ඇහැලේපොළ නිලමේ හැදූ රන් ඔටුන්න (Gold Crown Made By Ehelepola Nilame)

උඩරට රජවරුන් ලබාදුන් නින්දගම් වර්ග 4ක් ගැන තොරතුරු සඳහන් වේ. ඉන් පළමු අවස්ථාව වෙන්නේ සටනක් දිනූ යුද හමුද‌ා ප්‍රධානීන්ට ලබාදෙන නින්දගම් හෙවත් ගම්වරයයි. සටනින් රජතුමාගේ පාර්ශ්වයට ජයග්‍රහණය ගෙනදීමට හැකි වූ හමුද‌ා ප්‍රධානීන්ට දෙන ත්‍යාගයක් ලෙස මෙය සැලකිණ. සමහර ප්‍රධානීන්ට එතෙක් තිබූ නින්දගම්වලටම තවත් ගම්වර එකතු කර ලබාදෙන අතර සමහරුන්ට අලුතෙන්ම නින්දගම් ලබා දෙයි. මේවා ප්‍රවේණි සැලැස්මට ලබාදෙන නින්දගම් ලෙස සැලකිණි. 

එහි තේරුම යුද විරුවාගේ පරම්පරාවෙන් පරම්පරාවට මෙම නින්දගම් භුක්ති විඳිය හැකි බවය. බඩවැඩිල්ලට ලබාදෙන නින්දගම් දෙවැන්නයි. යම් නිලමේවරයකුගේ අකාර්යක්‍ෂම පාලනය නිසා නින්දගමක් අයාලේ යන්නේ නම් හෝ ජනී ජනයා පීඩාවට පත්වන්නේ නම් එය ඔහුගෙන් ඉවත්කිරීමට මහාවාඩියේ නිලමේවරුන්​ට බලය පැවරී තිබිණ. මෙවිට අගතියට පත් නිලමේවරයාට ටික කලකින් පසු රජු හමුවට ගොස් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ හැකිය. තමාට හා දරුපවුලට ජීවත් වීමට තිබූ මාර්ගය නැතිව ගොස් තිබෙන බවත් තම පරම්පරාවේ අය සිංහල රජවරුන් වෙනුවෙන් සටන් වැදුණු. රාජපාක්ෂිකයන් බවත් කියා සිටි විට උණුවන හදවතකින් යුතු වන රජතුමා මේකාගේ බඩවැඩිල්ලට ගම්වරයක් දෙවයි. ආඥාවක් ලබාදෙයි. 
​ෙමම නින්දගම් පරම්පරාවෙන් පරම්පරාවට හිමිකාරිත්වය පැවරුණත් එහි වෙසෙන ජනයාගෙන් රාජකාරී ලැබීමේ භාග්‍යයක් නැත. අයබදු එකතු කළ නොහැකිය. රදළයකු ලෙස ජීවත්වීම සඳහා පමණක් මෙම ඉඩම් කොටස ලැබෙයි. තුන්වැන්න දේවාලවලට ලබාදෙන නින්දගම්ය. රත්නපුර මහසමන් දේවාලය, ගොඩකවෙල අම්මඩුව කුඩා කතරගම දේවාලය, උග්ගල් අලුත් නුවර දේවාලය එවැනි නින්දගම් හිමිවූ දේවාල වෙයි. අම්මඩුව දේවාලයට අක්කර විසිහතර දාහක්ද, උග්ගල් අලුත් නුවර දේවාලයට අක්කර හාරදහසක්ද රත්නපුර මහ සමන් දේවාලයට අක්කර පනස්හය දහසක්ද ගම්වර ලෙස ලැබී තිබුණි. මෙම දේවාල ඉඩම්වල පදිංචිකරුවන් අදට ද වාර්ෂිකව නියමිත රාජකාරී කළ යුතුය. රාජකාරී සඳහා සහභාගී නොවන්නේ නම් හෝ ඒ වෙනුවෙන් නියමිත මුදල ගෙවා රිසිට් පතක් ලබා නොගන්නේ නම් අදාළ පදිංචි කරුවන් ඉඩමෙන් හා නිවසින් වහාම නෙරපීමේ බලය අදට ද එකී දේවාල භාරකරුවන් සතුය. 

රජතුමා සතුටු කිරීම වෙනුවෙන් විශේෂ අවස්ථාවල තවත් නින්දගම් වර්ගයක් පිරිනමා තිබේ. මේවා සන්තෝෂම් ලෙස සැලකිය හැකිය. රජතුමාට ඇලිගෝනකු (සුදු ගෝනකු) අල්ලා දීම වෙනුවෙන් මඩුවන්වෙල දිසාවේට ද, තිත් මුවකු අල්ලාදීම වෙනුවෙන් කෝණාර මුදියන්සේට ද නින්දගම් පිරිනමා ඇත. කටුවන සටනින් මියගිය අතපත්තු මුදියන්සේගේ ඉඩම් සම්බන්ධයෙන් රාජාධිරාජසිංහ රජු සමයේ දී රත්නපුර මහවාඩියේ දී ඇසු නඩුවකින් එම ඉඩම් ඔහුගේ මාමාට පැවරී ඇත. අතපත්තු මුදියන්සේ මිය ගිය පසු එම ඉඩම් භුක්තිවිඳ ඇත්තේ වෙනත් තැනැත්තෙකි. මේ නිසා හව්හරණක් නැතිව සිටි අතපත්තු මුදියන්සේගේ මාමා තමාට ජීවත් වීමට තිබූ නින්දගම් ඉඩම් වෙනත් නිලමේවරයෙකුගේ භුක්තියට ගෙන ඇති බව මහවාඩියට පැමිණිලි කළ පසු නඩුව අසා ඉඩම් භුක්තිය ඔහුට ලබා දී තිබේ.

මෙරට බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ ඔවුන් ද තමන් වෙනුවෙන් සේවය කළ සිංහල මුලාදෑනීන්ට ගම්බිම් පවරා ඇත. 1820 දී මඩකළපුවේ සිට ලුණුගෙන ඒමට තිබූ මාර්ග අවහිරතාව ඉවත් කර දීම වෙනුවෙන් මොරහැල දිසාවේට සබරගමුවෙන් නින්ද ගමක් ලබා දී ඇත. ඔහු පසුව බ්‍රිතාන්‍යයන් නියෝග කර තිබූ හරක් මස් සැපයීමක් (ගෙරිමස්) ප්‍රති​ෙක්‍ෂ්ප කළ නිසා ඔහුගේ නින්දගම අහෝසි කර එම හරක් මස් සැපයීම බාරගත් ඔහුගේ ගොපලු සේවකයාට රාජ්‍ය තාන්ත්‍රික නාමයක් ද සමග නින්දගම හිමිකර දී තිබේ. අටකලන් කෝරලයේ ඇමටියගොඩ වලව්වට ඉඩම් ලැබුණු සන්නසක් ලියා ඇත්තේ ඉරටුව සහිත කර කොළයකය. එහි මෙසේ සඳහන් වේ මෙය ශත වර්ෂ 1683- (1761) ඉල්මස පුර විසේනිය ලත් ඉරිද‌ා අැමිටියගොඩ ගුණතිලක අලහක්කෝන් මුදියන්සේට කටුවන- මාතර කොටු අරවන ප්‍රස්ථාවේ දී හොඳින් දස්කම් කිරීම ගැණ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දෙන ලස සන්නසකි. ශ්‍රී වද‌ාල වූ පණත නම්…

සපරගමු දිසාවෙන් අටකලන් කෝරළේ බද මැද පත්තුවෙන් ඇමිටියගොඩ ගුණතිලක අලහකෝන් මුදිලියා කටුවන කොටුව සහ මාතර කොටුව අරවන ප්‍රස්ථාවේ දී හොඳින් දස්කම් කළ නිසා ඇමිටිගොඩ යන ගම මුල් බීජු හතමුනේ වපසරියත්, රිදී විටින් විල්පිට කුඹුර බීජු දෙපැල පල්ලාගේ වපසරිය, පන්විල් පත්තුවෙන් බුන්ගිරිය කියන ගම මුල් බීජු වී දොලොහොමුනේ වපසරියත් මීට අයිති වූ ගෙවතු ගහ කොළ ගොඩවල් පිට ඇතුළුව ප්‍රවේනි සැලැස්මට භුක්ති විඳිනා රහට – ශකවර්ෂ එක්වා දහස් සසිය අසූ තුනට පැමිණි වෘෂ නම් වූ මේ වර්ෂයෙහි ඉල්මස පුර විසේනිය නම් තිථිය ලත් ඉරිද‌ා මේ දවස මේ සන්නස දෙවා වඳ‌ාල වූ පණතත් මෙසේම පණිවුඩ පණතයි.” රදළයන්ට ලබාදෙන නින්දගමක හෝ ආගමික ස්ථානයකට ලබාදෙන සෑම නින්දගමකම රාජකාරී කළ යුතු පවුල් වෙන වෙනම ගොඩැලිවල පදිංචි කරවන ලදී. විදානේ පංගුව, දෝලා පංගුව ලෙස එම ඉඩම් කොටස් බෙදී පවතී. මෙකී විහාර ඉඩම්වල පදිංචිකරුවන් සෑම පෙරහර මංගල්‍යයකටම තම ද‌ායකත්වය ලබාදිය යුතුය.

1734 දී කරතොට ශ්‍රී ධම්මාරාම හිමියන් කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගෙන් විහාරයක් සමග නින්දගමක් ලැබුවේ භාරස කාව්‍ය ලියා රජ්ජුරුවන්ට තේරුම් කරදීම වෙනුවෙනි. අතිශය ධර්මධර විනයධර බහුශුත හිමිනමක් ලෙස ප්‍රකටව සිටි උන්වහන්සේ රජතුමාගේ කිට්ටු මිතුරකුද වූහ. හිතවත්කම වඩාත් වැඩි වෙද්දී උඩරට හා පහතරට සංඝනායක පදවිය තමාට දෙන්නැයි රජුගෙන් ඉල්ලා සිටි විට රජතුමා කෝපයට පත්විය. සාමාන්‍යයෙන් රජකුගෙන් යමක් ඉල්ලා ලබාගත නොහැකි අතර රජුට යමක් දීම සඳහා කැමැත්ත අැතිවනතුරු බලා සිටිය යුතුය. අවසානයේ කරතොට හිමියන් නිවාස අඩස්සියට පත් කරන්නට රජුගෙන් නියෝග ලැබුණු අතර නිවාස අඩස්සියේ සිටි හිමියන් කවිතුනක් ලියා රජුට යැවීය. 

මෙය තේරුම් ගැනීම සඳහා උගතුන් හා බුද්ධිමතුන් කැඳවා විමසුව ද ඒ කිසිවකුට කවි තුනේ තේරුම කිව නොහැකිවිය. අන්තිමට සිරගත කර සිටි කරතොට හිමියන් ගෙන්වා තේරුම අසා ගැනීමට රජුට සිදුවිය. රජවාසලට වැඩම කළ උන්වහන්සේ කවිතුනේ තේරුම රජුට කියාදෙන අතර එයට පැහැදුණ රජ්ජුරුවෝ උන්වහන්සේ ඉල්ලු සංඝනායක තනතුර ද සමග රත්නපුර සංඛපාල විහාරය ප්‍රතිසංස්කරණය කරවා නින්දගමක් ද සමග පූජා කළහ. රජකුගෙන් එවැනි නින්දගමක් ලැබූ තවත් විහාරයක් වන්නේ කිරිඇල්ල නැදුන් රජමහා විහාරයයි. කරදන දේවරක්ඛිත හිමියන්ට එසේ පූජාකර ඇති නින්දගම අක්කර දොළොස්ද‌ාහක් විශාලය. නින්දගම් පිළිබඳ ලේඛන ඇතුළත් රාජකීය ලේඛනය හැඳින්වුණේ ලේකම්මිටිය නමිනි. 1619 දී සෙනරත් රජුගේ නියමයෙන් සාද‌‌ා තිබූ පැරණි ලේකම්මිටිය පසුකාලීනව කැඩීබිදී විනාශ වී ගියෙන් 1790 දී රාජාධිරාජසිංහ රජුගේ අණපරිදි පිළිමතලාවේ මහාධිකාරම එහි ඉතිරි වී තිබූ කොටස ප්‍රතිසංස්කරණය කළේය. 1870 දී බ්‍රිතාන්‍ය පාලකයන් කොමසාරිස් ලේඛනය නමැති නිල ලේඛනයක් සැකසූ අතර එයට මෙම පැරණි ලේකම්මිටියට අයත් වූ ගම්බිම් පිළිබඳ විස්තර අයත් වෙයි. 

දේවාල සතු ඉඩම් සම්බන්ධයෙන් අදටත් පිළිගැනෙන්නේ බ්‍රිතාන්‍යයන් සැකසූ අංක 4 දරන මෙම කොමසාරිස් ලේඛනයයි. ඇහැලේපොළ මහාධිකාරමගේත්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ උඩරට රාජධානියේත් අවසානය සඳහා හේතු සාධක වූ මහා අර්බුදය ඇතිවීමට හේතුව බව කියන්නේ ඇහැලේපොළ රත්තරන් ඔටුන්නක්, රත්තරන් ඇඳක් හා රන් කඩුවක් සෑදවීමය. මහාධිකාරමගේ ඉල්ලීම පරිදි මේවා නිර්මාණය කළේ සබරගමු ප්‍රභූවරුන් විසිනි. රන් ඔටුන්න හා රන් අසිපත රාජකීය කකුදභාණ්ඩ යටතට ගැනෙයි. රන්කරුවන් මේවා නිර්මාණය කරන්නේ රජකුගේ ඇනවුමෙන් රජු සඳහාය. උඩරට රාජ්‍යයේ දෙවැනි රජ්ජුරුවන් ලෙස ජන සම්භාවනාවට පාත්‍රව සිටි ඇහැලේ​පොළ මහාධිකාරම මේ රාජකීය කකුද භාණ්ඩ තැනුවේ තමා සඳහා නොව තම රජ්ජුරුවන්ට තෑගි දීම සඳහාය. මහාධිකාරම සබරගමුවේ සිටි මෙකල උඩරට සිටි ඔහුට විරුද්ධ නිලමේවරුන් රජ්ජුරුවන්ට ගතු කීවේ ඇහැලේපොළ රජකම අල්ලා ගැනීම සඳහා රන් ඔටුන්නක් හා රන් අසිපතක් සාදවන බවය.

රජතුමා කෝපයෙන් සලිත වීම අරුමයක් නොවේ. මේ කාලය 1814 අප්‍රේල් මාසය විය. තම තමන්ගේ පණිවිඩ හුවමාරු චරපුරුෂයන් මගින් උඩරට රජතුමා හා සබරගමුවේ සිටින මහ නිලමේතුමා එකිනෙකට එරෙහිව ඔත්තු බැලූ බල අරගලයේ අවසානය ද ඒ වන විට එළඹ තිබුණේය. රන්ඔටුන්න හා අසිපත සෑදවූයේ ගොඩකවෙල කම්මල්වත්ත නැමැති නින්දගමේය. ඒ වන විට ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන් ඉංග්‍රීසින්ට එරෙහි සටන් කීපයක් ජයග්‍රහණය කළ හෙයින් ගව්වෙන් ගව්ව විහාරස්ථාන ඉදිකරන ලෙස ආඥ‌ා කර තිබිණි. මුංවත්තේ අධිකාරම සමඟ එකතු වූ ඇමැටියගොඩ අලහකෝන් මුදලි ගොඩකවෙල විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කැර එහි අලුතෙන් මිහිඳු රූපයක් වාත්තු කිරීමේ කටයුතු පටන් ගෙන තිබිණි. බෙලිඅත්ත පුවක්දණ්ඩාවෙන් කැඳවාගෙන ආ රන්කරුවන් යටතේ මේ කටයුතු සිදුවිය.

එහෙත් ඒ අතරතුර තවත් රහසිගත කටයුත්තක්ද එහි කෙරෙමින් පැවැති බව සබරගමුවේ බොහෝ ප්‍රභූවරුන් දැන සිටියේ නැත. ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජ්ජුරුවන්ගේ පාලනය අත්තනෝමතික යැයි තේරුම් ගත් සබරගමු ප්‍රධානීන් තම හිතවතා වන ඇහැලේපොල මහාධිකාරම රජු බවට පත් කිරීමේ ක්‍රියා පිළිවෙතකට එළඹ සිටියහ. ඒ අනුව කම්මල්වත්තේ තබාගෙන මිහිඳු පිළිමය රනින් වාත්තු කරන ගමන් කඩුවක් ඔටුන්නක් හා ඇඳක් ද රනින් කරවන්නට මඩුවන්වෙල නිලමේ ඇතුළු ප්‍රභූ පිරිසක් තීරණය කර සිටියහ. මඩුවන්වෙල නිලමේ ඒ වන විට මහලු වියේ සිටි අතර තරුණ කුමාරිහාමි කෙනකු ඔහු අත ගන්නා මගුලකට දින නියමවී තිබිණි. අක්කර දහස් ගණනක් සතු නිලමේට අලුත් සරණක යන්නට කාගෙන්වත් තහනමක් තිබුණේ නැත. එම මඟුලට වලව්වට පැමිණෙන ප්‍රභූන් ඉදිරියේ දී ඇහැලේපොල මහාධිකාරමගේ හිස මත රන් ඔටුන්න තැබීමට ප්‍රභූවරු සිතා සිටියහ. එක් දහස් අටසිය දහ හතර වසරේ අප්‍රේල් මාසයේ දවසක ගොඩකවෙල කම්මල්වත්තේ දී විශේෂිත පුද්ගලයන් රැසකගේ රහසිගත හමුවීමක් සිදු විය. ඒ හමුවට පැමිණි සියලු දෙනාම සබරගමු පළාතේ ගම් නියම්ගම්වල බලය හිමි රදළයෝ වූහ. 

ඔවුන්ට පෙරදින රහසිගත පණිවිඩයක් ලැබී තිබිණි. ‘‘සුවිශේෂ අමුත්තකු පිළිගැනීමට කම්මල් වත්තට එනු..’’ පණිවිඩය තල්පත්වල ලියා තම විශ්වාසවන්ත මෙහෙකරුවන් අත සබරගමුව පුරා යැව්වේ මඩුවන්වෙල නිලමේ විසිනි. සුවිශේෂ අමුත්තා කවුදැයි තල්පත්වල නොලීවේ ආරක්‍ෂාව සඳහාය. පැමිණෙන සියලු ප්‍රභූවරුන් තමා මෙන්ම ඕනෑම රහසක් රැක ගත හැකි අයය. අමුත්තා ආවේ තම විශ්වාසවන්ත නිලමේවරුන් සමගය. මහවාසලේ දී තමාට සිදුව ඇති මදිපුංචිකම් මහාධිකාරම තම හිතවත් නිලමේවරුන්ට කියා සිටියේය. සබරගමුව මෙයට පෙර ද උඩරටට එරෙහිව කැරලිගසා ඇති නිසා නිලමේවරුන් සිටියේ මහාධිකාරමට පක්‍ෂපාතවය. උඩරටට එරෙහිව තමන් අරගලයක් අරඹන බව නිලමේවරු එහිදී කියා සිටියහ. ඇහැළේපොළ පැවසුවේ එවැනි අරගලයකට පහතරට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් උදව් උපකාර ලැබෙනු ඇති බවය.තීරණාත්මක මොහොත උදාවී තිබිණි. සබරගමු රදළයෝ උඩරට මහවාසලට එරෙහිව ආයුධ සන්නද්ධ කැරැල්ලක් ඇති කළහ. එහෙත් එයට සහභාගීව සිටියේ මිනිසුන් සුලු පිරිසකි.

එක්දහස් අටසිය දහ හතර වසර සබරගමුව ලෙයින් නැහැ වූ වර්ෂයක් විය. ගමින් ගම ජනයා මරණයට නියම වූවන් මෙන් කන්දේනුවර නිලමෙලාගේ අවි ගැටුම්වලින් හෙම්බත්ව ජීවිතය බේරා ගැනීමේ අසීරු මොහොතකට පත්ව සිටියෝය. ජීවිතය නොව මරණය රැගත් ආඥ‌ාවක් කන්දේනුවර මහා බලසම්පන්න ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් මොල්ලිගොඩ නිලමේ අතට පත් කරවන ලද්දේ සබරගමුවම බියෙන් සලිත වී සිටි අවස්ථාවේය. එක් පසෙකින් මහාධිකාරමගේ පාලනය ද සබරගමුවාසීන්ට දැනුණේ භීෂණ සමයක් හැටියටය. ඒ පිටට මොල්ලිගොඩ තවත් භීෂණයක් මුදා හරිමින් සිටයි.රදළයන් අතර බලය සඳහා ඇති කුලල් කා ගැනීම නින්දගම්වාසී ජනයාගේ මරණ වරෙන්තුව ද විය. එක් නිලමේවරයකුට විරුද්ධව තවත් නිලමේවරයකු සටනට එළැඹෙන්නේ නම් පළමුව සටන් වදින්නේ නිලමේවරුන්ගේ හමුදා දෙකය. නිලමේවරුන්ගේ හමුදා සමන්විත වූයේ තම නින්දගම්වාසී ජනතාවගෙනි. 

නින්දගම් හිමිකාරයා වෙනුවෙන් සටන් බිමට යාමට සියලු නින්දගම්වාසීහු බැඳී සිටියහ.මහාධිකාරමට පක්‍ෂව නිලමේවරු හැට දෙනෙක් කම්මල්වත්තේ රැස්ව සිටියේ මොල්ලිගොඩගේ සේනාව ගමන් අරඹා සිටි මොහොතේය.මහ නිලමේ කවදත් තමන්ගේ ආරක්‍ෂාව මිස අනුන්ගේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වූවකු නොව්. කන්ද උඩරට දී ඔහුගේ දරු පවුලට වූයේ මහ නිලමේගේ මේ නොසැලකිලිමත් කටයුත්තේ බිල්ලක් බවට පත්වීමටය.මොල්ලිගොඩ නිලමේගේ හමුදාව සබරගමුව වැටලුවේ කන්ද උඩරටම ඇහැලේපොළ දරු පවුලට අත්වූ කුරිරු මණයෙන් කම්පාවට පත්ව සිටියදීය. රජුගේ අණ ලැබූ සේනාංක පළමුව මහවාඩිය වැටලුවේය. ඒ වනවිටත් මහාධිකාරමගේ බලය රැදුණු වලව්වේ දොර පියන් වසා තිබුණි. 

ඔහුගේ අන්තඃපුර කාන්තාවෝ පමණක් රටේ සිදුවන කිසි දෙයක් නොදැන තමන්ගේ සුපුරුදු ජීවිතයට ගෙවමින් සිටියහ. සබරගමුවම වනසා වසා දැමීමේ රාජ නියෝගය දෑතින් ගත් උඩරට සේනාව අන්තඃපුර වලව්වේ මහදොර අබියස සිට ගත්තේ අන්තඃපුර කාන්තාවන් මේ කිසිත් නොදැන තම තමන්ගේ කටයුතුවල යෙදී සිටියදීය.එය බිහිසුණු රැයක් විය. වලව්ව මෙන්ම වලව්වේ ප්‍රධානියා ද ග්‍රහණයෙන් ගෙන උඩරටට ගෙන යාමේ නියෝගය ලැබ ආ උඩරට සේනාව දොර කඩාගෙන වලව්වට ඇතුළුවෙද්දී එහි සිටි අන්තඃපුර කාන්තාවෝ බියෙන් මුලුගැන්වුණහ. මහ නිලමේගේ අන්තඃපුරවාසී කාන්තාවන්ද එහි දික්ගෙයි නැටුම් නැටූ කාන්තාවන් ද රුවෙන් අගතැන්පත් අයවූහ. උඩරට හමුදා ප්‍රධානීන් එදා රාත්‍රිය ගෙවා දැම්මේ අන්තඃපුර වලව්වේය. පසුදා පාන්දරම සේනාංකය ගොඩකවෙල කම්මල්වත්ත කරා ඇදී ගියහ.ඒ වන විටත් මහාධිකාරම කළුගඟ දිගේ කොලොම්තොටට පලාගොස් සිටියේය. 

ඔහු පලා ගියේ ඉතාම රහසිගතවය. සබරගමු රඳළයෝ උඩරට හමුදාව සමග සටන් වැදුන ද ඉතා කෙටි දිනකින් ඔවුන් ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට මොල්ලිගොඩට පුළුවන් විය. පල්ලේබැද්දේ තුන්තොට මුරපොළේදී මොල්ලිගොඩ තමාගේ වටිනා ජයග්‍රහණය ලබාගත්තේය. ඒ මඩුවන්වෙල වලව්වට රහසිගතව ගෙන යමින් තිබූ රන් ඔටුන්න හාරන්කඩුවය.ඇහැලේපොළට එරෙහිව රජුට ඉදිරිපත් කළ හැකි ප්‍රධාන අවිය වූ​ මේ කකුද භාණ්ඩ රැගත් මොල්ලිගොඩ කැරැල්ලට නායකත්වය දුන් රඳළයන් හැට දෙනකු ද කුදලාගෙන උඩරටට ගියේ ජයග්‍රාහී විලාසයෙනි. නඩු ඇසීමෙන් පසු මේ හැටදෙනාගේ හිස ගසා දැමීමට නියම විය. සමහර මුලාශ්‍රවල කියන්නේ දිවැස් උල හිඳුවූ බවය. ඒ කොහොම වෙතත් සබරගමු නින්දගම් හිමිකාර රඳළවරුන් හැටදෙනා දළදා මාළිගාව ඉදිරිපිට කිරි මුහුද යැයි නම්ලත් වැව පිටුපස ගොඩැල්ලක දී තම අවසන් ගමන ගියේ ඉතා ශෝචනීය ලෙසය.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇහැලේපොළ නිලමේ හැදූ රන් ඔටුන්න (Gold Crown Made By Ehelepola Nilame) ඇහැලේපොළ නිලමේ හැදූ රන් ඔටුන්න (Gold Crown Made By Ehelepola Nilame) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 14, 2020 Rating: 5

0 comments:

Post a Comment