The Irishman (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන්

එක්දහස් නවසිය බර ගනන් වල ඇමරිකාවේ පාලු මාවතක් දිගේ ධාවනය වූ ට්‍රක් රථයක්, හිටි හැටියේම එන්ජිමේ අමුතු සද්දයක් එක්කම මහ මග නතර වන්නේ තව දුරටත් ඉදිරියට යෑම සිහිනයක් බවට පත් කරවමින්. කිසිවක් සිතා ගත නොහැකිව සුක්කානම් රෝදය අත හැර රියැදුරු අසුනින් බිමට බසිනු ලබන්නේ වයස විසි ගනන් වල බොහොම ලාමක පෙනුමක් තිබුනු තරුණයෙක්. 

රියැදුරු රස්සාව කලාට කාර්මික රස්සාව නොදත් මේ කොලුවා අසරණව සිටිනා අයුරු දැක එතැනට පැමිණෙන්නේ ක්ලීන් සූට් ගහපු බොහොම වැදගත් පෙනුම තිබුන මහත්මයෙක්. ක්ලීන් සූට් මහත්මයාගේ හැකියාව නිසාම මොහොතකට පසුව ට්‍රක් රථය ගොරවමින් නැවතත් පණ ගැන්වෙනවා. ඔව්, පාලු මාවත කොණක සිදුවූ ක්ලීන් සූට් මහත්මයාගේත් ළාමක කොලුවාගේත් ඒ අහඹු හමුව ඇමරිකානු ඉතිහාසයයේ වඩාත්ම ආන්දෝලනාත්මක ඝාතනය සිදුකල ඒ සිත් පිත් නොමැති ඝාතකයා බිහි කල බව ඒ ක්ලීන් සූට් මහත්මයාවත් ළාමක කොලුවාත් කිසිඳු දිනෙක දැන නොසිටින්නට ඇත.

ඒ වගේම ඒ ළාමක කොලු ගැටයා කවදා හෝ ඉතාලි – ඇමරිකානු මාෆියා අපරාධ ඉතිහාසයේ සිය නාමය ඉහලින්ම සඳහන් කරනා බව ඇමරිකානු ෆෙඩරල් නියෝජිතයින් කවදා හෝ දැන සිටියානම්…? කතාව ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක නැරැඹීමෙන් මිස කියවීමෙන් රසවිඳිය නොහැකි සුන්දර සිනමා නිර්මාණයක් වන නිසාවෙන්ම.

ඇමරිකානු මාෆියා කල්ලි ඉතිහාසයේ අදුරු අහු මුලු ඉව කරමින් ගවේෂණාත්මක ලේඛක “Charles Brandt” විසින් සත්‍ය සිදුවීම් අලලා රචිත “I Heard You Paint Houses” කෘතිය ඇසුරින් මාෆියා සිනමා සිත්තම් කළාවේ හොලිවුඩ් මැවුම් කරුවා වූ Martin Scorsese විසින් නිර්මාණය කළ මේ විශිෂ්ට සිනමා සිත්තම, සිනමාවේ මාෆියා රජුන් වූ Robert De Niro, Joe Pesci, Al Pacino තිදෙනාවම එකම තිරයක් මතට ගෙන ආ දැවැන්ත සිනමා පටයක් බවට පසුගිය වසරේදී පත් වනවා. 

2014 වසරේදී මුල්ම වතාවට Martin Scorsese විසින් Robert De Niro, Joe Pesci, Al Pacino තිදෙනාවම එක් කර ගනිමින් සිය මීලග සිනමා පටය නිර්මාණය කරනා බව නිවේදනය කල දා පටන් ලොව පුරා ප්‍රේක්ෂකයින් ඇගිලි ගනිමින් බලා සිටියේ මේ විශිෂ්ට සිනමා සිත්තම තිරගත වන දිනය උදා වන තුරාවටය. මාෆියා සිනමා කළාව ලොවට හඳුන්වාදුන් මේ පෙරළිකාරයින්ගේ අවසන් මාෆියා සිනමා සිත්තම බවට බොහෝදුරට මේ සිනමා සිත්තම පත් වේවි.

මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න : https://www.netflix.com/lk/title/80175798

IMDb දර්ශකයේ 7.9 ක් වගේම Rotten Tomatoes දර්ශකයේ 96%ක් ලබා ගත් ලොවපුරා සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් නිර්දේශවීම් 310ක් හා සම්මාන 67ක් දිනාගත් මේ සිනමා සිත්තම රසනොවිඳි දෑසක් කුමට…? පසුගිය වසරේ පැවති ප්‍රධානතම සිනමා සම්මාන උළෙලවල් වූ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සිනමා පටය ඇතුලු සම්මාන 10කටත් ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම සිනමා පටය ඇතුලු අම්මාන 5කටත් නිර්දේශ උන මේ සිනමා සිත්තම ගැන කියන්න මම තවත් වචන නාස්ති කරන්න ඕනෙ නෑනෙ. මොකද සම්මාන ලිස්ට් එක තව සෑහෙන්නම දිගයි.

ෆිල්ම් එක පුරාවටම කෙනඩි ඝාතනය, කියුබානු බේ ඔෆ් පිග්ස් ප්‍රහාරය, නික්සන්ගේ වෝටර්ගේට් සිදුවීම වගේම අතීත සිදුවීම් සහ විශේෂ අවස්ථාවන් බොහෝමයක් ගැන කියවෙනවා. ඒ ගැන විස්තර දැනගෙන ඉන්න එක ෆිල්ම් එකේ රසය වැඩියෙන් විඳ ගන්න උපකාරී වෙන නිසාවෙන්ම අදාල තැන් වලදී ටයිම් ලයින් එහාට මෙහාට කරලා ඒ ගැන පොඩි විස්තරයක් දාල ඇති. කවුරු හරි කෙනෙක් අපෝ පැය 3.30ක්නේ කියලා අත ඇරල දැම්ම නං, මේ නිවාඩු කාලෙ ආපහු බලන්න ගන්න මේක තමයි හොඳම වෙලාව. මොකද මේ සිනමා සිත්තම එක තැනක ඉදගෙන බොහොම නිවී සැනසිල්ලේ රසවිඳින්න ඕනෙ ජාතියේ එකක්.

තවම ෆිල්ම් එක බලන්න හිතුනෙ නැත්තං ෆිල්ම් එකේ ට්‍රේල බලලම ඉන්න.

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
The Irishman (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් The Irishman (2019) Sinhala Samalochanaya - බයිස්කෝප් සිංහලෙන් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 11, 2020 Rating: 5

0 comments:

Post a Comment