Anula Song Lyrics - අනුලා ගීතයේ පද පෙළ

Anula Song Lyrics - අනුලා ගීතයේ පද පෙළ
Song Title :  Anula (අනුලා)
Singing : Malini Shyaradee ft. Tharindu Damsara
Artist - Malini Shyaradee
Lyrics - Hansi Sandamali
Melody & Music - Tharindu Damsara
Music composition, mixing & mastering - Sanjula Himala

නුරාවී මා අනුලා නෙතු රවටන
කාමයේ ධේනුව සේ ගත පිනවන
රමණයේ අහවර දුක් ගිණි උහුලනා
සිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳවුනා

විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනා
වියපත් වූ පාපියෙකු අතින් බඹසර බිඳුණා
විඳවනා මා ගතේ දුක් රුධිරයේ පෙඟුණා
එලෙස විදි දුක් විෂ බඳුන් වල මුහු වෙලා තිබුණා
බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා

රජ මැදුරු වාසල එහා නෙක ගම් දනව් පීරා
දාහයෙන් නැහැවුන ගතින් මා ආදරේ හෙව්වා
වංශයේ දීපංකරේ සැම කුල සිරිත් වනසා
ප්‍රේමයක් නොලබාම මා ගිණි චිතකයේ දැවුණා
බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා

ප්‍රේමය යම් අයෙකු සදාකාලික වරදකරුවෙකු කීරීමට තරමේ ප්‍රබල වූවකි.විටක ප්‍රේමය හඹා යාම වියරු වූ උමතුවක්ද විය හැකිය.මියෙන තුරු ප්‍රේමය හඹා ගොස් මුණ නොගැසුනු ගැහැණු හා මිනිස්සු මේ මිහිමත අතීතය වර්ථමානය සහ අනාගතය හරහා තව දුරටත් ගමන් කරමින් සිටිති.මේ එකී ප්‍රේමය සොයා ගොස් සැනසීම නොලද මහාවශය වැරදි ලෙස අර්ථකථනය කළ වියරු ගැහැණියකගේ සුමට ආත්ම සංකථනයක පුනරාගමනයකි .

දහස් ගණනක අන්තඃපුරයකට හිමි කම් කී දුටුගැමුණු රජුගේ  ස්ත්‍රී ලෝලී ක්‍රියාකලාපයන් වසන් කරමින් අනුරාධපුර රජ පෙළපතේ මහා වීරයා ලෙස දුටුගැමුණු ඔසවා තබන මහානාම හිමි අනුලා රැජිනගේ ක්‍රියාකලාපය මහා වංශයෙහි සදහන් කරන්නේ නොහොබිනා කුරිරු කාමයට අනවශ්‍ය ලෙස ලැදි ගැහැණියක ලෙසිනි.හෙළ ගැහැණියකට රජ විය හැකි බවට ලක් ඉතිහාසයේ හමුවන පළවෙනි ලිඛිත ශාක්ෂිය අනුලා ය.ඇය ලංකා ඉතිහාසයේ පළමු රැජිනිය ය.නමුත් ඉතිහාසයට අනුව අනුලා රාජ්‍ය බලයට ලොල් අයෙකු නොව කාමයට ලොල් වූ කාමාශක්ත ගැහැණියක ලෙස ප්‍රකටය.

"අනුලා අවුරුදු පහක කාලයක් තුළ සිව් දෙනෙකු හා සරණ ගියාය. ඔවුන් සියලු දෙනාටම වස දී මරුමුවට පත්කර රාජ්‍ය බලය ලබා ගෙන තම අභිමතය පරිදි පාලනය ගෙන ගියාය. ඇය විසින් පසුව වස දී මරවන ලද මාලිගාවේ ආරක්ෂකයා, තිස්ස, පළමුවෙනි ශිව ලෙස ක්‍රි.පූ. 47 සිට අවුරුද්දකුත් මාස දෙකක් රට පාලනය කළේය. මෙම කාලය තුළ වටුක නම් දෙමළ වඩු කාර්මිකයෙකු රැජිණගේ අවධානය දිනාගත්තේය. පළමුවැනි ශිවට වස පොවණු ලැබීය. අනුලා දේවිය වටුක විවාහ කර ගත්තාය. ඔහුද පාලනය කළේ අවුරුද්දකුත් මාස දෙකක් පමණි.
අනුලාගේ ආදරය ඉන්පසු යොමු වන්නේ දාරුබතික නම් දැව ගෙනියන්නෙකු වෙතය. අනතුරුව වටුක හදිසියේම මිය ගියේය.  අනුලා ඇය රහසේ ඇසුරු කළ සැමියා හා විවාහ වූවාය. මෙම විවාහය ඇයගේ විවාහයන් අතුරින් හද සසල කරවන එකක් වූයේ තම සැමියා පහත් කුල‍යක කෙනෙකු වීම හේතුවෙනි. දාරුබතික, තිස්ස නම් වූ රාජකීය නාමය පවරා ගත්තද ඔහුට පැවතිය හැකි වූයේ අවුරුද්දකුත් මාස එකක කාලයක් පමණි. ඔහුට වස දෙනු ලැබිණි. ඔහුගෙන් පසු අනුප්‍රාප්තිකයා වූයේ නිළියා නම් වූ දෙමළ බ්‍රාහ්මණයෙකි. ඔහු අනුලාගේ අන්තිම වල්ලභයා විය. ඔහුගේ පාලනය මාස හයකට සීමා විය. අනුලාගේ ජීවිතයේ අවසාන මාස 4 අනුලා අග රැජිණ වී මාළිගයේ රැකවලුන් තිස් දෙනෙකු සමග සතුට විඳිමින් රට පාලනය කළාය."
(උ.ගැ)

මේ අනුලාවන් පිළිබඳව වංශ පොත් වල අන්තර්ගත තොරතුරු ය.

සැබැවින්ම අනුලාගේ චරිතය පුදුමසහගත වූවකි.බොහෝ දෙනෙකුට ඇයගේ චර්යා ස්භාවය නිරීක්ෂණයේදී ඇති වන්නේ පිළිකුලකි.නමුත් ගැහැණියක උප්පත්තියෙන්ම මෙවැනි  චර්යා ප්‍රගුණ කල බව පිළිගත නොහැකිය.එසේනම් මෙතරම් දරදඬු ක්‍රියාකලාපකට අනුලා යොමුවීමට බල පෑ ප්‍රබල වූ සාධක තිබිය යුතුය.

අනුලා මුල් වරට සරණ කරගනු ලබන්නේ වලගම්බා රජුගේ පුතෙකු වූ මහානාග විසිනි. දාමරිකයෙකු සග සොර දෙටුවෙකු වූ මහානාග ඉතිහාසයේ හදුන්වනු ලැබුවේ චෝරනාග ලෙසිනි.ඔහු අනුලා සරණ කර ගන්නා විට මහළු වයසෙහි පසු වූවෙකු වූ අතර අනුලා නෑඹුල් යෞවන වයසේ පසුවන්නියක් විය.ඉතිහාසය දාමරිකයෙකු ලෙස නම් කල වෝර නාග අනුලාට ප්‍රේමයෙන් සැලකුවායැයි සිතිය නොහැකිය.ඇය චෝරනාග අතින් අනන්ත වූ මානසික සහ කායික පීඩනයට ,අතවරයට ලක් වන්නට ඇත.ඒ ලක් කල දැඩි පීඩනයම අනුලා රුදුරු තැනැත්තියක බවට පරිවර්තනය  කරන්නට ඇත.නැවත නැවතත් ඇය වස බදුන් තුළ කලවම් කරමින් පුරුෂයන්ගෙන් වියරු ලෙස පලි ගනු ලබන්නේ ඈ විදි පීඩනයම නොවේද?

මේ සියල්ල ඇගේ ගැහුණු කම මූලිකව පිරිමින් විසින් සාවාද්‍ය ලෙස ගොතන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය නොහැකිද?

අනුලා වසඟයට ගත් පිරිමින් අතර සිටින්නේ විවිධ කුළ ,විවිධ වෘත්තීන් සහ විවිධ සමාජ මට්ටම් වල පුද්ගලයන් වීම අනුලාගේ ජීවන පරිච්ඡේදයේ හමුවන විශ්ලේෂණයට ලක් කල යුතු වූ සුවිශේෂී වූවකි.රූපයෙන් අනූන බලයෙන් හෙබි අග රැජිනක වූ අනුලාවන්ට සමාජ මට්ටමෙන් සහ වංශයෙන් උසස් පුද්ගලයන් සොයා ගැනීමට ඇති අවස්ථාව වැඩිය. එලෙස බලතල තිබියදී ඇය රජ කුමාරවරු සිටුවරු බමුණන්ද ඇතුළුව කසල සෝධකයන්,කම්මල්කරුවන්,දර පලන්නන්,උයන් පල්ලන් ආදී වූ සාමාන්‍ය දුගී මිනිස්සුද යොදා ගැනීම පුදුම සහගතය.එමෙන්ම ඇය නිළතල පැවරීමේදී ජාතිය,ආගම,කුළය පිලිබඳව එතරම් සැළකිල්ලක් නොදැක්වීම ඇගේ රාජ්‍ය පාළන කාලය තුළ සුවිශේෂී වේ. අනුලා සියළු සීමා මායිම් බිදිමින් නැවත නැවතත් මියෙන් තෙක් හඹා යන්නේ රාගයම බව විශ්වාස කර ඇය වෙසගනක් ලෙස පසකට කර ශාප කීරීම සාධාරණද?

ඇය මෙලෙස වියරුවෙන් හඹායන්නේ තමා කිසි දිනක නොලද ප්‍රේමය  විය නොහැකිද?ප්‍රේමයේ අධ්‍යාත්මිකත්වය නොලබන ඇය ලෞකික රාගයෙන් සෑහීමකට පත් නොවන්නීය.ඈ මියන තුරු ප්‍රේමය හඹා යන තැනැත්තියක ලෙස සිතීමට සාධක සුලභය.අනුලාගේ අවසනය ඛේදයකි.එමෙන්ම එය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි. රාගයේ අනන්ත සුව විදි අනුලා ප්‍රේමයක් නොලබාම ගිණි ගොඩක අළුව යන්නීය.

මේ ඇගේ ප්‍රේමය නොලද අළු වූ ආත්මයේ නොකී විලාපයයි.

"අනුලා"ලාංකේය පළමු රැජින  හොයාගෙන අපි ක්‍රි.පූ.47-42 අනුරාධපුර යුගයට කාලතරණය කරමු...

( සටහන - හංසි සඳමාලි )

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anula Song Lyrics - අනුලා ගීතයේ පද පෙළ Anula Song Lyrics - අනුලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2021 Rating: 5

0 comments:

Post a Comment