ක්‍රමයෙන් විනාශ වෙමින් තිබුණු මේ ධාතු මන්දිරය දැක දෙවන විමලධර්මසූර්ය රජතුමාගේ (ක්‍රි.ව. 1686 – 1705) පුත් වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා දෙමහල් දළදා මාලිගාවක් ඉදිකරවීය. මේ මාලිගාවේ බිත්තිවල විධුර, ගුත්තිල, උම්මග්ග, දධිවාහන, මහා කණ්හ, සුතනු, ඡද්දන්ත, ධර්මද්ධ්වජ, ධර්මපාල, මහා ජනක, පදමානවක, දහම්සොඬ, මහා නාරද කස්සප, මහා පදුම, චුල්ල පදුම, තෙලපත්ත, සත්තුභත්ත, අන්ධභූත, සස, වම්පෙය්‍ය, විසස්හ, කුස, සුතසෝම, සිවි, තේමිය, චුල්ල ධනුද්ධර, සච්චන්කිර, දුම්මෙධ, කාලිංග බෝධි, සීලව, මණ්ඩව්‍ය, වෙස්සන්තර යන ජාතක කතා තිස් දෙක ඇන්දවූ බව මහා වංශය කියයි.
මේ නුවර යුගය වන විට පොළොන්නරු යුගය දක්වා පමණ දක්නට ලැබූ සම්භාව්‍ය චිත්‍ර කළා සම්ප්‍රදාය මහනුවර සම්ප්‍රදාය නමින් හැඳින්වෙන ජන කලා සම්ප්‍රදායක් බවට පත්ව තිබුණි.
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින් කරවන ලද චිත්‍ර කර්මාන්ත ලන්දේසි ආක්‍රමණ නිසා විනාශ වන්නට ඇති බව පෙනේ. මේ නිසා බුදු දහමේ අභිවෘද්ධියට හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනයට ඉමහත් මෙහෙවරක් කළ නරේන්ද්‍රසිංහ රජතුමාගේ අනුප්‍රාප්තික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දළදා මාලිගාවේ සිතුවම් ප්‍රතිසංස්කරණය කොට ඇත. මේ කාලය වන විට මහනුවර චිත්‍රකලා සම්ප්‍රදාය ඉහල මට්ටමකට පැමිණ තිබී ඇත.
දළදා මාලිගාවේ සේවාවන් සඳහා ඒ ඒ වෘත්තිකයන්ට ගම් බිම් පංගු වෙන්කොට දී ඇති බව පෙනේ. මේ අතර සිත්තරුන් සඳහා ද සිත්තර පංගුව නමින් ඉඩම් කොටස් වෙන් කොට ඇති බව හෙළිවේ. ඔවුනට අවුරුදු 10 කට පමණ වරක් දළදා මැදුරේ බිතු සිතුවම් ඇඳීමට හා මැදුර අලංකාර කිරීමට පැවරී තිබුණ බව දළදා මැදුරේ සිත්තරුන් ලෙස කටයුතු කළ උල්ලදුපිටියේ සිත්තර පරපුර ගැන සොයා බැලූ මහාචාර්ය සෝමතිලක මහතාට හෙළිව ඇති බව කියවේ.
සංස්කෘතික ත්‍රිකෝණ යෝජනා ක්‍රමය යටතේ දළදා මැදුරේ සිතුවම් සංරක්ෂණය කරද්දී පහත මාලයේ කණුවල හා බාල්කවල මුල් සිතුවම් කීපයක් දක්නට ලැබී තිබේ.
මේ අනුව බලන විට දළදා මැදුරේ සිතුවම් කලින් කළ වෙනස්වීම් වලට භාජනය වී ඇති බව පෙනේ. 1998 ජනවාරි මස 25 වන දින දළදා මාලිගාවට එල්ල කෙරුණු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය නිසා හානියට පත් ගොඩනැගිලිවල මේ වෙනස් වීම් තහවුරු කෙරෙන සාක්‍ෂි රැසක් දක්නට ලැබුනි. මේ බෝම්බ ප්‍රහාරයෙන් ආශ්චර්යයකින් මෙන් දළදා වහන්සේට හා වැඩ සිටි කුටියට හානියක් නොවුන ද මුඛ මණ්ඩපය හෙවත් දිග්ගෙයි බිත්තිවලට හානි සිදු වී බදාම ස්ථර ගැලවී ගොස් තිබුණි. මේ බදාම ස්තර කොටස් සුක්ෂම ලෙස පරීක්ෂා කිරීමේදී බිතු සිතුවම් ස්තර තුනක් හඳුනාගෙන ඇත. මේ ස්තර ක්‍රි.ව. 1707 සිට 1739 දක්වා, 1747 සිට 1782 දක්වා හා 1942 යන කාල සීමාවන්ට අයත්සේ හඳුනාගෙන ඇත.
පියගැට පෙළ සමීපයේ විනාශයට පත්වූ බිත්තියක ජාතක කතාවක කොටසක් හා ගල් බිංදුව නම් මෝස්‌තර රටාවක් දැකගන්නට ලැබී ඇත. තවත් දක්නට ලැබී ඇති සිතුවම් අතර ගමන් විලාශයක් දැක්වෙන ඇතෙකුගේ රුවක්, නැට්ටුවෙකුගේ රුවක්, ළදරුවෙකුට කිරි පොවන මවක්, නිදන කාන්තාවක්, ගලන ගඟක්, රාජකීයයන් යයි අනුමාන කෙරෙන රූප, මැදුරුවල රූප, ගරුඩ රුවක් ආදිය සොයාගෙන ඇත.
මේ චිත්‍ර වෙන වෙනම රාමුවල නොව ගංගා ගොඩනැගිලි ආදී රූපවලින් වෙන්ව පෙනෙන සේ ඇඳ ඇත. චිත්‍රවල හිස් තැන් මල් මෝස්‌තර ආදියෙන් සම්පූර්ණ කොට නොමැත. මේ සිතුවම් සුදු, රතු, කළු, නිල් කොළ ආදී වර්ණවලින් මුල් යුගවල සිතුවම් ඇඳීමට සම්ප්‍රදායිකව භාවිතා කළ මකුළු, ගොකටු, අවරිය කොළ, හිරිගල්, සාදිලිංගම් ආදී පාංශු වර්ණ යොදාගෙන නිම කොට ඇති බව සොයාගෙන ඇත. මේ චිත්‍රවල වර්ණ සංයුතිය, සියුම් රේඛා මගින් වස්ත්‍රාභරණ ආදිය දක්වා තිබීම, මනාව චිත්‍රණය කොට ඇති පුද්ගලයින්ගේ ශරීරාංග හා හැසිරීම් රටාවන් සෞන්දර්යාත්මකව හා තාත්විකව ත්‍රිමාන ආකාරයෙන් දක්වා තිබීම ආදිය නිසා මේ සිතුවම් සීගිරිය, තිවංක පිළිමගෙය ආදී තැන්වල ඇති සම්භාව්‍ය සම්ප්‍රදායට තරමක් දුරට නෑකම් කියන බව විචාරකයින්ගේ මතය වී ඇත. මධ්‍යතන යුගය හා නුවර යුගය අතර කාලය කලාවේ අඳුරු යුගයක් යයි මතයක් වින. එහෙත් දළදා මාලිගාවේ දක්නට ලැබුන මේ පැරණි චිත්‍ර පිළිබඳව සලකා බලන විට මධ්‍යකාලීන සම්භාව්‍ය සම්ප්‍රදාය නොකඩවා ගලා ආ බවක් පෙනේ.
පල්ලේමාලේ විහාරයේ මකර තොරණ....
දළදා මාලිගාවේ සිතුවම්, නුවර යුගයේ සිතුවම් ගැන සොයා බලන්නට ඉතා හොඳ නිදර්ශකයකි. උඩරට සම්ප්‍රදායේ පැරණිම සිතුවම් දක්නට ලැබෙන්නේ මෙහිය. දළදා මාලිගාවේ ප්‍රධාන වශයෙන් කොටස් තුනක නුවර යුගයේ සිතුවම් දක්නට ලැබේ. ඒ පිවිසුම් මාර්ගයේ අඹරාව, පල්ලේ මාලේ බිත්ති, දළදා වහන්සේ වැඩ වෙසන මාලිගාවේ යටි මාලයේ හා උඩු මාලයේ බිත්ති හා සීලීමයි. සිතුවම්, බිත්තිවල සිතුවම් හා සීලිමේ සිතුවම් ලෙස ද කොටස් දෙකකට වෙන් කොට දැක්විය හැකිය.
අඹරාවේ සීලීමේ සිතුවම්...
බුද්ධ චරිතයේ හා ජාතක කතාවල අවස්ථා, පෙරහැරේ දර්ශණ, දෙවි දේවතාවන්, වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්, කීර්ති ශ්‍රි රාජසිංහ, විමලධර්මසූරිය යන රජවරුන් හා ප්‍රභූ පුද්ගලයින්ගේ රූප, සිංහ, ඇත්, අශ්ව වැනි සතුන්ගේ සිතුවම්, හංසයෝ, කුරුල්ලෝ වැනි සතුන්ගේ සිතුවම්, මල් මෝස්තර ලියවැල් ගජ සිංහයෝ හංස පුට්ටු, පංචනාරීඝටය, නව නාරි කුන්ජරය, මල්ලවපොර, සඳකිඳුරියන්, කින්නර රූප, භේරුණ්ඩ පක්ෂියා, ඇත්කඳ ලිහිණියා, නොයෙක් මෝස්‌තර රටා ආදී සිතුවම් දළදා මාලිගාවේ ඇඳ ඇත. මුල් යුගයේ සිතුවම් ඇතුළු මාලිගයේ ඇති අතර බුද්ධ රූප, සූවිසි විවරණ ආදිය ඇත්තේ හඳුන් කූඩමේය.
දළදා වහන්සේ වැඩ වෙසන මාලිගාවේ යටි මාලයේ පිටත සීලීමේ හා සංකීර්ණ කැටයම් සහිත ලී ව්‍යුහයන්හි විවිධ තේමාවන්වල සිතුවම් දක්නට ලැබේ.
පිටත සීලීමේ, කුළුණුවල හා ලීවල සිතුවම්
මෙහි සිතුවම් අතර, විවිධ භාණ්ඩයන්ගේ හැඩරුව නිපදවෙන පරිදි ස්ත්‍රී රූප කදිමට ගලපමින් හා ස්වාභාවික වස්තූන් නව ආරකට දකිමින් නිර්මානාත්මක නිරූඩ හැඩ මවා තිබීම ශිල්පීන්ගේ නිර්මාණ කුසලතාවයන් හෙළිදරව් කරන්නක් වී ඇත.
මේ චිත්‍රවල දක්නට ලැබෙන පොදු ලක්‍ෂණයන්ව ඇත්තේ, අඳුර එලිය දක්වන ත්‍රිමාන ලක්ෂණ නොමැතිව පැතලි ආකාරයට වර්ණාලේපිත රේඛා මූලික චිත්‍ර වීම, ස්වාභාවික පරිමානයන් පිළිබඳව නොසලකා හැරීම, චිත්‍ර තීරුවලට බෙදා ඇඳීම, පසු තලය රතු හෝ කළු පාටින් වර්ණ ගැන්වීම, හිස් තැන් නෙලුම්, සපු, වැටකේ ආදී මල් වලින් සැරසීම, වස්තු විෂය පැහැදිලි කිරීමට විස්තර පාඨයක් යොදා තිබීම ආදියයි.
මේ සිතුවම් බොහොමයක් 1907, 1942, 1943, 1967, 1987, ආදී වර්ෂවල වරින් වර දීප්තිමත් කාබනික වර්ණ භාවිතයෙන් නැවත ඇඳ ඇති බව පෙනී යයි. එහෙයින් ඒවායේ පෞරානිකත්වයට හානි පැමිණ ඇති බවක් පෙනේ. 1998 සිදුවූ හානියෙන් පසුව ද සිතුවම් නැවත ඇඳ ඇත.
1936 වර්ෂයේදී ඉදිකෙරුණු අලුත් මාලිගය නම් නව බුදු මැදුරේ ද දළදා වහන්සේ පිලිබඳ කතාව දැක්වෙන නවීන චිත්‍ර පුවරු ගණනාවක් ඇත. කැන්වස් මත තෙල් සායමෙන් ඇඳ ඇති මේ චිත්‍ර උපසේන ගුණවර්ධන මහතාගේ නිර්මාණයන්ය.
ඉංග්‍රීසි යටත් විජිත සමයේ ඇතිවූ නියඟය දුරු කරවීමට බාන්ස් ආණ්ඩුකාරයාගේ අනුග්‍රහයෙන් පැවැත්වූ දළදා ප්‍රදර්ශනය හා පෙරහැර අලුත් මාලිගාවේ චිත්‍රයක්
පෙර රජ දවස දළදා මාලිගාව රජ මාලිගා පරිශ්‍රයේම තිබුණු බැවින් එය පොදු මහජනයාට පිවිසිය නොහැකි තැනක්ව තිබුනා විය හැකිය. දැන් දළදා මාලිගාව, එහි ඇති ඓතිහාසික හා විශ්වීය වැදගත්කම නිසා ලෝක උරුමයක් බවට පත් වූ ස්ථානයකි. එහෙයින් ඔබ බැතියෙන් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට දළදා මාලිගාවට ගියවිට මේ සිතුවම් කෙරෙහි ද අවධානය යොමු කරන්න. ඔබට මේ සියලු සිතුවම් නැරඹීමට අපහසු විය හැකිය. එහෙයින් දළදා මාලිගා කෞතුකාගාරයට හෝ ගොස් මේ පැරණි සිතුවම්වල පිටපත් හෝ නරඹා අපේ පැරණි ශිල්පීන්ට ඔබේ උපහාරය පුද කරන්න....
...............අන්තර්ජාලය ඇසුරෙනි..............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
0 comments:
Post a Comment