මෛත්‍රී භාවනාව නිවැරදිව පුරුදු කරන විදිය

සමථ භාවනාව යනු-සමථ භාවනාව කියලා කියන්නෙ පංච නීවරණ යටපත් වෙන භාවනාවට යි. සතර සතිපට්ඨානයේ යම් භාවනා අරමුණක් අරගෙන පංච නීවරණ යටපත් වන තුරු ම වැඩිය යුතුයි. එතකොට අපේ හිත තුළ පංච නීවරණ ටිකෙන් ටික යටපත් වෙලා ඒ භාවනා අරමුණ තුළ ම හිත එකඟ වෙනවා. මේකට කියනවා සමථ භාවනාව කියලා.

පූර්ව කෘත්‍යය-භාවනාවක් කිරීමට පෙර පූර්ව කෘත්‍යය කළ යුතු ම යි. හැබැයි ඒ පූර්ව කෘත්‍යය දැන් මේ රටේ තියෙන ජාතියේ එකක් නම් නොවෙයි. දැන් සමහර තැන්වල පූර්ව කෘත්‍ය කියලා කරන්නෙ භාවනා කරන්න ඉස්සර වෙලා,
පංච මාර ජිතෝ නාථෝ
පත්තෝ සම්බෝධි මුත්තමං
චතුසච්චං පකාසේති
මහා වීරං නමාමහං
ඒතේන සච්ච වජ්ජේන
සබ්බේ මාරා පලායන්තු
කියලා මාරයෝ පලවා හරින්න පූර්ව කෘත්‍යය කරනවා. මෙවැනි පූර්ව කෘත්‍යයක් කිසිම බුද්ධ දේශනාවක නැහැ. බුද්ධ දේශනාවේ තියෙන පූර්ව කෘත්‍යය තමයි මුලින් ම තමන් කරන භාවනාව ගැන බුද්ධ දේශනාව තුළින් ශ්‍රවණය කිරීම. නැත්නම් සූත්‍ර දේශනා කියවලා තේරුම් ගැනීම. ඊ ළඟට ඒ ශ්‍රවණය කරපු දේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර ගත යුතුයි. ශ්‍රද්ධාව ඇතිකර ගත්තට පස්සෙ භාවනා කරන්න සුදුසු පරිසරයක් සකස් කර ගන්න ඕනැ. ඒක තමයි පුර්ව කෘත්‍යය කියන්නේ.

භාවනා ගුරුවරයා-ඇත්තෙන්ම භාවනා කරන්න ගුරුවරයෙක් සිටිය යුතුයි. ඒ ගුරුවරයා තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම විනය. ඒ ධර්ම විනය තරම් උපකාර ලබන්න පුළුවන් ගුරුවරයෙක් තවත් නැහැ. වෙනත් ගුරුවරයෙක් සිටිනවා නම් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරන්නෙ නැහැ.

“පින්වත් ආනන්ද, මාගේ ඇවෑමෙන් පසු මා විසින් වදාළ ධර්ම විනය ඔබගේ ශාස්තෘවරයා වන්නේ ය” කියලා.

මේ අනුව අපට පේනවා ගුරුවරයා ලෙස තබාගත යුත්තේ ධර්ම විනය ම යි කියලා. ඒ ධර්ම විනයෙන් තොරව ගුරුවරු තෝරාගන්න එක අනතුරුදායකයි. ඒකට හේතුව සමහරු බොරුවට මාර්ග ඵල ලැබූ අය විදිහට පෙනී සිටිනවා. සමහරු මහා උගත්තු හැටියට පෙනී සිටිනවා. තවත් සමහරු අභිඤ්ඤාලාභීන් හැටියට පෙනී සිටිනවා. හැබැයි කතා කළාට පස්සෙ කියන්නෙ පෞද්ගලික මතවාද මිසක් ධර්මය නොවෙයි. එහෙම ගුරුවරු ධර්මය අවබෝධය කරන්න මහන්සි ගන්න කෙනාට විශාල බාධාවක්. ඒක නිසා ධර්ම විනයෙන් පරිබාහිරව ගුරුවරයෙක් තෝරාගන්නවා නම් තෝරාගන්න ඕන මේ විදිහට යි.

ඒ ගුරුවරයා රහසේ කමටහන් දෙන්නෙ නැහැ. ධර්මයට ගරු කරනවා. බුද්ධ දේශනාව විකෘති කරන්නෙ නැහැ. බුද්ධ දේශනාව පිරිසිදුව කතා කරනවා. ධර්මයේ නැති, විකෘති අර්ථ විවරණ ඉදිරිපත් කරන්නෙ නැහැ. ගුරුවරයෙක් තෝරාගන්නවා නම් අන්න එබඳු ගුරුවරයෙක් තෝරාගන්න ඕනෑ. ජීවත්ව සිටින එබඳු ගුරුවරයෙක් හම්බ වුණේ නැත්නම් ධර්ම විනය පමණක් ම පිහිට කර ගන්න තමන් දක්ෂ වෙන්න ඕන.

මෛත්‍රිය යනු-මෛත්‍රිය කියලා කියන්නෙ තමන් තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වය යි. තමා තමාට මිත්‍ර නම් තමා විසින් තමන්ගෙ ජීවිතයට හානියක්, කරදරයක් කර ගන්නෙ නැහැ. තමා අනුන්ට මිත්‍ර නම් අනුන්ගෙ ජීවිතයට කරදරයක් කරන්නෙ නැහැ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට මෛත්‍රිය කියනවා. මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ඣිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ක්‍රම දෙක පිළිබඳ පැහැදිලි කරල දීලා තියෙනවා. ඒ තමයි,
  1. අප්පමාණ චේතෝ විමුක්තිය
  2. මහග්ගත චේතෝ විමුක්තිය
අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෛත්‍රී සිත පැතිරවීම යි. ඒ කියන්නෙ දිශා වශයෙන් වෙන් කරගෙන දස දිශාවට ම මෛත්‍රිය වැඩීම යි. අප්‍රමාණ ක්‍රමයට මෛත්‍රී භාවනාව කරන්න කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්.
උතුරු දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා… තරහ නැත්තෝ වෙත්වා… ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා… දුක් පීඩා නැත්තෝ වෙත්වා… සුව සේ ජීවත් වෙත්වා… ශාන්ත සුවයට පත් වෙත්වා…
උතුරු අනු දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ….
නැගෙනහිර දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ …
නැගෙනහිර අනු දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ…
දකුණු දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ…
දකුණු අනු දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ …
බටහිර දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ …
බටහිර අනු දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ …
උඩ දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ …
යට දිශාවේ සිටින්නා වූ සියලූ ම සත්වයෝ …
මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත්‍රිය වඩන ප්‍රදේශය පුළුල් කරමින් මෛත්‍රිය වැඩීම යි. ඒ කියන්නෙ පළමුවෙන් ම තමන්ට මෛත්‍රිය වඩනවා. ඊ ළඟට ගමේ අයට, පළාතේ අයට, තමන් ජීවත්වන රටේ අයට මෛත්‍රිය වඩනවා. මෙන්න මේ ක්‍රමයට මෛත්‍රී භාවනාව වඩන්න කැමති කෙනෙකුට මේ භාවනා වාක්‍ය ටික කටපාඩම් කරගෙන මහග්ගත ක්‍රමයට මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන්.
මම වෛර නැත්තෙක් වෙම්වා…. තරහ නැත්තෙක් වෙම්වා… ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා… දුක් පීඩා නැත්තෙක් වෙම්වා….. සුව සේ ජීවත් වෙම්වා….. ශාන්ත සුවයට පත් වෙම්වා…..මා මෙන් ම මේ නිවසේ සිටින සියලූ ම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා… තරහ නැත්තෝ වෙත්වා… ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා… දුක් පීඩා නැත්තෝ වෙත්වා… සුව සේ ජීවත් වෙත්වා… ශාන්ත සුවයට පත් වෙත්වා…
මේ ගමේ සිටින සියලූ ම සත්වයෝ…
මේ නගරයේ සිටින සියලූ ම සත්වයෝ…
මේ පළාතේ සිටින සියලූ ම සත්වයෝ…
මේ රටේ සිටින සියලූ ම සත්වයෝ…
මේ ලෝකයේ සිටින සියලූ ම සත්වයෝ…
මෛත්‍රී සමාධිය-ඇත්තෙන්ම මෛත්‍රී භාවනාවෙන් තුන්වෙනි ධ්‍යානය දක්වා ම හිත දියුණු කරන්න පුළුවන්. මෛත්‍රී භාවනාව තුළින් ධ්‍යානයක් ඇතිකර ගන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන ආකාරයට ම භාවනා කළ යුතු යි. මේ ක්‍රමයට මෛත්‍රී භාවනාව වඩනකොට පංච නීවරණ යටපත් වෙලා මෛත්‍රී අරමුණ තුළ ම හිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතුව තවදුරටත් මෛත්‍රී භාවනාව වඩනකොට විතක්ක, විචාර, නිරාමිස ප්‍රීතිය, සැපය හා ඒකාග්‍රතාවය ඇති පළමුවෙනි ධ්‍යානය ලැබෙනවා. එයාට පුළුවන් තවදුරටත් මෛත්‍රී භාවනාව දියුණු කරලා දෙවෙනි, තුන්වෙනි කියන ධ්‍යාන ලබන්න.

මෛත්‍රී භාවනාවේ ආනිශංස

අංගුත්තර නිකායේ මෙත්තානිසංස සූත්‍රයේ දී මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට ලැබෙන ආනිශංස ඉතා ම පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා,
  • සැප සේ නිදාගන්නවා.
  • සැප සේ අවදිවෙනවා.
  • නිදා සිටින විට නපුරු හීන දකින්නෙ නෑ.
  • මිනිසුන්ට ප්‍රිය වෙනවා.
  • අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
  • දෙවිවරු ඔහුව ආරක්ෂා කරනවා.
  • ගිනි, වස විෂ, අවි ආයුධවලින් විපත් සිදුවෙන්නෙ නැහැ.
  • සමාධිය ඉක්මනින් ම ඇතිකර ගන්න පුළුවන්.
  • මුහුණේ වර්ණය පැහැපත් වෙනවා.
  • සිහි මුළා නොවී මරණයට පත් වෙනවා.
  • මේ ජීවිතයේ අරහත්වයට පත් වුණේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මෛත්‍රී භාවනාව නිවැරදිව පුරුදු කරන විදිය මෛත්‍රී භාවනාව නිවැරදිව පුරුදු කරන විදිය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Tuesday, September 15, 2020 Rating:

0 comments:

Post a Comment