Your Choice Way

කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo)

කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) - Your Choice Way

ශ්‍රී ලංකාවේ සිංහල ජනතාව අතර මෙන්ම ද්‍රවිඩ ජනතාව අතරද ආදි වාසීන් සහ වන්නි ජනතාව අතරද විශේෂිත ගෞරවයට පාත්‍රව සිටින මංගර දෙවියන්ගේ උපත් කතාව කීප අයුරකින් ජනවහරේ පවතී.

භාරතී ය සම්භවයක්‌ ඇතැයිද පැවසෙන මංගර දෙවියන් ඉන්දියාවේදී ජෝතිෂ ශාස්‌ත්‍රය උගත් බවත් ලංකාවට පැමිණ තමා උගත් මන්ත්‍ර ගුරුකම් උපයෝගී කර ගනිමින් ලංකාව තුළ යම් යම් දස්‌කම් පෑ බවද පැවසේ.

ඉරිනුග කිරිනුග මානුග මෙලෙසින
බෝනුග දෙහිනුග පටනුග දිලෙමින
කිරිපලු නුග යන සත්කුල නුගයෙන
මෙනුග සතට මැද රත්නුග පැළවුණ

කිසිවෙකුට කපා දැමීමට නොහැකි වු නුග ගසක්‌ මොහු විසින් කපා දමා සිය විස්‌කම් දැක්‌ වූ බව මංගර දෙවි සඳහා වන කවි ගායනාවල සඳහන් වේ. මංගර දෙවිතුමා කදිරාගොඩ නම් ගම්පියසේදී එහි විසූ කුළුමීමෙකු බැඳීමෙන් සහ බිංතැන්න ප්‍රදේශයේ දී ඇත් රජෙකු අල්ලා සිය දස්‌කම් පෑ බවද පැවසේ.

තවත් පුවතකට අනුව මංගර දෙවියන් බැටළු වාහනාරූඪව සිටින අතර අත් සතරකින් යුක්‌ත බවද කියවේ. රන්මාල පැළඳගෙන සිටින මංගර දෙවියන් සිය අත් සතරින් එක්‌ අතක ගිනි කබලක්‌ද අනික්‌ අතෙහි පොල් මලක්‌ද තුන්වන අතෙහි අභය මුද්‍රාවද සිවුවන අතෙහි කඩුවක්‌ද දරා සිටී. රන් ඔටුන්නක්‌ හිස පැළඳගෙන සිටින මංගර දෙවියන්ගේ මුවග කුඩා දළ දෙකක්‌ද පවතී. මෙතෙමේ කතරගම කන්දේදී ඇලිමුවෙකු ඇල්ලීමෙන්ද දස්‌කම් පෑවෙකි බොහෝ විට මංගර දේව විශ්වාසය අනුව සතුන් ඇති කිරීම සම්බන්ධවද විවිධ තොරතුරු බැඳී පවතී. 

මංගර දෙවියන්ගේ උත්පත්ති කතාව ජනප්‍රවාද ඇසුරින් විමසා බැලීමේ දී පෙනීයන්නේ පත්තිනි දේවිය හා සම්බන්ධයක්‌ ඇති බවයි. පත්තිනි දේවිය අඳුන්ගිරි පර්වතයෙහි මස්‌තකයට නැඟ සිල් සමාදන්ව පිරිමි ආත්මභාවයක්‌ ලැබීම සඳහා පිළිවෙත් පුරමින් කාලය ගත කළේය. මේ අවස්‌ථාවේ දී සක්‍ර දිව්‍යරාජයා විසින් පත්තිනි දේවියගේ සිල් බලය පරීක්‌ෂා කිරීම සඳහා මහලු වේශයක්‌ මවා ගෙන අඳුන්ගිරි පර්වත මස්‌තකයට සැපත් විය. ඉන් පසු පත්තිනි දේවිය අමතා නැ`ගණියනි, මට නොයිඳුල් දානයක්‌ දෙන්න යෑයි ඉල්ලීමක්‌ කර ඇත. මේ අවස්‌ථාවේ දී පත්තිනි දේවිය අඳුන්ගිරි පර්වතය දෙපයින් පාගා මඩ කර කළල් කර රත් හැල් වී මිටක්‌ වැපුරුවාය. එම මොහොතේ ගොයම් පැළ වැඩී කිරි වැදිණි. කරල් පැසී දිළෙමින් බබළන්නට විය. ඉන් පසු ගොයම් කපා මී ගවයන් යොදා පාගා බැත සකස්‌ කොට අනතුරව වී කොටා පොලා පූ කර සහල් සකස්‌ කර ගන්නා ලදී. ඉන් පසු කිරි බත-ක්‌ සකස්‌ කිරීම සඳහා සහල් නෑඹිලියේ දා සහල් ගරන අවස්‌ථාවේ දී නෑඹිලියේ පතුලට වැලිකැට සමග මැණික්‌ ගලක්‌ දිස්‌වන්නට විය. මේ මැණික්‌ ගල -මන්ගැරූඬ මැණික්‌ ගල යෑයි පවසන ලද අතර එය පසෙකින් තබා සහල් ටික සෝදා මුට්‌ටියක බහා ලිපේ තබා නැවත මැණික්‌ ගල දෙස බැලීමේ දී එම මොහොතේම එයින් කුමාරයකු උපන් බව ජනප්‍රවාද කතාවේ එයි. මේ නිසා මෙම කුමාරයාට 'මංගර' යන නාමයෙන් ආමන්ත්‍රණය කළ අතර පසුව මේ කුමාරයාට මහත් බලයක්‌ ආරෝපණය වීම නිසා 'මංගර දෙවියෝ 'බවට පත් විය. මංගර දෙවියන්ගේ උත්පත්ති කතාව මෙය වුවද මංගර දෙවියෝ පිළිබඳව උත්පත්ති කතා බොහොමයක්‌ම සබරගමුව මහබින්තැන්න ප්‍රදේශයේ ජනප්‍රවාද අතර පවතී.

1. බුදසිරු මංගර දේව උත්පත්ති කතාව
 මංගර කුමරු 'බුදසිරු' නමින් හැඳින් වූ කුමාරෝත්පත්ති කතාවක්‌ ද ජනප්‍රවාදයේ එයි. එම කතාව නම් කිතල්පුර රජු බුදසිරු කුමරු වනාන්තරවල සැරිසරන බව දැන ඔහුට අවවාද කළ කතා පුවතක්‌ පිළිබඳව අසන්නට ලැබේ.
 කදිරා මෙ විල වට - නොයන් කුමරණි එතැනට මී මෙක්‌ ඇත මෙරට - ඇවිත් පපුකැත් ඉරා බොයි සිට
 මේ අවවාදය පිළිනොගන්නා බුදසිරු කුමරු මීමා විසින් ඇන මරණයට පත් කළේ ය. ඒ අනුව මංගර දෙවියන් බුදසිරු යන නාමයෙන් ද හඳුන්වා ඇති අතර මංගර දෙවියන්ගේ උත්පත්ති කතා 13 ක්‌ ඇති බව සබරගමු මහබින්තැන්නේ කිරිමඩු ශාන්තිය හා බැඳුණු ජනප්‍රවාද අධ්‍යයනයෙන් දැන ගැනීමට හැකි විය. මේ තොරතුරු කිරිමඩු ශාන්තිකර්මයේ කවි ගායනා අනුව මංගර දේව උත්පත්ති කතා මෙසේ පෙන්වා දිය හැකි ය.

1. පළමුවර(- පත්තිනි දේවිය විසින් ගරන ලද සහල් නෑඹිලියේ තිබී හමු වූ මුතු කැටයක මාර්ගයෙන් බුදුබව ප්‍රර්ථනා කරන බෝසත්වරයකු ලෙස 'මංගර' නමින් උපත ලද බවයි.
 2. දෙවනවර (- කිතල්පුර රජුගේ උරමඬල පලාගෙන 'කිතල්වර රජ' නමින් උපත ලද බවයි.
3. තෙවනවර (- මහකෙල නා ර-ජුරුවන්ගේ චින්තා මාණික්‍ය රත්නයෙන් 'මහා කෙල නා රජු' ලෙස උපත ලද බවයි.
4. සිව්වනවර (- සක්‍රයාගේ රන් පොත ලියූ රුවන් පන්හිඳෙහි මුදුන් කොත් මාලාවෙන් 'සක්‍ර දිව්‍යරාජයා' නමින් උපත ලද බවයි.
5. පස්‌වනවර (- ජලයෙහි ඉපදී මතු බුදුබව පතන 'බෝසත්වරයකු 'ලෙස උපත ලද බවයි.
6. සයවනවර (- අනෝතත්තවිලේ මහනෙල් මල් දහසක්‌ මැද්දේ මුදුන් මානෙල් මල් රේණුවෙන් ඉපිද බුදුබව පතන 'බෝසත්වරයකු' ලෙස උපත ලද බවයි.
7. සත්වනවර (- මායාරට මායාරජුන්ට දාව අග්‍රරාජ බිසවගේ කුසින් 'බුදුරැස්‌ ' කුමාරයෝ නමින් උපත ලද බවයි.
8. අටවනවර (- තරුරැස්‌ මාලාවෙන් ඉපිද 'තරුරැස්‌ කුමාරයෝ' යන නමින් බුදුබව පතන බෝසත්වරයකු ලෙස උපත ලද බවයි.
9. නවවනවර (- දියනලයේ 'උග්‍රරාක්‌ෂ දේවතාවා' යන නමින් බුදුබව පතන බෝසත්වරයකු ලෙසින් උපත ලද බවයි.
10. දහවනවර (- සඳරැස්‌ මාලාවෙන් 'සඳරැස්‌ 'කුමරු නමින් උපත ලද බවයි.
11. එකොළොස්‌වනවර (- ඉරුරැස්‌ මාලාවෙන් 'ඉරුරැස්‌ ' කුමරු නමින් උපත ලද බවයි.
12. දොළොස්‌වනවර (- හෙණ හඬින් ඉපිද'වාතමේඝ රුසියා'යන නමින් බෝසත්වරයකු ලෙසින් උපත ලද බවයි.
13. දහතුන්වනවර (- මායාරට මායා රඡ්ජුරුවන්ගේ පුරවරයෙහි ජනනායක වූ මායා රඡ්ජුරුවන්ට දාව 

අගබිසවුන්වහන්සේගේ කුසින් 'බුදසිරු'කුමරු නමින් උපත ලද බව කියයි. මෙම උපත් කතා අතරින් අටවාරයක්‌ බුදුබව ප්‍රාර්ථනා කරන බෝසත්වරයකු ලෙස මංගර දෙවියන් උත්පත්තිය ලබා ඇති අතර අවසන් ආත්මභාවයේ දී 'බුදසිරු' නමින් ස්‌වාභාවික උත්පත්තියක්‌ ලබා ඇත. මේ අනුව මංගර දේව උත්පත්ති කතා තුළින් පැහැදිලි වන්නේ බුදු බව ප්‍රාර්ථනා කරන බෝසත් චරිතයක්‌ ලෙස මංගර දෙවියන් ආත්මභාවයන්වල දී සැරිසරා අවසානයේ දී මංගර දේව අඩවිය හෙවත් සබරගමු මහ බින්තැන්න භාර ව කටයුතු කළ මංගර යක්‌ෂ සේනාධිපති බුදුරජාණන්වහන්සේa ලක්‌දිවට වැඩම කළ අවධියේ දී සුමන සමන් යක්‌ෂ සේනාධිපතියා සමග මහියංගනයට ගොස්‌ බුදුරජාණන්වහන්සේගෙන් බණ අසා බුදු දහම වැළඳගෙන දෙවනවර සෝවාන් ඵලයට පත් බුදසිරු කුමරු මංගර නමින් දේවත්වයට පත් වූ සබරගමු මහබින්තැන්නේ ආදිවාසී දෙවන යක්‌ෂ සේනාධිපතියා බවයි. පසුව සුමන සමන් දෙවියෝ හා මංගර දෙවියෝ සබරගමුව දිසා අඩවිය භාර දෙවිඳුන් දෙදෙනා බවට පත්ව ඇති බවයි.

2.  මංගර දේව උත්පත්ති කතාව
 කිරිමඩු ශාන්තියේ එන කතා පුවතකට අනුව මංගර දෙවියන්ගේ උපත මෙසේ ය. මායා රටෙහි මායා රජුට දාව වර්ණ බිසවගේ කුසින් උපන් කුමරු බුදසිරු නම් විය. මේ කුමාරයාගේ ජන්ම පත්‍රය පරීක්‌ෂා කළ ගණිතාවාර්යවරු කියා සිටියේ මේ කුමරු කුළු මීමෙකුගේ අං පහරින් මිය ගොස්‌ දේව ආත්මයක්‌ ලබන බවයි. මෙයට හේතුව වන්නේ දෙසොහොයුරන්ගේ කිරි වෛරය බව කිරිමඩු ශාන්තියෙන් දැනගන්නට ලැබේ. එනම් 'බුදසිරු' හා 'මධුර මායා' කුමරු එකම මී දෙනකගෙන් කිරි උරා බොද්දී තන දෙකේ ම කිරි හිස්‌ වීමෙන් උපන් කිරි වෛරයයි. මේ කුමාරවරුන් දෙදෙනා දෙසොහොයුරන් බව මංගර දේව ශාන්තියේ කවි ගායනාවල දී කියෑවේ. බුදසිරු කුමරු දඩයමට දක්‌ෂ වූ අතර වන සතුන් හා ඉතා කුළුපග වූවෙකි. එබැවින් මධුර මායාකුමරු මීමෙකුගේ වෙස්‌ ගෙන ගවයන්ට ඇන මරමින් මිනිසුන් බිය ගන්වමින් කදිරාගොඩ වන ප්‍රදේශයේ බිහිසුණු ලෙස සැරිසරන ලදී. මේ බව දැනගත් බුදසිරු කුමරු පිරිවර සමග මීමා බැඳීමට පිටත් ව ගියහ. මෙසේ යන ගමනේ දී නුගරුක්‌ සෙවණක දී ඒ නුගේ ඇති මීයක්‌ කඩා ගැනීමට නුගය කපා බිම හෙළී ය. එයට අරක්‌ ගෙන සිටි මධුර මායා කුමරු කෝපාවිෂ්ට වී මීමාගේ වෙස්‌ ගෙන බුදසිරු කුමරු ඉදිරියට පැමිණ මී ගව රැළ මරා දමන ලදී. බුදසිරු උත්සාහ කළේ මීමා නොමරා අල්ලා ගැනීමට වුවත් එම සත්ත්ව කරුණාවෙන් ප්‍රයෝජන ගත් මීමා බුදසිරු කුමරු ඇතුළු පිරිස මරා දමන ලදී.

 පෙර මඟට ගිය බුදසිරු කුමරුගේ පිරිසෙහි සිටි එඩෙර කුමාරයා හෙවත් ගොපලු කුමාරයා ආපසු පැමිණෙන කල්හි බුදසිරු කුමාරයා ඇතුළු පිරිස මරා දමා සිටිනු දැකීමෙන් කෝපාවිෂ්ට වී මීමා මරා දමනු ලැබීය. මරණ ලද මීමාගේ කකුල් හතර කපා කණු හතරට ගෙන ඉලඇටවලින් මැස්‌සක්‌ බැඳ හිස්‌ කබල හැලිය ලෙස ගෙන කිරි ඉතිරවීමට සූදානම් කළේ ය. මෙහි දී කිරි ලෙස ගෙන ඇත්තේ මොළයේ මස්‌තිස්‌කය මිරිකා ගත් දියරයකි. මේ කිරි ඉතිරවීම සඳහා පත්තිනි දේවිය කහ සපයා දුන් බව මංගර දේව යාදින්නේ කියෑ වේ. කහ ඉල්ලා යන කහ කුමරු දේවතාවා වෙත යන පත්තිනි දේවියට කහ කුමාර දේවතාවා සිය අනුහස්‌පාමින් මිනීකිළි හරක්‌කිළි ආදිය නිසා කහ දීමට බැරි බව කියා කහවිලෙහි පණුවන් මැවූ බවත් පත්තිනි දේවිය තම ඔද තෙද පාමින් පණුවන් ඉවත් කර කිරි ඉතිරවීමට කහ සපයාදුන් බවත් මංගර දේව යාදිනිවල කියෑ වේ.

කහ මිශ්‍ර කොට උතුරන ලද කිරි හිරු දෙවියන් නමට වෙන් කොට ඉන් පසු මංගර කුමරුගේ ඇඟට හා සෙසු පිරිසට ඉසීමෙන් ඔවුන්ට නැවත ප්‍රාණය ලැබුණු බව යාදිනිවල සඳහන් ය. ඉන් පසු මීමාගේ කකුල්, ඉලඇට, හිස එක්‌ තැනක තබා කිරි කහදියර ඉසීමෙන් නැවත කුළුමීමාට පණ ලැබුණු බව ද යාදිනිනේ කියෑවේ. නැවත පණ ලැබුණු බුදසිරු කුමරු එතැන් සිට මංගර නමින් දේවත්වය ලැබුණු බවත්, මීමා මංගර දෙවියන්ගේ වාහනය ලෙස යොදා ගත් බවත්, මංගර දේව කවි ගායනාවල දී අසන්නට ලැබේ. මේ අනුව මංගර දෙවියන් වෙනුවෙන් කිරිමඩු ශාන්තිය පවත්වන්නේ මී ගව පට්‌ටිවල ගවයන්ට වැළඳෙන අං ලෙඩ කුර ලෙඩ හොම්බ ඉදිමීම, කකුල් පණ නැතිවීම ඇස්‌ පෙනීම දුර්වල වීම, පට්‌ටිපාලුව ඇතුළු අටඅනූවක්‌ ගවයන්ට වැළඳෙන රෝග නිවාරණයට හා කෙත්වතු බව බෝග සම්පත් වර්ධනය වී ඇස්‌වහ, කටවහ, හෝවහ ඇතුළු මිනිසාගේ සිතෙහි ඇතිවන නරක සිතුවිලිවලින් සිදුවන අවැඩ දුරින් දුරලීම සඳහා ය. කිරිමඩු ශාන්තිය රාත්‍රි 7.00 ට පමණ ආරම්භ කොට පසු දින පස්‌වරු 2.00 ට පමණ අවසන් කරන්නේ සියලු දෙනාට ශාන්තිය ප්‍රාර්ථනා කර කිරි මිශ්‍ර කහ දියර ඉසීමෙනි.

3. ගොපලු මංගර දේව උත්පත්ති කතාව
 කතරගම දෙවියන්ගේ උපත හා බැඳුණු ගොපලු දෙවියන් නමින් ප්‍රකට මංගර දෙවියන්ගේ උපත හා බැඳුණු ජනප්‍රවාදයක්‌ ඌව පළාතේ හල්දුම්මුල්ල වලකුඹුර ගම්මානයෙන් දැනගන්නට ලැබුණි. එම කතාව මෙසේ ය. භස්‌ම අසුරයා දිනක්‌ මහත් උද්වේගකර හැඟීමෙන් යුතුව උමයංගනාව වෙත ගියේ ය. උමයංගනාව ඊශ්වර දෙවියන්ගේ පතිනියයි. 'ඊශ්වර දැහැන' ජප කළහොත් කවර පුද්ගලයකු වුවද දවා අළු කළ හැකි බව භස්‌ම අසුරයා දැන සිටියේ ය. මේ නිසා භස්‌ම අසුරයා සිටියේ භීතියට පත් වෙමිනි. ඊශ්වර දැහැන ඉතා බලගතු මන්ත්‍ර ජප කිරීමකි. එය කෙසේ හෝ ලබා ගන්නා අටියෙන් භස්‌ම අසුරයා කර්ට උපායශීලී හැඟීමෙන් යුතුව ඊශ්වර දෙවියන්ගේ පතිනිය වූ උමයංගනාව වෙතට පැමිණියේ ය.

 මා ඔබ වෙත පැමිණියේ වහල්සේවා කම් කිරීමටයි. ඔබ පවරන කිනම් කටයුත්තක්‌ වුවද මා නොපමාව නොපිරිහෙළා ඉටුකර දෙනවා. ඔබට පමණයි කියා දිය හැක්‌කේ කවර ජගතකු වුවද දවා අළු කරන ඊශ්වර දැහැන යනුවෙන් භස්‌ම අසුරයා උමයංගනාව ඉදිරියේ බැගෑපත් වන්නට විය.

 හොඳයි එහෙනම් දොළොස්‌ අවුරුද්දක්‌ මට බැලමෙහෙකම් කරමින් කඹුරපන් ඊට පස්‌සේ මං උඹට ඊශ්වර දැහැන දෙන්නම් දෙවියෝ පිළිතුරු දුන්හ.

 පොරොන්දු වූ පරිදි භස්‌ම අසුරයා පුරා දොළොස්‌ වසරක්‌ ඊශ්වර දෙවියන්ට බැල මෙහෙවර කළේ ය. ඉක්‌බිති ඊශ්වර දෙවියෝ භස්‌ම අසුරයා හට රහස්‍ය -ඊශ්වර දැහැන ඉගැන් වූහ. ඕ දැහැනෙන් අත්ලට මතුරා යමෙකුගේ හිස මත අත්ල තැබූ මොහොතෙහිම ඔහු දැවී අළු බවට හැරෙන්නේ ය.

 ඊශ්වර දැහැන උගත් භස්‌ම අසුරයා පළමුවෙන් ම කල්පනා කළේ ඊශ්වර දැහැනේ සැබෑ බල තත්ත්වය දැන ගැනීම සඳහා ඊශ්වර දෙවියන් දවා අළු කිරීමට ය. එහෙත් භස්‌ම අසුරයාගේ දුෂ්ට කපටි චේතනාව දැන ගත් ඊශ්වර දෙවියෝ වහාම පළාගොස්‌ සැඟවුණේ ය. භස්‌ම අසුර ඊශ්වර ලුහුබැඳ ගිය නමුදු සැඟවුණු තැනින් සොයා ගැනීමට නොහැකි විය. ඊළඟට ඔහු ගියේ ඊශ්වරගේ භාර්යාව වූ උමයංගනාව වෙත ය. ඊශ්වර ඇයට ද සැඟවෙන ලෙස දන්වා ලූයෙන් එම අවස්‌ථාව ද භස්‌ම අසුරයාට නොලැබුණි.

 මේ මොහොතේ දී උමයංගනාවගේ සහෝදරයා වූ විෂ්ණු ඉදිරිපත් විය. විෂ්ණු දෙවියන් ඉතා රූමත් තරුණියකගේ වේශයක්‌ ගෙන භස්‌ම අසුරයා මුළා කිරීමට සැරසුණි. භස්‌ම අසුරයා පැමිණෙන මග මල් නෙළමින් සිටින තරුණියක සේ විෂ්ණු වෙස්‌ මාරු කරගෙන පෙනී සිටියේ ය. භස්‌ම අසුරයාගේ ආශාව වූයේ ඊශ්වර වනසා උමයංගනාව පාවා ගැනීමය. එහෙත් මේ රූමත් තරුණිය දැක්‌මෙන් ඔහු ඇගේ රූ සිරියෙන් මන්මත් විය.
 ඇය උමයංගනාවට වඩා කෙතරම් රූමත් ද? ඇය තම භාර්යාව බවට පත්කර ගැනීමට සිතූ භස්‌ම අසුරයා ඇයට විවාහ යෝජනාවක්‌ ඉදිරිපත් කළේ ය.

 පිරිමි විශ්වාස කරන්න බෑ ? ඒ වගේ ම ඔවුන්ට භාර්යාවන් රැසක්‌ සිටිනවා. රූමත් තරුණිය මල් නෙළන අතරෙහි පැවසුවා ය.

 එසේ නොවන්නේ නම් ඒ බව තම හිසෙහි අතගසා දිවුරා පොරොන්දු වන සේ තරුණිය පැවසුවේ සෘජු ස්‌වරයෙනි. තම අත්ලට 'ඊශ්වර දැහැන' මතුරා ඇති බව අමතක වු භස්‌ම අසුරයා හිසේ අත ගසා දිවුරුම් දුන්නේ තරුණිය සතුටු කරන අටියෙනි. එහෙත් එකෙණෙහිම දුෂ්ට කපටි භස්‌ම අසුරයා දැවී අළු බවට පත්විය.

 මෙතෙක්‌ වේලාවක්‌ වෙස්‌ වලාගෙන සිටි විෂ්ණු ඔංචිල්ලාවක්‌ මවා එය පදිමින් හුන්නේ ය. ආපසු නිවස බලා ගමන් ගන්නා ඊශ්වර දෙවියන්ට පෙනෙන ලෙසිනි. තරුණියගේ රූප ශ්‍රීය දුටු ඊශ්වර මන්මත්ව ඇය තම භාර්යාව බවට පත්කර ගැනීමට සිතී ය. එසේ සිතා තම භාර්යාව වශයෙන් පැමිණෙන ලෙස ඊශ්වර ඇයට ආරාධනා කළේ ය.

 ඇයි ඔබට භාර්යාවක්‌ නැද්ද? ඕ විමසුවා ය. තමා විවාහක බවත් එසේ වුවද ඇය ද තම භාර්යාව වශයෙන් තමා පිළිගැනීමට කැමති බැවි ඊශ්වර පැවසුවේ අවංක හැඟීමෙනි. භාර්යාවන් දෙදෙනෙකු එකම නිවසක සිටින විට අඬදබර ඇති නොවන්නේ දැ යි තරුණිය විමසුවේ තරමක කුතුහලයෙන් යුතු හැඟීමෙනි. යම් හෙයකින් ඇයගේ අවසරය ලැබේ නම් තමා භාර්යාව වශයෙන් පැමිණීමට කැමැති බැව් ඕ වැඩිදුරටත් කියා සිටියා ය.

 ඊශ්වර නිවසට ගොස්‌ උමයංගනාවගේ අවසරය රැගෙන පැමිණෙන විට දක්‌නට ලැබුණේ තරුණිය ගැබ් ගෙන සිටින බවයි.

 ආහ් ? ඔබේ බිරිද දරුවකු සමඟ කාන්තාවක්‌ නිවසට කැඳවා ගෙන ඒමට කැමති වෙයි ද? තරුණිය ප්‍රශ්න කළා ය.
 ඊශ්වර යළිත් නිවස බලා ගියේ ඒ සඳහා උමයංගනාවගේ අවසර ලබාගෙන රූමතිය කැඳවා ගෙන යැමේ අදහසිනි.

 අවසරය ලබාගෙන යළිත් පැමිණි ඊශ්වර හට දක්‌නට ලැබුණේ ඇය පිරිමි දරුවකු ප්‍රසූත කළ බවයි.

 අහ් ? ඔබේ බිරිඳ කැමති වෙයි ද? පිරිමි දරුවකුත් සමඟ කාන්තාවක්‌ කැඳවාගෙන ඒමට යළිත් ප්‍රශ්නයක්‌ නැඟුණි. ඊශ්වර නැවත ඒ සඳහා අවසරය ගැනීමට උමයංගනාව කරා ගියේය. ඊශ්වර අවසරය ගෙන පැමිණෙන විට රූමත් කාන්තාව සිටියේ දෙවන වරට ගැබ් බරිනි.

 එවර ද ඊශ්වර ඒ පුවත පැවසීමට උමයංගනාව වෙත ගියේ ය. යළිත් පැමිණෙන විට තුන් වන දරුවා ද ලැබෙන්නට ආසන්න බව පෙනී ගියේ ය. මේ අයුරින් ඕ පුතුන් සය දෙනෙකු බිහි කළා ය. සත්වන වතාවෙහි ඊශ්වර ඇය කරා ගමන් ගන්නා විට උමයංගනාව ද ඔහු හා සමඟ මේ පුදුම ස්‌ත්‍රිය දැක ගැනීමේ අදහසින් ගියාය.
 ඒ වන විට සත්වන දරුවා ද බිහි වී සිටිනු දක්‌නට ලැබුණි.

 මේ පුදුම උමයංගනාව - අපෝයි ? අපෝයි මේ දරුවෝ මගේ සැමියාගේ කියා පිරිමි දරුවන් හය දෙනෙකු දෑතින් බදාගති.

 එකෙණෙහිම ඔවුන් සයදෙනාගේ සිරුරු ඒකාබද්ද විණි. මුහුණු සයක්‌ හා අත් දොළසකින් යුත් රූපයක්‌ මැවුණි. කතරගම දෙවියන් මැවුණේ එසේ ය.

 උමයංගනාව වැළඳ ගනිද්දී එක්‌ දරුවෙකු බැහැර විණ. ඒ දරුවා මංග් - ආරි කුමාරයා නම් විය. මගෙන් අත්හැරුණු කුමාරයා යනු ඒ නාමයේ අර්ථයයි. එහෙයින් උමයංගනා මෙම කුමාරයා ආමන්ත්‍රණය කළේ 'මංගර කුමාරයා' යන නාමයෙනි. මෙම කුමාරයා දින ගණනක්‌ වන ගතව වනයේ සැරිසරමින් ගත කළේ ය. එහි දී ඔහුට මදුරමායා රජුගේ පුත්‍රයා හමු විණි. මොවුන් දෙදෙනා අතර මිත්‍ර සම්බන්ධතාවයක්‌ ගොඩ නැඟුණි. ඒ අතර දිනක්‌ මංගර කුමාරයා මී දෙනකගෙන් කිරි දෙවුවේ ය. එසේ දොවන ලද කිරි සියල්ලම සිය මිතුර රජ කුමාරයා හට ඉතිරි නොකර බිව්වේ ය. එයින් කෝපයට පත් රජ කුමරු මංගර කුමාරයා මරා දැමීමට කටයුතු කළේ ය. ඉන්පසු මංගර කුමරු යළි ඉපදී නුග ගහකට අරක්‌ ගත්තේ ය. එතැන් සිට ඔහු හඳුන්වන ලද්දේ 'කිරි කුමාර දේවතාවා' නමිනි.

 එතැන් සිට මංගර කුමරු වනයේ හැසිරෙන මී හරකුන් සමඟ ද ගම්බද ජනතාව සමඟ ද මිතුරුදම් බැඳගති. ඔවුන් සමඟ ගමේ භාෂාවෙන් අදහස්‌ හුවමාරු කර ගත්තේ ය. කුඹුරු වතුපිටි මඩ ගොහොරු හා අසල වනාන්තර තුළ සැරිසරන්ට විය. වල් මී හරකුන් සමඟ නිරතුරු ඔබ මොබ ගියේ ය. කිරි කුමාර දේවතාවා ඔහුගේ භූත පිරිවර සමඟ ගම් වැසියන්ගේ මී හරකුන් කැලයට ගෙන ගොස්‌ මංමුළා කිරීමට පටන් ගැනීම නිසා අවමානයට ලක්‌ කෙරිණි. මී හරකුන් වල්මත් කිරීම ගැන ඔහු වගකිව යුතු යෑයි ගම් වැසි ජනයා කියා සිටියහ. මංගර කුමාරයා නුග ගස බිඳ හෙළන ලෙස සිය අනුගාමිකයන් හට නියෝග කළේ ය. භූතයන් වාසය කරනුයේ ඒ ගසට අරක්‌ ගෙන බැවිනි. ගස්‌ කපන්නන් පිරිසක්‌ ආයුධ රැගෙන ගස මුලට පැමිණි කල දක්‌නට ලැබුණේ එහි බැඳ තිබෙන විශාල මී වදයකි. එය භූතයන් විසින් මවන ලද්දකි. ගස කැපීමට පෙර මී වදය කඩා ගත යුතු යෑයි ඔවුහු තීරණය කළහ. ඒ සඳහා කොතෙක්‌ උත්සාහ කළ ද මී වදය කඩා ගැනීමට හැකි වූයේ නැත. අනතුරුව ඔවුන් කල්පනා කළේ ගස කපා බිම හෙළා මී වදය කඩා ගැනීමටයි. එහෙත් පළමු පොරෝ පහර ගසත්ම පොරවේ මුවහත කැඩී ගියේ ය. ගම් වැසියන්ගේ උත්සාහය ව්‍යර්ථ වන බව පිරිවර මංගර කුමරුට කියා සිටියහ.

 මේ අවස්‌ථාවේ මංගර කුමාරයා ගස මුඳුනට නැග්ගේ මී වදය අතින්ම කඩා ගන්නා අදහසිනි. ඔහු මී වදයට ළංවත් ම එය ක්‍රමයෙන් කුඩා විය.

 ඒ කිරි කුමාර දේවතාවා ය ? මේ නුග ගසෙහි ඔහු වාසය කරන්නේ ය. එකෙණෙහි ම කිරි කුමාර දේවතාවා කුළු මීමෙකුගේ වෙස්‌ ගෙන වන ගැබ තුළට පලා යන්නට විය. මංගර කුමාරයා ඔහු ලුහුබැඳ ගියේය. වහා ලුහුබැඳ ගොස්‌ මරා දමන ලෙස සිය පිරිවර ජනයාට ද අණ දුනි. කුළු මීමා ලුහුබැඳ ගිය පිරිසේ සියලු දෙනාම ගවරවිල නමින් හඳුන්වන ලද විශාල මඩ වගුරක්‌ අසල දී මරා දමන ලදී. ඔවුන් මරුමුවට පත් කරන ලද්දේ කුළු මී හරකාගේ වෙස්‌ ගත් කිරි කුමාරයා විසිනි. ඒ අසලට ගමන් ගත් මංගර කුමරු විශාල පඳුරකට මුවා වී සිදු වූ සියල්ල බලා සිට ඉදිරියට පැමිණෙන කවර වන මෘගයෙකු වූවද මරා දැමීමට ඉටා ගති. ඒ ඇසිල්ලෙහි ඉදිරියට පැමිණෙනු දුටු කුළු මී හරකකු දැක මංගර කුමරු තම බාහුවල ශක්‌තියෙන් උගේ සුවිසල් අං දෙක අල්ලා පිටට පැන නැග ඉක්‌බිතිව අං දෙක උඩ සිටගති.

 එකෙණෙහිම කුළු මීමා උඩ පැන පැන දුවන්නට පටන් ගති. පවනට බඳු වේගයෙන් කුළුමීමා පළමුව දිව්වේ ගවරවිල නම් වූ සුවිසල් විල වටා ය. ටික වේලාවක්‌ එසේ දිව ගොස්‌ ගල් තලාවක්‌ මත දී අං දෙකෙහි නැග සිටි මංගර කුමරු ඇද හෙළී ය. අනතුරු ව මැරෙන තුරු ඇන්නේ ය.

 මේ සිද්ධිය පිළිබඳ දේව සභාව රැස්‌ වී සාකච්ඡා කරන්නට පටන් ගත්තේ ගතයුතු පියවර පිළිබඳව තීරණ ගැනීමට ය. මංගර කුමාරයා හට යළිත් ජීවය ලබා දී වනයේ සියලු කුළු මීහරකුන් මරා දැමීමට වරම් දිය යුතු යෑයි දේව සභාව ඒකමතිකව තීරණය කළහ.

 අනතුරුව දේව හමුදාව පැමිණ මංගර කුමරුට මරු කැඳවූ මීමා මරා දැමූහ. මංගර කුමරුගේ ආරක්‌ෂකයන් වන එෙŒර දේවතාවා සහ කිරිදුන් දේවතාවා එක්‌ව මියගිය මීමාගේ සිරුර කීතු කීතුවලට ඉරා වෙන් කළහ. ඒ කොටස්‌ උපයෝගී කර ගනිමින් පළමුවන -කිරිමඩුව පවත්වන ලදී. එය පැවැත්වූයේ මංගර කුමාරයාගේ සිරුර නිමිති කොට ගෙන ය.

 දඬු මැස්‌ස තනා එය මත්තෙහි කිරි ඉතිරවීමෙන් කිරිමඩුව අවසාන කිරීම සිදු කෙරෙන්නේ එම සිද්ධිය පදනම් කර ගෙන ය. කිරි මැස්‌ස තැනීම සඳහා මිය ගිය මීමාගේ සිරුරේ කොටස්‌ උපයෝගි කර ගන්නා ලදී. එය පහත සඳහන් අයුරිනි.

 මීමාගේ කකුල් හතර -මැස්‌සේ කණු හතර ද
 මීමාගේ ඉළඇට දොළස - මැස්‌සේ දිගට හා හරහට තබන පොලු ලෙස ද
 මීමාගේ ගොම් පස්‌- කිරි මැස්‌ස මත මැටි දමා අතුරා ගොම ගා පදම් කිරීමට ද
 මීමාගේ සම - උඩු වියනට ද
 මීමාගේ වලිගය - ඊ ගසට ද මීමාගේ නහර වැල් - මන්දට ද
 මීමාගේ කන් දෙක - ගිනි පවන්වලට ද
 මීමාගේ කොඳු ඇට පෙළ -බිලි කණුවට ද මීමාගේ බඩ වැල් - වට තිරයට ද මීමාගේ හිස්‌ කබල - කිරි උණු කරන හැළියට ද මීමාගේ මොළ - කිරිවලට ද මීමාගේ උගුරු දණ්‌ඩ - ගිනි පිඹින බට ලීයට ද මීමාගේ ඇස්‌ දෙක - බටු බැඳුමට ද

 යොදාගෙන මෙසේ තැනූ කිරිමැස්‌ස මත කිරිබඳුන තබා ගින්නෙන් රත් කර උණු කළ පසු ඉහත කී දේවතාවන් දෙදෙනා ඒ කිරි මංගර කුමාරයාගේ මළ සිරුර මත ඉස්‌සෝ ය. එවිට මළ සිරුර ඇසිපිය හෙළන්නට පටන් ගති. සෙලවෙන්නට පටන් ගති. හුස්‌ම ගන්නට පටන් ගති. මංගර කුමාරයා ප්‍රාණය ලබා නැගී සිටියේ ය. ඉන්පසු ඔහු -මංගර දෙවියෝ නමින් ප්‍රසිද්ධියට පත් විය. අනතුරුව කුළු මී හරකුන්ට අධිපති දෙවියා ලෙස වැඳුම් පිදුම් ලබන්නට පටන් ගත්හ.

 මංගර දෙවියන් හා බැඳුණු - කිරිමඩු ශාන්ති කර්මය
 මෙසේ කිරි ඉතිරවීමට තනාගන්නා ලී මැස්‌ස සාදාගන්නේ ශක්‌තිමත් ලී කණු හතරක්‌ සිටුවා ඒ කණු හතර මත මැස්‌සක්‌ තනා එහි මැටි සහ ගොම එකට අනා පදමට වියළෙන්නට හැරීමෙනි. ඉන්පසු ලිප් ගල් තුනක්‌ මත කිරි බඳුන තබා යටින් ගිනි දල්වා කිරි උතුරවනු ලැබේ. ඉන්පසු කිරි කට්‌ටඩියා පිටි සහ කහ දියර එකට අනා තම ඉල ඇට පිළිබිඹු වනසේ සලකුණු කරයි. ඉන්පසු බෙල්ලේ තුවාල සලකුණු ලෙස පෙනෙන පරිදි රතු පාට ගාන්නේ මංගර කුමරට වල් මීමා ඇන පහර දුන් සලකුණු සිහිපත් කරමිනි. ඉන්පසු ඇඹරූ කහපාට නූලක්‌ කිරි කට්‌ටඩියාගේ උරමත පළඳී. එය මන්ද පිළිබිඹු කිරීම සඳහා ය.

 මේ කිරිමඩු ශාන්ති කර්මය සඳහා පැය පහළොවක කාලයක්‌ එනම් පහළොස්‌ පැයක්‌ ගතවේ. පූජාව පිළිගන්වමින් කිරි කට්‌ටඩියා කවි යාදිනි හා කන්නලව් කියමින් මංගර දෙවියන්ගේ පිහිට පතයි. සහල් පිටිවලින් තැනූ රොටී කහ දියරින් සුපිරිසුදු කළ කැවිලි වර්ග ද අනෙකුත් අඩු වැඩිය ද කිරි කට්‌ටඩියා මංගර දෙවියන්ට කැප කරන්නේ ය. දෙවියන්ට පිළිගැන් වූ කිරි රොටී හඳුන්වන්නේ 'ගොදඹ රොටී' යන නාමයෙනි. අනතුරු ව එම රොටී රැස්‌ව සිටින පිරිසට අනුභව කිරීමට කිරි කට්‌ටඩියා විසින් බෙදා දෙනු ලැබේ.

 අද පවා සබරගමු බින්තැන්නේ ජනතාව මංගර දෙවියන් කෙරෙහි ඇත්තේ බිය මුසු භක්‌තියකි. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ දී වැදගත් ස්‌ථානයක්‌ මෙම දෙවියන්ට හිමි වේ. එක්‌ අවස්‌ථාවක කේරතල වැගුණපට්‌ටියේ ප්‍රධාන ගව පට්‌ටි හිමියෙකුගේ හොඳම මී වස්‌සා අතුරුදන් විය. ඌ යොදා ගන්නේ අලුතෙන් සීයට මී නාම්බන් පුහුණු කිරීම සඳහා ය. මී වස්‌සා අයිතිකාර රන් කිරා මංගර දෙවියන්ට බාර වී නුග ගසක පඬුqරක්‌ ගැට ගැසීය. තුන් දිනක්‌ ගත වත්ම මී වස්‌සා තම නිවස අසල ගව පට්‌ටියට පැමිණ සිටියේ ය. අනතුරු ව බාර වූ පරිදි කිරිමඩුවක්‌ නටා බාරය ඔප්පු කළේ ය. අද පවා සබරගමු මහබින්තැන්නට අයත් තංජන්තැන්න මංගර දේවාලයේ මංගර දෙවියන්ට බාරහාර වී වාර්ෂිකව කිරිමඩු ශාන්ති කර්මය සිදු කරන්නේ චාරිත්‍රයක්‌ වශයෙන් පමණක්‌ නොව මංගර දේව අඩවියේ මංගර දෙවියන්ගේ අනුහස්‌ සැබෑ ලෙස පවතින බව ජනතාව තුළ පවතින විශ්වාසය නිසා ය.
 විශේෂයෙන් සබරගමු බින්තැන්නේ මී ගව පට්‌ටි හිමියෝ නැතහොත් ගම්භාරරාළවරු අදටත් වල් මී ගවයන් ඇල්ලීම සඳහා මන්දට මතුරා මන්ද කරලාගෙන වන ගත වන්නේ මංගර දෙවියන්ට බාරහාර වීමෙන් අනතුරුව වේ. සමහර බින්තැන්නේ වනගත ප්‍රදේශවල වල් මීහරකුන් මදු ගසා ඇල්ලීමට මී ගවපට්‌ටිකරුවන් සැරසෙන්නේ පළමුවෙන් මංගර දෙවියන්ට බාර වී කිරිමඩුවක්‌ පවත්වා මංගර දෙවියන්ගෙන් වරම් ලබා ගැනීමෙන් අනතුරුව වේ. මී ගවයින් මං මුළා වී වනයේ අතරමං වූ කල්හි සොයා ගැනීමට නොහැකිවූ විට ගව පට්‌ටිහිමියෝ මංගර දෙවියන් උදෙසා කිරිමඩුවක්‌ පවත්වා පිහිට යදිති. සිය මී වස්‌සන්ට මී දෙනුන්ට වසු පැටවුන්ට වැළඳෙන පාචනය, අං ලෙඩ, කුර ලෙඩ, කට ඉදිමීම ඇතුළු අටඅනූවක්‌ රෝග නිවාරණය කර පට්‌ටි පාළුව වළක්‌වා දෙන ලෙසට මංගර දෙවියන්ට බාරහාර වේ. එමෙන්ම මී වසුපැටියන් කැලෑ කොටින්ගෙන් ආරක්‌ෂා කරදෙන ලෙස බාරහාර වන්නේ ද වසරකට දෙවතාවක්‌ යල මහ කන්න දෙකේ දී කෘමි වසංගත රෝගවලින් බව බෝග රැකදෙන ලෙසට ද මංගර දෙවියන්ට බාර හාර වී කිරිමඩුවක්‌ පවත්වා මංගර දෙවියන්ගේ පිහිට ආරක්‌ෂාව පැතීම සබරගමු බින්තැන්නේ ජනයා චාරිත්‍රයක්‌ වශයෙන් සිදු කරයි.

මංගර දෙවියන් සම්බන්ධ අභිවාර විධිය කිරි මඩු ශාන්ති කර්මයයි. මංගර දෙවියන් සමග පත්තිනි දේවතාවිය, සුමන සමන් දෙවියන් හා කතරගම දෙවියන් පරිවාර දෙවියන් ලෙස කිරිමඩුව ශාන්ති කර්මයේ පුද ලබයි.

සබරගමු නර්තන සම්ප්‍රදායේ සුවිශේෂී නර්තනාංගයක්‌ වන කිරිමඩුව, විශේෂයෙන් රත්නපුර, කලවාන, කුරුවිට, කොළොන්න සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කීපයක පවතී.

ගැමියන් තම අස්‌වනු නෙළාගැනීමෙන් පසු අතමිට සරුව විවේකීව වෙසෙන කාලපරාසය තුළ ගව මහීෂාදීන් ආරක්‍ෂා කර ගැනීමත්, වඳුරු වසංගත රෝබිය දුරු කර ගැනීම පිණිසත් කිරිමඩු ශාන්ති කර්මය පවත්වයි.

උඩරට කොහොඹා යක්‌ ශාන්ති කර්මයේ මෙන්ම කිරිමඩු ශාන්ති කර්මයේදී ද කප් සිටුවීම කොට පේ කිරීම, පහන් දැල්වීම, මංගල දවුල්වාදනය මංගරදේවතා කන්නලව්ව දළුමුරපාලිය යහන් දැකීම පන්දම්පද ඇතුළු නර්තනාංග රැසක්‌ සිදු කෙරෙන අතර අවසානයේ කෙරෙන දේව ශාන්තියෙන් මඩුව නිමාවේ.

මංගර දෙවියන් පිළිබඳව කියවෙන එක්‌ පුරාවෘත්තාන්තයකට අනුව මංගර කුමරුන් මී කැඩීම සඳහා වනයට ගිය අවස්‌ථාව එය කැඩීමට ගත් උත්සාහයකදී රජමැස්‌සිය මියගිය අතර එම රජ මැස්‌සිය ගවරවිලේ මීමෙකු වී උප්පත්තිය ලබන බවත් මෙම මීමා මරා කිරි උතුරවා සෙත් ශාන්ති කර්මය කොට නැවත එම මීමාට පණ ලබාදෙන බව පැවැසේ.
(නර්තනය අතිරේක කියවීම් පොත - ඥාණසිරි පීරිස්‌)

මංගර දෙවියන් කිරිහරකුන් භාරව සිටින දෙවියා ලෙසද සැලකේ. සුදු ඇඳුමකින් සැරසී නිතර සැරි සරන බව ජන විශ්වාසයේ පවතී. මෙතෙමේ සිරිලක මායා රටේ උපන්නෙකු බවත් ඉන්දියාවට ගොස්‌ සිට පසුව ලංකාවට නැවත පැමිණ රුහුණේ උයන්ගොඩ විසූ බවත් එහිදී දේවාල භූමියේ නුගගසක තිබූ මීයක්‌කඩා කෑමේදී මීමෙකු ඔහුට ඇනීමෙන් මංගර කුමරු මියගිය බවත් පසුව දෙවියෙකු වී උප්පත්තිය ලැබූ බවත් පැවැසේ.
(සිංහල දේව පුරාණය)

මෙතෙමේගේ තවත් උපන් කතාවකට අනුව මංගර කුමරු බිසවකගේ පියයුරු දෙමැදින් උප්පත්තිය ලද බව කියවේ.

මායාරට විසූ කිතල්වල රජුට බිසවුන් සත්දෙනකු සිටියහ. එම බිසෝවරු සත්දෙනාගෙන් එක්‌ බිසොවක්‌ දිය නෑම පිණිස හුදෙකලාවම අසල පිහිටි විලකට ගියාය. විලේ දිය නෑ බිසව ආපසු පැමිණ රාත්‍රියේ නිදි යහනට ගිය පසු අපූරු සිහින තුනක්‌ දුටුවාය. පළමු සිහිනයෙන් දැවැන්ත නාගයෙකු දුටු බිසව, දෙවැනි සිහිනයෙන් අගනා මැණිකක්‌ද, තුන්වන සිහිනයෙන් ඇය රනින් නිම කළ ඔටුන්නක්‌" හිස පැළඳ සිටිනුද දුටුවාය. මෙම සිහින විමසූ නැකත් කරුවන්ගේ මතය වූයේ බිසව බලසම්පන්න කුමරෙකු ලබන බවයි. තවත් උපන් කතාවට අනුව මංගර කුමරු නාග පෙනයෙන්, පන්හිඳෙන් ගිනිදළුයෙන්, මාණඛ්‍යයෙන් හිරුරැස්‌ වළල්ලෙන් මවු කුසින් දෙපියුරු මැදින් ආදී වශයෙන් සත්වාරයක්‌ උපන් බව සිංහල දේවපුරාණයේ පැවැසේ.

මෙතෙමේ සිය ආත්ම භාවයන් අතර දහතුන්වන ආත්ම භාවයකදී ඉන්දියාවේ දකුණු වෙරළබඩ ප්‍රාන්ත රජෙකුගේ රාජුත්‍රයෙකුව උප්පත්තිය ලබන බවද එසේ උප්පත්තිය ලබන මංගර කුමරු සැහැසි ගති පැවැතුම් ඇත්තෙක්‌ වන අතර රජුට එපා වන මොහු පිරිසක්‌ සමග රටින් පිටුවහල් කරන බවද පැවසේ. මෙසේ ලක්‌දිවට පැමිණෙන මංගර කුමරු රුහුණු රට පෙදෙසේ කලක්‌ සිට බිංතැන්නට පැමිණෙන බවද, එහිදී බණ්‌ඩාර පිරිසක්‌ද කැටුව බලවතෙකුව සිටින බවද පැවැසේ. මංගර දෙවියන්ගේ රූප කතරගම වැඩසිටි කන්දේ ද බේරුවල සූනියම් දේවාලයේද උඩුනුවර ඇම්බැක්‌ක දේවාලයට ආසන්න වෙලම්බඩ කන්දේ දේවාලයේද පවතී.

පාලි මංගර, දෝලී මංගර, කහමංගර, කිරි මංගර තෙද මංගර, උණ මංගර, යන නම් වලින්ද හඳුන්වනු ලබන මංගර දෙවියන් සාමය පතුරුවන සාමයට ලැදි දෙවියෙකු ලෙසද මතු බුදු බව ප්‍රාර්ථනා කරනු ලබන දෙවියෙකු ලෙසද ජනවහරේ පවතී.

සබරගමු නර්තන සම්ප්‍රදායේ පවතින කිරි මඩුව මෙන්ම මේ වන විට අභාවයට යමින් පවතින මංගර මඩුවද විශේෂයෙන් ගව සම්පත ආරක්‍ෂා කර ගැනීමත් ගවම්පත වර්ධනය කර ගැනීම සඳහාත් කෘෂිකාර්මික භව භෝග සම්පත් ආරක්‍ෂා කර ගැනීම සම්බන්ධවත් පවත්වනු ලැබූ ශාන්ති කර්මයකි. කිරිමඩුව ශාන්ති කර්මයේදී මෙන්ම මංගර මඩුව පවත්වනු ලබන්නේද කප්සිටුවා නියමිත දින වකවානු යොදා ගැනීමෙනි. මංගර මඩුවේදීද මංගල දවුල්වාදන පවත්වා දෙවියන්ට නමස්‌කාර කිරීමක්‌, මංගරදෙවි කෝල්මුර කවිගායනා ඇතුළුව නර්තනාංග රැසක්‌ මෙහිදී සිදු කෙරේ. විශේෂයෙන් සිවුවරම් දෙවියන් ඇතුළුව විෂ්ණු, කතරගම, නාථ දෙවිවරු සමූහයකට මෙහිදී ආරාධනා කෙරේ. මංගර මඩුව මේ වන විට පවත්වනු දක්‌නට ලබන්නේ කලාතුරකිනි.

මංගර දෙවියන්ගේ විස්‌කම් සහිත යාදින්නාව මෙසේ දැක්‌වේ.....
"මංගර දේවතාවුන් වහන්ස ඔබ වහන්සේ දස දහසක්‌ සක්‌වලට, කොදෙව් දෙදහසට රුහුණු මායා පිහිටි රට යෑයි නාමයෙන් ප්‍රසිද්ධ වන්නා වූ මෙම සිංහල දිවයිනට ඔබ අණ පවතිනවා සත්තවාදී සැබෑවී නම් බින්තැන්නේ මහ ලේවායේ සිටින හස්‌ති රාජයා අල්ලා දණ නමස්‌ කාර කළ ආනුභාව අද දක්‌වා මෙම ලංකාවේ පැතිර පවතිනවා සැබෑ වී නම් කතරගම කන්ද ස්‌වාමින් වහන්සේගේ ඇලිමුවා අල්ලා මරා හතර ගාතෙන් වෙන වෙනම කපා නැවත ප්‍රාණේ පිහිටුවා කතරගම කන්ද ස්‌වාමීන් වහන්සේට දණ නමස්‌කාර කරවපු තැනේදී " හරි මාගේ මස්‌සිනේ" යි කියා කතරගම කන්ද ස්‌වාමීන් වහන්සේගෙන් නිසිසේ නින්දගම් දහඅටක්‌ තෑගි ලැබුවා සත්‍යවාදී සැබෑ වී නම් ලොව්තුරා සර්වඥයන් වහන්සේගෙන් වරම් ගෙන දහඅට දේශයේ යකුන්ට ශ්‍රීවික්‍රම සෙනෙවිරත්න යෑයි නමකින් ප්‍රසිද්ධව මෙම ශ්‍රී ලංකාවේ පැතිර පවතිනවා සත්‍යවාදී සැබෑවී නම් සමන් සුරිඳුගේ ඇලි කිඹුලා අල්ලා මරා නැවත ඉපැද්දු තැනේදී සතර කෝරලේa ඉහළ දොළොස්‌ පත්තුව නින්ද ගබඩාගම් කොට දුන්නු ආනුභාව මෙම ශ්‍රී ලංකා ද්වීපයේ පැතිර පවතිනවා සත්‍යවාදී සැබෑවී නම්........... යනුවෙනි.... 
.
..............අන්තර්ජාලය ඇසුරෙනි................. දැනුම සොයන්න මේ පාරෙන් එන්න
කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) - Your Choice Way

කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) - Your Choice Way

කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) - Your Choice Way

කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) කිරිමඩුව ශාන්ති කර්මයෙන් පුද ලබන "මංගර දෙවියෝ" (Mangara Dewiyo) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, June 05, 2022 Rating: 5

0 comments:

Post a Comment