දත් බුරුසුව මාරු කළ යුත්තේ ඇයි ? (Why Replace A Toothbrush?)

විදුරුමස් රෝග ඇතුළු වෙනත් බොහෝ මුඛ සෞඛ්‍ය පිළිබඳව ඇතිවන ගැටළු වලට ප්‍රධානම හේතුවක් වන්නේ නියමිත කාලයට දත් බුරුසුව මාරු නොකිරීම බව ඔබ දැන සිටියාද?

කොපමණ කාලයක් එකම දත් බුරුසුව පාවිච්චි කළ යුතුද? පිරිසුදු කිරීම සම්බන්ධව විවිධ නීති තිබෙනවා. උදාහරණයක් ලෙස, නිවසේ දූවිලි ගසා පිරිසිදු කිරීම සතියට දෙවරක් සිදු කළ යුතු අතර සති දෙකකට වරක් ඇඳ රෙදි මාරු කළ යුතු වෙනවා. ඉතින් මේ ආකාරයටම බැලුවොත් දත් බුරුසුව මාරු කිරීම සඳහා ඇති නීතිය කුමක්ද?
ඔබගේ කෙඳි ඈත් වුණු දත් බුරුසුව තවත් ටික කාලයක් භාවිතා කිරීමට සිතනවා නම් එය එතරම් හොඳ දෙයක් නොවේ. පැරණි දත් බුරුසුවක් දිගින් දිගටම භාවිතා කිරීම නිසා දත් දිරායාම සහ විදුරුමස් රෝග ඇති වීමේ අවදානමක් තිබෙනවා.

සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ දත් බුරුසුවක් මාස තුන හතරකට වරක් මාරු කළ යුතු බවයි. ඔබටත් බුරුසුව මාරු කිරීමට සුදුසු කාලය එහි පිටත පෙනුම බැලූ විට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දත් බුරුසුවේ කෙඳි ඈත් වී, නැවී හෝ ගැලවී යාම ආරම්භ වී තිබෙනවා නම් තවත් කාලයක් එය භාවිතා කිරීම සුදුසු නැහැ. මෙය ‘අතින් ක්‍රියා කරවන’ සහ’ විදුලියෙන් ක්‍රියා කරවන’ යන දත් බුරුසු වර්ග දෙක සඳහාම පොදුයි.

ඇතැම් විදුලියෙන් ක්‍රියා කරවන දත් බුරුසු වල සහ සාමාන්‍ය දත් බුරුසු වල බුරුසුවේ කෙඳි අතර නිල් පැහැති කෙඳි තිබෙනවා. කාලයක් ගතවන විට ඒවායේ නිල් පැහැය අතුරුදහන් වෙනවා. ඊට හේතුව වන්නේ ඔබගේ ඛේටයේ ඇති ආම්ලික ගතියයි. ඔබේ දත් බුරුසුවෙත් මේ ආකාරයට නිල් පැහැති කෙඳි වල වර්ණය වියැකී තිබෙනවා නම් ඔබ බුරුසුව මාරු කළ යුතුයි. නමුත් ඔබගේ බුරුසුවේ කෙඳි වල නිල් පැහැය තවමත් එසේම තිබෙනවා නම් එය තවදුරටත් භාවිතා කලාට කමක් නැහැ කියලා නිගමනයකට එළඹීමත් සුදුසු නැහැ.

එයට හේතුව වන්නේ ඔබගේ කෙළ එතරම් ආම්ලික නැත්නම් නියමිත මාස ගණන ගත වූවාට පසුත් කෙඳි වල නිල් පැහැය එසේම රැඳී තිබෙන්නට පුළුවන්. නමුත් එහි කෙඳි නැමි ඇඹරී තිබෙනවා නම් නිල් පැහැය එසේම තිබුනත් ඔබ දත් බුරුසුව මාරු කළ යුතු වෙනවා. ඉලෙක්ට්‍රික් දත් බුරුසුවක් භාවිතා කරන කෙනෙක් නම් සම්පූර්ණ උපාංගයම මාරු කළ යුතු වන්නේ නැහැ. එහි උඩ කොටස පමණක් වරින් වර මාරු කිරීම ප්‍රමාණවත්.

අපි සාමාන්‍යයෙන් මාස තුන හතරකට වරක් දත් බුරුසුව මාරු කළ යුතු බව කියන නීතියෙහි වෙනසක් සිදු වන අවස්ථාවක් තිබෙනවා. ඔබ “ඩෙන්ටල් බ්රේසස්” භාවිතා කරන කෙනෙක් නම් හෝ දත් පුරවා ඇති කෙනෙක් නම් හෝ මේ වන විටත් කිසියම් මුඛ සෞඛ්‍යය පිළිබඳ රෝගයකින් පෙළෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් නිර්දේශිත මාස ගණනටත් පෙර බුරුසුව මාරු කළ යුතු වෙනවා.

කෙඳි නැමුණු ඈත් වුනු දත් බුරුසුවකට ඵලදායී ලෙස ඔබගේ දත් පිරිසිදු කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය 24කට වරක්වත් අප දත් පිරිසිදුකර මැලියම් ඉවත් කළ යුතු වෙනවා. මේ නිසයි දවසට දෙවරක් දත් මැදීම නිර්දේශ කරන්නේ. එවිට පැය 24ක්‌ ඇතුලත දෙවරක්ම දත් මැදෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා අසාධනය වී වීදුරු මස් රෝග හට ගැනීමට පැය 48ක්‌ ප්‍රමාණවත්.

විදුරුමස් රෝග හඳුනාගැනීමේ ලක්ෂණ ලෙස විදුරුමස් රතු වීම, ඉදිමීම හා ලේ ගැලිම දක්නට ලැබෙනවා. මේ රෝග මුල් අවධියේම හඳුනා ගත්තේ නැත්නම් එය දන්ත මූලය, නැත්නම් අස්ථිය තෙක්ම පැතිරී ගොස් ඔබට දත් අහිමි වීම පවා සිදුවෙන්න පුළුවන්. ඒ වගේම මෙම බැක්ටීරියාවන් ඔබගේ රුධිර සංසරණ පද්ධතියට එකතු වූ විට එය සිරුරේ වෙනත් කොටස් වලටත් බලපෑම් ඇති කිරීමට සමත් වෙනවා. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් විදුරුමස් රෝග පසුකාලීනව හදවත් රෝග, ශ්වසන පද්ධතියේ රෝග, රුමැටොයිඩ් ආතරයිටීස් සහ රුධිර සීනි මට්ටම පාලනය කිරීමේ අපහසුතාවය වැනි තත්ව වලටත් බලපෑම් ඇති කළ හැකියි.

දත් දිරා යාම සිදු වන්නේ කෙසේද? බැක්ටීරියා සහ ඉතුරු වූ ආහාර කැබලි එක් වී ඔබගේ දත් වල මැලියම් නම් බැක්ටීරියා අඩංගු ඇලෙනසුලු ජෛව පටලයක් නිර්මාණය කරනවා. ඉන්පසුව එම බැක්ටීරියා ආහාරවල අඩංගු සීනි සහ පිෂ්ඨය මත යැපෙමින් දත් කුහර ඇති කිරීමට සමත් වන අම්ලයන් නිපදවනවා. මේ අම්ල නිසා දත් වල පිටත ආවරණය වන එනමලය විනාශ වී යන අතර ඔබේ දත් අහිමි වීම පවා සිදුවෙන්න පුළුවන්.

දන්තාලේප වල අඩංගු ෆ්ලෝරයිඩ් ජලය සමග එකතු වී, ඔබගේ කේටයේ අඩංගු කැල්සියම් සහ ෆොස්ෆේට් සමග ක්‍රියා කර එනැමලය නැවත ප්‍රතිනිර්මාණය කරනවා. නමුත් මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවිය යුතු එකක්. ඔබ නිතර පිෂ්ඨය සහ සීනි සහිත ආහාර ගන්නවා නම්, “අවම වශයෙන්” පැය 24 කට වරක්වත් දත් නොමදිනවානම් සහ දත් බුරුසුව නියමිත කාලයට මාරු නොකරනවා නම් බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නැවත මතු වෙන්න පුළුවන්.

දත් බුරුසුවක් තෝරා ගැනීම.දත් බුරුසුවක් තෝරා ගැනීමේදී රළු දැඩි කෙඳි තිබෙන බුරුසු වලට වඩා මෘදු කෙඳි සහිත බුරුසුවක් තෝරා ගන්න. දැඩි කෙඳි සහිත බුරුසු වලට අවශ්‍ය ස්ථාන වලදී අවශ්‍ය පරිදි නැමී අහුමුළු පිරිසිදු කිරීමේ හැකියාව අඩුයි. මෘදු කෙඳි සහිත බුරුසුවකට උවමනා පරිදි නම්‍යශීලී ලෙස මුඛයේ සෑම අස්සක් මුල්ලක්ම පිරිසිදු කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම කෙඳි අවම ලෙස ඇති බුරුසුවක් වෙනුවට කෙඳි බොහොමයක් සහිත බුරුසුවක් තෝරා ගන්න.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දත් බුරුසුව මාරු කළ යුත්තේ ඇයි ? (Why Replace A Toothbrush?) දත් බුරුසුව මාරු කළ යුත්තේ ඇයි ? (Why Replace A Toothbrush?) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2020 Rating: 5

0 comments:

Post a Comment