චේතන රිටිගලට රැගෙන ගිය අභිරහස් මහල්ලා අතුරුදන් (Chethiya)

චේතන රිටිගලට රැගෙන ගිය අභිරහස් මහල්ලා අතුරුදන් (Chethiya) - Your Choice Way

ඔහු නමින් චේතනය. වසර කිහිපයකට පෙර ඔහු මුහුණ දුන් මේ සිදුවීම ඔහුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරලීමට සමත් විය. කොළඹ සරසවියේ තුන්වැනි වසරේ සිසුවකු වූ චේතන ඒ අතර තුර කුඩා ව්‍යාපාරයක්ද කරගෙන ගියේය. කොල්ලූපිටියට ආසන්නයේ බෝඩිමක නතර වී සිටි චේතනගේ ගම බදුල්ල වූ බැවින් ඔහු ගමේ ගියේ මාසයකට සැරයක් පමණි. එදා ඉරිදා දිනකි. උදේ සිට කම්මැලිකමින් කාලය ගත කළ චේතන බෝඩිමේ තමා සමග සිටි සගයාට යෝජනාවක් ඉදිරිපත් කළේය.

‘මචං අපි ගෝල්ෆේස් එක පැත්තට යමුද?’

‘මේ ගිනි අව්වේ..’

‘ඔව් බං කම්මැලියි...’

‘ගිනි අව්වේ ගිහින් මොනා කරන්ඩද බං..’

‘බත් දෙකකුත් අරන් යමු. නානා අයියගෙන් ඉස්සෝ වඬේ දෙක තුනක් අරගෙන එතැන ඉඳගෙනම කාලා වටයක් දාලා එමු.’

අවසානයේ මිතුරන් දෙදෙනා මවුන්ටන් බයිසිකලයේ නැගී අරලියගහ මන්දිරය පසුකරගෙන ගෝල්ෆේස් දෙසට ගමන් කරන්නට විය. අතර මඟදී ගත් බත් පාර්සල් දෙකද රැුගෙන ගෝල්ෆේස් පිටියේ වෙරළ පැත්තට වන්නට ඇති කඩපේළියේ වඬේ කඩයක් කරන මුස්ලිම් ජාතිකයකු වූ නානා අයියා කාලයක සිට ඔවුන්ගේ හිතවතෙකි. කඩය අසල පුටුවල වාඩි වී ආගිය තොරතුරු කතාකරමින් පැය කිහිපයක් ගෙවී ගියේය.

‘බඩගිනියි බං කමු..’

‘නානා අයියේ බත් ටිකක් කමුද?’

‘බෑ මල්ලිලා ඔයා කන්න’

කඬේ පිටුපස කොන්ක‍්‍රීට් බංකුව දෙපැත්තට කකුළ දමා ගත් චේතන බත් පාර්සලය දිග හැර ගත්තේ චේතනගේ යහළුවා පිඟානක් උඩ කෑම පාර්සල තබාගෙනම කෑම ඇරඹුවේය.

චේතන කන්නට පටන්ගෙන ගත වූයේ විනාඩි කිහිපයකි. වයසක හිඟන්නකු එතැනට පැමිණියේය.

‘අනේ පුතේ මට බඩගිනියි.

මටත් කන්ඩ ටිකක් දෙන්ඩකෝ.’

චේතන ඔළුව ඔසවා බැලූවේය. ඉතා අපිරිසුදු පෙනුමක් සහිත හිඟන්නෙකි.

‘ඔය පැත්තෙන් වාඩි වෙලා කන්ඩ, මම මේ පැත්තෙන් කන්නන්’ චේතනගේ කටින් පිටවූයේ කුමක්දැයි ඔහුටම සිතාගත නොහැකි විය. ඒ මොහොතේ ඔහුට අප්පිරියාවක් හෝ වෙනයම් හැඟීමක් දැනුණේද නැත.

දෙදෙනාම බත් එක බෙදා ගෙන කෑවේය.

‘පුතේ උඹට පින්සිද්ධ වෙනවා. උඹට පුළුවන්ද මට තව එක උදව්වක් කරන්න. මගේ ළඟ සල්ලි තියෙනවා. මාව ගෙදර එක්කන් යන්ඩ පුළුවන්ද?

‘ගෙවල් කොහෙද?’

‘අනුරාධපුර බස් එකේ යන්ඩ ඕනේ. අතර මඟින් බහින්ඩ ඕනේ....

‘මොකක්...’

‘ඔව් දැන් යන්ඩ ඕනේ...’

දෙවරක් සිතන්නටවත් චේතනට අවස්ථාවක් ලැබුණෙ නැත.

‘මම මූණකට හෝදාගෙන එන්නම්’

ගොල්ෆේස් පිටිය කෙළවර පිහිටි පොදු වැසිකිළිය තුළට ගිය වයසක පුද්ගලයා යළි එළියට එන විට සිටියේ එතෙක් වෙලා සිටි අපිරිසුදු හිඟන්නා නොව නා පිරිසුදු වී පිරිසුදු සුදු ඇඳුමකින් සැරසුණු වයසක පුද්ගලයෙකි.

‘පුතේ මෙන්න මේක පරෙස්සමෙන් අතේ තියා ගනින්. ඔතැන සල්ලි ගොඩක් තියෙනවා. උඹගේ බෑග් එකේ දාලා පරිස්සන් කර ගනින්.’

එය තරමක විශාල සල්ලි පාර්සලයකි. ඉටි කොළ බෑගයක දමා ඔතා තිබූ එය චේතන තම කරේ තිබූ ගමන් මල්ලේ දමා ගත්තේය. එතෙක් එම මහල්ලා අත තිබූ මල්ල ගුලිකර කුණු බක්කියකට දැමුවේය.

‘අපි යමු පුතේ..’

‘මචං මම මේ සීයව ගෙදරට දාන්න යනවා. උඹ බයිසිකලය අරගෙන පලයන්’

යන්නේද නොයන්නේද යන්න තීරණය කරන්නටත් කලින් ගමන පිටත්වීම ඉබේම සිදුවී අවසානය. චේතන ඇඳගෙන සිටි කොටකලිසමෙන්ම පිටත්විය. පිටුකොටුවේ ගුණසිංහ පුරයෙන් දහවල් එකහමාරට පමණ බසය පිටත් විය. හවස තේ බීමට ඩමාරගොල්ල ආසන්නයේ බසය නතර කෙරුණි.

‘පුතේ ඔය සල්ලිවලින් උඹ ඕන දෙයක් කාලා මොනවා හරි බීපන් මට සීනි බනිස් ගෙඩියක් ගේන්ඩ.’

අනුරාධපුරයට සැතපුම් දහයකට පහළොවකට කළින් ඔවුහු බැස ගත්හ.

‘සීයේ මම දැන් යන්නම්,

දැන් යන්ඩ පුළුවන්නේද?’

‘මෙතැන ඉඳලා ටික දුරක් යන්ඩ ඕනේ’

ඔවුහු කුඩා වැව් අතරින් වැටුණු පාරවල් දිගේ සැතපුම් තුනක් පමණ ගමන් කළහ.

‘මට මේ කැළේට ටිකක් යන්න ඕනේ බෙහෙත් ගහක් හොයාගන්න. චේතනගේ සිත තරමක ගැටලූ සහගත තත්ත්වයකට මැදි වන්නට විය. තමා කිසියම් උගුලකට අසුවී ඇතිද?

ඔහු වැව අසල වූ බැම්මේ වාඩිවිය.

‘සීයා ගිහින් එන්න. මට බෑ මම මෙතැන ඉන්නම්’

‘ඇයි මාව විශ්වාස නැද්ද?’

‘වැවේ අයිනේ තියෙන අර නෙළුම් කොළේ උඩ වාඩි වෙන්න පුළුවන්ද?’

‘මම ගෙම්බෙක්නම් පුළුවන්.’

‘ගිහින් වාඩි වෙන්න. වාඩි වෙන්ඩ පුළුවන්. මාව විශ්වාස කරලා එන්න.’

ඔහු නෙළුම් කොළය මත එරමිණියා ගොතාගෙන වාඩි විය. ඇත්තටම ඔහුට එහි වාඩි වීමට හැකියාව ලැබුණි.

‘එහෙනම් පුතේ ඔහොම්මම රවුමක් ගිහිල්ලා එන්න.’ නෙළුම් කොළය ඔහුව රැගෙන වැව වටේ පාවී ගියේය. චේතනට මෙය අදහාගත නොහැකි විය. ඉන්පසු වනය තුළට පිවිසි මහල්ලා යම් කුඩා ශාඛයක් ගලවා ගත්තේය. ‘පුතේ මේ ඉඩම උඹගේ. තව අවුරුදු හතර පහකට පස්සේ මේ ඉඩම උඹට අයිති වෙනවා. මේ ඉඩම හිමි උඹටයි. ඒ නිසා හොරෙන් මේ පැළය ගලව ගන්න මට අයිතියක් නෑ. අයිතිකාරයත් එක්ක ඇවිල්ලයි මේක ගලවා ගන්ඩ ඕනේ.’

පැළය ගලවා ගැනීමෙන් පසු ඔහු රිටිගලට යා යුතුයැයි පැවසුවේය. ඉන්පසු චේතන මහල්ලාව රිටිගලට රැගෙන ගියේය. රිටිගල පන්සල අසලදී ඉතිහාසගත බොහෝ කරුණු වේගයෙන් වේගයෙන් මහල්ලා චේතනට කියා දුන්නේය. ඒ සියල්ල ඔහු ඉදිරියේ සිතුවමක් මෙන් මැවී පෙණුනේය.

පසුදින පාන්දර චේතන අසලට පැමිණි මහල්ලා වනාන්තරය තුළට යෑමට ඔහුට කතා කළේය.

‘මට තව බෙහෙත් පැළයක් හොයාගන්ඩ තියෙනවා. අපි දැන් පිටත් වෙන්ඩ ඕනේ. යමු’. ඔහු නැගිට්ටේද ඒ මොහොතේය. එහෙත් සැණින් මුහුණ කට සෝදා ගත් ඔහු මහල්ලා සමග වනයට පිවිසියේය. කෙමෙන් කෙමෙන් ඔවුහු රිටිගල කඳු මුදුන වෙත පිවිසියහ.

‘මම මෙතැනින් නවතිනවා. පුතේ උඹට ගොඩක් පින්... උඹට දැන් යන්ඩ පුළුවන්

චේතනට කරන්නේ කුමක්දැයි සිතාගත නොහැකි විය. මහ වන මැද සිට තනියම පැමිණීම සිතට ඇතිකළේ තරමක බිය මුසු හැඟීමකි. එහෙත් ඔහු එය පෙන්නුවේ නැත. කරේ තිබූ බෑගයෙන් එහි වූ මුදල් දැමූ පාර්සලය ගෙන මහල්ලාට දුන්නේය.

‘මට දැන් සල්ලිවලින් වැඩක් නෑ. ඔය ළමයා ඔය ටික තියා ගන්න. ඔයාගේ ව්‍යාපාරය දියුණු කර ගන්ඩ ඔය සල්ලි යොදවන්න. ඔය ළමයා දැන් කොහෙද යන්නේ ගෙදරද? බෝඩිමටද?

‘මම කොළඹ යනවා.’

‘එහෙනම් ඇස් දෙක පියා ගන්න.’

මහල්ලා යම් තෙල් බිඳුවක් චේතනගේ නළලේ ආලේප කළේය. චේතන ඇස් ඇරියේය. ඔහු කොල්ලූපිටියේ බෝඩිමේ දොර අසල සිටගෙන සිටියි. සිදුවූයේ කුමක්ද?

මෙය විශ්වාස කළ හැක්කක්ද? රිටිගල සිට ඇසිපිය ගසන සැණින් කොල්ලූපිටියට පැමිණියේ කෙසේද? අපට මෙය සිදුවූයේ කෙලෙසද කියා තේරුම් ගැනීමට අපට නොහැකි වීම සාධාරණය. මක්නිසාදයත් එයට මුහුණ දුන් චේතනටවත් එය තේරුම් ගතනොහැකිය.

ඔහු සති දෙකකට පසු යහළුවකු සමග මහල්ලා සොයා රිටිගල පීරුවේය. එවන් අයකු පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය.

විශ්ව විද්‍යාල ජීවිතය නිමවීමෙන් පසු ඔහු තම පරිගණක ව්‍යාපාරය ලංකාව පුරා ව්‍යාප්ත කරලීය. අනුරාධපුරේ පරිගණක ආයතනයකට ලබාදුන් පරිගණක කිහිපයක් වෙනුවෙන් ඔහුට ලක්ෂයක පමණ මුදලක් හිමි විය යුතුව පැවතුණි. එහෙත් එම ව්‍යාපාරිකයා බංකොලොත් විය. ඔහු ලංකාව අතහැර යෑමට සුරසුණේය. චේතන තමාට ලැබිය යුතු මුදල ගැන නොසිතා, ඔහුට පිටවීමට අවශ්‍ය උපකාරයන් සිදුකළේය. එම පුද්ගලයා රටින් පිටව යන දිනයේ චේතන හමුවීමට පැමිණියේය.

‘මල්ලි ඔයා මට ලොකු උදව්වක් කළේ. ඔයාගේ සල්ලි මට දෙන්න විදියක් නෑ. මගේ ඉඩමක් තියෙනවා අක්කර පහක මම ඒක ඔයාගේ නමට ලිව්වා. මෙන්න එකේ ඔප්පුව. මේකේ යන විදිය ඔක්කොම ඇඳලා තියෙනවා. මල්ලි මාසයකට සැරයක්වත් ඒ පැත්තේ යන්න.’

චේතනට මේ කිසිවක් සිතාගත නොහැකි විය. දින කිහිපයකට පසු ඔහු පවුලේ අයත් සමග ඉඩම සොයා ගියේය. ඒ වෙන ඉඩමක් නොව එදා මහල්ලා පැළය ගලවාගත් ඉඩමම බව ප‍්‍රධාන මාර්ගයෙන් වැව කණ්ඩියට වාහනය ඇතුළු කරන විටම ඔහුගේ සිතට දැනුණි. වැව් කණ්ඩියට ඔබ්බෙන් වූ අක්කර පහක පමණ වනයේ හිමිකරුවා වීමට අවස්ථාව උදාවූයේ එලෙසය. මෙය දෛවයද? නැතහොත් උරුමයද? කුමක් වුවත් එය තවමත් තේරුම්ගත නොහැකි මහා අභිරහසකි.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චේතන රිටිගලට රැගෙන ගිය අභිරහස් මහල්ලා අතුරුදන් (Chethiya) චේතන රිටිගලට රැගෙන ගිය අභිරහස් මහල්ලා අතුරුදන් (Chethiya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 23, 2022 Rating: 5

0 comments:

Post a Comment