ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology)

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

මිනිසා ලොව පහළ වූ දා සිටම ජීවත්වීම සඳහා කුසට ආහාර මෙන්ම ලෙඩට දුකකට බේත් හේත් කරන්නට ඇත. රෝගවලට ප්‍රතිකාර සඳහා තමා ජීවත් වූ අවට පරිසරයේ තිබූ ශාකවල කොළ, මුල්, ගෙඩි, පොතු ආදිය භාවිතයට ගෙන ඇත. එමෙන්ම ඇතැම් අවස්ථාවල සත්ව කොටස්ද භාවිත කර තිබේ. ලොව ජනාවාස වූ මුල් කාලයේ ඒ ඒ ප්‍රදේශවල පදිංචි වූ ජනතාව තමා ජීවත් වූ පරිසරයෙන් සොයාගත හැකි ඖෂධ පැළෑටි මේ සඳහා භාවිත කර ඇති බව පෙනේ.

මිනිසා ඇතුළු ගහකොළ සියල්ල ස්වභාවධර්මයේ නිර්මාණය. මිනිසුන්ගේ සහ ශාකවල පරිනාමය සිදු වී ඇත්තේ එක සමාන ආකාරයෙනි. මේ නිසා ශාකවල ඇති සංඝටක මිනිස් සිරුරේ සංඝටක හා ගැලපේ. ඒ නිසාම මිනිසාට වැළඳුණ ලෙඩ රෝග සඳහා ඖෂධ තනා දීමට ගස්වැල් කාරුණික වී ඇති බව පෙනේ. එනිසා නිවැ‍රැදි ප්‍රමිතියෙන් යුත් ශාක ඖෂධ මිනිසාගේ ඕනෑම ලෙඩ රෝගයකට ප්‍රත්‍යක්ෂ ඖෂධ වේ. මිනිසා විසින් රෝගවලින් වැළැකී සිටීමට භාවිත කළ සිරිත් විරිත්, අත්බේත් මෙන්ම රෝගවලට කළ ප්‍රතිකාර පසු කාලයකදී වෛද්‍ය විද්‍යාව ලෙස සංවර්ධනය වී ඇති බව පෙනේ.

ඓතිහාසික තොරතුරුවලට අනුව දේශීය වෛද්‍ය ක්‍රමයේ ආදිතම යුගය දැනට වසර 4000කට පමණ පෙර රජ කළ රාවණා රාජ යුගය ලෙස සැලකීමට සිදු වේ. රාවණා රජු මහා ඍෂි පුලස්තිගේ මුණුබුරෙකු යැයි සැලකේ. මහා ඍෂි පුලස්ති රජතුමා දක්ෂ වෛද්‍යවරයෙකි.

මෙසේ රාවණා රජතුමාගෙන් පැවත එන වෛද්‍ය ක්‍රමය හෙළ වෙදකම ලෙස හැඳින්වේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සංඝමිත්තා මෙහෙනින් වහන්සේ සමඟ ලංකාවට ඉන්දියාවෙන් හඳුන්වා දෙන්නට ඇතැයි පැවසේ. මීට අමතරව අරාබි සංචාරක වෙළෙඳුන් විසින් ලංකාවට යුනානි වෛද්‍ය ක්‍රමයත් හඳුන්වාදුන් බව ද සඳහන් වේ. අද අප රාවණා යුගයේ සිට පැවත එන හෙළ වෙදකමත්, ඉන්දියාවෙන් ගෙනා ආයුර්වේදය සහ අරාබිවරු හඳුන්වා දුන් යුනානි වෛද්‍ය ක්‍රමය යන ත්‍රිත්වය මිශ්‍ර වූ වෛද්‍ය ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමය ලෙස හඳුන්වනු ලබයි.

දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඓතිහාසික තොරතුරු වංශ කතාවලින් මෙන්ම සෙල්ලිපිවලින් සනාථ කරගත හැක. එමෙන්ම රෝහල් ගොඩනැගිලිවල නටබුන් සහ සෞඛ්‍ය කටයුතු සඳහා භාවිත කළ උපකරණ වැනි පුරාවිද්‍යා මුලාශ්‍රවලින් තව දුරටත් තොරතුරු තහවුරු කරගැනීමට හැකිය. එදා වෛද්‍ය අධ්‍යාපනයේ මුල් බිම පන්සලයි. හාමුදුරුවරු මෙන්ම රජවරු ද වෛද්‍ය කර්මයේ යෙදී ඇත. වෙදකම් කළ රජවරු අතර බුද්ධදාස රජතුමාට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එතුමා දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකටය. සාරාර්ථ සංග්‍රහය නම් වෛද්‍ය ග්‍රන්ථය බුද්ධදාස රජතුමා විසින් රචනා කරන ලද්දකි. හත් වැනි අග්බෝ රජතුමා සහ මහා පරාක්‍රමබාහු රජතුමා වෛද්‍යවරු ලෙස කටයුතු කර ඇති බව මහාවංශයේ සඳහන් වේ. එදා භික්ෂූන් වහන්සේලා විසින් වෛද්‍ය ග්‍රන්ථ රාශියක් සංස්කෘත භාෂාවෙන් රචනා කළා පමණක් නොව පසුව පාලි සංස්කෘත භාෂාවෙන් රචිත වෛද්‍ය ග්‍රන්ථ සිංහලට පරිවර්තනය කර ඇත. එදා ලේඛන හැකියාව නොදියුණු තත්ත්වයක පැවති හෙයින් වෛද්‍ය දැනුම සිත්හි ධාරණය කරගෙන මුඛ පරම්පරාගතව පවත්වාගෙන පැමිණ ඇත. ධාරණය කර ගැනීමට ගද්‍යයට වඩා පද්‍ය පහසු නිසා බොහෝ ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ කවියෙන් ලියා ඇත. ඈත අතීතයේ ලියවුණ පුස්කොල පොත් බොහොමයක් ආයුර්වේද ග්‍රන්ථ වේ. ශතවර්ෂ ගණනාවක් තිස්සේ රෝගවලට ප්‍රතිකාර කිරීම නිසා අභ්‍යාසය සහිතව ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇත. ඖෂධ පැළෑටිවලින්, වෘක්ෂලතාදියයෙන්, පශු, පක්ෂි, ඛනිජ ද්‍රව්‍යවලින් චිකිත්ත්සාමය මූලධර්ම සකස් වී ඇත. මෙම දේශීය වෛද්‍ය ක්‍රමයේ මූලධර්මය රෝගයේ නිධානය සොයා ප්‍රතිකාර කිරීමයි. එසේ නොමැතිව මතුපිටින් පෙනෙන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම නොවේ. රෝගය කෙරෙහි බලපාන ශාරීරික හේතු මෙන්ම භෞතික හා මානසික හේතු කෙරෙහිද අවධානය යොමු කෙරේ.

දේශීය වෛද්‍ය ක්‍රමයේ පදනම වූයේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලධර්මයි. එය ප්‍රධාන වශයෙන් නිවාරණය පදනම් කරගෙන, ආයුෂය පවත්වාගෙන යාම අරමුණු කරගත්තෙකි.

එහිදී ප්‍රතිකාර ක්‍රම මෙන්ම, ඇවතුම් පැවතුම් හා වත්පිළිවෙත්ද රෝගයට ප්‍රතිකාර කිරීමේ දී සලකා බැලේ. විශේෂයෙන් රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයට ගොදුරු නොවන පරිදි එදිනෙදා කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. අතීසාරය, පාචනය වැනි ආහාර පද්ධතිය ආසාදිත රෝගියෙක්ගෙන් තවත් අයකුට එම රෝගය වැළඳන්නේ රෝගියාගෙන් පරිසරයට එකතු වන බහිස්ශ්‍රාවී ද්‍රව්‍ය නිරෝගී පුද්ගලයකුගේ මුඛයෙන් ශරීරගත වීමෙන් බව එකල වෛද්‍යවරු දැන සිටියහ. එනිසා මලමූත්‍ර පරිසරයට මුදා නොහැර පොළොව අභ්‍යන්තරයේ තැන්පත් කිරීමට වර්තමාන දියුණු තාක්ෂණය භාවිත කළ වැසිකිළි කැසිකිළි ක්‍රමයක් තිබූ බවට සාක්ෂි පුරාවිද්‍යා නටබුන් අතරින් හඳුනාගෙන ඇත. එමෙන්ම ජලය පවිත්‍ර කිරීමේ ක්‍රම සහ රෝහල් ආශ්‍රිත සෞඛ්‍ය කළමනාකරණ ක්‍රම අදටත් වඩා දියුණු ක්‍රමයක් තිබු බව සනාථ වී ඇත. ක්‍රි.පූ. 3 වැනි සියවසේ බිහි වූ බෞද්ධ ආරාම සඳහා සෞඛ්‍යානුකූල බහිස්ශ්‍රාවී අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් තිබී ඇත. සෞඛ්‍ය ආරක්‍ෂිත වැසිකිළි, කැසිකිළි මෙන්ම සෞඛ්‍යානුකූල නාන ගෙවල්ද ඉදිකර තිබී ඇත. හමුවී ඇති නටබුන්වලින් හෙළි වී ඇත්තේ කැසිකිළිවලින් පිට වන මුත්‍රා මෙන්ම නාන ගෙවල්වලින් පිටවන අපජලය පිරිසුදු කර පරිසරයට මුදා හැර ඇති බවයි. මේවායින් පිට වන අපජලය අඟුරු සහ වැලි ගල් පිරවූ මැටියෙන් තැනු භාජනවලට එකතු වී මැටි නළ පද්ධතියක් මඟින් පිරිසුදු කර පරිසරයට මුදා හැර ඇත. මේ සඳහා පාවිච්චි කළ මැටි හාජන සහ මැටි නළ අනුරාධපුර සහ පොළොන්නරුවෙන් හමුවූ නටබුන් අතර තිබී ඇත. අදින් වසර 2000කට පමණ පෙර බෞද්ධ ආරාමවල තිබී ඇත්තේ අද පවතින අපද්‍රව්‍ය බැස්සවීමේ (Drainage System) ක්‍රමයයි. 

ඒ සඳහා වැසිකිළි පෝච්චි නිර්මාණය කර තිබී ඇත්තේ තද පාෂාණයකිනි. එම පාෂාණය හුණු බදාමවලින් කපරාරු කර මළපහ පහසුවෙන් බැහැර වන ලෙස නිර්මාණය කර ඇත.

මළපහ සේදී ගොස් පිටතින් ඇති වළකට එකතුවීමට සලස්වා ඇත. මෙවැනි වැසිකිළි පද්ධති අභයගිරියෙන්, ජේතවනයෙන් බටහිරාරාම වැනි අනුරාධපුර පැ‍රැණි විහාරාරාමවල නටබුන් අතරින් හමු වී තිබේ. අද අප අතර ජනප්‍රිය වී ඇති වැසිකිළි පෝච්චි ක්‍රමය බටහිරෙන් අපට හඳුන්වාදුන් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. එහෙත් අපේ ඉතිහාසය නිසි පරිදි අධ්‍යයනය කර බැලීමේදී පෙනී යන්නේ මේ වත්මන් තාක්ෂණය අපේ පැරැන්නන් භාවිත කර ඇති බවයි. විහාරාරාමවල හමු වී ඇති නාන ගෙවල්වල නටබුන්වලින් සනාත වන්නේ ඉතා සතුටුදායක සෞඛ්‍යානුකූල ක්‍රම භාවිත කර ඇති බවයි. මේවා පොදුවේ හඳුන්වනු ලබන්නේ ජන්තාඝර (උණු පැන් නාන ගෙවල්) ලෙසයි.

ශ්‍රී ලංකාවේ පැ‍රැණි ආයුර්වේද රෝහල් කිහිපයක්ම පිළිබඳව මහාවංශයේ සඳහන් වේ.දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ.247) මිහින්තලා කඳු පාමුල ආරෝග්‍යශාලාවක් කරවා ඇති අතර, මෙය ලොව ප්‍රථම ආයුර්වේද ශාලාව ලෙස සැලකේ. මීට අමතරව තවත් රෝහල් කිහිපයක් පිළිබඳව මහාවංශයේ සඳහන් වේ. සිවිකාශාලා (සූතිකාගාර), සොත්තිසාලා ගිලාන සාලා, වෙජ්ජසාලා මෙන්ම භික්ෂූ වෛද්‍ය ශාලා එකල තිබී. බුද්ධදාස රජතුමාගේ කාලයේ (ක්‍රි.ව. 337-365) සෑම ගම් දහයකටම රාජකීය වෛද්‍යවරයෙක් පත් කර ඇත. රජතුමා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. "රජකම බැරිනම් වෙදකම" යැයි ජනප්‍රිය කියමනක් ලාංකිකයන් අතර භාවිතයට එන්නට ඇත්තේ මෙතුමා නිසා විය හැක. බුද්ධදාස රජතුමා අනාගත වෛද්‍යවරුන්ගේ ප්‍රයෝජනය පිණිස වෛද්‍ය ශාස්ත්‍රයේ සාරය එක්තැන්කොට සාරාර්ථ සංග්‍රහය' නම් අගනා වෛද්‍ය ග්‍රන්ථයක් රචනා කර ඇත. රජුගේ මාලිගාවට යාබදව බෙහෙත්ගේ නමින් විද්‍යාගාරයක් තිබී ඇත. මෙය මහනුවර යුගය දක්වාම පැවත ඇත. 4 වැනි දප්පුල රජතුමා (ක්‍රි.ව. 924-935) බෙහෙත් ගෙට ඉඩම් පරිත්‍යාග කොට එහි සේවකයන්ට ඉඩම් දුන් බව වෙස්සගිරිය පුවරු ලිපියේ සඳහන් වේ. දප්පුල රජතුමා වෛද්‍යවරයකුට ගම්වරයක් දුන් බව දොරබාවල ටැම් ලිපියේ සඳහන් වේ. මීට අමතරව ධාතුසේන රජතුමා (ක්‍රි.ව. 460-478), දෙවැනි උපතිස්ස රජතුමා (ක්‍රි.ව. 522-524), 1 වැනි උදය රජු යන රජවරුන් ආබාධිතයන් සහ කොර තැනැත්තන් සඳහා විශේෂ රෝහල් තනා ඇති බව මහාවංශයේ සඳහන් වේ. දෙවැනි උපතිස්ස රජතුමාගේ කාලයේ මුල්ම මාතෘ නිවාසය පිහිටුවා ඇත. අනුරාධපුර, පොළොන්නරු නගරවල ආරාමවල භික්ෂූන් සඳහා වෙනම රෝහල් පිහිටුවා ඇත. මිහින්තලේ ආලාහන පිරිවෙනේ මෙන්ම මැදිරිගිරියේ ආරාමවල නටබුන්වලින් රෝහල් තිබූ බවට සාධක හඳුනාගෙන ඇත. විශේෂයෙන් සෙල්මුවා බෙහෙත් ඔරු සහ වෛද්‍ය උපකරණ රාශියක් හමු වී ඇත.

බෙහෙත් ඔරුව පැ‍රැණි වෛද්‍ය ක්‍රමයේ අපූරු නිර්මාණයකි. ඉතිහාසඥ එච්,සී.පී. බෙල් විසින් 1886දී ථූපාරාමයේ නටබුන් අතරින් බෙහෙත් ඔරුවක් පළමුවෙන් සොයාගෙන ඇත. මෙසේ බෙහෙත් ඔරුවේ ගිල්වා කරන ප්‍රතිකාරය විශේෂඥ ප්‍රතිකාරයක් වන අතර, එය 'අවගාහන කායික චිකිත්සාව' නමින් හඳුන්වා ඇත. මෙවැනි බෙහෙත් ඔරු අනුරාධපුර, මිහින්තලේ,දිඹුලාගල, මැදිරිගිරිය යන ස්ථානවල නටබුන් අතරින් හමු වී ඇත. බෙහෙත් ඔරුව තනි ගල් කුට්ටියකින් මිනිස් ශරීරයේ හැඩයට නිර්මාණය කර ඇත. මෙම ඔරුවට ඖෂධ ලෙස ශාක යුෂ, කිරි, ගිතෙල්, තෙල් වර්ග සහ විනාකිරි යොදාගෙන ඇත. මීට අමතරව ඒ ඒ රෝගවලට අදාළ විශේෂ ඖෂධ වර්ග භාවිත කර තිබේ. වාත රක්තය, චර්ම රෝග, අර්ශස් සහ උණ රෝගවලට බෙහෙත් ඔරුවේ ගිල්වා ප්‍රතිකාර කර ඇත.
බෙහෙත් ඔරුවලට අමතරව නටබුන් අතරින් බෙහෙත් ඇඹරුම් ගල්, ගල්වලින් සහ වානේවලින් නිර්මාණ කලශල්‍ය කතුරු, සැත්කම් පිහි ආදියද හමු වී ඇත.

මේවා පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ මහාචාර්ය අර්ජුන අලුවිහාරේ ඇතුළු විශේෂඥ කණ්ඩායමක් පවසන්නේ හමුවී ඇති ශල්‍ය උපකරණ විශ්මිත ඒවා බවයි. එක්ස් කිරණ මඟින් මුත්‍රාශයේ ගල් ආදිය හඳුනාගැනීමේ පරීක්ෂණ නොමැති යුගයක මුත්‍රා මාර්ගය තුළින් සියුම් උපකරණයක් ඇතුළු කර මුත්‍රා ගල් පිළිබඳව පරික්ෂා කළ හැකි උපකරණ හමු වී ඇත.

එමෙන්ම වර්තමානයේ භාවිත කරන ශල්‍ය උපකරණවලට බොහෝ දුරට සමාන සැත්කම් පිහි සහ ශල්‍ය කතුරු හමුවී ඇත. එමෙන්ම ඝන ලෝහ මිටක් (handle)සහිත සැත්කම් කතුරු, තුවාල පිරිසුදු කිරීමට සහ ශල්‍යකර්මවලින් පසු මැහුම් දැමීම සඳහා භාවිත කළ සියුම් උපකරණද නටබුන් අතර තිබී හමු වී ඇත. දැවයෙන් සාදන ලද මිටක් සහිත සැත්කම් පිහිද භාවිත කළ බවට සාක්ෂි හමු වී ඇති බව මහාචාර්ය අලුවිහාරේ ඇතුළු කණඩායම පවසයි.

එදා වෙදකමේ ඖෂධ බොහොමයක් සඳහා ශාකමය පංචාංගය (මුල්, කොළ, පොතු, මල්, ගෙඩි) යොදාගෙන ඇත. ඔසුපැන් යුෂ, තෙල්, බෙහෙත්, ගුලි, කල්ක, ආසව, කසාය, අරිෂ්ට නිෂ්පාදනය කර භාවිත කර ඇත. මේ සඳහා මී පැණි, කිරි, කස්තුරි ආදී සත්ව මුලාශ්‍රද යොදාගෙන ඇත. මේ ඖෂධ අවශ්‍යතා සඳහා ඔසු උයන් පවත්වාගෙන ගොස් ඇත. ඇතැම් ඖෂධ ඉන්දියාවෙන් සහ අසල්වැසි රටවලින් ආනයනය කර ඇති බවට සාක්ෂි තිබේ. රිටිගල නටබුන් පරික්ෂා කිරීමේදී එහි ඔසු උයනක් පමණක් නොව ඖෂධ නිෂ්පාදනාගාරයක් යැයි සැක කළ හැකි ගොඩනැගිල්ලක නටබුන් හමු වී ඇත.

ඖෂධ පානය ,තෙල් ගැල්වීම, සම්භාහනය, නස්‍ය කිරීම, සැත්කම් ආදිය රෝගවලට ප්‍රතිකාර සිදු කර ඇත. මීට අමතරව දෛනික ව්‍යායාම, යෝග සහ භාවනා ක්‍රම, ආහාර චර්යාවන් ද ප්‍රතිකාර ක්‍රම සමඟ බැඳී තිබී ඇත. මේ ප්‍රතිකාර විධි ක්‍රමය අද බටහිර වෛද්‍ය ක්‍රමය තුළද භාවිත කරනු පෙනේ. හෙළ වෙදකම, සර්වාංග වෙදකම, කැඩුම් බිඳුම් වෙදකම, (ගස් වෙදකම)දැවුම් පිළිස්සුම් වෙදකම, කැපුම් තුවාල වෙදකම, ඇස් වෙදකම, උමතු රෝග වෙදකම, චර්ම රෝග වේදකම, නිල වෙදකම ආදී ප්‍රධාන අංශ කිහිපයක් යටතේ සංවර්ධනය වී ඇත. සමහර අංශ වේද පරම්පරා යටතේ සංවර්ධනය වී ඇති බව පෙනේ. සමහර අංශ වේද පරම්පරා යටතේ විශේෂඥ සේවා දක්වා වර්ධනය වී තිබීම විශේෂත්වයකි. අද පවා විශේෂඥ දේශීය වෛද්‍ය සේවා ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වේ. කාලයට ගැලපෙන ආකාරයට දේශීය වෙදකම නවීකරණය කළ යුතු යැයි බොහෝ දෙනෙක් පවසයි. එහෙත් මෙය ඉතා කල්පනාකාරීව ක්‍රියාවට නැංවිය යුත්තකි. හෙළ වෙදකම සොබාදහම හා බැඳී පවතින්නකි.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයෙන් බිඳක්.....
රෝගීන් රාශියකට පහසුකම් සහිතව නේවාසිකව ප්‍රතිකාර ගත හැකි රෝහල් සංකල්පය ශ්‍රී ලංකාවේ ක්‍රි.පූ. සිව්වැනි සියවස තරම් දුරාතීතයේ පණ්ඩුකාභය රජුගේ රාජ්‍ය සමයේදී හඳුනාගත් බවට මහාවංශය සාක්ෂි දරයි. මෙය ගෞතම බුදුරජාණන් වහන්සේ හරහා පැමිණි සංකල්පයක් යැයි සැලකේ. ඇසිරියාව, බැබිලන් හා මුල් කාලයේ දී ඊජිප්තුවේද ආයුර්වේදයටත් වඩා ඔවුන්ගේ පැරණි වෛද්‍ය ක්‍රම පැවතුණද රෝහල් පැවති බවට සාක්ෂි නැත. චීනයටද රෝහල් තිබී නැත. මෙම රෝහල් ඇතිකිරීමේ අදහස බුරුමය, සියම හා ලංකාව වැනි බෞද්ධ රටවල සිට යුරෝපයටද පැතිර ගියේය. තවද බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍ය සඟරාවට අනුව ලංකාව හා බුරුමයේ සෑම තැනම රෝහල් පැතිර ඇති බවට පෙනේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවට අනුව “රෝහල් සංකල්පය ගැන ගෞතම බුදුරජාණන් වහන්සේට හා උන්වහන්සේගේ අනුගාමිකයින්ට අපි ණය ගැති වෙමු ”ලෙස අදහසක් දැක්වේ.

ශ්‍රී ලංකාවේ රෝහල් ඉදි වූ ආකාරය පිළිබඳව සී.ජී. ඌරාගොඩ වෛද්‍යතුමාගේ (බටහිර වෛද්‍යවරයෙකි.)  “A HISTORY OF MEDICINE IN SRI LANKA” නම් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථයෙහි,  “ශ්‍රී ලංකාවේ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසය” නමින් ආයුර්වේද වෛද්‍ය ටී.එස්.ද.එස්. ගුණවර්ධන වෛද්‍යතුමා සිංහලයට පරිවර්තනය කළ ග්‍රන්ථයේ ප්‍රථම භාගයේ (1994 ප්‍රථම මුද්‍රණය) 39 වෙනි පිටුවේ මෙසේ සඳහන් වේ.

” IV වැනි මහින්ද රජුගේ (ක්‍රි.ව.956-972) පුත්‍රයා විසින් ගිහියන් සඳහා අනුරාධපුරයේ රෝහලක් තැන වූ බව සඳහන් වේ. (චූලවංශය 54, 53)

කෙසේ වෙතත්, භික්ෂූන් සඳහා රෝහල් ඉදිවූ බවට මහා වංශයේ විශේෂ සඳහනක් නොමැතත එහෙත් ආශ්‍රමයක් වූ මිහින්තලයේ රෝහලක් තිබිණි; 

චේතිය කන්දෙහි II වැනි සේන රජු (ක්‍රි.ව.851-885) රෝහලක් ඉදි කළේය.” (චූල වංශය 51. 73)
ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරයේ ස්වර්ණ සමය තුළදී අනුරාධපුරය සහ පොළොන්නරුව එහි පිළිවෙලින් පැවති අගනුවරවල් වූ නිසා වෛද්‍ය ආයතන පිහිටුවීමෙන් ඒවාට විශේෂත්වයක් ලැබිණි. 

පණ්ඩුකාභය සහ V වැනි  කාශ්‍යප රජවරුන් (ක්‍රි.ව.913-923) විසින් අනුරාධපුරයෙහි එවැනි ආයතන ඉදි කරන ලදී. 

I වැනි උදය රජුගේ (ක්‍රි.ව.792-797) මහා දායානුකම්පාව නිසා ඔහු පුලස්ති නගරයෙහි (පොළොන්නරුව) රෝගීන් සඳහා විශාල ශාලාවක් ඉදි කළේ ය. (චූල වංශය 49. 19)

විවිධ රජවරුන් විසින් නොයෙක් කාලවලදී විශේෂිත රෝහල් ඉදි කරන ලදී. 

බුද්ධදාස (ක්‍රි.ව.362-409), (ම.ව.37,148)

ධාතුසේන (ක්‍රි.ව. 460-478)

II උපතිස්ස, (ක්‍රි.ව. 522-524) 

සහ I උදය, යන රජවරුන් විසින් කොරුන් සඳහා ආයතන ඉදිකරන ලදී. 

බුද්ධදාස සහ II උපතිස්ස යන රජවරු අන්ධයින් සඳහාද රෝහල් ඉදිකළහ. 

ප්‍රථම මාතෘ නිවාසය පිහිටුවන ලද්දේ II උපතිස්ස රජ විසින් විය හැකිය. (ම.ව. 27.182)

වසංගත රෝගයක් වු “උපසග්ග” රෝගයට එරෙහිව IV වෙනි කාෂ්‍යප රජ (896-913) විසින් අනුරාධපුරයෙහි සහ පොලොන්නරුවෙහි රෝහල් ඉදිකරන ලදී. මෙහි අර්ථ නිරූපනය නිවැරදි නම් මේවා ශ්‍රී ලංකාවේ ප්‍රථම බෝවෙන රෝග රෝහල් විය.

පණ්ඩුකාභය (ක්‍රි.පූ. 394-307) රාජ්‍ය සමයෙහිදී “රෝග වලින් සුවය ලබන්නන් සඳහා ශාලාවක්” අනුරාධපුරයේ විය.  ක්‍රි.පු. 3 වැනි  සියවස තරම් දුරාතීතයේ පවා රෝගෝපසම නිවාස පිහිටුවා තිබීම මවිතයට කරුණකි. සමාජ-ආර්ථීක හේතු නිසා නිවසේ තිඛෙන දුෂ්කරතා හේතුකොටගෙන වාට්ටුවල තදබදය ඇති කරමින් රෝහලෙන් පිටවී යාමට සුදුසු රෝගීන් දිගටම රෝහලේ නැවතී සිටීම සායනිකයින්ට මෙන්ම රෝහල් පාලකයින්ටද එකසේ මුහුණු පෑමට සිදු වී තිඛෙන වර්තමාන ගැටළුවට තිඛෙන පිළිතුර මෙම සංකල්පය වනු ඇත.”

ඉහත ග්‍රන්ථ ගත තොරතුරු අනුව පෙනීයන්නේ ශ්‍රී ලංකාව තුළ බටහිර වෛද්‍ය ක්‍රමය නොතිබුණු ඈත අතීතයේ දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ප්‍රතිකාර කළ රෝහල් පැවති බවටයි. ඒ බව ඉදිරි විස්තර වලදී තවදුරටත් පැහැදිලි වනු ඇත. මෙම රෝහල් වලින් මිහින්තලේ, මැදිරිගිරිය හා පොළොන්නරුවේ ආලාහන පිරිවෙන යන ආශ්‍රමවල පිහිටුවන ලද රෝහල්වල ගොඩනැගිලිවල නටඹුන් අද ද දක්නට ලැබේ. එම ස්ථාන වලින් හමු වූ ඛෙහෙත් ඔරු, පැරණි ඖෂධ ව්‍යවහාරවලට අදාළ ශිලාලේඛන හා වෙනත් උපකරණ මගින් ඒවා රෝහල් බව තහවුරු වී ඇත...

එම මිහින්තලේ, මැදිරිගිරිය හා පොළොන්නරුව රෝහල් පිළිබඳව කෙටි විස්තරයක් මෙහි ඉදිරියෙන් සඳහන් වේ.

මිහින්තලේ රෝහල.......
ක්‍රි.ව. නව වැනි සියවසේ දී ඉදිකරන ලද මෙය ලෝකයේ පැරණිතම රෝහල යැයි දැනට සැලකේ. (හීන්ස් ඊ මලර් – ඩයට්ස්, හිස්ටරියා, හොස්පිටලියම් – 1975) මෙම රෝහල II වැනි සේන රජු විසින් හෝ IV වැනි මහින්ද රජු (ක්‍රි.ව. 956 – 972) විසින් ඉදිකළ බවට මත දෙකකි. පළමු මතයට තුඩු දෙන්නේ IV වැනි මහින්ද රජු “චේතිය කන්දෙහි” රෝහල් ඉදිකළ බවට මහාවංශයේ සාක‍ෂියයි. දෙවැනි මතයට ඇතැම් වක්‍ර ශිලාලේඛන සාක‍ෂි තිබේ.
මෙය පිටත හා ඇතුළත අංගනයකින් යුක්තය. ඖෂධ නිෂ්පාදනය හා ගබඩා කිරීමට යොදාගත් කාමර ද, දානශාලාව ද, උණු දිය නාන භාජන සහිත කාමර ද, දොරටු පාලයාගේ කුටිය සහිත ප්‍රධාන දොරටුව ද පිටත අංගනයෙහි විය. නාන උණුදිය භාජනයට ප්‍රධාන ඔරුවක් තිබිණි. එය ද අද නානකාමරවල තිඛෙන “Bathtab” නම් නානකාමරවල ඇති පුද්ගලයෙකුට බැස නා ගත හැකි විශාල බේසම්වලට අනුරූපය. ඖෂධ පිළියෙල කරන කාමර අසල ඇඹරුම් ගල් තිබිණි.

ඇතුළත අංගනයෙහි වටේට චතුරස්‍රාකාර කාමර හෝ කුටි කිහිපයක් විය කෙළවර කාමර හතර අනික් ඒවාට සාපේක‍ෂව විශාල විය. සමහර විට කුඩා කාමර රෝගී වූ භිකෂූන් වහන්සේලාට ඉඩ පහසුකම් ලබාදුන්නා විය හැක. මෙම කාමර ආලින්දයකට විවෘත විය. ඒ සියල්ල ප්‍රධාන අංගනයට මුහුණලා තිබිණි. එහි මැද විහාරයක් ද විය. ආගමික කටයුතු එහි සිදුකරන්නට ඇත. මෙය රෝගීන්ගේ මානසික සුවයට අස්වැසිල්ලක් වන්නට ද ඇත. යම් කිසි පොදු කාර්යයන් සඳහා යොදාගන්නට ඇතැයි සැලකෙන විශාල කාමර වලින් එකක ඛෙහෙත් ඔරුව තිබිණි. (ඛෙහෙත් ඔරු ගිල්ලූම් චිකිත්සා වලට යොදා ගන්නා බව ආයුර්වේදයේ සඳහන් වේ. එහි දී සම හරහා ඖෂධ ද්‍රව්‍ය සිරුරට ඇතුළු වේ.)

වෛද්‍යමය වැදගත්කමක් ඇති මිහින්තලේ පිහිටි ශිලාලේඛන දෙකක් ඇත. ඉන් එකක තොරතුරු අනුව පැහැදිලි වන්නේ එකල අතුරු වෛද්‍ය සේවාවක් ක්‍රියාත්මක වූ බවයි. මක් නිසාද එහි එක් එක් සේවාවල වැටුප් සඳහන් වේ. එහි දී වෛද්‍යවරුන්ගේ වැටුපට වඩා අඩු වැටුපක් කූඩැල්ලන් යොදන වෛද්‍යවරුන්ට නිර්දේශිතය. (කූඩැල්ලන් යෙදීම ආයුර්වේදයේ දී දූෂිත රුධිරය ඉවත් කිරීමට යොදන චිකිත්සාවක් වේ. මෙහි දී මේ සඳහා විශේෂ කූඩැල්ලන් තෝරා ගන්නා අතර ඒ සඳහා නියමිත ක්‍රමවේදයක් ද වේ.) එම නිසා එය අතුරු වෛද්‍ය සේවාවක් ලෙස සිතිය හැක. අනික් ශිලා ලේඛනයෙහි ආරාමය සඳහා නීතිරීති දැක්වේ. “වෛද්‍ය නිර්දේශ අනුව රෝගී භික්ෂූන්ට ආහාර දිය යුතු බව” ඉන් එක් නීතියකි.

මැදිරිගිරිය රෝහල......
මැදිරිගිරිය වටදාගෙය ආශ්‍රිතව සියවස් ගණනාවකට පෙර රෝහලක් පැවති බවට ශිලාලේඛන සාක්ෂි තිබේ. එය මෙතෙක් ශ්‍රී ලංකාවේ සොයාගෙන ඇති දෙවැනි පැරණිම රෝහල ලෙස සැලකේ. වටදාගෙයට  කිලෝමීටර් 0.5ක් පමණ දුරින් පිහිටි ගල් කණු සහිත ගොඩනැගිල්ලක නටඹුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇති අතර එය මෙම රෝහල ලෙස සලකයි. මෙම වටදාගෙට නුදුරින් ගල්ඛෙහෙත් ඔරුවක් ද හමු වී ඇත. මේ රෝහල පිළිබඳව සඳහන්ව ඇති එක් එක් ශිලාලේඛන සාක‍ෂිවලට අනුව පහත සඳහන් කරුණු ඉදිරිපත් කළ හැකිය.

1907 දී සොයාගත් මැදිරිගිරිය ගල්ලෑල්ලක වූ ශිලා ලේඛනය අනුව, (මෙය රෝහල් පරිපාලනය සඳහා නීති ඇතුළත් වූ නියෝග ගලක් ලෙස සැලකේ.)

රෝහල පවත්වාගෙන යෑමේ වගකීම රජුගේම සේවකයින් සහිත ආයතනයකට හෝ කාර්යාලයකට පවරා තිබිණි. රෝහල් සේවකයින්ට ඔවුන් ලවා වැඩකරවා ගැනීම තහනම් විය.

රජුවිසින් රෝහලට පරිත්‍යාග කරන ලද ඉඩම් සහ ගම්වල ආදායමින් රෝහල් නඩත්තු වූ අතර රෝහල් දේපළ එහි සේවකයින් විසින් අයුතු ලෙස අත්කර ගැනීම වැළැක්වීමට නීති එහි විය. රෝහල් නිළධාරියකු යම් වංචාවක් කළ විට වර්තමානයේ මෙන් වෛද්‍යවරු හා අනික් නිළධාරීන් එක්ව පරීක‍ෂණ පවත්වා එම වරද ඔප්පු කරයි. (දඩුවම් නියම කිරීමට)
වෛද්‍යවරුන්, අනිකුත් නිළධාරීන් හා සේවකයින් ද වැරදි කළ විට සේවයෙන් පහකිරීමේ දඩුවමට යටත්වේ.
රජමාලිගයේ අධිපතිවරු අවුරුදු පතා රෝහලේ කටයුතු විමර්ශනය කරන ලදී.

රෝගීන්ට කරදර වන ආකාරයට ශබ්ද ඇතිවන ලෙස සංගීත භාණ්ඩ වාදනය, මත්පැන්බීම ආදිය රෝහල් සීමාවේ තහනම් විය.

1897 දී මැදිරිගිරියෙන් සොයාගත් V වැනි කාෂ්‍යප (ක්‍රි.ව.914 – 923) රජුගේ යැයි සැලකෙන තවත් සෙල්ලිපියකට අනුව රෝහල ආසන්නයේ පිහිටි ගමකට දෙන ලද ඇතැම් වරප්‍රසාද සඳහන් වේ. මෙහි භික්ෂූන්ට පමණක් නොව ගිහියන්ටද ප්‍රතිකාර කර ඇත.

මළ එළුවන් හා කුකුළන් රෝහලට සැපයිය යුතු බව සඳහන් වේ. ඒවා නේවාසිකයින්ගේ ආහාර පිණිසය. (වර්තමානයේ රෝහල්වලට ආහාර සපයන කොන්ත්‍රාත්තු මෙන් ය)

ක්‍රි.ව.1947 දී අනුරාධපුරයෙන් සොයාගන්නා ලද  II වැනි උදය රජුගේ (ක්‍රි.ව. 885 – 896) යැයි සලකන තවත් ශිලාලේඛනයක දුරින් පිහිටි මැදිරිගිරිය රෝහල ගැන සඳහන් වේ. එහි රෝහලට ඉඩම් දීම ගැන සඳහන් වෙයි. දුර තිඛෙන රෝහලක් ගැන මෙසේ සඳහන් වීමෙන් එම රෝහල එකල උසස් කීර්තියක් උසුලන්නට ඇතැයි සිතිය හැකිය.

පොළොන්නරුව රෝහල......
ක්‍රි.ව.1982 වර්ෂයේ දී කැණිම් වලින් සොයාගත්, රන්කොත් වෙහෙර සමීපයේ පිහිටා ඇති මෙය මිහින්තලේ රෝහලට බොහෝ සමාන වේ.

මෙම ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඛෙහෙත් ඇඹරුම් ගලක්, කතුරක්, ගෙඩි පැලීම සඳහා (භේදනයට) භාවිතා කළ තඹ ශෛල්‍ය උපකරණයක් හා ඖෂධ ගබඩා කිරීමට යොදාගත් පිඟන් මැටි බරණි (ඖෂධ ගබඩා කිරීමට යොදාගන්නා භාජන) වලින් ද පැහැදිලි වන්නේ එකළ රෝහල්වල කටයුතු වඩා උසස් අන්දමින් සිදු වූ බවට ඇති සාක‍ෂිය.

දෝති වලක්නා විසින් මෙම රෝහල අරඹන ලද බවට ලංකා ශිලා ලේඛන සාක‍ෂි දරයි. මෙය පුද්ගලික තැනැත්තෙකු රෝහල් ඉදිකළ බවට තිඛෙන දැනට හමුවූ එකම සටහන මෙය වේ. මෙම රෝහලට රජය සක්‍රියව සහයදුන් බව එහි සඳහන් වෙයි. තවද රෝහලට ආයුර්වේදයේ මහඟු ඖෂධයක් වන වියළි ඉඟුරු පෑලක් බදු වශයෙන් වසරක් හැර වසරක් සැපයිය යුතු බව මෙහි සඳහන් වේ. එසේ ඉඟුරු දීම අපහසු විට රත්රන් හුණක් දිය යුතු බව ද සඳහන් වේ.

අතීතයේ රෝහල් ගැන සඳහන් ඉහත විස්තර වලින් පැහැදිලි වන්නේ එකළ ද වර්තමානයේ මෙන් රෝහල් පරිපාලනය, අතුරු වෛද්‍ය සේවා, රෝහල් වලට ඖෂධ හා ආහාර සැපයීම, රෝහල්වල උපකරණ හා ශල්‍යකර්ම ආදිය සිදුවීම සැලකූ විට ඒවා අප රටට වර්තමානයේ බැහැරින් පැමිණි සංකල්ප නොවන බවයි.

මීට අමතරව අතීතයේ දී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉහළ ස්ථානයක තිබූ බවට පහත සාක‍ෂිද වැදගත් වේ.

මහා වංශයට අනුව බුද්ධදාස රජතුමා වෛද්‍යකර්මය, ශෛල්‍යකර්මය සහ සූතිකාකර්මය මෙන්ම පශුවෛද්‍යකර්මයෙහි ද නිපුණයෙක් වීම.

VII වැනි අග්ගබෝධි රජතුමා (ක්‍රි.ව.766 -772) මුළු ලංකාද්වීපයේම ඖෂධ පැළෑටි රෝගීන්ට හිතකරද අහිතකරද පිළිබඳව අධ්‍යයනයක් කළේය. ලංකාවේ වෛද්‍ය පර්යේෂණ පිළිබඳව  ප්‍රථම වාර්තාගත සිද්ධිය මෙය විය හැක.
වෛද්‍යකර්මයේ නිපුණ පරාක්‍රමබාහු රජතුමා ගම් හා වෙළඳ නගර සොයාගෙන රෝග සුවකිරීමට වෛද්‍ය ශිල්පයේ සුදුසුකම් ලැබූ අයට නියම කළේය. එනම් එහි අභිප්‍රාය දක‍ෂතා සහිත පුද්ගලයින්ගේ සේවාව උපරිමයෙන් ලබාගැනීමයි.

දෙවැනි දොරබවිල ටැම් ලිපියට අනුව ප්‍රධාන වෛද්‍යවරයෙකුට දෙන ලද වරප්‍රසාද ගැන සඳහන්වේ. එය එකළ භික්ෂූන්ට දෙන ලද ප්‍රමාණයටත් අධිකය. (එය වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය තනතුරට සමාන කළ හැකි බව හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ගොඩකුඹුර මැතිතුමා සඳහන් කරයි)

ශිලා ලිපි සටහන් අනුව වෛද්‍යවරු ජ්‍යෝතිෂ ශාස්ත්‍ර කටයුතු වලද ඉගැන්වීමෙහි ද යෙදී ඇත. පරණවිතාන මැතිතුමාගේ විශ්වාසය අනුව බලන කළ මෙරට මුල්ම සෙල්ලිපිවල වෛද්‍යවරුන්ගැන සඳහන්වීම එකළ වෛද්‍ය ශාස්ත්‍ර ඉතිහාසයේ තවත් වැදගත් කරුණකි.

ආයුර්වේදයේ සඳහන් ශාක ඖෂධ බොහොමයක් දේශීයව වගාකරන ලද අතර සමහර ඒවා ආනයනය කරන ලද බවට මහාවංශයේ සඳහන් වේ.

මිහින්තලේ රෝහලෙන් සොයාගත් පර්සියානු සම්භවයෙන් යුතු නිල්පැහැති ඔපවත් බරණි දෙක ද, පොළොන්නරුව රෝහලෙන් සොයාගත් පිඟන් භාණ්ඩ කැබලි ද, රෝහල්වල ගබඩා කටයුතු සඳහා වූ භාණ්ඩ ආනයනය කළ බවට සාක‍ෂි වේ. එම පිඟන් භාණ්ඩවල චීන අක්‍ෂර ද තිබී ඇත. එය එම භාණ්ඩ ආනයනය කරන ලද රට පිළිබඳව සටහනකි.

ද්‍රව ඖෂධ අලංකාර කලස්වල ගබඩා කළ අතර ඛෙහෙත් ගුලි සඳහා අලංකාර පෙට්ටි යොදා ගන්නා ලදී. ඒ අතර සමහර ඒවා විසිතුරු කැටයම් සහිතව ඇත් දළ වලින් නිමවා තිබී ඇත. තවද ඛෙහෙත් දීම සඳහා සඳුන් ලීයෙන් සෑදු කොප්ප තිබූ බවට සාක‍ෂි තිබේ.

IV වැනි මහින්ද රජු (ක්‍රි.ව.956 – 972) සියළුම රෝහල්වලට ඖෂධ හා ඇඳන් ඛෙදා දුන්නේ ය.

අතීතයේ දී කැසිකිළිවල මුත්‍රා විශේෂ පෙරණ (එය වැලි තට්ටු, අඟුරු තට්ටු ආදියෙන් සමන්විත මැටි භාජනවලින් නිර්මිත පද්ධතියකින් සමන්විත විය.) ක්‍රමයකින් පෙරා පරිසරයට මුදා හැර ඇත. එසේ පෙරීමෙන් පසු එම පෙරණය (පෙරීමට ලක් වූ මුත්‍රා) සාමාන්‍ය ජලයට බොහෝ දුරට සමාන වූ බව කියවේ. එම උපකරණවල නටඹුන් ද, තවත් අතීත ශල්‍ය උපකරණ හා වෙනත් වෛද්‍ය උපකරණවල නටඹුන් ද අද අනුරාධපුරය හා පොළොන්නරුව පූජා භූමිවල පිහිටි කෞතුකාගාරවලින් දැකගත හැකිය.

“පුරාණ වෛද්‍ය උපකරණ පහසුවෙන් වර්ග දෙකකට ඛෙදිය හැකිය.එනම්...

ශල්‍ය කටයුතු සඳහා යොදා ගන්නා ලද උපකරණ සහ ඖෂධ පිළියෙල කිරීම, ගබඩා කිරීම සහ යෙදීම සඳහා භාවිත කරන ලද උපකරණ ද යනුවෙනි. මෙම උපකරණවලින් සමහරක් පැරණි රෝහල් බිම්වලින් හාරා ගොඩගෙන ඇති අතර, රෝහල්වලට ඒවායේ තිබුණ සම්බන්ධය නිසා ඒවායේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇත. මෙම භාණ්ඩ වෙනත් භූමි භාගයකින් සොයා ගත්තේ නම්, ඒවායේ අනන්‍යතාවය ප්‍රශ්නයකට තුඩු දිය හැකිව තිබිණි. එනම්, ඒවා වෙනත් කටයුත්තක් සඳහා ද යොදා ගත හැකිව තිබුණ බැවිණි.

මහා වංශයේ හමුදා වෛද්‍යකර්මය පිළිබඳව තොරතුරු සඳහන් වේ. මෙසේ තම සොල්දාදුවන්ගේ සෞඛ්‍ය රැකගැනීම සඳහා වෛද්‍ය සේවයක් ඇරඹූ මුල්ම රජතුමා බුද්ධදාස රජතුමා (ක්‍රි.ව.388 – 416) යි. වර්තමාන යුද හමුදා වෛද්‍ය සේවයේ පූර්වාංග පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙහි. (ක්‍රි.ව.1153 -1186) තිබූ අතර ඒ පිළිබඳව ද වෛද්‍ය ඌරාගොඩ මහතාගේ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ.

“වර්තමාන යුද හමුදා වෛද්‍ය සේවයේ පූර්වාංග පරාක්‍රමබාහු රජතුමාගේ (ක්‍රි.ව.1153 -86) රාජ්‍ය සමයෙහි තිබිණි. පහළ බුරුමයේ පේගු ප්‍රදේශය ආක්‍රමණය කිරීම සඳහා ඔහුගේ යුද හමුදාව සමග “විෂ යෙදූ ඊතලවලින් සිදු වූ තුවාල සුව කිරීමට හරක් අං තුළ බහා ආරක‍ෂා කළ විවිධ ඖෂධ මෙන්ම එරට බොහෝ වගුරු බිම්වලින් ආසාදිත ජලය පිරිසිදු කිරීම සඳහා සියළු පිළියම් ක්‍රමද, ශරීරයේ ගැඹුරට කා වැදුන විට ඉවත් කිරීමට අපහසු මිට කැඩුන ඊතල හිස් උදුරා දැමීම සඳහා යකඩ අඞුද අවසාන වශයෙන් දක‍ෂ වෛද්‍යවරුන් සහ සේවය කරන ගැහැනුන් ද ඇතුළු සෑම දෙයක්ම අංග සම්පූර්ණව” ගෙන යන ලදී.

මානාභරණ සමග කළ සටනකදී, පරාක්‍රමබාහු, තුවාල ලත් අය වෛද්‍යවරුන්ගේ භාරයට පත් කළේය. යුද හමුදාවට බැදෙන අයගේ යෝග්‍යතාවය පරීක‍ෂා කිරීම සඳහා ඔහු තමාගේ වෛද්‍ය පරීක‍ෂණ ක්‍රමයක් යොදා ගත්තේ ය. ඔහු වීදියෙහි සටන් පිළියෙළ කළේය. දක‍ෂතම අය තෝරාගෙන ඔවුන්ට උසස් තාන්න මාන්න ප්‍රදානය කළේය. සටන් කිරීමට නුසුදුසු අයට අනුකම්පාවෙන් ඔවුන් අස් කළේය.

කඳවුරුවල වාසය කරන සොල්දාදුවන් අතර, වසංගත රෝග හටගැනීම අතීතයේ අසාමාන්‍ය දෙයක් නොවීය. එවැනි රෝග හටගැනීමක් නිසා එහි ප්‍රතිඵල අවදානම් සහිත අවස්ථාවකට පත් වූ බව මහාවංසය සඳහන් කරයි. III වැනි මොග්ගල්ලාන රජු (ක්‍රි.ව. 611 – 617) යුද්ධයෙන් පැරදුන අතර, උණ සෑදුණ බොහෝ දෙනෙක් ඉන්ම මිය ගියහ.

එකල හමුදා වෛද්‍ය කර්මය ඇතුන්ගේ සහ අශ්වයින්ගේ ද සෞඛ්‍යය සමග සැලකිල්ලට ගත යුතු විය. මෙම සත්තු යුද හමුදාවේ වැදගත් අංශයක් බවට පත් වූහ. ඔවුන් රැකබලා ගැනීමට බුද්ධදාස රජු වෛද්‍යවරුන් පත් කළේය.

දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 101 – 77) විජිතපුරයට පහර දුන් විට, එළාර රජු (ක්‍රි.පූ.145 -101) යටතේ සිටි ඔහුගේ සතුරෝ කණ්ඩුල ඇතාගේ පිටට උණු ලෝ දිය වත් කළහ. ඇතා වේදනාවෙන් පසු බැස්සේය. එවිට ඇත් වෛද්‍යවරයා ලෝ දිය සෝදා හැර ඔසු ආලේප ගෑවේය. ඊට පසු ඇතා සටනට ආපසු පැමිණ නගර ද්වාරය බිඳ හෙළීමට සමත් වූයේ ය.

නවීකරණය යනු මිනිසා ස්වභාවධර්මයෙන් ඈත් කර මිනිසා නිර්මාණය කළ ලෝකයකට ගෙනයාමයි. ලෝකය වෙනස් වී ඇතැයි කීවත්, ස්වභාව ධර්මයාගේ වෙනස්වීමක් දක්නට ඇත්තේ නැතැයි පරිසර විද්‍යාඥයෝ පවසති. ඈත අතීතයේ සිට ඉර, හඳ පායන්නේ එකම ආකාරයකටය. එහි වෙනසක් නැත. සතුන් ජීවත්වීම, ගස්වැල් වැවීමද සිදුවන්නේ දැනට වසර දහස් ගණනකට පෙර සිදු වූ ආකාරයටමය. නමුත් මිනිසා සහ ඔහු ගන්නා ආහාර ඇතුළු ජීවන පැවැත්ම වෙනස් වී ඇත. එනිසා අප කළ යුත්තේ අතීතයේ දැනුම වර්තමානයේ පිරිසුදු කොට මූලික හරයන්ට හානියක් නොකර ප්‍රයෝජනයට ගැනීමයි. පැ‍රැණි දැනුම සහ අලුත් දැනුම එකට එකතු කර අද සාර්ථකව භාවිත කරන්නේ චීනය පමණි. ඔවුන් සම්ප්‍රදායික දේ සම්පුර්ණයෙන්ම බැහැර කර නැතිවා සේම බටහිර නව තාක්ෂණය චීනයට උචිත ආකාරයට ගලපා සකස් කරගෙන ඇත. ඕනෑම රටක තාක්ෂණය එරට පරිසරයට, සංස්කෘතියට ගැලපෙන පරිදි සකස් කර ගත යුතුය.

අනුරාධපුර පොළොන්නරු යුගවල ඉතා දියුණු තත්ත්වයක පැවති දේශීය වෙදකම පොළොන්නරු රාජධානියේ අවසාන භාගයේ කාලිංගමාඝ ඇතුළු දකුණු ඉන්දීය ආක්‍රමණිකයන් නිසා විනාශ මුඛයට පත් විය. 1505 පසු ඇති වූ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ආක්‍රමණ හේතුවෙන් දේශීය වෙදකම තව දුරටත් අඩාල විය. යටත්විජිත පාලන යුගයේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහි‍ටුවීමත් සමඟ දේශීය වෙදකම අගාධය කරා යාම ඉක්මන් කෙරිණි...

අතීතයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව කියාපාන ඡායා රූප කීපයක් මීළඟට දැක්වේ.

............අන්තර්ජාලය ඇසුරෙනි.............දැනුම සොයන්න මේ පාරෙන් එන්න

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way

ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) ශ්‍රී ලංකාවේ පුරාණ වෛද්‍ය ඉතිහාසයේ විස්මිත තාක්ෂණය (Amazing Technology) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, July 02, 2022 Rating: 5

0 comments:

Post a Comment