හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (H.R. Jothipala)

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (H.R. Jothipala) - Your Choice Way

සිංහල ගීත ගැන වන කතාබහකදි, මොහු පසෙක ලා කතා කරන්නට කවරෙකුටවත් පුළුවන්කමක් නෑ. කාල වකවාණුව කුමක් වුවත් ඔහු ඒ හැම තැනකම ඉන්නවා. ජීවත්ව සිටි ඔහු ට වඩා අප අතර නැති ඔහු වටිනා මනුස්සයෙක් ලෙස අගැයීමට ලක්වෙලා තියෙනවා. ගායන ක්ෂේත්‍රයේ යුග යුග දැවැන්තයෙක් වූ ඔහු, පොළවේ පය ගසා ජීවත්වූ නිහතමානි, ඇතැමෙක් කියන්නා සේ රත්තරන් හදකින් යුත් පුද්ගලයෙක්. ඔහු අපෙන් වියෝවී වසර 32 ක් ගෙවී ඇතත්, සැමදා ඔහු නාමය සිංහල ගී අම්බරයේ දිදුලන තාරකාවක් ලෙසින් දිස්වනු ඇති.

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල මෙලොවට බිහිවෙන්නෙ 1936 පෙබරවාරි 12 වැනිදා.
කැටවලමුල්ලේ එච්. ආර් ජේම්ස් මහතා ඔහුගේ පියාණන්. මව වුණේ ඇම්. කේ පොඩි නෝනා මහත්මිය.
මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් ජෝති මූලික අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සෙ දෙමටගොඩ
ශාන්ත ජෝන්ස් විද්‍යාලයෙන් ඉදිරි හැදෑරුම් කළ බව වාර්තා වෙනවා.

මට මතකයි මං පුංචිම කාලෙ දවසක්. ගාල්ලෙ සමුද්‍ර මාවතේ පලතුරු මාර්කට් එක අසල මවත් එක්ක සිටිද්දි මා අසලින් පියමං කළ දැවැන්ත දේහදාරියෙක් මා දෙස බලමින්ම නවතා තිබූ වෑන් රථයකට ගොඩවුණා. ඔහු මුව පුරා තිබුණෙ ලෙන්ගතු සිනහවක්. ඒ වෑන් රථයේ "ටැංගානා තේ" යනුවෙන් ලියා තිබුණා. ජෝති ජීවමානව දුටු ඒ මොහොත අදත් ජීවමානයි වගේ. සුදු අත් දිග කමීසය හා සුදු දිග කලිසම. හැඩිදැඩි සිරුර. ජෝති සම්බන්ධ ඕනෑම දෙයකදි ඒ මනසේ සටහන් වූ රුව හැම විටම මා ඉදිරියේ මැවී පෙනෙනවා.

ගීයකට ජෝති ගෙ මුල්ම දායකත්වය සිදුවන්නෙ එකම එක වචනයක් ගායනයෙන්. ඒ වසන්තා සන්දනායක මහත්මිය ගායනා කළ, "මහවැලි නදියේ" යන ගීයෙහි "තොටියෝ" නම් ඛණ්ඩයේ අත්වැල් ගායනයට දායක වීමෙන්.

තම නිවසේ ගුවන් විදුලි යන්ත්‍රයක් නොතිබියෙන්, අසල කඩයකට ගොස් ගී අහන්නට පුරුදු වී සිටි ජෝති ඒවා ගයන්නටත් කඩේ මේසයට තට්ටු කරමින් තාලය උපදවන්නටත් ගත් කල්හී, කඩ හිමියා ඒ වැඩේ නවත්වන ලෙසත්. "සින්දු අහනවනම් පැත්තකටවෙලා අහනව, නැත්නම් යනවා යන්න" ලෙස තරවටු කළ බවත් මා අසා තිබෙනවා.

ජෝති ගැයූ මුල්ම ගීය ලෙස වාර්තා වෙන්නෙ "මගෙ රන් රාජිණී" නමැති ස්ටැන්ලි ඔමාර් තනු නිර්මාණය කර පද රචනය ද කළ ගීයකි.

ඒ  1954 වසරයි. සිරිසේන විමලවීර විසින් අධ්‍යක්ෂණය කරණු ලැබූ සිනමා කෘතියක ගීයක් ගැයීම සඳහා ජෝතිට ලැබෙනවා අවස්ථාවක්. නමුත් ගීය පටිගත කරන අවස්ථාවෙ යම් ප්‍රශ්නයක් පැනනගිනවා. ඒ පිළිබඳ පවතින ප්‍රවෘත්ති එතරම් පැහැදිලි නෑ.

සිදුවීම අසා දැන ඇති සැටියෙන් කියන්නම්. ජෝතිට ගායනා කරන්න තිබුනෙ “කිරි මූද කළඹා” නම් ගීයක්. ගායනයේදී සංගීත අධ්‍යක්ෂකට ජෝති ගෙ හඬ හොඳින් ශ්‍රවණය වෙන්නෙ නැහැ. එය භාවිත මෙවලම් වල දොසක් නිසා වූවාය යන කතාවකුත් තියෙනවා. ඔහුට කේන්ති යනවා. තමුසෙට සින්දු කියන්න බැහැ කියල එළවා ගන්නවා. 1955 නොවැම්බර් 25 වැනිදා අර චිත්‍රපටිය (“පොඩි පුතා”) ප්‍රදර්ශනයේදී පෙර සඳහන් කළ ගීය ගයා තිබුණෙ වෙනත් ගායකයෙක්. (මා දන්නා පරිදි සිසිර සේනාරත්න. එය සිසිර ගේ ප්‍රථම චිත්‍රපට පසුබිම් ගායනයයි.)

මේ ගැන තවත් තැනක සටහන් වන්නෙ ඉන්දියාවේදී කළ පටිගත කිරීම් සඳහා යාමට ජෝතිට වීසා නොලැබුණ බවත් ඒ හේතුවෙන් ජෝතිට අවස්ථාව නොලැබී ගියාය යන පුවතක්. සත්‍ය සිද්ධිය කුමක් වුවත්, ජෝතිට ලැබුණ අවස්ථාව ඔය අන්දමින් ගිලිහී ගොස් තිබුණා.

මම හිතන්නෙ මේ සිදුවීම නිසා ජෝති යම් අදිටනක දැඩිව පිහිටියා කියල. මෙහි මා ඉදිරිපත් කළ “මගෙ රන් රාජිණී” යන ගීය ජෝතිම මුදල් වියදම් කොට තැටිගත කළ ගීයක්. ගීය උපන්නෙ අර සිද්ධිය නිසා සිත උපන් ඒ අදිටනේ ඵලයක් ලෙස යයි මා හිතනවා. නුමුත් කිසිදා ජෝති මේ සම්බන්ධයෙන් කවරෙකුටවත් දොසක් කියා නෑ. තරහා වෙලා නෑ.

"සුරතලී" චිත්‍රපටියෙන් පසු ජෝතිපාල පසුබිම් ගායනයෙන් දායක වූ ඊළඟ චිත්‍රපටිය වූයේ "එකමත් එක රටක" චිත්‍රපටියයි. එහි ගී 5 ක් ඇතුළත් වූවත්, එකම ගීයක්වත් තැටියට නැගුනේ නැහැ. එකම ගීයක්වත් ජනප්‍රිය වුනෙත් නැහැ. ජෝතිපාල ගායනයෙන් දායක වුණේ කුමන ගීයක් සඳහා ද කියාත් වාර්තා වල නැහැ.

මා දුටු යම් විශේෂත්වයක් නම්, සිරිසේන විමලවීරයන් හා ජෝතිපාල එක්වූ තැන මොකක්දෝ අවාසනාවක් මතුවන බවයි.

"සුරතලී" චිත්‍රපටියේ "සිරියා මෙ සාරා" ගීය ට පෙරාතුවයි ජෝතිපාල "පොඩි පුතා" චිත්‍රපටියට (1955 දි) ගීයක් ගැයුවෙ. පොඩි පුතා අධ්‍යක්ෂණය සිරිසේන විමලවීරගෙ. ජෝතිගෙ ගීය ඉවත්වුණා. වැරදි වැටහීම් ද ඇතිවන්න ඇති. "එකමත් එක රටක" (1958) චිත්‍රපටියත් සාර්ථක වූයෙ නැහැ. ඒකත් සිරිසේන විමලවීරයන්ගෙ අධ්‍යක්ෂණයක්.

1958 වසරේම තිරගතවූ "දෙයියන්ගෙ රටේ" චිත්‍රපටියෙන් ජෝති ආයෙත් සිනමා රසික හදවත් දිනා ගන්නෙ දැනටත් ඉතා ජනප්‍රිය “සීත සුනිල් දිය දහරා” ගීය ගායනය තුළින්.

ජෝති ගැයූ ගී සියල්ල ඉදිරිපත් කරන්න ගියොත්, මගේ ජීවිත කාලයේදි එය කළ හැකිවේ යැයි මම හිතන්නෙ නෑ. මේ අඩවියේ දැනටමත් උත්පතනය කර ඇති ජෝතිගේ ගී වලට අමතරව හැකිතාක් ඔහු විසින් ගායනා කරන්නට යෙදුණු ගී ඉදිරියේදි ගෙන එන්නම්.

මී ළඟට මා ඉදිරිපත් කරන්නෙ විශේෂිතවූ ගීයක්. සිංහල සිනමාවේ වඩාත් හොඳින් නළු නිළියන් රැසකට පෑහෙන හඬ, ජෝති හා ඇන්ජලින් යුගලයෙන් ලද බව බොහෝ දෙනෙකුගෙ පිළිගැනීම. මේ ඒ යුග ගී ගොන්නේ ආරම්භය. ජෝති ඇන්ජලින් එක්ව ගැයූ මුල්ම යුග ගීය. මෙම ගීයේ පසු ගැයුම් රැසක් අන්තර්ජාලයේ තියෙනවා. මා මෙහි ඉදිරිපත් කරන්නේ මුල් ගීයයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධයක්ෂණය කළ සංදේශය චිත්‍රපටියේ පසුබිම් ගායනයට, ඔහු ජෝතිපාල එක්කර ගන්නවා. පුර්තුගීසිකාරයා නම් ගීය අහල නැත්තෙ කවුද? අරිසෙන් අහුබුදු ශූරීන් ලියා සුනිල් සාන්ත මහතා කනුව නිර්මාණය කළ ඒ සුවිශේෂී වූ ගීය, එදා මෙදා තුර බාල මහලු හැමගේ හදවත් බැඳගත් ගීයක්. ඒ ගීයම තමයි ජෝති අවසන් වරටත් ගැයුවෙ.

ජීවත්ව සිටියදී ජෝති ට මල් වලට වඩා ලැබුණෙ ගල්. ඔහු විසින් ගැයූ 6000 ක් තරම් ගීත ප්‍රමාණය තුළ නෙක විධ ගී අන්තර්ගතයි.
ජෝති ට ඔනෑම ආරක ගීයක් ගයන්න පුළුවන් දස්කම තිබුණා. වාණිජ සිනමාවේ හින්දි කොපි ගී ඇතැම් විට මුල් ගීයටත් වඩා හොඳින් ගයා තියෙනවා. ඒ වාගෙමයි ඔහු ඕනෑම සංගීත අධ්‍යක්ෂක්ෂණයකට ගී ගයා තියෙනවා. ජෝතිගෙ හඬ පෞරෂය මහ දැවැන්ත එකක්. ඒත් මේ රටේ බොහෝ දැවැන්තයින්ට වාගෙ ජෝතිටත් ජීවත්ව සිටිද්දි නිසි අගැයීම ලැබුණෙ නැහැ කියලයි මට හිතෙන්නෙ. සම්මාන වලින් පිදූ වාර තිබුණා තමයි. ජීවත්ව සිටිද්දි ජෝතිගෙ හදවතට දැනෙන්න ඔහු පිදුවා දැයි සැකයි.

එදා 1987 කතරගම ගම්උදා ප්‍රදර්ශන භූමියේ අවසන් රාත්‍රියේ සංගීත ප්‍රසංගයේ ජෝති ගී ගයමින් සිටියා. මට මතකයි එක දිගට වචන අමුණා ගෙන කතා කිරීමේ යම් අපහසුතාවක ඔහු හිටියෙ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා වේදිකාව ඉදිරියේ සංගීත ප්‍රසංගය නරඹමින් රැඳී සිටියා. මට හොඳට මතකයි ජෝති කිව්වා එතුමන් වෙනුවෙන් එළිවෙනකන් හරි ගී ගයනවා කියල.
ඒත් හදිසියේ ජෝතිගෙ හුස්ම ගැනීමේ අපහසුතාව උත්සන්න වුණා. එදා 1987 ජූලි 03 වනදා ඒ රැයේ ඔහු ගායනා කරමින් සිටියෙ පුරුතුගීසිකාරයා නම් වූ ගීය. වහාම ජෝතිව කොළඹ ජාතික රෝහල කරා ගෙන ඒමට කටයුතු සැකසුණා.

1987 ජූලි 07 වැනිදා ජෝති අවසන් හුස්ම හෙළුවා.
ඔහු ට නිවන් සුව පතමු.

ජෝති චිභ්‍රපටි තුන් සියයකට කිට්ටු ගණනක ගී ගයා තියෙනවා. හැම සංගීත අධයක්ෂක වරයෙකුගෙම සංගීතයට ගී ගයා තියෙනවා. 1954 සිට ඔහු ගැයූ ගී එක එකක් පෙළ ගස්සන්නෙ කොහොමද? හැකි අයුරින් ඒ ගී අමුණන්නම් ඔහුගේ නාමයට.
ටජ්මහලක් තනවන්න බෑ මට ඔබෙ සෙනෙහසට හිමී.....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (H.R. Jothipala) හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල (H.R. Jothipala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2022 Rating: 5

0 comments:

Post a Comment