්නි යකා....
  • සෙතට පළමු  මහ බඹු සළු සලන්නේ 
  • සෙතට පැමිණි සක් රජු සළු සලන්නේ 
  • සතට පැමිණි හැම වස් දොස් හරින්නේ 
  • දසට සන්නි සළු සැලුමට වරෙන්නේ.....
  • අරන් කඩුව හිස වට කරකවන යකා 
  • නරන් දැක්පු සැණෙකින් නෙත් රවන යකා 
  • සුරන් මෙමරු අනුහස් බලයෙන් නොයෙකා
  • වරෙන් මෙරඟ බැස තෙද කඩු පාලි යකා.....
  • බින්නේ මායමට පව් කළ යකුන්නේ
  • එන්නේ දිව කුරු මුනිඳුගෙන්නේ
  • පැන්නේ විසල් පුරයට තද රොසින්නේ 
  • දුන්නේ පාලියට සන්නිය වරෙන්නේ.....
  • අඳුරු රඟමඩලයට බැස තොසින්නේ 
  • රුදුරු යකුන් හට කෙළි පුද දෙසන්නේ 
  • සොඳුරු මෙඅප මුනිඳුගෙ අනුහසින්නේ 
  • මුගුරු පාලියට සන්නිය වරෙන්නේ.....
  • මෙලෙස පාලි දොලස රඟමඩලට පිවිසේ.....

.................අන්තර්ජාලය ඇසුරෙනි....................දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සන්නි යකුම යාගය (Sanni Yakuma Yagaya) සන්නි යකුම යාගය (Sanni Yakuma Yagaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 25, 2022 Rating: 5

0 comments:

Post a Comment