පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower)

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way

යුරෝපා මහද්වීපය තුළ පිහිටා තිබෙන ඉතාලිය දිගු ඉතිහාසයක් තිබෙන රාජ්‍යයක්. රෝම ශිෂ්ටාචාර යුගයේ සිට දියුණු මට්ටමක පැවති ඉතාලිය තුළ පෞරාණික ගොඩනැගිලි රැසක් අදටත් ඉතිරිව තිබෙනවා. ඒ අතුරින් සමහර නිර්මාණ රෝම අධිරාජ්‍ය පැවති යුගයේ දී නිර්මාණය වුණු ඒවා යි. එසේම මධ්‍යතන යුගයේ දී ඉදිවුණු බොහෝ නිර්මාණ ඉතාලිය තුළ තවමත් දක්නට ලැබෙනවා. 12 වන සියවසේ දී පීසා නගරය තුළ ගොඩනැගූ පීසා කුළුණ ද එවැනි නිර්මාණයක්. එම කුළුණ මීට වසර 847කට පෙර නිර්මාණය කළත් එහි ජනප්‍රියත්වය අදටත් නොනැසී පවතිනවා.

පීසා කුළුණ ඉදිකිරීම ඇරඹුණු හැටි...
ඉතාලියේ ටස්කනි නම් ප්‍රදේශයේ පිහිටා තිබෙන පීසා නම් නගරයට ප්‍රසිද්ධියක් ලැබී ඇත්තේ එහි දක්නට ලැබෙන ඇලවෙන කුළුණ නිසා යි. පීසා නගරයේ ගොතික් කලා සම්ප්‍රදායට අනුව නිර්මාණය කරන ලද දෙව් මැඳුරු රැසක් දක්නට ලැබෙනවා. පීසා නගරයේ වයඹ දෙසට වන්නට පිහිටා තිබෙන පීසා ආසන දෙව් මැඳුර ඒ අතුරින් එකක්. 1063-1092 කාල සමය තුළ ඉදිවුණු එම දේවස්ථානය පීසා නගරය තුළ දක්නට ලැබෙන පැරණිතම ගොඩනැගිල්ලක් ලෙසින් සැලකිය හැකියි. පීසා ආසන දෙව් මැඳුරෙහි ඉදිකිරීම් නිමාවට පත්කර වසර 80ක් පමණ යන විට එහි ඝණ්ඨාර කුළුණක් ඉදිකිරීමට අවශ්‍ය වුණා. එම කුළුණ ඉදිකිරීම සඳහා භාර වුණේ බොනැනෝ ෆිසිනෝ නම් නිර්මාණ ශිල්පියාට යි. ෆිසිනෝ නම් ශිල්පියා ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා තෝරාගත් ස්ථානයේ පස පිළිබඳව අවධානය යොමු කළේ නැහැ. ඔහු එදා ඒ ගැන උනන්දුවක් වුණා නම් මෙවැනි අපූරු නිර්මාණයක් බිහි නොවන්නට ඉඩ තිබුණා.

ඉදිකිරීම් අතරතුර කුළුණට සිදුවුණු දේ....
ෆිසිනෝ නම් ශිල්පියා ගොඩනැගිල්ලේ සැලසුම සකස් කිරීමෙන් පසුව එහි වැඩ ආරම්භ කළා. ඔහු කුළුණේ පළමු සහ දෙවන මහල් කිසිදු ගැටළුවකින් තොරව අවසන් කළා. නමුත් තෙවන මහළ ඉදිකිරීමට යාමේ දී මෙම ශිල්පියා නොසිතූ කරදරයකට මුහුණ දුන්නා. මෙම ගොඩනැගිල්ල බිම තුළ පිහිටා තිබුණු පස් තට්ටුව මෘදු ගතියෙන් යුක්ත වුණා. එම නිසා තෙවන මහල ඉදිකරමින් සිටිය දී අත්තිවාරමේ එක් පැත්තක් ගිලාබැසීම සිදුවුණා. 

ෆිසිනෝව නගරයෙන් පිටුවහල් කරයි....
එදා පීසා කුළුණ ඉදිකරමින් සිටිය දී එය ගිලාබැසීම නිසා නගර වැසියන් දැඩි ලෙස කෝපයට පත්වුණා. එහිදී නොසැලකිලිමත් අයුරින් කුළුණ නිර්මාණය කර ෆිසිනෝට දෝෂාරෝපණය කිරීමට ඔවුන් පසුබට වුණේ නැහැ. පීසා නගරයේ වැසියන් නැවත නැවතත් පවසා සිටියේ ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර එහි තිබුණු පසේ ස්වභාවය පිළිබඳව පරීක්ෂා කිරීම කළ යුතුව තිබුණු බවයි. 

ෆිසිනෝට එල්ල වුණු බරපතල චෝදනාව නිසා ඔහුව නගරයෙන් පිටුවහල් කළා. ඒ සමගම කුළුණේ ඉදිකිරීම් ද නතර වුණා.

කුළුණෙහි වැඩ නැවත ඇරඹෙයි......
1264 වසරේ දී පමණ මෙම කුළුණ යළි ඉදිකිරීම සඳහා ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පියෙකු ඉදිරිපත් වුණා. ඒ ජියෝවානි ද සිමොන් නම් පුද්ගලයා යි. ඔහු කම්කරුවන් පිරිසක් ද එකතු කරගෙන අසල තිබුණු කඳුකර පෙදෙසකට ගොස් කිරි ගරුඬ ගල් සකස් කරගනු ලැබුවා. වසර කිහිපයක් අඛණ්ඩව වැඩ කිරීමෙන් පසුව කුළුණේ ඉතිරි කොටස ඉදිකිරීම සඳහා අවශ්‍ය වුණු අමුද්‍රව්‍ය සකස් කරගැනීමට හැකියාව ලැබුණා. ඉන් පසුව සිමොන් නම් ශිල්පියාගේ අධීක්ෂණය යටතේ කුළුණේ ඉතිරි තට්ටු ඉදිකිරීම ආරම්භ වුණා. එහිදී සිමොන් ඇතුළු පිරිස කිසිදු ගැටළුවකින් තොරව තට්ටු 4ක් ඉදිකරනු ලැබුවා. කුළුණේ වැඩ නිමා කිරීම සඳහා ඝන්ඨාර සහිත 8 වන තට්ටුව ඉදිකළ යුතු ව තිබුණා. නමුත් එම තට්ටුව ඉදිකරමින් සිටිය දී යළිත් කුළුණ ඇලවෙන්නට පටන් ගත්තා. එම නිසා සිමොන් ඇතුළු පිරිසට කුළුණෙහි වැඩ අවසන් කිරීමට හැකිවුණේ නැහැ.

කුළුණෙහි වැඩ අවසන් කරයි....
කුළුණෙහි අවසන් මහල ඉදිකිරීමේ වගකීම භාරගත්තේ ටොමා සෝ පිසානෝ නම් ශිල්පියා යි. ඒ එහි වැඩ නැවතීමෙන් දශක 6ක් පමණ ගෙවුණු පසුව යි. එහිදී 8 වන මහල ඉදිවුණේ වෘත්තාකාර හැඩයට අනුව යි. එලෙස වැඩ අවසන් කර අටවන මහලේ විවිධ ප්‍රමාණවලින් යුත් සීනු කිහිපයක් සවිකර තිබෙනවා. ඒ අනුව මෙම කුළුණ නිම කිරීම සඳහා සියවස් දෙකකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. වැඩ නිමා කිරීමෙන් පසුව ප්‍රාතිහාර්ය චතුරස්‍රය සහ ඉතාලියේ සුන්දරිය යන නම්වලින් මෙම කුළුණ හඳුන්වනු ලැබුවා.

පීසා කුළුණ පිළිබඳව කෙටියෙන්...
පීසා කුළුණෙහි වැඩ අවසන් කිරීමෙන් පසුව එහි විෂ්කම්භය අඩි 52ක් පමණ විට උස අඩි 185ක් ලෙසින් සටහන් වුණා. එසේම මෙහි ඝනකම බිත්ති පාමුල දී අඩි 13ක් පමණ වන විට මුදුනේ දී අඩි 6ක් පමණ වනවා. මෙම කුළුණේ පාමුල සිට ඝන්ඨාර සවිකර තිබෙන 8 වැනි මහලට යාම සඳහා පඩි 296ක් තරණය කළ යුතු යි. කුළුණෙහි පහළම මාලයේ ආරුක්කු 15ක් දක්නට ලැබෙනවා. නමුත් දෙවන මහලේ සිට හත්වන මහල දක්වා තිබෙන මහල් හය තුළ ආරුක්කු 36 බැගින් පිහිටා තිබෙනවා. එසේම අවසන් මහලේ දී තවත් ආරුක්කු 12ක් දක්නට ලැබෙනවා. තව ද මෙහි අවසන් මහලේ විෂ්කම්භය අනිත් මහල්වලට වඩා අඩුවීම විශේෂ ලක්ෂණයක් ලෙසින් දැක්විය හැකියි. 

ඇලවීම නැවැත්වීම සඳහා සිදුකළ දේවල්...
පීසා කුළුණ ඇලවී එය කඩන් වැටෙනු ඇති බව බොහෝ දෙනෙකුගේ අනුමානය වුණා. එම නිසා පීසා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් විසින් 1911 වසරේ සිට සෑම වසරකම ජූලි 19 වැනිදා කුළුණේ ඇලය මැනීම සිදු කළා. ඒ කුළුණෙහි පැවැත්ම පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා යි. මෙම කුළුණේ ඇලවීම නැවැත්වීම සඳහා 1964 වසරේ දී කුළුණට නැගීම සහ අසල ගැවසීම තහනම් කරනු ලැබුවා. එසේම 70 දශකයේ අග භාගයේ දී සිමෙන්ති බදාම විද කුළුණේ පාදම සවිමත් කළා. 90 දශකයේ දී කුළුණ අනවශ්‍ය තරමට ඇලවෙන්නට පටන් ගත් නිසා එහි උතුරු පෙදෙසට ටොන් 650ක් බරැති ඊයම් සවිකිරීමට සිදුවුණා. 

පීසා කුළුණ කඩන් නොවැටෙන්නේ ඇයි...? 
යම් වස්තුවක් පෙරළීමෙන් තොරව තිබීමට නම්, එහි ස්කන්ධ කේන්ද්‍රයෙන් අඳින ලද අභිලම්භය, පාදම තුළ පැවතිය යුතු යි. පීසා කුළුණෙහි ද ස්කන්ධ කේන්ද්‍රයයෙන් අඳින ලද අභිලම්භය පාදම තුළ පිහිටා තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එසේම එහි අත්තිවාරම ද ගැඹුරට පිහිටා තිබෙනවා. එම හේතු නිසා කුළුණ කඩා නොවැටී පවතිනවා. තව ද ශක්තිමත්ව ඉදිවුණු කුළුණ කම්පනවල දී මෘදු පතුල තුළ චලනය වී යළි මුල් පිහිටුමට එන බව පසු කලෙක සොයාගනු ලැබුවා. ඒ අනුව මෙය සැලකිය යුතු කාලයක් නොපෙරෙළී පවතිනු ඇති බව විද්‍යාඥයන්ගේ අනුමානය යි.

ඉතාලියේ පීසා නගරයෙහි ඇති මෙම ප‍්‍රසිද්ධ කුළුණ සිතාමතා ඇලව ඉදිකල කුළුණක් නොවේ. බුරුල් පස් මත ඉදිකල නොගැඹුරු අත්තිකාරමක් ගිලාබැසීම නිසා ආරම්භයේ පටන්ම කුළුණ පසෙකට ඇලවී තිබේ. නමුත් වසර 800 කට පසුවත් තවමත් එය පෙරළී නැත. ඒ ඇයි? මෙම ප‍්‍රශ්නයට පිළිතුර සෙවීමට අපට ස්කන්ධ කේන්ද්‍රය පිළිබඳ දැනගැනීමට අවශ්‍යය.

 ඔබ කොතරම් බරද? කි.ග‍්‍රෑම් 60 ක් යැයි කියමු. (කිලෝග‍්‍රෑම් වලින් බර මැනීම වැරදිය. එය වෙනම මාතෘකාවකි) මේ බර තිබෙන්නේ කොහේද? ඔබේ අතක් කි.ග‍්‍රෑම් 5 ක් බර විය හැක. ඔබගේ හිස කි.ග‍්‍රෑම් 3 ක් පමණ විය හැක. ඔබ සූමෝ ක‍්‍රීඩකයකු (හෝ දේශපාලනඥයකු) නොවේ නම් ඔබේ උදරය කි.ග‍්‍රෑම් 10 ක් වනු ඇත. මෙසේ ශරීරිය පුරාම ඔබේ බර විසිරී පවතියි. නමුත් මෙම බර සියල්ලට එක් ලක්ෂයකට කැටිකළ හොත්, එම ලක්ෂය කොහේ තිබේදැයි සිතන්න. ශරීරයේ සමමිතිය අනුව, මෙය ඔබේ නාභියට මදක් ඉහළින්, උදරය තුළ පිහිටනු ඇත. නමුත් මෙය සත්‍ය වන්නේ ඔබ නිසලව සිටීනම් පමණකි. ඔබේ ශරීරයේ  ඕනෑම අවයවයක් චලනය කළ විට, මෙම ලක්ෂය සුළු ප‍්‍රමාණයකින් වෙනස් වේ. ශරීරයේ ස්කන්ධය  කේන්ද්‍රවී ඇති මෙම ලක්ෂයට අපි ස්කන්ධ කේන්ද්‍රය යැයි කියමු. සෑම භෞතික වස්තුවකට ස්කන්ධ කේන්ද්‍රයක් තිබේ. ගුරුත්වය විසින් වස්තුව පොළොවට ඇදගන්නේ මෙම ලක්ෂයෙන් යැයි සලකන නිසා, මෙයට ගුරුත්ව කේන්ද්‍රය කියාද කියනු ලැබේ.

වස්තුවක් පෙරළීමෙන් තොරව තිබීමට නම්, මෙම ස්කන්ධ කේන්ද්‍රයෙන් අඳින  ලද අභිලම්භය, එහි පාදම තුළ පැවතිය යුතුය. ඉහත රූපය දෙස බලන්න. එහි සිලින්ඩර 2ම ස්කන්ධ කේන්ද්‍රයෙන් පහළට අභිලම්භ 2 ක් ඇද ඇත. පළමු සිලින්ඩරයේ මෙම රේඛාව පාදම තුළ පිහිටන බැවින් එය පෙරළෙන්නේ නැත. දෙවැනි සිලින්ඩරයේ මෙම රේඛාව පාදමෙන් ඉවතට පතිත වන බැවින් එය පෙරළිය යුතුය. මෙය මිනිස් ශරීරයට ද වලංගුය. මාව විශ්වාස නැත්නම් ඔබේ දෙපා ලංකර තබාගෙන ඉදිරියට නැවීමට උත්සහ කරන්න. ඔබේ ගුරුත්ව කේන්ද්‍රය දෙපා වලින් ඉදිරියට පැමිණි වහාම ඔබ ඇද වැටෙනු ඇත. වඩා උස හා පටු වස්තු (උදා: පොත් රාක්ක) ඉතා පහසුවෙන් පෙරළීමටත්, කොට පළල් වස්තු (උදා: මේස) වඩා ස්ථාවර වීමටත් හේතුව දැන් ඔබට වැටහෙනවා ඇත. ඔබ ජීවිත කාලය පුරාවට දැන හෝ නොදැන මෙම භෞතික විද්‍යා මූලධර්මය භාවිතා කළේයැයි ඔබ පිළිගන්නවාද? හිටගෙන බස් රථයක ගමන් ගන්නා  විට ඔබ දෙපා ඈත්කර තබාගන්නේද, පොතක් මේසයක් මත තබන විට එය හිටවා නොතබා පෙරළා තබන්නේද, මේ හේතුව නිසාමය. හරි, දැන් මා ඔබට අභියෝගයක් කරමි.

අත්වාරු රහිත සාමාන්‍ය පුටුවක, රූපයේ පරිදි අසුන් ගන්න. දැන් නැගිටින්නට උත්සහ කරන්න. නමුත් කොන්දේසි වන්නේ, ඔබට ඉදිරියට නැවීමට හෝ දෙපා පසුපසට කිරීමට අවසර නැත. කොතරම් වෙර යෙදුවද ඔබට මෙය කළ නොහැකිවනු ඇත. මීට හේතුව ඔබ අසුන්ගෙන සිටියදී ඔබේ ස්කන්ධ කේන්ද්‍රය පුටුවේ පාදම තුළ පිහිටීමයි. නැගිටීමේදී මෙය ඔබේ දෙපා තුළට පැමිණිය යුතුය. එයට ඔබ පාද පසුපසට ගැනිම හෝ ඔබ ඉදිරියට නැමීම සිදුකළ යුතුමය. ජීවිත කාලය පුරාම ඔබ නොදැනුවත්වම මෙය සිදුකළා නොවේද? බලන්න භෞතික විද්‍යාවේ ආශ්චර්යය!

 දැන් නැවතත් ඇලවු කුළුණ වෙත එමු. ඔබ හොඳින් බැලූවහොත්, එහි ස්කන්ධ කේන්ද්‍රයේ අභිලම්භය පාදම තුළ පිහිටන බව පෙනෙනු ඇත. කුළුණ නොපෙරළීමට ප‍්‍රධාන හේතුව මෙයයි. මීට අමතරව ගැඹුරට කිදාබැස ඇති අත්තිවාරමද මෙයට තවත් හේතුවකි. තවද, නූතනයේ සිදුකළ  නවීකරණ මගින් කුළුනේ ස්කන්ධ කේන්ද්‍රය  බෑවුමෙන් ඉවතට ගෙනයාමට කටයුතු කර ඇත.මේ සියළු හේතු නිසා කුළුණ දැනට (සහ පෙනෙන තෙක් මානයේ අනාගතයට) නොවැටී පවතියි. දැන් ඔබ කුළුණ පෙරළෙන්නේ නැතිවන්නට හේතුවත්, ස්කන්ධ කේන්ද්‍රයත් ගැන දන්නා බැවින් පහත ප‍්‍රශ්නයට පිළිතුරු දෙන්නට උත්සහ කරන්න. රූපයේ දැක්වෙන යතුරුපැදිකරුගේ ස්කන්ධ කේන්ද්‍රය පැහැදිලිවම ඔහුගේ පාදමෙන් ඉවත පවතියි. ඉතින් ඔහු නොවැටී සිටින්නේ කෙසේ ද....?

...........අන්තර්ජාලය ඇසුරෙනි....... දැනුම සොයන්න මේ පාරෙන් එන්න

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way

පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) පීසා කුළුණ නොපෙරළෙන්නේ ඇයි ? (Pizza Tower) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 03, 2022 Rating: 5

0 comments:

Post a Comment