විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin)

විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) - Your Choice Way
එක් ඝාතනයක් මෝහනය මගින්ද සිදුකර ඇත.තරුණයන් මැරිමට මොහුට උදව් කල අය සිටීම...

ඉතිහාසය පුරාවට ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන කුරිරු දාම ඝාතකයින් කිහිප දෙනෙකුම ක්‍රියාත්මක වුණා. 1970 දශකයේ අග භාගයේ මුළු මහත් කැලිෆෝනියාවම භීතියට පත් කළ 'මාවතේ ඝාතකයා' යනුවෙන් විරුදාවලිය ලත් විලියම් බොනින් ඉන් ඉදිරියෙන්ම සිටින අයෙක්. ඔහු කැලිෆෝනියානු මාවත්වල, ගමන් යාම සඳහා වාහනයක් අල්ලා ගැනීමට බලා සිටි තරුණයින් පැහැරගෙන ගොස්, ඔවුන් ඝාතනය කළා.

1979 වසරේ කැලිෆෝනියාවේ මහාමාර්ග අසබඩ තිබී ගැටවරයින් හා තරුණයින්ගේ මළසිරුරු දුසිමකට වැඩි ප්‍රමාණයක් හමුවුණා. මේ අතරින් වයසින් අඩුම මෘතශරීරය 12 වියැති අයෙකුගේ වුණා. මෙම සිරුරු කඩිනම් පොලිස් පරීක්ෂාවට ලක් වූ අතර, එහිදී අනාවරණය වූයේ මේ සියල්ලම ඉතා දරුණු ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වී ඇති බව යි. වධ හිංසා පැමිණුවීමෙන් අනතුරුව, උල් ආයුධයකින් ඇනීමෙන් හෝ ගෙල සිරකිරීමෙන් ඔවුන්ගේ මරණ සිදුකර තිබුණා.

ඝාතන සිදුකර තිබූ ආකාරය අනුව උක්ත ඝාතන සියල්ල එක් අයෙකු විසින් සිදුකළ බවට පැහැදිළිවම පෙනී ගියා. නමුත් විශේෂත්වය වූයේ අනෙකුත් දාම ඝාතකයින්ට මෙන් නොව මේ දාම ඝාතකයාට උදව්කරුවන් කිහිප දෙනෙක්ම සිටින බැව් පෙනී යාම යි. විශේෂයෙන් ලොස් ඇන්ජලීස් පෙදෙසේ සිට ඔරේන්ජ් පෙදෙස දක්වා විශාල පෙදෙසක් තුළ ඝාතන ක්‍රියාත්මක කිරීමේදී මේ 'උදව්' ඔහුට ඉවහල් වී තිබූ සෙයක් පෙනී ගියා. එමෙන්ම ඝාතන සිදුකරන්නටත් විවිධ අවස්ථාවන්හි දී ඔහු භාවිතා කර තිබුණේ විවිධ ආයුධ යි.

තරුණ මළසිරුරු කැලිෆෝනියාවේ සිව්දෙසින් හමුවන්නට පටන්ගත් වනම ඝාතකයා සොයාගත නොහැකිව ඔවුන් බොහෝ අපහසුතාවයට ලක් වුණා. කෙසේ නමුත් මීට වසර කිහිපයකට පෙර තරුණයින් හට ලිංගික අඩන්තේට්ටම් සිදුකර බන්ධනාගාරගතව සිටි විලියම් බොනින් යන අය මේ සඳහා සැක කළ හැකි බව පොලිසියට ඉක්මණින්ම වැටහුණා. තරුණයින් හට අඩන්තේට්ටම් සිදුකොට කිහිප විටක්ම දඬුවම් විඳ ඇති ඔහු පිළිබඳව පොලිසිය තද ලෙසම දැනුවත් වූයේ 1970 දශකයේ මැද භාගයට වන්නට ඔහු සිදු කළ අඩන්තේට්ටම් රැල්ල නිසා යි.

එම සමයේ දී මාර්ග අයිනේ සිටි තරුණයින් හට, ඔවුන් ගමනාන්තය කරා ගෙනයන පොරොන්දුව පිට සිය රථයට නංවාගත් බොනින් ඔවුන් හට ලිංගික අඩන්තේට්ටම් සිදු කොට තිබුණා. කෙසේ නමුත් ඔහු ඒ කිසිවෙකුත් ඝාතනය කොට තිබුණේ නැහැ. මේ අත්දැකීමට මුහුණ දුන් එක් තරුණයෙකුගේ සාක්ෂ්‍යට අනුව ඔහු ගමනක් යාම සඳහා මාර්ගය අසල සිටින විට බොනින් සිය වාහනය නවතා, කැමති නම් තමන් හා ගමනාන්තය කරා යා හැකියැ යි පවසා තිබෙනවා. අනතුරුව මඳ දුරක් ගොස් වාහනය මාර්ගයෙන් පිටත බඩවැටියකට ගත ඔහු, ලණුවක් ආධාරයෙන් මෙම තරුණයාගේ ගෙල සිර කිරීමට උත්සාහ දරා තිබෙනවා. කෙසේ නමුත් සිය පාදයකින් ඔහුගේ යටි බඩට අනින්නට තරුණයා සමත් වී ඇති අතර, ඒ අවසරයෙන් වාහනයෙන් ඉවතට පැන දිවගොස් තිබෙනවා. ඔහුගේ වාසනාවට ඒ මොහොතේම ඒ ආසන්නයෙන් පොලිස් රථයක් ගමන් කළ අතර ඔහු වහාම ඔවුනට අතින් සන් කොට තිබෙනවා. මෙය දුටු බොනින් වහාම සිය වාහනය පදවාගෙන, ඉවතට පලා ගොස් තිබෙනවා.

බොනින්ගෙන් මිදී පලා ඒමට සමත් වූ අය අතුරින් වඩාත් ප්‍රබල සාක්ෂ්‍යය ලබා දී තිබුණේ ඩේවිඩ් මැක්විකර් නම් අය යි. ඇත්තෙන්ම මෙම අඩන්තේට්ටම් සිදුකරන්නා නියමාකාරයෙන් හඳුනාගෙන, අධිකරණය හමුවට ගෙන එන්නට හැකිවන්නේ ඔහුගේ මේ සාක්ෂ්‍යය යි. මැක්විකර්ගේ සාක්ෂ්‍යය පහත පරිදියි.

"ඔහුගේ වම් අතෙහි ගිණි අවියක් තිබූ අතර දකුණු අතින් කාරයේ දොර අගුළු දැම්මා. මේ නිසා මට ඉවතට පැනගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හදිසියේවත් මම එයට උත්සාහ කළා නම් ඔහුට පහසුවෙන් මට වෙඩි තබන්නට හැකියාව තිබුණා. ඔහු ක්‍රමයෙන් නිරුවත් වන්නට පටන්ගත් අතර, මට ද නිරුවත් වන ලෙස නියම කළා. අනතුරුව ඔහු මට ලිංගික අඩන්තේට්ටම් සිදු කළා. අනතුරුව, වාහනවල රෝද ගලවන නියනක් ගෙලට තබා මගේ ගෙල සිර කරන්නට උත්සාහ කළා. අනතුරුව එක් වරම ඔහු මා අත් හැර, පලා යන්නට ඉඩ හැරියා".

1975 වසරේදී ලබා දුන් දා හතර වියැති මැක්විකර්ගේ සාක්ෂ්‍යය අනුව උක්ත අපරාධකරු බොනින් බවට තහවුරු වුණා. කෙසේ නමුත් ඔහු වරදකරු වූයේ ලිංගික හිංසන සිදු කිරීමට පමණ යි. ඝාතනයක් සිදුව නොතිබූ බැවින් ඝාතනයට තැත් කිරීමේ චෝදනා ඔහුට එල්ල නොවූ අතර සිව් අවුරුදු සිර දඬුවමක් පමණක් හිමි වුණා. ඔහු ඉන් නිදහස්ව පැමිණියේ 1979 වසරේ දී වන අතර, මළසිරුරු හමුවන්නට පටන්ගත්තේ ඉන් කෙටි කලකට පසුව යි.

විලියම් බොනින් උපත ලබා තිබුණේ 1947 වසරේ ජනවාරි මස 8 වන දා ඇමෙරිකාවේ කොනෙක්ටිකට් ප්‍රාන්තයේ දී යි. දරුවන් තිදෙනෙකුගෙන් යුක්ත පවුලේ මද්දුමයා වූ ඔහුට සිය කුඩා කළ දිවි ගෙවන්නට සිදුවූයේ කම්කටොළු රාශියක් මැද යි. ඔහුගේ මව පවුලෙන් වෙන්ව වෙනම දිවි ගෙවූ අතර, පියා සුරා සොඬෙකු බවට පත් ව සිටියා. මේ නිසා ඔහු හැදී වැඩුණේ සිය මුත්තණුවන් සෙවනේ යි. ඔහු කුඩා දරුවන්ට හිංසා කළ අයෙකු වීම නිසා කුඩා විලියම්ට නිතරම ඔහුගෙන් පීඩා විඳින්නට සිදුවුණා.

විලියමට හැවිරිදිව සිටිය දී සිය නිවසෙන් පලා යනවා. කෙටි කලෙකින්ම සුළු සොරකමක් හේතුවෙන් පොලිස් ග්‍රහණයට නතුවන ඔහු පුනරුත්ථාපන කඳවුරකට යැවෙනවා. එහිදී ඔහුට වැඩිහිටි රැඳිවියන්ගෙන් ලිංගික අඩන්තේට්ටම් සිදුවෙනවා.

1965 වසරේදී විලියම් බොනින් ඇමෙරිකානු ගුවන් හමුදාවට අනුයුක්ත වෙනවා. වියට්නාම් යුධ සමයේ හෙලිකොප්ටර් තුවක්කුකරුවෙකු ලෙස ක්‍රියා කළ ඔහු එහිදී තරුණයින් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් සිදු කරන්නට ගොස් දඬුවම් ද විඳිනවා. වියට්නාම් යුද්ධය අවසානයේ නැවත ඇමෙරිකාවට පැමිණෙන බොනින් විවාහ වුව ද, කෙටි කලෙකින් ඉන් දික්කසාද වී කැලිෆෝනියාවේ පදිංචියට යනවා.

විසි දෙවැනි වියේ දී තරුණයින් පස් දෙනෙකුට ලිංගික හිංසන සිදු කිරීම නිසා සිරගත වන ඔහු වසර කිහිපයක් සිරගතව සිට නිදහස් වුණා. කෙසේ නමුත් සිරෙන් නිදහස් වූ වනම ඔහු සිය ක්‍රියාදාමය වඩා ප්‍රබල ලෙස නැවතත් ආරම්භ කළා. මැක්වියර්ගේ සාක්ෂ්‍යය අනුව 1975 වසරේ දී බොනින් නැවත සිරගත වන්නේ මේ අතරතුරයි. මෙවර අඩන්තේට්ටම් කිරීමේහි ලා ඔහු උපයෝගී කොටගෙන තිබූ ක්‍රමවේදයන්ගේ ප්‍රබල බවත්, මීට පෙර, අඩන්තේට්ටම් චෝදනා යටතේම සිරගතව සිටි අයෙකු වීම නිසාත් ඔහු පිළිබඳව පොලිස් පොත්වල සවිස්තරාත්මකව ලියැවුණා.

1975 වසරේ දී නැවත සිරගතව 1979 වසරේදී නිදහස ලබා ඉවතට පැමිණි පසුවත් බොනින්ට සිය පැරණි ක්‍රියාවේම නිරත නොවී සිටිය නොහැකි වුණා. ඒත් මෙවර ඔහු සිය ක්‍රියාවලියට අමතර පියවරක් එක් කොට තිබුණා. ඒ සාක්ෂ්‍ය ඉතිරි නොකර මකා දැමීම යි.

ඝාතන

1979 වසරේ දී නිදහස් වූ පසු තමන් නැවත කිසිම විටෙක පොලිස් ග්‍රහණයට ලක් වන්නේ නැතැ යි බොනින් අදිටන් කරගත්තා. මේ අනුව තමන් විසින් ග්‍රහණයට ගන්නා තරුණයින් ඝාතනය කරන්නට ඔහු තීරණය කළා. මේ කාලයේ දී බොනින් හා වර්නන් බට්ස්, ග්‍රෙගරි මයිලි, ජේම්ස් මුන් රෝ, විලියම් පග් යන සිවු දෙනා එක් වුණේ ඔහුගේ මෙම ක්‍රියාදාමයන්ට 'සහය' දෙන්නට යි. මෙමගින් විවිධාකාරයේ 'වාසි' ඔවුනට සැලසුණා.

මොවුන් හට ගොදුරු වූ පළමුවැන්නා වූයේ මාකස් ග්‍රැබ්ස් නම් දා හත් හැවිරිදි ජර්මානු සිසුවෙකුයි. 1979 වසරේ අගෝස්තු මස 5 වනදා, මහාමාර්ගයක් අසල ගමනක් යාම සඳහා රැඳී සිටිය දී අතුරුදන් වූ ඔහුගේ නිරුවත් මළසිරුර ඉන් කිහිප දිනකට පසු මලිබු හි පතලක තිබී හමුවනවා. ඔහුගේ ගෙල වටා නයිලෝන් රැහැනක් තිබූ අතර, 80 වතාවකට වඩා පිහියෙන් ඇණ තිබුණා.

එම වසරේම අගෝස්තු මස 27 වන දා ඩොනල්ඩ් හේඩන් ගේ, විකෘති කොට තිබූ නිරුවත් දේහය කුණු බක්කියක තිබී හමුවෙනවා. 15 හැවිරිදි ඔහු හොලිවුඩ්හි පදිංචිකරුවෙකු වුණා. ඔහුගේ ගෙල කිහිප විටක් තියුණු ආයුධයකින් කපා තිබූ අතර, ලිංගික අඩන්තේට්ටම් සිදුකොට, අවසානයේ ගෙල සිරකර ඝාතනය කර තිබුණා. සැප්තැම්බර් මස 9 වන දා අතුරුදන් වූ ඩේවිඩ් මුරිලෝ හටත් අත්ව තිබුණේ එම ඉරණමම යි.

උක්ත ඝාතන සිදුවී ගත වූ මාස කිහිපයක කාලය තුළ දී තවත් තරුණ මළසිරුරු කිහිපයක්ම කැලිෆෝනියාවෙන් හමුවුණා. මින් කිහිපයක්ම වසර 15ට අඩු කුඩා දරුවන්ගේ වූ අතර, ඉන් සමහරක ගෙල සිර කොට තිබුණේ යකඩයක් තබා තද කිරීමෙනුයි. එම යකඩයේ දවටන ලද, ඒ ඒ තරුණයින්ගේ කමිසවලින් මන්දක් සාදා, යකඩය ආධාරයෙන් ඇඹරීමෙන් ගෙල සිරකොට තිබුණා. පොලිසියට බොනින් පිළිබඳව සැක සිතෙන්නට වූයේ මේ ක්‍රමය නිසා යි. මීට පෙර 1975 වසරේදී මැක්විකර් දුන් සාක්ෂ්‍යයේදීත්, ඔහු මේ ආකාරයේ ක්‍රියාවක් කිරීමට තැත් කිරීම පිළිබඳව සඳහන්ව තිබීම ඊට හේතු වුණා. ඔවුන්ගේ සැකය නිවැරදි බැව් තහවුරු වූයේ බොනොන්ගේ අත් උදව් කරුවෙක් වන විලියම් පග් පොලිසිය විසින් අල්ලා ගැනීමත් සමගයි. ඔහු, තමන් සම්මාදම් වුණු ඝාතන සියල්ලම වැමෑරූ අතර, පොලිසිය බොනින් අල්ලා ගැනීම සඳහා දැල එලන්නට පටන්ගත්තා.

හසුවීම හා අවසානය

බොනින් නඩු විභාගය අතරතුර- PA Photos

1980 වසරේ ජුනි 11 වන දා විලියම් බොනින් සිය රථයේ නැගී, නවාතැනින් පිටත් වූයේ තවත් ගොදුරක් ඩැහැගැනීමේ අටියෙනුයි. කෙසේ නමුත් ඒ වන විටත් පොලිසිය ඔහු පසුපස බැව් ඔහු දැන සිටියේ නැහැ. මහමඟ, යම් වාහනයක් බලාපොරොත්තුවෙන් සිටි 15 හැවිරිදි දරුවෙකු අසලට කිට්ටු වන ඔහු එම දරුවා සිය රථයට නංවාගන්නවා. අනතුරුව මඳ දුරක් ගමන් කොට එක් වරම වන ලැහැබකට වාහනය හරවන ඔහු එහිදී එම දරුවාට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කරනවා. මේ අවස්ථාවේ ඔහු ගැන සෝදිසියෙන් සිටි පොලිසිය එහි කඩාවදින අතර, ඔහු අතටම අල්ලගන්නවා. මේ වන විටත් එම රථය තුල නයිලෝන් රැහැනක් හා පිහි කිහිපයක් තිබුණා.

1981 වසරේ නොවැම්බර් මස 4 වන දා අධිකරණයෙන් ඔහුට මරණ දඬුවම නියම වෙනවා. කෙසේ නමුත් මෙය ක්‍රියාත්මක කිරීම විවිධ හේතු නිසා කල් යනවා. අවසායේ 1996 වසරේ පෙබරවාරි මස 23 වන දා එය ක්‍රියාත්මක කෙරෙන්නේ විෂ සහිත එන්නතක් ශරීරගත කිරීම මඟිනුයි. මෙය මේ ආකාරයෙන් කැලිෆෝනියාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක කළ ප්‍රථම වතාව වෙනවා. කෙසේ නමුත් මරණයට පෙර අවසන් දින කිහිපය බොනින් ඉතා 'හොඳින්' ගත කළ බැව් කියැවෙනවා. ඔහු සිය අවසන් භෝජනයත් ඉතා ඉහළින් ඉල්ලා තිබුණා.

බොනින්ගේ සහචරයන් සිව්දෙනාටත් සිර දඬුවම් නියම උණා. ඉන් වර්නන් බට්ස් සිර මැදිරිය තුළ එල්ලී සියදිවි හානි කරගත් අතර, මයිලි රැඳිවියෙකුගේ ප්‍රහාරයක් නිසා ඝාතනය වුණා. ජේම්ස් මුන්රෝ වසර 15කට සිරගත කෙරුණු අතර, රජයේ සාක්ෂ්‍යකරුවෙකු වීම නිසා විලියම් පග්ට හිමිවූයේ වසර 6ක සිරදඬුවමක් පමණ යි.

විස්තර අන්තර්ජාලයෙන් එකතු කර ගන්න ලදී

❤️❤️❤️❤️❤️❤️❤️❤️දිලා
විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) - Your Choice Way

විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) - Your Choice Way

විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) - Your Choice Way

විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) විලියම් බොනින් (මගමරුවා 😖) (William Bonin) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 16, 2021 Rating: 5

0 comments:

Post a Comment