ඩිස්නිලන්තයේ අත්භූත සිදුවීම් ( Miraculous Events Of Disneyland )

ඩිස්නිලන්තයේ අත්භූත සිදුවීම් ( Miraculous Events Of Disneyland ) - Your Choice Way
ඩිස්නිලන්තය , පෘථිවියේ තියන ප්‍රීතිමත් ම ස්ථානය විදියටයි හඳුන්වන්නේ.අතිවිශාල සංචාරක ආකර්ෂණයක් තියෙන මේ අරුම පුදුම උද්‍යානය ඇතුළෙ නරඹන්නන් කලකිරීමට , දුකට පත්වෙන්න පුළුවන් සෘණාත්මක දේවල් මුළුමුලින්ම ඉවත් කරලයි තියෙන්නෙ.ඒත් මේ කියන්න යන්නෙ , වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිහින පරාදීසයක් වුණු ඩිස්නිලන්තයට කළු පැල්ලමක් එක්කරපු අදටත් සිදුවෙමින් පවතින සත්‍ය ඒ වගේම අත්භූත සිදුවීම් පෙළක් ගැන . . . .

13 බටහිර ලෝකයාට සුබ අංකයක් නොවෙයි. ජේසුස් වහන්සේව පාවාදුන් ජුදාස් අවසන් රාත්‍රීභෝජනයට හිඳගත්තේ 13 වැන්නා හැටියටයි. එල්ලුම් ගසේ මළපුඩුව වෙත නැගයන්නට ඇති පඩි ගණන 13 ක්. යමෙකුගේ නමට අකුරු 13 ක් ඇත්නම් ඔහුට යක්‍ෂයා සමග බැඳීමක් පවතින බවයි බටහිර ලෝකය පිළිගන්නේ.

1313 , ඩිස්නිලන්ත මාවත , ඇනහයිම් , කැලිෆෝර්නියාව. ඒ ඩිස්නිලන්තය පිහිටා ඇති තැන ලිපිනයයි. “මිකී මවුස්” (Mickey Mouse) “MM”, M අකුර ඉංග්‍රීසි හෝඩියේ 13 වැනි අකුර ! ඩිස්නිලෝකයේ ප්‍රියතම සුරතලාගේ නමත් 13 ඒවාම දෙකක් !

ඒ කොහොම වුනත් “ජෝර්ජ්” ව නොදන්න කෙනෙක්නම් ඩිස්නිලන්තයේ වැඩකරන අය අතර නැහැ. ජෝර්ජ් , pirates of the caribbean නැව් සවාරිය හදන කාලයේ එහි වාත්තු වැඩ කළ කෙනෙක්. නමුත් එක දවසක් අනපේක්‍ෂිත අනතුරක් සිදුවුණා. ඇද වැටුනු යකඩ බාල්කයකට යටවීමෙන් හිස පොඩිපට්ටම් වූ ජෝර්ජ් ඩිස්නිලන්තය තුළම අවසන් සුසුම් හෙළුවා.

ඒ සිදුවීමෙන් පස්සෙ pirates of the caribbean නැව් සවාරිය අවට තැන් වල අමුතු දේවල් සිදුවෙනවා. අමුතු විදිහට දැනෙනවා. හිටි ගමන් හේතුවක් නැතුව ම දුරකථනය නාද වීම ඉන් එකක්. කිසිවෙකු පෙනෙන්නට නැතත් කවුරුන් හෝ කෙනෙකු ඇවිදින හඬ ඇසීමේ අත්දැකීම ලැබූ කාර්යමණ්ඩල සේවකයන් බොහෝ ගණනක් සිටිනවා. ඔවුන් කවුරුත් යකඩ බාල්කයට යටවූ ජෝර්ජ් තවමත් ඩිස්නිලන්තය හැරදා ගොස් නොමැති බව තේරුම්ගත්තේ ඒ සිදුවීමවලින් පසුවයි. ඒ නිසාම හැම කෙනෙක්ම චාරිත්‍රයක් විදියට උදේ වැඩට එද්දී “ සුබ උදෑසනක් ජෝර්ජ් “ කියන්නත් , වැඩ නිමවී යද්දී “ සුබ රාත්‍රියක් ජෝර්ජ් “ කියන්නත් අමතක කරන්නේ නැහැ. එහෙම නොකළොත් , ජෝර්ජ්ගෙන් විසුමක් වන්නේ නැහැ. විදුලි බලය ඇණහිටීම්, විනෝද සවාරි වටය අතර මග නතරවීම් ආදී ඕනෑම දෙයක් ඕනෑම මොහොතක සිදුවෙන්න පුළුවන්.

මේ ලෝකය දාලා යන්න අකමැත්තෙන් ඩිස්නිලන්තයට වී සිටින්නේ ජෝර්ජ් පමණක් නොවෙයි.

වයස අවුරුදු 8ක් පමණක් ආයු වැළඳූ එක පුංචි පිරිමි දරුවෙකුගේ අවසාන කැමැත්ත වී තිබුණේ තමන් බොහෝ ආස කළ ඩිස්නිලන්තයේදී අවසන් ගමන් යන්නයි. ඒ නිසා ඒ දරුවාගේ අවමංගල්‍ය කටයුතු ඩිස්නිලන්තයේ හොල්මන් මන්දිරය ඇතුලේ සිදුකරන්න බලධාරීන් අවසර දුන්නා. නමුත් ඒ පුංචි ළමයා යන්නම යන්න ගිය බවක් අදටත් දකින්න නැහැ. ඩිස්නිලන්තයේ නර්තන ශාලා අස්සේ නාඳුනන පිරිමි ළමයෙක් ගැවසෙන හැටි බොහෝ අය දැක තිබෙනවා. ඔහුත් එක්ක කතාබහ කරන්න කාටවත් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔහු දුවනවා. එක්කෝ කතාකළාට ඇහුණේ නෑ වගේ ඉන්නවා. නැත්නම් එහෙ බලා මෙහෙ බලද්දී අතුරුදන් වෙනවා. සංචාරකයෝ හොල්මන් මන්දිරය අවට විනෝද කෝච්චි සවාරි වල යමින් ඉද්දී පුංචි පිරිමි ළමයෙක් හිනාවෙන හඬ ඇහෙනවා. සවාරිය අවසන් වෙද්දී ඔහු හඬන බව ඇහෙනවා. එක් වතාවක් සංචාරකයෙකු ගත් ඡායාරූපයක, අවුරුදු අටක පමණ නාඳුනන පිරිමි ළමයෙක් පැත්තකින් එබී ඉන්න හැටි

සටහන් වෙලා තිබුණා. ඡායාරූපය ගන්න වේලාවේ ඒ වයසේ දරුවෙක් එතන හිටියේ නෑ කියලයි ඒ සංචාරකයා නම් කියන්නේ.

ඔය අතරවාරයේ වඩාත් ලොමු දැහැගැන්වෙන සුලු සිදුවීමක් 1999 වසරේ දී සිදුවුණා. ඒ බෝනික්කන්ගේ අඩවිය හරහා යන විනෝද කෝච්චි සවාරියේදීයි. හිටිහැටියේම විදුලි බලය ඇණහිටියා. කෝච්චිය නතරවුණා. හාත්පස මුළුමනින්ම කළුවර වෙලා ගියා. ඒ අතරවාරයේ එක් තරුණියක් සිය කැමරා සේයාපටයේ අවසන් රාමු කිහිපය ඉවරකරගැනීමේ සිතුවිල්ලෙන් කළුවරේම ඡායාරූපයක් ගත්තා. මඳ වේලාවකින් විදුලිය ලැබුණා. සවාරිය යළි ගමන් ඇරඹුවා. කිසිම නරක දෙයක් සිදුවුනේ නැහැ.

නමුත් තරුණියට උන්හිටිතැන් අමතක වුණේ සේයා පටල වලින් ඡායාරූප මුද්‍රණය කරගත් පසුවයි. එදා අඳුරේ ගත් ඡායාරූපයෙහි සටහන්ව තිබුණේ බෙල්ලට දැමූ තොණ්ඩුවකින් එල්ලෙන කුඩා දරුවෙකුගේ රූපයක්! පර්යේෂකයෝ ඡායාරූපය ගැන සියුම්ව සොයා බැලුවා. ඒ නියත වශයෙන්ම සැබෑ දරුවෙක්ද ? බෝනික්කෙක් ද ? දෘෂ්ටි මායාවක් ද ? ඒ ගැන තහවුරු කරගන්න කාටවත් හැකිවුණේ නැහැ. තොණ්ඩුවෙහි එල්ලුණු ළදරු රූපය කුමක් වුවත් ඩිස්නිලන්තයේ බෝනික්කෝ , කිසිවෙකුගේ අනුදැනුමක් නොමැතිව, තමන් ඉන්නා තැන් , ඉරියව් මාරුකර ගන්නා බව එහි කවුරුත් දන්නා ප්‍රසිද්ධ බියජනක රහසක්.

ඩිස්නිලන්තයේ අවතාර අතර එක්තරා අත්භූත මිනිසෙකුගේ ඡායාව එහි නිර්මාතෘ වෝල්ට් ඩිස්නිගේ ම අවතාරය කියලයි එහි ශිල්පීන් බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. 2009 වසරේ එක් රාත්‍රියක යම් අද්භූත දර්ශන පෙළක් , ඩිස්නිලන්තයේ ආරක්‍ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා. ඒ සුදු පැහැ විනිවිද පෙනෙන, දිලිසෙන මිනිස් සිරුරකට සමාන දෙයක්. ඔහු හෝ එය උද්‍යාන පෙත් මගක් ඔස්සේ ඇවිද එනවා. වසා ඇති යකඩ ගේට්ටුව තුළින් ගමන්කරනවා. පෙත් මගෙන් ඉවත්ව තණබිම ඔස්සේ ගොස් අසල ඇති පොකුණේ ජලය මතින් ඇවිද යනවා! මේ අද්භූත දර්ශනය වෙනස් වෙනස් කෝණ වලින් ආරක්‍ෂක කැමරා 4ක ම එක ම වේලාවක සටහන්ව තිබුණා. බොහෝ අය සිතන්නේ ඒ, අන්ධකාරයේ ඩිස්නිලන්තයේ සැරිසරන වෝල්ට් ඩිස්නි ගේ අවතාරය ලෙසටයි.

ඩිස්නිලන්තයේ ගිනිනිවන හමුදා ශාලාව නමින් හඳුන්වන ගොඩනැගිල්ලේ කාමරයක අදටත් වෝල්ට් ඩිස්නි වෙනුවෙන් විදුලි පහනක් නොනිවී දැල්වෙනවා. ඩිස්නි වඩාත් ප්‍රියකළ සහ විශේෂ අමුත්තන් හමුවන්න , උත්සව පවත්වන්න යොදාගත් ගොඩනැගිල්ල මෙයයි. 1966 වසරේ දෙසැම්බර් 15 වැනිදා වෝල්ට් ඩිස්නි මිය ගිය දිනයේ , ඩිස්නිලන්ත ගිනිනිවන හමුදා ශාලාවේ , ඩිස්නිගේ කාමරයේ දැල්වුණු විදුලි පහන නිවාදමන්න සේවිකාවක් උත්සාහ කළා. නමුත් නිවන්න නිවන්න විදුලි බුබුළ යළි යළිත් දැල්වුණා. එතැන් පටන් අද දක්වා ඩිස්නිලන්ත කාර්යමණ්ඩලය එහි විදුලි පහන දිගටම දල්වා තබනවා. ඒ ඩිස්නිලන්තයේ නිමැවුම් කරුවාට උපහාරයක් ලෙසටයි.

ඒ අතර වාරයේ තට්ටු කරන හඬවල් , පියවර තබන හඬවල් , සුළඟක් නැතිව ඈත් මෑත්වන තිර රෙදි ඒ ගොඩනැගිල්ලේ නුහුරු අද්දැකීම් නෙවෙයි.

සතුටු හැඟීම හැර වෙන කිසිවක් වාතලය හා මුසු නොවන , ලෝකයෙන්ම ප්‍රමුඛ විනෝද උද්‍යානය වන ඩිස්නිලන්තයේ අමනුෂ්‍ය ආත්මයන් අරක්ගත හැකිද ? කෙසේවෙතත් , ඩිස්නිලන්තය මත පදනම් වුණු අවතාර කතා බොහොමයි. නමුත් ඒ කිසිදු අවතාරයක් දුෂ්ට වැඩක් කළ බව නම් අද වනතුරු වාර්තා වන්නේ නැහැ. ඔවුන්ගේ සාමාන්‍ය ගමන් බිමන් විහිළු තහලු සහ දඟකාරකම් එහි එන අය බියවන්න කාරණයක් කරගන්නවා හැරෙන්න!

ඩිස්නිලන්තය මේ ලෝකය හැර යන්න අකමැතිවූ අයගේ නවාතැනක් වීම ගැන ලුහු පැහැදිලි කිරීමක් තිබෙනවා. එහි ගොස් ඇති බොහෝ දෙනා තමන් මේ ලෝකේ යන්න ආසම තැන කොහේදැයි ඇසුවොත් ” ඒ ඩිස්නිලන්තය ” යැයි කීම අරුමයක් නොවෙයි. ඉතින් එසේ තදින් ඩිස්නිලන්තයට හිතින් බැඳුණ අය එහි ම ඉන්නට සිතා සිටීම ගැන අපට ඔවුනට දොසක් කියන්නට හැකිද ! ඒ සියල්ල අතරේ ඩිස්නිලන්තයට ආශාකල ආදරණීයයන්ගේ භෂ්මාවශේෂ උද්‍යාන භූමියේ විසුරුවා හැරීම ඇතැම් අය කරන ආත්මාර්ථකාමී දෙයක්. ඒ හින්ද ම සොහොන් පිටිවල හොල්මන් ඇත්නම් ඩිස්නිලන්තයත් එක්තරා ආකාරයක සොහොන් පිටියක්!

කෙසේවෙතත් දැනුවත්ව එවැනි දේවල් කරන්න නම් ඩිස්නිලන්ත කාර්යමණ්ඩලයෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ.

පුදුම ලෝකය

ඩිස්නිලන්තයේ අත්භූත සිදුවීම් ( Miraculous Events Of Disneyland ) - Your Choice Way

ඩිස්නිලන්තයේ අත්භූත සිදුවීම් ( Miraculous Events Of Disneyland ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඩිස්නිලන්තයේ අත්භූත සිදුවීම් ( Miraculous Events Of Disneyland ) ඩිස්නිලන්තයේ අත්භූත සිදුවීම් ( Miraculous Events Of Disneyland ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 17, 2021 Rating: 5

0 comments:

Post a Comment