ජයගුරා සොයා ආ ලලිතාගේ අවතාරය (Lalitha)

ජයගුරා සොයා ආ ලලිතාගේ අවතාරය (Lalitha) - Your Choice Way

මේ සිද්දිය වෙන්නෙ 1993 අවුරුද්දෙ. හිගුරක්ගොඩ පැත්තෙ තියන පොඩි ගමක වෙච්ච සිද්දියක්.

ජයගුරා කියන්නෙ වයස 45ක විතර වයසට වඩා වැහැරුනු ශරීරයක් තියන අරක්කු වලට ඇබ්බැහි වුනු කට්ටඩියෙක්. ඇගට පතට ලොකු හයියක් එහෙමත් නෑ මේ මනුස්සයට. නෝන වෙන මනුස්සයෙක් එක්ක ගිය දවසේ ඉදන් තනියම ජීවත් වෙන්න හුරු වෙච්ච නිසා තනිකම ලොකු දෙයක් වුනේ නෑ. ගමේ අයනම් කියන්නෙ මේ මනුස්සය බීල ඇවිත් ගෑනිට දෙන වදෙන් බේරෙන්න ගියා කියල. කොහොම හරි ටික කාලයක් ඔහොම ඉන්නකොට ලලිතා ඒ කියන්නෙ මෙයාගෙ හිටපු නෝන පිලිකාවක් හැදිල නැති වුනා කියන ආරංචිය ජයගුරාට දැනගන්න ලැබෙනව.

ඕකිට ඔහොම නෙමෙයි මැරෙන්න තිබුනෙ. පාරක් පාරක් ගානෙ හිගාකාල.එවෙලෙ ජයගුරාගෙ කටින් පිට වුනේ ඒ වචන ටික විතරයි. කාලය ටිකෙන් ටික ගෙවිල ගියා. ගමේ හැම තැනම අමුතු කතාවක් පැතිරෙන්න ගත්ත. මහ රෑ ජාමෙට ජයගුරාලගෙ ගෙවල් පාරෙ ගෑනු කෙනෙක් යනව කියල දැකපු කීපදෙනෙක්ම මේ ගැන කියල තියනව. මේ කතා ආරංචි වුනාම ගුරාටනම් පොඩි සතුටක් තමයි දැනුනෙ. කවුරු හරි බය වුනොත් බෙරයක් ගහල ටිකක් දගලල සල්ලි ටිකක් හොයාගන්බ පුලුවන්නෙ. කීයක් හරි හොයාගන්න වැඩක් හම්බෙයි කියල හිත යටින් සතුටු වුනේ ඒ නිසයි. ඉතින් ඔහොම ඉන්නකොට ගුරා හිතුව වගේම ගමේ එක තරුණ පිරිමි ලමයෙක් මොකක්දෝ දේකට බය වෙලා. පහුවදාම ඒ පිරිමි ලමයගෙ තාත්තා කෙලින්ම එන්නෙ අපේ ගුරුන්නාන්සෙ හම්බවෙන්න. කාරණාව හොදට අහගෙන ඉදල ගුරුන්නාන්සෙ මෙහෙම කියනව.

කොල්ල තරුණයි. වැඩේ ටිකක් දරුණුයි වගේ මලේ. අපි තොයිලයක් කරල මේක අහවර කරල දාමු. පේන හැටියටනම් මෝහිනී.අර දරුවගෙ තාත්තත් වැඩේට එකග වෙලා දිනයක් දාගෙන එහෙම අවශ්‍ය කරන දේවල් ලියාගෙන යන්න ගියේ අපේ ගුරා අතට ගුරු පඩුරුත් තියාගෙනමයි.

කොහොම කොහොම හරි දාගත්තු දවසෙ තව කීප දෙනෙකුත් එකතු කරගෙන අපේ ජයගුරා වැඩේ ඇල්ලුව. පාන්දර වෙද්දි වැඩේ ඉවර කරපු අපේ ගුරා ගානකුත් කඩාගෙනම උදේම ගෙදර එනව. මහන්සියයි නිදිමතයි වැඩි කමටදෝ සාලෙ පුටුව උඩම දවල් වෙනකම්ම නින්ද ගිහින්. උයල කරල දෙන්න තියා තේ ටිකක්වත් දෙන්න කෙනෙක් දැන් ගෙදරත් නැති එකේ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගෙනත් තේ එකක් එක්ක පාන් කෑල්ලක් කාල හවස් වෙනකම් නිදාගන ඇහැරුනු අපේ ගුරුන්නාන්සෙ නාගන කරගෙන එලියට බහින්නෙ සුදාගෙ හොර අරක්කු ගුබ්බෑයම පැත්තට යන්න හිතාගෙන. සුදා ජයගුරාගෙ හිතවතා. මොකද හැමදාම වෙලදාම කරගන්න ඕනි නිසා. අරක්කු කාලක් ඉල්ලපු ගුරාට කටගැස්මට වල් ඌරු මස් දීසියක් දුන්නෙත් ඒ කපටිකමටම තමයි. කාල බාගෙ උනා එන්න එන්නම රෑ උනා. හොද පදමට වෙරි වුනු ගුරා කසිප්පු වාඩියෙන් එලියට බහින්නෙ රෑ 11ත් පහු වෙලා. කලුවරේම දනිපනි ගාගෙන කොහොම කොහොම හරි ගෙවල් වලට එන දෙවැට ලගට එන්න ගුරාට පුලුවන් වුනා. ඒත් දෙවැටෙන් එන්න ගුරාට පුලුවන් කමක් වුනේ නෑ. ගෙවල් පැත්තෙන් බල්ලෙක් මරලතෝනි ගහගෙන දුවන සද්දෙත් එක්කම සීතල හුලගක් ගුරාගෙ ඇගේ වැදුන. වෙරි වුනත් ගුරා හිටියෙ සිහියෙන්. ඒ නිසාම දෙවැට කෙලවරේ කව්දෝ ඉන්නබව කලුවරේ වුනත් දකින්න ගුරාට පුලුවන් වුනා. හෙමින් හෙමින් ඒ පැත්තට ඇවිදගන යද්දි එන්න එන්නම හුලග තද බවක් දැනෙන්න වුනා. කියාගන්න බැරි තරම් තනියක් පාලුවක් එක්කම මූසල ගතියක් ගුරාට දැනුන. දැකපු රූපෙ තාම එහෙමමයි. වෙනසක් නෑ. දැන්නම් ඒ කාන්තාවක් කියල පැහැදිලිව පේන තරමට අපේ ගුරුන්නාන්සෙ කිට්ටු වෙලා ඉන්නෙ. මේ ගෑනි ගැනද මිනිස්සු කතා වෙන්නෙ කියන දේ එවෙලෙ ගුරාට හිතට දැනෙන්න වුනා. වෙරි බැහැල ගියා වගේ දාඩිය දාන්න වුනා. ගෑනිත් කිසිම හැලහොල්මනක් නෑ. යකෙකුටවත් බය නැති අපේ ගුරා තව ටිකක් කිට්ටු වුනා.

කව්ද යකෝ මේ මහ රෑ.

මෙහෙම කියනගමන් කුනුහරුප දෙක තුනකුත් ගුරාගෙ කටින් පිටවුනා. ඒත් එක්කම ඈතින් බල්ලෙක් උඩු බුරන්න වුනා. වෙන්න යන දේ ගුරාට ඉවෙන් වගේ දැනුනත් තමා පරක්කු වැඩි බවත් අදනම් වැඩේ වැරදුනු බවත් දැනුනු නිසා අඩියක් පස්සට තියන්න දෙපාරක් හිතුවෙ නෑ. ඒ එක්කම අර ගෑනිත් අපේ ගුරා පැත්තට හැරුන. ඇස් අදහගන්න බැරි වුනු ගුරාගෙ කටින් පිට වුනේ

දෙයිහාමුදුරුවනේ ලලිතා..

හුලගක වේගයෙන් අපු ලලිතා ගුරාගෙ ඇගේ වැදීගනම යන්න ගියා. ඒත් ගියෙ තනියමනම් නෙමෙයි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ජයගුරා සොයා ආ ලලිතාගේ අවතාරය (Lalitha) ජයගුරා සොයා ආ ලලිතාගේ අවතාරය (Lalitha) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2022 Rating: 5

0 comments:

Post a Comment