පාවිච්චි කරපු හොද ෆෝන් එකක් අඩුවට ගන්න මේ උපදෙස් වැදගත් වේවි!

පාවිච්චි කරපු හොද ෆෝන් එකක් අඩුවට ගන්න මේ උපදෙස් වැදගත් වේවි! - Your Choice Way
අයි ෆෝන් වලට එහෙම දැක්ක ගමන් ආස හිතෙනවා. ඒත් මිල දැක්කම ආසාව ටිකක් ඈතට යනවා. දැන් අයිෆෝන් විතරක් නෙමෙයි, හුවාවේ, සියෝමි, සැම්සන්ග්, එල් ජී ආදී හැම ෆෝන් එකකම හොඳම ෆෝන් එන්නේ ලක්ෂයට වඩා උඩ මිල ගණන් වලට. ඉතින් සාමාන්‍ය කෙනෙක්ට මේ වගේ සුපිරි ෆොන් එක්ක ගන්න පුළුවන් සුපිරි විදිහක් තමයි පාවිච්චි කළ එකක් මිලදී ගන්න එක. ඒකෙදි මොන මොන වගේ දේවල් බැලුවොත් හොඳයි ද කියලා අපි ටිකක් කියන්න හිතුවා.

1. ආපු අවුරුද්ද බලමු

අයි ෆෝන් යූස්ඩ් එකක් සැරට පාවිච්චි කරන්න ගන්නවා නම් ඔන්න අයිෆෝන් 7 වලින් වත් එහාපැත්තේ ගන්න ඕනි. එහෙම නැතුව වැඩිහිටියෙකුට බණ පිරිත් ඩිංගක් අහන්න, ඉඳලා හිටලා කෝල් එකක් ගන්න වගේ නම් ඔය පරණම මොඩල් එකක් අරන් දුන්නට කාරියක් නැහැ. ෆෝන් එකේ මොඩල් එක ගැහුවම ජී එස් එම් එරීනා හෝ ඒ වගේ තියෙන අටෝරාසියක් වෙබ් වල ෆෝන් එක එළියට දාපු අවුරුද්ද තියෙනවා. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සුපිරි ඒවා වෙන ගූග්ල් පික්සල්, සැම්සන්ග් ගැලක්සි, එල් ජී, වන්ප්ලස් වාගේ ෆෝන් වුණත් අවුරුදු දෙක තුනක් ඇතුළත එළියට දාපු එකක් ගන්න පුළුවන් නම් හොඳයි.

2. යාළුවො නෙට්වර්ක් එක පාවිච්චි කරමු

ෆෝන් එකක් කියන්නේ මත්ද්‍රව්‍ය හෝ එවැනි නීතිවිරෝධී දෙයක් නෙමෙයි. සමහර අය නම් ආසයි එකපාර ෆෝන් එක අරං ඒක ෆේස්බුක් එකට දාලා ලෝකයා මවිත කරවන්න. අනෙක් පැත්තෙන් ගත්තාම යාළුවෝ නම් ඉතින් ඔය එක මොහොතක් මවිත වෙයි. ඒත් අපිට ෆෝන් එකට නොවටින ගාණක් වියදම් කරන්න වුණොත්, ගෙව්ව ගාණට ඒක හරිගියේ නැතොත් අපිට ඒක ටික කලක් බලපානවා. ඒ නිසා ෆෝන් එකක් ගන්න ඉන්නවා නම් ඒ අදහස යාළුවෝ අතර, නෑයෝ අතර ටිකක් පතුරුවන්න ඕනි. එතකොට අපේ යාළුවොන්ගේ යාළුවෝ ගාව, දන්න කියන අය ගාව ඒ ජාතියේ සෙකන්ඩ් හෑන්ඩ් බඩු තියනවා නම් අපිට දැනගන්න පුළුවන්. දන්න අඳුරන කෙනෙක් වුණත් හොර කරන්න පුළුවනි. ඒත් දන්න කියන කෙනෙක් ජරාම එකක් වැඩි ගාණකට විකුණන්න තියෙන හැකියාව අඩුයි.

3. ගන්න කලින් චෙක් කරමු

ඉක්මන් ඩොට් එල් කේ එකේ හෙම බඩු විකුණන සමහර උදවිය අපේ හංදියේ ඉන්න මාළු ලෑල්ල අයිති මාළු මාමලා වගේ… අපි ඈතින් එනවා දැක්කම මාළු  බුවාලා මාළුවා තෝරලා, කපලා පැක් කරලාත් ඉවරයි. ඒ වගේ සමහර ගැජට්ස් විකුණන අයටත් පුදුම හදිසියක් තියෙන්නේ. එයාලට නම් ඒක විකුණන සැණින් එයාලගේ ගාණ අතට එනවා. ඒත් කුණුගොඩක් ලැබුණොත් අවුල එන්නේ අපිට. ඒ නිසා කලබලකාරයෙක් නම් පොඩ්ඩක් වෙලාව ඉල්ලලා පස්ස ගහන්න ඕනි. ඒ කරලා ෆෝන් එකේ සිම් එක දැම්මහම ඩේටා වැඩ කරනවාද? ෆෝන් එක වැඩ කරනවාද? බැටරිය කොහොමද? පිම්බිලා තියෙනවාද? හීරිලා තියෙනවාද? ඒක ඔරිජිනල්ම ඩිස්ප්ලේ එකක්ද ආදී දේවල් ටිකක් බලන්න ඕනි. ඔක්කොම දේවල් බලන්න බැරි වුණත්, අපිට පේන දැනෙන ටික හරි බලලා ගන්න එක සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ගනිද්දී කරන්නම ඕනි දෙයක්.

4. බාගේන් පාරක් දාමු

අපි හිතමු අපි ගන්න ඉන්නේ සෙකන්ඩ් හෑන්ඩ් සැම්සන්ග් එස් 9 කියන ෆෝන් එකක් කියලා. එතකොට ඒක විකුණන ගාණ මොකද්ද කියන එක අපි දැනගන්නේ කොහොමද? පොඩ්ඩක් ඉක්මන් එකේ කරක් ගැහුව නම්, ඊබේ එකේ ගිහින් යූස්ඩ් ෆෝන් වල ගාණ බැලුව නම් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. එහෙම කරල ෆෝන් එකේ කන්ඩිෂන් බලලා ඇත්තටම ඒක ඒ ගාණට වටිනවා නම් අවුලක් නැහැ ගන්න පුළුවන්. ටිකක් අඩු වුණා නම් හොඳයි කියලා හිතෙනවා නම් පස්සේ ඒ ගැන කල්පනා කරන්නේ නැතුව මේ ගාණට වටින්නෙ නැහැ කියලා තමුන්ගේ ගාණ කියන්න පුළුවන්. ඒක කිසිම ලැජ්ජ වෙන්න කාරණාවක් නෙමෙයි. දන්න කියන කෙනෙක් වුණත් අපිට වටින ගාණට නේ අපි බඩු ගන්න ඕනි.

5. බිල්ට් කොලිටිය හොඳ ෆෝන් ගැන අවධානය යොමු කරමු

ඩරාස්, ලයිෆ් මොබයිල්, සොෆ්ට්ලොජික්, අබාන්ස් වගේ ස්ටෝරුවකට ෆෝන් බලන්න ගියාම මෙන්න සැම්සන්ග් කියන නමෙන්ම ෆෝන් තියනවා හැට හතර ජාතියක් විතර. ඒ වුණාට සැම්සන්ග් ෆෝන් වල හොඳම ෆෝන් කියලා විරුදාවලිය ලබන්නේ එස් සීරීස් එක. එස් 9, 10 සහ ලඟදි ආව එස් 20. ඒ වගේම සැම්සන්ග් ගැලක්සි නෝට් සීරීස් එකත් සුපිරියි. ඒ වගේ යම් ෆෝන් බ්‍රෑන්ඩ් එකක තියෙන ෆ්ලැග්ෂිප් හෙවත් සුපිරිම ෆෝන් අවුරුද්දක් දෙකක් පරණ වුණා කියලා එහෙමට පර්ෆෝමන්ස් බහින්නේ නැහැ. සමහර මාදිලි වල එහෙම ෆ්ලැග්ෂිප් නැහැ. උදාහරණ විදිහට නොකියා ෆෝන් වල ෆ්ලැග්ෂිප් කියල එකක් පැහැදිලිව නැහැ. ඒත් නොකියා බිල්ට් කොලිටි එක ගැන ප්‍රශංසා හැමතැනම තියෙනවා. හුවාවේ, සියෝමි, රියල්මි, ලෙනොවෝ වගේ චීනෙන්ම එන ෆෝන් පාවිච්චියට සුපිරි මාස දෙක තුනක් පාවිච්චි කරපු හොඳම තත්ත්වේ එකක් ඇරෙන්න සාමාන්‍යයෙන් චීන ෆෝන්වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් අඩුයි. ඒ අනුව ෆෝන් එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගනිද්දි ඒකේ ඔරිජිනල් කොලිටිය මොනවද කියලා රිවීව් ටිකක් ඉන්ටනෙට් එකෙන් කියවලා අහලා බලන්න පුළුවන් නම් හොඳයි.

6. සේල් සහ වෙනත්

ලොකු ෆෝන් කඩවල ෆෝන් සේල් දානවා සමහර කාල වල. ඒත් හොඳට බැලුවොත් ගොඩක් වෙලාවට සේල් වලට සෙට් වෙන්නේ ඉක්මනට විකිණුනේ නැති, ස්ලෝ සේල්ස් තියෙන, එච්චරම ජනප්‍රිය නැති ෆෝන් මොඩල්. ඒ වගේම ෆැක්ටරියෙන් පොඩි පොඩි ෆෝල්ට් නිසා අයින් කරපු රීෆර්බිෂ්ඩ් ෆෝනුත් ඊබේ වගේ තැන්වල ගන්න තියෙනවා. ඊබේට අමතරව තවත් සයිට් කීපයකින්ම මේ යූස්ඩ් සහ රීෆර්බිෂ්ඩ් ෆෝන් විකුණනවා. මේ පිටරට ස්ටෝරු වලින් යූස්ඩ් ෆෝන් ගන්න පුළුවන්, හැබැයි කල් යනවා. ලංකාවට එන්න සමහර විට සති දෙකකට වඩා යනවා. ඊට අමතරව තැපැල් කන්තෝරුවට, ටී ආර් සී එකට අපිට යන්නත් වෙනවා. ඒ මොක වුණත් ලොකු ලාභයක් තියෙන නිසා සමහරු රටින් යූස්ඩ් ෆෝන් ගේනවා.

7. ලංකාවේ පාට්ස් තියෙන ෆෝන් එකක් ගමු

සමහර විට අයිපී රේටින් අනුව හොඳම ෆෝන් එකක් වුණත් අපේ නසරානි බබෙක්ට අහු වුණාම ස්ක්‍රීන් එක කඩන්න යන්නෙ තත්පර ගාණක් විතරයි. ස්ක්‍රීන් එක විතරක්ම නෙමෙයි, යූස්ඩ් ෆෝන් එකක් ගත්තාම වෙන ලෙඩත් එන්න තියෙන හැකියාව වැඩියි. බැටරිය, චාජර්, සිම් ට්‍රේ, බැක් කවර් ආදී විවිධ දේවල් අපිට යූස්ඩ් ෆෝන් එකකට දාන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ලංකාවේ පාවිච්චි වන සැම්සන්ග්, ඇපල් වගේ ෆෝන් එකක පාට්ස් නම් ලංකාවේ ඕනිම ටවුමකින් හොයාගන්න පුළුවන්. ඒත් ලංකාවේ නැති, පිටරට පට්ට ලාභ සුපිරි ෆෝන් එකක් වෙන මෝටරෝලා වගේ එකක් සෙකන්ඩ් හෑන්ඩ් ගත්තොත් අපිට පාට්ස් හොයන්න ලොකු වාතයක් වෙනවා. සමහර විට අලි එකේ, ඊබේ එකේ තිබුණත් ඒ පාට්ස් ලංකාවට එනකල් අපිට කලක් බලාගෙන ඉන්නට වෙනවා.

ඇමසන් එකේ හෙම බැලුවොත් අවුරුද්දක් විතර පරණ මාදිලියේ ෆෝන්, ඒවා මාකට් එකට ආපු මිලට වඩා බාගයක් විතර මිල අඩුව විකුණන්න තියනව කියලා පේනවා. ඒත් අපේ රටේ ඒජන්තයින් එහෙම මිල අඩු කරන්නෙ නැහැ. ඒ නිසා අපිට යූස්ඩ් ෆෝන් එකක් ගන්න එක වටිනවා. ජපානය, කොරියාව, ස්විස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව ආදී රටවල් ගොඩකින් දැන් ලංකාවට තොග පිටින් නැව් ගුවන් බඩු ඔස්සේ මේ යූස්ඩ් ෆෝන් එනවත් එක්ක. ඉතින් සුපිරි ෆෝන් එකක අත්දැකීම අපිට ගන්න පුළුවන් ලාභම ක්‍රමයක් වෙන යූස්ඩ් ෆෝන් ගැන ඔයාලට මේ හරහා යම් අදහසක් එන්නට ඇති.

අනිවාර්යයෙන් තව කෙනෙක්ට වැදගත් වෙයි😍😁❤ 
සෙයාර් කරන්න 
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
®®®®®®®®®
©©©©©©©©©©
උපුටාගැනිම Lifeie වෙබ් පිටුවෙන්
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පාවිච්චි කරපු හොද ෆෝන් එකක් අඩුවට ගන්න මේ උපදෙස් වැදගත් වේවි! පාවිච්චි කරපු හොද ෆෝන් එකක් අඩුවට ගන්න මේ උපදෙස් වැදගත් වේවි! Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2020 Rating: 5

0 comments:

Post a Comment