හිට්ලර් යටතේ ජර්මනිය විශාල වශයෙන් තාක්ෂණික දියුණුවක් සහ නවීන යුද උපකරණ නිර්මාණය කිරීමටද සමත් වූ බව නොරහසකි. ඒ වන විටත් අභ්‍යවකාශ ගවේෂණය සඳහාද අවශ්‍ය තාක්‍ෂණය ඔවුන් සතුව තිබූ බවද කියනු ලැබේ. එමෙන්ම මින් පෙර නොතිබූ අමුතුම ගුවන් යානාද ඔවුන් සතුව පැවති බවට විවිධ මත පළ විය.
ගුවන් යානා තාක්‍ෂණය, සුපර්සොනික් රොකට්, කෲස් මිසයිල සහ රහසිගත තාක්‍ෂණයන්ගෙන් නිපදවන ලද ගුවන් යානා ආදී නාසි රසායනාගාරවල නිපදවන ලද නවීන තාක්ෂණයන් දුටු මිත්‍ර පාක්ෂිකයන් ඇතුළු බොහෝ දෙනෙක් කම්පනයටත්, පුදුමයටත් පත් වූ බව කියැවේ.
1945 මැයි මාසයේදී ඇමරිකානු හමුදා මධ්‍යම ජර්මනියේ හාර්ස් කඳුකරයේ පිහිටි භූගත රසායනාගාරයක් සොයා ගැනීමට සමත් විය. යුද්ධය අවසන් වූ පසු ජර්මනියේ පාලනය කොටස් දෙකකට බෙදා ඇමරිකාව සහ සෝවියට් සංගමය විසින් සිදු කළ අතර මෙම රසායනාගාරය පිහිටියේ සෝවියට්වරුන් සතු ප්‍රදේශයක ය. එහෙත් ඇමරිකානුවන් රුසියානුවන් එම ප්‍රදේශයට ලඟා වීමට ප්‍රථම එහි ලඟා වීමට සමත් විය. එහි තිබී ඇමරිකානුවන්ට නිධානයක් බඳු වස්තුවක් හමුවිය. ඒ ජර්මානුවන්ගේ V-2 නම් රොකට්ටු සියයක් පමණ ප්‍රමාණයකි. එයත් සමගම ඇමරිකාවට ලෝකයේ ප්‍රථම බැලස්ටික් මිසයිලය ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් ලබා ගැනීමට හැකි විය.
1942 දී ජර්මනියට ඔවුන්ගේ පළමු මූලාකෘති රොකට්ටුව වූ A-4 නම් රොකට්ටුව දියත් කිරීමට හැකි විය. ඉන් වසරකට පසුව ඔවුන් වැඩිදියුණු කරන ලද A-4 රොකට්ටුවක් V-2 නමින් නිකුත් කරන ලදී. මෙම රොකට්ටුවට සැලකිය යුතු දුරකට වෙඩි තැබීමේ හැකියාවක් පැවති බව කියැවේ. මෙම රොකට්ටුව පසුකාලීනව සඳ මතට ගොඩ බසින ලද ඇපලෝ රොකට්ටුවේ පුරෝගාමියා බවටද පත්විය.
වෙතත් කෙතරම් විශිෂ්ට තාක්ෂණික උපකරණ අත්පත් කර ගත්තත් ඇමරිකානුවන් ඉන් සෑහීමකට පත් නොවීය. ඉන්පසු ඔවුන් නාසි විද්‍යාඥයින්, බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම කාර්මිකයන්ද සෙවීම ආරම්භ කරන ලදී. එක්සත් ජනපදය තීරණය කළේ මොවුන් ඝාතනය කරනවාට වඩා ඔවුන්ට ජීවත් වීමට ඉඩ ලබා දී නාසින් සතුව පැවති බලවත් තාක්ෂණය තමුන් සතු කර ගැනීම වඩා වාසි සහගත වන බවයි. "පේපර්ක්ලිප් ව්‍යාපෘතිය" (Project Paperclip) නම් නාසි විද්‍යාඥයින් ඇමරිකානු සේවයට බඳවා ගැනීමේ මෙහෙයුම ආරම්භ වූයේ ඒ අනුවය.
එවකට එක්සත් ජනපදයේ ජනාධිපති වූ හැරී එස්. ට්රූමන් මෙම මෙහෙයුම සඳහා අවසර ලබා දෙන ලදී. කෙසේ වෙතත්, ඔහු පවසා සිටියේ බඳවා ගැනීමට බලාපොරත්තු වන විද්‍යාඥයින් නාසි තන්ත්‍රයේ ක්‍රියාකාරී සාමාජිකයන් නොවිය යුතු බවයි. මුලදී එක්සත් ජනපද හමුදාවෙන් මෙම ව්‍යාපෘතියට විශාල විරෝධයක් එල්ල වන ලදී. එයට හේතුව වුයේ මෙම ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැය වීමයි. අවසානයේදී සීඅයිඒ සංවිධානය සහ නාසා ආයතනය මෙම ව්‍යාපෘතියේ පාලකයන් ලෙස අනුයුක්ත කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය අනුමත විය.
වෛද්‍ය විශේෂඥයින්, මිසයිල විශේෂඥයින්, භෞතික හා රසායන විද්‍යාඥයින්, භූගෝල විද්‍යාඥයින්, අභ්‍යවකාශ විශේෂඥයින් සහ ජීව විද්‍යාත්මක විශේෂඥයින්ගෙන් සැදුම්ලත් සියයකට අධික පිරිසක් ජර්මනියේ සිට මෙම ව්‍යාපෘතිය යටතේ ගෙන්වා ගැනීමට එක්සත් ජනපදය සමත් විය. පසුව ඔවුන් එක්සත් ජනපදයට පක්ෂපාතී වන බවට දිවුරුම් දී ඇමරිකානු පුරවැසියන් බවට පත් විය.
මින් සමහරක් විද්‍යාඥයින් එය ප්‍රතික්ෂේප කර නැවත ජර්මනිය බලා ගියද බොහෝ දෙනෙක් නාසා විද්‍යාඥයින් බවට සාර්ථකව පත් වූ අතර තවත් පිරිසක් සීඅයිඒ වෙත ඇතුළු විය. මිනිසා ප්‍රථම වරට සඳ මතට ගොඩ බසින ලද ඇපලෝ යානයටද නාසි තාක්‍ෂණය භාවිතා කළ බව කියැවේ.
මෙසේ බඳවා ගන්නා ලද පුද්ගලයන්ගෙන් ප්‍රසිද්ධ පුද්ගලයන් ලෙස නාසි එස්එස් සාමාජික, 1969 දී ඇපලෝ මෙහෙයුමට සහ මිනිසා සඳ මතට ගොඩබෑමට තාක්ෂණික දැනුම ලබා දුන් රොකට් පිළිබඳ විශේෂඥයෙකු වූ වර්න්හර් වොන් බ්‍රවුන්, පසුව නාසා විද්‍යාඥයෙකු ලෙස බඳවා ගත් රොකට් පිළිබද විශේෂඥයෙකු වූ ආතර් රුඩොල්ෆ්, රසායන විද්‍යාඥයෙක් සහ ඔත්තුකරුවෙකු පසුව මධ්‍යම බුද්ධි සේවයට බඳවාගෙන රහසිගත ව්‍යාපෘති රාශියක කටයුතු කළ සිඩ්නි ගොට්ලීබ්, හෙන්ෂල් මිසයිලයේ නිපැයුම්කරු වූ හියුබර්ටස් වැග්නර්, අවුෂ්විට්ස් රැඳවුම් කඳවුරේ ජීව විද්‍යාත්මක වෛද්‍යවරයකු වූ පසුව නැවත ජර්මනියට ආපසු යන ලද කර්ට් බ්ලොම් ආදී පුද්ගලයන් හදුන්වාදිය හැක.
අවසානයේ පේපර්ක්ලිප් මෙහෙයුම යටතේ එක්සත් ජනපදය ඔවුන්ගේ තාක්‍ෂණික සංවර්ධනය සදහා අවශ්‍ය ජර්මානු විශේෂඥයින්, විද්‍යාඥයින් සහ කාර්මික ශිල්පීන් 1600ක් පමණ සාර්ථකව ගෙන්වා ගැනීමට සමත් විය.
V-2 රොකට්ටුව දියත් කිරීම |
වර්න්හර් වොන් බ්‍රවුන් |
0 comments:
Post a Comment