ගුලි කල්ක වලින් ලෙඩ හොඳ කළ හැකිද ? (Guli Kalka)

ගුලි කල්ක වලින් ලෙඩ හොඳ කළ හැකිද ? (Guli Kalka) - Your Choice Way

පෙති කරල් බොන අය නොදන්නා රහසක්...! 

අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ සෑම ලෙඩකටම ගුලි කල්ක වලින් ප්‍රතිකාර නියම කිරීම අනාදිමත් කාලයක සිටම සිදුවේ. එබඳු ගුලි කල්ක දහස් ගණනක් අපේ වෙද පරපුරු සතුව තිබෙන අතර ඒවායින් කොටසක් වටිකාප්‍රකරණය නමින් ග්‍රන්ථයක් ලෙස එළි දක්වා තිබේ.

සාමාන්‍යයෙන් පොදුවේ භාවිතා කරන සීතාරාම, රාමබාන, මාත්තුපහ, දියතාරාම, සුරන්විදුර, ජීවානන්ද, වර්තිකාව වැනි ගුලි වර්ග මෙන්ම නවරත්න කල්කය, චන්ද්‍ර කල්කය, ශර්කරා කල්කය, දෙසඳුන් කල්කය, යසෝදරා කල්කය ආදී කල්ක වර්ග ද මේ පොත තුළ දක්නට ලැබෙන වට්ටෝරු වලට අයත් වේ. සුප්‍රකට බුද්ධරාජය කල්කයක් ලෙස භාවිතා වුව ද  එහි මුල් වට්ටෝරුව අනුව සඳහන් වන්නේ බුද්ධරාජ ගුලියකි.

ගුලි කල්ක නිෂ්පාදනයේ දී ඒවාට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය වර්ග තුනක් තිබේ. පළමු කොටස නැවුම් ලෙසින් නෙළා ගන්නා කොළ, අල, මුල්, ගෙඩි, පොතු ආදී ද්‍රව්‍ය පිරිසිදුව එකතු කොට වියළා ගත් වල් බේත් කාණ්ඩය වේ. දෙවනුව තීක්ෂණ ගන්ධය හා කටුක රසය සහිත සරක්කු බෙහෙත් කාණ්ඩය ඇතුළත් වේ. තෙවනුව මෙම බෙහෙත් ඇඹරීමට යොදා ගන්නා ඇඹරුම් බෙහෙත් කාණ්ඩය තිබේ.

මෙම වල් බේත් සහ සරක්කු බේත් හොඳින් කොටා රෙදි කඩකින් හලා සියුම් ව කුඩු බවට පත් කොට නොයෙකුත් ඖෂධීය ද්‍රව වර්ග වලින් අඹරා ගැනීමෙන් කල්කයක් නිපදවා ගත හැකිය.

සාමාන්‍යයෙන් එබඳු කල්කයක් එක වරක් හෝ කිහිපවරක් ගලෙහි අඹරා ගැනීම කරන අතර ඒ සඳහා ද්‍රව වර්ග එකක් හෝ කිහිපයක් යොදා ගත හැකිය. ඒවා අතර අමු ශාකමය ද්‍රව්‍ය වල යුෂ, උක්පැණි, මීපැණි, ගිතෙල්, විනාකිරි ආදී දේවල් තිබේ. ඒවා මාත්තු නමින් හඳුන්වයි.

එබඳු ද්‍රව්‍ය කල්කයේ ඖෂධීය ශක්තිය වර්ධනය කිරීමට, එම ගුණ සිරුරේ නිසි පරිදි වහනය කිරීමට,  එම ක්‍රියාකාරී සංඝටක සිරුරට උරා ගැනීමට මෙන්ම එය කල් තබා ගැනීමට ද උපකාරී වේ.

කල්ක ඇඹරීමට භාවිතා කරන ඇඹරුම් ගල ස්ථාවරව තිබෙන ප්‍රධාන මව් ගල හා ඇඹරීමේ දී චලනය වන කුඩා දූ ගල යන කොටස් දෙකකින් යුක්ත වේ. සාම්ප්‍රදායික ව බෙහෙත් කල්ක ඇඹරීමේ දී එය එක්තරා රිද්මයක් අනුව ඉදිරියට අඹරන අතර හොඳින් සියුම්ව ඇඹරෙන තෙක් එය අඛණ්ඩව බොහෝ වේලාවක් සිදු කරයි. කල්කයක් හොදින් ඇඹරුණු විට එහි කැබලි වල සෛල බිඳී ඉතා සියුම් අංශු වලට වෙන් වී සියලු ද්‍රව්‍ය සමානුපාතිකව මිශ්‍ර වී  ඉතා සංකීර්ණ ඖෂධ සංයෝගයක් නිර්මාණය කරයි. සාමාන්‍යයෙන් කල්කයක් යම් ආකාරයක තෙතමනයක් සහිත වන අතර එය ගත යුතු මාත්‍රාව වෛද්‍ය නියමය පරිදි සකස් කොට රෝගියාට දෙනු ලබයි.

ගුලි යනු නිශ්චිත මාත්‍රා ආකෘතියක් සහිත ඖෂධයක් වේ. එම ගුලි වර්ග නිර්මාණයේ දී මුලින්ම කල්කයක් සකස් කර ගත යුතුය. මුලින් සඳහන් කළ ක්‍රමවේදය අනුව සකස් කරගන්නා කල්කය ඒ ඒ ගුලි වර්ගය අනුව විවිධ ඇඹරුම් ද්‍රව්‍ය වලින් අඹරා ගනු ලබයි. ඉහත සඳහන් කළ පරිදිම සමහර ගුලි වර්ග මාත්තු කිහිපයකින් අඹරා ගනු ලබයි. සමහර ගුලි එම මාත්තු සංඛ්‍යාව අනුව මාත්තුපහ, මාත්තුනවය යනාදී වශයෙන් නම් කොට තිබේ. එසේම සමහර ගුලි වර්ග මාත්තු විශාල සංඛ්‍යාවක් (15-20) යොදා නිර්මාණය කරනු ලබයි.

මෙම ගුලි වල ප්‍රමාණය අබ ඇට, ඔලිඳ ඇට, ගම්මිරිස් ඇට, මුං ඇට ආදී වශයෙන් නොයෙකුත් ආකාරයේ ඇට වර්ග ප්‍රමාණයන් අනුව සකස් කරනු ලැබේ. එම ගුලි වලින් වරකට ගත යුතු සංඛ්‍යාව වයස හෝ රෝගයේ තත්වය අනුව වෛද්‍යවරයා නියම කරයි.

 සමහර කල්ක හෝ ගුලිඇඹරීමේ දී නොයෙකුත් ආකාරයේ පුද සිරිත් හෝ පිරිත් භාවිතා කරන අතර සමහර ගුලි කල්ක විශේෂිත මන්ත්‍ර වලින් ජීවම් මර ගත යුතුය. එසේම සමහර ගුලි කල්ක ආරක්ෂා සහිතව ගබඩා කොට තැබිය යුත්තේ කෙසේද කුමන ආකාරයේ භාජනයක් තුළ ද යන්න පවා සඳහන් කොට තිබේ. එසේම ගුලි කල්ක රෝගීන් හට දීමේ දී ඒවා දිය කොට දෙන විශේෂ ඖෂධීය අනුපාන හෝ කෂාය වර්ග ද මෙම ප්‍රතිකාරයේම විශේෂ කොටසකි. එම අනුපාන මගින් ඖෂධීය ගුණ වැඩි දියුණු කිරීමත් එය නිසි පරිදි සිරුරේ වහනය කිරීමත් සිදු කරයි.

ඒ අනුව බලන කල්හි ගුලි කල්ක යනු දෙශීය වෛද්‍ය ක්‍රමයට අයත් සුවිශේෂී සංස්කෘතික උරුමයක් සහිත ප්‍රතිකාර ක්‍රමයකි. එක ගුලියක් කල්කයක් විවිධ අනුපාන වලින් රෝග තත්ව විශාල සංඛ්‍යාවකට යෙදිය හැකි වීම නිසා අතීතයේ පාරම්පරික වෛද්‍යවරුන් සිය බෙහෙත් හෙප්පුවේ අතවශ්‍ය ගුලි කල්ක කිහිපයක් සමඟ මහ මගට පිළිපන් විට ඔහුට බොහෝ රෝග වලට වෙදකම් නියම කිරීමේ හැකියාවක් තිබේ. ඔහුට අවශ්‍ය වන්නේ අනුපාන සඳහා ගත යුතු නැවුම් අමුද්‍රව්‍ය (කොළ, පොතු, මුල් ) අවටින් සපයා ගැනීම හෝ මීපැණි, ගිතෙල් වැනි දේ නිවසෙන් සපයා ගැනීම පමණි. මෙම ගුලි කල්ක යම් මාධ්‍යයක දිය කොට දෙන නිසා රෝගියා හට පහසුවෙන් දිය හැකි අතර එය ඉතා හොඳින් ආමාශයේ දී උරා ගැනීම ද සිදුවේ.

පැරැණි වෙදමහතුන් හදිසි රොගීන් ප්‍රතිකාර කිරීමට යන විට රැගෙන යන බෙහෙත් හෙප්පුවේ ඒ ඒ පරුපුරු අනුව සකසා ගත් ගුලි කල්ක වර්ග තබා ගෙන  සිටියි. බරපතල සන්නි, කෝල, වලිප්පු රෝග වලදී යොදනු ලබන ඉතා සාර්ථක ප්‍රතිකාර වල මුල් පදනම ඇත්තේ මෙවැනි ගුලි කල්ක මතය. එසේම සියලුම ආකාරයේ රෝග වලට යෙදුණු ප්‍රතිකාර වල මෙම ගුලි කල්ක අඩංගු විය.

සමහර ගුලි කල්ක වල තිබෙන ගුණ කවියෙන් ගැයෙන්නේ එහි බලය සාහිත්‍යමය උපමාවෙන් වර්ණනා කරමිනි.

හිරු දුටු පිනි සේ, ගිනි දුටු ඉටි මෙන්, අල පත වන් දිය සේ, නයින් මැදට වන් ගුරුළිඳු විලසට,  උරගයාට ගරුඬ මෙන්,  මුගටි දුටු අහි ලෙස, උරගු දුටු පොළඟුන් ලෙස, සිහ දුටු ගජ රැල සේ, ගිජිදුගේ ඔද හළ කෙසරිඳු වැනි, නයින් දුටු මැඩියන් ලෙස, ගජ අත පත් පිඹුරෙකු ලෙස ආදී ඉතා මනරම් උපමා අපේ පැරැණි ගුලි කල්ක වට්ටෝරු වල යෙදී ඇත. ඒවා අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි යන සහතිකය සමඟින් සමාජගත වූ අපේ උරුමයන් නිසාය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතාගේ ලිපියක් ඇසුරෙනි ...............උපුටාගැණීම අන්තර්ජාලය...........දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගුලි කල්ක වලින් ලෙඩ හොඳ කළ හැකිද ? (Guli Kalka) ගුලි කල්ක වලින් ලෙඩ හොඳ කළ හැකිද ? (Guli Kalka) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2022 Rating: 5

0 comments:

Post a Comment