හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya)

හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) - Your Choice Way
1945 අප්‍රේල් 4 වන දින ඇමරිකානු හමුදාව ෆ්රෑන්ක්ෆර්ට් සිට උතුරු දෙසට ගමන් කරන ලදී. එහිදී ඔවුනට මර්කර්ස් නම් කුඩා නගරයක් හමු වූ අතර එහිදී ඔවුනට නාසින්ගේ වහල් කම්කරුවන් පිරිසක් හමු විය. එහිදී ඔවුන් පවසන ලද දෙයකින් මුළු ඇමරිකානු හමුදාවම විශ්මයෙන් ඇලලී යන ලදී. එනම් ඊට මදක් ඈතින් වූ අතහැර දැමූ පතලක නාසි නිධානයක් සඟවා ඇති බවයි.

ලද තොරතුරට අනුව භටයින් අදාල ස්ථානයට ලඟා වූ අතර පතළ ඇතුලෙහි තිබී ඔවුන් යම් කිසි ශාලාවකට ඇතුළු විය හැකි ආකාරයේ විශාල දොරක් සොයා ගන්නා ලදී. කටකතා සත්‍ය බව පෙනෙන්නට තිබූ නිසා ඔවුන් ඉක්මනින් දොර පුපුරුවා හැරියේය.  දුමාරය ඉවත් වූ පසු, ඔවුන්ගේ ජීවිතයේ ඔවුන් වැඩියෙන්ම පුදුමයට පත් වූ දිනය එය විය.

එම භූගත කාමරය මීටර් විසිතුනක් (අඩි හැත්තෑපහක්) පළල සහ මීටර් හතළිස් හයක් (අඩි 151) ගැඹුරු විය. එම භූගත කාමරය තුළ තිබී ඔවුන් තම ජීවිත කාලය තුළ දැක ඇති සුවිශාලතම වස්තුව සොයා ගන්නා ලදී. ඊට රත්‍රන් බාර් 8,307ක්, රන් කාසි බෑග් 3,326ක්, රිදී බෑග් හැට තුනක්, ප්ලැටිනම් බාර් පිරවූ බෑග් එකක්, රන් පවුම් පිරවූ පෙට්ටි පනස් පහක්, රත්‍රන් මුදු සහ රත්‍රන් දත් පිරවූ බෑග් අටක්, ජර්මානු මුදල් පිරවූ බෑග් 3,682ක්, විදේශ මුදල් පිරවූ මලු අසූවක් සහ අගනා සිතුවම් කිහිපයක මුල් පිටපත් කිහිපයක්ද අයත් විය.

එහි තිබූ වස්තුවෙන් වැඩි කොටසක් යුරෝපයෙන් නාසින් විසින් කොල්ලකන ලද ඒවා විය. එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහ එංගලන්ත බැංකුවේ විශේෂඥයෝ විසින් එම රත්‍රන් ඇ.ඩො. 262,213,000 ක් (එහි වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්නය) ලෙස තක්සේරු කළ අතර හමු වූ රිදී වල වටිනාකම ඇමරිකානු ඩොලර් 270,469 ක් (වර්තමාන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන හතරක් පමණ) තක්සේරු කරන ලදී. වර්තමාන මිල ගණන් අනුව එහි තිබී හමු වූ රත්‍රන් බාර් වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන හයකට වඩා වැඩිය. 

තම හමුදාව සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ යන්ත්‍ර කොටස් සඳහා ගෙවීමට නාසීන්ට මෙම රත්‍රන් අවශ්‍ය විය.  සන්නාහ විදින උණ්ඩ සහ ෂෙල් වෙඩි සඳහා අවශ්‍ය  ටංස්ටන්(tungsten) ඔවුන් පෘතුගාලයෙන් මිලට ගන්නා ලදී. යුධ ටැංකි සහ ගුවන් යානා නිෂ්පාදනය සඳහා අවශ්‍ය ක්‍රෝම්(chrome) ඔවුන්ට තුර්කියෙන් මිලට ගැනීමට සිදු විය. නාසි ටැංකි සඳහා අවශ්‍ය ඉන්ධන ලෙස  ඉහළ ශ්‍රේණියේ තෙල් රුමේනියාවෙන් මිලට ගන්නා ලදී. තවත් ප්‍රධාන යන්ත්‍ර කොටස් කිහිපයක්ම ස්වීඩනයෙන්ද මිලට ගැනීමට සිදු විය.

එහෙත් පෘතුගාලය, රුමේනියාව, ස්වීඩනය සහ තුර්කිය ගෙවිමේදී ජර්මානු මුදල් පිළිගත්තේ නැත. එහෙත් ඔවුන් රත්‍රන් වලින් කරන ගෙවීම් පිළිගන්නා ලදී. නමුත් ප්‍රශ්නය වූයේ ජර්මනිය සතු රන් සංචිත ප්‍රමාණය ඉතා අඩු වීමයි. මෙය විසදා ගැනීමට නාසින් විශාල ලෙස රත්‍රන් කොල්ලකෑමට පටන් ගන්නා ලදී. නාසීන් ඔස්ට්‍රියාව, චෙකොස්ලොවැකියාව, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවල රන් සංචිත සොරකම් කළහ. එලෙස සොරකම් කරන ලද රත්‍රන්වල අද වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන නවයකට වඩා වැඩියැයි පැවසේ.

මීට අමතරව නාසීන් පෞද්ගලික සමාගම්වලින් සහ යුදෙව්වන්ගෙන්ද විශාල වටිනා භාණ්ඩ තොගයක් කොල්ලකන ලදී. එලෙස සොරකම් කරන ලද වත්කම්වල මුළු වටිනාකම පිළිබඳ තවම නිශ්චිත සංඛ්‍යාවක් නොමැත.

මෙලෙස සොරකම් කරන ලද රත්‍රන් ඔවුන් බර්ලිනයේ පිහිටි ඔවුන්ගේ මහ බැංකුවේ තැන්පත් කරන ලදී. එහෙත් බර්ලිනයට එල්ල වූ දැඩි මිත්‍ර පාක්ෂික බෝම්බ හෙලීම් නිසා නාසීන්ට රත්‍රන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යාමට සිදුවිය.

ඔවුන් සියලු රත්‍රන් සහ අනිත් වස්තුව දුම්රියෙන් බර්ලින් සිට කිලෝමීටර් 400 ක් (සැතපුම් 250) නිරිත දෙසින් පිහිටි මර්කර්ස්හි පතලට ප්‍රවාහනය කරන ලදී. එසේම එස්එස් හි ප්‍රධානී හෙන්රිච් හිම්ලර්ද ඔහු විසින් කොල්ලකන ලද මහා ධනයක්ද මර්කර්ස් හි ගබඩා කරන ලෙස ඉල්ලා සිටි බව කියැවේ. ඒ අයුරින් නාසින්ගේ ඒ මහා නිධානය මීටර් 600 ක් (අඩි 2000) භූගතව සඟවනු ලැබීය.

මර්කර්ස් නගරය පිහිටා තිබුණේ යුද්ධයෙන් පසු සෝවියට් දේශයට අයත් වීමට එකඟවී තිබූ භූමියකය. එම නිසා ඇමරිකානුවන් ඉක්මනින් එම වස්තුව පතලේ සිට ඇමරිකාවට අයත්  කලාපයක් වූ ෆ්‍රෑන්ක්ෆර්ට් වෙත ගෙන යන ලදී. 

ඇමරිකානු ජෙනරාල් ජෝර්ජ් පැටන් හට රත්‍රන් ඇමරිකානු රජයෙන් සඟවා තබා ගැනීමට අවශ්‍ය විය. ඔහුට මෙම වස්තුව ඇමරිකානු හමුදාවට නව ආයුධ මිලදී ගැනීම සඳහා භාවිතා කිරීමට අවශ්‍ය විය.  යුද්ධය අවසන් වූ වහාම එක්සත් ජනපද කොන්ග්‍රසය හමුදාව සඳහා වන අරමුදල් කප්පාදු කරන බව ඔහු දැන සිටියේය.

එහෙත් පැටන්ගේ අදහස කිසි විටෙකත් ඉටු නොවීය.  එයට එක් හේතුවක් වූයේ ඔහුගේ ඉහළ නිලධාරීන් ඊට එකඟ නොවීමයි.  තවත් හේතුවක් වූයේ සැඟවුණු නිධානය පිළිබඳ පුවත මාධ්‍යයට කාන්දු වීමයි. 

ඒ අනුව මිත්‍ර පාක්ෂිකයින් යුරෝපය පුරා මහ බැංකුවලට රත්‍රන් ආපසු ලබා දෙන ලදී. සමූල ඝාතනයන්ට ගොදුරු වූවන් වෙනුවෙන් සහන අරමුදලට ඔවුන් රන් ටොන් හයකට ආසන්න ප්‍රමාණයක් ලබා දුන් බව කියැවේ. වර්තමානයේ අතහැර දැමූ මර්ක්ස් පතල සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් බවට පත්ව තිබේ. එහි යන පුද්ගලයන්ට නාසි රන් නිධානයේ අනුරූ අදද දැක ගත හැකිය.

දත්ත වලට අනුව නාසීන් විසින් ඇමරිකානු ඩොලර් බිලියන නවයකට වඩා (අද වටිනාකමින්) වටිනා රත්‍රන්  මහ බැංකුවලින් කොල්ලකා ඇත.  මර්කර්ස් හිදී ඇමරිකානුවන් විසින් සොයා ගත්තේ එම රත්‍රන්වලින් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් යැයි කියනු ලැබේ. 

එසේ නම් ඒ ඉතිරි රත්‍රන් වලට කුමක් සිදු වීද? ඒවා තවමත් ස්විස් බැංකුවක රහසිගතව තිබේද? එසේත් නැතිනම් එවා නාසින් විසින් කිසියම් දුරස්ථ ප්‍රදේශයක වළලනු ලැබුවාද? එය අදටත් අභිරහසකි...විශ්මිත ඉතිහාසය
හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) - Your Choice Way
රන්, රිදී සහ කලා කෘතිවලින් පිරුණු නිධන් කාමරය

හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) - Your Choice Way
මිත්‍ර හමුදාවන් රත්‍රන් පරික්ෂා කරමින්

හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) - Your Choice Way
වර්තමානයේ ප්‍රදර්ශනයට තබා ඇති නාසි නිධානයේ අනුරූ

හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) - Your Choice Way
ඇමරිකන් සොල්දාදුවෙක් රත්‍රන් සමග
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) හැර දැමූ පතලක තිබී හමුවූ ටොන් සියයකට වඩා බරැති නාසි නිධානය සහ එයට සිදුවූ දෙය (Nasi Nidanaya) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 19, 2021 Rating: 5

0 comments:

Post a Comment