ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් (Popular Surnames Used By Many People In Sri Lanka)

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් (Popular Surnames Used By Many People In Sri Lanka) - Your Choice Way
පෙරේරා
මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා). අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා
සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු). ලතින් යෙදුම: Silva (සිල්වා). අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල්
පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ). අර්ථය – ‘මී පැණි’. ඒ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස්
පෘතුගීසි යෙදුම: Cruz (කෲස්). අර්ථය – ‘කුරුසිය’. 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නොවේ.

පීරිස්
පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය. මේ අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස්
පෘතුගීසි යෙදුම: Paris (පරීස්). අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස්
පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන්. පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස්
පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්). අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’. මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු / ප්‍රනාන්දු
යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය. පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ). ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.

තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස්
ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’. අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස් / ගෝමිස්
මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’. ඒ අනුව ‘​ගෝමෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

ෆොන්සේකා
ලතින් මූලය : Fon+Sicca. අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා
පෘතුගීසි යෙදුම: Costa (කොස්තා). පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ. ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස්
හංගේරියානු මූලය : Vass. අර්ථය – යකඩ. මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස්
ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි). පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්). අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු / රුද්‍රිගු
ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.

පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස්
ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ). Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ යි.

සොයිසා
පෘතුගීසි මූල්‍ය : Souza (සූසා). මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා
අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida). අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල්
ලතින් මූලය: Capralis (කප්‍රාලිස්). අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා Cora (කෝරා)
ලතින් මූලය – Cora (​කොරෙයා) අර්ථය – හදවත. ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල්
පෘතුගීසි මූලය: Pascoa. අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය). මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

ලාංකිකයන් වර්තමානයේ භාවිතා කරන වාසගම් නිර්මාණය වීම සඳහා දේශීය මෙන්ම විදේශීය බලපෑම් ද මූලික වී තිබේ. මේ ලාංකිකයන්ගේ දේශීයත්වය මූලික වී සකස් වූ වාසගම් කිහිපයක නිර්මාණය හා ඒවායේ අර්ථය පිළිබඳ කතාවයි.

සිංහලයන්ගේ වාසගම්වල බොහෝ විට #මුදියන්සේ යන නාමය දැකගත හැකි අතර එය රජවාසල විසින් රාජ්‍ය සේවය සඳහා ලබා දුන් ගරු නාමයක් ලෙසයි සැළකෙන්නේ. එය ගරු නාමය ලබන්නාගේ නාමය සමඟ සම්බන්ධ වී ජයසේකර මුදියන්සේලාගේ වීරසේකර මුදියන්සේලාගේ ආදී වශයෙන් පෙළපත් නාමයන් සකස් වී ඇත.

විදානආරච්චිලාගේ යන වාසගම ද ඒ ආකාරයෙන් ම පුද්ගල නාමයන් සමඟ රජවාසල විසින් ලබා දුන් තනතුරු නාමයන් සම්බන්ධ වෙමින් නිර්මාණය වී ඇත.

අතපත්තු යන වාසගම නිර්මාණය වී ඇත්තේ පෘතුගීසීන්ට එරෙහිව සටන් මෙහෙය වූ වීදිය බණ්ඩාර විසින් නිර්මාණය කළ විශේෂ හමුදාවක් හේතුවෙනි. එම හමුදාව අතපත්තු හමුදාව ලෙස හැඳින්වූ අතර ඊට විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් පමණක් සම්බන්ධ කරගත් බව කියැවේ. ඒ අනුව ඔවුන්ගෙන් පැවත එන්නන් අතපත්තු යන වාසගම ලැබ සිටී.

මේ අතර ඇතැම් ඉහළ කුල වල පිරිස් රජු විසින් ලබාදුන් ගරු නාමයට සිය ගම සම්බන්ධ කරගැනීම හේතුවෙන් ඔවුන්ගේ වාසගම් නිර්මාණය වී ඇත. ඉතිහාසයේ ප්‍රකට #පිළිමතලාවේ #මීගස්තැන්නේ #ඇහැලේපොළ ආදී නිළමෙවරුන්ගෙන් පැවැත එන වාසගම් අද වන විටත් දැකිය හැකියි.

මේ අතර යුද්ධයේදී විශේෂ දස්කම් දැක්වූ පුද්ගලයන් වෙනුවෙන් රජ දරුවන් පිරිනැමූ නාමයන් සහිත වාසගම් රැසක් අද වන විට මෙරට තුළ භාවිතා වේ.

ජයසූරිය යන වාසගම ජයග්‍රහණයේ සූර්යයා යන අර්ථයෙන්ද, ජයග්‍රහණයේ වීරයා යන අර්ථයෙන් #ජයවීර යන වාසගම ද ලබා දී තිබේ. එවන් පරම්පරාවෙන් පැවත එන වෙනත් වාසගම් ලෙස යුද්ධයේදී වීරයා නොහොත් #රණවීර රණ බිමේ සිංහයා යන තේරුම සහිතව #රණසිංහ ද රජුගේ ආලෝකය හෙවත් වඩාත් සමීප යන්නෙන් කියැවෙන #රාජසූරියත් රාජ්‍ය සේවයෙහි නිර්භීත #රාජසිංහ වික්‍රමයන් සඳහා නොබිය #වික්‍රමසිංහ, සිංහයකු වැනි වීරයෙකු ලෙස #වීරසිංහ ජයග්‍රහණය වෙනුවෙන් සිංහයෙකු ලෙස කටයුතු කරන්නා යන අර්ථය ඇතිව #විජේසිංහ ආදී නාමයන්ද ලබා දී තිබේ.

එසේම #නරේන්ද්‍රසිංහ #ගජේන්ද්‍රසිංහ ආදියද අතීත රජ දරුවන් විසින් ලබාදුන් වාසගම් නාමයන් වේ. රජවාසල හා රාජ්‍ය පාලන ක්‍රියාවලිය හා බැඳී එන වාසගම් රැසක් ද පවතී. ඒ අතුරින් #මොහොට්ටි ලේකම්වරයා යන අර්ථයෙන්ද (රාජ්‍ය මාලිගාවේ ලේකම්වරයා #මහමොහොට්ටි ලෙස)

කොඩිතුවක්කු යන වාසගම හිමිවී ඇත්තේ හමුදාවට සම්බන්ධ පිරිස් වලට වන අතර රෝදවලට සවිකල කුඩා කාල තුවක්කු හමුදාවේ සේවය කළ පිරිස එලෙස හඳුන්වා ඇත.

සෙනෙවිරත්න
සෙනෙවිරත්න යන වාසගම ඇති අය පෙර රජවරුන්ගේ සෙනවිකම කරපු අයගෙන් පැවතේ. සෙනවි+ රත්න= රජුට රටට හිතැති රත්නයක් බදු වූ එහි තේරුමයි. යුද්ධයට අණ දුන් ප්‍රධානීන් ද සෙනවිරත්න සමගින් අදාල තැනැත්තාගේ නම මුලට යොදා අමතා ඇත.
තවද කලාවැවේ සෙනෙවිරත්න කඩවර දෙවියන්ගේ පරපුරින් පැවතෙන බවටද මතයක් ඇත. කඩවර ගොල්ලේ සිට්නා පිරිසටත් #සෙනෙවිරත්නයන් ලෙස හදුන්වා ඇත.

මේ අතර යුද්ධ භූමියේ දී මෙන්ම රජ මැදුරේ දී කොඩි දරන්නන් #කොඩිකාර යන්නෙන්ද, හදාරන්නන් #පලිහවඩන යනුවෙන්ද, සළු සම්බන්ධ කටයුතු කළ අය සඳහා #සළුවඩන යන වාසගම් ද නිර්මාණය වී තිබේ.
මේ ඇසුරෙන්ම රාජ්‍ය නිලයන් දරන්නන් උදෙසා #අප්පු, #රාළ, #විදානගේ යන වාසගම එක් වී ඇති අතර ඒවාට පුද්ගලයන්ගේ හෝ ග්‍රාමීය නම් එක් කිරීමෙන් අද පවතින දිගු වාසගම් සහිත නම් නිර්මාණය වී ඇත.

ඇතැම් වාසගම් වල ඉදිරියෙන් #විජේවර්ධන #රාජකරුණා ආදී නාමයන් කිහිපයක් පවතින අතර ඔවුන් රජ වාසල හා සම්බන්ධ ඉහළ හමුදා නායකත්වයන්ගෙන් පැවත එන්නන් බවයි පැවසෙන්නේ.

මේ අතර #ගමරාළලාගේ #වර්ණකුල ආදී නාමයන් සකස්වී ඇත්තේ තමන් දැරූ ග්‍රාමීය තනතුරු හා රැකියාවන් අනුවයි.

මරක්කල යන වචනය මුස්ලිම් ජනතාව හැඳින්වීමට යොදන බවට පිළිගැනීමක් ඇතත් ඉතිහාසයට අනුව මරක්කල යන්න දකුණේ සිංහල පෙලපත් නාමයක් ලෙසයි සැලකෙන්නේ. මරක්කාර් නමින් හැඳින්වූ අතීත යාත්‍රා වල සේවය කළ පුද්ගලයන් මරක්කලේ ලෙස හැඳින්වූ අතර මඩොල්දූව නවකතාවේ පවා මරක්කලහේ නමින් වාසගමක් ද දැක්වේ.

ඒ අනුව ධීවර කටයුතු වලට සම්බන්ධ ජනතාව මුල්කරගනිමින් අම්බලන්ගොඩ හා දකුණු පළාත ආශ්‍රිතව මහා මරක්කලගේ, අරස මරක්කලගේ, ආන්ද්‍ර මරක්කලගේ, පොඩි මරක්කලගේ, ලොකු මරක්කලගේ, මරක්කල එන්නඩිගේ ආදී සිංහල වාසගම් දැකිය හැකිය. ඒ අනුව අද සිංහලයන් දරන බොහෝ වාසගම් සිය පරපුරේ මුතුන්මිත්තන් විසින් දරන ලද නාමයන් තනතුරු හා ලැබූ ගෞරවයන් මත පදනම්ව සකස් වී ඇත.

මුලාශ්‍ර අන්තර්ජාලයෙන්.(උපටාගැනිමක්)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් (Popular Surnames Used By Many People In Sri Lanka) ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් (Popular Surnames Used By Many People In Sri Lanka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 24, 2022 Rating: 5

0 comments:

Post a Comment