තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ - මුළු ආසාදිතයන් 235ක් දක්වා ඉහළ යයි - (වීඩියෝ) / කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් - (වීඩියෝ) : අනෙකුත් පුවත් | Your Choice Way

තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ - මුළු ආසාදිතයන්  235ක් දක්වා ඉහළ යයි - (වීඩියෝ)
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු අද මෙරටින් වාර්තාවුණා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 235ක් බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව, මේ දක්වා සුවය ලබා පිටත්ව ගිය රෝගීන් සංඛ්‍යාව 63 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ.

මේ වනවිට රෝගීන් 165 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

එමෙන්ම කොරෝනා ආසාදිතයෙකු වාර්තාවූ ග්‍රෑන්ඩ්පාස් - නාගලගංවීථිය - පපඩම්වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් 113 දෙනෙකු අද පූනානි සහ සාම්පූර් ප්‍රදේශවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

ජාඇළ - සුදුවැල්ල ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් කොරෝනා රෝගීන් සමඟ සබඳතා පැවැත්වූ මෙම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මිතුරෙකුට ඊයේ කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟයි මෙම පිරිස නිරෝධායනය සඳහා යොමු කෙරුණේ.

ඒ අතර මත්කුඩුවලට ඇබ්බැහිවූවන් විසිදෙනෙකු සහ ප්‍රදේශවාසීන් 93 දෙනෙකු සිටිනවා.

ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් - නාගලගං වීථිය - පපඩම්වත්ත ප්‍රදේශය මේ වනවිට වසා දමා ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම කොරෝනා ආසාදිතයෙකු වාර්තාවූ ගුණසිංහපුර ප්‍රදේශයේ පුද්ගලයින් 80 දෙනෙකුද මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි සඳහන් කළා.

එමෙන්ම ජාඇළ ප්‍රදේශයෙන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවා තිබූ පුද්ගලයන්ගෙන් ඊයේ ආසාදිත වූ අනෙක් දෙදෙනා රාගම සහ ජාඇළ ප්‍රදේශයේම පදිංචිකරුවන් බවටයි අනාවරණ වන්නේ.

එසේම මේ වනවිට සමාජ දුරස්ථකරණය ඉලක්ක කරගනිමින් පනවා ඇති සීමා කිරීම් විද්‍යානුකූල පදනමක් මත පමණක් ක්‍රම ක්‍රමයෙන් ලිහිල් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

තහංචි ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ පූර්ව අනාවැකි පළ කිරීමට තවමත් කල් වැඩි බවද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කළා.

පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන කොළඹ මැනිං වෙළඳපොල අනිද්දා සිට ලබන 21 වනදා දක්වා තවදුරටත් වසා තැබීමට තීරණය කළ බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක ප්‍රකාශ කළේ.


කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් - (වීඩියෝ)
කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සෙසු සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6ට ඉවත් කර පස්වරු 4ට යළි පැනවීමටයි තීරණය වී ඇත්තේ.

එම දිස්ත්‍රික්වලට සවස 4ට යළි පැනවෙන ඇඳිරි නඋීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙරවරු 6 දක්වා බලපැවැත්වෙනවා.

20 වනදා උදෑසන 6න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පසුව දැනුම්දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය නතර කිරීම වෙනුවෙන් ඇඳිරි නීතිය පැනවීම ඇතුලු ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතාවගේ යහපත වෙනුවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් ඇඳිරි නීතිය පැනවීමෙන් ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ඉල්ලීමක් කරනවා.

භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍යයන්ට පමණක් සීමා කරන ලෙසට සහ අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසට ද අවධාරණය කෙරෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට රජය සියලු විධි විධාන සලසා තිබෙනවා.

කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් වැඩ කරන සහ කුඩා තේ වතු හා අපනයනය භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ සහ ධීවර කර්මාන්තයේ නිරත ජනතාවට අදාළ වැඩ කිරීමට අවසර පවතිනවා.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කවර හෝ දිස්ත්‍රික්කයක හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර ඇති ගම්මාන හුදෙකලා ප්‍රදේශ ලෙසට තවදුරටත් සලකනු ලබනවා.

කිසිවෙකුට හෝ මෙම ගම්මානවලට ඇතුලුවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම්දෙන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් වනවා.


'' එය මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධයක්'' ට්‍රම්ප්ගේ තීරණයට සෞඛ්‍ය විශේෂඥයන්ගේ අප්‍රසාදය
ඇමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව කපා හැරීමට ගත් තීරණය ලොව ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ විවේචනය ලක්වී තිබෙනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දී ඇත්තේ එය මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධයක් සහ බොහෝ ජීවිතවලට වන්දි ගෙවීමට සිදුවන ‘‘ඉතා නරක සහ අප්‍රසන්න’’ තීරණයක් බවයි.

එසේම මෙම තීරණය නිසා බොහෝ ජීවිතවලට වන්දි ගෙවීමට සිදුවන බවත්,  වසංගතයට එරෙහිව සටන් වැදීමට ස්වෛරී රටවලට අවශ්‍ය තොරතුරු, තාක්ෂණික දැනුම හා සහාය ලැබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගත් මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුනේ කොවිඩ් 19 ට එරෙහි සටනේ දී ලෝකය ගන්නා ක්‍රියාමාර්ගවලට ලෝක සෞඛ්‍ය සංවිධානය අත්‍යවශ්‍ය හා ඉතා වැදගත් බවයි.  මූල්‍ය ආධාර කපාහැරීමට හෝ වැරැදි ප්‍රශ්න කිරීමට මෙය සුදුසු වේලාවක් නොවන බවයි ඔවු වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය අතින් වැරැදි අඩුපාඩු සිදු වූ බවත් එම සංවිධානය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විද්වතකු වන වෛද්‍ය අමේෂ් අඩල්ජා ප්‍රකාශ කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් පියවර ගත යුතු වේලාව මෙය නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.

කොරෝනා වසංගතයට එරෙහිව ප්‍රතිචාර දැක්වීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයඔවුන්ගේ මූලික වගකීම පැහැර හැර ඇති බවට චෝදනා කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව කපා හැරීමට අමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා පියවර ගනු ලැබුවා.

නිරෝධායනයට පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථ දෙකක් ලොරියක ගැටීමෙන් එක් අයෙක් මරුට - 29කට තුවාල - (වීඩියෝ)
වරකාපොළ ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් එක් අයෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

අද පස්වරු 4.50ට පමණ මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තැපැල් කාර්යාලය අසලදීයි අනතුර සිදුවී ඇත්තේ.

නිරෝධායන කටයුතු සඳහා පුද්ගලයන් පිරිසක් සාම්පූර් දක්වා රැගෙන යමින් තිබූ නාවික හමුදාවට අයත් බස් රථ දෙකක කොළඹ දෙසට ධාවනය වූ එලවළු රැගත් ලොරියක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන් ඇතුලත් කර ඇත්තේ වරකාපොළ රෝහලටයි.

මියගොස් ඇත්තේ එලවළු ප්‍රවාහනය කළ ලොරියේ රියදුරා බව සඳහන්.

තුවාලකරුවන් අතර නාවික හමුදා සෙබලුන් තුන් දෙනෙකු ද වනවා.

සිද්ධිය පිළිබඳ වරකාපොළ පොලිසියයි විමර්ශණ සිදු කරන්නේ.


පරිප්පු සහ සැමන් අද සිට පෙර පැවති මිලටම - සුපිරි වෙළඳසැල්වලින් තීරණයක්
පරිප්පු සහ සැමන් අද සිට පෙර පැවති මිලටම අලෙවි කිරීමට සුපිරි වෙළඳසැල් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 134 කටත්, ටින් මාළු ග්‍රෑම් 425 රුපියල් 192 කටත් අලෙවි කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

මීට පෙර රජය විසින් පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 65 කටත්, සැමන් රුපියල් 100 කටත් අලෙවි කරන ලෙස නියෝග කර තිබුණා.

ඒ, ඉහළ මිල ගණන් යටතේ මිලදී ගෙන තිබූ අදාළ භාණ්ඩ සඳහා වන වෙනස පියවීමට රජය කටයුතු කරන බව දන්වමින්.

කෙසේ වෙතත් සුපිරි වෙළඳසැල් ජාලා පවත්වාගෙන යන සමාගම් සඳහන් කළේ අප්‍රේල් 10 වනදා සිට එම සහන මිල සතොස සහ සමූපකාරවලට පමණක් අදාළ වන බැවින් අදාළ වෙනස පියවීමට රජය තවදුරටත් කටයුතු නොකරන බව දැනුම්දී ඇති බවයි.

එමෙන්ම නැවත දැනුම් දෙනතුරු එක් පාරිභෝගිකයෙකුට එකවරකට පරිප්පු කිලෝග්‍රෑම් දෙකක් සහ සැමන් ටින් දෙකක් පමණක් මිලදි ගැනීමට සුපිරි වෙළඳසැල්, අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව අප පාරිභෝගික සේවා අධිකාරියෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අප්‍රේල් මස 9 වනදා සිට සතොස සහ සමූපකාර සමිති හරහා සහන මිලට පරිප්පු සහ සැමන් අලෙවි කරන බවයි.

ඇතැම් කූට ව්‍යාපාරිකයින් පරිප්පු සහ සැමන් අඩු මිලට මිලදී ගෙන, තොග සඟවා වැඩි මිලට අලෙවි කරන බවටද මීට පෙර තොරතුරු වාර්තා වුණා.
බොරතෙල් මිල තවදුරටත් ඉහළට
නිෂ්පාදනය කප්පාදු කිරීමට ඔපෙක් සංවිධානය, රුසියාව සහ අනෙකුත් නිෂ්පාදකයන් එකඟත්වයකට පැමිණීමත් සමඟ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ඉහළ යාමක් ඊයේ දක්නට ලැබුණා.

ඔපෙක් සංවිධානය සහ අනෙකුත් රටවල් එකඟ වූයේ තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 9.7කින් කපා හැරීමටයි.

එය ගෝලීය තෙල් සැපයුමෙන් සියයට 10ක් නියෝජනය කරන අතර එමගින් තෙල් මිල ප්‍රකෘතිමත් කිරීමට අපේක්ෂා කෙරුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 3.9කින් එනම්, ඩොලර් 32යි ශත 71 දක්වා ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 24යි ශත 15 දක්වා සියයට 6.1කින් ඉහළ ගියා.

කෙසේ නමුත් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ඉල්ලුම කැපී පෙනෙන ලෙස පහත වැටීම නිසා ලෝක වෙළදපොළේ තෙල් මිල තවදුරටත් පවතින්නේ සාපේක්ෂව පහළ මට්ටමකයි.

👉👇අනෙකුත් පුවත්👇👌


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ - මුළු ආසාදිතයන් 235ක් දක්වා ඉහළ යයි - (වීඩියෝ) / කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් - (වීඩියෝ) : අනෙකුත් පුවත් | Your Choice Way තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවේ - මුළු ආසාදිතයන්  235ක් දක්වා ඉහළ යයි - (වීඩියෝ) / කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් - (වීඩියෝ) : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2020 Rating: 5

0 comments:

Post a Comment