රෑනක් බඳු ලකුණ රෑනගල විය (The Herd Mark Was Ranagala)

රෑණගල පිහිටා ඇත්තේ පැරණි රජකාලයෙහි පැවති සුප්‍රසිද්ධ මාර්ගයක එක් ස්ථානයකය. ශ්‍රී ජයවර්ධනපුරයට, අනුරාධපුරයට, කුරුණෑගලපුරයට හා කන්දඋඩරටට විහිදි මාර්ග මේ අසලින් වැටී ඇත. කෝට්ටේ දසවැනි පැරකුම් රජය දවස යාපා පටුන ජය ගැනීම සඳහා සපුමල් කුමාරයා ගියේද මේ රෑණගල අසලින් ඇති මාර්ගයේ යැයි ව්‍යවහාරයේ පවතී.

මෙම ස්ථානයට "රෑණගල" නම ව්‍යවහාරයට ලැබීම පිළිබඳව තොරතුරු රාශියක් කියැවේ. රෑණගල ගල මුදුනෙහි පැරණි චෛත්‍යයකි. ගල් පර්වතය පාමුල පැරණි බෝධි වෘක්‍ෂයකි. බෝමැඩ පිහිටි බිමේ සිට ගල මුදුනෙහි ඇති චෛත්‍යය දක්වා ඇති කළු ගලෙහි සුදුපාටට රෑනක් බඳු ලකුණක් ඇත. එය උසින් අඟල් දෙකක් තුනක් වන අතර පළල අඟල් තුනක් පමණ වේ. මේ ගල්රෑන හේතුකොට "රෑණගල" වී යයි අදහසකි.

ගල මුදුනේ දාගැබට උතුරින් අරුම පුදුම ළිඳක් ඇත. එය නිධන් වළක් ලෙස සැලකේ. එහි මතු පිට විශ්කම්භය 4 ක් 6 ක් පමණ වේ. පතුල අඩි 9 ක් පමණ වේ. ගැඹුර අඩි 19 ක් පමණ වේ. එම ගල් ළිඳෙහි ඇතුළ ගල් බිත්ති මනාව කපරාරු කරන ලද බිත්තියක මෙන් ඔප මට්ටම්ය. එහි ඇතුළු තැනක බ්‍රාහ්මීය අක්ෂර ඇති බව ගැමියන් දැක ඇත.

මේවා පුරාවිද්‍යාත්මක පර්යේෂණයකට යොමු කළහොත් තවත් තොරතුරු අනාවරණය වනු ඒකාන්තය. මෙම නිධන් වළෙහි වස්තුව කවර කාලෙක කවුරුන් විසින් ගන්නා ලදැයි සඳහන් කිරීමට අපහසුය. රාවණා කුවේණීය විජය ආදීන් සතු වස්තුව මෙම ගල් පර්වතයේ ඇතැයි විශ්වාස කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ළමයින් අතර "අත්තාපලේ" ගැසීම නම් ක්‍රීඩාවක් ඇත. එහිදී ඔවුන් භාවිතා කරන ප්‍රකට කවියක් වන්නේ,

අත්තාපල් මුත්තාපල්
රෑණගලේ ගල කෙටුවත් 
මං නම් අල්ලන්ඩ
බැරුවාමයි බැරුවාමයි 
යන්නයි. මෙයින් කියැවෙන්නේද රෑණගලේ ගල කෙටූ පුවතයි.

වළගම්බා රජ සමයේ මාතලේ අලුවිහාරයේදී බුද්ධ ධර්මය තල්පත් වල ලිවීම ආරම්භ කරන ලදී. මේ සඳහා තල් පත් ලබාගෙන ඇත්තේ රෑණගලට නුදුරින් ඇති "ගලතරේ"තල් උයනෙන්ය.

ගලතරේ තල් උයනෙන් ලබාගත් තලකොල රෑණගලදී තම්බා පදම් කරගෙන ඒවා පිරිත් කොට මාතලේ අලුවිහාරය දක්වා පෙරහැරින් වැඩම කළ බවද කියැවේ. ඓතිහාසික ගමන් මාර්ග ගැන සලකා බලන විට මෙය සනාථ කළ හැකිය.

දඹදෙණියේ දෙවෙනි පැරකුම්බා නමින් රජ වූ කුමාරයා කලුන්දාවේ ගම ගෙදර තරුණියට පෙම් බැඳ රෑණගල දෙවොලට පූජාවක් ඔප්පු කර ඇත. විවිධ අරමුණු සාර්ථක කර ගැනීම සඳහා බාර හාර වීම පිළිබඳව රෑණගල විෂ්ණු දෙවොල අද ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් පැරණි දොවොල අද දක්නට නැත.

රෑණගල චෛත්‍යය වන්දනාවට අනුරාධපුර යුගයේ රහතන් වහන්සේලා අහසින් වැඩම කොට ගල උඩ වැඩ සිටි විට ගල් පර්වතය ඈතට කසාවතක් සේ දිස් වූ බවට ද කතා පවතී.

රෑණගල ගල් පර්වතනය පාමුල ඇති බෝධි රාජයාද ඉපැරණිය. මහා වංශයේ සඳහන් වන අන්දමට ගව්වෙන් ගව්වට බෝධීන් වහන්සේලා පිහිටුවීමේ වැඩපිළිවෙළක් දේවානම්පියතිස්ස රජු සමයේ ක්‍රියාත්මක වී ඇත. රෑණගල බෝධි රාජයාද මෙම වැඩපිළිවෙළ යටතේ පිහිට වූ එකක් ලෙස හැඳින් වේ. ඒ සමඟම ගල මුදුනෙහි චෛත්‍යය ඉදිකිරීමටද සිදුවිය. එහෙයින් රෑණගල පිළිබඳ ඉතිහාසය දේවානම්පියතිස්ස සමයට ද සබඳතා ඇත.

රෑණගල සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු ගෝඨාභය, දඹදෙණි පැරකුම්බා, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් විසින් කරවනු ලැබූ බවද කියැවේ.

බුදුරැස් වැඩිය චෛත්‍යරාජයාණන් වහන්සේ.පැරණි චෛත්‍යයේ නටබුන් පාදක කරගෙන වර්තමාන චෛත්‍ය නිර්මාණය කර ඇත. අතීතයේ අවස්ථා ගණනාවකදී බුදුරැස් වැඩියේ යයි පවසන මෙම චෛත්‍යය අද තත්ත්වයට ප්‍රතිසංස්කරණය වූයේ අපවත් වී වදාළ දැදිගම සරණංකර හාමුදුරුවන්ගේ මෙහෙයවීම මතයි. අඩි 11 අඟල් 10 ක් දිග අඩි 11 අඟල් 7 ක් පළල හතරැස් පාදම මත චෛත්‍යය ඉදිකර ඇත.

එතැන් සිට උස අඩි 17 කි. හතරැස් කොටුව අඩි 01 අඟල් 09 ක් උසය. චෛත්‍යයේ පේසා වළලු තුනකි. කොත් කැරැල්ල අඩි 2 1/2 ක් උසය. එය පිත්තලෙන් නිමවා ඇත. වරින් වර නිධන් සොරුන් විසින් විනාශයට පත් කිරීමට තැත් කළද ආශ්චර්යකින් මෙන් ඒ අවස්ථා වැළකී ගියේය.

බොහෝ රජවරු හා ඇමැතිවරු සිය පදවි ප්‍රාප්තියෙන් පසු රෑණගල විහාරස්ථානයට පැමිණ චෛත්‍ය වන්දනාවේ යෙදී ඇත. බුබ්බුලාකාර හැඩයෙන් යුත් මෙම වෛත්‍ය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට හා වන්දනා මානයට පාත්‍ර වූවකි. මෙම චෛත්‍ය "ගල්දාගැබ" නමින් ප්‍රසිද්ධව ඇත්තේ ගල විද ඒ තුළ සර්වඥ ධාතූන් තැන්පත් කොට චෛත්‍ය ඉදිකළ නිසා යැයි බොහෝ දෙනා ප්‍රකාශ කරති.





උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රෑනක් බඳු ලකුණ රෑනගල විය (The Herd Mark Was Ranagala) රෑනක් බඳු ලකුණ රෑනගල විය (The Herd Mark Was Ranagala) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Saturday, July 18, 2020 Rating:

0 comments:

Post a Comment