චිකන් ඩෙවල් හදමු (Let's make Chicken Devil)

චිකන් ඩෙවල් හදමු (Let's make Chicken Devil) - Your Choice Way
හැමදාම නිවසේ පිළියෙල කරන අල කරියයි, පරිප්පු කරියයි, කුකුල් මස් කරියයි කාලා ඇති වෙලාද? එහෙනම් මේ සැරේ ඔබේ කෑම වේලට රසවත් කෑමක් එකතු කරගමුද? හදන්න හරිම ලේසියි. රසම රස චිකන් ඩෙවල්..

මුලින්ම අපි බලමු මේ ඩෙවල් එක හදන්න ඔබට අවශ්‍ය කරන්නේ මොනවද කියලා.

අවශ්‍ය දේවල්:

  • කොටුවට කපාගත් කුකුල් මස් කැබලි (200g පමණ)
  • පොල්තෙල් හෝ එළවළු තෙල්
  • කපාගත් ලීක්ස්
  • දික් අතට කපාගත් කැරට්
  • හීනියට කපාගත් මාළු මිරිස්
  • තක්කාලි කැබලි
  • දික් අතට කපාගත් අමු මිරිස් ස්වල්පයක්
  • හීනියට කපාගත් බී ළූණු
  • තලාගත් සුදු ළූණු ස්වල්පයක්
  • ලුණු කුඩු ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • කහ කුඩු ස්වල්පයක්
  • හීනියට කපාගත් රම්පේ
  • කරපිංචා කොළ ස්වල්පයක්
  • තක්කාලි සෝස්

සාදන ආකාරය:

  1. මුලින්ම ඔබ කොටුවට කපාගත් මස් කැබලි ටික තෙල් තාච්චියක රන්වන් පාට වනතෙක් ගැඹුරු තෙලේ බැදගන්න. බැදගත් මස් කැබලි ටික තෙල් බේරෙන විදිහට කිරි ගොටුවක හෝ එවැනි වෙනත් භාජනයකට දමාගන්න. ඉන්පසු පැතලි සාස්පානක් අරගෙන ලිප තබා, එයට ඔබ මස් බැද ගැනීමට භාවිතා කර ඉතුරු වුණ තෙල් වලින් මේස හැඳි 3ක් පමණ දමා ගන්න. තෙල් මඳක් රත් වූ පසු එයට කපාගත් ලීක්ස් කැබලි එකතු කර හොඳින් කලවම් කරගන්න.
  2. විනාඩි 1කට පමණ පසු නැවත එයට කපාගත් මාළු මිරිස් කැබලි එකතු කර කලවම් කරගන්න. නැවතත් විනාඩියකට පමණ පසු කපාගත් කැරට් කැබලි එකතු කර දිගටම කලවම් කරන්න. එළවළු කැබලි සියල්ල හොඳින් තැම්බෙන තෙක් මෙසේ කලවම් කරන්න.
  3. ඉන්පසු ඔබ කපාගත් අමු මිරිස් හා ළූණු එකතු කර විනාඩි 3ක් පමණ නැවතත් කලවම් කරන්න. මතක තබා ගන්න ඔබ සාස්පානට දමන කිසිම එළවළුවක් පිච්චෙන්න දෙන්නෙපා, තෙල් මදි බව ඔබට දැනෙනවනම් තවත් තෙල් මේස හැන්දක් පමණ එකතු කරගන්න. නිරන්තරයෙන්ම එළවළු ටික හොඳින් කලවම් කරගන්න, නැත්නම් ඩෙවල් එකේ නියම රසය ඔබට විඳින්න ලැබෙන එකක් නැහැ.
  4. හරි දැන් විනාඩි 3 අවසානයි. ඉන්පසු ඔබ හොඳින් තලාගත් සුදු ළූණු ද එයට එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් ඔබට හොඳ සැර සුවඳක් දැනේවි. ඉන්පසු මේ මිශ්‍රණයට තක්කාලි කැබලි එකතු කර හොඳින් කලවම් කරගන්න. මතක තබාගන්න තක්කාලි කැබලි මිශ්‍රණයේ අවසානයට එකතු කරන්න, නැත්නම් ඔබ එය මුලින් එකතු කළොත්, එළවළු දිගින් දිගටම කලවම් වෙනකොට තක්කාලි කැබලි ටික දියවෙලා යනවා. එතකොට ඔබේ චිකන් ඩෙවල් එකේ ලස්සන ටිකක් නැතිවේවි.
  5. තක්කාලි එකතු කළ පසු එයට අවශ්‍ය පමණ ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු එකතු කරගන්න. ඊට අමතරව කපාගත් රම්පා, කරපිංචා ටිකත් එකතු කරගන්න අමතක කරන්නෙපා. මේ සේරම කුළු බඩු එකතු කළ පසු මඳ වේලාවක් එළවළු මිශ්‍රණය හොඳින් කලවම් කර කුළු බඩු වල රසය එළවළු වලට එකතු කරගන්න.
  6. දැන් ඔබට අවශ්‍ය පරිදි තක්කාලි සෝස් ටිකක් මිශ්‍රණයට එකතු කර හොඳින් කලවම් කරන්න. තක්කාලි සෝස් වෙනුවට චිලි සොස් භාවිතා කළත් ප්‍රශ්නයක් නැහැ. ඉන්පසු ටිකක් රස බලා මදි පාඩු තව එකතු කරගන්න.
  7. දැන් ඔබේ රසවත් කෑම පිළියෙල කිරීමේ අවසාන අදියරට ඇවිත් ඉන්නේ. අවසාන වශයෙන් ඔබට තිබෙන්නේ ඔබ මුලින්ම රන්වන් පාට වනතෙක් බැදගත් මස් කැබලි ටික සාස්පානට එකතු කර එළවළු සමඟ හොඳින් කලවම් කරගන්න.
  8. දැන් ඔන්න ඔයාගේ රසම රස චිකන් ඩෙවල් එක හදලා ඉවරයි. ඉතින් දැන් රස බලන්න.උණු උණුවෙන්ම ගෙදර අයටත් පිළිගන්වන්න.
  9. මාළු ඩෙවල් එකක් වුණත් ඔයාට මේ විදිහටම හදන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ මස් කැබලි වෙනුවට මාළු කැබලි තෙලේ බැදගන්න එක විතරයි.
  10. දැක්කනේ, හරිම පහසු, අඩු වියදමින්, ඉතා කෙටි කාලයක් තුළ ඔයාගේ කෑම වේලට මේ වගේ රසවත් කෑමක් එකතු කරගන්න පුළුවන්. ලොකු ලොකු වියදම් යන්නේ නෑ, හැමදාම ගෙදර උයන එළවළු ටිකයි, කුළු බඩු ටිකයි විතරයි ඔයාට ඕන වුණේ.
එහෙනම් තවත් දවසක රසවත් කෑමක් හදන හැටි අරගෙන ඔයාගේ කුස්සියට එන්නම්...

චිකන් ඩෙවල් හදමු (Let's make Chicken Devil) - Your Choice Way
 👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇


Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චිකන් ඩෙවල් හදමු (Let's make Chicken Devil) චිකන් ඩෙවල් හදමු (Let's make Chicken Devil) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2021 Rating: 5

0 comments:

Post a Comment