Your Choice Way

කාන්තාවන් වෙනුවෙන් මිය ගිය කාන්තාව (The Woman Who Died For Women)

කාන්තාවන් වෙනුවෙන් මිය ගිය කාන්තාව (The Woman Who Died For Women) - Your Choice Way

විසිවන ශතවර්ෂයේ මුල් භාගය වන විට බ්‍රිතාන්‍යය තුළ කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති අයිතිය ලබා ගැනීම සදහා ගොඩනැගුණු ව්‍යාපාර විශාල ලෙස වර්ධනය විය. එහෙත් මෙම අයිතිය ලබා ගැනීම සඳහා කැපී පෙනන දායකත්වයක් ලබා දුන් එක් සුවිශේෂී කාන්තාවක් සිටින ලදී. ඇය නමින් එමිලි විල්ඩින් ඩේවිසන් ය.

1897 දී මිලිසන්ට් ෆොසෙට් නම් බ්‍රිතාන්‍ය ජාතික කාන්තා ක්‍රියාකාරිනියක් විසින් 'ජාතික කාන්තා ඡන්ද අයිතිය පිළිබඳ සංගමය' (NUWSS) පිහිටුවන ලදී. ඔවුන්ගේ අරමුණ වූයේ සාකච්ඡා හෝ උද්ඝෝෂණ වැනි අවිහිංසාවාදී ක්‍රම මගින් කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමයි. වසර හයක කාලයක් ඔවුන් තම අයිතිය දිනා ගැනීම පිණිස සටන් කලද එහි කිසිදු ප්‍රගතියක් ලබා ගැනීමට ඔවුන් අපොහොසත් විය. 

මේ නිසා කලකිරුණු බ්‍රිතාන්‍ය දේශපාලන ක්‍රියාකාරිනියක් වූ එම්ලයින් පන්හර්ස්ට් විසින් කාන්තා සමාජ හා දේශපාලන සංගමය (WSPU) නමින් තවත් සංගමයක් පිහිටුවන ලදී. බොහෝ දෙනා මෙය සෆ්රැගට්ස් (Suffragettes) ලෙස හදුන්වනු ලබයි. මෙහිදී ඔවුන් සිය අයිතිය දිනා ගැනීම පිණිස කටයුතු කළේ වෙනස් ආකාරයකටය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය ඊට පෙර පිහිටුවා තිබූ සංගමය මෙන් අවිහිංසාවාදී එකක් නොවීය. ඔවුන් තම අයිතීන් දිනා ගැනීම සදහා ප්‍රචණ්ඩකාරී ක්‍රම භාවිතා කරන ලදී.

1906 සිට 1913 දක්වා කාලය තුළදී කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා ගැනීමට යොමු කළ පනත් හයක් රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙහිදී ලිබරල් පක්ෂය ප‍්‍රධාන වශයෙන් කාන්තාවන්ගේ ඡන්ද අයිතියට විරුද්ධ විය. විශේෂයෙන් 1908 සිට අගමැති ලෙස සිටි හර්බට් අස්කිත් මෙයට තදින් විරුද්ධ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සෆ්රැගට්ස් කණ්ඩායම ක්‍රමයෙන් වඩාත් ප්‍රචණ්ඩකාරී වූ අතර ඔවුන්ගේ ක්‍රියාවන් වඩ වඩාත් දරුණු විය. ගිනි තැබීම්, පහරදීම් ආදිය මේ නිසා විශාල ලෙස ඉහළ යන ලදී.

අප කතා නායිකාව වන එමිලි විල්ඩින් ඩේවිසන් ද සෆ්රැගට්ස් ව්‍යාපාරයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ එක් කාන්තාවකි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ සිසුවෙකුව සිට පසුව එහිම ගුරුවරියෙකු බවට පත් වූ ඇය 1906 දී මෙම සංවිධානයට බැඳුණු අතර 1908 සිට පූර්ණ කාලීනව මෙම සංවිධානයේ ක්‍රියා සදහා සහභාගී විය. ඒ අනුව ඇය සෆ්රැගට්ස් ව්‍යාපාරය යටතේ පවත්වන ලද සිදුවීම් ගණනාවකට සම්බන්ධ වන ලදී. මේ හේතු නිසා 1909 මාර්තු මාසයේදී ඇය සිය ජීවිතයේ පළමු වතාවට පොලිස් අත්අඩංගුවට පත් විය. මෙයට හේතු වූයේ ඇය සෆ්රැගට් ව්‍යාපාරයට සම්බන්ධ වී සිදු කළ සටන්කාමී ක්‍රියා නිසාය. ඊට පසු ඇය තවත් හත් වරක් පමණ සිරගත වූවාය.

ඉන් එක් වාරයකදී ඇය සිරගත වූයේ කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් වෝල්ටර් රුන්සිමන්ට ගල් ගැසීම හේතුවෙනි. එහිදී සිරගත කර සිටියදී ඇය උපවාසයකද නිරත විය. එහෙත් මේ කාලයේදී සිරකරුවන් කුසගින්නේ සිටීම වැළැක්වීම සඳහා සිරගෙවල්වලදී බලහත්කාරයෙන් රැඳවියන්ට ආහාර සැපයීමට නීතියෙන් අවසර හිමි වී තිබුණි. ඩේවිසන් විස්තර කළ පරිදි මෙම හේතුව නිසා ඇයට සිරගෙදර තුළදී “ම්ලේච්ඡ වධහිංසාවනට” මුහුණ දීමට සිදු වී ඇත. මුරකරුවන් ඇයට විවිධ වධහිංසා පමුණුවා ආහාර ලබා ගන්නා ලෙස බලකර සිටින ලදී. 

කෙසේ වෙතත් ඩේවිසන් සිය දිවියේ වඩාත්ම වැදගත් ක්‍රියාව සිදු කළේ 1913 දී ය. ඒ සුප්‍රසිද්ධ අශ්වයින් පැදීමේ ඉසව්වක් වන එප්සම් ඩර්බි දිනය වූ ජුනි 4 වනදා ය. ඩේවිසන් දුම්රියෙන් එප්සම් වෙත ළඟා විය. ඉන්පසු ඇය තුරඟ තරග පිටියට ඇතුළු විය. විශාල ජනකායක් තරගය නැරඹීම සදහා එහි පැමිණ තිබූ අතර ඒ සෙනග අතර ඇය තවත් එක් පුද්ගලයෙක් පමණක් විය. ඉන් පසු ඇය කෙමෙන් එක් කොනකට ගොස් පිටිය දෙස නෙත් යොමා සිටින ලදී. 

කෙටි වෙලාවකින් තරගය ආරම්භ වූ අතර ප්‍රේක්ෂක ජය ඝෝෂා ද ක්‍රමයෙන් වැඩි වන්නට විය. අශ්වයන් වේගයෙන් ඩේවිසන් සිටි ස්ථානයටද ලඟා වෙන ලදී. එක වරම ක්‍රියාත්මක වූ ඇය බාධක යටින් රිංගා ගොස් තුරඟ තරග පිටිය තුළට ඇතුළු විය. මෙයත් සමග සියලු දෙනා විමතියට පත්වූ අතර ඊට තත්පර හතරකට පසු ඇය සිහිසුන්ව බිම වැතිර සිටියාය. ඇය ගැටී තිබුණේ රජුගේ ආශ්වයාගේය. දින හතරකට පසු ඇය රෝහලේදී මිය යන ලදී.

සැබැවින්ම ඇයගේ අභිප්‍රාය කුමක්ද යන්න අපැහැදිලි ය. ඇය රජුගේ අශ්වයාගේම ඇගේ ගැටීම මුලදී අහම්බයක් යැයි සිතුවත් හොදින් පරීක්ෂා කර බැලීමේදී එය එසේ අහම්බයක් නොවන බව පෙනේ. (මෙම සිද්ධියට අදාල පටිගත වූ දර්ශන ඇත) හොදින් පරීක්ෂා කිරීමෙන් පෙනී යන්නේ ඇය තරඟය පටන් ගන්නා තුරු රැඳී සිටි ස්ථානයට මුළු ක්‍රීඩාංගනයම හොදින් පෙනෙන තැනක් බවත් ඇයට ඉතා දුර සිට වුවද නිවැරදිව රජුගේ අශ්වයා හඳුනා ගත හැකිව තිබූ බවයි. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඇය රජුගේ අශ්වයා සොයාගෙන එයට සෆ්රැගට් කබාය ඇමිණීමට උත්සාහ කරමින් කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා ගැනීම පිළිබඳ සටනේ අවධානය විශාල ලෙස ලබා ගැනීමට සිදු කළ උත්සාහයක් බවයි. එහෙත් අවාසනාවකට මෙන් ඇය ඒ වෙනුවට අශ්වයා සමඟ ගැටී මාරාන්තික තුවාල ලබන ලදී.

එසේ වුවද ඇය ඉතිහාසය යළි ලිවීමට සමත් වූ කාන්තාවකි. කාන්තාවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ ස්ථාවරයක් ලබා ගැනීම සඳහා ඇය ඇගේ ජීවිතයද අවදානමට ලක් කර ගෙන ක්‍රියා කළ අතර අවසානයේ එයින් කනගාටුදායක ලෙස සිය දිවියෙන් පවා වන්දි ගෙවීමට ඇයට සිදු විය. ජනමාධ්‍ය සහ රජු විසින් හෙළා දකින ලද නමුත් ඩේවිසන් යනු තමුන් විශ්වාස කළ දෙය ලබා ගැනීම සඳහා නොබියව සටන් කළ අභීත කාන්තාවකි. ඇගේ අවමංගල්‍යය දේශපාලන ස්වරූපයක් ලබා ගත් අතර දහස් ගණන් ආධාරකරුවන් ලන්ඩනය හරහා පෙළපාලි මාලාවන් පවත්වන ලදී. ඇයගේ අවමංගල්‍යය සමහරුන් විසින් සෆ්රැගට්හි අවසාන ප්‍රධාන සිදුවීම ලෙසද සලකනු ලැබේ.

1918 දී රජය විසින් මහජන නියෝජිත පනතක් මගින් දේපළ හිමි, වයස අවුරුදු තිහට වඩා වැඩි  කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන් අතර, අවසානයේදී 1928 දී තවත් මහජන නියෝජිත පනතක් මගින් පිරිමින්ට සමානවම කාන්තාවන්ටද ඡන්ද අයිතිය හිමි විය.

කාන්තාවන් වෙනුවෙන් මිය ගිය කාන්තාව (The Woman Who Died For Women) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කාන්තාවන් වෙනුවෙන් මිය ගිය කාන්තාව (The Woman Who Died For Women) කාන්තාවන් වෙනුවෙන් මිය ගිය කාන්තාව (The Woman Who Died For Women) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, April 18, 2022 Rating: 5

0 comments:

Post a Comment