කතරගම දෙවියන්ගේ කතාව (The Story Of The God Of Kataragama)

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහැරට එක්‌වී ඇති විශේෂාංග අතර විශේෂ සිද්ධියක්‌ වශයෙන් සැලකෙන එක්‌ අවස්‌ථාවක්‌ කාගෙත් සිත්ගන්නා නමුත් එහි පුරාවෘතය එතරම් ප්‍රසිද්ධියක්‌ ලබා නැත.එම පුරාවෘත්තයට අයත් සිද්ධිය පෙරහැරේ රඟ දැක්‌වෙන්නේ මෙසේය.පෙරහැර එන විට වැදි කණ්‌ඩායමක්‌ මඟ අවුරා සිටී. පෙරහැරේ එන කෙනෙකු වැද්දන්ට ආචාරශීලීව කතාකොට කප්පමක්‌ දෙයි. එම කප්පම ලබා ගන්නා වැදි කණ්‌ඩායම සතුට පත්ව පෙරහැර යන්නට ඉඩ හරිති.

පෙරහැර නරඹන අයට මෙය විනෝදජනක අවස්‌ථාවක්‌ වුවද කතරගම දෙවියන් මේ ජවනිකාව දැක සිනහසෙනවා ඇත. වල්ලි අම්මාට නම් ටිකක්‌ ලැඡ්ජාවකුත් ඇති විය හැකිය. ඊට හේතුව වන්නේ මේ ජවනිකාවෙන් කියවෙන පුවතින් ඔවුන්ගේ අතීතයෙන් බිඳක්‌ ආවර්ජනය වීමය.

විශේෂයෙන් කතරගම ඇසළ මහ පෙරහැර ආරම්භ වීමට මොහොතක්‌ තියා ඈත වැඩිහිටි කන්දෙන් කතරගම මහා දේවාලය වෙත ආලෝකය සහිත හීයක්‌ විදුලි සැරයෙන් එන බව ජනවහරින් කියවෙයි. මේ විදුලි සැරය දුටු අයද සිටියි. එසේම මේ විදුලි සැරය කතරගම මහා දේවාලයේ ගිනි පෑගීමට මොහොතකට කලින් එන බව පැවසේ. මේ විදුලි සැරයද දුටු අය සිටිති. මේ විදුලි සැරයෙන් හඟවන්නේ කතරගම දෙවියන් මහා දේවාලයට වැඩිය බව යෑයි විශ්වාසයක්‌ පවතී. කතරගම දෙවියන් කතරගම කිරි වෙහෙර අසල කිහිරි වනයේදී සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගෙන් බණ අසා බෞද්ධයකු වී සෝවාන් මාර්ග ඵලය ලබා මිනිස්‌ ලොව ආශ්‍රිතව ජීවත් වන මහා දෙවියකු බව පරම්පරාවෙන් පරම්පරාවට ජනවහරින් කියවෙමින් එයි.

කතරගම ඇසළ මහ පෙරහැර නරඹන්නට විදුලි ආලෝකයක්‌ සහිත හීයක්‌ මවාගෙන කතරගම මහා දේවාලය වෙත වඩින කතරගම දෙවියන් සමග වල්ලි අම්මාද එන බව විශ්වාස කරනු ලැබේ. කතරගම ඇසළ මහා පෙරහැර නරඹන කතරගම දෙවියන් සහ වල්ලි අම්මා දේවියද එම පෙරහැර නරඹන සියලු දෙනාද දකින පෙරහැර එන මඟ අවහිර කරන වැද්දන්ගේ රැඟුම තුළින් දැන් අපි අතීතය වෙතට යමු.

කතරගම දෙවියන් වශයෙන් අප හඳුන්වන රුහුණු පුරයට කඳු හත් වළල්ලට, මයුර වාහනයට අරක්‌ගෙන වැඩ වසන්නා වූ මුහුණු සයකින්ද අත්දොළසකින්ද යුක්‌තව ලෝක සත්වයාගේ සෑම කන්නලව්වකටම ඉතා ඉක්‌මණින් ඇස්‌ ඉදිරිපිට පිහිට ලබාදෙන ශ්‍රී තේජෝ බලධාරී කතරගම දේවරාජෝත්තමයාණන් හෙවත් කන්දස්‌වාමි රුහුණට එන්නට පෙර සිටියේ දකුණු ඉන්දියාවේය.

මේ රටේ අනාගතය ගැන සැලකිල්ලක්‌ දැක්‌වූ ගෞතම බුදුන් වහන්සේ දැන් කිරි වෙහෙර ගොඩනඟා තිබෙන ශුද්ධභූමියේ තිබුණු කිහිරි වනය අසලට ජනයා රැස්‌ කරවා කතරගම දෙවියන්ව හඳුන්වා දී කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන අයගේ කර්ම ශක්‌තිය අනුව කතරගම දෙවියන් ඔවුනට පිහිට වනවා ඇති බව දේශනා කළහ.

ඉන්පසු බුද්ධ ආඥව ලැබූ කන්දස්‌වාමි කතරගම දෙවියන් නමින් රුහුණට අධිපති වූහ. සිද්ධාර්ථ ගෞතම සර්වඥයන් වහන්සේගෙන් කරතගමදී බණ අසා සෝවාන් වූ කතරගම දෙවියන්ගේ පින් බල මහිමය වැඩි නිසාත් උන්වහන්සේ පිනට පිහිට වී බොහෝ කුසල් රැස්‌කර ගන්නා නිසාත් ගෞතම බුදුන්වහන්සේ ගෙන් බණ අසා රහත් වී නිවන් දකින බවට විශ්වාසයක්‌ පවතී. ඒ නිසා දීර්ඝ කාලයක්‌ උන්වහන්සේ මේ රටද රකිනවා ඇත.

අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද නාහිමියන් විසින් කතරගම දෙවියන් පිළිබඳව නාඩි වාක්‍යවලින් දකුණු ඉන්දියාවේදී ලබාගත් විස්‌තරයක්‌ හෙණ්‌ඩියගල සීලරතන මහ නාහිමියන් විසින් බොහෝ කලකට පෙර ලියන ලද විශිෂ්ටතම ධර්ම ග්‍රන්ථයක්‌ වන පුනර්භවය නමැති ග්‍රන්ථයේ සඳහන් වේ.

කතරගම දෙවියන් බවට පත්වූ ඉන්දියාවේ සිටි මහා රණශූර දෙවියකු වූ කන්දස්‌වාමි භාරතයේ උපත ලබා සිටි ඈත භවයන්හි ඔහුගේ භාර්යාව වශයෙන් සිටියේ වල්ලි අම්මාය. මේ දෙදෙනා අතර තිබුණ ස්‌නේහවන්ත බැඳීම ඉතා ශේ්‍රෂ්ඨ එකක්‌ විය. නමුත් මේ දෙදෙනාගේ උත්පත්තිවල වෙනස්‌වීම් කිහිපයක්‌ පසුව ඇති විය.

කන්දස්‌වාමි දිව්‍ය ආත්මය ලැබුවාට පසුව ඔහුට සුර අසර යුද්ධයටද සහාය වීමට සිදුවිය. කන්දස්‌වාමීන්ද සුර අසුර යුද්ධයේ දී මහා විස්‌කම්පෑ දෙවියකු බවට පත්විය.

සුර අසුර යුද්ධයෙන් සුරයන් ජය ගැනීමෙන් පසුව කන්දස්‌වාමි දෙවියන්ට වල්ලි අම්මා පිළිබඳ මතකය මනසට ආවේය. පෙරකල කුසල් බලය නිසා අදි මානසික තත්ත්වයක්‌ තිබුණ දෙවියකු වූ ඔහු අධික මානසික ශක්‌තිය මෙහෙයවා වල්ලි අම්මාව සෙව්වේය.

වල්ලි අම්මා සෙල්ල කතරගම වැදි ගෝත්‍රයක උපත ලබා සිටින බව ඔහු දුටුවේය. කන්දස්‌වාමි වහා ලංකාවේ සෙල්ල කතරගම වෙත ආවේය. නමුත් වැදි සිරිත අනුව පිටස්‌තරයකුට වැදි තරුණියක හමුවිය නොහැකි විය. වැදි ගෝත්‍රිකයෝ ඉතාමත් නපුරු ප්‍රචණ්‌ඩ දරුණු අය වූහ. ඒ නිසා කන්දස්‌වාමි ඉක්‌මන් නොවූහ.

වැදි රැළ දඩයමේ යන තුරු බලා සිටි කන්දස්‌වාමි හෙමින් සීරුවේ වල්ලි අම්මා සිටි පැලට ගියේය. අධි මානසික ශක්‌තියක්‌ තිබුණු වල්ලි අම්මා කන්දස්‌වාමි හඳුනා ගත්තාය. වැඩිහිටි කන්දේ අතු පැලක නතර වුණු කන්දස්‌වාමි නිතර වල්ලි අම්මා බලන්නට ගියේය. එහෙත් බලය යොදා ඇයව පැහැරගෙන යැම නින්දාවක්‌ සේ සැලකුවේය. දිනක්‌ මහ රෑ වැඩිහිටි කන්දේදී වැදි රංචුව කන්දස්‌වාමිව කොටුකර ගත්තේය.

වැදි කෙල්ලක්‌ සමග හාදකම් පවත්වා මේ පිටස්‌තරයා තමන්ට අවමන් කළ බව වැදි රංචුවේ චෝදනාව විය. මහා ගෝරනාඩුවකින් පසුව වැදි රංචුව සමාදානයකට එන්නට කැමැති විය. ඔවුන්ගේ තීරණය වූයේ තමන්ට කළ අපහාසයට කන්දස්‌වාමි විසින් වසරකට වරක්‌ කප්පමක්‌ ගෙවිය යුතු බවය. කන්දස්‌වාමි එකඟ වී පළමු කප්පම ගෙවා වල්ලි අම්මා සමග ඉන්දියාව බලා ගියේය.

ඉන්පසු බුදුන්වහන්සේ සමග කතරගමට පැමිණි කන්දස්‌වාමි ප්‍රබලත්වයට පත්වී කතරගම දෙවි නමින් මහා ප්‍රසිද්ධියට පත්විය. කන්දස්‌වාමි ප්‍රබල දෙවි කෙනෙකු බව දැනගත් සෙල්ල කතරගම වැදි රංචුවේ පරම්පරාවේ වැද්දෝ කතරගම ඇසළ මහා පෙරහැර ඇරැඹීමෙන් පසුව කතරගම දෙවියන්ගෙන් ලැබුණු කප්පම පිළිබඳව පුවත මහා පෙරහැරේ ඉදිරිපත් කරන්නට අවසර ලබා ගත්හ. ඈත අතීතයේ පටන් කතරගම ඇසළ මහා පෙරහැරේ මේ සිද්ධිය රඟ දැක්‌වෙයි. නමුත් ඒ බව දන්නා අය විරලය.

විශේෂයෙන් මේෂ, වෘශ්චික ලග්න හා කුජ බලවත් අය පුද පූජා තැබීමෙන් හා පිං අනුමෝදන් කිරීමෙන් කතරගම දෙවියන් ගෙන් විශේෂ පිහිට ලබාගත හැකිය.

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කතරගම දෙවියන්ගේ කතාව (The Story Of The God Of Kataragama) කතරගම දෙවියන්ගේ කතාව (The Story Of The God Of Kataragama) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2020 Rating: 5

0 comments:

Post a Comment