හිතාගන්න අමාරුම අමුතුම ඔපරේෂන් 😲 (The Strangest Operation The Hardest To Imagine)

හිතාගන්න අමාරුම අමුතුම ඔපරේෂන් 😲 (The Strangest Operation The Hardest To Imagine) - Your Choice Way
වෛද්‍ය විද්‍යාව ගැන අබමල් රේණුවක්වත් දැනුමත් නැති වුනත් ශල්‍යකර්මයක් කියන්නේ මොකක්ද කියන එක ගැන අපි හැමෝටම වගේ යම් කිසි අවබෝධයක් තියෙනවා. මේ නිසා හදවත්, වකුගඩු, ආමාශය, මොලය වැනි ස්ථානවල සිදුවන ශල්‍යකර්ම ගැන අසද්දී එය සාමාන්‍ය පුවතක් ලෙස සලකනවා මිසක ඒවා පුදුම සහගත, විශ්වාස කළ නොහැකි දේවල් ලෙස අප සිතන්නේ නැහැ. නමුත් ඇතැම් විට අපට විශ්වාස කළ නොහැකි ආකාරයේ ශල්‍යකර්ම සිදුවන අවස්ථාවන් ද තියෙනවා. ඒවාට වෛද්‍ය විද්‍යාවේ හාස්කම්, ප්‍රාතිහාර්යයන් ලෙස කවුරුත් කියනු අපට ඇසෙනවා. අපේ රටේ ද සිදුවුණු එවැනි පුදුමාකාර ශල්‍යකර්ම තිබෙනවා. මේ තියෙන්නේ ලෝකයේ සිදුවුණු, සිදුකරන්නට නියමිත එවැනි, ටිකක් විශ්වාස කරන්නට  අපහසු ආකාරයේ ශල්‍යකර්ම කීපයක් ගැන පොඩි පොඩි තොරතුරු ටිකක්.

ආමාශයේ සමින් ඇඟිල්ලක් වවා ගැනීම

ආමාශයේ සමින් ඇඟිල්ලක් වවා ගැනීම

වැන්ග් යොන්ග්ජුන් කියන්නේ  ගෘහ භාණ්ඩ නිපදවන චීන ජාතිකයෙක්. දවසක් වැඩ කරමින් සිටින අතරේ සිදුවුණු අනතුරකින් ඔහුගේ ඇඟිල්ලක්  කැපී ගියා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවකදි කරන්නේ කැපී ගිය ඇඟිලි කොටස සිරුරේ ඉතිරි ඇඟිළි කොටසට තබා මැසීමයි. අවාසනාවකට යොන්ග්ජුන්ගේ ඇඟිල්ල මේ අනතුරින් සහමුලින්ම විනාශ වී තිබුණා. තබා මසන්නට තරම්වත් කොටසක් ඉතිරි වී තිබුණේ නැහැ. මේ අවස්ථාවේ දී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍ය ෂුසොන්ග්ට කදිම, ඒත් ටිකක් විකාර අදහසක් පහළ වුණා. ඔහු කළේ අතේ ඉතිරි වූ ඇඟිලි ආමාශයේ මතුපිට සමට තබා මැසීමයි. වෛද්‍යවරයා සිතු දේම සිදුවුණා. ටික දවසක් ගත වෙද්දී ආමාශයේ සමින් කොටසක් ඉතිරි ඇඟිලි කොටස මත ඇඟිල්ලක හැඩයෙන් වැඩෙන්නට පටන් ගත්තා.මේ සඳහා සැලකිය යුතු කාලයක් ගත වුනත් වැඩේ සාර්ථක වුණා.  අවශ්‍ය දිග ප්‍රමාණයට වැඩුණාට පසු එය එතැනින් කපා ඇඟිල්ලක ආකාරයෙන් සකස් කරන්නට වෛද්‍යවරයාට හැකියාව තැබුණා.

එක සිරුරයි හදවත් දෙකයි

එක සිරුරයි හදවත් දෙකයි
විරහ ගීත, ආදර ගීතවල හැරුණු විට සාමාන්‍යයෙන් එක සිරුරක හදවත් දෙකක් තියෙනවා අපි අසා නැහැ. කොහොම වුනත් ලෝකයේ ඇත්තටම එවැනි සිදුවීමක් වාර්තා වෙනවා 2011 වර්ෂයෙන්. ඒ වසරේ දී ටයිසන් ස්මිත් කියන තැනැත්තාට හදවතක් බද්ධ කළා. එසේ කළේ ඒ වන විට ඔහුගේ හදවත් අකර්මණ්‍ය තත්වයට පත්ව තිබුණු නිසයි. සාමාන්‍යයෙන් හදවතක් සිරුරකට බද්ධ කළ විට එය සිරුරෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගන්නට අධික ලෙස ඖෂධ ගන්නට සිදුවන අවස්ථාවන් තියෙනවා. කොහොම වුනත් ටයිසන්ට ඖෂධවලින්වත් මේ ප්‍රතික්ෂේප කිරීම වළක්වා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසා වෛද්‍යවරු තීරණය කළේ පැරණි හදවත එසේම තිබිය දී අලුත් හදවත් සිරුරට බද්ධ කිරීමටයි. මේ අනුව ටයිසන්ට හදවත් දෙකක් ලැබුණා. මේ ශල්‍යකර්මයෙන් පසු සිදුවූයේ රුධිරය සුපුරුදු පරිදි පැරණි හදවතට පැමිණ එයින් පිට වී නව හදවතට ගමන් කිරීමයි. පිරිසිදු රුධිරය සිරුරට බෙදාහැරීම සිදුවන්නේ නව හදවතින්. ජීවිතය ඉක්මනින් කෙළවරවීමට තිබුණු ටයිසන් තව අවුරුදු 10 ක් මේ ශල්‍යකර්මය නිසා දිගු කරගත්තා.

ගර්භාෂයක් බද්ධ කිරීම

ගර්භාෂයක් බද්ධ කිරීම
වෙනත් අවයවයක් බද්ධ කරනවාට වඩා ගර්භාෂයක් බද්ධ කිරීමේ විශේෂත්වය වන්නේ මෙයින් දරු උපතක් ද අපේක්ෂා කිරීමයි. මේ ශල්‍යකර්මයට මුහුණ දුන් කාන්තාවට උපතින්ම ගර්භාෂයක් තිබුණේ නැහැ. ලෝකයේ එවැනි කාන්තාවන් බොහොමයක් සිටිනවා. ඒ වගේම පිළිකා නිසා සිය ගර්භාෂය අහිමි වන කාන්තාවන් සැලකිය යුතු සංඛ්‍යාවක් ද ලෝකයේ සිටිනවා. මේ කිසිවකුට දරු සම්පතක් ලැබීමේ වාසනාව ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් ස්වීඩන් වෛද්‍ය මහාචාර්ය මැට්ස් බ්‍රැන්ස්ටෝර්ම්  වසර 10 ක පමණ කාලයක් තිස්සේ සිදු කළ බොහෝ පරීක්ෂණවල ප්‍රතිඵලයක් හැටියට මෙකී කාන්තාවට ගර්භාෂයක් බද්ධ කරන්නට තීරණය කළා. මේ අනුව 2014 වසරේ දී මෙසේ ගර්භාෂයක් බද්ධ කළ එකී කාන්තාවට දරු උපතක් හිමි වුණා. මෙය දරු සම්පත් අහිමි බොහෝ කාන්තාවන්ට සුබ ආරංචියක් වුවත් බොහෝ විට සිදුවන අවාසනාවන්ත දෙයක් තමයි ගර්භාෂය සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීම. මෙය බොහෝ විට ඖෂධවලින් ද සමනය කර ගත හැකි තත්වයක් නොවයි.

අතක් කකුලට බද්ධ කිරීම

අතක් කකුලට බද්ධ කිරීම
නව හැවිරිදි මිනිග් ලියු පාසල් නිම වී නිවසට එද්දී ට්‍රැක්ටරයක හැපී සිදු වුණු අනතුරක් නිසා එක් අතක් සිරුරෙන් වෙන් වුණා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දී සිදු කරන්නේ වෙන් වුණු අතර යළි සිරුරට තබා මැසීම වුනත්, මෙය මසන්නට නොහැකි තරමට හානි වී තිබුණා. මේ නිසා සිරුරට තබා මැසීමට පෙර අත් කොටස සුවපත් කරන්නට වෛද්‍යවරුන්ට අවශ්‍ය වුණා. මේ නිසා වෛද්‍යවරු කළේ අත කකුලට තබා වෛද්‍ය විද්‍යානුකූලව බද්ධ කිරීමයි. මේ නිසා අත කොටස මිය යා නොදී එහි හානි වූ කොටස් නැවත වර්ධනය කරගන්නට වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණා. අවශ්‍ය පරිදි අත් කොටස් වර්ධනය වූ පසු වෛද්‍යවරු එය නැවත සිරුරේ නියමිත තැනින් සාර්ථකව සවි කළා.

හිසින් බද්ධ වුණු දරුවන් වෙන් කිරීම

හිසින් බද්ධ වුණු දරුවන් වෙන් කිරීම
රිටා සහ රිටාජ් ගැබෞරා කියන්නේ හිසින් බද්ධ වී උපන් දැරියන් දෙදෙනෙක්. ඔවුන්ව වෙන් කොට සාමාන්‍ය පරිදි දරුවන් දෙදෙනෙකු බවට පත්කිරීම වෛද්‍යවරුන්ට සෑහෙන ගැටළුවක් බවට පත්ව තිබුණා. එයට හේතුව ඔවුන්ගේ සිරුරවල ඇතැම් ක්‍රියාකාරීත්වයන් සිරුරු දෙකේම ඒකාබද්ධ වීමත් සිදුවීමයි. මේ නිසා ඔවුන් වෙන් කළ විගස දෙදෙනාගේම සිරුර අකර්මණ්‍ය තත්වයකට පත්වන්නට ඉඩ තිබුණි නිසයි. දැරියන් දෙදෙනාගේම මොල දෙක අතර රුධිරය හුවමාරු වීමක් ද සිදු වෙමින් පැවතුණා. ඒ වගේම විශේෂයෙන් මේ සිරුරු දෙකේම රුධිරය ගමනාගමනයෙන් වැඩි කොටසක් සිදු කළේ රිටාජ්ගේ හදවතින්. කෙසේ වෙතත් මේ සියලු දේ පිළිබඳ හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසු වෛද්‍යවරුන්ට පුළුවන් කම ලැබුණා 2011 ඔවුන් දෙදෙනාව සාර්ථකව හිස්වලින් වෙන් කරන්නට. අද වන විට ඔවුන් දෙදෙනා ඉතා සෞඛ්‍ය සම්පන්නව සිටිනවා. මුල් කාලයේ ඔවුන් දෙදෙනාටම පැය 23ක් එක දිගට හෙල්මට් එකක් පැළැඳ සිටින්නට සිදු වුණා. ඒ සිරුරේ හැඩය නිසි පරිදි සකස් වීම සඳහායි. අද වන විට ඔවුන් දෙදෙනා ඉතා සෞඛ්‍ය සම්පන්න ව සිටිනවා.

මුහුණෙන් රාත්තල් 16ක ගෙඩියක් ඉවත් කිරීම

මුහුණෙන් රාත්තල් 16ක ගෙඩියක් ඉවත් කිරීම
හයිටි රාජ්‍යයෙන් මාර්ලි කැසියස් කියන්නේ මුහුණේ ඇති වූ ගෙඩියක් පීඩා විඳි තැනැත්තියක්. ඇයගේ මුහුණේ ගෙඩියක් හටගත් අතර එය රාත්තල් 16ක් පමණ වන තෙක් වර්ධනය වී මුළු මුහුණම විකෘති තත්වයට පත් වුණා. මෙවැනි පුද්ගලයන් ලොව වටා සිටියත් ඒ සියලු දෙනාටම ශල්‍යකර්මයන් කරන්නට වෛද්‍යවරු ඉදිරිපත් වන්නේ නැහැ. එයට හේතුව මෙය අසීරු දෙයක් වන නිසාත්, ඇතැම් විට මරණයක් පවා සිදු විය හැකි වීමත් නිසයි. මාර්ලි ගේ මේ විශාල ගෙඩිය නිසා මුහුණේ අස්ථි පවා මෙය දරා ගන්නට හැකි ආකාරයට විශාලව වර්ධනය වී තිබුණා. කෙසේ වෙතත් හයිටි රාජ්‍යයෙන් තිබුණු එක් පුණ්‍යායතනයක් විසින් මාර්ලිව ඇමරිකා එක්සත් ජනපදයේ මියාමිවලට රැගෙන එනු ලැබුවා. එහිදී වෛද්‍යවරු මේ අවදානම් සහගත ශල්‍යකර්මය සිදු කොට මුහුණේ තිබුණු ගෙඩිය ඉවත් කළා පමණක් නොව මුහුණේ අස්ථි ද යථා තත්වයට පත් කොට ඇයට නිදහසේ, සාමාන්‍ය පරිදි ජීවත් වීමට හැකිවන පරිදි මුහුණක් තබා දුන්නා. මේ ශල්‍යකර්මය සඳහා පැය 17 ක පමණ කාලයක් ගත වී තිබුණා.  

හිස් කබලේ කොටස් පරිස්සමට ආමාශයේ තැන්පත් කිරීම

මේ කතාව ටිකක් විකාරයක් වගේ පෙනුනත් ඇත්තටම එවැනි දෙයක් සිදු වී තිබෙනවා. කතාව මෙන්න මෙහෙමයි. වරක් රූ රැජිනක් ද වූ කාන්තාවක්. නමින් ජේමි හිල්ටන්. දිනක් ඇය විනෝද චාරිකාවකට ගොස් සිටිය දී ප්‍රපාතයකින් ඇද වැටී හිස් කබල හානියට පත් වුණා. රෝහලට රැගෙන ආ පසු ඇගේ හිස් කබලෙන් හතරෙන් පංගුවක් පමණ ඉවත් කරන්නට සිදු වුණා. ඒ මොලය බේරා ගැනීම සඳහායි. හේතුව මේ අනතුර නිසා මොලය ඉදිමී තිබීම නිසයි. කෙසේ වෙතත් මොලය යථා තත්වයට පත් වූ පසු මේ හිස් කබලේ කොටස් යළි හිසට සවිකිරීමට වෛද්‍යවරුන් සැලසුම් කළත්, ඒ කාලය වන තෙක් මේ කොටස් සුරක්ෂිතව, සජීවි ලෙස තබා ගන්නේ කෙසේදැයි වෛද්‍යවරු කල්පනා කළා. අවසානයේ ඔවුන් තීරණය කළේ ඒවා ඇගේ ආමාශයේම තැන්පත් කොට තැබීම වඩාත් හොඳ බවයි. හිස් කබලේ කොටස් මේ ආකාරයට දින 42ක් ආමාශයේ තැන්පත් කොට තිබුණා. පසුව ඒවා යළි හිසට සවි කළා. දැන් හිසෙහි යම් විකෘති පෙනුමක් තිබුණත්, මොලය පරෙස්සම් කරගනිමින් ඇයට යළි සාමාන්‍ය පරිදි ජීවත් වන්නට ඉඩ කඩ ලැබුණේ හිස් කබලේ කොටස් ආමාශයේ සුරක්ෂිතව තැන්පත් කොට තිබුණු නිසයි.

මීමැස්මොරය සුව කරන්නට මොලයෙන් භාගයක් ඉවත් කිරීම

මොලය කියන්නේ අපේ ශරීරයේ තියෙන සංකීර්ණතම ඉන්ද්‍රිය කියන එක ගැන විවාදයක් නැහැ. යම් යම් ස්නායු ආබාධ, විශේෂයෙන්ම මීමැස්මොරය, සුවකිරීම සඳහා මොලයෙන් අඩක් ඉවත් කිරීමේ සැත්කමක් සිදුකරන බව ඇතැම් විට ඔබ අසා නැති වෙන්නට පුළුවන්. අතිශය අවදානම්, සහ පරිස්සමින් කළ යුතු මෙය හඳුන්වනු ලබන්නේ Hemispherectomy  නමින්. මොලයේ එක් අර්ධයක් ඉවත්කිරීම නිසා අංශභාගය, පාද සහ ඇඟිල්වල සංවේදනය අහිමි වීම වැනි ගැටලු ඇති විය හැකි වුවත්, දරුණු රෝග තත් වයන් සුවකිරීම සඳහා මෙම සැත්කම යොදා ගැනෙනවා. කාර්ලි මිලර් නම් ඕස්ට්‍රේලියානු ජාතික දැරියට 17 වැනි වියේ දී මෙම ශල්‍යකර්මය සිදු කෙරුණා. මේ සඳහා පැය  9 1/2ක් ගත වුණා. ඇය යම් යම් සුළු ආබාධවලට ලක් වුනත් දැන් ඇය සුවදායී ජීවිතයක් ගත කරනවා.

හිස බද්ධකිරීමේ ශල්‍යකර්මය

හිස බද්ධකිරීමේ ශල්‍යකර්මය
මෙය තවම සිදුවී නැති ශල්‍යකර්මයක් වුවත් නුදුරු අනාගතයේදීම කළ හැකි බව ඉතාලි ජාතික ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන සර්ජියෝ කැනවේරෝ පවසනවා. ෂුෂුම්නාව, ස්නායු සහ රුධිර නාල එකිනෙක බද්ධ කොට සිරුර දෙකක් සාර්ථකව එකට ජීවත් විය හැකි අකාරයෙන් සකස් කරන්නට තමාට හැකි බව ඔහු පවසනවා. ඔහු යටතේ මේ ශල්‍යකර්මය කර ගැනීම සඳහා මේ වන විටත් රුසියානු ජාතික වැලේරි ස්ප්‍රිඩිනොව් ලියාපදිංචි වී සිටිනවා. ඔහුගේ හිසෙන් පහළ පණ නැහැ. මේ සඳහා සජීවි සිරුරක් ලබා ගත හැකි අවස්ථාවක් උදාවන තුරු ඔහු බලා සිටිනවා. නුදුරු අනාගතයේ දී මෙය සාර්ථකව සිදුවේද නැද්ද කියා ලෝකයාට බලා ගත හැකි වේවි..

තව මෙ වගෙ එවා බලන්න රස විදින්න කියවන්න ආසයිද.එහෙනම් ඔන්න අපෙ පෙජ්  එකටත් එන්න ස්තුති 🙏 

සෙයාර් කරන්න යාලුවන්ටත් බලන්න
ස්තුති 🙏 
දිලා❤️ 👇😉😋😍
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිතාගන්න අමාරුම අමුතුම ඔපරේෂන් 😲 (The Strangest Operation The Hardest To Imagine) හිතාගන්න අමාරුම අමුතුම ඔපරේෂන් 😲 (The Strangest Operation The Hardest To Imagine) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 17, 2020 Rating: 5

0 comments:

Post a Comment