දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze)

දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) - Your Choice Way
"ජීවිතය සහ මරණය පිළිබඳ ඔබ තුළ පවතින සියලුම සිතුවිලි  තුරන් කර දැමූ විට, ඔබට ඔබේ ජීවිතය පිළිබඳ ඇති ආශාව මුළුමනින්ම නොසලකා හැරීමට හැකි වනු ඇත. මෙමගින් නොසැලෙන අධිෂ්ඨානයකින් යුතුව ඔබගේ සතුරා මුලිනුපුටා දැමීම කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමට  ඔබට හැකි වනු ඇත. එයත් සමගම පියාසැර කිරීමට ඔබ තුළ පවත්නා විශිෂ්ඨ කුසලතාවය ද ඔබව තවත් ශක්තිමත් කරනු ඇත." - කමිකාසේ නියමුවන්ගේ අත්පොතෙන් සිදු කළ උපුටා ගැනීමකි.

දෙවන ලෝක යුද්ධය අවසාන වීමට ඉතා ආසන්නව තිබියදී එක්සත් ජනපදයෙන් එල්ල වන දැඩි ප්‍රහාර වලට මුහුණ දීමට ජපානය විශාල පරිශ්‍රමයක් දරන ලදී. සැබැවින්ම එක්සත් ජනපදය යනු ඉතා බලගතු ආයුධ වලින් සමන්විත ප්‍රබල රටක් විය. එමෙන්ම ජපානයේ එම කාලයට සාපේක්ෂව, එක්සත් ජනපදය සතුව විශාල හමුදාවක් ද විය. මේ හේතු නිසා ජපාන යුධ සැලසුම් කරුවන්ට ඉතා ඉක්මනින්ම නව යුධ උපක්‍රම සොයා යාමට සිදු විය.

ගෞරවය යනු සැමවිටම ජපන් සමාජයේ විශාල පිළිගැනීමක් තිබූ සාධකයකි. ජපාන සංස්කෘතිය තුළ රට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදු කොට මිය ගිය පුද්ගලයකුගේ පවුලට විශාල කීර්තියක් හිමි වන ලදී. ඒ අනුව ජපාන හමුදාව විසින් “ටොකුබෙට්සු කොගෙකිටායි” (විශේෂ ප්‍රහාරක ඒකකය) නමින් විශේෂ ගුවන් යානා සංචිතයක් ඇති කිරීමට තීරණය කළේ මේ හේතුව නිසා ය. 

මොවුන්ගේ කාර්යභාරය වූයේ සිය ගුවන් යානාව සතුරු නාවික යාත්‍රා වෙත ගමන් කරවා, එහි ගැටීමට සලස්වා සිය අවසාන පරිත්‍යාගය තම රට වෙනුවෙන් ඉටු කිරීමයි. සැබැවින්ම මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය.

මෙම දරුණු උපක්‍රමය ආරම්භ කිරීමට විශාල ලෙස බලපාන ලද්දේ පැසිපික් සාගරය තුළ ආධිපත්‍යය දැරූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නිසාය. මෙම ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා වල සාමාන්‍යයෙන් ඉතා දැඩි ලෙස ආරක්ෂාවක් පවතින ලදී. එහි තිබූ ඉතා දියුණු ගුවන් යානා නාශක අවි පද්ධතිය නිසා ගුවන් යානා වලින් නෞකාවේ නිසි ඉලක්කයන්ට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීම සහ බෝම්බ හෙලීම ඉතා අසීරු විය. මෙම සියදිවි නසා ගැනීමේ බලකාය බිහි වූයේ ඒ අයුරිනි. කෙතරම් ප්‍රහාර එල්ල වුවත් තම යානාව සාර්ථකව අදාල ඉලක්කයට ගැටෙන්නට සැලැස්වීමෙන් විශාල හානියක් සිදු කිරීමට ඔවුන්ට හැකි විය.

මෙම සියදිවි නසාගැනීමේ ප්‍රහාරය “කමිකාසේ” ලෙස නම් කරන ලද අතර එහි තේරුම දිව්‍යමය සුළඟ හෝ ආත්මීය සුළඟ ලෙස පරිවර්තනය වේ. මෙම ප්‍රහාරයන් බොහෝ දුරට භාවිතා කරන ලද්දේ 1945 දී ය. එය දෙවන ලෝක යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදය වූ අතර මිත්‍ර හමුදා ඉදිරියට පැමිණීම මන්දගාමී කිරීමට සහ පැසිෆික් සාගරයේ මිත්‍ර හමුදා සඳහා තිබූ සැපයුම් මාර්ග විනාශ කිරීමට ඔවුන් මෙම ප්‍රහාර යොදා ගන්නා ලදී. එමෙන්ම ඔවුන් විශ්වාස කළේ කමිකාසේ ගුවන් නියමුවෙකු විසින් තම රට වෙනුවෙන් සිදු කරන කැපකිරීම සහ පරාර්ථකාමීත්වය මගින් ආක්‍රමණික බලවේගයන්ට විශාල මානසික බලපෑමක් ඇති කරනු ඇති බවයි.

ජපාන ගුවන් නියමුවන් 3,800 ක් පමණ මෙම කාලය තුළ සියදිවි නසාගැනීමේ ප්‍රහාර සිදු කර ඇති බවට ඉතිහාඥයන් විසින් ගණන් බලා තිබේ. එමෙන්ම කමිකාසේ ප්‍රහාරවලින් මිත්‍ර පාක්ෂික නාවික හමුදා භටයන් 7,000 ක් පමණ මිය ගොස් ඇති බවට ද ඔවුන් ගණන් බලා තිබේ. එකල මිත්‍ර පාක්ෂිකයන් මේ කමිකසේ ප්‍රහාරකයන්ට විශාල බියක් දැක්වූ බවද කියැවේ.

කමිකසේ ප්‍රහාර සඳහා භාවිතා කළ ප්‍රධාන ගුවන් යානාව වූයේ Mitsubishi Zero A6M5 සහ A6M2 ය. මෙම ගුවන් යානා වලට අමතර ඉන්ධන ටැංකියක්ද ලබා දී ඇති අතර එයට හේතු වූයේ ඉතා දුරක් පියාසර කිරීමට සිදු වීමම පමණක් නොව යානය නෞකාවේ ගැටීමේදී සිදු වන පිපිරුම අමතර ඉන්ධන තිබෙන නිසා තවත් විශාල එකක් වන නිසාය. එමෙන්ම මෙම නියමුවන්ට උපදෙස් ලබා දී තිබෙන්නේද නෞකාවේ ඉන්ධන තිබෙන ස්ථානයට තම යානාව ගෙන ගොස් ගැටීමට සලස්වන ලෙසටයි. එමගින් සුවිශාල පිපිරීමක් ඇති වී මුළු නෞකාවම විනාශ වන බව ඔවුන් දැන සිටින ලදී.

නමුත් මෙලෙස ප්‍රහාරයකට ගිය කමිකසේ නියමුවකු පණ පිටින් යළි පැමිණිය හොත් ඔහුට කුමක් සිදු වේද?

මෙලෙස ආපසු පැමිණි කමිකාසේ නියමුවන් එකිනෙකට වෙනස් කණ්ඩායම් දෙකකට බෙදා වෙන් කරනු ලබයි. ඉන් එක කණ්ඩායමක් වන්නේ කාලගුණික තත්ත්වයන් හෝ යානයේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් වැනි ඔවුන්ට පාලනය කිරීමට නොහැකි හේතුවක් නිසා ආපසු පැමිණි පුද්ගලයින් ලෙසය. අනෙක් කණ්ඩායම වන්නේ මානසික හේතූන් මත තම කාර්යය සාර්ථකව ඉටු කිරීමට නොහැකි වීම හේතුවෙන් ආපසු පැමිණි අය ලෙසය.

ආපසු පැමිණීමට හේතු වූයේ අයහපත් කාලගුණය වැනි ඔවුන්ගේ පාලනයෙන් බැහැර කොන්දේසියක් නිසා බව ගුවන් නියමුවන්ට ඔප්පු කර ගැනීමට හැකි වුවහොත් ඔවුන්ට කිසිදු දඬුවමක් හෝ පහත් කොට සැලකීමක් සිදු නොවීය. සැබැවින්ම මේ යුද්ධ සමයේ ගුවන් නියමුවන් යනු හිඟ සම්පතක් වූ අතර එම නිසා ඉතා හොදින් පුහුණු වූ කමිකසේ නියමුවකු ඉතා ලේසියෙන් අහිමි කර ගැනීමට ජපන් ජාතිකයෝ මැලි විය. එම හේතුව නිසා ඔවුන්ගේ "අවසාන ගුවන් ගමන" සිදු කළ යුතු දිනය සහ වේලාව යළි සකසනු ලබයි.

ආපසු පැමිණීමට හේතු වූයේ ඔවුන්ගේ පාලනයෙන් බැහැර සාධක නිසා බව ඔප්පු කර ගැනීමට නොහැකි වූ ගුවන් නියමුවන්ට ඔවුන් සලකනු ලැබුවේ ඊට මදක් වෙනස් අයුරකටය. ඔවුන්ව ඝාතනය නොකළද මෙම ගුවන් නියමුවන්ට ශාරීරික හෝ මානසික වශයෙන් යම් ආකාරයක දඩුවමක් ලබා දෙන ලදී. එමෙන්ම අනාගතයේ යම් අවස්ථාවක දී මේ නියමුවා යළි තවත් මරාගෙන මැරෙන ගුවන් ගමනකට සූදානම් විය යුතු බැවින් මෙම දඩුවම්ද ඉතා දැඩි ඒවා නොවිය යුතු අතර ඔහුගේ හැකියාවට හානි වන කිසිවක්ද නොවිය යුතුය. එසේ වුවද එක් ගුවන් නියමුවෙකු තම කමිකාසේ මෙහෙයුමෙන් 9 වතාවක් ආපසු පැමිණි විට මෙය වෙනස් වේ. එහිදී බියගුලුකම වෙනුවෙන් ඔහුට මරණ දණ්ඩනය හිමි වනු ඇත.

ජපන් සංස්කෘතිය තුළ වඩාත්ම වැදගත් වන්නේ ගෞරවය වන බැවින් මෙම නියමුවන්ට අවශ්‍ය වූයේ තම පවුලට විශාල ගෞරවයක් ගෙන ඒමයි. එහෙත් කනගාටුදායක කරුණ නම් මේ කමිකාසේ ප්‍රහාරයට සහභාගී වූ බොහෝ ගුවන් නියමුවන් වයස අවුරුදු 17-25 අතර අය වීමයි.  එයට ප්‍රධාන හේතුව වුයේ ජපාන හමුදාව ඔවුන්ගේ පළපුරුදු ගුවන් නියමුවන් මේ සඳහා යොදා නොගැනීමයි.

දෙවන ලෝක යුධ සමයේ ජපානය විශාල ලෙස යුධ අපරාධ ප්‍රමාණයක් සිදු කරන ලදී. සෑම විටම යුද්ධය මානව වර්ගයාගේ විනාශය ලඟා කර දෙයි. එමෙන්ම පවුලක, සමාජයක හෝ අධිරාජ්‍යයක ගෞරවයකට වඩා සෑම විටම මිනිස් ජීවිතයක වටිනාකම ඉදිරියෙන් පවතී.

විශ්මිත ඉතිහාසය
දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) - Your Choice Way
සිය පුහුණුවීම් අතරතුර කමිකාසේ භටයන්

දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) - Your Choice Way
කමිකාසේ නියමුවන් ඔවුන්ගේ මෙහෙයුමට පෙර සිය අවසන් බීම පානය කරමින්

දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) - Your Choice Way
කමිකාසේ නියමුවන් ඔවුන්ගේ අවසාන ප්‍රහාරයට යාමට පෙර ආචාර කරනු ලබන අයුරු

දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) - Your Choice Way
Mitsubishi Zero A6M5
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) දෙවන ලෝක යුධ සමයේ ජපන් සියදිවි නසාගැනීමේ බලකාය - කමිකාසේ (Kamikaze) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 13, 2021 Rating: 5

0 comments:

Post a Comment