බරණැස ඉසිපතනාරාමයේ යටගිය ඉතිහාසය (History Of The Isipathanaramaya In Baranasa)

නේක වර්ණ පුෂ්පයෝ විකසිත වූවෝය. කුරුලු කූජනය නන් දෙසින් ඇසුණේය. තුරුසිදුරු අතරින් ළා හිරු රැස් පතිත වූවේය. තණ මත වැටුණු පිනිබිඳු මාණික්‍ය සේ දිළිසුණහ. මුව පොව්වෝ නිදහසේ ඔබමොබ සැරිසැරූහ. හා පැටවුන් පිනුම් ගසමින් ළාදලුපත්වල රස බැලුවේය. සීතල මඳනල හමා ගියේය. ඒ සොබා අසිරිය මධ්‍යයෙන් කසාවතින් සැරසුණු සම්‍යක්සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුන් පොහෝ දා රශ්මිධාරා පතුරවමින් ඉසිපතන මිගදායට වැඩිසේක. බුදුන් වඩින බව දැනගත් පස්වග තවුසෝ සිදුහත් බෝසතාණෝ බුදු වී නැතැයි සිතූහ. සිව්පසයෙන් නොසලකා සිටිමුයි කතිකා කරගත්හ. එහෙත් ඔවුනගේ චිත්ත අභිමානය බිඳිමින් බුදුන් වහන්සේ ශාන්ත වූ ගමනින් වැඩිසේක.

බුදුරුව නෙතගැටුණු පස්වග මහණහු නොසිතූ විරූ ලෙස ආසන පැනවූවෝය. භක්තියෙන් පිළිගත්තෝය. ස්වයංක්‍රීයව ආගමානුකූලව පිළිවෙත් සිදු කළහ.බුදුන් වහන්සේගේ අධිෂ්ඨානය පවිත්‍ර විය. බුද්ධත්වයෙන් පසු බුදුවීමට උපකාර වූ බෝධිරාජයාට අනිමිසලෝචනයෙන් කෘතගුණ දැක්වූ බුදුන් වහන්සේ පළමුව ධර්මය දේශනා කිරීමට තෝරාගත්තේ ආලාරකාලාමපුත්ත හා උද්ධකරාමපුත්ත යන පළමු ගුරුවරුන්ය. එම ව්‍යායාමය අසාර්ථක වූයේ ඔවුන් ඒ වනවිට ජීවිතයෙන් සමුගෙන සිටි බැවිනි. බුදුන් වහන්සේ දෙවනුව තෝරා ගත්තේ දුෂ්කරක්‍රියා කාලයේ තමාට ඇප උපස්ථාන කළ පස්වග මහණුන් ය. ඔවුන් දිගු කාලයක් උපස්ථාන කර පසුව වෙන්ව ගියේ බුදුබව ලැබීමේ ප්‍රයත්නය නිසරුයි සිතමිනි.

එහෙත් ඉසිපතනයට වැඩි බුදුන්වහන්සේ දුටු පස්වග මහණුන්ට ඒ මිථ්‍යාවේ සිටිය නොහැකි විය. ඔවුහු බුද්ධ දේශනාවට සවන් යොමු කළහ. එනම් ඇසළ පුනු පොහෝ දා ඉසිපතන මිගදායේදී බුදුරජාණන් වහන්සේ විසින්, පස්වග මහණුන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලදී. ඒ ධර්මය දෙව්, බඹ සේනා ද ශ්‍රවණය කළහ. බුදුසරණ ගිය පස්වග මහණුන් රහත්භාවය ලද්දේද මේ ස්ථානයේදීමය. ඒ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද අනන්ත ලක්ඛණ සූත්‍රය ශ්‍රවණය කිරීමෙනි. සම්බුද්ධ ශාසනයේ පළමු රහතන් වහන්සේ පස් නම වූයේ පස්වග මහණුන්ය වන්නේය.

බුදුන් වහන්සේගේ පළමු වස්කාලය ගෙවුණේද ඉසිපතන පුණ්‍ය භූමියේය. එම කාල සීමාවේදී ඉසිපතනට පැමිණි යසකුලපුත්‍රයා බුද්ධ දේශනා ශ්‍රවණය කර ශාසනයට ඇතුළු වී උතුම් වූ අරහත්භාවය ලබාගත්තේය. ඉන්පසු යසකුල පුත්‍රයාගේ මිතුරන් වූ විමල, සුබාහු, පුණ්ණජී, ගවන්පති යන හතරදෙනා බුද්ධශාසනයට ඇතුළුව උතුම් වූ අරහත්භාවය ලබාගත්තෝය. ඊටත් පසු එම යහළුවන්ගේ යහළුවන් පනස්දෙනා ශාසනයට ඇතුළුව බුද්ධ දේශනා ශ්‍රවණය කර උතුම් වූ අරහත්භාවයට පත්වූහ. බුදුන් වහන්සේගේ පළමු වස් සමය අවසන් වීමට පෙර බුදු සසුනට රහතන් වහන්සේලා හැටනමක් එකතු වූහ. බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා හැටනම අමතා ලෝකවාසී සියලුදෙනාගේ හිතසුව පිණිස ධර්මදානය බෙදාලන්නැයි වදාළ සේක.

මේ ආකාරයට තුන්ලෝකවාසී සත්වයා අරභයා ධර්මය ප්‍රචාරය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ පළමු දම්දෙසුම පැවැත්වූ ඉසිපතන මිගදායයි. මෙම ස්ථානය ලොව පහළවන සියලුම බුදුවරු ප්‍රථම ධර්මදේශනය පැවැත්වූ ස්ථානය වන්නේය. ඒ නිසාම මෙය අවිඡතිතට්ඨාන යන නමින් හඳුන්වයි. මේ ආකාර වූ වටිනාකමක් ඇති බෞද්ධයෙකු දැක සැදැහැසිතින් වැඳ පුදාගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් එකක් වන ඉසිපතනාරාමය බරණැස් නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටා තිබෙන්නේය. මේ පුණ්‍ය භූමියට ඉතිපතන යන නම තැබීම පිළිබඳව අතීතයේ සිටම පැවත එන ජනප්‍රවාදයන් කීපයකි. එනම්, හිමාලයේ සිට මෙහි පැමිණෙන සෘෂිවරුන් බිමට බසින ස්ථානයත් ආ කාරණයන් ඉටුකරගෙන නැවත අහසට නගින ස්ථානයත් මෙය වූ හෙයින් සෘෂිවරුන් පතනය වන භූමිය යන අර්ථයෙන් ඉසිපතන යන නම සැදී ඇති බව පැවසේ.

මෙම ඉසිපතන නාමයත් සමගම මිගදාය යන්නත් එකතු වී ඇත. මිගදාය යනුවෙන් මෙම ස්ථානය හැඳින්වීමට හේතු වී ඇත්තේ බ්‍රහ්මදත්ත රජු විසින් නිග්‍රෝධ නම් මුවරජුගේ ගතිගුණ දැක පුදුමයට පත්ව ඔහුත් සමග සිටි මුව රැළටම අභයදානය දී ඇත්තේ මෙම ස්ථානයේදී වීමය. මේ නිසා මුවන්ට අභයදානය දුන් ස්ථානය යන අර්ථ සහිතව මෙය මිගදාය ලෙස අර්ථ දක්වා තිබේ. මේ ආකාර වූ ඓතිහාසික වටිනාකමක් සහිත ඉසිපතන මිගදාය වසර ගණනාවකට පසු සශ්‍රීකත්වයට පත්කර ඇත්තේ අශෝක රජතුමාය. ඔහු විසින් බුද්ධ චරිතය හා බැඳුණු ඒ භූමියෙහි පිහිටි විශේෂ ස්ථාන අලංකාර ආරාම ලෙසින් නිමවා පූජා කටයුතු කර තිබේ. අද ඉසිපතන පූජා භූමියට ඇතුළුවෙනවාත් සමගම දක්නට ලැබෙන්නේ ඒ ආරාම සංකීර්ණයේ නටබුන්ය.

සංකම්පයං දස සහස්සිය ලෝක ධාතුං
දේසේසි යත්‍ර භගවා වර ධම්ම චක්කං
බාරානසී පුර සමීපවනේ මිගානං
තං ධම්මේවිතිය මහං සිරසා නමාමි

මේ ආකාර වූ වන්දනාවට බඳුන් වෙන්නේ ධම්මරාජික ස්ථූපයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන් අරභයා පළමුවෙන්ම දම්සක්පැවතුම පැවැත්වූ ස්ථානයෙහි නිමවා ඇත්තේය. මෙම ස්ථානයෙහිදී එම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වූ​වේය. එසේම පළමු සංඝයා වහන්සේලා පිරිස ශාසනයට එක් වූයේද මෙහිදීය. මීට අමතරව ලොව පතළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පළමු දම්දෙසුම පවත්වා ඇත්තේද මෙම ස්ථානයේදීය. ඒනිසාම පූජනීයත්වයට පත්වූ පින්බිමේ ධර්මාශෝක රජු විසින් ධර්මරාජික නම් ස්ථූපයක් කරවා ඇත්තේය. අද මෙහි පාදම පමණක් දක්නට ලැබෙන්නේය.

මීළඟට දක්නට ලැබෙන්නේ ධම්මික ස්ථූපයයි. එය බුදුසසුනේ පළමු රහත් පස්නම බිහිවූ ස්ථානය වන්නේය. එනම් බුදුසරණ ගිය පස්වග තවුසන් අනන්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත්භාවයට පත්වූයේ මේ ස්ථානයේදීය. අශෝක රජු විසින් මෙහි ධම්මික ස්ථූපය සාදවා ඇති අතර එහි උස අඩි 110 ක් පමණ වෙයි. හිංදු ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ධම්මික ස්ථූපයේ මුල් හැඩය වෙනස් වී ඇති බව පැවසෙයි. රණැස ඉසිපතන මිගදායේ බුදුන් වහන්සේ වැඩසිටි කුටිය ලෙස සැලකෙයි. මීට මූලගන්ධ කුටි යන නම ලැබී ඇත්තේ බුදුන් වහන්සේ ප්‍රථම වරට වැඩසිටි ස්ථානය බැවින් බව සඳහන් වෙයි. ධාතු වංශයට අනුව මෙම විහාරයෙහි බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කර තිබී ඇත. ධර්මාශෝක රජු විසින් ඉදිකළ විහාරයේ නටබුන් අදද දක්නට ලැබෙන්නේය.

මීළඟට දක්නට ලැබෙන්නේ ධම්සභා මණ්ඩපයයි. එය බුදුන් වහන්සේ සිව්වනක් පිරිසට ධර්මය දේශනා කළ ස්ථානය වන්නේය. විශේෂයෙන්ම යසකුලපුත්‍රයා ඔහුගේ යහළුවන් පස්දෙනා සහ ඔවුනගේ යහළුවන් පනස්දෙනා ධර්මය ශ්‍රවණය කර රහත්භාවයට පත්වූයේ මේ ස්ථානයේදී බව සඳහන් වෙයි. එසේම පස්වග මහණුන් සහිතව ඉතිරි රහතන් වහන්සේලා පනස්පස් දෙනා ලෝක සත්වයාට හිතසුව පිණිස ධර්මය ප්‍රචාරය කිරීම සඳහා පිටත්කර හැර ඇත්තේද මේ ස්ථානයේ සිටය. එසේම බුදු සසුනේ ප්‍රථම උපාසකයා වූ යසකුල පුත්‍රයාගේ පියාත් ප්‍රථම උපාසිකාව වූ යසකුලපුත්‍රයාගේ බිරිඳ හා මවත් තෙරුවන් සරණ ගිය ස්ථානයද මෙම ස්ථානය බව සඳහන් වෙයි.

ඓතිහාසික වැදගත්කම් රාශියක් සහිත මෙම පූජාභූමියෙහි පැරණි මිගදාය සිහිගන්වන මුව වනය, පොළොව යට ඇති සක්මන් මළුව, ධම්මචක්ක ජින විහාරය, සාරානාත් අශෝක කුලුන, සාරානාත් කෞතුකාගාරය, නව මූලගන්ධකුටි විහාරය, අනගාරික ධර්මපාලතුමා විසින් අප රටෙහි සිට වැඩම කරවා රෝපණය කරන ලද ජයශ්‍රීමා බෝසමිඳුගේ ශාඛාව, අනගාරික ධර්මපාලතුමා සිරිදේවමිත්ත ධර්මපාල ලෙස පැවිදි ජීවිතයක් ගතකර අපවත්වූ පසු ඒ වෙනුවෙන් සාදන ලද ස්මාරකය ආදියද දැකගත හැකිය. ශ්‍රී ලංකා මහා බෝධි සමාගමේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි.

ඉසිපතනාරාමය කියන්නේ බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා පළමු ධර්මදේශනාව කළ ස්ථානයයි. ඒ වගේම බුදුන් දවස රහතන් වහන්සේලා බිහි කළ මෙම ස්ථානය ධර්ම ප්‍රචාරය සඳහා ආරම්භක ස්ථානයක් වෙනවා. ඒවගේ ඓතිහාසික වටිනාකමක් සහිත මෙම ස්ථානය ඉන් පසු කාලවල විවිධ රජවරුන්ගේ අනුග්‍රහ යටතේ පැවතුණා. විශේෂයෙන්ම අශෝක රජතුමා බුද්ධ චරිතය හා සම්බන්ධ විශේෂ ස්ථාන ආරාම ලෙස සකස්කර පුදසත්කාර කළා. ඊට පසු කාලවල විවිධ ආක්‍රමණකාරී සිදුවීම් නිසා මේ ස්ථානය කඩාවැටීම්වලට ලක්වුණා. ඉන් පසු විවිධ ආගමිකයන්ගේ සතුරු ප්‍රහාරවලට ලක්වූ මේ පින්බිම දෙවැනි වරට යළි ගොඩනැගෙන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් පසුයි. මොකද එතුමා තමයි නටබුන්ව ගිය බරණැස ඉසිපතනාරාමය නැවතත් බෞද්ධයන්ට වැඳපුදා ගැනීමට සුදුසු වන ලෙස සකස් කළේ.

තවත් සරලව කිව්වොත් 12 වැනි ශතවර්ෂයේ සිටම විදේශ ආක්‍රමණ සිදුවුණා. ඒවායින් මේ ස්ථානයට බලවත් හානි සිදුවුණා. එවැනි හේතු නිසා අවුරුදු 800 ක්ම බුදුදහම තුරන් වී තිබුණා. අනගාරික ධර්මපාලතුමා මෙහාට එනවිට ජෛන පන්සලක් තිබුණේ. එහි සිට තමයි මේ ස්ථාන ක්‍රමක්‍රමයෙන් මිලදී ගත්තේ. ඒ වගේම එතුමාගේ මේ සත් ක්‍රියාවට ලොකු හයියක් වුණා රොබින්සන් කියන ඇමෙරිකානු මාතාව. එතුමිය තමයි විශාල වශයෙන් මුදල් ලබාදීලා තිබෙන්නේ. එතුමා 1931 වර්ෂයේ බරණැස ඉසිපතනාරාමයේදී සිරිදේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවුණා. 1933 ජනවාරි 17 වැනිදින ඉසිපතන මිගදායේ සීමා මාලකයේදී උපසම්පදාව ලැබුවා. උන් වහන්සේ අපවත්වෙන්න කලින් පැවසුවා 24 වතාවක් ඉන්දියාවේ ඉපදිලා ශාසනය රැකගැනීමට කටයුතු කරනවා කියලා.

ඒ වගේම ඒ හිමියන් අශෝක අධිරාජයා ඉන්දියාවේ බුද්ධගයාවේ හදපු විහාරය වගේම විහාරයක් මූලගන්ධකුටි විහාරය නමින් ඉසිපතනයෙත් හැදුවා. 1930 න් පසු හදපු ලස්සන විහාරයක් ඒක. ඒ විහාරයේ පකිස්ථානයේ තක්ෂිලා නුවරින් ලැබුණ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබෙනවා. රාජ්‍ය නොවන සමාගමක් වූ මහාබෝධි සමාගමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එම ධාතුන් වහන්සේලා ලබාගෙන ඒ කළ උතුම් ක්‍රියාවම විශිෂ්ටයි. මීට හේතුව අනගාරික ධර්මපාලතුමාගේ ආගමික සේවාව පිළිබඳ එරට රජය තුළ තිබුණ පැහැදිලි පිළිගැනීමයි.

අක්කර 50 ට වැඩි භූමි භාගයක් ධර්මපාලතුමා ලබාගෙන වන්දනාකරුවන් සඳහා විශ්‍රාම ශාලාවල් හදලා ඉන්දියානු වැසියන්ට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇතිකරලා මහාබෝධි වැනි උසස් අධ්‍යාපන ආයතන බිහිකරලා විශාල සේවයක් කළා. මම පෞද්ගලිකව ඒ ගැන සතුටුවෙනවා. මමත් වයස 12 කාලයේදී බරණැස ඉසිපතනාරාමයේදී පැවති විද්‍යාලයක තමයි අධ්‍යාපනය ලැබුවේ. ඒ වගේම මේ ස්ථානය අනගාරික ධර්මපාලතුමාගෙන් පසු කාලයේ මැටිවල සංඝරතන කියන හාමුදුරුවෝ දියුණු කරලා ගම්වාසීන්ට විශාල සේවාවක් සිදුකළා.

බරණැස ඉසිපතනාරාමයට යන කෙනෙකුට හිතෙනවා එය පුංචි ශ්‍රී ලංකාවක් කියලා. හේතුව එහි ඇති ධම්මික ස්ථූපය අසල සම්පූර්ණයෙන් තියෙන්නේ ලාංකික පාසල්, රෝහල් ආදී ගොඩනැගිලි. ඒ වගේම ධර්මපාලතුමාගේ ශිෂ්‍යයන් පවා මේ ස්ථානයේ නැවතී ධර්ම දූත සේවාවල යෙදුණා. අදටත් මහාබෝධි සමාගම විසින් ආගමික හා අධ්‍යාපන ආදී ක්ෂේත්‍රවලට විශාල සේවාවක් සිදුකරනවා. විශේෂයෙන්ම මහාබෝධි සමාගමේ ලේකම් පාළවත්තේ හාමුදුරුවෝ විශාල සේවයක් කරමින් පවතිනවා. මෙහි අනගාරික ධර්මපාලතුමාගේ විශාල ප්‍රතිමාවක් හදලා තිබෙනවා. ඒ වගේම අනගාරික ධර්මපාල මාවත නමින් පාරවල් නම්කරලා තිබෙනවා.

මීට අමතරව බුරුම සහ චීන පන්සල් 2 ක් මෙහි තිබෙනවා. ඒත් මේවාට වඩා දැවැන්ත සමාජ සේවාවක් අනගාරික ධර්මපාලතුමාගේ මහාබෝධි සමාගමෙන් කෙරෙනවා. ලාංකික බෞද්ධයින්ට ඒ දිහා බලලා සතුටුවෙන්න පුළුවන්. සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ ධර්මපාලතුමා අපවත්වූවේ 1933 වර්ෂයේ. උන් වහන්සේට කෘතගුණ දැක්වීම සඳහා ස්මාරකයක් හදලා තිබෙනවා. ඒ වගේම වාර්ෂිකව එතුමා සිහිකරලා ආගමික වැඩසටහන් කීපයක්ම කරනවා. ඒ වගේම මෙහි අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරයකුත් තිබෙනවා. මේ දේවල් වන්දනාවේ යන අයට දැකලා වැඳපුදා ගන්න පුළුවන්.

එංගලන්තයේ මහ රැජිනගේ සිට එන සියලුම දෙනා ධර්මපාලතුමා කරවූ නව මූලගන්ධ කුටි විහාරයට ගොස් වන්දනා කටයුතු කරනවා. එය අපට ලොකු ගෞරවයක්. තාමත් බරණැස් රජ්ජුරුවන්ගේ පරම්පරාවේ අය ඉන්දියාවේ ඉන්නවා. ඒ අය වාර්ෂික පෙරහරවලට අලි ඇතුන් ලබාදීම ආදී නොයෙකුත් අනුග්‍රහ කටයුතු දක්වමින් පූජාකර්මවලට දායක වෙනවා. ඒ වගේම දේශපාලන බලඅධිකාරිය මීට අනුග්‍රහය ලබාදෙනවා. ලෝකයට ධර්මය ප්‍රචාරය කිරීම සඳහා මූලිකම අඩිතාලම දැමෙන්නේ මෙම ස්ථානයෙන්. සර්වඥ ධාතු වැනි වටිනා කෞතුක වස්තු ඇති මෙම විහාරය වන්දනා කිරීමට කිසිවෙක් අමතක කරන්නේ නෑ. ලංකාවේ සිට යන අයෙකුට පහසුම ගමන් මග වන්නේ දිල්ලියට ගොස් බරණැස ඉසිපතනාරාමයට යාමයි. මේ සඳහා මහා බෝධි කියන දුම්රිය භාවිතා කරන්න පුළුවන්.
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බරණැස ඉසිපතනාරාමයේ යටගිය ඉතිහාසය (History Of The Isipathanaramaya In Baranasa) බරණැස ඉසිපතනාරාමයේ යටගිය ඉතිහාසය (History Of The Isipathanaramaya In Baranasa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, July 29, 2020 Rating: 5

0 comments:

Post a Comment