කැස්සට ගුණ දෙන කටුවැල්බටු (Katuwalbatu)

කැස්සට ගුණ දෙන කටුවැල්බටු (Katuwalbatu) - Your Choice Way
✅ ඖෂධ ද්‍රව්‍යයක් ලෙස දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන කටුවැල්බටු ශාකය අද ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන සහ විශාල වශයෙන් ආනයනය කරන ඖෂධයකි.

✅ රූපාකාරය
🌿 සාමාන්‍යයෙන් බටු ගසකට සමාන පෙනුමෙන් යුත් බිම බදාගෙන පැතිරී වැඩෙන පඳුරකි.

🌿 ඉතා ගැඹුරු අයුරින් කොටස්වලට බෙදුණු පත්‍රවල හා පැළෑටියේ සෑම කොටසකම පාහේ තියුණු කටු ඇත.

🌿 පත්‍රවල මැද නාරටිය දිගේ හා නටුවල, දිග කටු පිහිටන අතර මේවා ඍජු සහ තද කහ පැහැයෙන් යුක්තය.

🌿 කෝණාකාරව විහිදුණු දම් පැහැ පෙති ඇති මලෙහි, මැද එකට ගොනු වූ කහපාට රේණු කැපී පෙනෙයි. මල කිහිපයක් පොකුරක් ලෙස පවතියි.

🌿 විෂ්කම්භය සෙ.මි. 2 පමණ වන ගෝලාකාර කොළ පැහැ ගෙඩි ඉදුණු විට කහ පැහැයට හැරෙයි. එහි බීජ රාශියකි.

🌿 මල් හට ගැනීම වසර පුරාම සිදුවේ.

✅ වැවෙන ප්‍රදේශ
🌿 ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේ ඉතා හොඳින් වැඩෙයි. විශේෂයෙන් වියළි, නිසරු මුඩු බිම්වල සරුවට වැඩෙයි.

✅ ඖෂධ සඳහා ගැනෙන කොටස්
🌿 සම්පූර්ණ පැළෑටියම ඖෂධ සඳහා ගනියි.

✅ ඖෂධීය ගුණ 
🌿 කැස්ස, හතිය, ඉක්කාව, පීනස, සෙම්ප්‍රතිශ්‍යාව හා උණට ගුණදායකයි.

🌿 පණු රෝගවල දී සහ මුත්‍රා රෝගවලදී ගුණදායකයි.

🌿 බඩගින්න ඇති කරයි.

🌿 කැස්සට - කටුවැල්බටු ආඩතෝඩ කොළ සමඟ තම්බා බීම හෝ කටුවැල්බටු, වැල්මී සමඟ තම්බා සූකිරි සමඟ බීම.

🌿 දත් කැක්කුමට - කටුවැල්බටු ඇට කබලේ බැද කුඩුකර, පොල්කටු අඟුරු මත හෙළා දුම් ඇල්ලීම.

🌿 මුත්‍රා යෑම අඩු විට - කටුවැල්බටු තම්බා බීමට දීම.

✅ වගා කිරීම 
🌿 බීජ මඟින් ඉතා පහසුවෙන් වගා කළ හැකිය. තවාන් බීජ පැළ මඟින් හෝ කෙළින්ම ක්ෂේත්‍රයේ ඉසීමෙන් මෙය කළ හැකිය. පළමුව බීජ එහි සෙවල ගතිය යනතුරු හොඳින් සෝදා පැය 12 පමණ ජලයේ බහා තබා ගැනීමෙන් ප්‍රරෝහණය ඉක්මන් කරවා ගත හැකිය. බීජ පැළවීමට ගතවන කාලය දින 10 කට වඩා ගතවන බැවින් අධික වැසි සමයේදී ක්ෂේත්‍රයට බීජ ඉසීම නොකළ යුතුය. මනාව හිරු එළිය සහිත හා පස තරමක් වියළි අවස්ථාවේ දී මෙය කිරීම සුදුසුයි. අඩි 3 × 3 පරතර ඇති අඩියක් ගැඹුරු වළවල් කොම්පෝස්ට් පොහොර පොල්කටු 2 ක් මිශ්‍ර පසින් පුරවා ජලය යොදා, සති දෙකක් වයසැති පැළ ප්‍රවේශමෙන් ගලවා සිටුවන්න. මුලදී දිනපතා ජලය යෙදීම අත්‍යවශ්‍ය වේ. සති දෙකකට පසු ක්‍රම ක්‍රමයෙන් ජලය යෙදීම අඩු කරන්න. ජලය වැඩි වූ විට පැළ කුණුවී මැරෙන්නට ඉඩ ඇත.

✅ අස්වනු නෙළීම
🌿 පඳුරු පැතිරී ගෙඩි මෝරා කහ පැහැ ගැහෙන කාලයේදී සම්පූර්ණ පැළෑටිය ගලවා හෝ මුලෙන් වෙන්කර හෝ පවනේ වියළා ගන්න. වැල් බැඳ එල්ලා වියළීම වඩා සාර්ථක ක්‍රමයයි. මනාව වැඩුණු පඳුරකින් වියළි කටුවැල්බටු 250 g ක් පමණ ලැබේ. කෙටිකාලීන බෝගයක් වන කටුවැල්බටු කෘෂි භෝග වගාවට නුසුදුසු කටුක පරිසරවලදී හොඳින් වැඩෙන බැවින් හා අක්කරයක පමණ වගාවකින් මාස තුනක් ඇතුළත විශාල ආදායමක් ලබා ගත හැකි බැවින් ආර්ථික වශයෙන් ඉතා ඵලදායි ඖෂධ ශාකයකි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි.
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කැස්සට ගුණ දෙන කටුවැල්බටු (Katuwalbatu) කැස්සට ගුණ දෙන කටුවැල්බටු (Katuwalbatu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 02, 2021 Rating: 5

0 comments:

Post a Comment