ලංකා රක්ෂක දෙවියන්ගේ හාස්කම්

බුදුපිළිම ගැන අපේ රටේ විශාල ලෙස කතාබහට ලක්වූ කාලයක් තිබිණි. ඒ සුනාමියේ අතිදැවැන්ත රළගෙඩි වේගයෙන් රට තුළට කඩාවැදුණ සමයේදීය. ගොඩනැගිලි, නිවාස, පාලම්, බස්රථ, දුම්රිය ඇතුළු වෙරළට සමීප සකල සේසතම දහස් ගණන් ජනයා සමග මහ මුහුදට බිලිවෙද්දී බුදුපිළිම පමණක් කිසිදු විනාශයකින් තොරව නිරුපද්‍රිතව ඉතිරිවීමේ විස්මය ජනතා සිත්සතන්වලට තදින් කාවැදී කතාබහට ලක්විය. එවැනි බුදුපිළිම බොහොමයක් තනා තිබුණේ කොන්ක්‍රීට් වැනි ශක්තිමත් රළු දේවලින් නොව හුනු බදාම වැනි පහසුවෙන් විනාශ විය හැකි දේවලින් වුවත් බිහිසුණු රළ පහර හමුවේ වුවද උපද්‍රවයකට ලක්නොවී පැවතීමේ විස්මය සියලුදෙනාට දෑසින් දැකගත හැකිවිය.විනාශයේ දුක්සුසුම් අතර හිඳ ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් වැඩහිඳිමින් බලා සිටින බුදුරුව මගින් ඒ දිනවල ගෙන ආවේ තරමක හෝ අස්වැසිල්ලකි. 

එපමණක් නොවේ. ගුණහීන තණ්හා ආශාවන්ගෙන් වෙලී ගිය මිනිස් සමාජයට නිහඬ පණිවිඩයකි. ඒ වැදගත් පණිවිඩය කුමක්ද? මිනිස් දිවිය ඉතාම කෙටිය. දිවිය පුරා තණ්හාවෙන්, ආශාවෙන්, ලෝභයෙන් රැස්කරගත් ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන, රන්රිදී මුතුමැණික්, තනතුරු නම්බුනාම, අඹුදරුවන් මෙන්ම තම ජීවිතයද මොහොතකින් විනාශවීමේ අනිත්‍ය දහම මැනවින් දැකගන්නට සැලැස්විය.තමන්ට කියා ඉතිරි වන්නේ තමන් කළ හොඳ නරක පමණි. දිවිය පුරා පිනට දහමට මුල් තැන දෙන ලෙස පිළිම වහන්සේලා ජන සමාජයට නිහඬව වැඩහිඳ කියා පෑවේය. ඒ දිනවල ජනතාව ඒ පිළිමයන්ට කෙළවරක් නැතිව වැඳුම් පිදුම් කළ බවද දැකගත හැකිවිය.

දැන් යළිත් බුදු පිළිම ගැන රටේ කතාබහ ඇතිවී තිබේ. ඒ හිතාමතාම කිසියම් සංවිධානාත්මක පිරිසක් බුදුපිළිම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමෙනි. ඉතාම දුෂ්ට නින්දා සහගත අරමුණකින් අන්‍යාගමික අන්තවාදී පිරිසක් එය සිදුකර ඇති බවත් ඉදිරියේදීද එවන් දේ සිදුවිය හැකි බවත් දැන් හෙළිවී තිබේ. අන්‍යාගමිකයන් නොදැන සිටියත්, ඔවුන් විශ්වාස නොකළත් බුදුපිළිම විනාශ කිරීම, බෞද්ධ සිද්ධස්ථාන වැනසීම වනාහි මෙලොවදීම විපාක දෙන්නාවූ සුවිසල් පාපකර්මයකි. ඇෆ්ගනිස්ථාන්හි බාමියන් හී ඉපැරණි අතිදැවැන්ත සෙල්මුවා බුදුපිළිම (මුළු ලොවම එපා යැයි කියද්දී) මුස්ලිම් ත්‍රස්තයන් විසින් පුපුරුවා බිම හෙළීමේ මහා අපරාධයේ විපාක වැඩිදවසක් යන්නට මත්තෙන් ලැබිණි.ඇමරිකන් ආරක්ෂක මූලස්ථානයට ගුවනින් පහරදීමේ උමතු සැලසුම බින්ලාඩන් කණ්ඩායම ක්‍රියාවට නැගීමත් සමග මුළු ඇෆ්ගනිස්ථානයම විනාශ කරන්නට තරම් ප්‍රහාර මාලාවක් ඇමරිකානුන් ක්‍රියාත්මක කළේ අර ත්‍රස්ත නායකයන්ටද මරු කැඳවමිනි. 

ඒ රට තුළ යුද ගිනිදැල් තවමත් නිවී නැත.විද්‍යාත්මක මානයන්ගෙන් ඔප්පු කිරීමට තරම් හේතුසාධක නැතත් මුළුමහත් බෞද්ධ ලෝකයම නරක දෙයකට නරක ප්‍රතිවිපාක මෙලොවදීම ලැබෙන බව තරයේ විශ්වාස කරන්නේ බුදු වදන්ද පෙරටු කරගෙනය.සැබවින්ම බුදු පිළිමයක් යනු කුමක්ද? කල්ප ලක්ෂ ගණන් බුදුබව පතාගෙන සාමාන්‍ය පුද්ගලයකුට හිතාගැනීමටවත් බැරි අන්දමේ මහා පුණ්‍යස්කන්ධයක් රැස්කරමින් පාරමී පුරමින් පැමිණ සකල සත්වයා සසර කතරින් එගොඩ කරවීමේ මහා කරුණාවෙන් දුෂ්කර ක්‍රියාකොට මරසෙන් පරදා සම්බුද්ධත්වයට පත් උතුමකු නිරූපනය කරන්නට මිනිස් අතින් හැඩගැන්වූ නිර්මාණයකි. එය දකින්නන්ට ජීවමාන බුදුන් සිහිවේ. සිත පැහැදේ. සැදැහැවත් බව වැඩේ. පින් සිතිවිලි පහළ වේ. මොහොතකට හෝ සිත නිවී යයි.එපමණක්ද? නැත. තථාගත සම්මා සම්බුදු කෙනෙකු ලොව අග්‍රතම උතුමා බව අග්ගප්පසාද සූත්‍රයේ බුදුරදුන් පෙන්වාදී ඇත. ලොව සියලු රත්නයන්ට වඩා බුද්ධ රත්නය උතුම් යැයි දක්වා ඇත. ඒ අග්‍රවූ උතුමන් කෙරෙහි බුදුපිළිමයක් දෙස බලාහිඳිමින් හෝ සිත පහදවා ගැනීම ඒ ගුණ සිහිකිරීම මහත් ඵල ආනිශංස ගෙන දෙන්නේමය.

බුදු පිළිමයක් නිකම්ම හැඩගැන්වූ මැටි ගොඩක්ද? සිමෙන්ති ගොඩක්ද? නැත. පිළිමය අබියස ජනිත වන යහපත් සිතුවිලි තරංග ඒ ආශ්‍රිතව වේ. එයට වැඳුම් පිදුම් කරන විට එය තවත් වැඩිවේ. නිතර වැඳුම් පිදුම් කරන බුදුපිළිම අබියස බුදුමැදුරුවල සිතට ගතට දැනෙන්නේ අපූරු සහනදායී සුවයකි.

එවැනි තැන්වලදී කරන යහපත් පැතුම් සපලවන බවද එහි යන එන බැතිමත්හු දනිති. පන්සල්වල පිළිම නිමවන්නේ එයට අදාළ සිරිත්, සම්ප්‍රදාය වත්පිළිවෙත් ආදිය ඉටු කරමිනි. නොපෙනෙන විශ්ව බලවේගයන් මෙවන් පිළිමයන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව මෙයින් පෙනේ. ලොව තුළ අපට පෙනෙන දැනෙන දෙයට වඩා නොපෙනෙන දේ පවතී.දෙවියන් බ්‍රහ්මයන් මෙන්ම වෙනත් අමනුෂ්‍යයන්ද පින්පවු අනුව ඔවුනට නිසිතැන් ආශ්‍රිතව වෙසෙති. සම්‍යක් දෘෂ්ඨික දෙවියෝ කරුණාවට මෛත්‍රියට පිනට දහමට කැමතිය. නිතර දහමෙහි හැසිරෙන මනුෂ්‍යයන්ටද නිතර බොදු පිළිවෙත් සිදුකෙරෙන වෙහෙර විහාර වලටද කැමැත්තෝය. ඒ නිසා එවැනි ඇත්තන්ද එවැනි තැන්ද රකිති. සිදුහත් උපත, ගිහිගෙය හැර ගොස් තවුස් වෙස් ගැනීම, බුද්ධත්වයට පත්වීම සහ බුදුසිරිතේ විවිධ අවස්ථාද දෙවියන් බ්‍රහ්මයන් සම්බන්ධ කතා පුවත්වලින් යුක්ත බව ප්‍රකටය.

පිරිනිවන් මංචකයේ වැඩසිටි බුදුරදුන් තම සසුන අනාගතයේ සිරිලක මැනවින් ස්ථාපනය වීමට හේතු කාරණා යෙදෙන බව දැක ලක් බුදුසසුන රකින්නට සක්දෙවි රජහට පැවරීය. සක්දෙවි මහා බලසම්පන්න උත්පලවර්ණ (උපුල්වන්) දෙවිහට ඒකාර්ය නියමය පවරන ලදී. විජය කුමරු සත්සියයක් පිරිවර සමග ලක්දිව ගොඩබට දිනයද බුදුන් පිරිනිවි දිනමය. උත්පලවර්ණ දෙවියන් තවුස් වෙසින් පැමිණ විජය ඇතුළු පිරිසට ආශිර්වාද ලබාදුනි. මේ මහා වංශයේ එන පුවතයි. උපුල්වන් ගැන දීපවංශයේද සඳහන්ය.මේ දෙවියන් නිල්පැහැයෙන් යුක්ත බවට පිළිගැනේ. නිලුපුල් නම් ව්‍යවහාරයක්ද වේ. විෂ්ණු දෙවියනට අයත් පැහැයද නිල් පැහැයයි. ඇතමෙක් මේ දෙදෙනා එකම දෙවි කෙනෙක් යැයි කියන අතර තවත් අය දෙදෙනෙක් යයි කියති. කෙසේ වුවත් ඒ දෙවියන් වෙනුවෙන් ගොඩනැගුණ පැරණි දේව මන්දිරය දකුණේ දෙවිනුවර මහ දෙවොලයි. ලංකා රක්ෂක දිව්‍යරාජයා නම් මෙතුමන් බව විශ්වාස කෙරේ.

කෝට්ටේ යුගයේ රචිත මයුර, පරෙවි, කෝකිල, තිසර යන සංදේශ කාව්‍ය හතරෙහිම දෙවිනුවර උපුල්වන් දේවාලය පිළිබඳව සඳහන් වේ. හංස සංදේශයේද මේ දෙවියන් ගැන සඳහන් වේ. උපුල්වන් දෙවියන්ගේ දෙවිනුවර ආගමනය සහ සංදේශ කාව්‍ය විස්තර මෙහි සඳහන් නොකෙරේ. කෙසේ වුවත් මේ දෙවියන් ප්‍රාදේශීය දෙවි කෙනෙකු නොව මහදෙවියන් බවට පිළිගැනීමක් පවතී. කතරගම දෙවියන් මුල්වරට ගොඩබසිනු ලැබුවේද දෙවිනුවරටය. දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර සමය මුළුමහත් රුහුණේම ජනයා ශුද්ධ පොහොය හැටියට සලකා පහන් පැල් තනා ගෙවල් දොරවල් පවිත්‍ර කොට තමන්ද ශීලයක පිහිටා පේවීමෙන් කටයුතු කිරීම අතීත යුගයේ පටන් සිරිත බව දෙවිනුවර පරමවිචිත්‍රාරාම රජමහා විහාරාධිපති කල්‍යාණවංශ නිකායේ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද මහනාහිමිපාණෝ (95) වරක් අප සමග පැවසූහ.

ශ්‍රද්ධා භක්තියේ ප්‍රමාණයට හා ශීලවන්තභාවය අනුව මේ දෙවියනගේ පිහිට පිළිසරණ අපමණ බව දෙවිනුවර පුදබිමට යන එන බැතිමත්හු දනිති.අන්තවාදී විනාශකාරී අදහස් දරන ත්‍රස්ත පිරිසක මෙහෙයවීමෙන් බුදුපිළිම විනාශ කරමින් මිනිස් ජීවිත බිලිගනිමින් කළ විපත තරමක් ප්‍රමාදවී හෝ ආරක්ෂක අංශවල මෙහෙයුමට කොටුවිය. විනාශකාරී දුෂ්ට අදහස් දැරූ පිරිසේ නායකයන්ගේ ජීවිත විනාශවූ අතර සෙසු අය අත්අඩංගුවට පත්විය. බුදුනට, දෙවියනට ගරු කරන රටට හිතැති සාමය අගයන ජනයා අද කියන්නේ කුමක්ද? ලංකා රක්ෂක දෙවියන් විසින් මේ සියලු දුෂ්ට අරමුණු රටට හෙළිකොට ඒ පිරිස කොටුකර දුන් බවයි. දෙවැනි වතාවට කරන්නට ගිය විපත ද විශ්මිත ලෙස වැළකී ගියේය.විශේෂයෙන් දකුණේ දෙවිනුවර ප්‍රදේශයේ ජනතාව දෙවියන් අපේ මූණ බැලුවා. 

යන්තමින් රට රැකුණා. බුද්ධ ධර්මයට එරෙහි වන්නන්ට වැඩිකලක් ඉන්න බැහැ ආදී වදන් පවසනු ඉකුත් මාස කිහිපයේ අපට අසන්නට ලැබිණි. දාන මාන සෙත් පිරිත් ශීල සමාදාන වැඩසටහන් අවසානයේ කළගුණ දත් කෘතවේදී ජනතාව ලෝක පාලක, ශාසනාරක්ෂක පින් කැමති දෙවියනට ඒ පින අනුමෝදන් කරති. සසුන රැකෙන්නේද දේවාශිර්වාද ලැබෙන්නේද ශීලවන්ත ගුණවන්ත ගිහි පැවිදි දෙපිරිසේ යහපත් ක්‍රියාකාරකම් මතය.ත්‍යාගශීලීත්වයෙන්ද අනුනට නොයෙක් අයුරින් සෙත සැලසීමෙන්ද ශීලයක් ආරක්ෂා කිරීමෙන්ද විශේෂයෙන් තෙරුවන් කෙරෙහි මහත්වූ ප්‍රසාදයෙන්ද දිරිගෙවූ මනුෂ්‍යයන් මරණින් මතු දේවාත්මලාභීහු බවට පත්වෙති. ඔවුහු යහපත් ජීවිත ගතකරන මනුෂ්‍යයන්ට සෙත සලසති. සසුන රකිති.රටට සෙත වැඩ සිදුවන්නේ උතුම් ගුණ ඇති මිනිසුන් වැඩිවූ තරමටය. ආරක්ෂක අංශවලටත් දෙවියන්ටත් ජනතාව පින් දෙති.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකා රක්ෂක දෙවියන්ගේ හාස්කම් ලංකා රක්ෂක දෙවියන්ගේ හාස්කම් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 12, 2020 Rating: 5

0 comments:

Post a Comment