ලොව පුරා කොරෝනා මරණ 33,000 ඉක්මවයි - ආසාදිතයන් හත්ලක්ෂයක් - පැය 24 තුළ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන් / ලංකාව කොච්චර හොදද කියලා කියන්න මට වචන නැහැ - ඇමරිකාවේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන ශ්‍රීලාංකික වෛද්‍යවරයෙක් තැබූ සටහන / පොලොස් ගෙඩියක් කඩා ගත්තාට මන්නා පහරක් - (වීඩියෝ) / මේ සතියත් නිවසේ සිට වැඩ / ජපානයේ කොරෝනා පෙත්ත ලංකාවටත්

ලොව පුරා කොරෝනා මරණ 33,000 ඉක්මවයි - ආසාදිතයන් හත්ලක්ෂයක් - පැය 24 තුළ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන්
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 33,956 දක්වා වැඩිවී තිබෙනවා.

රටවල් 199 කින් වාර්තාවී ඇති මුළු ආසාදිතයන් සංඛ්‍යාව හත්ලක්ෂ 21,330ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම වෛරසය ආසාදනය වූවන්ගෙන් එක්ලක්ෂ 51,004 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ගතවූ පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ ස්පාඤ්ඤයෙන්.

එම සංඛ්‍යාව 821ක් වන අතර, ඒ අනුව එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 6,803ක්.

ආසාදිතයන් සංඛ්‍යාවද 80,110 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ ඇමරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 41,812ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට මරණ සංඛ්‍යාවද 2,475ක් ලෙසයි දැක්වෙන්නේ.

ඇමරිකාවේ සමාජ දුරස්ථභාවය ඇතුලු සීමා කිරීම් අප්‍රේල් 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කළ බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචියට පැමිණ ඇති බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය ඔවුන්ගේ ආරක්ෂක වියදම් මේ දක්වා ගෙවා නොමැති බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

ඔවුන් අදාළ වියදම් දැරිය යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් මේගන් කුමරිය හැදී වැඩී ඇත්තේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වන අතර, ඇගේ මව තවමත් එහි ජීවත්වනවා.

ඇමරිකාවේ ජනප්‍රිය ගායකයෙකු වන ජෝයි ඩිෆී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

මියයනවිට ඔහු 61 හැවිරිදි වියේ පසුවුණා.

එමෙන්ම ඉතාලියේද ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂයකට ආසන්න වී ඇති අතර, එම සංඛ්‍යාව 97,689ක්.

ගතවූ පැය 24 තුළ නව මරණ 756ක් වාර්තාවීමත් සමඟ එරට මුළු මරණ සංඛ්‍යාව 10,779 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් වෛරසය බිහිවූ චීනයේ ගතවූ පැය 24 තුළ මරණ සහ ආසාදිතයන් කිසිවෙකු වාර්තාවී නැහැ.

චීනයේ මුළු ආසාදිත සංඛ්‍යාව 81,439 ක් වන අතර, මරණ සංඛ්‍යාව ද පවතින්නේ 3,300ක් ලෙසයි.

ජර්මනියේද මුළු ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 62,095 ක් දක්වා වැඩිවී ඇති අතර, මරණ සංඛ්‍යාව 541ක්.

මේ අතර කොරෝනා වෛරසය හමුවේ ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙනු ඇතැයි හටගත් මානසික පීඩාව මත ජර්මනියේ හෙසෙයි ප්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා සියදිවි හානිකරගෙන තිබෙනවා.

54 හැවිරිදි තෝමස් ෂැෆර් නැමති මෙම අමාත්‍යවරයාගේ සිරුර ඊයේ හමුවී ඇත්තේ දුම්රිය මාර්ගයක් අසළ තිබියදියි.

නේපාලයේද කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ එරට පනවා තිබූ සීමාකිරීම් සහ නගර වසා දැමීම් තවත් සතියකින් දීර්ඝ කර තිබෙනවා.

අසල්වැසි ඉන්දියාවේද කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 37ක් වාර්තාවීමත් සමඟ මුළු ආසාදිත සංඛ්‍යාව 1,024ක් දක්වා වැඩිවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම එරට මරණ සංඛ්‍යාවද 27 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවේ ඇඳිරි නීතිය පනවා තිබියදී රාජකාරි පැහැරහැරිම සම්බන්ධයෙන් දිල්ලි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට එරට රජය පියවර ගත්තා.

ලංකාව කොච්චර හොදද කියලා කියන්න මට වචන නැහැ - ඇමරිකාවේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන ශ්‍රීලාංකික වෛද්‍යවරයෙක් තැබූ සටහන
කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් තැබූ සටහනක් මේ වන විට සමාජ ජාල වල කතා බහට ලක්වෙමින් තිබේ.මේ එම සටහනයි.

මම ඇමෙරිකාවේ ප්‍රධාන රෝහලක නව corona virus වසංගතයට එරෙහිව ක්‍රියාකාරීව වැඩ කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලෙස, පළමු ලෝකයේ රටක් ලෙස උදම් අනන ඇමෙරිකාව හා තුන්වන ලෝකයේ රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාව අතර විශාල වෙනසක් අත්විඳිමින් සිටිමි.

සමාජ මාධ්‍ය ජාලාවල මගේ අදහස් පළ නොකරන මම මේ අවස්ථාවේ මුල් වතාවට වචන කීපයක් සඳහන් කරන්නට සිතුවෙමි. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශය, මිලිටරි සේවාව හා වෙනත් ආයතන ලබා දෙන අසාමාන්‍ය වූ නායකත්වය හා හා දායකත්වය අගය කිරීමට මම මෙය අවස්ථාවක් කොට ගනිමි.

ශ්‍රී ලාංකිකයින්ට මට පවසන්නට ඇත්තේ මෙවන් රජයක් සහ සෞඛ්‍ය සේවාවක් ලැබීම මොන තරම් වාසනාවක් ද කියාය. ඇමරිකාවේ රෝගීන්ට තමන්ගේ වෛද්‍ය පරීක්ෂණ කරගන්නට ආණ්ඩුවට පිංසෙන්ඩු වෙන්නට සිදුවී තිබෙන තත්ත්වයක, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට වැසියාගේ යහපත තකා සැක සහිත පුද්ගලයින් ඉදිරියේ පිංසෙන්ඩු වෙමින් ඔවුන් පරීක්ෂණයට ලක් කිරීම මීට හොඳම උදාහරණයයි. ඇමරිකාව වෛරසයට විරුද්ධ සටනින් පරාජයට පත් වී ඇත.

වෛද්‍ය සේවයේ යෙදෙන්නන්ට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යය ආම්පන්න නොමැති වීමයි. බලධාරීන් අපගෙන් ඉල්ලා සිටින්නේ "සෙල්ලම් තුවක්කු" රැගෙන යුද්ධයට යන ලෙසය. සෞඛ්‍ය අංශයේ බොහෝ අය තමන්ගේ නිවෙස්වල ඇඳෙහි නිදා ගන්නේ නැතුව ගෙදර ගරාජයේ හෝ ඉස්පිරිතාලයේ නිදා ගන්නට පියවර ගෙන ඇත්තේ තමන්ගේ පවුලේ සමීපතමයින් මේ අනතුරින් බේරා ගන්නටය. මේ ලෝකයේ වඩාත් දියුණු සහ වරප්‍රසාද හිමි යැයි කියන ඇමරිකාව පිළිබඳ තිත්ත ඇත්තයි.

මේ දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවයේ යෙදී සිටින මගේ සගයින්ට හිස නමා ආචාර කරමි. වර්තමාන වසංගතයේ ඇති භයානකකම ගැන තේරුම් ගන්නට ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරන අතරම දේශපාලන භේදයකින් තොරව විවිධාකාරයේ චෝදනා පසෙක තබා මේ අති දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකා ආණ්ඩුවට සටන ජයගැනීමට උදව් කරන ලෙස ඉල්ලා සිටීමට කැමැත්තෙමි. එමගින් මුළු ලෝකය ඉදිරියේම අභිමානවත් ජාතියක් ලෙස ආදර්ශයක් පෙන්වීමට හැකි වේවා ...!!

~ විශේෂඥ වෛද්‍ය ගයා කුලසිංහ

පොලොස් ගෙඩියක් කඩා ගත්තාට මන්නා පහරක් - (වීඩියෝ)
මාතර, නාදුගල ප්‍රදේශයේ වත්තක පොලොස් ගෙඩියක් කැඩීමට උරණවූ එහි හිමිකරු එය කැඩූ පුද්ගලයාට පිහියකින් පහර දී තිබෙනවා.

පහර කෑ තුවාල ලැබූ එම පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ සතියත් නිවසේ සිට වැඩ
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා අද සිට අප්‍රේල් 3 වනදා දක්වා කාලයත්, නිවසේ සිට වැඩ කරන කාල සීමාවක් බවට රජය ප්‍රකාශයට පත් කළා. 

අත්‍යාවශ්‍ය සේවා හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට අයත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා සඳහන් කළේ.

මෙම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකෙන අතර, මහජන සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාම රජයේ වගකීම වනවා.

එහෙත්, ජනතාව එක්රැස් වීම වළක්වා ස්වයං නිරෝධායනයට ඉඩ සැලසීම මෙහි අරමුණයි.

මීට පෙර ද මාර්තු 20 වනදා සිට පසුගිය 27 වන සිකුරාදා දක්වා කාලය තුළ නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණා.

මේ අතර, දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගෙන මැයි මාසය දක්වා ප්‍රමාද කර තිබෙනවා.

එහෙත් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කොරෝනා වෛරසය පාලනයේදී ඔවුන්ගේ සහය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ලබාදීමට හැකිවනු පිණිස එම කාර්යාලවලට තාවකාලිකව අනුයුක්ත කිරීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා ඔවුන්ට සේවයට වාර්තා කිරීමට අපහසු බැවින් අද දිනයේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කිරීම අත්‍යාවශ්‍ය නොවන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
loading...
ජපානයේ කොරෝනා පෙත්ත ලංකාවටත්
කොවිඩ් - 19 හෙවත් කොරෝන වෛරසය තරමක් මර්දනය කළ හැකි බවට විශ්වාස කරන ‘ඇවිගන්’ නමැති ඖෂධය මෙරටට ගෙන්වා ගැනීමට රාජ්‍ය ඔසුසල අවධානය යොමු කර තිබෙනවා.

මෙම ‘ඇවිගන්’ ඖෂධය ජපානය විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

මේ මඟින් වෛරසයේ කාලසීමාව අඩු කරගත හැකි වන බවයි සඳහන් වන්නේ.

ජපානය විසින් සිදුකළ ඔවුන්ගේ මෙම පරීක්ෂණය සඳහා රෝගීන් 340ක් පමණ සම්බන්ධ වී ඇති අතර එය "ඉහළ ආරක්ෂාවක්" දිය හැකි ඖෂධයක් ලෙසයි ඔවුන් විසින් හඳුන්වා දෙනු ලබන්නේ.

මෙම ඖෂධය පරීක්ෂා කිරීම්වලදී ධනාත්මක ප්‍රතිඵල ලැබූ බවද චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ නිලධාරි ෂැං ෂින්මින් පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොව පුරා කොරෝනා මරණ 33,000 ඉක්මවයි - ආසාදිතයන් හත්ලක්ෂයක් - පැය 24 තුළ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන් / ලංකාව කොච්චර හොදද කියලා කියන්න මට වචන නැහැ - ඇමරිකාවේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන ශ්‍රීලාංකික වෛද්‍යවරයෙක් තැබූ සටහන / පොලොස් ගෙඩියක් කඩා ගත්තාට මන්නා පහරක් - (වීඩියෝ) / මේ සතියත් නිවසේ සිට වැඩ / ජපානයේ කොරෝනා පෙත්ත ලංකාවටත් ලොව පුරා කොරෝනා මරණ 33,000 ඉක්මවයි - ආසාදිතයන් හත්ලක්ෂයක් - පැය 24 තුළ වැඩිම මරණ ස්පාඤ්ඤයෙන් / ලංකාව කොච්චර හොදද කියලා කියන්න මට වචන නැහැ - ඇමරිකාවේ කොරෝනා රෝගින්ට ප්‍රතිකාර කරන ශ්‍රීලාංකික වෛද්‍යවරයෙක් තැබූ සටහන / පොලොස් ගෙඩියක් කඩා ගත්තාට මන්නා පහරක් - (වීඩියෝ) / මේ සතියත් නිවසේ සිට වැඩ / ජපානයේ කොරෝනා පෙත්ත ලංකාවටත් Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2020 Rating: 5

0 comments:

Post a Comment