බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan)

බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) - Your Choice Way

දශක ගණනාවක් තිස්සේ පැවති නිදහස් අරගලයෙන් පසුව ඉන්දියාවේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වර්ෂ 1947 අගෝස්තු මාසයේදී අවසන් විය. නමුත් ලබා ගත් එම නිදහස ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිහින මැවූ ආකාරයේ නිදහසක් බවට පත් වූයේ නැත. විශාල ලෙස ඇවිලෙමින් තිබූ හින්දු, මුස්ලිම් ආගමික ගැටුම් හේතුවෙන් ඉන්දියාව රාජ්‍ය දෙකකට බෙදීමට සිදු විය. මුස්ලිම්වරුන් බහුතරයක් සහිත පාකිස්තානය බිහි වූයේ ඒ අයුරිනි. ඉන් පසු වසර ගණනාවක් තිස්සේ මේ අලුතින් පිහිටුවන ලද දේශසීමාව දිගේ විශාල ලේ වැගිරීම් රාශියක් සිදු වීම ඇරඹෙන ලදී.

මෙයත් සමගම මිලියන 15කට අධික ජනතාවක් සරණාගතයින් බවට පත්විය. ඔවුන්ට තම නිවෙස් සහ බඩු බාහිරාදිය අතහැර දමා නව රටකට එසේත් නැතිනම් ඔවුන් පිළිගන්නා රටකට යාමට සිදු විය. ඉන්දියානු භූමියෙන් මුස්ලිම්වරු බටහිර දෙසට සංක්‍රමණය වූ අතර හින්දු සහ සීක්වරු නැගෙනහිර ඉන්දියාවට සංක්‍රමණය වන ලදී. මෙසේ සංක්‍රමණය වූ මෙම සරණාගතයින්  ඉතිහාසයේ තවත් එක් විශාල  ලේවැකි කාල පරිච්ඡේදයක් අත්විඳි ජීවමාන සාක්ෂි බවට පත් විය.

මෙහිදී සිදු වූ මරණ සංඛ්‍යාව 200,000 සිට මිලියන 2 දක්වා වූ අතර දසදහස් ගණන් කාන්තාවන් අතවරයන්ට සහ විවිධ හිංසා වලට ගොදුරු විය. සම්පූර්ණ ගම්මාන අතුගා දමමින් මහා ජන සංහාර සිදු වූ අතර කුඩා දරුවන් තම ජීවිත බේරා ගැනීම සඳහා සැඟවී සිටියදී ඔවුන්ගේ ඉදිරිපිට සිය දෙමාපියන් ඝාතනය විය. මිනිසුන් පුරවා ගෙන එක් රටක සිට අනෙක් රටට පුද්ගලයින් ප්‍රවාහනය කළ දුම්රිය තුළදීද සොරුන් සහ මැරයින් විසින් බොහෝ පුද්ගලයින් ඝාතනය කරන ලදී. එහෙත් මෙවැනි විනාශයක් සිදු වූ සිදුවීම් මාලාව ආරම්භ වූයේ කෙසේද? එය දැන ගැනීමට නම් අපට නැවතත් 1939 වර්ෂයට යාමට සිදු වේ.

හිට්ලර්ගේ නායකත්වයෙන් යුත් ජර්මනිය යුරෝපය විනාශ කරමින් සිටින විට බ්‍රිතාන්‍යයද යුද්ධයට සම්බන්ධ වීමට තීරණය කරන ලදී. එයත් සමගම බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති ඉන්දියාවත් යුද්ධයට තල්ලු විණි. මිලියන 2.5 කට ආසන්න ඉන්දියානු සොල්දාදුවන් පිරිසක් බ්‍රිතාන්‍යය සහ මිත්‍ර පාක්ෂිකයින් වෙනුවෙන් දෙවන ලෝක සංග්‍රාමයේ දී යුධ වදින ලදී. එහෙත් මෙම බලහත්කාරයෙන් යුද්ධයට ඇතුළත් කර ගැනීම පිළිබඳව ඉන්දීය ජාතික කොන්ග්‍රසය ඉතා නොසතුටකින් පසු විය. මේ හේතුව නිසා දශක ගණනාවක් තිස්සේ පැවති නිදහස් ව්‍යාපාරය වෙන කවරදාටත් වඩා ශක්තිමත් වූ අතර මොහාන්දාස් කේ. ගාන්ධි සහ ජවහර්ලාල් නේරු විසින් ඊට නායකත්වය ලබා දෙන ලදී. ඔවුන් 1942 දී ‘ඉන්දියාවෙන් ඉවත්වනු’ යන වැඩසටහන දියත් කළ අතර මේ හේතුව නිසා පසුව ඔවුන් 1945 දක්වා සිරගත කරන ලදී.

ශක්තිමත් වූ නිදහස් අරගලයට එරෙහිව සාර්ථකව මුහුණ දීම සදහා අවශ්‍ය දේශීය සහයෝගය ලබා ගැනීම සදහා බ්‍රිතාන්‍ය ජාතිකයන් මුහම්මද් අලි ජින්නාගේ නායකත්වයෙන් යුත් සමස්ත මුස්ලිම් ලීගය සමඟ ගිවිසුමක් ඇති කර ගන්නා ලදී. බ්‍රිතාන්‍ය ජාතිකයන් අලි ජින්නා ප්‍රමුඛ මුස්ලිම් ලීගයට පොරොන්දු වූයේ ඔවුන්ට සහයෝගය ලබා දුන්නොත් යුද්ධය අවසානයේ ඔවුන්ට වෙනම රාජ්‍යයක් ලබා දෙන බවයි. එකල මුස්ලිම්වරුන් ඉන්දියානු ජනගහනයෙන් 25%ක් පමණ වූ අතර එය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ විශාලතම ආගම් වලින් එකක් විය. 

දෙවන ලෝක යුද්ධය අවසානයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ආර්ථික අතින් විශාල ලෙස පසුබැස සිටි අතර ඔවුන්ගේ ලොව පුරා විසිරුණු සුවිශාල අධිරාජ්‍යය ඔවුන්ට ආර්ථික වශයෙන් විශාල බරක් විය. එම නිසා අවසානයේදී ඉන්දියාවට නිදහස ලබා දීමට ඔවුන් තීරණය කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ අවසාන නිත්‍ය නියෝජිතයා වූ ලුයිස් මවුන්ට්බැටන් සාමිවරයා 1947 මාර්තු මාසයේදී ඉන්දියාවට පැමිණියේ ඉන්දියාවේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉක්මනින්ම අවසන් කිරීමේ අරමුණින් යුතුවය. බලය පැවරීමේ ක්‍රියාවලිය 1948 ජුනි මාසයේදී සිදු කිරීමට මුලින් සැලසුම් කරගෙන සිටියත් 1947 ජුනි 3 වන දින මවුන්ට්බැටන් සාමිවරයා විසින් එය 1947 අගෝස්තු මාසයේදී සිදු කරන බවට නිවේදනය කරන ලදී.

ඒ අනුව මුස්ලිම් ජාතිකයන්ට පොරොන්දු වූ පරිදි වෙනම රාජ්‍යයක් ලබා දීම සදහා වැඩ කටයුතු ඉක්මනින්ම ඇරඹෙන ලදී. ඉන්දියාව දෙකඩ කිරීම සදහා මැනුම් කටයුතු අරඹන ලද අතර එහි මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ බ්‍රිතාන්‍ය නීතිඥයෙකු වු සිරිල් රැඩ්ක්ලිෆ් විසිනි. පුදුමය නම් ඔහු මීට පෙර කිසිදු දිනෙක ඉන්දියාවට නොපැමිණි අයෙකු වීමයි.

මෙම මැනුම් කටයුතු සිදු කළ කමිටුවට මායිම් ඇදීමට තිබුණේ සති පහක් පමණ කුඩා කාලයකි. එබැවින් ඔවුන්ට ඉතා ඉක්මනින් තීරණ ගැනීමට සිදු විය. ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශයේ සිටින සියලුම මුස්ලිම් බහුතර ජනතාව පාකිස්තානයටත් හින්දු බහුතරය ඉන්දියාවටත් යා යුතු බවට අවසානයේදී ඔවුහු තීරණය කරන ලදී. එසේම නැගෙනහිරින්ද එසේම සිදු වූ අතර මුස්ලිම් බහුතරයක් සහිත නැගෙනහිර බෙංගාලය නැගෙනහිර පකිස්ථානය බවට පත්වනු ඇත.

කෙසේ වෙතත් මෙය එතරම් සරල දෙයක් වූයේ නැත. පළමුවෙන්ම සියලු හින්දු, මුස්ලිම් සහ සීක්වරුන්ට මේ බෙදීම අවශ්‍ය නොවීය. එමෙන්ම මේ බෙදීම් මගින් බොහෝ හින්දු ආධිපත්‍යය සහිත දිස්ත්‍රික්ක පාකිස්තානට හිමි වූ අතර බොහෝ මුස්ලිම් ආධිපත්‍ය සහිත ප්‍රදේශ ඉන්දියාවට හිමි විය. ඊට අමතරව වසර සිය ගණනක් තිස්සේ සහජීවනයෙන් ජිවත් වු පන්ජාබ් සහ බෙංගාලයේ ආගමික ප්‍රජාවන් මෙයට දැඩි ලෙස විරුද්ධ විය.

මෙම සීමාව කඩිමුඩියේ නිර්මාණය කිරීම මගින් මිලියන ගණනක් ජනතාවට නිවාස අහිමි වූ අතර විශාල ලෙස සංක්‍රමණයන් සිදු වීමට පටන් ගන්නා ලදී. රැඩ්ක්ලිෆ් පසුව පවසා සිටියේ එවැනි සංකීර්ණ කලාපයක මායිමක් සැකසීමට වසර ගණනාවක කාලයක් ගතවන බවයි. ඊට අමතරව ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ මැනීම් කටයුතු සිදු කිරීමට ඔවුන් භාවිතා කරනු ලැබුවේ යල් පැන ගිය සිතියම් සහ සංගණන ප්‍රස්ථාර බවයි.

පාකිස්තානයට 1947 අගෝස්තු 14 වනදා නිදහස ලැබුණු අතර ඉන්දියාවට 1947 අගෝස්තු 15 වනදා නිදහස හිමි විය. ඉන් දින දෙකකට පසුව එනම් 1947 අගෝස්තු 17 වන දින මෙම ලේ තැවරුණු දේශ සීමාව ප්‍රසිද්ධ කරන ලදී. ඉන්දියානු භූමියේ සිට කිලෝමීටර් 1700 කින් පාකිස්තානය කොටස් දෙකකට වෙන් කරන ලදී. නැගෙනහිර පාකිස්තානය පසුව බංග්ලාදේශය බවට පත් විය. නේරු නිදහස් ඉන්දියාවේ පළමු අගමැතිවරයා බවට පත් වූ අතර අලි ජින්නා පාකිස්තානයේ පළමු අගමැති බවට පත් විය.

මෙම මායිම ප්‍රසිද්ධ කළ දිනයේම හදිසියේම විශාල සංක්‍රමණය වීම් මාලාවක් සමග කැරලි මාලාවක් ආරම්භ විය. වසර ගණනාවක් තිස්සේ සහජීවනයෙන් සිටි අසල්වැසියන් එකිනෙකා මරා ගැනීමට පටන් ගන්නා ලදී.

බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වූයේ හැකි ඉක්මනින් ඉන්දියාවෙන් පිටව යාමටයි. එම නිසා මෙම සමූහ ලේ වැගිරීම් නැවැත්වීම සඳහා ඔවුන් තම හමුදාවන් යෙදවුයේ නැත. තවමත් ව්‍යවස්ථාවක්වත් නොතිබූ මෙම  රටවල් ගැටුම් නතර කිරීමට උත්සාහ කළද එය සාර්ථක නොවීය. ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වන තෙක් යුද්ධ 4 ක් සිදුව ඇති අතර, බංග්ලාදේශය නිර්මාණය කිරීම සඳහා වූ යුද්ධය ඇතුළු දේශසීමා ආරවුල් සහ ත්‍රස්ත ප්‍රහාර ද ඊට ඇතුළත් ය.

මෙහි ඇති උත්ප්‍රාසය වන්නේ මේ දෙරටේම ඇත්තේ එකම සංස්කෘතීන්, ආහාර, ඉතිහාසය සහ මූලයන් වීමයි. දේශසීමා අසල නගර වන අම්රිට්සර් (ඉන්දියාව) සහ ලාහෝර් (පකිස්ථානය) ට හමන්නේ එකම සුළං පොදයි. එකම වර්ශාවෙන් දෙරටම නැහැවී යයි. නොසන්සුන්කාරී කාලවලදී අදූරදර්ශී නායකයින් විසින් ගනු ලැබූ අකාර්යක්ෂම තීරණ හේතුවෙන් මිලියන ගණනක් ජනතාවගේ ජීවිත විනාශ වී ගිය අතර එම ශාපයෙන් වසර ගණනාවකට පසු ඉපදෙන දරුවන්ට පවා වන්දි ගෙවීමට සිදු වේ. මිනිසා ජාතිවාදී සහ ආගම්වාදී ආකල්පයන්ගෙන් මිදී අනෙකාට ආදරය කිරීමට පටන් ගත් දිනෙක නිසැකවම මෙම ලෝකය මීට වඩා ලස්සන වනු ඇත.

බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) - Your Choice Way
පණ්ඩිත් ජවහර්ලාල් නේරු (වමේ), ලුවී මවුන්ට්බැටන් සාමිවරයා (මැද දකුණ) සහ මුහම්මද් අලි ජින්නා (දකුනේ) ඉන්දියාව බෙදීම පිළිබඳව සාකච්ඡා කරමින්

බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) - Your Choice Way
මිලියන ගණනක් ජනයා කිලෝමීටර් සිය ගණනක් පයින් ගමන් කරන ලදී

බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) - Your Choice Way
සංක්‍රමණිකයන් ප්‍රවාහනය කළ දුම්රිය

බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) - Your Choice Way
සිදු වූ කැරලි වලදී විනාශ කර දමා ඇති ගමක්

බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) - Your Choice Way
සිරිල් ජෝන් රැඩ්ක්ලිෆ්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) බිලියන 1.7ක ජනතාවකගේ ජීවිත සදහටම වෙනස් කළ ඉන්දියානු පකිස්තාන බෙදා වෙන්කිරීම (Partition Of India And Pakistan) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 15, 2022 Rating: 5

0 comments:

Post a Comment