Your Choice Way

රෝම අධිරාජ්‍ය ඔගස්ටස් පිටුපස සිටි මහා සෙවනැල්ල - අග්‍රිපා (Agrippa)

රෝම අධිරාජ්‍ය ඔගස්ටස් පිටුපස සිටි මහා සෙවනැල්ල - අග්‍රිපා (Agrippa) - Your Choice Way
ඔහු කැලිගුලා අධිරාජ්‍යාගේ සීයා ය. නීරෝ අධිරාජ්‍යාගේ මුත්තාය. එමෙන්ම ශ්‍රේෂ්ඨතම රෝම අධිරාජ්‍යයා වූ ඔගස්ටස්ගේ හොඳම මිතුරා මෙන්ම විශ්වාසවන්ත දෙවැනියා ද ඔහු විය. මෙලෙස පුරාණ රෝමයේ විශාල බලවතෙකුව සිටි ඔහු නමින් 'මාකස් විප්සානියස් අග්‍රිපා' ය.

කැලිගුලා තමා දෙවියන් යැයි ප්‍රකාශ කිරීමත්, ඔහුගේ පිස්සුව පිළිබඳවත් ඔබ බොහෝ දෙනෙක් අසා ඇත. එමෙන්ම නීරෝ අතින් සිදු වූ ස්පොරස්ගේ ඛේදවාචකය පිළිබඳවත් ඔබ අසා තිබිය හැක. එලෙසම මිය යමින් පැවති ජනරජයක් වසර 300 කටත් වඩා වැඩි කාලයක් දිවෙන රාජාණ්ඩුවක් බවට පත් කළ ඔගස්ටස්ගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳවත් ඔබ නිසැකවම අසා ඇත. එහෙත් පෞරාණික ඉතිහාසයේ සුප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ දෙනෙකු සමඟ ඉතා කිට්ටු සබඳතා පවත්වා ඇති මෙන්ම එකල රෝමයේ ප්‍රධාන සාධකයක් බවට ද පත් වූ අග්‍රිපාගේ නාමය ලෝකයාට අමතක වීම පුදුමයට කරුණකි. එමෙන්ම ඔගස්ටස් රෝම අධිරාජ්‍යය නැවත ගොඩ නැගීමේදී අග්‍රිපා ඔහු සමඟ නොසිටියේ නම් සමහරක් විට එය එතරම් ශ්‍රේෂ්ඨ අයුරින් සිදු වීමටද ඉඩ නොතිබුණි. අප මුලින්ම අග්‍රිපා යනු කවුද සහ ඔහු සහ ඔගස්ටස් අතර තිබූ කිට්ටු සබඳතාවය කුමක්දැයි හඳුනා ගනිමු.

අග්‍රිපා ඉපදුනේ කවදාද කොහේදැයි නිශ්චිතව සදහනක් නොමැති නමුත් එය ක්‍රි.පූ 64 - 62 අතර කාලයේ සිදු වී ඇතැයි විශ්වාස කෙරේ. එමෙන්ම අග්‍රිපා අශ්වාරෝහක පවුලකින් පැවත එන්නෙකු බවට සදහන් වේ. ඔගස්ටස් සෙනෙට් සභික පවුලක අයෙකු වූවත් දෙදෙනා අතර කුඩා අවධියේ සිටම කිට්ටු සම්බන්ධතාවක් පැවති බවටද සදහන් වේ.

අප්‍රිකාවේ කැටෝට එරෙහිව පැවති ජූලියස් සීසර්ගේ යුද්ධයේදී අග්‍රිපාගේ වැඩිමහල් සොහොයුරා සටන් කර ඇත්තේ සතුරු පාර්ශවයේ, එනම් කැටෝගේ පැත්තේය. පසුව ජුලියස් සීසර්ගේ හමුදාව විසින් අග්‍රිපාගේ සොහොයුරා අල්ලා ගන්නා ලදී. එහෙත් මේ අවස්ථාවේ ඔගස්ටස් සිය ලොකු මාමාගෙන් (සිසර්ගෙන්) ඔහුව නිදහස් කරනා ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව සීසර් විසින් අග්‍රිපාගේ වැඩිමහල් සොහොයුරා නිදහස් කරන ලදී. මෙය බොහෝ විට ඔගස්ටස් සහ අග්‍රිපා අතර පැවති කිට්ටු සම්බන්ධතාවයේ හැරවුම් ලක්ෂයක් ලෙසද සැලකේ.

අපේ ප්‍රධාන කතාව ආරම්භ වන්නේ ක්‍රි.පූ.45 මාර්තු මාසයේදී, එනම් සෙනෙට් සභිකයින්ගේ පිහි පහර වලින් ජුලියස් සීසර් මිය යාමත් සමගය. සීසර්ගේ මරණය සිදු වන විට ඔහුගේ උරුමක්කාරයා වූ ඔක්ටේවියනස් (පසුව ඔගස්ටස්) සිටියේ මැසිඩෝනියාවේ ඇපලෝනියා හිය. ඔහු එහිදී අනාගත දේශපාලනයට සූදානම් වෙමින් ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයාගේ යුතුකම් හා භූමිකාවන් නිරීක්ෂණය කරමින් කල් ගත කළ අතර ඊට අමතරව පාර්තියා ආක්‍රමණය සඳහා ජුලියස් සීසර්ගේ හමුදාව සඳහා ආධාර ලබා දෙන ලදී.

ඔගස්ටස්ට ඔහුගේ ලොකු මාමා වන ජුලියස් සීසර්ගේ මරණය පිළිබඳ පුවත ඔහුගේ මව වන ආටියාගෙන් ලිපියක් මාර්ගයෙන් ලැබුන අතර, ඔහුට නැවත ඉතාලියට පැමිණෙන ලෙසත් එමෙන්ම රෝමයේ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා පිලිබඳවත් එහි අනතුරු අඟවා තිබුණි. ඒ අනුව අග්‍රිපා ඇතුළු ඔහුගේ සගයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ඔගස්ටස් ග්‍රීසියෙන් පිටත්ව බ්‍රුන්ඩිසියම් වෙත පැමිණි අතර එහිදී ඔහුට තවත් ලිපි දෙකක් ලැබුණි. ඉන් එකක් ඔහුගේ මවගෙන් වූ අතර අනෙක් ලිපිය ඔහුගේ සුළු පියා වන පිලිප්පස්ගෙන් විය.

ඔවුන් දෙදෙනාම ඔහුට දැනුම් දී තිබුණේ ඔහු ඔහුගේ ලොකු මාමාගේ විශාල ධන සම්පත් වල උරුමක්කාරයා වී ඇති බවත්, එම නිසා ඉතා පරිස්සම් වන ලෙසත්ය. කෙසේ හෝ විශාල අනතුරු මධ්‍යයේ ඔගස්ටස්, අග්‍රිපා සහ ඔවුන්ගේ සගයන් රෝමය වෙත පැමිණීමට සමත් විය.

රෝම නගරය තුල ඔහුගේ බලය තහවුරු කර ගැනීමෙන් පසු ඔගස්ටස්  යුද මාවතකට පිවිසි අතර ඉන්පසු  ඔහුගේ ලොකු මාමා මරා දැමූ කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඔහු සහ අග්‍රිපා ජුලියස් සීසර්ට පක්ෂපාතී සෙබළුන් සමඟ ක්‍රි.පු.43 දී මුටිනා නගරයේ දී ඇන්තනීගේ හමුදාවන්ට එරෙහිව සටන් කළ අතර ඔවුන් සටන ජය ගත්තද මාර්ක් ඇන්තනි අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය. එහෙත් ඉන් පසුව එනම් ක්‍රි.පූ. 42 දී පැවති පිලිපි සටනේදී මාර්ක් ඇන්තනි සහ ඔගස්ටස් එකට එක්ව යුධ වැදුනු අතර එහිදී අග්‍රිපා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේ නැත.

ජර්මානු කැරැලිකරුවන් සමඟ හා ගාලික් ගෝත්‍රයන් අතර පැවති කුඩා ගැටුම් කිහිපයකින් පසුව ඔගස්ටස්ට උදව් කිරීම සඳහා අග්‍රිපා නැවත ඉතාලියට කැඳවනු ලැබීය. මෙම කාලය වන විට ඔගස්ටස් සහ ඇන්තනි මිත්‍ර සන්ධානයක සිටි අතර ඒ අනුව රෝමයේ පාලනය ඔගස්ටස් විසින් සිදු කළ අතර අධිරාජ්‍යයේ නැගෙනහිර අර්ධය සහ බටහිර ඇන්තනි විසින් පාලනය කරන ලදී. ජුලියස් සීසර් ඝාතනය කළ කුමන්ත්‍රණ කරුවන් සියල්ල මියගොස් සිටි නමුත්  ඔගස්ටස්ට තවත් බාධාවක් විය. ඒ පොම්පේගේ පුත්‍රයෙකු වූ සෙක්ස්ටස් පොම්පියස් ය.

ඔහුගේ පියාගේ මරණයෙන් පසු සෙක්ස්ටස් පොම්පියස් අයිබීරියාවට (නූතන ස්පාඤ්ඤයට) පලා ගිය අතර එහිදී ඔහු මුදල් සහ පවුල් සබඳතා භාවිතා කර බලඇණියක් සාදා ගන්නා ලදී. ඉන්පසු ඔහු නාවික බළඇණියක් සාදා ගෙන රෝමයට ගමන් ගන්නා වෙළඳ නෞකා රාශියකට පහර දෙන ලදී. ඊට අමතරව ඔහු  සිසිලිය, කොර්සිකා සහ සාඩීනියාද පාලනය කරන ලදී.

ක්‍රි.පූ. 39–38 අතර පැවති කෙටි සටන් විරාමයකින් පසු සෙක්ස්ටස් නැවත නෞකා වලට පහරදීම් ආරම්භ කළ අතර ඒ නිසා රෝමයේ ධාන්‍ය සැපයුම අඩු විය. මෙසේ ආහාර හිඟ වීමත් සමග ජනතාවගෙන් විශාල විරෝධයක් ඔගස්ටස් වෙත එල්ල වූ අතර  මහජනතාව විසින් වීදි වලදී ඔගස්ටස්ට පහර දීම් පවා සිදු කරන ලදී. මේ හේතුව නිසා ඔගස්ටස්ට මේ සම්බන්ධව ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය විය. එහෙත් සෙක්ස්ටස්ගේ බළඇණිය අතිවිශාල එකක් විය. ඊටත් වඩා ඔහුගේ හමුදාව මුහුදු සටන් සදහා විශාල පළපුරුද්දක් තිබූ අය විය. මේ හේතුව නිසා ඔගස්ටස් ඇන්තනිගෙන් නැව් කිහිපයක් ණයට ලබා ගන්නා ලදී. එමෙන්ම ඔගස්ටස් තවත් නෞකා ඉදි කිරීමට සිය ධනය වැය කළ අතර එහෙත් ඔහුට අත්දැකීම් සහ පළපුරුද්ද තිබූ පුද්ගලයන් සිටියේ නැත. සැබැවින්ම ඔහු වෙනුවෙන් වැඩ කළ එකම අද්මිරාල්වරයාද ඔහුට ද්‍රෝහී වී සෙක්ස්ටස් සමඟ එකතු වී තිබුණි. අග්‍රිපා යළි රෝමයට පැමිණියේ මෙවැනි තත්ත්වයක් යටතේදී ය.

ඉතාලියේ බටහිර පැත්තේ නාවික බලඇණියක් පුහුණු කිරීමට හොඳ ස්ථානයක් නොවීය. එයට හේතුව වුයේ එහි ස්වාභාවික වරායන් නොමැති වීමයි. එම නිසා අග්‍රිපා එහි වරායක් සාදන ලදී. නේපල්ස් බොක්කෙන් අවර්නස් විලට සාගරය සම්බන්ධ වන ලෙස ඇලක් කැණීමට ඔහු නියෝග කරන ලදී. එමගින් බලඇණියට පුහුණුවීමට ඉඩ සැලසුනු අතරම කිසිවෙකුටත් එය දර්ශනය ද නොවීය. එමෙන්ම යුධ නෞකා තැනීමේදී වහලුන්ට නිදහස ලබා දෙන පොරොන්දුව මත ඔවුන්ගෙන් සේවය ලබා ගන්නා ලදී. මෙම ක්‍රියා වලින් ඔප්පු වන්නේ අග්‍රිපා යනු පරිපාලනය, සම්බන්ධීකරණය සහ යුද්ධය සඳහා ඉතා දක්ෂ පුද්ගලයෙකු බවයි.

ඒ අනුව ක්‍රි.පූ.36 දී අග්‍රිපා ප්‍රමුඛ නාවික බළඇණිය විසින් සෙක්ස්ටස්ගේ බළඇණියට ප්‍රහාර එල්ල කරන ලදී. නාවුලෝචස් සටන ලෙස හැඳින්වෙන මෙහිදී දෙපැත්තේම නෞකා ආසන්න වශයෙන් 300ක් පමණ සටන් වදින ලදී. එමෙන්ම මහා ඔගස්ටස් සිසිලියේ වෙරළේ සිට අග්‍රිපා සහ සෙක්ස්ටස්ගේ මේ මහා මුහුදු සටන දෙස බලා සිටින ලදී. ඉතා අඩු පළපුරුද්දක් ඇති හමුදාවක් සමඟ අග්‍රිපා සෙක්ස්ටස්ගේ බලඇණිය විනාශ කර දැමූ අතර අනෙක් අය පලා යන ලදී. ඉන්පසු ක්‍රි.පූ.35 දී සෙක්ස්ටස් අල්ලා ගන්නා ලද අතර ඇන්තනිගේ ඉල්ලීම මත නඩු විභාගයකින් තොරව ඔහුව මරණයට පත් කරන ලදී.

ඉන්පසු ක්‍රි.පූ.31 දී අග්‍රීපා ඉතිහාසයේ ඉතා වැදගත් සටනක් වූ ඇක්ටියම් සටනේදී බලඇණි මෙහෙයවූවා පමණක් නොව, ඇන්තනි සහ ක්ලියෝපැට්‍රාට එරෙහි සමස්ත යුධ ව්‍යාපාරයේම ප්‍රධාන මොළකරු වූයේ ද ඔහුය. ඇන්තනි සහ ක්ලියෝපැට්රා සිදු කළ වැරදි වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට අග්‍රිපාට තිබූ හැකියාව නිසා ඔහු මෙම යුධ ව්‍යාපාරයේදී සාර්ථක විය.

ක්‍රි.පූ.30 දී අවසානයේ ඇන්තනි මිය ගිය සටන වන ඇලෙක්සැන්ඩ්‍රියා සටන ඇතුළුව ඔගස්ටස් වෙනුවෙන් තවත් බොහෝ සටන් වලට අග්‍රිපා අණ ලබා දෙන ලදී. ඔගස්ටස්ගේ යුධ ජයග්‍රහණ වලින් බොහොමයක් අග්‍රිපාගේ දක්ෂතාවය නිසාම සිදු වූ බව පැවසීම වැරදි නැත. සැබැවින්ම මෙය ඔගස්ටස්ව පහත් කිරීමක් නොවේ. මන්දයත් ඔගස්ටස් දක්ෂ වූයේ යුද්ධයට නොව පරිපාලනයට හා ගණුදෙණු සදහාය.

ඔගස්ටස් අග්‍රිපාගේ කටයුතු ඉතා අගය කළ අතර ඔහු තම එකම දරුවා වූ තම දියණිය අග්‍රීපාට විවාහ කර දෙන ලදී. එමෙන්ම තමා සතු මුදල් වලින් අග්‍රිපා රෝමයේ ජල සැපයුම්, මලාපවහන, නාන කාමර ආදී යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම  සිදු කළ අතර මේ නිසා ඔහු රෝම ජනයා තුළ විශාල ලෙස ආදරයට පාත්‍ර විය. නමුත් මේ ජනප්‍රියත්වය නිසා තමාගේම නමක් ගොඩනඟා ගැනීමට හෝ අතිරේක බලතල ලබා ගැනීමට මෙම කීර්තිය හෝ වාසනාව ඔහු කිසි විටෙකත් භාවිතා කළේ නැත.

එහෙත් ඔගස්ටස්ගේ බිරිඳ වූ ලිවියාගේ කූට උපක්‍රම හේතුවෙන් ඔහු යම් ආකාරයක ස්වයං-පිටුවහල් කිරීමකට ලක්වූ බව සදහන් වේ. එහෙත් ක්‍රිපූ 18 පමණ වන විට අග්‍රිපාගේ බලය ඔගස්ටස්ගේ බලයට බොහෝ දුරට සමාන වූ අතර ඔහු අධිරාජ්‍යයේ අවිවාදිත දෙවන බලවත්ම මිනිසා බවට පත් විය. සෙනෙට් මණ්ඩලයේ තනතුරු දැරීමකින් තොරව එහි ගත් ඕනෑම තීරණයකට ඔහුට නිෂේධ බලය ලබා දිය හැකි වූ අතර එමෙන්ම මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බලතල ද ඔහුට හිමි විය. එමෙන්ම ඔහු වැඩි කාලයක් ගත කළේ අධිරාජ්‍යයේ නැගෙනහිර අර්ධයේ වූ අතර එහි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සහ දේශසීමා ආරක්ෂා කිරීම ඔහු සිදු කරන ලදී. 

ක්‍රි.පූ.13 දී ඔහු මිය ගිය විට ඔගස්ටස් මාසයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර අග්‍රිපාගේ දේහය අධිරාජයාගේම සොහොන් කොතේ තැන්පත් කළේය. එමෙන්ම ඔගස්ටස් අග්‍රිපාගේ දරුවන් හදා වඩා ගත් අතර ඔහුගේ පුතුන් දෙදෙනා වූ ලූසියස් සහ ගායස් තම අනාගත උරුමකරුවන් ලෙස පවා සලකන ලදී. අවාසනාවන්ත ලෙස ඔවුන් දෙදෙනාම මිය ගියහ. එහෙත් අග්‍රිපාගේ දියණියක් වන අග්‍රිපිනා රෝමයේ දෙවන අධිරාජ්‍යයා වූ ටයිබීරියස් සමඟ විවාහ විය. 

අග්‍රිපා තුළ පැවති විශ්වාසවන්තභාවය සහ නිපුණතාවය පෞරාණික රෝමයේ කලාතුරකින් දැකිය හැකි සිදුවීමකි. සැබැවින්ම ඔහුගේ සහාය නොමැතිව ඔගස්ටස් කිසි විටෙකත් සමස්ත රෝම අධිපතියා බවට පත් නොවන බව විශ්වාස කළ හැකිය. සෑම අස්සක් මුල්ලක් නෑරම කුමන්ත්‍රණ සහ මරණය සැඟවී තිබූ දේශපාලන නොසන්සුන්කාරී කාල පරිච්ඡේදයකදී, අග්‍රිපා ඔගස්ටස්ගේ ජීවිතයේ කැපී පෙනෙන සෙවනැල්ලක් විය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෝම අධිරාජ්‍ය ඔගස්ටස් පිටුපස සිටි මහා සෙවනැල්ල - අග්‍රිපා (Agrippa) රෝම අධිරාජ්‍ය ඔගස්ටස් පිටුපස සිටි මහා සෙවනැල්ල - අග්‍රිපා (Agrippa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, September 19, 2021 Rating: 5

0 comments:

Post a Comment