ජෙන්ගිස් ඛාන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ පසුපස සිටි මහමොලකරු - සුබොටායි (Subutai)

ජෙන්ගිස් ඛාන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ පසුපස සිටි මහමොලකරු - සුබොටායි (Subutai) - Your Choice Way

ජෙන්ගීස් ඛාන්ගේ මරණයෙන් ටික කලකට පසු එනම් 1230 දී පමණ ලියන ලද මොන්ගෝලියානු භාෂාවේ පැරණිතම සාහිත්‍ය කෘතියක් ලෙසද සැලකෙන "මොංගෝලියානුවන්ගේ රහසිගත ඉතිහාසය" නම් කෘතියේ මෙලෙස සදහන් වේ.

"ඔවුන් තෙමුජින්ගේ (ජෙන්ගීස් ඛාන්ගේ) සුනඛයන් සතර දෙනා ය. ඔවුන්ට පිත්තල වලින් සැදුණු නළලක් ඇත, ඔවුන්ගේ හකු තියුණු කතුරකට සමාන ය, ඔවුන්ගේ හිස් යකඩින් සෑදී ඇත. සටනේදී ඔවුහු සතුරාගේ මස් කා දමති. තෙමුජින් ඔවුන් දැන් මුදා හැර තිබේ. මේ නිසා ඔවුන් ප්‍රීතියෙන් උද්දාමයට පත් වී තිබේ. මෙම සුනඛයන් සිව් දෙනා නම් ජෙබේ, කුබ්ලායි, ජෙල්මේ සහ සුබෝටායි ය".

ඉහත සදහන් පරිදි ජෙන්ගීස් ඛාන්ගේ යෝධ ජයග්‍රහණ පිටුපස සිටි මහා සෙවනැලි වලින් එකක් ලෙස අද අප කතා නායකයා වන සුබෝටායි හදුන්වා දිය හැක. සැබැවින්ම ඔහු සිදු කළ ක්‍රියා සමඟ ඔහුව සමකළ හැකි වන්නේ මහා ඇලෙක්සැන්ඩර්, හැනිබල් සහ නැපෝලියන් වැනි ශ්‍රේෂ්ඨ රණශුරයන් සමගය. එහෙත් ඔහු පිළිබඳව බොහෝ දෙනෙක් අසා නොමැත.

ඔහු මොන්ගෝලියානු අධිරාජ්‍යය වෙනුවෙන් ජාතීන් 32 ක් යටත් කර ගත් අතර සටන් 65 ක් ජය ගනු ලැබීය. එමෙන්ම ඔහු මොන්ගෝලියානු හමුදාවන්ගේ අණ දෙන නිලධාරියා ලෙස සිටියදී ඉතිහාසයේ වෙනත් කිසිම අණ දෙන නිලධාරියෙකුට වඩා වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමටද සමත් විය. ඔහුගේ අණ යටතේ මොන්ගෝලියානු හමුදාව හංගේරියාව සහ පෝලන්තය ඇතුළු නැගෙනහිර හා මධ්‍යම යුරෝපයේ බොහෝ ප්‍රදේශ විනාශ කර දැමීමට සමත් විය. 

එසේනම් අද අප දොරටු පාලකයකුගේ සිට ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම හමුදා අණ දෙන්නෙකු බවට පත් වූ සුබෝටායිගේ ඒ ගමන පිළිබඳව අවධානය යොමු කරමු.

සුබෝටායි 1176 දී මොන්ගෝලියානු නොවන ගෝත්‍රයක කම්මල්කරුවෙකුගේ පුතෙකු ලෙස උපත ලැබීය. ඔහු මොන්ගෝලියානු හමුදාවට බැඳුනේ ඔහුට වයස අවුරුදු 14 දී ය. හමුදාවට එක් වුවද ඔහුට සටන් කිරීමට හෝ යුද්ධ වලට සහභාගී වීමට අවස්ථාවක් හිමි නොවූ අතර ඔහුට පැවරී තිබුනේ මහා ජෙන්ගිස් ඛාන්ගේ දොරටු පාලකයකු ලෙස කටයුතු කිරීමටය.

ඔහු වනාන්තර ගෝත්‍රයකින් පැවත ආ නිසා ඔහුට කුඩා කළ සිටම අශ්වයින් ධාවනය හා දුන්න භාවිතා කිරීමට ඉගෙන ගැනීමට සිදු විය.  වැඩි කල් යන්නට මත්තෙන් ඔහු අශ්වයා පිට ගමන් කරමින් සිටියදී නිවැරදි ඉලක්කයට දුන්නෙන් විදීමට ඉතා හොදින් හැකි විය. ඔහුගේ මේ දක්ෂතා හේතුවෙන් ජෙන්ගිස් ඛාන්ගේ අවධානය ද ඉතා කෙටි කලකින් ලබා ගැනීමට ඔහු සමත් විය.

මෙම කාලයේදී මොන්ගෝලියානුවන් සිය ආධුනිකයන් පුහුණු කිරීම සඳහා විශේෂ ක්‍රමයක් අනුගමනය කරන ලදී. එනම් ඔවුන් සිදු කරනු ලැබුවේ ආධුනික තරුණ තරුණියන් වැඩිහිටි නිලධාරීන් සමඟ යුගල වශයෙන් වැඩ කිරීමට යෙදවීමයි. එමගින් අදාල කාර්යයන් වැඩිහිටි නිලධාරියාගෙන් ඉගෙනීමට ආධුනිකයාට හැකි විය. එම වැඩසටහන යටතේ තරුණ සුබෝටායි කෙලින්ම ජෙන්ගිස් ඛාන් සමග හෝ ජෙනරාල් ජෙබේ සමඟ සේවය කිරීමට තරම් වාසනාවන්ත විය.

මෙසේ ඉතා දක්ෂ සහ කාර්යශූර ලෙස සිය කාර්යයන් සිදු කළ නිසා සුබෝටායිට ඔහුට වයස අවුරුදු 22 දී අණ දෙන නිලධාරියෙකු ලෙස පත් වීමට අවස්ථාව හිමි විය. ඉන් නොනැවතුණු ඔහු ඊළඟ අවුරුදු 5 තුළ ජෙනරාල්වරයෙකු බවට පත්විය. මේ හේතුව නිසා ඔහුට මොන්ගෝලියානුවන් සිදු කළ සියලු ප්‍රධාන යුධ ව්‍යාපාර වන මධ්‍යම ආසියානු යුධ ව්‍යාපාරය, කොකේසස් හරහා රුසියාවට වැටලීම, චීන ආක්‍රමණය, රුසියාව යටත් කර ගැනීම (1236–1240) හා මධ්‍යම යුරෝපය ආක්‍රමණය ආදී සියල්ලටම ඉතා දැඩිව සහභාගී වීමටද අවස්ථාව ලැබුණි. 

අණ ලබා දීම හා සේනා පාලනය පිළිබඳ නවීන සංවිධාන ක්‍රම උපයෝගී කරගනිමින් යුධ ව්‍යාපාර ක්‍රියාත්මක කළ ලොව ප්‍රථම ජෙනරාල්වරයා ලෙස සැලකෙන්නේ ද සුබෝටායි ය. ඔහු සිය හමුදාව කොටස් කිහිපයකට බෙදා එකවර සතුරාට ස්ථාන කිහිපයකින් පහර දී සතුරා මවිත කරන ලදී. එනම් ඔහු එක් ස්ථානයකට පහර දෙන විට ඊට කිලෝමීටර 500 ක් පමණ දුරින් වූ තවත් ස්ථානයකටත් එම වේලාවේම ප්‍රහාර එල්ල කරන ලදී. විශේෂත්වය නම් ඔහු මේ සියල්ල සිදු කරනු ලැබුවේ නවීන සන්නිවේදන ක්‍රම කිසිත් නොතිබූ සමයක වීමය.

නිදසුනක් වශයෙන් සුබෝටායිගේ යුරෝපය ආක්‍රමණය කිරීමේදී ඔහු සිය හමුදාවන් දිශා පහකින් රැගෙන ආ අතර ඒ හේතුව නිසා යුරෝපීයයන්ට ඔහුගේ අවසාන ඉලක්කය කුමක්දැයි හඳුනා ගැනීමට දුෂ්කර විය. එහිදී පළමු හමුදා කණ්ඩායම් දෙක පෝලන්තයටත්, ඊළඟ කණ්ඩායම හංගේරියාවටත්, අනෙක් කණ්ඩායම ට්‍රාන්සිල්වේනියාවටත් පහර දෙන ලදී.

එමෙන්ම ඔහු තම යටතේ සිටි අණ දෙන නිලධාරීන්ට ද මෙහෙයුම් ආකාරයේ ඉලක්කයන් ලබා දෙන ලදී. මේ හේතුව නිසා අණ දෙන නිලධාරීන් සුබෝටායිගෙන් සැතපුම් සිය ගණනක් දුරින් සිටියත් ඔහුට අවශ්‍ය දෙය සිදු වන බවට ඔහුට විශාල ලෙස විශ්වාසය තැබිය හැකි විය.

එමෙන්ම සුබෝටායි සෑම විටම අතීත සටන් අධ්‍යයනය කළ අතර ඒවායේ වැරදි වලින් ඉගෙන ගත්තේය. ඔහුගේ මේ මහා සාර්ථකත්වයට විශාල ලෙස බලපෑවේ එයයි. ඔහු යුද්ධයකට පෙර විශාල ලෙස එයට සූදානම් වූ අතර ඉතා සූක්ෂම ලෙස සටන් මෙහෙයවනු ලැබීය. එමෙන්ම ඔහුගේ ඔත්තුකරුවන් ජාලයද ඔහුට විශාල ලෙස උපකාරී විය.

සුබෝටායිගේ යුධ ව්‍යාපාර තුළ සිදු කරන ලද ශ්‍රේෂ්ඨතම සිදු වීම ලෙස සැලකෙන්නේ ඔහුගේ යුරෝපීය ආක්‍රමණයයි. මෙහිදී ඔහු දිශා පහකින් යුරෝපය ආක්‍රමණය කළ අතර පළමු හමුදා කණ්ඩායම් දෙක පෝලන්තයටත්, ඊළඟ කණ්ඩායම හංගේරියාවටත්, අනෙක් කණ්ඩායම ට්‍රාන්සිල්වේනියාවටත් පහර දෙන ලදී.

මෙම ආක්‍රමණයන් දියත් කිරීමට ප්‍රථමව සුබොටායි ඔත්තුකරුවන් රැසක් යුරෝපය පුරා යොදන ලදී. ඔවුන් මගින් ඔහු සතුරා පිළිබඳව හොදින් අධ්‍යනය කරන ලදී. මෙමගින් ඔහු යුරෝපයේ රජවරුන් සහ වංශාධිපතීන් අතර ඇති එදිරිවාදිකම් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී. එමෙන්ම යුරෝපය පුරා පාලකයන් බොහෝ දෙනෙක් නෑදෑයින් හෝ විවාහ මගින් සම්බන්ධතා ගොඩනගා ගත් අය වූ බැවින් සෑම විටම ආක්‍රමණයකදී එකිනෙකාට සහයෝගය දක්වනු ඇතැයි ඔහු විශ්වාස කළහ.

මේ අයුරින් සියල්ල ඉතා හොදින් සැලසුම් කළ ඔහු පහර දීම ආරම්භ කරන ලදී. පෝලන්තයේ ලීග්නිට්ස් සටන ජයගෙන දිනකට පසුව සුබෝටායි මෝහි සටන ආරම්භ කළේය. ඔහුගේ හමුදාවන් කිලෝමීටර 500 ට වඩා දුරින් සිටියද පහර දිය යුතු වේලාව සියල්ලන්ටම නියම කර තිබුණි. ප්‍රදේශ දෙකටම එකවර පහර දීම මගින් තම සතුරන්ට එක් වී යළි පහර දීමට අවස්ථාවක් හිමි නොවන බව සුබොටායි හොදින් දැන සිටින ලදී.

යුද්ධය අතරතුර පණිවුඩ රැගෙන යාම සඳහා සුබොටයි විසින් හංගේරියාව සහ පෝලන්තය අතර තැපැල් ස්ථාන 1200 ක පද්ධතියක් ස්ථාපිත කරන ලදී. මේ අනුව එක් යුද පිටියක සිට තවත් යුද පිටියකට පණිවිඩයක් හුවමාරු කිරීමට ගත වූයේ පැය 36 ක් පමණි.

ලිග්නිට්ස් සටන 1241 අප්‍රියෙල් 9 වන දින පැවති අතර මොන්ගෝලියානු සැහැල්ලු අශ්වාරෝහකයෝ විසින් ඩියුක් හෙන්රිගේ හමුදාවන් විනාශ කර දැමූ අතර සුළු වේලාවකින් ඔවුන් පසුබැස ගියහ. මෙහිදී මොන්ගෝලියානු හමුදාව ලද ජයග්‍රහණයේ සතුට සැමරීම සදහා මියගිය සියලු සතුරු සොල්දාදුවන්ගේ දකුණු කන් කපා ගෝනි වල දමා එය සුබොටායි වෙත ලබා දුන් බව කියැවේ. එලෙස විශාල ගෝනි නමයක් පිරී තිබී ඇත.

1241 අප්රේල් 10 වෙනිදා පැවති මෝහි සටන සුබෝටායිගේ අති විශිෂ්ට ජයග්‍රහණ වලින් තවත් එකකි. එහිදී සුබුටායි සහ බටු ඛාන් යටතේ මොංගෝලියානු හමුදාවත් සහ හංගේරියානු රජු වූ හතරවන බෙලා රජු ප්‍රමුඛ හමුදාවත් අතර සටන සිදු විය.

මෙම සටන අතරතුර හංගේරියානු දුනු විදින්නන් ගඟේ ප්‍රතිවිරුද්ධ පැත්තේ සිට දුනු වලින් විදිමින් මොන්ගෝලියානුවන්ට විශාල හානියක් සිදු කරන ලදී. එමෙන්ම මොංගෝලියානුවන්ට පාලම තරණය කොට ගගේ අනෙක් පසට යාමට නොහැකි වූයේ හංගේරියානු සෙබළුන් දැඩි ලෙස පාලම ආරක්ෂා කරගෙන සිටි නිසාය.

ඒ අනුව සුබොටායි අණ කර සිටියේ දුනු විදින්නන්නට, ගල් විදින ආධාරයෙන් වෙඩිබෙහෙත් බෝම්බ වලින් පහර දෙන ලෙසටය. එයත් සමග එය පාබල හමුදාවකට එරෙහිව කාලතුවක්කු වෙඩි තැබීමේ පළමු භාවිතයන්ගෙන් එකක් බවට පත් විය. එමෙන්ම ඔවුන් ඊට සමගාමීව ගඟට පහළින් ලී පාලමක් ඉදිකල අතර එමඟින් මොන්ගෝලියානු අශ්වාරෝහකයන්ට ගඟ තරණය කිරීමට හා හංගේරියානු ජාතිකයින් වට කිරීමට හැකි විය.

මෙයත් සමග හංගේරියානු හමුදා පුදුමයට පත් විය.  මොන්ගෝලියානුවන් විසින් භාවිතා කරන ලද ඊතල සහ වෙඩි බෙහෙත් බෝම්බවලින් සොල්දාදුවන් භීතියට පත්වූ බව කියනු ලැබේ. කෙටි කලකින් හංගේරියානු හමුදා පසුබසින්නට විය. මොන්ගෝලියානුවන් පලා යන සතුරන් පසුපස හඹා ගොස් ඔවුන් ඝාතනය කල අතර හංගේරියාව ඒ අනුව පරාජය විය.

මේ ආකාරයට විශිෂ්ඨ ජයග්‍රහණ රාශියක් ලබා ගැනීමට සමත් වූ සුබොටායි වයස අවුරුදු 71 දී චීනයට එරෙහි ඔහුගේ අවසන් හමුදා මෙහෙයුමට (1246–47) නායකත්වය ලබා දුන් අතර ඉන් පසු ඔහු හමුදා සේවයෙන් විශ්‍රාම ලබා ගෙන යළි මොන්ගෝලියාවේ පිහිටි සිය නිවසට ගියේය.

1248 දී එනම් ඔහුට වයස අවුරුදු 72 දී සුබෝටායි සාමකාමීව මිය යන ලදී. මානව ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය නිර්මාණය කිරීමට විශාල වශයෙන් දායක වූ රණශූරයෙකු එතරම් කලක් ජීවත් වීමම යනු ඔහු ලද විශාල ජයග්‍රහණයකි. 

එමෙන්ම සුබෝටායිට බහදූර් යන පදවි නාමයද හිමි වූ අතර එහි තේරුම නිර්භීත බාවය යන්නයි. ඊට අමතරව ඔහු  මොංගෝලියානුවන් අතර වඩාත් ගෞරවනීය රණශූරයා බවටද පත් වී තිබේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජෙන්ගිස් ඛාන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ පසුපස සිටි මහමොලකරු - සුබොටායි (Subutai) ජෙන්ගිස් ඛාන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ පසුපස සිටි මහමොලකරු - සුබොටායි (Subutai) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 24, 2022 Rating: 5

0 comments:

Post a Comment