සූසැට ආභරණ සහ ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය (Susata)

සූසැට ආභරණ සහ ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය (Susata) - Your Choice Way

හෙළ කතුන් හැඩකළ සූසැට ආභරණ නොහොත් සිව්සැට ආභරණ...

  ආභරණ පැළඳීම අතින් එදා හෙළ ලඳුන් ලෝකෙයේ අන් කවර ස්ත්‍රීන්ට වුව ද දෙවැනි වී නැත. සූසැට ආභරණයෙන් හැඩ වූ හෙළ කතුන් කනට තෝඩු ඉනට හවඩි, පයට නූපුරු බන්දි වළලු මිණිමෙවුල ගෙලට මාල, හත්පොට මාල වැනි අපූරු මෙවලම් කට්‌ටල පැළැඳි බව පොතපොතේ සඳහන්වේ. රොබට්‌ නොක්‌ස්‌ ද එදා හෙළ දිව ග්‍රන්ථයේ අපේ රටේ කතුන් පැළඳි ආභරණ පිළිබඳ මෙසේ සඳහන් කොට ඇත්තේය.

" අතෙහි රිදී වළලු දමා පය පාද මුදු හා අතැඟිලි වල රිදී මුදු දමති. ගෙලේ පබළු මාලයක්‌ හෝ පපුව පුරා වැටෙන කැටයම් කළ රත්රන් පෙවූ රිදී පළඳිති. දෙකනෙහි කන් විද කැටයමින් සුන්දර වූ රන් පෙවූ ගල්බැඳි කුණ්‌ඩලාභරණ වෙති."

මේ අන්දමට හෙළ කුල කත එදා පැළඳි ආභරණ වර්තමානයේ නවීකරණය වී යළිත් අපේ කතුන් වෙත පැමිණ තිබේ. කෙසේ වුවද එදා හෙළ කතුන් පැළඳි ආභරණවලින් අරික්‌කාලක්‌වත් වර්තමානයේ අපේ කතුන් පළඳින්නේ නැති බවනම් ඉඳුරාම පැහැදිළිය.

   සූසැට ආභරණ
================
🏵️01. රන්පට
🏵️02. රුවන් තෝඩු
🏵️03. නාගවඩම
🏵️04. කාදුකාප්පු
🏵️05. මුතුපට
🏵️06. කච්චොඩම්
🏵️07. බාහු අණ්ඩ
🏵️08. මිණිකයිවඩම්
🏵️09. ගිගිරි වළලු
🏵️10. තුන්කොන් මාල
🏵️11. සිව්කොන් මාල
🏵️12. හස්තපෝට්ටු
🏵️13. මේඛලාදාම
🏵️14. පස්‍ රූ
🏵️15. පස් පෙරහර
🏵️16. සත්රුවන් වැල
🏵️17. රන් හවඩි
🏵️18. රිදී හවඩි
🏵️19. මුතු හවඩි
🏵️20. කිංකිණි ජාලා
🏵️21. සත්රුවන් හවඩි
🏵️22. නිලිමිණි හවඩි 
🏵️23. රන්මිණි හවඩි
🏵️24. හස්තාංගුලි
🏵️25. හස්ත මුද්‍රිකා
🏵️26. කෛපෝට්ටු
🏵️27. අංගදාභරණ 
🏵️28. ඒකාවැල
🏵️29. කර්ණාවතංස
🏵️30. ග්‍රීවාභරණ
🏵️31. පදක්කම්
🏵️32. කර්ණසුත්‍ර
🏵️33. මිණිබන්ධි
🏵️34. කෙයුරාභරණ 
🏵️35. ඌරුජාල
🏵️36. ඉනහැඩ
🏵️37. උදර බන්ධන
🏵️38. මකර පට
🏵️39. නළල් පට
🏵️40. පාද ශංඛලා
🏵️41. පාදාභරණ
🏵️42. පාද ජාලා
🏵️43. පාදාංගුලි
🏵️44. පාදජංඝා වළලු
🏵️45. ගල්මුතු මාල
🏵️46. රන්මිණි මාල
🏵️47. ගෙලමුතු මාල
🏵️48. මිණිමුතු මාල
🏵️49. දර්ශන මාල
🏵️50. නිල්මිණි මාල
🏵️51. රන්මුතු මාල
🏵️52. ලියරන් මාල
🏵️53. රුවන් මාල
🏵️54. වටරන් මාල
🏵️55. පත්‍රවළලු
🏵️56. සක්දම්
🏵️57. මුතුදම්
🏵️58. රන්දම්
🏵️59. රිදී දම්
🏵️60. මිණිදම්
🏵️61. මුතුහර
🏵️62. අවුල්හර
🏵️63. අලකාපට
🏵️64. ඔටුන්න 

ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය.....
පැරැණි ගල් අවි යුගයට අයත් මිනිසා, දඩයම් කරුවකු හා ආහාර රැස්‌ කරන්නකු ද වූයේ සංචාරක ගණයට අයත් ඉතා කුඩා ජන කණ්‌ඩායම් අතරෙහි විසීමෙන් පසුවය. කල්යත්ම හේ ගිනි දල්වන්නටත්, හම් පට්‌ටා කොළ ආදියේ ආධාරයෙන් සිය සිරුරු සතුරු පීඩාවෙන් ආරක්‌ෂා කැර ගන්නටත් ඔහු ගේ, කඳවුරු ගිනි මැලයට ඉව වැටී ගත් වල් බල්ලා හීලෑ කැර ගන්නටත් උගත්තේය.

ඉතිහාසය පරීක්‌ෂා කිරීමේදී මුල්ම මිනිසා ඇඳුම් භාවිතා කළේ සෞඛ්‍ය හා ආරක්‌ෂාව වැනි කාරණා මුල් කර ගෙන බව විශ්වාසිතය. අධික ශීතල, වර්ෂාව, ලෙඩ රෝග ඒ සඳහා බලපාන්නට ඇති බව අනුමාන කළ හැකි අතර, පෘථිවියෙහි ඇති වූ ඉමහත් දුෂ්කරතාවයන් සහිත භූගෝලීය වෙනස්‌කම් හමුවේ, සාර්ථකව අනුවර්තනය වීමට ආදි මානවයන්ට හැකි වූ බවත්, අනෙකුත් සත්ව කොට්‌ඨාස ද ඔවුන් අනුගමනය කරමින් ජයග්‍රහණ අත්පත්කර ගත් ආකාරයත් පිළිබඳව මානව විද්‍යාඥයින් අපූර්ව තොරතුරු ලොවට හෙළිකර ඇත.

සුදුසු හැම ආහාරයක්‌ ම කෑමට ගැනීමට මිනිසා පුරුදු වන්නාසේ ම ඕනෑම දේශගුණයක ජීවත්වීමටද ඔහු ඉගෙන ගත්තේය. සිය හැකියාව යොදා, ජීවත්වීමට හැකි සෑම පෙදෙසකම වාසය කිරීමට මිනිසා ඉදිරිපත් විය. මෙසේ කිරීමට ස්‌වාධීන ශක්‌තියක්‌ ඇති එකම සත්ත්වයා මිනිසා පමණකි. අනිකුත් සතුන් සියලු දේශගුණවල වාසය කිරීමට ඉගෙන ගත්ත ද, එසේ කළේ ස්‌වාධීනව නොවේ. මිනිසා පසුපසින් යමිනි. හීලෑ සතුන් සහ පරපෝෂිතයින් ද එසේය. මුල් වාසස්‌ථානය වූ එක සමාන උෂ්ණ දේශගුණයක සිට අවුරුද්ද ශීත හා ගිම්හාන කාලවලට බෙදා වෙන් කර ඇති ශීත කාලගුණයක්‌ ඇති පෙදෙස්‌වලට මිනිසාගේ වාසභූමිය පරිවර්තනය වීමත් සමගම නව අවශ්‍යතාවයන් බිහිවිය. ශීතලෙන් හා තෙතමනයෙන් බේරීම සඳහා වාසස්‌ථාන හා ඇඳුම් අවශ්‍ය විය. මිනිසා සතුන්ගෙන් වෙන් කරන ශ්‍රමයේ නව ක්‌ෂේත්‍රයක්‌ද, එA අනුව ක්‍රියාකාරිත්වයේ නව ආකාරයන් ද ඇති විය. (මාක්‌ස්‌ සහ එංගල්ස්‌, කෘති, 20 වෙළුම, 493 පිටුව) මේ සම්බන්ධව පර්යේෂණාත්මකව කරුණු දක්‌වන එම්. නෙස්‌තූර්හ් පවසන්නේ, චාතුර්තික යුගයේ විවිධ කාලගුණවලට අනුවර්තනයවීම මිනිසාගේ සීඝ්‍ර පරිණාමයට එක්‌ හේතුවක්‌ වූ අතර, නිෂ්පාදනයේ සංවර්ධනයටද, මිනිසාගේ කායික සංවිධානයටද එයම හේතුවිය. 

( මාර්ටින් වික්‍රමසිංහ, පුරාණ සිංහල ස්‌ත්‍රීන්ගේ ඇඳුම පි.18 ) ලංකාවේ පූර්ව සමාජ පරීක්‌ෂා කළ සමාජ හා මානව විද්‍යාඥයින්, දේශජයන් කෙරෙහි, ප්‍රාග් ඉන්දීය ආර්ය. ද්‍රවිඩ ආර්මේනියානු මැලේසියානු මධ්‍යධරණි නීග්‍රෝ මොන්ගෝලියානු හා යුරෝපීයයන් ගේ, සංස්‌කෘතිකාංග බලපාන ලදැයි කරුණු දක්‌වති.

ශාක කොටස්‌ සහ සත්ව සම් භාවිතා කළ පූර්වජයින් සංස්‌කෘතික පරිණාමයේ වර්ධනයත් සමග ක්‍රමයෙන් ඇඳුම් (ඩ්‍රස්‌) වලට පරිවර්තනය විය. ඇඳුම යන වචනයට අරුත් සපයන වෙනත් වචන වශයෙන්, කඩ, කඬ, (රෙද්ද, වස්‌ත්‍රය) හා අඳින වස්‌ත්‍රය ලෙසද, රෙදිවල නොයෙක්‌ පැහැති නූල්වලින් කරන විසිතුරු මැහුම් වැඩ සැරසිලි මැහුම් වලින් නිම කළ පසු ඇම්බ්‍රොයිඩර් කරන ලද ඇඳුම් වශයෙන්ද ව්‍යවහාර කෙරෙයි. ( සිංහල ශබ්දකෝෂය, සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුව) පාලි භාෂාවෙන් අච්ඡාදන (ඇඳුම, වස්‌ත්‍රය) වත්‍ර (වස්‌ත්‍රය) (පාලි සිංහල අකාරාදිය, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි) යනුවෙනුත්, සංස්‌කෘත භාෂාවෙන් වස්‌ත්‍රං යනුවෙනුත් දමිළ භාෂාවෙන්, උඩෙයි, ආඩෙයි, (කාන්තා ඇඳුම්, පෙන්ගල් උඩෙයි, පිරිමි ඇඳුම් ආන්ගලින් උඩෙයි) උඩඩුප්පු, තුනි, යනුවෙන් ද (ඇඳුම් ආයිත්තම් සඳහා තුනිමනිහල්) යනුවෙන් ව්‍යවහාර වෙයි. ප්‍රාග් ඉන්දීය දමිළ කාන්තාවන් සිය ඉණට කොළ අතු ඇඳි බවත් පසු කාලීනව මෙහි විකාශයක්‌ ලෙස කාන්තාවන් මේඛලාර්මය පැළඳි බවත් මෙය අලංකරණය උදෙසා කරන ලද්දක්‌ ලෙසත් ප්‍රකට කෙරෙයි. 

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වන මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් අභිධානප්පදීපිකා ටීකාව උපුටා දක්‌වමින් මෙවුල්දම වනාහි ස්‌ත්‍රී නිමිත්ත අලංකාර කරන්නට පැළඳි ආභරණයක්‌ ලෙස පෙන්වා දෙයි. ඇඳුමේ විකාශනය පිළිබඳ කරුණු සොයා බැලීමේ දී මිනිසා විවිධ අභිචාරයනට යොමු වීම, යෞවනත්වය අභිමතය වැනි කාරණා ද දේශගුණික හා ස්‌වභාවිකත්වය මත සිදුවූ බලපෑමට පසුව බලපාන ලදැයි අනුමාන කළ හැකිය. සෞඛ්‍යාරක්‌ෂාව පිළිබඳ උනන්දුවට වඩා අද බහුලව යොමු වී ඇත්තේ, විලාසිතාවනට බව සමාජ විමර්ශනයේදී පැහැදිළිවන කරුණකි.

මිණි මෙවුල, ( මේඛලාභර්මය) ස්‌ත්‍රී ඇඳුමක්‌ ද, ආභරණයක්‌ ද, ඒ දෙකම ද යන්න විවිධ අවස්‌ථාවල සාකච්ඡාවට භාජනය වූ කරුණකි. මයුර, හංස හා කෝකිල යන සන්දේශයන්හි මිණිමෙවුල ගැන සඳහන් වෙයි.

මේ දිය කෙළින උන් ඉණැ මිණි මෙවුල් සුබා (මයුර)
මසෙක්‌ ගොදුරු පතා මෙවුල් මිණී ගතා (හංස)
තුළ සිකි පිල් වරලස බැඳ සුවඳැති මල් පටිනා
දුල ඉණැ මිණී වැල දිස්‌ වන දුහුලැඳ මන නදනා
නල ලෙළ රන් ලිය සේ රූ සිරි සියුමැලි ලියනා
බල එ විලෙහි කෙළිනා ඉපිලිපිලි දිය මුදුනා ( කෝකිල) 

මෙම කාව්‍යය විමසීමේ දී, දිය ක්‍රීඩා කරන ලලනාවන් ඉණට සළුවක්‌ ඇඳි බවත් එය ඉතා තුනී බවත්, ඒ, සළුව විනිවිද මිණි මෙවුල පෙනුණ බවත් තුනී සළුව දියෙන් පෙඟු=ණු විට මනාව මිණි මෙවුල දර්ශනය වුන බවත් ය. තවද, උම්මග්ග ජාතකයෙහි එන, චූලනී බ්‍රහ්ම දත්ත රජු සිය මෑණියන් වන තලතා දේවිය ගේ නුගුණයක්‌, හේරි නම් පරිභ්‍රාජිකාවට කියන තැන, දැක්‌වෙන්නේ, රජ සිය අමාත්‍ය මණ්‌ඩලය සපිරිවරා සිටිද්දී, තලතා දේවිය, එතැනින් එහා මෙහා යද්දී ඇය, පැළැන්දු මණිමේඛලාභර්නයෙහි ශබ්දය සියලු රජ ගෙයි ඒ කන්නාද කරමින් සිටින්නීය. යනු, ඇය එය පැළඳි බව නොපෙණුනත් ශබ්දය පැතිරෙන්නට ඉඩ හැරීම, අපට රචකයා පවසන්නේ කුමක්‌ ද විමසිය යුතුය. සසදා වත කෘතියෙහි එනදිසි මිණි මෙවුල් යනුවෙන් සඳහන් වන්නේ, අදිසි ඇඳුමක්‌ ලෙස එය, හැඳි බවත්, ඒ තුළින් තත් යුගයේ දී ස්‌ත්‍රීන් චාම් රෙදි හැඳ මිණි මෙවුල නොපෙනෙණ සේ ඇඳුම් ඇඳි බවත්ය. මේ අනුව අලංකාරය උදෙසා මෙය භාවිත කිරීමට ප්‍රථම මුල් යුගයේ, භාරතීය කාන්තාවන් මලින් කළ සැරසිල්ල දියුණු කිරීමක්‌ ලෙසත් ඊටත් පැරණියන් විසින් භාවිත පුරුද්දක පරිණාමයක්‌ වශයෙනුත් සිතන්නට අප පොළඹවන බව කිව යුතුය.

ලක්‌දිවට ආසන්න රට වූ භාරත දේශයෙහි පූර්ව සමාජ සංස්‌කෘති විමසන විද්වතුන් ඔවුන් ගේ ආගමික හා සංස්‌කෘතික නෂ්ටාවශේෂ තුළින් පිළිබිඹුවන කරුණු හා ලක්‌දිව සංස්‌කෘතිය සමග ඇති නෑ සබඳකම් අධ්‍යයනය කර කරුණු දක්‌වා ඇත,ආදිම යුගයේ ආර්ය, ඉරාන, ග්‍රීක, රෝම, ජර්මන්, ස්‌ලාව් හා කෙල්ට්‌ ආදි ජනයා ගේ ආදිතමයින්ට පැවතියේ එක සමාන යෑයි කිව හැකි ආගමකි, එහෙත් පසු කාලීනව මේ තත්ත්වය වෙනස්‌ විය, ආර්යයන්ට ඉන්ද්‍ර දෙවියාත් ග්‍රීකයන් හා ජර්මන් වරුන් අතර තෝර් දෙවිඳුන් ආදි වශයෙන් පෙර අපර දෙදිග දෙවිවරුන් විවිධ නම් ගත්තද කාර්යභාරය එක සමාන බවක්‌ පෙන්වන බව කිව යුතුය, දෙවියන් නිර්මාණය කළ මිනිසාම ඔවුන් ගේ ඇඳුම් පැළඳුම් ද නිර්මාණය කළේය. එමෙන්ම යාතු කර්ම වලදී එන යකුන් යක්‌ෂණියන් පිළිබඳවද එලෙසමය. එපමණක්‌ ද නොව ජනයා ගේ සංජානනයට ඔවුන් බෙහෙවින් බලපෑම් කල අතර මානව හැසිරීම් වලට ද බොහෝ බලපාන ලදී. මිනිසා සමාජ පසුබිමට අනුව හැසිරීමේ දී සංස්‌කෘතිය, කුලය, රැකියාව, පැළැන්තිය ආදී කරුණු පිළිබඳව පසුකාලීනව දැක්‌වූ උනන්දුව ඉතිහාස සටහන්වලින් මනාව තහවුරු වෙයි. ලක්‌ ඉතිහාසයේ ඇඳුම් පැළඳුම් භාවිතය ඉතා ඈතට ගමන් කරන අතර ලි�ත ඉතිහාසයේ, විජය ගේ සම්ප්‍රාප්තිය සමග ප්‍රකට වන කුවේණිය ගේ කපු කැටීම ද, එකල රෙදි නිෂ්පාදනය පිළිබඳ හැඟීමක්‌ අපට සපයනු ඇත. එමෙන්ම පසුකාලීනව පේෂකාර්මිකයින් ගේ ගම්මාන පැවති බවට ද සාක්‌ෂි පුරාණ සෙල්ලිපි මගින් ද ප්‍රකට කරනු ලබයි.

තතවය} පුගහ ලෙණෙ ( තන්තු} වාය ( පේෂ කාරකයින් ගේ සංස්‌ථාවට (අයත්) ලෙණ ) , සිධම් } පෙහෙකර } ගමකහි සුමග ලෙණෙ මළ තිසහ ලෙණෙ වදු } සිසය බිකු සගහටය නියතෙ ( යහපතක්‌ වේවාෘ පෙහෙකාර ගමක ( නම් ස්‌ථානයේ ) සුම්ම ගේ ලෙණ ( සහ) ( ඔහු ගේ ) මලණු තිස්‌ස ගේ ද ලෙණ සතර දිග භික්‌ෂු සංඝයාට පමුණුවන ලදී. ( සිංහල ශිලා ලේඛන සංග්‍රහය, මහාචාර්ය නන්දසේන මුදියන්සේ,2000,( 696, 1145 ) තතවය ( සං තන්තුවාය) පෙහෙකර (පා පෙසකාර) යනු පේෂකාරයන් සඳහා යෙදුණු වචනය බව පෙන්වා දෙන මහාචාර්ය මුදියන්සේ ශූරීන්, එළු බෝධිවංශය උපුටා දක්‌වමින් සඳහන් කරන්නේ, මහ බෝ මඟුල සඳහා පෙරහන, ලනු, කඹ, ආදිය සපයන ලද්දේ, පේෂ කාර්මිකයින් බවය. මේ අනුව ජනප්‍රවාද සහ ලි�ත ඉතිහාසය තුළින් ද පේෂ කර්මාන්තය, බුදු සමය ලක්‌දිව පහළ වීමට පෙර පැවති බව මනාව ප්‍රකට කරයි.

ලංකාවෙන් පමණක්‌ නොව දකුණු ආසියාවෙන් හමු වී ඇති පැරණිම රෙදි කැබැල්ල හමු වී ඇත්තේ, කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දැලිවල ග්‍රාමයේ පිහිටි දැලිවල කොටවෙහෙර කැණීම්වලින් බව පුරා විද්‍යාඥයින් මේ වනවිට තහවුරු කර ගෙන ඇත. එහි තැන්පත් ධාතු කරඬුවක්‌ පබලු ගෙත්තම් කළ රෙදි කැබැල්ලක ඔතා, එය මැටි භාජනයක තැන්පත්කොට තිබී ඇත. මෙම චෛත්‍යය දඹදිව සාංචි ස්‌තූපයට නෑකම් කියන බවත් කැණීම්වලින් මතුකර ගත් බ්‍රාහ්මීය අක්‌ෂර සහිත ගඩොල් අනුරාධපුර යුගයට නෑ කම් කියන බවත් එය ලංකාවේ චෛත්‍ය කර්මාන්තයේ ප්‍රාථමික අවධිය සිහිගන්වන බවත් පුරාවිද්‍යා මතය වී ඇත. ඕස්‌ටේ්‍රලියානු ජාතික විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන ජූඩිත් කැමරන් ගේ පර්යේෂණ වාර්තාවලට අනුව එම රෙදි කඩ වසර 2200 ක්‌ තරම් ඉපැරණි බව තහවුරු කරයි. මේ අනුව ලක්‌දිව පේෂ කර්මාන්තය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්‌තු පූර්ව යුගය දක්‌වා දිවයන බව තහවුරු වනු ඇත. එපමණකුදු නොව, ක්‍රිස්‌තු පූර්ව දෙවැනි සියවස තරම් පැරණි යුගයේ චීනය වැනි රටවල් සමග පවා ලංකාව සබඳතා පවත්වා ඇති බවට පුරාවිද්‍යාඥයින් තහවුරු කර සිටී.

ලොව විවිධ සමාජ අධ්‍යයන කළ මානව හා සමාජ විද්‍යාඥයින් ගේ වාර්තා අධ්‍යයනය කිරීමේ දී පැහැදිළි වන්නේ, ප්‍රාථමික සමාජවල මිනිසුන් ශරීරය උණුසුම්ව පවත්වාගන යැම ආරක්‌ෂාව වැනි කාරණා හේතුකොට ගෙන ඇඳුම් භාවිතා කළ බවය. සභ්‍යත්වය, සදාචාරය වැනි කාරණා පිළිබඳ මිනිසා උනන්දු වන්නේ ඇඳුම් සඳහා රෙදිපිළි භාවිතය පැමිණීමෙන් පසුවය යන්න පිළිගත හැකිය. ආගමික සංකල්ප හා සබැඳි චාරිත්‍ර මත ඇඳුම අරුත් ගන්වා ඇති ආකාරයට නිදසුන් වශයෙන්, සිංහල බෞද්ධ ළමයින් සඳහා ළමා සාරිය මෙන්ම ද්‍රවිඩ හා මුස්‌ලිම් ළමුන් ගේ ඇඳුම ද සුවිශේෂී බවක්‌ පෙන්නුම් කරයි. ඉස්‌ලාම් ධර්මයට අනුව ප්‍රසිද්ධියේ, අඟ පසඟ නිරාවරණය කිරීම තහනම් ක්‍රියාවක්‌ වන අතර, ආගමික නීතිරීතීන් ගේ බලපෑම සංස්‌කෘතිය අභිබවා පෙනීසිටින ආකාරය ද සමාජ නිරීක්‌ෂණයේ දී පැහැදිළි වනු ඇත.

වංශවතුන් කුලවතුන් ලෙස මෙන්ම දුගී දුප්පතුන් මෙන්ම කුල හීනයන් සමාජ සම්මතයනට අනුව පුරාණ ශ්‍රී ලංකාවේ ඇඳුම් පැළඳුම්වලින්ද කැපී පෙනුණ බව ප්‍රකටය. අධිපතීන් ලෙස නම් දැරූවන් පිළිබඳව රොබට්‌ නොක්‌ස්‌ සඳහන් කරන්නේ, Ñනිල්වන් කපු වස්‌ත්‍රයෙන් කළ කබායක්‌ හැඳ, යටට සුදු වතක්‌ හැඳ, එA මත තුප්පොට්‌ටිය හැඳ, යළි පොට කීපයක්‌ ඇති වන ලෙස රැළි දමා සුදු පිළියන් ඉන වට ඔතා එA සියල්ල මත නිල්වන් හෝ රතුවන් පටියක්‌ බඳිති, ( එ හෙළදිව,පි.262) ආභරණ පැළඳීම පිළිබඳව නොක්‌ස්‌ වාර්තා කරන්නේ, පිරිමින් රිදියෙන්, තඹ හෝ පිත්තලවලින් මෙන්ම වංශවතුන් රනින් කළ මුදු පැළඳි බවත් ස්‌ත්‍රීන් සිය නිවෙස්‌වලදී ඇඳුම් පැළඳුම් ගැන එතරම් සැලකිලිමත් නොවුනත් අලංකාරවත්ව ඇඳුම් ඇන්ද බවත්ය. එකල පාවහන් පැළඳීමේ අයිතිය රජුට පමණක්‌ පැවති හෙයින් ස්‌ත්‍රී පුරුෂ කිසිවෙකු පාවහන් නොපැළඳි බව හෙතෙම සඳහන් කරයි. එකල කුල සිරිත් අතර මනාලයා මනාලියට ඇඳුම් සැපයිය යුතුය. කුලය හා යහ ගුණ පිළිබඳව සැලකූ පූර්ව සමාජය රූපය හා ධනය ගැන එතරම් උනන්දුවක්‌ නොදැක්‌ වූ බව නොක්‌ස්‌ පෙන්වා දෙයි.

උඩු කය නිරාවරණව සිටින පිරිමින් උත්සව අවස්‌ථාවන්හිදී සම්පූර්ණ ඇඳුම් අඳිති. කෙටි හැට්‌ටයකින් සැරසීම එකල සිරිතය. ලේන්සුවක්‌ හිසෙහි බැඳීම සිරිතක්‌ වුවද විශේෂ වරප්‍රසාද ලද්දෝ තොප්පියක්‌ පැළඳි බවත් ස්‌ත්‍රීහු මන්තය සහිත හැට්‌ටා ඇඳ වළලු සහ තෝඩු පැළඳි බවත් රජුන් ගෙන් රන් ආභරණ තෑගි ලද්දන් පමණක්‌ රන් ආභරණ පැළඳි බවත් එකල පුද්ගලයකු ගේ තත්ත්වය හා ධන සම්පත්තිය ප්‍රදර්ශනය වූයේ ඇඳුම් වර්ගයේ උසස්‌කම හා සංඛ්‍යාව අනුව බවත් වෛද්‍යාචාර්ය ජෝන් ඩේව් ගේ සටහන්වල වෙයි. සීගිරි සිතුවම් මෙන්ම කව් සිළුමිණ ද උපුටා දක්‌වන හෙතෙම පුරාණ ලංකාවේ උඩුකය නොවැසූ කාන්තාවන් විසූ බවට සාක්‌ෂි පෙන්නුම් කරයි.

අනුරාධපුර යුගයේ රචිත සිඛවළඳ හා සිඛවළඳ විනිසට අනුව සතුන් ගේ සමින් කළ පාවහන් තත් යුගයේ භාවිත බව සනාථ කෙරෙයි.

චාරිත්‍ර වාරිත්‍ර මෙන් දේශගුණය ද ඇඳුම් සකස්‌ කරවයි.මේ කරුණු අනුව මෙන්ම, පොත පතින් පුරාණ ගල් රූපයෙන් සහ සිතුවම්වලින් ලැබෙන සාක්‌ෂ්‍ය අනුව ද පුරාණ සිංහලයන්ගේ ඇඳුම් පැලඳුම් දකුණු ඉන්දියාවේ ජනයා ගේ ඇඳුම් පැලඳුම් ව්‍යවහාරයට අනුගුණව සකස්‌ කරනු ලැබීයයි කල්පනා කළ හැකි ය ( පුරාණ සිංහල ස්‌ත්‍රීන් ගේ ඇඳුම්- මාර්ටින් වික්‍රමසිංහ, පි.38 ) මිනිසුන් අභිචාර විධි, විවිධ ඇදහිලිs විශ්වාස මෙන්ම ඒ හා බැඳුණු දෙවි දේවතාවුන් ද නිර්මාණය කර ගත්හ.එසේ ගත් දෙවිවරුන්ගේ ඇඳුම් පැළඳුම් ද ඔවුන් විසින්ම නිර්මාණය කරන ලදී. භාරතීය අජන්තා සිතුවම් වගේම සීගිරි සිතුවම්, මෙන්ම පුරාණ දේව රූප හා වෙනත් සිතුවම් පරීක්‌ෂා කළ විද්වතුන්ට අනුව කලින් කල පැවති මානව සමාජ හැසිරීම් ඇඳුම් පැළඳුම් පිළිsබඳව අවබෝධයක්‌ එයින් ලබා ගත හැකිය. පුරාණ පොත පත හා සිතුවම් පරීක්‌ෂා කළ මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පෙන්වා දෙන්නේ, නවවන ශත වර්ෂය පමණ වන තුරු කුලීන සිංහල ස්‌ත්‍රීහු පවා උඩුකය නොවැසූහ යි නිශ්චය කළ හැකි සාක්‍ෂි පුරාණ සිතුවම්වලින් මෙන්ම පොතපතින්ද ලැබෙන බවය.

වංශවතුන් කුල හීනයන්, දුප්පතුන් මෙන්ම පොහොසතුන් මධ්‍ය කාලීන ලංකාවෙහි රෙදි පිළි භාවිතයේ දී වටිනාකමින් වෙනස්‌කම්වලින් යුතුව භාවිත කළ බව ප්‍රකටය. සාමාන්‍ය මිනිසුන් හිස්‌ වැසුම් හෝ පාවහන් නොමැතිව ගමන් ගත් බවත්, පාවහන් අලංකාරය සඳහා භාවිත වූ බවත්, රජ තුමා අලංකාරය සඳහා හිස වටා බඳින ලද රෙද්ද, zදුකුල පට්‌ටZ සැරසිල්ලක්‌ ලෙසත් රාජකීය ඇඳුම් කට්‌ටලයට අයත් එකක්‌ ලෙසත්, එකල නළඟනන් ගේ හිස්‌ සැරසිල්ල මකුට යනුවෙනුත් හඳුන්වා ඇති අතර රාජ ලීලාව ඔපවත් කළ ඔටුන්න (මොලි, මකුට) යනු වෙනුත් හඳුන්වන ලදැයි ( ගයිගර්) සඳහන් කරයි. එකල සමාජයේ, සාමාන්‍යයෙන් භාවිත වූ ඇඳුම කොටස්‌ දෙකකින් සමන්විත විය. එනම් උඩුකය හා යටිකය වැසීම සඳහාය. චිත්‍ර හා මූර්ති පදනම් කරගෙන ඇඳුම ගැන සාමාන්‍ය අදහසක්‌ ඇති කරගත හැකිය. කාන්තාවන් උඩුකය නොවැසූ බවට සාධක ඇත. සීගිරි සිතුවම්වල රාජකීය කාන්තාවන්ගේ උඩුකය නග්නව මෙන් දක්‌වා ඇති අතර පරිවාර කාන්තාවන්ගේ උඩුකයෙහි තනපටක්‌ දක්‌නට ලැබේ. පුරුෂයන් ද ප්‍රධාන වශයෙන් භාවිත කළේ, යටිකය ආවරණය කිරීමට වස්‌ත්‍රයක්‌ පමණක්‌ වුව ද උතුරු සළුවක්‌ ද බොහෝවිට පැළඳීමට පුරුදුව සිටියහ. හිස්‌ පළඳනාවක්‌ වශයෙන් තලප්පාවක්‌ පැළඳීම සිරිත විය. ආභරණ පැළඳීම ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂය අතරම පැවතිණ. කර්ණාභරණ හා මාලය, පැළැඳි ආභරණ අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගෙන ඇත. රන් රිදී වර්ග හා මුතු හා මැණික්‌ වර්ගත් ඇතැම් විට කැස්‌බෑ කටු වැනි වූ කිරි ගරුඬ වර්ගත් ආභරණ අලංකාර කිරීම සඳහා යොදා ගනු ලැබීය. භික්‌ෂූන්ට පාවහන් පූජා කරන ලද බව දැක්‌වේ. ( ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය- මහාචාර්ය,එච්.ටී. බස්‌නායක,1995,පිටු අංක,188) සීගිරි සිතුවම් පරික්‌ෂා කළ විද්වතුන් අපේ ඇසට ලක්‌වන කාන්තා රූපයන්හි සාමාන්‍ය ඉරියව්, බැල්ම,සිනහව,පමණක්‌ නොව ඇඳුම් පැළඳුම් සම්බන්ධව ද අදහස්‌ පළකොට ඇත මල් පල පැළඳි කාන්තාව,මල් පිපුණු කොළොම් ගසක්‌ සේ මීතල් නැමැති කවියා දකී ZZ( 446 වැනි ගීය) උඩුකය වැසූ මෙන්ම නොවැසූ සර්වාභරණයෙන් සැරසුන මෙන්ම ආභරණ රහිත මල්පල පැළඳි සීගිරි ලලනාවන්, සමකාලීන සමාජ තතු, විශද කරන බව විද්වත් මතය වෙයි.

වහවත වහමහ (මෙ)සෙයනිඅ(ප) සිති වියි (න) (නො) රෙනද වෙනෙ සිනපට බෙ (එ) රනවන (මෙ) පිළිසනට වාවාගත යුතු නම් අප වාවාගත යුත්තේ මේ අන්දමට කල්පනා කිරීමෙනි. සිනිඳු සුමුදු පට සළු හැඳි එA රන්වන් තැනැත්තිය මේ වනයෙහි සැඟැවී සිටීමට රැඳී සිටින්නී නො වේ. ( සීගිරි ගී සිරි,2002, වි.ජ.මූ.ලොකුබණ්‌ඩාර,පි. 83 )පට සළු හැඳ සුඛෝපභෝගී දිවියක්‌ ගෙවන ඇය, වනයට පැමිණ ඇති අතර සෞන්දර්යයෙන් මත්ව සිටින්නියන් අතර රැඳී සිටී. එය කවියා ගේ පරිකල්පනය පෙර සඳහන් කළ පරිදි ,තත්කාලීන සමාජ පරිසරය පිළිබිඹු කරන්නක්‌ ලෙස පෙනෙයි.

පළමුවන කාශ්‍යප ( ක්‍රි.ව. 473-491 ) රජු සීගිරියෙහි ඉතිහාසය වෙනස්‌ කරමින් රාජ්‍ය විචාල බව ඉතිහාසය ඔප්පුකර සිටී. සිත්තම් හැරුණකොට ලක්‌දිව විවිධ පෙදෙස්‌වලින් සීගිරි පැමිණි ජනයා සීගිරි පව්වෙහි තබා ඇති සටහන් ද සාහිත්‍යමය අතින් පමණක්‌ නොව සමාජ හා මානව විද්‍යාත්මක අතින් ද වැදගත්කමක්‌ උසුලන බව කිව යුතුය. තත් යුගයේ එනම් අනුරාධපුර යුගයේ ශිෂ්ටාචාරයේ දෙවන භාගයේ, ලංකාවෙන් පිටරට යවන ලද භාණ්‌ඩ අතර මුතු, විනිවිද පෙනෙන ගල්, සිනිඳු රෙදි , කැස්‌බෑ ලෙලි, යනාදිය වශයෙන් කොස්‌මස්‌ගේ වාර්තා සඳහන් කරයි. එමෙන්ම හියුංසාන්, ටොලමි මෙන්ම රාජතරංගනී කෘතියෙන් ද ලංකාවෙන් රෙදිපිළි පිටරට යෑවූ බව සනාථ කරන සාක්‌ෂි වෙති. තවතද පෙරිප්ලස්‌ ඔෆ් ද එරිත්‍රියන් සී ග්‍රන්ථයෙන් චීනයෙන් ලංකාවට රෙදිපිළි ගෙන ආ බව චීන වාර්තාකරුවන් සඳහන්කර ඇතැයි මහාචාර්ය බස්‌නායක සූරීන් සඳහන් කරයි.

අතීත සිංහල ජනයා කෘෂිකාර්මික ජීවිතයක්‌ ගත කරමින් මනාව සිය කුටුම්භය ආරක්‌ෂා කළ බවත් සිය සමූහය තුළ පරමාදර්ශී දිවියක්‌ ගතකළ බවත් ප්‍රකටය. එකල සභ්‍යත්වය, සදාචාරය යන මානයන් කිසිසේත් ඇඳුමට සීමා නොවුනි. කුලය අනුව වෙනස්‌කම් පැවති බව ඉතිහාස සටහන් අනුව පිළිගත හැකිය. සිංහල මිනිසුන් ගේ උඩුකය ඇඳුම කපු හෝ හණ පිළියෙන් කළ හැට්‌ටයකි. ඔවුහු සරුවාලයක්‌ මෙන් දවටා ගනු ලැබූ වස්‌ත්‍රයක්‌ ඉණෙන් පහළට අඳිති. කුලවත් ජනයා හිසෙහි රතු හිස්‌ වැස්‌මක්‌ දමති. ඔවුන් එය භාවිතා කරන්නේ, මහත් අභිමානයකිනි. නොයෙක්‌ මැජික්‌ ගල් එබ්බූ කර්ණාභරණවලින් ඔවුන් කන් සරසා ඇත. ඔවුහු රිදී, ඇත්දත් හෝ රන් මිටි සහිත පිහි ඉණේ ගසා ගනිත්, පහත් කුලවල ජනයා ඔවුන් ගේ ඉඟටිය ඔස්‌සේ දැවටූ කුඩා රෙදි කඩක්‌ පමණක්‌ ඇතිව සම්පූර්ණයෙන්ම වාගේ නග්නව හැසිරෙත්. ගෑනු පියයුරු නොවසා ඔබ මොබ යති... ඔවුහු ගෙලෙහි රන් හෝ රිදී මාලත් අතැඟිලි හා පයෑඟිලිවල මුදුත් දමති. ( බල්දේයුස්‌ ගේ ලංකා විස්‌තරය 1672) උපුටා ගැනීම 2002 ඔක්‌ 15 දෙසතිය)පුරාණ ලංකාව හා එහි වැසියන් පිළිබඳ අධ්‍යයනයක්‌ කළ වෛද්‍යාචාර්ය ජෝන් ඩේව් ගේ ඉතිහාස සටහන් මෙන්ම රොබට්‌ නොක්‌ස්‌, එමර්සන්ට්‌ ටෙනන් වැනි විද්වතුන් ගේ වාර්තා ද ලාංකිකයන් ගේ අතීත තොරතුරු ඉගෙනුමට මනා පිටුබලයක්‌ ලබාදෙන බව සඳහන් කළයුතුය සිංහල පවුලක සංවිධානය බෙහෙවින් චාම්ය. 

එක්‌ එක්‌ සාමාජිකයා ගේ කටයුතු මොනවට පැහැදිළි ය. සී සෑම, නියර බැඳීම ආදි ගොවිතැන් පිළිබඳ වෙහෙස ගෙන දෙන කටයුතු පිරිමි පක්‌ෂයට හිමි වන අතර නෙළීම හා ගොයම් කැපීමට සහය වීම වැනි පහසු කටයුතු ස්‌ත්‍රී පක්‌ෂයට නියමිත ය. ගෙදරදොර බලාගැනීම හා එහි කටයුතු පිළිබඳ පාලනය සම්පූර්ණයෙන් ස්‌ත්‍රී පක්‌ෂයට අයත් වන්නේ, ඔවුන් ගේ විශේෂ යුතුකම් වශයෙන් ගැනෙයි. ගෙදරදොර පිරිසුදු ලෙස තබා ගැනීම, ඉවුම් පිහුම්, කිරි දෙවීම හා නූල් කැටීම ඔවුන් ගේ යුතුකම්ය. මේ විස්‌තර වැඩි වශයෙන් ගැළපෙන්නේ මධ්‍යම පන්තියටයි. උසස්‌ පවුල්වල කුමාරිහාමිලා සම්පූර්ණයෙන් ම වාගේ වැඩක්‌ නැති ජීවිතයක්‌ ගත කරන අතර දුගී පවුල්වල ස්‌ත්‍රීහු පරම වාල් ජීවිතයක්‌ ගත කරත්.( ඩේව් දුටු ලංකාව ඡ් පරිවර්තනය,ඇල්ලෙපොල එච්.ඇම්.සෝමරත්න, විසිදුණු ප්‍ර. පිටු අංක 251)බෞද්ධ ජනයා පිරිකර වශයෙන් පූජ්‍ය පක්‌ෂය උදෙසා චීවර පූජාවත්, ගෞරව නමස්‌කාර පූර්ව ගෞරව කිරීම මූලික කර ගෙන පිරුවට ( සුදු රෙදි) භාවිතයත් බුදු සමය ලක්‌දිව පහළවීමත් සමග, සමාජගත චාරිත්‍රයකි. එමෙන්ම සියලු උත්සව අවස්‌ථාවන්හි ප්‍රධානීන් අසුන්ගත් ආසනවලට සුදුරෙදි ඇතිරූ බව මහාවංශයෙහි සඳහන් වෙයි. තවද මිහින්තලා ස්‌තූප පූජොත්සවයේ දී, අනුරාධපුර සිට පෙරහැර මාර්ගය සැතපුම් හතක්‌ පිරුවට එළන ලද බව රාජාවලියෙහි සඳහන් වෙයි.

ක්‍රි.ව.1153 පමණ කාලයේ, රාජ්‍ය විචාළ පළමුවන පරාක්‍රමබාහු රජු ප්‍රථම වරට කඨ§න පිංකම් පැවැත්වූ බව රාජරත්නාකරයෙහි සඳහන් වෙයි. මහාවංශයෙහි ද සඳහන් තොරතුරු අනුව, උදයේම ගස්‌වලින් කපු කඩා පිරිසිදු කර නූල් අඹරා රෙදි වියා පඬු පොවා සිවුරු සකස්‌ කොට ඉර බැසීමට පෙර නිම කිරීම, කඨින පිංකමේ චාරිත්‍රයක්‌ බව ප්‍රකට කරයි.

ඉතා ආදි යුගයකදී ලංකාවේ ජනතාවගෙන් විශාල කොටස කෘෂිකාර්මික වූහ. වෙනත් කටයුතුවල නියුක්‌ත වූ ජනගහනයේ ප්‍රමාණයට හස්‌ත කර්මාන්තයෙහි යෙදුණු ස්‌වල්ප සංඛ්‍යාව අයත් වූහ. සභ්‍යත්වය සහ සංස්‌කෘතිය දියුණුවීම හෙමින් සිදු වූ ඒ සමාජයෙහි බහුතර වැසියන්ට දිනපතා ආහාර ද්‍රව්‍ය හැර වෙනත් අවශ්‍යතා වූයේ, ස්‌වල්පයක්‌ වන්නට ඇත. (ඇසූ දුටු ලංකාව,එමර්සන් ටෙනන්ට්‌ ,පරිවර්තනය,2001,සෝමපාල ජයවර්ධන,)සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පිළිබඳව විවිධ නිර්වචන ඉදිරිපත් වී ඇති අතර මේ පිළිබඳව මුලින්ම අදහසක්‌ සමාජ ගත කළ ඇල්ප්‍රඩ් වේබර් විද්‍යාත්මක හා කාර්මික දැනීම හා ඒ අනුව ස්‌වාභාවික උපායන් පාලනය කළ හැකි බලය ශිෂ්ටාචාරය වශයෙන්ද, සමාජයේ කලාත්මක, ආගමික දාර්ශනික හා ඊට සමාන නිෂ්පාදන සංස්‌කෘතිය වශයෙන්ද හඳුන්වා ඇත. ( සමාජ හා මානව විද්‍යාව, ආචාර්ය දයා අමරසේකර, 2005, පි.75 )මහනුවර රාජධානි සමයෙහි මෙරට භාවිත වූ ඇඳුම් පිළිබඳ තොරතුරු සමකාලීන යුරෝපීයයන් ලියා ඇති විස්‌තරවලින් හා ඇඳ ඇති චිත්‍රවලින් බොහෝ දුරට හෙළිවෙයි. මෙකල විසූ රජුන් විසින් විවිධාකාර ඇඳුම් අඳින ලද බව පෙනේ, අපට දක්‌නට ලැබෙන ආදිම සිංහල රාජ චිත්‍රය zයෝරිස්‌ මෑන් ස්‌පිල්බර්ජන් නැමැති ඕලන්ද ජාතික අද්මිරාල් වරයා ගේ ඓතිහසික සංග්‍රහයෙහි (1605) එන මහනුවර විමලධර්මසූරිය රජුගේ (1592 - 1604 ) රූපයකි. එහි විමලධර්මසූරිය රජු උඩුකයට කර වටා ලු මන්තයක්‌ සහිත මැණික්‌ කටුව දක්‌වා අත් දිග බුරුල් දිග හැට්‌ටයක්‌ නොහොත් කබායක්‌ ද යටිකයට බොලට දක්‌වා වැටුණු රන් කවනි සළුවක්‌ ද ඇඳ, හිසෙහි ඔටුන්නක්‌ ද මිරිවැඩි සඟලින් තොර පයෙහි පාද ජාලා ද දමා දෙකන ගෙලෙහි හා බාහුවෙහි ආභරණ පැළඳ සිටිනු දක්‌වයි. 

(දෙසතිය, 2002,ඔක්‌තෝම්බර්)
ලක්‌ ඉතිහාසය පිළිබඳ විවිධ ඉතිහාසඥයින් සහ විද්වතුන් ගේ ඉතිහාස සටහන් අනුව ඔවුන් තත්කාලීන තොරතුරු ඔස්‌සේ අතීතය කරා පිය මැන පරිණාමය සොයන්නට වෙහෙසී ඇතැයි සිතාගත හැකිය. මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය පිළිබඳව කරුණු සඳහන් කරන මහාචාර්ය ගයිගර් පවසන්නේ, මධ්‍යතන යුගයේ ස්‌ත්‍රී පුරුෂයින් ඇඳි වස්‌ත්‍ර (වත්ථ) පිළිබඳ නියම විස්‌තරයක්‌ දීමට අපොහොසත් වෙමු. සමහර විට එදා ඇඳි ඇඳුමත් අද ඇඳුමත්, ලංකාව බ්‍රිතාන්‍යයන් යටතට වැටුණු පසු, පසු ගිය ශත වර්ෂය මුලදී භාවිත වූ ඇඳුමත් යන ඇදුම් අතර ලොකු වෙනසක්‌ නොතිබෙන්නට ඇත., පිරිමින් ගේ ඇඳුම සාමාන්‍යයෙන් ම ඉණ වට දැවටි රෙදි කෑල්ලකට වඩා යමක්‌ නොවූ බවත්, මේ රෙදි කඩෙහි ප්‍රමාණයත් වර්ගයත් අඳින්නා ගේ තත්ත්වයට අනුකූල වූ බවත්, කෝඩිනර් පවසයි. යනුවෙනි. ( මධ්‍ය කාලීන ලංකා සංස්‌කෘතිය, මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්, පරිවර්තනය, ආචාර්ය ඇම්.බී.ආරියපාල, 1969, පිටුව 63,ප්‍රථම මුද්‍රණය, ගුණසේන) සද්ධර්මාලංකාරයෙහි එන දිළිඳු ස්‌ත්‍රියක්‌ නිර්වස්‌ත්‍රව භික්‌ෂූන් වහන්සේලාට දානය පිළිගැන්වීම පිළිබඳ පුවත යථෝක්‌ත සඳහන සනාථ කරන්නට සමත් වනු ඇති.

...........අන්තර්ජාලය ඇසුරෙනි..............දැනුම සොයන්න මේ පාරෙන් එන්න
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සූසැට ආභරණ සහ ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය (Susata) සූසැට ආභරණ සහ ශ්‍රී ලංකේය ඇඳුමේ විකාශනය (Susata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2022 Rating: 5

0 comments:

Post a Comment