කොරියාවේ රවුමක් යමු (Let's go around Korea)

කොරියාවේ රවුමක් යමු (Let's go around Korea) - Your Choice Way
ප්‍රාග්ඓතිහාසික කොරියාව
ප්‍රාග්ඓතිහාසික කොරියාව යනු ලිඛිත වාර්තා නොපවතින කොරියානු අර්ධද්වීපයේ මානව ජනාවාස පැවති යුගයයි. කෙසේනමුත්, එය කොරියානු ඉතිහාසය පිළිබඳ දැවැන්තම අංශය වන අතර පුරාවිද්‍යාව, භූ විද්‍යාව, සහ පාෂාණිධාතු විද්‍යාව පිළිබඳ විද්වතුන් විසින් හදාරනු ලබන ප්‍රධාන අධ්‍යයන අංගය ද වේ.

භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසය....
කොරියානු ඉතිහාසයේ වඩාත්ම පුරාතන කොටස භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසයයි. කොරියාවේ පැරණිතම පාෂාණ ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අයත් යැයි කාලනිර්ණය කොට ඇත. යොන්චොන් පද්ධතිය ප්‍රාග්කේම්බ්‍රීය යුගයට අනුරූප වන අතර, සෝල් අවට සිට යොන්චොන්-ගුන්වලින් පිටතට ඊසානදිග පිහිටුමක් ඔස්සේ මේවා ව්‍යාප්තව ඇත. මෙය ඉහළ සහ පහළ කොටස්වලට බෙදිය හැකි අතර, ඒවා බයෝටයිට්-ක්වාර්ට්ස්-ෆෙල්ඩ්ස්පාර් ෂීස්ට්, කිරිගරුඬ, හුනුගල්-සිලිකේට, ක්වාර්ට්සයිට්, මිනිරන් ෂීස්ට්, මයිකා-ක්වාර්ට්ස්-ෆෙල්ඩ්ස්පාර් ෂීස්ට්, මයිකා ෂීස්ට්, ඕගන් නයිස් සහ ගානට් දරන ග්‍රැනයිටීය නයිස්වලින් සමන්විත වේ. කොරියානු අර්ධද්වීපය සතුව මීසොසොයික යුගය ඔස්සේ ක්‍රියාකාරී භූ විද්‍යාත්මක ප්‍රාග්ඉතිහාසයක් පැවති අතර, මෙකල බොහෝ කඳු ප්‍රදේශ නිර්මාණය විය. ඒවා සෙමෙන් ස්ථාවර වූයේ සිනොසොයික යුගයේ ය. ප්‍රධාන මීසොසොයික නිර්මාණ අතර ග්යොංසං සුපිරිසමූහය සැලකිය හැක. වර්තමාන ග්යොංසං-දෝ පළාතේ වැඩි ප්‍රදේශයක් ඔස්සේ ව්‍යාප්තව පවතින මෙය බයයෝටයිට් ග්‍රැනයිට්, ශල්ක, වැලිගල්, සම්පිණ්ඩිත ඇන්ඩසයිට්, බැසෝල්ට්, රයෝලයිට් සහ ටෆ් යන ඛනිජවලින් සමන්විත ය.

අවධි වර්ගීකරණය.....
කොරියාවේ ඉතිහාසඥයින් විසින් කොරියානු ප්‍රාග්ඉතිහාසය වර්ගීකරණය කිරීම සඳහා තුන්-යුග ක්‍රමය භාවිතා කරනු ලබයි. තුන්-යුග ක්‍රමය භාවිතයට ගැනුණේ පශ්චාත්-අධිරාජ්‍යවාදී ජපන් යටත්විජිත යුගයේ ය. ජපානය මෙන් නොව කොරියාව සතුව "ලෝකඩ යුගයක් නොපැවැති බව" පැවසූ ජපන් පුරාවිද්‍යාඥයින්ට පිළිතුරු සැපයීමේ දී භාවිතයට ගැනිණි.
  • බිසල්මුන්‍යුයි හෙවත් ජ්‍යුල්මුන් කුඹල් යුගය ("නියෝලිතික") ක්‍රි.පූ. 8000-1500
  • ආරම්භක ක්‍රි.පූ. 8000-6000
  • මුල්කාලීන ක්‍රි.පූ. 6000-3500
  • මධ්‍ය ක්‍රි.පූ. 3500-2000
  • පසුකාලීන ක්‍රි.පූ. 2000-1500/1000
  • මුමුන් කුඹල් යුගය ("ලෝකඩ යුගය") ක්‍රි.පූ. 1500/1000-300
  • සම්හන් / ප්‍රාක්–තුන් රාජධානි යුගය ("යකඩ යුගය") ක්‍රි.පූ. 100 සිට ක්‍රි.ව. 300 දක්වා
තුන්-යුග ක්‍රමය කොරියාවේ තත්ත්වයට ආදේශ කිරීමේ දී ගැටළු කිහිපයක් පැන නැගී ඇත. මෙම ශබ්ද මාලාව භාවිතා කෙරුණේ ප්‍රාග්‍ඓතිහාසික යුරෝපය සඳහා වන අතර, එහි නියෝලිතික අවධියේ ප්‍රධාන ලක්ෂණ වශයෙන් ස්ථිර ජනාවාස පිහිටුවීම, කුඹල් කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය සමකාලීනව සිදු විය. කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් භාවිතා කරන ලද අවධි වර්ගීකරණ ක්‍රමවේදය අනුව යෝජනා වී ඇත්තේ නියෝලිතික යුගය ක්‍රි.පූ. 8000දී ආරම්භ වී ක්‍රි.පූ. 1500 තෙක් පැවති බවයි. නමුත් පූර්වශිලා මානව වංශික උද්භිද විද්‍යාව අනුව පළමු සැබෑ වගාවන් ක්‍රි.පූ. 3500 පමණ වනතෙක් ආරම්භ වී නොමැති හෙයින්, මෙය මතභේදාත්මක ය. ක්‍රි.පූ. 8000 සිට 3500 දක්වා වූ කාලය මෙසෝලිතික සංස්කෘතියට අය්ත යැයි සැලකේ. මෙකල දඩයම් සහ රැස් කිරීම් ප්‍රමුඛව පැවති අතර, එය භෞමික මෙන්ම සාගර ආශ්‍රිතව ද සිදු විය.

කොරියානු පුරාවිද්‍යාඥයින් විසින් සම්ප්‍රදායිකව (1990 දශකය තෙක්) ක්‍රි.පූ. 1500 හෝ 1000 යන දිනය ලෝකඩ යුගයේ ආරම්භය ලෙස සලකා තිබිණි. නමුත් ක්‍රි.පූ. 700 තෙක්ම කොරියානු අර්ධද්වීපයේ දකුණු‍ කොටසේ ලෝකඩ තාක්ෂණය භාවිතා වී නැත. එසේම පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පැහැදිළි වන්නේ කි.පූ. 400 තෙක්ම ලෝකඩ භාණ්ඩ සාපේක්ෂව විශාල ප්‍රමාණවලින් භාවිතා වී නොමැති බවයි. මේ නිසා කොරියාව නියම ‍ලෝකඩ යුගයෙන් ඉවත් වන අතර, එසේවුව ද එහි ලෝකඩ යුගය ඉතා කෙටි එකකි. ලෝකඩ ලෝහ කර්මය පුළුල්ව ව්‍යාප්ත වී මඳ කලකට පසුව, එය විස්ථාපනය කරමින් යකඩ ලෝහ කර්මය ප්‍රචලිත විය.

පේලියෝලිතික...
මෙම යුගයේ සම්භවය විවෘත ප්‍රශ්නයක්ව ඇති නමුත්, කොරියාවේ මානව ජනාවාසීකරණයේ පුරාතනය ක්‍රි.පූ. 500,000 තරම් ඈත යුගයකට අයත් විය හැක. ආදිතම ජනාවාසීකරණය පහළ පේලියෝලිතික යුගයට ඇතුළත් කිරීම පිළිබඳ යි සහ ක්ලාක් තරමක් සැක පහළ කරති.

චුංචොංනම්-දෝ පළාතේ ගොංජු අසල පිහිටි පුරාවිද්‍යා භූමියක් වන සොක්ජං-රිහි පහළ ස්තරවල තිබී පහළ පේලියෝලිතික ශිලා මෙවලම් හා සම්බන්ධයක් ඇතැයි සිතිය හැකි පුරාවස්තූන් හමුවී ඇත. ද්වීතල පොරොවක් හෝ කෙටුම් මෙවලම් ද හමුවී ඇත. පසුකාලීන යුගවල දී මිනිසුන් විසින් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි අත් පොරොව සහ මන්නා ද හමු විය.

ජොම්මල් ගුහාවේ තිබී මානව අරාස්ථියෙන් තනන ලද දඩයම් කටයුතු සඳහා භාවිතා කරන්නට ඇතැයි සිතය හැකි මෙවලමක් හමු විය. මේ සමග සත්ත්ව අස්ථිවලින් තැනූ දඩයම් සහ ආහාර සැකසුම් උපකරණ ද හමු විය. ආහාර සඳහා එක්රැස් කරන ලද විවිධ ගෙඩි වර්ගවල කවච ද සොයාගැනිණි.

සොක්ජං-රි සහ වෙනත් ගංගාසන්න බිම්වලින් පේලියෝලිතික සම්ප්‍රදායයට අයත් පැහැදිළි ලක්ෂණ සහිත හිලා මෙවලම් හමුවී ඇත. මේවා ක්වාර්ට්සයිට්, පෝෆිරි, ඔබ්සිඩියන්, තිරුවාණා සහ ෆෙල්සයිට් මෙන් දිස්වන ඇචියුලියන්, මූස්ටි‍රොවිඩ් සම ලෙවැලොයිසියන් ලක්ෂණ සහිත පාෂාණවලින් නිර්මාණය කොට ඇත. පොරෝ සම්ප්‍රදායයට අයත් ඒවා හැඩයෙන් සරල වන අතර, ඒවා ක්වාර්ට්ස් සහ පෙග්මටයිට් වැනි පාෂාණවලින් නිර්මාණය කොට ඇත. සොක්ජං-රිහි මධ්‍ය ස්තර අනුව පෙනීගොස් ඇත්තේ එකල මිනිසුන් මෙවැනි බෝලා හෙවත් දමාගැසීමේ පාෂාණවලින් දඩයම් කොට ඇති බවයි.

මධ්‍ය පේලියෝලිතික යුගයේ දී, මිනිසුන් ජෙචොන් අසල ජොම්මල් භූමියේ සහ චොංජු අසල දුරුබොං භූමියේ ගුහා තුළ වාසය කොට ඇත. මෙම ගුහා අඩවි දෙකෙහිම සිදුකළ කැනීම්වල දී, වඳවී ගිය රයිනෝසිරස්, දුඹුරු වලසුන්, හයිනා සහ විවිධ මුව විශේෂවල (Pseudaxi gray ප්‍රභේද) ෆොසිල ‍ශේෂයන් හමුවී තිබේ.

පේලියෝලිතික යුගයට අයත් පැරණිතම විකිරණශිලී කාබන් දින අනුව පෙනීයන්නේ කොරියානු අර්ධද්වීපයේ ජනාවාසීකරණය 40,000 සහ 30,000 BP යන කාලසීමාව තුළ සිදුවී ඇති බවයි සොක්ජං-රිහි ප්‍රදේශය 1 හි කැනීම් බිමෙන් පර්යේෂකයන් විසින් මොංගෝලීය සම්භවයක් ඇති මිනිස් හිසකෙස් කිහිපයක් සහ උඳුනක් අසල සහ වටා තිබී හුනුගල් සහ මැංගනීස් වර්ණක ද හමුවී ඇත. එසේම පාෂාණයෙන් කළ බල්ලන්, ඉබ්බන් සහ වලසුන් වැනි සත්ත්ව රූප ද සොයාගෙන තිබේ. වාර්තා අනුව පැවසෙන්නේ කාබන් කාලනිර්ණය අනුව මේවා වසර 20,000කට ඉහත දී නිර්මාණය කළ ඒවා බවයි.

ක්‍රි.පූ. 8000 පමණ මැටි බඳුන් නිර්මාණය ආරම්භ වීමත් සමග පේලියෝලිතික යුගය අවසන් වේ.

ජ්‍යුල්මුන් කුඹල් යුගය....
සම්පූර්ණ බඳුන පුරාම සම්භාව්‍ය ජ්‍යුල්මුන් පනා-හැඩැති රටා සහිත කොරියානු මැටි බඳුනක්; ක්‍රි.පූ. 4000 පමණ, අම්සා-දොං, සෝල්. බ්‍රිතාන්‍ය කෞතුකාගාරය.

පැරණිතම හඳුනාගැනුණු කොරියානු මැටි බඳුන් ක්‍රි.පූ. 8000ට පමණ හෝ ඊට පෙර කාලයකට අයත් යැයි සැලකේ. මෙම මැටි බඳුන් යුංගිමුන් මැටි බඳුන් (කොරියානු: 융기문토기) නම් වන අතර, ඒවා අර්ධද්වීපය පුරාම හමු වේ. යුංගිමුන් යුගය‍ට අයත් පුරාවිද්‍යා බිම් අතර ‍ජේජු-දෝහි ගෝසන්-රි සහ මහා උල්සන්හි උබොං-රි වැනි ස්ථාන වැදගත් වේ. ජ්‍යුල්මුන් පනා-රටා සහිත මැටි බඳුන් (즐문토기) හමුවන්නේ ක්‍රි.පූ. 7000න් පසුව වන අතර, ක්‍රි.පූ. 3500-2000 අතර කාලයට අයත් සම්පූර්ණ බඳුන පුරාම පනා මෝස්තර සහිත බඳුන් බහුල වශයෙන් බටහිර-මධ්‍යම කොරියාවෙන් හමුවේ. එකල අම්සා-දොං සහ චිතම්-නි වැනි ජනාවාස ගණනාවක් පැවතියේ ය. ජ්‍යුල්මුන් මැටි බඳුන් මූලික වශයෙන් මෝස්තර සහ ස්වරූපය අතින් රුසියානු වෙරළාසන්න පළාත, මොංගෝලියාව, මැංචූරියාවේ අමුර් සහ සුන්ගරි ගංගා ද්‍රෝණි සහ ජපානයේ ජෝමොන් සංස්කෘතියට සමානත්වයක් දක්වයි.

ජ්‍යුල්මුන්හි ජනයා දඩයම් කිරීම, රැස් කිරීම, සත්ත්වාහාර සපයා ගැනීම සහ කුඩා පරිමාණයේ වල් පැළෑටි වගා කිරීම වැනි ආර්ථික කටයුතුවල නියැළී ඇත. ජ්‍යුල්මුන් යුගයේ දී ආසියානු මහාද්වීපයේ සිට කොරියානු අර්ධද්වීපය වෙත මිලට් සහ වී වගාවන් හඳුන්වා දීම ද සිදු විය.

මුමුන් කුඹල් යුගය...
මුමුන් යුගයේ ජනාවාස ස්ථාන
කෘෂිකාර්මික සමාජ සහ පැරණිතම සමාජ-දේශපාලන සංකීර්ණභාවයන් මුමුන් කුඹල් යුගය (ක්‍රි.පූ‍. 1500–300 පමණ) තුළ දී ඉස්මතු විය. දකුණුදිග කොරියාවේ ජනයා විසින් බෝග රාශියක් සමග වියළි-බිම් සහ කුඹුරු වගා කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කිරී‍ම මුල්කාලීන මුමුන් යුගයේ දී (ක්‍රි.පූ. 1500–850) සිදු විය. ප්‍රධානීන් විසින් මෙහෙයවන ලද පළමු සමාජයන් මධ්‍ය මුමුන් (ක්‍රි.පූ. 850–550) යුගයේදීත්, පළමු අලංකාර වංශවත් භූමදාන ස්ථාන පසුකාලීන මුමුන් (ක්‍රි.පූ. 550–300) යුගයට අයත් වූයේ යැයි සිතිය හැක. මධ්‍ය මුමුන් යුගයේ දී ලෝකඩ නිෂ්පාදනය ඇරඹුණු අතර, ක්‍රි.පූ. 700න් පසුව මුමුන් උත්සව සහ දේශපාලනික සමාජය තුළ ලෝකඩවලට ඉහළ වටිනාකමක් හිමි විය. පළමු වතාවට ගම්මානවල නැගීම, පුළුල් වීම සහ බිඳ වැටීම සිදුවූයේ මුමුන් තුළ ය. මින් ඇතැම් වැදගත් උදාහරණ ලෙස සොංගුං-නි, දේප්යොං, සහ ඉග්‍යුම්-දොං යන ප්‍රදේශ හඳුනාගත හැක. දිගු-දුර වෙළඳාම, ‍අභ්‍යන්තර අරගල වැඩි වීම සහ ලෝකඩ හා යකඩ කර්මාන්තය හඳුන්වා දීම මුමුන් යුගයේ අවසන් කාලයේ ක්‍රි.පූ. 300 අවට සිදුවූ වැදගත් නැඹුරුතාවන් වේ.

කොරියාවේ ලෝකඩ යුගය ක්‍රි.පූ. 800 ආරම්භයේ උදා වූ අතර, මෙය චීන ඔස්සේ සම්ප්‍රේෂණය වූවකි. ක්‍රි.පූ. 4වන සියවස තෙක්ම ලෝකඩ කර්මාන්තය එතරම් පුළුල්ව ව්‍යාප්තව නොපැවැති අතර, ක්‍රි.පූ. 1වන සියවස වන විට යකඩ මිශ්‍ර ලෝහ කර්මාන්තය දියුණු විය.

යකඩ යුගය....
කොරියාවේ පසුකාලීන ලෝකඩ යුගයේ සිට මුල්කාලීන යකඩ යුගය දක්වා වූ සංක්‍රමණ කාල සීමාව ක්‍රි.පූ. 4වන සියවසේ දී ආරම්භ විය. මෙය ගෝජොසොන්හි පසුකාලීන අවධිය, දකුණෙහි ජින් රාජ්‍ය යුගය සහ ක්‍රි.ව. 1 සිට 4වන සියවස් තෙක් දිවුණු ප්‍රාක්-තුන් රාජධානි යුගය තෙක් පැතිර පවතියි.

ක්‍රි.පූ. 300න් පසුව එළඹෙන අවධිය 'මූලඓතිහාසික' යුගයක් ලෙස සැලකිය හැක. මෙකල කොරියානු අර්ධද්වීපයේ සමාජයන් විස්තර වන ඇතැම් ලේඛනගත මූලාශ්‍ර දක්නට ලැබේ. මෙම ඓතිහාසික රාජ්‍ය සංස්ථාවන් සම්ගුක් සගි වැනි පුරාතන ලේඛනවල සඳහන් කොට ඇත.

කොරියාවේ ඓතිහාසික යුගය ඇරඹෙන්නේ ක්‍රි.ව. 4වන සියවසේ පසුකාලයේ සිට 5වන සියවසේ මැද භාගය දක්වා වූ කාලසීමාව තුළ ය. මෙකල බුදු දහම ව්‍යාප්ත වීමත් සමග, කොරියාවේ තුන් රාජධානි විසින් පැරණි කොරියානු බසින්වන පැරණිතම වාර්තා නිර්මාණය කිරීමට චීන ලේඛන ක්‍රමය භාවිතා කොට තිබේ.

පුරාණෝක්තිමය ප්‍රාග්ඉතිහාසය....
සම්ගුක් සගි, සම්ගුංන්‍යුසා, පසුකාලීන හන්හි ග්‍රන්ථය ඇතුළු පුරාතන ලේඛනවල කොරියානු ප්‍රාග්ඉතිහාසයේ ඇතැම් අවස්ථා අර්ථකථනයට උත්සාහ දරා ඇත. මින් වඩාත් ප්‍රචලිතම ප්‍රභේදය කොරියානු ජාතියේ සම්භවය විස්තර කෙරෙන මිත්‍යාමය "පළමු අධිරාජයා" වන දංගුන්ගේ පුරාවෘත්තයයි. මැවුම්කාර දේවතාවාගේ දරුවකු ලෙස වැලහින්නකට දාව මිනිස් ස්වරූපයෙන් උපන්නෙකි, ඔහු. දංගුන් විසින් ඔහුගේ පළමු නගරය ඉදිකරන ලදී.[9] විසිවන සිවසේ සැලකිය යුතු ඓතිහාසික විමර්ශන ග්‍රන්ථ සංඛ්‍යාවක් මගින් ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් ගෝජොසොන් (ක්‍රි.පූ. 2333–108), ගිජා ජොසොන් (ක්‍රි.පූ. 1122–194), විමන් ජොසොන් (ක්‍රි.පූ. 194–108) ඇතුළු සෙසු රාජ්‍ය පිළිබඳ අර්ථකථන සිදු කිරීමට උත්සාහ දරා තිබේ..

කොරියාවේ විද්‍යා හා තාක්ෂණ ඉතිහාසය.....
ලෝකයේ සෙසු ප්‍රදේශ බොහෝමයක මෙන්, කොරියාවේ විද්‍යාව සහ තාක්ෂණය ද ඇතැම් යුගවල දී අතිශයින් වර්ධනය වූ අතර, එය දියුණුවට පත්නොවී නිශ්චලව පැවති යුගයන් ද විය.

ප්‍රාග්ඉතිහාසය....
පේලියෝලිතික යුගයේ අවසානයේ දී, කොරියානු අර්ධද්වීපයේ ජනයා විසින් ක්ෂුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණය අනුගමනය කොට තිබේ. මෙය සුනම්‍ය ප්‍රාග්එතිහාසික මෙවලම් කට්ටලයක් පවත්වා ගැනීමේ කාර්යක්ෂඹ ක්‍රමයක් විය. පේලියෝලිතික යුගය ශාක සහ මානව අන්තර්ක්‍රියා පැවති දිගු කාලීන යුගයක් ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ වල් පැළෑටි ගණනාවක්ම ඖෂධ ලෙස භාවිතයට ගැනීමට මෙකල ජනයා පෙළඹුණු නිසායි.

ජේජු-දෝහි ගෝසන්-රි වලින් හමුවූ පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව, මැටි බඳුන් පළමුවෙන්ම නිර්මාණය වූයේ ක්‍රි.පූ. 8500-8000 පමණ බැව් පෙනී ගොස් ඇත. මධ්‍ය ජ්‍යුල්මුන් යුගයේ (ක්‍රි.පූ. 3500 සිට 2000 පමණ දක්වා) දී කුඩා පරිමාණයේ බෝග වගාවන් ආරම්භ වන තෙක්ම, ජනයා සිය ප්‍රධානඅආහාර ප්‍රභවය ලෙස යැපීම සිදුවූයේ රැස් කිරීම, දඩයම සහ ධීවර කර්මාන්තය මත ය.

මුමුන් යුගයේ ගොවීන් විසින් ක්‍රි.පූ. 1500න් පසු කිසියම් කාලයක බහු බෝග වගා ක්‍රම අනුගමනය කොට තිබේ.ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදුවූ මෙම ප්‍රගමනය හේතුවෙන් මුමුන්හි යැපුම් ක්‍රමවේදය මඳක් වෙනස් කරමින් කොරියානු අර්ධ්දවීපය තුළ සූක්ෂ්ම කෘෂිකර්මාන්තය ඇරඹීම ශීඝ්‍ර විය. කොරියාව‍ සහ නැගෙනිහර ආසියාවේ යාබද ප්‍රදේශ තුළ ක්‍රි.පූ. 1500 සහ 500 අතර කාලයේ සෝයාබෝංචි (Glycine max) ගෘහස්ථකරණය සිදුවී ඇති බැව් පෙනේ. මෙම යුගයේ දී අතිශයින් සංකීර්ණ තෙත්-වී වගා ක්‍රමයක් වන කුඹුරු වගා කෘසිකර්මය ද කොරියානු අර්ධද්වීපයේ දකුණු කොටස වෙත හඳුන්වා දී තිබේ.

පුළුල්ව පැතිරුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව පෙනෙන්නේ ක්‍රි.පූ. 850න් පසුව, නිවෙස් උණුසුම් කිරීමට භාවිතා වූ තාක්ෂණය වෙනස් වී ඇති බවයි. ක්‍රි.පූ. 850 පෙර ආවාට-නිවෙස් උණුසුම් කිරීමට නිවසේ බිම හාරා සකස් කළ උඳුන් හා ගින්දර භාවිතා විය. ක්‍රි.පූ. 850න් පසු, ආවාට-නිවෙස් ගෘහනිර්මාණය තුළින් අභ්‍යන්තර උඳුන් අතුරුදන් වී ගිය අතර, ඒ වෙනුවට හොසෝ, හොනාම්, සහ බටහිර යොංනම් ප්‍රදේශවල භාවිතා වන ගිනිඅඟුරු බඳුන් වැනි තාක්ෂණ ක්‍රමයක් භාවිතා වන්නට ඇත.

ක්‍රි.පූ. 900ට පෙර බාහිර පෙදෙස්වල සිට කොරියානු අර්ධද්වීපය වෙත ලෝකඩ භාණ්ඩ රැගෙන ඒම සිදු විය. කෙසේනමුත්, සොංගුක්-රි ප්‍රදේශයෙන් හමුවූ ලෝකඩ වාත්තු කිරීමට යොදාගන්නා අච්චු සහ කොරියානු අර්ධද්වීපයේ දකුණු පෙදෙසින් විශාල වශයෙන් හමුවන ලෝකඩ භාණ්ඩ නිසා පෙනෙන්නේ ක්‍රි.පූ. 700 පමණ වන විට අර්ධද්වීපයතුළ ලෝකඩ නිර්මාණ තාක්ෂණය සිදුවී ඇති බවයි. සියවස් කිහිපයකට පසුව, යකඩ නිෂ්පාදනය ද අනුගමන කෙරුණු අතර, කොරියාවේ කිෂ්පාදිත යකඩ ආම්පන්න සහ ආයුධ ක්‍රි.පූ. 200න් පමණ පසුව අතිශයින් සුලබ විය. යකඩ මෙවලම් හේතුවෙන් කොරියානු අර්ධද්වීපයේ නව ප්‍රදේශ වෙත සූක්ෂ්ම කෘෂිකර්මාන්තය ව්‍යාප්ත කිරීම පහසු විය.

මෑතක් වනතුරුම, "ඔන්දොල්" නැමැති යටි-ගෙබිම උණුසුම්කරණ තාක්ෂණය කොරියානුවන්ගේ නිර්මාණයක් ලෙස සැලකිණි. මුලින් විශ්වාස කෙරුණේ එය වසර 2,500කට පමණ පෙර උතුරු ඔක්ජෝ ජනයා විසින් නිර්මාණය කළ බවයි. කෙසේනමුත්, මෑතක දී ඇලස්කාවෙන් වසර 3,000ක් පමණ පැරණි මෙවැනිම ගෙබිම උණුසුම් කිරීමේ තාක්ෂණයක් සොයාගැනුණු නිසා ඉහත මතය ප්‍රහ්නාර්ථයක්ව ඇත. ඉහත ස්ථාන දෙක අතර ප්‍රදේශයෙන් කිසිදු ප්‍රාග්ඓතිහාසික සහ/හෝ පුරාතන ඔන්දොල් අංග හමුනොවීම නිසා, මෙම ක්‍රම දෙකම එකම ප්‍රභවයකින් සම්භවය වූවකැයි සිතීම අපහසු බැව් පෙනේ.

තුන් රාජධානි යුගය.....
කොරියානු අර්ධද්වීපය තුළ පළමුවරට දැඩිව පුළුස්සන ලද අර්ධ-වීදුරුමය (stoneware) සෙරමික් නිර්මාණය සිදුවූයේ තුන් රාජධානි යුගයේ ය. මෙහි දී මැටි උඳුන් තුළ 1000 °Cට වැඩි උෂ්ණත්වයකට රත්කොට වීදරු බවට පත්කෙරේ.

මෙම යුගයේ තවත් වැදගත් ලක්ෂණයක් ලෙස කාර්මික-පරිමාණයේ මැටි බඳුන් සහ උළු නිෂ්පාදනය සිදුවීම හඳුනාගත හැක. මෙය ක්‍රි.ව. 100-300 අතර කාලයේ චීන මකර පෝරණුව භාවිතයට ගැනීමට හේතු විය.

වර්තමානය තෙක් ශේෂව ඇති කොරියාවේ තුන් රාජධානි යුගයේ විශිෂ්ට විද්‍යා හා තාක්ෂණික නිමැවුම් අතලොස්ස අතුරින් එකක් ලෙස චොම්සොංදේ හැඳින්විය හැක. මෙහි අරුත "තාරකා නිරීක්ෂණ මණ්ඩපය" යන්නයි. මෙය පෘථිවිය මත ස්ථාපිත පැරණිතම ආකාශ වස්තු නිරීක්ෂණාගාර අතුරින් එකක් ද වේ. මෙය ඉදිවූයේ සොන්දොක් රැජිනගේ පාලන සමයේ ය. මෙම කුළුණ ඉදිකිරීමේ දී කපන ලද ග්‍රැනයිට් කුට්ටි 366ක් භාවිතා වී ඇති අතර, එමගින් චන්ද්‍ර වර්ෂයේ අන්තර්ගත දින 366 සංකේතවත් වේ යැයි ඇතැම්හු පවසති. එසේම මෙහි අත්තිවාරම් පාෂාණ 12ක් ඇති අතර, එමගින් වසරේ මාස දොළහ නිරූපණය වේ යැයි පැවසේ. මෙහි නිර්මාණ සැලැස්ම බුදු දහමේ ආභාසය ලබා නිර්මාණය වූවක් යැයි පිළිගැනේ.

හ්වංන්‍යොංසාහි මහල් නවයකින් යුත් දැව ස්තූපය එහි ප්‍රධාන විහාර ගොඩනැගිල්ල ඉදිකළ පසුව ඉදිවූවක් වන අතර, එය ද සොන්දොක් රැජිනගේ මෙහෙයවීම මත ඉදිවූවකි. මෙය මෙතක් ඉදිකොට ඇති විශාලතම පූර්වකොරියානු ස්තූපය බව ඇතැම්හු පවසති. එය මීටර 80ක උසින් යුක්ත වූ බැව් වාර්තා වේ. නමුත් වර්තමානය වනවිට, එහි අත්තිවාරම් පාෂාණ පමණක් දැකගත හැකි නමුත්, ඉන් එහි සැබෑ ව්‍යූහයේ වූ දැවන්තභාවය අනුමාන කළ හැක.

ගොර්යෝ රාජවංශය
සංස්කරණය
ගොර්යෝ රාජවංශ සමයේ 1234දී චෝයි යුන්-උයි විසින් ලෝහ චලන වර්ගයේ මුද්‍රණ ක්‍රමය සොයාගන්නා ලදී මෙම සොයාගැනීම හේතුවෙන් මුද්‍රණ කටයුතු තවත් පහසු වූ අතර කාර්යක්ෂම ද විය. මෙකල සාක්ෂරතාව ද ඉහළ ගිය අතර, චීන සංචාරකයන් අනුව එකල කියවන්නට නොහැකි වීම ලැජ්ජාවට කාරණයක් ලෙස සැලකිණි. පසුව මොංගෝල අධිරාජ්‍යය විසින් කොරියාවේ චලන මුද්‍රණ ක්‍රමය අනුගමනය කළ අතර, එය මධ්‍ය ආසියාව පුරා ව්‍යාප්ත කරන ලදී. ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත්‍රය වැනි පසුකාලීන නිමැවුම් සඳහා ද චෝයිගේ සොයාගැනීම බලපෑවේ ද, එසේ නොවේ ද යන්න පිළිබඳ නොයෙකුත් තර්ක විතර්ක පවතියි. මෝං‍ගෝලවරුන් යුරෝපය ආක්‍රමණය කරන විට ඔවුන් නොයෙකුත් ආසියානු තාක්ෂණික ක්‍රම හඳුන්වා දෙන්නට ද ඇත.

පසුකාලීන ගොර්යෝ රාජවංශ සමයේ දී, ගොර්යෝව ලෝකයේ නැව් තට්ටු කාලතුවක්කු නිර්මාණයේ හිනිපෙත්තේ විය. 1356දී, දැව කැබලි හෝ ලෝහ උණ්ඩ යොදා වෙඩිබෙහෙත් ආයුධ පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් සිදු කෙරිණි. 1373දී ගිනි ඊතල සහ හ්වාචාහි ආදි ස්වරූපයක් වැයි හැකි යැයි සැලකෙන "ගිනි නල" වැඩිදියුණු කෙරුණු අතර, ඒවා කොරියානු යුධ නැව්වල සවි කෙරිණි. කාලතුවක්කු සහ අනෙකුත් වෙඩිබෙහෙත් ආයුධ භාවිතය ජොසොන් රාජවංශය දක්වාම සිදුවූ අතර, 1410 වන විට, 160කට අධික ජොසොන් යුධ නැව් තට්ටු මත කාලතුවක්කු සවිකොට තිබිණි. මධ්‍යකාලීන කොරියානු නව නිපැයුම්කරුවකු, යුධ සෙන්පතියකු සහ විද්‍යාඥයකු ද වූ චෝයි මු-සොන් විසින් පළමුවරට වෙඩිබෙහෙත් පුළුල්ව භාවිතා කිරීමේ ක්‍රමවේදය කොරියාවට හඳුන්වා දුන් අතර, වෙඩිබෙහෙත් භාවිතා වූ ආයුධ රැසක්ම නිර්මාණය කළේ ය. මෙලෙස ආයුධ නිර්මාණය කරන ලද්දේ ජපන් මුහුදු කොල්ලකරුවන් (වොකොවු) විසින් කොරියානු වෙරළබඩ ප්‍රදේශවල කොල්ලකෑම්වල නිරතවීම නිසායි. චෝයි විසින් වෙඩිබෙහෙත් පිළිබඳ දැනුම ලබාගන්නා ලද්දේ චීන වෙළෙන්දකු වූ ලි යුවාන්ගෙනි. නමුත් එය මොංගෝල නීතියට එරෙහි විමක් විය. ලී මුලින් එයට අකමැති වුව ද, පසුව එයට මනාපය පල කළේ චෝයිගේ ජාතයාලය සහ කැපවීම දැකීමෙනි. පසුව කොර්යෝ රාජ මාලිගය සහ උ රජුගේ ද ප්‍රසාදය හිමි කරගත් අතර, වෙඩිබෙහෙත් පිළිබඳ පර්යේෂණ කිරීමට ඔහු කම්හලක් සහ විද්‍යාගාරයක් ද ලබාදෙන ලදී. පළමුවරට කොරියානු කාලතුවක්කු නිර්මාණය කළ ඔහු සින්ගිජොන් (කොරියානු ගිනි ඊතල) සහ පසුව හ්වාචාව ද නිපදවී ය. 1377දී පළමුවරට නිපදවන ලද මෙම හ්වාචාව පළමු සැබෑ බහුවිධ රොකට් රඳවනය ලෙස සැලකේ. මෙම ආයුධ පෙර රොකට් ආයුධ හා සැසඳීමේ දී විශාල දියුණුවක් ලැබීමට සමත්ව තිබූ අතර, එහි දී රොකට්ටු (අහස් වෙඩි) 200ක් එක්වර නිකුත් කළ හැකි විය.

ජොසොන් රාජවංශය...
15වන සියවස...
ජොසොන් රාජවංශයේ මහා සේජොං රජ සමය කොරියාවේ විද්‍යාත්මක ක්ෂේත්‍රයෙහි දැවැන්ත ප්‍රගමනයක් සිදුවූ යුගය ලෙස සැලකේ. සේජොංගේ නව ප්‍රතිපත්තිය යටතේ ජං යොං-සිල් වැනි චොන්මින් (පහළ-තත්ත්වයේ) ජනයාට ද රජයේ සේවය කිරීමට අවස්ථාව හිමි විය. ලාබාල වියේදීම, ජං නව නිර්මාණකරුවකු සහ ඉංජිනේරුවරයකු ලෙස සිය කුසලතා ප්‍රදර්ශනය කළ අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා කාර්ය පහසු කිරීමේ උපකරණ ද නිර්මාණය කළේ ය. මේ අතරට ජල නායක සහ ඇල මාර්ග ඉදිකිරීම ද ඇතුළත් විය. ජංහට ක්‍රමයෙන් මාලිගයේ දිවි ගෙවීමට අවසර හිමිවූ අතර, එහිදී කොරියානු විද්‍යාවේ දියුණුව උදෙසා තවත් විද්‍යාඥයින් පිරිසක් සමග ඔහු කටයුතු කළේ ය.

ඔහුගේ ඇතැම් නිමැවුම් අතර, ස්වයංක්‍රීය ජල ඔරලෝසුව (ජග්යොක්රු) ද වේ. 1434දී ජං විසින් නිපදවන ලද මෙය ලී වස්තූන්ගේ චලන මගින් වේලාව දෘශ්‍යමය ලෙස පෙන්වයි. එසේම ඔහු විසින් අමතර තාරකා විද්‍යා උපාංග සහිත මෙයට වඩා සංකීර්ණ තවත් ජල-ඔරලෝසුවක් සහ පැරණි ගොර්යෝ රාජවංශ සමයේ නිර්මාණය වූ ලෝහ චලන මුද්‍රණ ක්‍රමය වැඩිදියුණු කිරීම ද සිදුකරන ලදී. මෙම නව ආකෘතිය ඉහළ ගුණාත්මයෙන් යුතු වූ අතර, ශීඝ්‍රතාව පැරණි යන්ත්‍රය මෙන් දෙගුණයක් විය. සෙසු නිමැවුම් අතර දෘෂ්ටි වීදුරු සහ වර්ෂාමාපක ද වේ.

කොරියානු තාරකා විද්‍යාව ජොසොන් යුගයේ උච්චස්ථානයට පත් විය. මෙකල ජං වැනි පුද්ගලයින් විසින් නිර්මාණය කළ ඛගෝල වැනි උපාංග හේතුවෙන් සූර්යයා, චන්ද්‍රයා, සහ තාරකාවල පිහිටීම නිශ්චිතව දැක්විය හැකි විය ඛගෝල (ග්‍යුප්යෝ, 규표) ඍතු වෙනස්වීම්වලට ද ගැළපෙන අයුරින් සකස් කෙරිණි.

මහා සේජොං රජ සමයේ තාරකා විද්‍යාත්මක සහ දින දර්ශන ක්ෂේත්‍රයේ සිදුවූ විශිෂ්ඨතම පෙරැළිය ලෙස චිල්ජොංසන් හැඳින්විය හැක. 1442දී ගොඩනැගූ මෙය සප්ත දිව්‍යමය වස්තූන් (දෘශ්‍යමය ග්‍රහලෝක පහ, සූර්යයා සහ චන්ද්‍රයා) ගමන් මග ඇතුළත් ගණනයන්ගේ එකතුවකි. මෙම කෘතිය නිසා විද්‍යාඥයින්හට සූර්යග්‍රහණ සහ තාරකා චලන වැනි ප්‍රධාන දිව්‍යමය සංසිද්ධි සියල්ල පුරෝකථනය කළ හැකි විය. හොන්චොන්සිග්යේ යනු 1669දී සොං ඉ-යොං විසින් නිර්මාණය කරන ලද තාරකා විද්‍යා ඔරලෝසුවකි. මෙම ඔරලෝසුවේ අන්තර්ගත කටුගෝලයේ විෂ්කම්භය 40 cm කි. මෙම ගෝලය ක්‍රියාත්මක වන්නේ ඔරලෝසු යන්ත්‍රණයක් ඔස්සේ වන අතර, එමගින් දෙන ලද අවස්ථාවක ආකාශ වස්තූන්ගේ පිහිටීම පෙන්වයි.

කංනිදෝ නැමැති කොරියාවේ නිර්මිත ලෝක සිතියම 1402දී, කිම් සා-හ්යොං (김사형, 金士衡), යි මු (이무, 李茂) සහ යි හොයි (이회, 李撓) යන අය විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම සිතියම ජොසොන්හි තේජොං රජ සමයේ දෙවන වර්ෂයේ නිමවූවකි. මෙම සිතියම චීන, කොරියානු සහ ජපන් සිතියම්වල සංකලනයෙන් නිර්මාණය කළ එකකි.

වර්තමානයේ ජාතික භාෂාවක් ලෙස භාවිතා වන පළමු සහ එකම විශේෂාංග වර්ණමාලාව වන හංගුල් 1444දී සේජොං රජු විසින් ප්‍රකාශයට පත්කරන ලදී.

16-19වන සියවස්....
පසුකාලීන ජොසොන් රාජවංශ යුගයේ විද්‍යාත්මක සහ තාක්ෂණික ප්‍රගමනය මුල්කාලීන ජොසොන් යුගයට සාපේක්ෂව මන්දගාමී විය.

16වන සියවසේ මාලිග වෛද්‍යවරයකු වූ හියෝ ජුන් විසින් වෛද්‍ය කෘති ගණනාවක් ලියා ඇත. ඔහුගේ වඩාත් වැදගත්ම කෘතිය ලෙස සැලකෙන්නේ දොංග්‍යුයි බෝගම් නැමැති කෘතියයි. මෙය බොහෝ අවස්ථාවල දී සම්ප්‍රදායික කොරියානු වෙදකමේ දී නිර්දිෂ්ට ග්‍රන්ථයක් ලෙස භාවිතා වේ. මෙම කෘතිය චීනය සහ ජපානය වෙත ව්‍යාප්ත වූ අතර, වර්තමානයේ පවා එය පෙරදිග වෛද්‍ය විද්‍යාවේ ස්මභාව්‍ය කෘතියක් ලෙස සැලකේ.

පළමු මෘදු ප්‍රක්ෂේපණ කබාය වන, ම්යුන්ජෙබේගබ් නිර්මාණය වූයේ 1860 දශකයේ ජොසොන් කොරියාව තුළ ය. මෙය කොරියාවට එරෙහි ප්‍රංශ ආක්‍රමණය (1866) සිදුවී මඳ කලකට පසුව නිර්මාණය වූවකි. බටහිර හමුදාවලින් එල්ලවෙමින් පැවති තර්ජනවලින් ආරක්ෂා වීමට වෙඩි නොවදින සන්නාහ නිර්මාණය සඳහා හ්‍යුංසොන් දේවොන්ගුන් විසින් නියෝග කරන ලදී. කිම් ගි-දු සහ ගං යුන් විසින් සොයාගන්නා ලද්දේ ප්‍රමාණවත් ඝනකමක් ඇත්නම් කපුවලට උක්ඩවලින් එරෙහි ආරක්ෂාවක් ලබාදිය හැකි බවයි. මේ නිසා කපු ස්තර 30කින් යුතුව කබා නිෂ්පාදනය කෙරිණි. මෙම කබා කොරියාව වෙත එක්සත් ජනපද ගවේෂණය (1871) සිදුවූ සමයේ, එක්සත් ජනපද නාවික හමුදාව 1871දී ගංග්හ්වා දූපත වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග සටන්වල දී මෙම කබාය භාවිතා විය. මින් එක් කබායක් සොයාගත් එක්ස්ත ජනපද හමුදාව එය එක්සත් ජනපදය වෙත රැගෙන ගොස් 2007 වර්ෂය තෙක් ස්මිත්සෝනියානු කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන ලදී. මේ වනවිට කොරියාව වෙත රැගෙන එන ලදුව, එය මහජන ප්‍රදර්ශනයට තබා ඇත.

නූතන යුගය...
උතුරු කොරියාව
1985 පසුභාගයේ උතුරු කොරියාවේ පළමු සංගෘහිත පරිපථ නිර්මාණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය. 1990 දශකයේ මුල් කාලය වන විට උතුරු කොරියාව වසරකට පරිගණක 20,000ක් පමණ නිර්මාණය කළේ ය. වාර්තා අනුව ඉන් 60%ක් අපනයනය කෙරුණු අතර, සෙසු ප්‍රමාණය ප්‍රධාන වශයන්ම අභ්‍යන්තර යුධ කටයුතු සඳහා භාවිතා විය. මුල්කාලීන 1990 දශකයේ මෘදුකාංග සංවර්ධන කර්මාන්ත ද ඇරඹිණි. සාමාන්‍යයෙන්, මෘදුකාංග ව්‍යාපෘතිය ඉහළ මට්ටමකින් සිදුවන අතර, අනාගතයේ දී එය ප්‍රධාන අපනයන අංගය වනු ඇතැයි විශ්වාස කෙරේ. උතුරු කොරියාව විසින් තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කොට ඇති අතර, එය Red Star නම් වේ. එසේම ක්වංම්යොං නැමැති අන්තඃජාල ජාලකරණයක් ද ඇති අතර, එහි අන්තර්ගත වන්නේ අන්තර්ජාලයේ ඇතුළත් වාරණයට ලක්කළ අන්තර්ගතයන් පමණකි. උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ විශේෂඥයින් ඉහළ තාක්ෂණ සාක්ෂරතාවක් පෙන්නුම් කරයි.

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ කොරියානු කමිටුව (KCST) යනු එරට ජාතික අභ්‍යවකාශ නියෝජිතායතනයයි. මෙය පාලනය කරනු ලබන්නේ ජාතික ආරක්ෂක කොමිසම විසින් වන අතර, රාජ්‍ය විද්‍යා ඇකඩමිය සහ කාලතුවක්කු තාක්ෂණ මාර්ගෝපදේශක කාර්යාංශය වැනි වෙනත් ප්‍රධාන ආයතන හා සමගාමීව එය ක්‍රියාත්මක වේ. 2010 වන විට, අභ්‍යවකාශ දියත් කිරීම් පහසුකම් ස්ථාන දෙකක් ක්‍රියාත්මක වෙමින් පැවතිණි. එනම් උතුරු හම්ග්යොං පළාතේ තොංහේ චන්ද්‍රිකා දියත් කිරීමේ භූමිය සහ උතුරු ප්යොන්ගන් පළාතේ තොංචෑං-දොං අභ්‍යවකාශ දියත් කිරීමේ මධ්‍යස්ථානයයි. ක්වංම්යොංසොං-ගණයේ චන්ද්‍රිකා ඉහත පැරණි භූමියෙහි පෙක්තුසන් සහ උන්හා රොකට්ටු ආධාරයෙන් දියත් කෙරේ. නමුත් මෙතෙක් ඒ කිසිවක් සාර්ථක වී නැත.

උතුරු කොරියාව නොයෙකුත් යුධ තාක්ෂණික ක්‍රම පිළිබඳව ද පර්යේෂණ සිදු කරයි. මේ අතර GPS අවහිරක, රහසිගත තීන්ත, කුරු සබ්මැරීන, රසායනික, ජෛව සහ න්‍යෂ්ටික අවි, පුද්ගල-නාශක ලේසර් සහ ප්‍රක්ෂේපණ මිසයිල ද වේ.

දකුණු කොරියාව....
දකුණු කොරියාවේ විද්‍යාත්මක සහ තාක්ෂණික සංවර්ධනය මුලින් විශාල වශයෙන් සිදු නොවූයේ කොරියාව බෙදීම සහ නිදහස ලබා ගැනීමෙන් පසුව ඇතිවූ කොරියානු යුද්ධය හේතුවෙන් උද්ගත වූ ප්‍රතිඵල හේතුවෙනි. 1960 දශකයේ පාක් චුං-හීගේ ආඥාදායකත්වය යටතේ දකුණු කොරියාවේ ආර්ථිකය කාර්මීකරණය ඔස්සේ ශීඝ්‍රයෙන් වර්ධනය වූ අතර, සැම්සුං සහ LG වැනි චේබොල් සංස්ථා ද නිර්මාණය විය.

2008 වන විට, R&D නියමයන් අනුව ‍දකුණු කොරියාව 5වන ඉහළම ස්ථානයේ පැවතිණි. ඒස් ඉලෙක්ට්‍රොනික්ස්හි CEO වූ පාක් ක්යේ-ජුං 23වන නව නිමැවුම් සහ නව නිෂ්පාදනය ප්‍රදර්ශනයේ දී සිය මෝටර් සහ මෝටර්-සහිත ගියර සඳහා රන් සහ රිදී ත්‍යාග හිමි කරග්තතේ ය. ඔහු රන් පදක්කම හිමි කරගත්තේ ධාවනය වන මෝටර් රථයක ඇතිවන කම්පන විද්‍යුත් ශක්තිය බවට පරිනාමණය කළ හැකි උපංගයක් නිපදවීම හේතුවෙනි. පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි පැවති INPEX ප්‍රරද්ශනයේ දී කොරියානු නිමැවුම් දහසයක් සම්මාන හිමි කරගත්තේ ය. මේ අතරට රන් ත්‍යාග සතරක්, රිදී තුනක් සම විශේෂ ත්‍යාග හයක් ඇතුළත් විය. පිට්ස්බර්ග් INPEX තරගාවලිය සඳහා රටවල් 20කින් නව නිර්මාණකරුවන් සහභාගී වූ අතර, ඕස්ට්‍රේලියාව, ජර්මනිය සහ එක්සත් ජනපදය සහ තවත් රටවල් 11ක තරගකරුවන් විසින් නිමැවුම් 160ක් ඉදිරිපත් කොට තිබිණි.

සෝල් නුවර ලෝකයේ "ප්‍රධාන ඩිජිටල් නගරයක්" සහ "ලෝකයේ තාක්ෂණික අගනුවරක්" ලෙස සැලකේ. දකුණු කොරියාව ලෝකයේ වඩාත්ම තාක්ෂණිකව දියුණු සහ ඩිජිටල් වශයෙන් සම්බන්ධිත රටවල් අතුරින් ද එකකි. OECD රටවල් අතුරින් තෙවැනියට විශාලතම පුළුල් කලාපීය (බ්‍රෝඩ්බෑන්ඩ්) අන්තර්ජාල පරිශීලකියන් සිටින රට ද වේ. එසේම එය ඉලෙක්ට්‍රොනික උපාංග, ඩිජිටල් තිර, අර්ධසන්නායක උපාංග සහ ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ලෝක බලවතකු ද වේ.

නිල වශයෙන් අවමානයට ලක්කෙරුණු විද්‍යාඥයකු වන හ්වං වූ-සුක් විසින් මෙහෙයවන ලද ජෛව-ඉංජිනේරු පර්යේෂණ කණ්ඩායමක් විසින් 2002දී මියගිය සුනඛයකුගේ සජීවී ක්ලෝන තුනක් නිර්මාණය කරන ලදී.

රුසියාව, ජපානය, තුර්කිය සහ වෙනත් රටවල්වල වෛද්‍යමය සහ කාර්මික කටයුතු සඳහා අවශ්‍ය වන විකිරණශීලී සමදර්ශ නිෂ්පාදන උපාංග ද කොරියාව විසින් අපනයනය කරනු ලබයි.

කොරියාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තාක්සණය සම්බන්ධයෙන් සුහද මිත්‍රත්වයක් පවතී. එසේම එමගින් ප්‍රවේක්ෂණ කැමරා අන්තර්ගත Arirang-1 සහ Arirang-2 ද දියත් කොට ඇත.

රොබෝ විද්‍යාව සැලකූ විට, KAIST ආයතනය සිය මානවරූපී රොබෝව වන HUBO සමගින් ජපන් සමාගමක් වන හොන්ඩා සමග තරග කරයි. හොන්ඩාහි ASIMO සහ KAISTහි HUBO යනු ඇවිදීමට හැති මානවරූපී රොබෝවන් අතලොස්ස අතුරින් දෙකකි. පළමු HUBO සංවර්ධනය කරන ලද්දේ වසර 3ක පර්යේෂණ කටයුතුලින් පසු වන අතර, එයට ඇ.ඩො. මිලියන 1ක වියදමක් ද දැරීමට සිදු විය.

විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ග්වංජු ආයතනයේ දකුණු කොරියානු විද්‍යාඥයින් සහ සැන්ටා බාබරාහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය අතර සහයෝගයෙන් දියත් කළ පර්යේෂණ මගින් කාබනික ප්‍රභාවෝල්ටීය ජව කෝෂයක් සාර්ථක අයුරින් නිමවා ඇති අතර, මෙහි ශක්ති කාර්යක්ෂමතා ප්‍රතිශතය 6.5කි.

2013 අගෝස්තු මස ගෝලීය ස්මාර්ට්ෆෝන් භාවිතය පිළිබඳ අධ්‍යයනයක ප්‍රතිඵල මුදාහැරිණි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් (UAE) පසුව දෙවන ඉහළම ප්‍රතිශතය සහිත රට දකුණු කොරියාවයි. එහි ප්‍රතිශතය ජනගහනයෙන් 73.0%කි.

2013 පළමු අර්ධයේ එල්ලවූ සයිබර් ප්‍රහාරවලින් රජය, පුවත්-මාධ්‍ය, රූපවාහිනී ආයතන සහ බැංකු වෙබ්අඩවි අපහසුතාවයට ලක්වූ අතර, පසුව 2017 දී නව සයිබර් ආරක්ෂක විශේෂඥයින් 5,000කට පුහුණුව ලබාදෙන ලදී. මෙම සිදුවීම සහ 2009, 2011 සහ 2012 වර්ෂවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් දකුණු කොරියානු රජය සිය උතුරු අසල්වැසියාට චෝදනා කරයි. නමුත් ප්යොංග්යෑං රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2013 සැප්තැම්බ‍රයේ පසු කාලයේ ආරක්ෂක අමාත්‍යාංශය සහ ජාතික බුද්ධි අංශ සේවාවේ සහයෝගීත්ව අනුග්‍රහයෙන් පැවැත්වුණු පරිගණක ආරක්ෂණ තරගයක් පිළිබඳ නිවේදනය කෙරිණි. 2013 සැප්තැම්බර් 29 දින ජයග්‍රාහකයන්ගේ නම් නිවේදනය කිරීමට ‍යෝජිතව තිබිණි. එහිදී වොන් මිලියන 80ක (US$74,000) ත්‍යාග මුදලක් බෙදාහැරීමට ‍නියමිත ය.

වර්තමානය වන විට, පරිණත ජංගම වෙළඳපොලක් සහිත දකුණු කොරියාව තුළ තාක්ෂණික බාධක ඇත්තේ අවම වශයෙනි. දකුණු කොරියාව තුළ නව මාධ්‍ය හෝ ඇප් ක්‍රම, 4G සහ 5G අන්තර්ජාල යටිතල ක්‍රම ක්‍රියාත්මක වෙමින් පවතියි...

............අන්තර්ජාලය ඇසුරෙනි............... දැනුම සොයන්න මේ පාරෙන් එන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරියාවේ රවුමක් යමු (Let's go around Korea) කොරියාවේ රවුමක් යමු (Let's go around Korea) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment