නිවසට ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ලබාගන්න විදිය

සුවිසල් මාළිගාවක් වැනි නිවසක් දකින්නට ඇතත් බොහෝ ගෙවල්වල සතුට නැත. ”පිදුරු සෙවිලි කළ පැල්පතේ ඇති සාමේ නැත මහ මන්දිරේ’’ යැයි කියමනක් තිබේ. අනෙක් අතට එදිනෙදා ජීවන වියදම දරාගත නොහැකිව නැතහොත් ණය බරින් මිරිකෙන අය ද බහුලය.

සතුට සහ ධනය බොහෝ දෙනාගේ ප‍්‍රාර්ථනාවයි. එහෙත් එය ලබාගැනීම පහසු නැත. අනිසි, නීති විරෝධී මාර්ගවලින් ද ධනය ලබා ගැනීමට බොහෝ දෙනා උත්සාහ කරන්නේ එබැවිනි. ධනය ලැබීමට වාසනාව ද බලපාන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

ධනය ආකර්ෂණය කර ගැනීමට ධන ලක්ෂ්මි දේවියගේ ඇල්ම බැල්ම අවශ්‍ය බව ද මතයකි. ලක්ෂ්මි යනු ශ‍්‍රියාකාන්තාව හෙවත් සිරිකත යනුවෙන් හඳුන්වන දේව මාතාවයි. එතුමිය මතු බුදු බව පතන ශ‍්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ භාර්යාවයි.

බස්රථවල කඩපිල්වල පවා ලක්‍ෂ්මි දේවියගේ රූපය සවිකර තිබෙනු පෙනේ. නෙළුම් මල් අතැතිව, ආකර්ෂණීය රුවක් ඇති එතුමියගේ රූපයක් සවිකරගත් පමණින්ම ධනය ලැබේද?. ඒ සඳහා අප කළ යුතු වෙනත් දේ මොනවා ද? දැනගැනීම සුදුසුය.

ධන ලක්‍ෂ්මි හෙවත් ශ‍්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ භාර්යාව ගැන ලස්සන දේව කථාන්දර තිබේ. ධනය උදෙසා එතුමියට පූජා තබා කියනු ලබන ස්තෝත‍්‍ර, කවි හා මන්ත‍්‍ර ද ඇත. ශ‍්‍රී ලක්‍ෂමි හෙවත් සිරිකත හඳුනාගැනීම මේ ලිපියේ අරමුණයි.

” ඕං’’ යන අකුරින් බොහෝ මන්ත‍්‍ර ආරම්භ කරනු ලැබේ. ඕං යන්නෙන් කියවෙන්නේ බ‍්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන මේ විශ්වයේ උතුම්ම යැයි කියැවෙන ත‍්‍රි මුර්තියට නමස්කාර වෙත්වා යන්නයි. බ‍්‍රහ්ම, විෂ්ණු, ඊෂ්වර යන තිදෙනාටම මෙසේ එකවර නමස්කාර කළ ද මෙයින් වඩා බලවතා කව්ද යන්න දැනගැනීමට පුරාණ ඍෂිවරුන්ට උවමනා විය.

මේ තිදෙනාගෙන් වඩා උතුම් වන්නේ කවරෙකුදැයි දැනගැනීමට භාරවුණේ, ”භ‍්‍රගු’’ නම් ඍෂිවරයාටය. භ‍්‍රගු ඉසිවර තුමා පළමුව මහා බ‍්‍රහ්මයා හමුවීමට ගියේය. සරස්වතී දේවියගේ මියුරු වීණා නාදයට සවන් යොමුකර සිටි බ‍්‍රහ්ම තෙමේ මේ උග‍්‍රතපස්වරයෙකු වූ භ‍්‍රගු ඉසිවරයා නොසලකා හැරියේය. එබැවින් බ‍්‍රහ්ම උතුම් කෙනෙකු නොවේ යැයි ඉසිවරයා තීරණය කළේය.

ඉන් පසු එතුමා ඊශ්වර දෙවියන් දකින්නට ගියේය. පාර්වතී යනු ඊශ්වර දෙවියන්ගේ බිරිඳයි. නර්තනයක යෙදෙමින් සිටි ඊශ්වර දෙවියෝ තමන්ට බාධා කරන ”භ‍්‍රගු’’ ඉසිවරයා ගැන කෝපයට පත්ව පලවා හැරියේය. ඊශ්වර ද උතුම් කෙනෙකු නොවන බව ඉසිවර තුමා තීරණය කළේය.

වෛකුන්ඨයේ වෙසෙන ශ‍්‍රී විෂ්ණු දෙවියන් දක්නට භ‍්‍රගූ ඉසිවර තුමා යන්නේ ඉන් පසුවය. ඒ මොහොතේ ශ‍්‍රී විෂ්ණු දෙවියන් සිටියේ තම බිරිඳ වන ලක්‍ෂ්මි සමගය. මේ අවස්ථාවේ විෂ්ණු දෙවියන් ගැන පරීක්‍ෂා කිරීමට භ‍්‍රගු ඉසිවරයා නොකළයුතු දෙයක් කළේය. එනම් එක්වරම ඉසිවරයා විෂ්ණු දෙවියන්ගේ පපුවට පයින් ගැසුවේය.

කෝප වූයේ විෂ්ණු දෙවියන් නොවේ. සැබෑ දේවත්වය සනාථ කරමින් විෂ්ණු දෙවියන් ඉසිවරයාගේ පය රිදුණාදැයි අසමින් ඊට කනගාටුව ද පළ කළේය. ත‍්‍රී මුර්තිය අතරින් උතුම් වන්නේ විෂ්ණු දෙවියන් බව භ‍්‍රගු ඉසිවරයා තීරණය කළේ ඉන් පසුවය.

එහෙත් මේ නොමනා ක‍්‍රියාවට ලක්‍ෂ්මි දේවිය කිපුනේය. ඉසිවරයාට දඬුවම් කරන ලෙස ඇය විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලා සිටියාය. එයට දෙවියන් එක`ග වූයේ නැත. එවිට ලක්‍ෂ්මි දේවිය විෂ්ණු දෙවියන් හැර දමා ඉන්දියාවේ ගෝදාවරී ගඟබඩ බවුන් වඩන්නට පටන් ගත්තාය.

ඇය එතනින් චුතව පද්මාවති නමින් උපත ලැබුවාය. විෂ්ණු දෙවියන් හැර දමා ගිය පසුව මෙම දෙපල විසූ වෛතුන්ඨයේ තත්ත්වය වෙනස් විය. සකල සෞභාග්‍යය නැති විය. පාළු වී ගියේය. ඉන්පසු විෂ්ණු දෙවියන් ද ගොපළු දරුවෙකු ලෙස උපත ලැබුවේය. සසර සබඳතා මත නැවත පෙම් සබඳතාව ඇතිවිය. එහෙත් මේ විවාහ මංගල්‍යයට විෂ්ණු දෙවියන් අත මුදල් නොවූ බවත් ඊට අවශ්‍ය මුදල් විශ්වයේම ධනවතා වන කුවේර ගෙන් ඉල්ලා ගත් බවත් කියැවේ.

අද ද බැංකුවකින් පවා ණයක් ලැබෙන්නේ එය පියවා ගැනීමට හැකිදැයි මනාව පරීක්‍ෂා කිරීමෙනි. ලක්ෂ්මි විවාහ කර ගැනීම පමණක් ඊට ප‍්‍රමාණවත් බව ද ඇයගේ වාසනාව අනුව ධනය ලැබෙන බව ද කුවේර දැන සිටියේය. ලොව උත්කර්ෂවත් මංගල්‍යය ලෙස විෂ්ණු – ලක්‍ෂ්මි විවාහය සිදුවිය.

ඉහත සඳහන් කළේ ශ‍්‍රී ලක්ෂ්මි දෙවගන පිළිබඳ කියැවෙන දේව කථාවක් ඉතා කෙටියෙනි. එහෙත් ශ‍්‍රී ලක්ෂ්මි දෙවගන නැතහොත් සිරිකත කැඳවාගන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයකි. මේ සඳහා පුද පූජා, ස්තෝත‍්‍ර, මන්ත‍්‍ර, ලක්‍ෂ්මි යන්ත‍්‍ර ආදි ක‍්‍රමෝපායන් රාශියක් තිබේ. එහෙත් ලක්‍ෂමි පලවා හරින හා කැඳවන අවස්ථා මොනවාදැයි ඍෂිවරුන් කියා ඇත්තේ කුමක්දැයි අවධානය යොමුකිරීම වටී.ඔබ සිරිකත වඩින තැන දන්නේද? ඔබේ නිවසට ද එතුමිය කැඳවාගන්නා හැටි බලන්න.

”ලක්‍ෂ්මි බිල්ව වනෙ කදම්ම කුසුමේ කන්‍යාංගනා කුඤ්ජරේ
දීපොත්තුංගරථෙ තුරංග ධවලෙ ජත්‍රේ ඕවජේ චාමරෙ
ශංඛේ පද්ම වනේ නරේන්ද්‍ර භවනේ ස්වර්ණො නදී ගෝකුලේ
ශෞර්ය්‍යං සත්‍ය වචනේ ලක්‍ෂණේ ගෘහෙ ශ‍්‍රී විෂ්ණු වක්‍ෂස්ථලේ’’

මෙම ශ්ලෝකයට අනුව සිරිකත වාසය කරන්නේ බෙලි වනය, කොලොම් මල්, කන්‍ය ස්ත‍්‍රීන් කෙරෙහි, අලි ඇතුන්ගේ කුම්භස්තලය, පහන්, උස් රථ, සුදු අශ්වයන්, කුඩ, කොඩි, චාමර සක්ගෙඩි හෙවක් සංඛ, පියුම් වන, රාජ මන්දිර, රත්රන්, ගංගා, ගව සමූහය, ශූරවීර භාවය, සත්‍ය වචන, සිරියාවන්ත ගෙවල්වල හා ශ‍්‍රී විෂ්ණු දෙවියන් සමගය.

මෙම ශ්ලෝකය අනුව බෙලිගස් රෝපනය කිරීම, සත්‍ය වචන කථා කිරීම හා නිවාස පිරිසිදුව සිරියාවන්තව තබාගැනීම මගින් සිරිකත කැඳවා ඇති බව පැහැදිලි වේ. මේ සඳහා දක්ෂිණාවෘත සංඛ හෙවත් වාලම්පුරි නැතහොත් සුදු අශ්වයෙකු ද අවශ්‍යම නොවේ.

මීළගට දැනගත යුතු වන්නේ පැමිණ සිටින සිරිකත ද අදෘෂ්‍යමාන වන්නේ කෙසේ ද යන්නයි. සියල්ලම නිශ‍්‍රිත වන සිරියාව පලායන කරුණු ද ඍෂිවරුන් කියා තිබේ. පහත සඳහන් ශ්ලෝකය බලන්න.

නිත්‍ය ඡෙදස්තෘණානං ගුවිනඛලිඛිතං පාදයොරල්ප පූජා
දන්තනාමල්ප සොහං වසනමලිනතා වෙෂ්ඨිතා මුර්ධජානං
ඖෂස්‍යං චාපි නිද්‍රා නිවසන ශයනා ග‍්‍රාහහාසාදි රෙඛා
ශ්වාංගෙපීඨෙවවෛද්‍යං විගත මපහරෙන් මාධවස්‍යාපි ලක්‍ෂ්මි

ලක්ෂ්මි හෙවත් සිරිකත පලා යන කරුණු මෙම ශ්ලෝකය අනුව පහත පරිදිය.
නිෂ්ප‍්‍රයෝජන කැපීම (පිහියකින් යම් යම් දේවලට කෙටීම*
තණපත් තැළුම (අලංකාරව ඇති තණකොළ තලා දැමීම*
නියෙන් බිම ඉරි ඇඳීම
පා නොසේදීම
දත් නොමැදීම
කිළුටු ඇඳුම් ඇඳීම
හිස නොපීරීම
ඉර උදාවනතුරු නිදාගැනීම
අපවිත‍්‍ර ගෙවල්
මහ හඬින් සිනාසීම
බිත්තිවල ඉරි ඇඳීම
ආත්ම වර්ණනාව (තමා ගැන වර්ණනා කර කථා කිරීම*
අපවිත‍්‍ර මිදුල්

ඉහත කරුණු දාහතරම අයහපත් හැසිරීම් පෙන්වයි. මෙකල දවල් නිදන නැතහොත් ඉර උදාවන තෙක් නිදන, ගෙවල් අපවිත‍්‍රව තබාගනු ලබන, මිදුල නිතිපතා අතුනොගාන අය ලක්‍ෂ්මිට පහන් තැබීම නිෂ්පල බව මේ ශ්ලෝකය අනුව වටහාගත යුතු වේ. තම බස්රථයේ, කැෂියර් කූඩුව ළඟ, බුදු මැදුරේ ලක්‍ෂ්මි රූප සවිකරගෙන මුදල් ලැබෙනා තෙක් උඩබලාගෙන සිටිනවාට වඩා මෙම ශ්ලෝකවල ඇති ලෙස ලක්‍ෂ්මි කැඳවාගත හැකි සිරිකත බැල්ම හෙළන ආකාරයට තම ජීවිතය හා නිවස සකස් කර ගැනීම කාගේත් යුතුකමකි. මේ ඍෂි භාෂිතය යි.
උපුටා ගැනීමකි....
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නිවසට ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ලබාගන්න විදිය නිවසට ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ලබාගන්න විදිය Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 17, 2020 Rating: 5

0 comments:

Post a Comment