Your Choice Way

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry)

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way

ඔබ රූපවාහිනී කතාමාලා රසිකයෙකු නම් Disney+ ඔස්සේ විකාශය ඇරඹූ Loki කතා මාලාවේ පළමු කොටස අනිවාර්යයෙන්ම නැරඹූ හෝ නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙකු විය හැක. සුප්‍රසිද්ධ මාර්වල් විශ්වයේ අනාගතය තීරණය කරන තවත් එක් ප්‍රධාන කතා මාලාවක් ලෙස මෙම කතාමාලාව හදුන්වාදිය හැකිය. එහෙත් අද අප බලාපොරොත්තු වන්නේ එම කතා මාලාව පිළිබද කතා කිරීමට නොව එහි අපට පෙන්වූ එක් සිදුවීමක් පිළිබඳව ඓතිහාසික කතාන්දරයක් ඔබ වෙත ගෙන ඒමයි. කතා මාලාව නැරඹූ ඔබට මෙහි එක් සිදු වීමකදී Loki විසින් ගුවන් යානාවක් පැහැරගන්නා සිදුවීමක් හා එයින් පැන යන ආකාරයක් දැක ගත හැක. එහෙත් මෙම සිදුවීමට පාදක වී ඇත්තේ සැබැවින්ම සිදු වූ සිදු වීමක් වන අතර අදටද එය සිදු කළ පුද්ගලයාගේ අනන්‍යතාව අභිරහසකි.

1971 නොවැම්බර් මස 24 වන දින වයස අවුරුදු 40ක් පමණ වූ මැදිවියේ මිනිසෙකු පෝට්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට සියැටල් දක්වා ගුවන් ටිකට්පතක් මිලදී ගෙන එක්සත් ජනපද වයඹදිග ඔරියන්ට් ගුවන් සේවයට අයත් බෝයිං 727 වර්ගයේ ගුවන් යානයට ගොඩ විය. ඔහු එහිදී තමා හදුන්වා දුන්නේ ඩෑන් කූපර්  (පසුව මාධ්‍ය විසින් 'ඩී.බී. කූපර්' ලෙස වැරදියට හදුන්වා දෙන ලදී) ලෙසය.

ගුවන් යානය ගුවන් ගත වීමට තිබියදී ඔහු සන්සුන්ව සිගරට්ටුවක් පත්තු කරගෙන පානය සදහා බීම වර්ගයක් ඇණවුම් කළ බව කියනු ලැබේ. ගුවන් සේවිකාවන්ගේ සාක්ෂියට අනුව ඔහු කළු පැහැති ව්‍යාපාරික ඇඳුමකින් සැරසී බෑගයක් රැගෙන ගිය බව කියැවේ. ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ ගුවන් යානය ගුවන් ගත වන තුරුම මෙම පුද්ගලයාගෙන් කිසිදු සැක සහිත හැසිරීමක් වාර්තා නොවූ බවය. එම ගුවන් යානයේ කූපර් ඇතුළු මගීන් 36 දෙනෙකු සිටි අතර නියමිත පරිදි පෝර්ට්ලන්ඩ් ගුවන්තොටුපලේ සිට ප.ව.2:50 ට පිටත් විය.

ගුවන් යානය ගුවන් ගත වූ විගසම කූපර් 23 හැවිරිදි ගුවන් සේවිකාවක් වූ ෆ්ලෝරන්ස් ෂාෆ්නර් වෙත ලිපියක් භාර දුන්නේය. නමුත් ඇය සිතුවේ මේ ව්‍යාපාරිකයා ඔහුගේ දුරකථන අංකය තමාට ලබා දෙන්නට ඇති කියාය. එම නිසා ඇය එම ලිපිය කියවන්නේ නැතිව තම පසුම්බියට දමා ගන්නා ලදී. මේ අවස්ථාවේදී කූපර් ඇය දෙසට නැඹුරු වී “මහත්මිය, ඔබ එම සටහන දැන්ම බැලුවොත් හොඳයි. මගේ ළග බෝම්බයක් තියෙනවා.” යැයි සෙමින් පැවසීය. මෙයත් සමගම ඇමරිකානු ඉතිහාසයේ සිදු වූ විශාලතම නොවිසඳුණ අභිරහසකට තුඩු දෙන සිදුවීම් දාමය එසේ ආරම්භ විය.

ෂාෆ්නර් සටහන කියවීමෙන් පසුව කූපර් සන්සුන්ව ඇයගෙන් ඉල්ලා සිටියේ තමා අසල වාඩි වන ලෙසය.  ගුවන් සේවිකාව ඔහු කියූ පරිදි ක්‍රියා කළ අතර පසුව බෝම්බය දෙස බලන ලෙස ආචාරශීලී ලෙස ඔහු ඉල්ලා සිටියේය. කූපර් තම බෑගය සෙමින් විවෘත කළ අතර ගුවන් සේවිකාවට එය තුළ තිබී රතු සිලින්ඩර අටක් දැකීමට හැකි විය. ඒවා රතු පැහැති වයර් වලින් සම්බන්ධ වි තිබූ අතර ඊට අමතරව බැටරියක්ද විය.

බෑගය වසා දැමීමෙන් පසු ඔහු තම ඉල්ලීම් ඉදිරිපත් කරන ලදී. ඔහු මුදලින් ඇමරිකානු ඩොලර් 200,000 ක් (වර්තමාන වටිනාකමට අනුව ඩොලර් මිලියන 1.2 පමණ), පැරෂුට් හතරක් සහ යානය සියැටල් වල ගොඩබැසීමෙන් අනතුරුව යානයට යළි ඉන්ධන පුරවා දෙන ලෙස මෙන්ම සියැටල් සිට මෙක්සිකෝ නගරය දක්වා දෙවන ගුවන් ගමනක් ද ඉල්ලා සිටින ලදී.

ෂාෆ්නර්, කුපර්ගේ මෙම උපදෙස් නියමු කුටියේ නියමුවන් වෙත යොමු කළේය. එහෙත් මේ සියල්ල වන අතරේ අනෙක් මගීන්ට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොතිබූ අතර විවිධ තාක්ෂණික දුෂ්කරතා හේතුවෙන් ගොඩබෑම ප්‍රමාද වන බව නියමුවන් ඔවුනට පවසන ලදී. එමෙන්ම සෙසු මගීන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු නිසා ෆෙඩරල් බලධාරීන්ද කූපර්ගේ මෙම ඉල්ලීම් වලට ඉක්මනින්ම එකග විය.

එෆ්බීඅයි ඒජන්තවරුන් සියැටල් වල විවිධ බැංකුවලින් ඉල්ලා සිටි කප්පම් මුදල ඉක්මනින්ම එකතු කර ගැනීමට කටයුතු කරන ලදී. ඩොලර් 20 නෝට්ටු 10,000 ක් ඔවුන් රැස් කළ අතර ඒවා බොහෝමයක අනුක්‍රමික අංක “එල්” අකුරින්  ආරම්භ වන ඒවා වූ අතර පසුකාලීනව මුදල් නෝට්ටු සොයා ගැනීමේ අදහසින් ඔවුන් එක් එක් නෝට්ටුවේ දත්ත රැස් කර තබා ගන්නා ලදී. 

5:39 ට පමණ යානය සියැටල් ගුවන් තොටුපළට පැමිණියේය. පොලිස් ස්නයිපර්වරුන් වෙඩි තැබීම වලක්වා ගැනීම සඳහා කූපර් ගුවන් නියමුවන්ට උපදෙස් දුන්නේ යානය ඉතා දුරස්ථ සහ දැඩි ලෙස ආලෝකමත් ප්‍රදේශයක යානය නතර කරන ලෙසය. එමෙන්ම ගුවන් යානයේ කවුළු සියල්ල වසා දමන ලෙසද ඔහු පැවසීය.

ඉන් පසු ගුවන් තොටුපළේ මෙහෙයුම් කළමනාකරු වන අල් ලී ගුවන් යානයට ඇතුළු විය. ඔහු මුදල් පිරවූ බෑගය සහ පැරෂුට් හතරක් පසුපස පඩිපෙළට ඉහළින් සිටි කාර්ය මණ්ඩලයේ එක් සාමාජිකයෙකුට භාර දුන්නේය. මුදල් භාරදීම අවසන් වූ පසු කූපර් සියළුම මගීන්ට සහ ජේෂ්ඨ ගුවන් සේවිකාවක් වන ඇලිස් හැන්කොක්ට යානයෙන් පිටවීමට අවසර ලබා දුන්නේය.

ඉන් පසු යානයට ඉන්ධන පිරවීම සිදු කරන ලදී. නැවත ඉන්ධන පිරවීම අතරතුර කූපර් සිය ගුවන් ගමන් සැලැස්ම පිලිඳව කාර්යමණ්ඩලය දැනුවත් කරන ලදී. ඔහු ප්‍රකාශ කළේ යානය හැකි තරම් අඩු ගුවන් වේගයක් සහිතව මෙක්සිකෝ නගරය දෙසට ගමන් කරවන ලෙසය. ඊට අමතරව ඔහු මෙම යානය හැකි තරම් පහතින් ගමන් කරවන ලෙසද පැවසීය.

ඉන්ධන පිරවීමෙන් පසු යානය සියැටල් සිට මෙක්සිකෝවට යන ගමනේදී නෙවාඩා හිදී යළි ඉන්ධන පිරවීම සඳහා සැලසුම් කර ඇත. යානය යළි ගුවන් ගත වීම ඇරඹී අතර මැකෝඩ් ගුවන් හමුදා කඳවුරෙන් පිටත් වූ එෆ් -106 ප්‍රහාරක ජෙට් යානා දෙකක් සෑම විටම ගුවන් යානය සමග ගමන් කරන ලදී. 

යානය ගුවන් ගත වූ වහාම කූපර් විසින් ඉතිරි කාර්ය මණ්ඩලයේ සියලු දෙනා නියමු කුටියේ සිර කර තැබීමට වග බලා ගත් අතර ඔහු තනිවම කැබින් එකේ රැඳී සිටියේය. රාත්‍රී 8.00 ට පමණ නියමු කුටියේ අනතුරු ඇඟවීමේ ආලෝකය දැල්විනි. ගුවන්යානා කාර්යමණ්ඩලය භීතියෙන් ඇලලී ගිය අතර ඔවුන් යානයේ ඉන්ටර්කොම් පද්ධතිය හරහා කූපර්ව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද එය අසාර්ථක විය. මොහොතකින් කාර්යමණ්ඩලය අවබෝධ කර ගත්තේ පසු පස දොරක් විවෘතව ඇති බවයි. ගුවන් යානයේ පසුපස කොටස රාත්‍රී 8:13 ට පමණ හදිසියේ ඉහළට ත්වරණයකට ලක්විය. 

රාත්‍රී 10: 15 ට පමණ යානය නෙවාඩා හි රෙනෝ ගුවන් තොටුපළට යළි ඉන්ධන පිරවීම සදහා ගොඩ බසින ලදී. ක්ෂණයකින් යානය තුළට එෆ්බීඅයි ඒජන්තයින්, සොල්දාදුවන්, ෂෙරිෆ් නියෝජිතයින් සහ පොලීසිය ඇතුළු පිරිසක් කඩා වැදුනු අතර වහා කුපර්ව අල්ලා ගෙන මෙම සෙල්ලම නතර කිරීමට ඔවුනට අවශ්‍ය විය. නමුත් ඔවුන්ට හමු වූයේ හිස් කැබින් එකක් පමණි. කූපර් තවදුරටත් එහි නොසිටියේය. ඔහු සිය සැලැස්ම ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කර ඇති අතර සියලු බලධාරීන් සාර්ථකව රවටා ඇත.

මූලික පරීක්ෂණවලින් කියැවුණේ ඔහු පැරෂුටයක් ආධාරයෙන් කප්පම් මුදල් සමඟ යානයෙන් වනාන්තර ප්‍රදේශයකට පැන ඇති බවයි. එහෙත් බලධාරීන් පැවසුවේ එම රාත්‍රියේ තිබූ කාලගුණය සැලකිල්ලට ගනිමින් ඔහුගේ දිවි ගලවා ගැනීමට තිබූ අවස්ථාව ඉතා අඩු බවය. නමුත් ඔහු සොයා විශාල මෙහෙයුමක් ඇරඹී අතර එෆ්බීඅයි පරීක්ෂකයින් සහ ප්‍රාන්ත කිහිපයක ෂෙරිෆ් නිලධාරීන් පයින් හා ගුවන් මගින් විශාල කැලෑ ප්‍රදේශයක් පීරා ඔහුව සෙවීමට පටන් ගන්නා ලදී. ඔවුන් අසල පිහිටි ගොවිපොළවල්වල ගෙයින් ගෙට ගොස් පරීක්ෂණ පවා සිදු කරන ලදී. සෙවුම් පාර්ශව කිහිපයක් මර්වින් විල සහ ඒ අසල ඇති යේල් විල වටාද මුර සංචාර යාත්‍රා යොදවා පරික්ෂා කරන ලදී. එහෙත් කූපර් ජීවතුන් අතර හෝ මියගොස් ඇති බවට කිසිදු සලකුණක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

1980 පෙබරවාරි මස 10වන දින තෙක් වසර 10 කට ආසන්න කාලයක් තිස්සේ මෙම අභිරහසේ කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබුණි. වසර 10කට පසු සිය පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කරමින් සිටි අට හැවිරිදි බ්‍රයන් ඉන්ග්‍රම් කොලොම්බියා ගං ඉවුරේ තිබී මුදල් පිරවූ බෑග් තුනක් සොයා ගන්නා ලදී. ඒ තුළ ඩොලර් 5,800ක මුදලක් තිබූ අතර ඒවා කප්පම් මුදලෙහි කොටසක් බව එෆ්බීඅයි ඉතා ඉක්මනින් සනාථ කර ගන්නා ලදී. නමුත් කූපර්ට සිදු වූයේ කුමක්දැයි අදටද අභිරහසකි.

කූපර් බෝයිං 727 ගුවන් යානයක් පැහැරගෙන යාමත් සමග ඔහු ඇමරිකානු ගුවන් කර්මාන්තයේ තිබූ දැවැන්ත අඩුපාඩු රාශියක් හෙළි කරන ලදී. මෙම පැහැරගැනීමේ ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස  ගුවන්තොටුපලවල දැඩි ආරක්ෂක පරීක්ෂාවන් සහ සියලුම බෝයිං 727 ගුවන් යානා පසුකාලීනව “කූපර් වේන්” නමින් ආරක්ෂක පද්ධතියක් හදුන්වා දුන් අතර එමඟින් ගුවන් ගමන් අතරතුර ගුවන් පඩිපෙළ පහත් කිරීම තහනම් විය.

1973 දී ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ගුවන් මගීන් සහ ගමන් මලු පිළිබඳ දැඩි සෙවීම් කිරීම ආරම්භ කරන ලදී.  ගිනි අවි හා ලෝහ වස්තූන් හඳුනා ගැනීම සඳහා නිර්මාණය කරන ලද විද්‍යුත් උපාංගයක් වන මැග්නටොමීටරයක් ​​භාවිතා කිරීමද ආරම්භ කරන ලදී. රැගෙන යන ගමන් මලු සහ අනෙකුත් මගී බඩු බාහිරාදිය අතින් පරීක්ෂා කර හෝ එක්ස් කිරණ යන්ත්‍ර මගින් පරික්ෂා කරන ලදී.  පිටත්වීමේ ගේට්ටු සහ වෙනත් ගුවන් තොටුපල ස්ථානවල මුරපොලවල්වල ප්‍රාදේශීය ආරක්ෂක පොලීසිය යෙදවීමට ද කටයුතු කරන ලදී.

අවුරුදු 45 ක් එනම් 2016 වසර වන තෙක් ඩී.බී.  කූපර් එෆ්බීඅයි හි වඩාත්ම අවශ්‍ය ලැයිස්තුවේ රැදී සිටින ලදී. අවසානයේ ඩී.බී.  කූපර් යනු සැබෑ ලෙසම කවුරුන්ද යන්න අදටද අභිරහසකි. ඔහු එම රාත්‍රියේ ඒ මාරක පිම්මෙන් දිවි ගලවා ගත්තා ද එසේත් නැතිනම් මියගියාද යන්න දන්නේ ඔහු පමණි. නමුත් ඔහු ඉන් දිවි ගලවා ගත්තේ නම් ඔහු ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම මංකොල්ලකරුවකු බවට පත්වනු නිසැකය.

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way
ඩී.බී.කූපර්ගේ රුවට සමාන රූප සටහනක්

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way
පැහැර ගත් යානය සියැටල් ගුවන් තොටුපළේ නතර කර ඇති අවස්ථාව

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way
එෆ්බීඅයි ඒජන්තයින් කූපර් පිළිබඳ සොයමින්

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way
කොලොම්බියා ගං ඉවුරේ මුදල් සොයන එෆ්බීඅයි නියෝජිතයින්

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way
එම කාලයේ අඩු ආරක්ෂාවක් යටතේ ගුවන් තොටුපළ පර්යන්තය පැවති අයුරු

දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) - Your Choice Way
එෆ්බීඅයි විසින් නිකුත් කළ ඩී. බී. කූපර්ගේ විස්තර අඩංගු පෝස්ටරය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) දශක පහකට අධික කාලයක් නොවිසඳුණු ගුවන්යානා කර්මාන්තයේ විශිෂ්ඨතම අභිරහස (The Greatest Mystery In The Aviation Industry) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Friday, March 11, 2022 Rating: 5

0 comments:

Post a Comment