වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමාගේ කතාව (The Story Of Nagaraj Yogi, 1796 Years Old) - Your Choice Way

ඍෂිකේශියේ සිටි කාලවල විශේෂ යෝගියෙකු පිළිබඳ වරින් වර අසන්නට ලැබිණි. මුලදී මගේ අවධානය එතරම් දුරකට ඒ වෙත යොමු නොවුණි. එහෙත් ඒ යෝගියා පොදුවේ සියලූ ආචාර්යවරුන්ගේ ගෞරවයට පාත‍්‍ර වූ යෝගියෙකු ලෙස වැටහුණ නිසාත්, මට අසන්නට ලැබුණ වෙනත් කථාවනුත් නිසාවෙන් මේ යෝගියා පිළිබඳ මගේ කුතුහලය වැඩිවිය. මේ අතර සිදුවූ එක් සිදුවීමක් නිසාවෙන් මේ යෝගියා පිළිබඳව අවබෝධයක් ලබාගන්නට හැකි වූ අතර ගැටලූ කීපයකට මුහුණ දෙන්නට ද ඍෂිකේශියෙන් ඉක්මනින් පිටව යන්නට සිදුවිය.

මේ විශේෂ යෝගියා ”නාගරාජ් බාබාජී” ය. මෙහිදී මා දැන හඳුනාගත් යෝගීන්ගෙන් එතුමා පිළිබඳ තොරතුරු විමසමින් සිටියෙමි. ඍෂිකේශිය වැනි තැන්වල තිබෙන ලොකුම ගැටලූව කිසියම් තොරතුරක් පැහැදිලිව ලබාගැනීමට තිබෙන අපහසුවයි. විටක එකම කාරණය පිළිබඳව විවිධාකාර තොරතුරු තිබේ. විවිධාකාර දේ පිළිබඳව එකම අදහස් ප‍්‍රකාශ වේ. එමෙන්ම උත්තර නොදීම, පැහැදිලි කරන්නට අකමැති වීම, වැනි දෑද ගැටලූය. ධර්මශාලාවේ හා වෙනත් හිමාලීය පන්සල්වලද ඒ ලක්‍ෂණය තිබිණි. වරෙක නාගරාජ්තුමන් අතීතයේ සිටි කෙනෙකු ලෙස කථාකරන අතර තවත් පිරිසක් එතුමන් ගැන කථාකරන්නේ තවම ජීවත්ව සිටින කෙනෙකු ලෙසයි. මෙයද මට හරි හැටි පැහැදිලි නොවූවකි.

මා නාගරාජ්තුමන් පිළිබඳ තොරතුරු සාකච්ඡුා කරමින් සිටි අවස්ථාවක මා මිත‍්‍ර යෝගීතුමන් මට චිත‍්‍රයක් පෙන්වන ලදී. එය තරුණ පෙනුමක් ඇති යෝගියකුගේ ජීවමාන රූපකාය දක්වන චිත‍්‍රයකි. ඔහු එය නාගරාජ්තුමන් ලෙස හැඳින්විය. එම රූපය දෙස බලාසිටිද්දී මගේ සිහියට ආවේ උදේ ගංගා ඉවුරේදී මේ යෝගියා මා දුටුවා නේද යන්නයි. මෙහි බැ?රුම්කම් හා වට පිටාව පිළිබඳ අවබෝධයක් නොතිබූ මම උදෑසන ගංඉවුරේදී මෙතුමන් දුටු බව පැවැසීමි. එකල්හි මගේ මිත‍්‍රයා පුදුමයෙන් මා දෙස බලා ඇත්තටම ඔබ එතුමා දුටුවාදැයි ඇසීය.

ඔව් මේ වගේ කෙනෙක් දුටුවා යයි පැවසීමි. එතුමා මොනවා කරනවා ද දුටුවේ යයි යළි ඔහු විමසීය. ස්නානය කර දියෙන් ගොඩ එනු මම දුටිමි යි පැවසීමි. ඔහු තව තවත් කරුණු හාරා අවුස්සන්නට විය. ඔහුගේ කුතුහලය දැඩිය. මම එය වැදගත් කොට නොසැලකීමි. එහෙත් මේ විශේෂත්වයට හේතුව දැනගැනීමේ උවමනාව මා වෙත විය. ඒ නිසාම මම ඔහුගෙන් ඇයි මෙතරම් විශේෂයක් යයි විමසීමි. එවිට ඔහු ”ඇයි? විශේෂයක් නැත්තේයි විමසීමි. එතුමන් ලේසියෙන් කෙනෙකුට දර්ශනය වෙන්නේ නෑ. ඒක දුර්ලභ කාරණයක්.” මම නැවතත් විමසීමි ”ඔබ කිව්වා මේ ඔබේ ගුරුවරයා කියලා. එතුමන් ජීවත්වන බවත් කිව්වා. ඒ මේ ප‍්‍රදේශයේ බවත් කිව්වා. ඉතිං හදිස්සියේ ගංඉවුරේදී එතුමන් දකින්නට ලැබීමේ තිබෙන විශේෂ කුමක්ද?”

එහෙත් ඔහු සිටියේ අනවශ්‍ය තරම් කලබලයෙකිනි. ඔහු මදක් දුරින් සිටිකෙනකුට ද අඩගැසීය. ඔහුද ද විශ්මය දනවමින් කථා කළේය. ඒ අනුව මෙය ලේසි කාරණයක් නොවන බව මට පැහැදිලි වන්නට විය. මා ඉදිරියේ ඉතිරි වූයේ ප‍්‍රශ්න වැලකි. ඒ චිත‍්‍රයේ දැක්වෙන ආකාරයේ කෙනෙකු මා දුටු බව පැහැදිලිය. ඒ ඇස් හා මුහුණ මට හොඳාකාරවම මතකය. මට එය තවමත් පැහැදිලිය. ඒත් මා දුටුවේ ඔවුන් අදහස් කරන කෙනාද, නගරයේ තරුණ තරුණියන් ජනප‍්‍රිය පුද්ගලයන් අනුකරණය කිරීම විලාසිතාවක් වනවා සේම ආධ්‍යාත්මික ක්‍ෂේත‍්‍රයේද ජනප‍්‍රිය පුද්ගලයින්, ගුරුවරුන් අනුකරණය කිරීම විලාසිතාවකි. ජේසුස් වහන්සේ මෙන් කොණ්ඩය සහ රැුවුල වවාගෙන ඇඳුම් ඇඳගත් කී දෙනෙක් මට ම මුණගැසී ඇත. අරියධම්ම හාමුදුරුවෝ අනුකරණය කරන තරුණ භික්‍ෂූන් කී දෙනෙක් ලංකාවේ සමාජයේ ඉන්නවාද? ඉදින් ජනප‍්‍රිය සහ පූජනීය යෝගිවරයෙකුගේ ස්වරූපයට වෙස් ගත් නවක යෝගියෙකු සිටිය නොහැකිද? මා උදේ දුටුවේ එවැන්නෙකු නොවිය හැකිද?

මගේ විග‍්‍රහයට ඔවුන් එකඟ නැත. ඔවුන් තරයේ කියා සිටියේ මෙවැනි ස්වරූපයේ වෙනත් කිසිවෙකු ඍෂිකේශියේ නොමැති බවයි. එසේ සිටී නම් ඔහු ඔවුනටද මුණගැසිය යුතුය. (එය ද සත්‍යයකි) එපමණක් නොව ඔවුන් දැන සිටිය යුතුය. මා උදේ මෙවන් කෙනෙකු දුටුවේ නම් ඒ වෙන කිසිවෙකු නොව ඒ නාගරාජ් තුමාම බව ඔවුන්ගේ අදහස විය. පැය කීපයක් ඇතුළත මෙය තුඩින් තුඩ පැතිර යන කථාවක් බවට පත්විය.

බොහෝ දෙනා මේ සිද්ධිය මගෙන් විමසන්නට විය. මා ලංකාවේ බෞද්ධ භික්‍ෂුවක බව දැනගත් විට ඔවුන්ගේ උනන්දුව තවත් වැඩිවිය. මෙහිදී එක හොඳක් සිදුවිය. ඒ නාගරාජ්තුමන් පිළිබඳව වැඩි වැඩියෙන් තොරතුරු දැනගත හැකි වීමයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස නාගරාජ්තුමා හා ලංකාව අතර සබඳියාව ද මට දැනගත හැකිවිය. ඒ අනුව ඍෂිකේශියේ චින්තනයට ලංකාව දායක වූ ආකාරය ද පැහැදිලි විය. ඒ ලාංකික දායකත්වය තේරුම් ගැනීමටත් ආධ්‍යාත්මික චින්තනයක ඉතිහාසය තේරුම් ගැනීමටත් ඒ වෘත්තාන්තය මෙහි සටහන් කළ යුතුවේ.

උත්තර භාරතීය සංස්කෘතිය ගංගා නදී දෑලවරේ ගොඩනැගුනා සේම දක්‍ෂිණ භාරතීය සංස්කෘතිය ගොඩනැගුණේ කාවේරි නදී දෑලවරේය. වර්තමානයේ ”පරංගිපෙට්ටි” නමින් හැඳින්වෙන ජනපදය අතීතයේ සිටම කාවේරි ඉවුරේ වූ ප‍්‍රකට වාණිජ නගරයක් විය. එහි ප‍්‍රධාන කෝවිලේ පුජකතුමන්ගේ පුතණුවන් ලෙස ක‍්‍රි.ව. 203 නොවැම්බර් 30 වන දින උපත ලද කුමරුවා දෙමාපියන් විසින් ”නාගරාජ්” යන නාමයෙන් හඳුන්වන ලද්දේය. මේ දරුවා වයස අවුරුදු පහේදී කෝවිල් දොරටුව අභියස දී පර්සියන් ජාතිකයකු විසින් පැහැරගන්නාලදුව වහලකු ලෙස කල්කටාවේදී විකුණන ලදී.

ළදරුවා මිලදී ගන්නා ලද්දේ බ‍්‍රාහ්මණයකු විසිනි. ඔහු නාගරාජ් වහලකු ලෙස නොසැලකු අතර සිය දරුවකු ලෙස හදාගන්නා ලද්දේය. ඔහුට නිදහසේ හැසිරීමට ද ඉඩකඩ ලැබිණි. කාලයකට පසු ඔහු සන්‍යාසි කණ්ඩායමක් සමඟ එකතුවිය. පැරණි භාරතයේ සන්‍යාසීන් ලෙස හැඳින්වූයේ පූර්ණකාලීන පැවිද්දන්ටය. වෛදික, ජෛන, සේම බෞද්ධ පැවිද්දන් ද සන්‍යාසීන් ලෙස හැඳින්විය. ඔවුහු සංචාරක ජීවිතයක් ගත කළ පිරිසක්ය. ඒ නිසාවෙන් නාගරාජ්ට තැනින් තැන සංචාරය කරන්නටද ආගම දහම ඉගෙනීමටද අවස්ථාව සැලසිණි. එහෙත් ඔහු කුමන සම්ප‍්‍රදායකට අයත් ආගම දහසක් උගත්තේද යන්න පැහැදිලි නැත. වර්තමානයේ සාමාන්‍ය පිළීගැනීම වේදය ආශ්‍රීත දහමක් උගත් බවයි. මේ සංචාරක ජීවිතයේ ඵලයක් ලෙස ඔහු බරණැසට පැමිණියේය.

එහිදී මුණගැසුන තවත් සංචාරක කණ්ඩායමක් සමඟ පසුකලෙක ලංකාවේ උතුරු වෙරළට පැමිණීයේය. දීර්ඝවූ සංචාරකයින් පසුව ඔහු ”කතරගම” වෙත ගියේය. එහිදී ඔහු බෝගර්නාථ නැමති යෝගියෙකු ඇසුරේ භාවනා පුහුණුව ලබා තිබේ. ”නාගරාජ්” භාරතයේදී ඇසුරු කළ සන්‍යාසීන් කව්ද සහ ලංකාවේ සිටි ”බෝගර්නාථ” යනු කවුරුන්ද යන්න විමසිය යුතුව තිබේ. නාගරාජ්තුමාට කර්තෘත්වය පැවරෙන ”බෝගර් යෝග” නම් කෘතියේ තොරතුරු අනුව බෝගර්නාථතුමා ”චීන” ජාතිකයෙකි.

මෙම නමේ අරුත අනුව ”නාග” හෝ ”මකර” යන අදහස එයයි. මේ තොරතුරු අනුව ඉතාම වැදගත් කාරණයක් පැහැදිලිවෙයි. මේ වන විට, එනම් ක‍්‍රි.ව. තෙවන සියවස වනවිට චීන ජාතික භාවනානුයෝගීයකු ලංකාවේ විසූ බවයි. ඔහු ආචාර්ය වරයෙක්ද වීය. එය විය නොහැක්කක් හෝ පුදුමයට කරුණක් නොවේ. මෙම යුගයේ චීන ලංකා සබැඳියාවන් ඓතිහාසිකව ද පුරාවිද්‍යාත්මකව ද තහවුරුව තිබේ. මෙය ලාංකීය භික්‍ෂූන් පමණක් නොව භික්‍ෂුණීන්ද චීනයේ බුදුදහම උගන්වමින් සිටි යුගයයි. බෝගර්නාථතුමාගෙන් නාගරාජ්තුමා ඉගෙනගත් භාවනා ක‍්‍රම ලෙස සඳහන් වන්නේ සාධනා, ධ්‍යාන කිරිය හා තපසයි.

”සධානා” යන්න ”සත්” යන්න මුල්කරගෙන බිහිවූ ශබ්දයක් නිසා එය ”සති” යන්නට සමීප කමක් දක්වයි. නාගරාජ් පරපුරේ වර්තමානිකයින් සාධනා යන්න විස්තර කරන ආකාරය තුළද සතිපට්ඨාන සම්ප‍්‍රදායේ ලක්‍ෂණ දැකිය හැකිය. ”ධ්‍යාන කිරිය” යන්න ”කර්මස්ථාන” යන්නට සමාන වුවකි. එමෙන්ම සතර ඉරියාපථ පිළිබඳව කියවෙන ”කිරිය යෝග” නැතිනම් ”කර්ම යෝග” ද ඔවුන් අතර දකින්නට ලැබේ. ”තපස” පිළිබඳ කරන විග‍්‍රහය තුළ දකින්නට ලැබෙන්නේ පැවිදි ජීවිතයේ ලක්‍ෂණයයි. මේ හැම තැනකම දක්නට ලැබෙන්නේ බෞද්ධ ලක්‍ෂණයි. මෙහිදී සලකා බැලිය යුතු තවත් කාරණයක් වන්නේ ක‍්‍රි.ව. දෙවන සියවස වනවිට වෛදික චින්තනය තුළ භාවනාව එතරම් දුරට වර්ධනයවී නොතිබීම පිළිබඳ කාරණයයි. ඒ අනුව පැහැදිලි වන්නේ නාගරාජ්තුමා ලංකාවේදී බෞද්ධ භාවනා සම්ප‍්‍රදායයන් පුහුණුවූ බවයි.

නාගරාජ්තුමා කතරගමදී බෝගර්නාථතුමා සමග නුගසෙවණක වාසය කරමින් නොකඩවා භාවනා පුහුණුව ලැබුවේය. ඉන් අනතුරුව නැවත දක්‍ෂිණ භාරතයට ගොස් තිබේ. එහිදී ”අගස්ති ඍෂිවෙතින්” ප‍්‍රාණයාම හා කුණ්ඩලිනි යෝග උගත් බව සඳහන් වේ. ඉන් අනතුරුව එතුමන් නැවතත් බරණැස වෙත ගමන් කොට තිබේ. පසු කලෙක එතුමා ගංගා නදිය දිග ඉහළට ගමන් කළේය. එහි උපරීමයට ගමන් කළ එතුමා බදිරනාන්හි නතර විය. ඒ වන විට එය බෞද්ධ විහාරයකි.
නාගරාජ්තුමන් පිළිබඳ බෞද්ධ පොතපතක කිසිවක් සොයාගත නොහැක. එයට ප‍්‍රධාන හේතුව වන්නට ඇත්තේ බෞද්ධ සම්ප‍්‍රදාය තුළ කිසියම් නිස්චිත නිකායකට අයත් නොවූ පැවිද්දෙක් වූ නිසා ද විය හැකිය. භාෂාවකින් භාෂාවකට නම්ගම් පරිවර්තනය වෙද්දී මුල් ස්වරූපය හඳුනාගත නොහැකි ආකාරයෙන් විකෘති වේ. මෙතුමා පිළිබඳව තොරතුරු සඳහන් ග‍්‍රන්ථ තිබෙන්නේ පැරණි ද්‍රවිඩ බසිනි. එය ද මෙතුමා නිවැරදිව තේරුම් ගැනීමට බාධාවකි.

එය කෙසේ වුවද එතුමා ගංගෝත්තරියට හා බදිරනාථයට පැමිණියේ එහි බෞද්ධ වටපිටාවක් පැවති යුගයේය. එය වෛදිකයින් අතට පත්වූයේ එයිනුත් වසර හයසීයකට පමණ පසුවය. නාගරාජ්තුමන් ලැබූ බෞද්ධ ආභාසය හා එතුමන් ප‍්‍රදේශයට ඇතිකළ බලපෑම මත ඍෂිකේශියේ චින්තනය වැඩෙන්නට ඇත. එසේ වුවද මෙතුමා බෞද්ධයෙකු හෝ භික්‍ෂුවක ලෙස හඳුන්වාදීම නොකළයුතු යැයි හැෙඟ්. නාගරාජ්තුමා භාරතයේ සියලූ ආධ්‍යාත්මික විද්‍යාවන් හා භාවනා සම්ප‍්‍රදායයන් උගත් සහ පුහුණු වූ කෙනෙකු ලෙස හැඳින්වීම උචිතය.

හින්දු සාහිත්‍ය තුළ එතුමන් පිළිබඳව විස්තර ඇතුළත්ව තිබේ. එහෙත් මේ චරිතය සුවිශේෂී චරිතයක් ලෙස මතුව ආවේ ගෙවුන සියවසේදීය. එයට බලපෑ ප‍්‍රධාන හේතුව ස්වාමි පරමහංස යෝගානන්දතුමන්ගේ මූලිකත්වයෙන් බිහිවූ ආධ්‍යාත්මික ව්‍යාපාරය තුළ නාගරාජ් බාබා ජී ආචාර්යවරයෙකු ලෙස සැලකීමත් නිසාය. මේ අතරම කිරිය යෝග හා සාදනා භාවනා සම්ප‍්‍රදාය නැවත මතුව භාරතය පුරා භාවනාව පිළිබඳව ප‍්‍රබෝධයක් ඇතිවීම ද මෙයට හේතු විය.

මේ සියල්ලටම වඩා වැදගත් කාරණයක් තිබේ.

සාහිත්‍යාගත තොරතුරු අනුව බාබා ජී තුමා ඉපදුණේ ක‍්‍රි.ව. 203 දීය. ඒ මීට වසර 1796 කට පෙරය. එය එසේ වෙද්දී භාරතීය යෝගීන් පිළිගන්නා ආකාරයට නාගරාජ් තුමා තවමත් ජීවත් වෙති. ඒ අනුව වසර 1796 ක් වයසැති මිනිසෙක්? මෙය ඔවුහු තරයේ විශ්වාස කරන දෙයකි. ඔවුන්ගෙන් සමහරක් ප‍්‍රකාශකරන පරිදි ඊටත් වැඩිය වයස්ගත අයද ජීවත් වෙති. ඒ අතර නාගරාජ් බාබා ජී තුමන් විශේෂ අවධානයකට ලක් වූ කෙනෙකු හා ආන්දෝලනයට තුඩුදුන් කෙනෙකු ද වෙයි. ස්වාමි පරමහංස යෝගානන්ද තුමන් පැහැදිලිවම ප‍්‍රකාශ කර සිටින්නේ එතුමන්ට නාගරාජ් තුමන් මුණගැසුන බවයි. දිල්ලි නුවර පිහිටි යෝගානන්ද මධ්‍යස්ථානයෙන් මා දැනගත් පරිදි ඉහත ද සඳහන් යෝගියෙකු විසින් මට පෙන්වූ චිත‍්‍රයද මේ හමුවේ ප‍්‍රතිඵලයකි. එම සිතුවමේ පිටපතක් මට ලබාදුන්න ද පසු කලෙක එය මට අහිමිවිය.

වසර දෙදහසකට ආසන්න කාලයක් ජීවත් වූ මිනිසකු පිළිබඳ කථා පසෙක තබා වසර සීයකට ආසන්න කාලයක් ජීවත් වූ මිනිසකු පිළිබඳ ඇසීමද අපේ සමාජයට පුදුමාකාර වූවකි. කායික විද්‍යාව හා රසායන විද්‍යාව දන්නා බැවින් බටහිර වෛද්‍ය ශාස්ත‍්‍රයට මිනිසුන් නොමැරී බේරා ගැනීමට හා ආයුෂ දිගුකර ගැනීමට හැකිය. ඒ ටික කලකට පමණි. නාමරූප ධර්මයන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබෙන කෙනෙකුට ජීවිතය තමන්ගේ අතට ගත හැකිවීම ද පුදුමයට කාරණයක් නොවේ. අනදමෙන් නාහිමියන්ගේ පැවැත්ම තුළ තිබූ අත්දැකීම් ද මෙයට යම් නිදසුනක් ලෙස ගතහැකිය. උන්වහන්සේ ශතවර්ෂාධික කාලයක් ජීවත්වූහ. එයට හේතුවූ කරුණු අතර යෝග භාවනාව ද වැදගත් සාධකයක් බව උන්වහන්සේ නිතර පැවසූහ. උන්වහන්සේද හිමාලයේ ජීවත්වන වසර දෙදහසක් පමණ වන ඒත් තරුණ පෙනුමක් ඇතියෝගියෙකු පිළිබඳ වරින්වර ප‍්‍රකාශ කොට තිබේ.

නාගරාජ් බාබා ජී තුමන් ජීවත්ව සිටීම විවාදාපන්නය. ඒ පිළිබඳව නොයෙකුත් මතවාද තිබිය හැකිය. කිසිවිටක නොවිසඳෙන ගැටලූ ද ඉතිරිවනු ඇත. ඕනෑම කෙනෙකුට හිතට එන සරල විසඳුමක් ද ඇත. ඒ බාබා ජී තුමන් ජීවත්ව සිටි නම් මිනිස් සමාජයට ඇවිත් එළිදරව් වීමයි. (තමන් ජීවත්ව සිටින බව ඔප්පු කිරීමයි) එහෙත් වසර දහසකට වැඩිය ජීවත්වූ යෝගියෙකුගේ අරමුණ හා කාර්ය භාරය එයද. එවැන්නක් කළ යුතුද? යෝගියෙකුගේ ජීවිතය යනු අලෞකික වූ උත්තරීතර දෙයකි. එය ලෞකික වූ වුවමනාවන් ඉටුකරන ජීවිතයක් නොවේ.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමාගේ කතාව (The Story Of Nagaraj Yogi, 1796 Years Old) - Your Choice Way වසර 1796 ක් වයසැති නාගරාජ් යොගීතුමාගේ කතාව (The Story Of Nagaraj Yogi, 1796 Years Old) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 06, 2020 Rating: 5

0 comments:

Post a Comment