කොරෝනා නිසා මියගිය හත්වැන්නාගේ තොරතුරු රැසක් හෙළිවෙයි / 07 වන කොරෝනා මරණය වාර්තා වෙයි - ආසාධිතයින් සංඛ්‍යාව 188 ක් / ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි - ආසාදිතයන් ලක්ෂ 15 පනී : අනෙතුත් පුවත් | yourchoiceway.com

07 වන කොරෝනා මරණය වාර්තා වෙයි - ආසාධිතයින් සංඛ්‍යාව 188 ක්
කොවිඩ් 19 වෛරසය වැළදීමෙන් තවත් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන 07 වන කොවිඩ් 19 අසාධිත මරණය මෙය වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙලෙස මිය ගොස් ඇත්තේ අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
මේ අතර  කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් ගොස් තිබෙනවා. ඒ ඊයේදිනයේදී තවත් කොවිඩ් 19 ආසාධිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටියේ මෙලෙස හමුවූ කොරෝනා රෝගීන් දෙදෙනා මිට පෙර රත්නපුර ප්‍රදේශයෙන් හමුවූ මැණික් ව්‍යාපාරිකයාගේ ඥාතින් බවත් අනෙක් පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකු බවත්ය.

ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි - ආසාදිතයන් ලක්ෂ 15 පනී
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 88,403 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව 15 ලක්ෂ 13,243 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙම පිරිසෙන් තුන්ලක්ෂ 29,739 ක් සුවය ලබා තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව ඇමරිකාවද ඉක්මවා යමින් ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේ ස්පාඤ්ඤයෙන් නව මරණ 747 ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,792 ක්.

නව ආසාදිතයන් 6,278 ක් සමඟ මුළු ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 48,220 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේත් ඇමරිකාවේ නව මරණ 1,895 ක් වාර්තාවූ අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 14,736 ක්.

එමෙන්ම නව ආසාදිතයන් 29,875 ක් හමුවී ඇති අතර, ඒ අනුව මුළු ආසාදිතයන් සංඛ්‍යාව හාරලක්ෂ 30,210 ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඉතාලියෙන් ගතවූ පැය විසි හතර තුළ වාර්තාවන මරණ සංඛ්‍යාව 542 ක්. ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව 17,669 ක් දක්වා ඉහළ ගිය අතර, නව ආසාදිතයන් හමුවී ඇත්තේ 3,836 ක් පමණයි. ඒ අනුව එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 39,422 ක්.

ප්‍රංශයෙන් නව මරණ 541 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 10,869 ක්. නව ආසාදිතයන් 3,821 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 12,950 ක් දක්වා ඉහළ ගියා. බ්‍රිතාන්‍යයෙන් නව මරණ 938 ක් වාර්තාවනවා. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 7,097 ක් දක්වා ඉහළගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 60,733 ක්.

වෛරසයේ ආරම්භය වූ චීනයෙන් නව මරණ හෝ ආසාදිතයන් ඊයේ දිනයේ වාර්තාවී නැහැ. අසල්වැසි ඉන්දියාවෙන් නව මරණ 18 ක් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන් 565 ක් සමඟ එරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 5,916 ක්.

මේ අතර කොරොනා වෛරසයෙන් ආරක්ෂා වීමේ අරමුණින් අධි සාන්ද්‍ර මධ්‍යසාර පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 දෙනෙකු මියගොස් තවත් 3,000 ක් රෝහල් ගතකර තිබෙනවා. අධිසාන්ද්‍ර මධ්‍යසාර පානය කිරීමෙන් කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය වර්ධනය වන බවට පළවූ මිත්‍යා මතයක් හේතුවෙනුයි මොවුන් මෙම මධ්‍යසාර පානය කර ඇත්තේ. එම අසත්‍ය ප්‍රචාර පතුරුවනු ලැබූ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉරානයෙන් කොරෝනා මරණ 3,993 ක් වාර්තාවන අතර, වෛරසය ආසාදිත මුළු සංඛ්‍යාව 64,586ක්.

කොරෝනා නිසා මියගිය හත්වැන්නාගේ තොරතුරු රැසක් හෙළිවෙයි
නව කොරෝනා වෛරසය මෙරටදී ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව මේ වනවිට හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි. ජර්මනියේ සංචාරයක නිරතව සිට යළි දිවයිනට පැමිණි ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.

ඊයේ දිනයේදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 04 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 189 ක් දක්වා ඉහළ ගියා.

වෛරසය ආසාදනය වූ 44 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 138 ක්.

ඊයේ දිනයේදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් හතර දෙනාගෙන් තුන්දෙනෙකු රත්නපුර ප්‍රදේශයෙන් මීට පෙර හඳුනාගත් කොරෝනා රෝගියා සමඟ සමීපව ඇසුරු කළ පුද්ගලයින් වනවා.

ඒ අනුව ඔවුන් සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් 47 දෙනෙකු නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අක්කරෙයිපත්තු ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හඳුනාගෙන ඇති අතර, ඔහු කටාර් රාජ්‍යයේ සිට මාර්තු 16 වැනිදා දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර, මන්නාරම - තාරාපුරම් ප්‍රදේශය සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, පසුගිය මාර්තු 15 වැනිදා ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණි පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මන්නාරම, තාරාපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය කටයුත්තකට සහභාගි වූ බවට තොරතුරු ලැබීමත් සමඟයි.

ඒ අනුව, එම ප්‍රදේශය වසා දමා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි මන්නාරම දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍ය ටී. විනෝදන් සදහන් කළේ. එමෙන්ම අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ බවට ලද තොරතුරු මත හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන කාදර් මස්ථාන්ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

අධි අවදානම් කලාපය හැර සෙසු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පැය 10 කට ඉවත් කරයි
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය පැය 10ක කාලයක් සඳහා අද උදෑසන 6ට ඉවත් කෙරුණා.

මෙලෙස ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පස්වරු හතරට පනවන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

කෙසේ වෙතත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ සඳහා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දිගටම බලාත්මක බවයි පොලිස් මූලස්ථානය ඊයේ නිවේදනය කළේ.

ඒ අනුව රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වනවා.

එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වන තුරු අඛණ්ඩව බලාත්මක වනවා.

එම දිස්ත්‍රික්ක හැර සෙසු සියලූ දිස්ත්‍රික්කවලට අද පස්වරු හතරට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලබන 14 වන අඟහරුවාදා පෙරවරු හය දක්වා ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එදින පෙරවරු හයට එම ඇඳිරි නීතිය ඉවත් කර එදිනම සවස හතරේ සිට යළි ක්‍රියාත්මක කෙරෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ සඳහන් කළා.

මේ අතර ඇඳිරි නීතිය පැනවීම නිසා ඇතිවන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

එසේම අලූත් අවුරුදු සමය තුළ චාරිත්‍ර වාරිත්‍ර සහ පුද්ගල සබඳතා පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසටයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම් අතර, අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොළඹ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස තවදුරටත් සළකනු ලබන බවත්, කවරෙකුට හෝ එම ගම්මානවලට ඇතුලූවීම හෝ ඉන් පිටවීම හෝ නැවත දැනුම්දෙනතුරු සම්පූර්ණයෙන් තහනම් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ඊයේ උදෑසන හයේ සිට අද උදෑසන හය දක්වා ගතවූ කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 1,724 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 496 ක්. එමෙන්ම ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 19,441 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගනු ලැබූ මුළු වාහන සංඛ්‍යාව 5,082 ක්.

දිවයින පුරා ඖෂධ අලෙවිසැල් අද දිනයේදී විවෘතව තැබෙන බව රජය ප්‍රකාශ කළා.

ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබෙන බවයි ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කළේ.

මේ අතර දෙහිවල - කරගම්පිටිය ප්‍රදේශයේ බේකරියක සේවය කළ පුද්ගලයින් 18 දෙනෙකු සිය නිවෙස් වෙත යාමට නොහැකිව සිටි බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා. ඔවුන් බදුල්ල, මහියංගණය, නුවරඑළිය සහ හැටන් ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි එම බේකරියේ හිමිකරු සඳහන් කළේ.

කොරෝනා ආසාධිතයින්ට ප්‍රථිකාර කිරීමට අත්‍යවශ්‍ය උපකරණයක් නිපදවූ අපේ රටේ තරුණයක් - මේ මොහොතේ ඔබේ සහයත් අවශ්‍යයි (VIDEO)
කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ රෝගීන් සඳහා ප්‍රථිකාර කිරීමට අත්‍යවශ්‍ය වන video Laryngoscope නම් උපකරණය ඉතා සාර්ථක ලෙස නිපදවීමට ශ්‍රී ලංකික තරුණයෙකු වන දුමින්ද අමරසිරි සමත් වී තිබෙනවා.  කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයෙකුගේ ඉල්ලීම පරිදි ඔහු මෙම උපකරණය නිර්මාණය කර ඇති අතර එය විදෙස් රටකින් ආනයනය කරන්නේනම් ඒ සඳහා රුපියල් ලක්ෂ 9.5 ක් පමණ වැයවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

වෘත්තියෙන් වාහන අමතර කොටස් නිෂ්පාදනකරුවෙකු වන දුමින්ද අමරසිරි ශ්‍රී ලංකාව වෙනුවෙන් නව නිපැයුම් රැසක් සිදුකර තිබෙනවා. ඒ අනුව පසුගියදා ඔහු විසින් නිර්මාණය කළ මෙම  video Laryngoscope උපකරණය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වුවා.

''කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය  සංකල්ප විතානගේ කෝල් කරලා ඇහුවා video Laryngoscope කියන උපකරණයක් හදාගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මම ඒ වෙනකොට එහෙම උපකරණයක් දැකලවත් තිබුනෙ නෑ. ඊට පස්සෙ ඩොක්ට මාව හම්බවෙලා ඒ උපකරණය පෙන්නුවා.

ඒ අනුව අපි සම්පූර්ණයෙන්ම ඒක ලංකාවෙ නිර්මාණය කළා. මෙම උපකරණය මඟින් කොවිඩ් 19 ආසාධිතයෙකුට කෘතීම ස්වසනය ලබා දීමට පෙර ඊට අදාල යන්ත්‍ර පෙනහලුවලට සවිකිරීමට අවශ්‍ය ස්ථානය රෝගියාට සමීප වීමකින් තොරව සොයා ගැනීමේ හැකියාව උදාවනවා''

ලක්ෂ 9.5 ක වෙළඳපොළ වටිනාකමකින් යුතු මෙම උපකරණය ශ්‍රී ලංකාවේදී රැපියල් 30,000 ක පමණ මුදලකින් නිෂ්පාදනය කළ හැකි බවත්, මේ මොහොතේ මෙම උපකරණ සම්පූර්ණයෙන්ම නොමිලේ නිෂ්පාදනය කරන බවත් ඔහු වැඩිදුරටත් අප සමඟ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම උපකරණයට අවශ්‍ය කරන Endoscopy Camera සොයා ගැනීම මේ වන විට ගැටළුවක්ව පවතිනවා. ඒ අනුව මේ සඳහා අවශ්‍ය 5.5mm ප්‍රමාණයේ Endoscopy Camera ඔබ සතුව ඇත්නම් හෝ වෙනත් ආකාරයකින් ඔබට සහය ලබා දීමට හැකිනම් 071 766 55 88 අංකයෙන්  දුමින්ද අමරසිරි අමතන්න පුළුවන්.

එසේම රටතුල පවතින තත්වය හමුවේ සෞඛ්‍ය අංශ විශාල අවධානමක් දරමින් රෝගීන් සුව කිරීමට වෙහෙසෙන මොහොතක ඔවුන් වෙනුවෙන් තම යුතුකම සහ වගකීම ඉටුකරන  දුමින්ද අමරසිරි වැනි ව්‍යවසායකයින් සමස්ථ රටේම ඇගයීමට ලක්විය යුතු අතර, මේ මොහොතේදී ඒ වෙනුවෙන් අපට හැකි දායකත්වයක් ලබා දීම ශ්‍රී ලාංකිකයින් ලෙස අප සියළු දෙනාගේම යුතුකමකි.

ඔවුන්ට තිබුණා කලින් දැනුම් දෙන්න - අමෙරිකානු ජනාධිපති ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ උරණ වෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය පිළිබඳ වැරැදි තොරතුරු ලබා දුන් බවත්, ඔවුන්ට මීට මාස ගණනකට පෙර අනතුරු හැඟවීමට තිබූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා. කොරෝනා වසංගතයේ නවතම තොරතුරු දැනුම්දීම සඳහා ධවල මන්දිරයේදී දිනපතා පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ජනාධිපතතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට  මුදල් නොදෙන බවත් මෙතෙක් කරන ලද මූල්‍ය පරිත්‍යාග කපාහරින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එසේම එම සංවිධානය චීනයට පක්ෂපාතී බවත් ඊට එරෙහිව දැඩි පියවරක් ගන්නා බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණ‍ේ ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඔහු ඒවා ගණනකටවත් ගෙන නොමැති බවයි. එසේම  ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් යැයි ප්‍රකාශ කිරීමෙන් පසුව ද ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එය එතරම් ගණනකට නොගත් බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

රෝගීන් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටෙයි - ජූනි මාසය දක්වා කොරෝනා තත්වය පැවතීමේ අවදානමක්
කෝවිඩි-19 වසංගතය පාලනය කිරීමට රජය දැඩි ක්‍රියාමාර්ග නොගතහොත් එය ලබන ජූනි මාසය දක්වා පැවතිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

මේ වන විට වසංගත තත්ත්වය රටතුළ සීඝ්‍රයෙන් පැතිර යන බවත් මේ තත්ත්වය දිගටම පැවතුනහොත් උපරිම මට්ටමේ දී රෝගීන් 2500 ට වඩා වාර්තා වීමට ඉඩ ඇති බවද එම සංගමයේ වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය .

සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ආකරයට රෝගීන් වාර්තා වුවහොත් එය පාලනය කිරීමට නොහැකි වන බවත් එබැවින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග මේ මොහොතේදීම ගතයුතු බවත් හෙතෙම සඳහන් කළේය.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා නිසා මියගිය හත්වැන්නාගේ තොරතුරු රැසක් හෙළිවෙයි / 07 වන කොරෝනා මරණය වාර්තා වෙයි - ආසාධිතයින් සංඛ්‍යාව 188 ක් / ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි - ආසාදිතයන් ලක්ෂ 15 පනී : අනෙතුත් පුවත් | yourchoiceway.com කොරෝනා නිසා මියගිය හත්වැන්නාගේ තොරතුරු රැසක් හෙළිවෙයි / 07 වන කොරෝනා මරණය වාර්තා වෙයි - ආසාධිතයින් සංඛ්‍යාව 188 ක් / ලොව පුරා කොරෝනා මරණ 88,000 ඉක්මවයි - ආසාදිතයන් ලක්ෂ 15 පනී : අනෙතුත් පුවත් | yourchoiceway.com Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 09, 2020 Rating: 5

0 comments:

Post a Comment