මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද? (The Mysterious Death Of Marilyn Monroe)

මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද (The Mysterious Death Of Marilyn Monroe) - Your Choice Way

ලෝකයේ ඉතා ජනප්‍රියතම සිනමා නිළියක් වූ මැර්ලින් මොන්රෝ අවාසනාවන්ත ලෙස මිය ගොස් මේ වන විට වසර හැටක් පමණ ගතවී ඇත. ඇය හොලිවුඩ් සිනමා කර්මාන්තයේ බිහි වූ පුරාවෘත්තයක් බව අදටද බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. එමෙන්ම සිනමා කර්මාන්තයට මර්ලින්ගෙන් සිදු වූ බලපෑමද කිසිවෙකුට බැහැර කළ නොහැකි තරමේ විශාල එකක් විය.

නමුත් ඇගේ මරණය සිදු වී වසර ගණනාවක් ගත වී තිබුණත් තවමත් ඇගේ මරණය ඉතා මතබේදයට තුඩු දී ඇති කරුණක් බවට පත්ව ඇත. බොහෝ දෙනෙක් ඇයගේ මරණය පිළිබඳ අවසන් තීන්දුව ප්‍රශ්න කර සිටින අතර ඔවුන් පවසන්නේ ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව මිනීමැරුමක් බවයි. ඇගේ මරණය එකල ඇමරිකාවේ බලවත්ම මිනිසා විසින් කරන ලද නියෝගයකට අනුව සිදු වූවක් බව බොහෝ පිරිසක් චෝදනා කරනු ලබයි. ඒ බලවත් පුද්ගලයා අන් කිසිවෙකුත් නොව ඇමරිකානු 35 වන විධායක ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිය. ජනප්‍රිය නිළියකගේ මිය යාමට ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ නමක් ඈදුනේ කෙසේද? අද අප ඒ පිළිබඳව විමසා බලමු.

1962 අගෝස්තු 4 වන දින ලොස් ඇන්ජලීස් හි පිහිටි ඇගේ නිවසේදී මර්ලින් මොන්රෝගේ නිසල දේහය සොයා ගන්නා ලදී. ඇයගේ සිරුර සොයා ගනු ලැබුවේ උදෑසනම ලෙස සදහන්ව තිබුණත් සිරුර සොයා ගත් නිශ්චිත වේලාවක් පිළිබඳ තවමත් අපැහැදිලි ය. ඇයගේ නිරුවත් නිසල සිරුර ඇද මත මුහුණ යට අතට සිටින සේ වැතිර තිබූ අතර එක අතකින් ඇය තදින් දුරකථන රිසීවරය අල්ලාගෙන සිටින ලදී.

පොලිස් වාර්තාවට අනුව මේ තිස් හය හැවිරිදි සුරූපී නිළිය නිදි පෙති අධික ලෙස පානය කිරීම මගින් සියදිවි නසාගෙන ඇත. මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඇගේ රුධිරය පෙන්ටෝබාර්බිටල් නම් සංඝටකයන් පිරී ඇති බවයි. එමෙන්ම ඇගේ අක්මාව තුළ ක්ලෝරල් හයිඩ්‍රේට් ද තිබී ඇත. මෙම සංඝටක ද්විත්වයම ඇයගේ ඇද අසල වැටී තිබූ නිදි පෙති බෝතල් තුළ තිබූ නිදි පෙතිවල අඩංගු සංඝටක වලට හොදින් ගැලපේ.

ඇය සියදිවි නසා ගැනීමට තුඩු දිය හැකි හේතු ඕනෑවටත් වඩා ඇයගේ දුක්බර දිවිය තුළ විය. මර්ලින් වසර ගණනාවක් තිස්සේ මානසික අවපීඩනයට එරෙහිව සටන් කරමින් සිටින ලදී. අසාර්ථක විවාහ කිහිපයක් පසු කළ ඇය දරුවන් ලැබීමට ඇයට ඇති නොහැකියාවෙන්ද ඉතා දැඩි ලෙස මානසිකව පීඩා විදින ලදී.

කෙසේ නමුත් නිදි පෙති ශරීරගත වීම සම්බන්ධව ද ගැටළු රාශියක් පැන නගින ලදී. එනම් සාමාන්‍යයෙන් අධික ලෙස නිදිපෙති පානය කොට සියදිවි නසා ගන්නා පුද්ගලයන්ගේ උදරයේ එම කැප්සියුල වල අවශේෂ රැඳී පවතී. එහෙත් මර්ලින්ගේ උදරයේ තිබී එසේ කිසිවක් හමු වූයේ නැත. මේ පිළිබඳව සමහරුන් මත පලකරන්නේ ඇයගේ කැමැත්තක් ඇතිව හෝ එසේත් නැතිනම් වෙනත් කිසිවෙකු විසින් බලහත්කාරයෙන් එම ද්‍රව්‍ය ඇයගේ සිරුරට එන්නත් කර ඇති බවයි. එහෙත් මරණ පරීක්ෂණයේදි එලෙස එන්නත් කිරීමේදී ඇති වන කිසිදු සලකුණක් ඇයගේ සිරුරේ තිබී සොයා ගැනීමට අපොහොසත් විය. නමුත් එදින රාත්‍රියේ කිසියම් අමුතු දෙයක් සිදු වූ බවට පෙනෙන ඕනෑ තරම් සාක්ෂි ඇයගේ සිරුරේ මෙන්ම ඒ අසලද විය.

මර්ලින්ගේ ගෘහ පාලිකාව වන යුනිස් මරේ මරණය පිළිබඳ සාක්ෂි ලබා දීමේදී පරස්පර අදහස් ඉදිරිපත් කිරිම එක් සැක සහිත සිදු වීමකි. ඇයගේ සාක්ෂි ලබා දීම නොගැලපීම් වලින් පිරී ඇත. පළමු වරට සාක්ෂි ලබා දෙමින් ඇය ප්‍රකාශ කර සිටියේ මධ්‍යම රාත්‍රියේදී ඇය මර්ලින්ගේ දොරට යටින් ආලෝකයක් දුටු බවයි. දෙවනවරට සාක්ෂි ලබා දීමේදී ඇය එම වේලාව වෙනස් කළ අතර ඒවර ඇය පැවසුවේ ඇය එම ආලෝකය දුටුවේ උදෑසන 3.00 පමණ බවයි.

මරේ පවසන පරිදි ඇය ඉන් පසුව දොරට තට්ටු කළ නමුත් අගුලු දමා තිබූ කාමරයේ ඇතුළත සිට කිසිදු පිළිතුරක් නොලැබුණි. මේ නිසා බියට පත් වූ ඇය මැර්ලින්ගේ මනෝචිකිත්සකයා වූ ග්‍රීන්සන් සම්බන්ධ කරගෙන ඇත.

ඉන් පසු වහා එම ස්ථානයට පැමිණි මනෝචිකිත්සක ග්‍රීන්සන් පිටත සිට ජනේලයක් කඩා දමමින් ඇයගේ කාමරය තුළට ඇතුළු විය. ඒ වන විටත් මර්ලින් පැහැදිලි ලෙසම මියගොස් සිට ඇති අතර ඇය මියගිය බව සනාථ කිරීම සඳහා ඇයගේ වෛද්‍යවරයා වූ එංගල්බර්ග් ඉක්මනින් එම ස්ථානයට පැමිනෙන ලදී. ඉන්පසු  පාන්දර 4.30 ට පමණ ඔවුන් පොලිසියට කතා කරන ලදී.

නමුත් සැබැවින්ම මර්ලින්ගේ දොරට අගුලක් නොතිබූ බැවින් මෙම සිද්ධිය තවත් සැක සහිත එකක් බවට පත් වේ. ගෘහපාලිකා මරේ පවා ඊට වසර ගණනාවකට පසු එය පිළිගන්නා ලදී. එනිසා ඔවුන්ට ජනේලය හරහා නිදන කාමරය තුළට ඇතුළු වීමට කිසිදු හේතුවක් නොතිබුණි. ඊට අමතරව මනෝචිකිත්සක ග්‍රීන්සන් මුල් වරට සාක්ෂි ලබා දීමේදී ප්‍රකාශ කර සිටියේ මොන්රෝගේ මළ සිරුර මුල් වරට දැක්කේ ඔහු බවය. එහෙත් දෙවනවර සාක්ෂි ලබා දීමේදී ඔහු ප්‍රකාශ කර සිටියේ ගෘහපාලිකාව විසින් පළමුව එය දුටු බවයි.

අවසානයේ මරණ පරීක්ෂණයෙන් ඇයගේ සිරුරට අදාල විෂ සහිත සංඝටක ඇතුළු වූ ආකාරය පිළිබඳව හෙළි විය. එහිදී හෙළි වූයේ ඇයගේ ගුද මාර්ගය ඔස්සේ ඒවා ශරීරයට ඇතුළු වී ඇති බවයි. නමුත් සාමාන්‍යයෙන් සියදිවි නසා ගැනීමකදී එම පෙති පානය කිරීමකින් තොරව ගුද මාර්ගය ඔස්සේ ඇතුළු කර ගැනීමට යමෙකු පෙලබේදැයි සිතිය හැකිද?

මැර්ලින්ගේ මරණයෙන් පසු බොහෝ දෙනෙකු ඒ පිළිබඳ චෝදනා කරනු ලැබුවේ ඒවක එක්සත් ජනපද ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිහටය. එකල කෙනඩි සමග මර්ලින්ගේ සම්බන්ධතාවයක් පැවති බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි. එබැවින් එයද බැහැර කළ නොහැකි චෝදනාවකි.

ජනාධිපති ජෝන් එෆ් කෙනඩි එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු වූ දා සිටම ඔහු බොහෝ ලෙස කාලය ගත කළේ හොලිවුඩයේය.  ඔහු සුන්දර කාන්තාවන් බොහොමයක් සමඟ සම්බන්ධතා පවත්වා ඇත. සමහරු විශ්වාස කරන්නේ ඔහු මර්ලින් සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවයි.

සැබැවින්ම මෙය කටකතාවක් පමණක්ම නොවිය හැක. මක්නිසාදයත් කෙනඩි සහ මර්ලින් 1961 ඔක්තෝබර් සිට 1962 අගෝස්තු දක්වා කිහිප වතාවක්ම මුණ ගැසී ඇත. කෙනඩිගේ පොදු උපන් දින සැමරුමේදී “සුබ උපන්දිනයක්, ජනාධිපතිතුමනි” යනුවෙන් මැරිලින් සිදු කළ ඉදිරිපත් කිරීම නූතන ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී අංගයක් බවටද පත් විය.

එමෙන්ම මර්ලින් ජනාධිපතිගේ සහෝදරයා වන එක්සත් ජනපද නීතිපති රොබට් එෆ් කෙනඩි සමඟද අනියම් සම්බන්ධයක් පැවැත්වූ බවටද බොහෝ වාර්තා ඇත. නමුත් කෙනඩි සොහොයුරන්ට හොලිවුඩයේ විශාලතම සිනමා තරුව ඝාතනය කිරීමට අවශ්‍ය වූයේ ඇයි?

1960 ගණන්වල ඉදිරිපත් වූ ලියවිල්ලකට අනුව කියවෙන්නේ චිකාගෝ අවුට්ෆිට් නමින් හැඳින්වෙන අපරාධ කල්ලියක් භාරව සිටින සෑම් ජියැන්කානා නම් අපරාධකරු සමග ජනපතිවරයාගේ සම්බන්ධතාවය පිළිබද හෙළි නොකර සිටීම සදහා කෙනඩි පවුල විසින් ඇයගේ මව වෙත අරමුදලක ස්වරූපයෙන් ඩොලර් 600,000 ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවයි. ජනපති සැබැවින්ම චිකාගෝ මැර කන්ඩායම් සමග සම්බන්ධතා පැවැත්වූයේ නම් සහ ඒවා මැර්ලින් දැන සිටියේ නම් එය ඇයව ඝාතනය කිරීම සදහා හේතු වූ කරුණක් බවට පත් වනු ඇත.

තවත් සමහරු පවසන්නේ කෙනඩි ජනාධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරයා සමඟ ඇතිකරගත් සම්බන්ධය වසන් කිරීමට මර්ලින්ව ඝාතනය කරන්නට ඇති බවයි.

මර්ලින් මොන්රෝගේ මරණය  වසර ගණනාවක් පුරා විවාදයට තුඩු දුන් සිදුවීමක් විය. අදාල ඝාතනයට කෙනඩි සම්බන්ධ බව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වුවත් තවමත් බොහෝ දෙනෙකු එම අදහස ඉවත දැමීමට සූදානම් නැත.
මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද (The Mysterious Death Of Marilyn Monroe) - Your Choice Way
ලොස් ඇන්ජලීස් හි මර්ලින්ගේ නිවස

මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද (The Mysterious Death Of Marilyn Monroe) - Your Choice Way
ජනාධිපති කෙනඩිගේ උපන්දිනයේදී මර්ලින්ගේ ඉදිරිපත් කිරිම

මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද (The Mysterious Death Of Marilyn Monroe) - Your Choice Way
මර්ලින් කෙනඩි සහෝදරයන් සමඟ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද? (The Mysterious Death Of Marilyn Monroe) මර්ලින් මොන්රෝගේ අද්භූත මරණය - ඇය සැබැවින්ම සියදිවි නසා ගත්තාද? (The Mysterious Death Of Marilyn Monroe) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2022 Rating: 5

0 comments:

Post a Comment